සුදුවෙන්න ක්‍රීම් ගෑවොත් මහලු වෙනවාද?


ජනප්‍රිය රංගන ශිල්පිනියන් කියන කතා   

 

 

සිසිවන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින   
නිසි පුළුලුකුළ රියසක යුරු තිසර තන   
දිසි රණ ලියෙව් රූසිරි යුත් මෙපුර ඟන   
ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවඟන

   
ඇගේ වත සෞම්‍ය වූ චන්ද්‍රයාසේය. ඇගේ ඉඟටිය සිහින්ය. ඇගේ පුළුල් වූ උකුල කරත්ත රෝදයක් සේය. ඇගේ ළැම හන්සයන් සේය. රන්වන් සිරුරින් හෙබි මේ පුරයේ කාන්තාව දෙවඟනන්ගෙන් වෙන්කර හඳුනාගත හැකි වන්නේ ඇසිපිය හෙළීමෙන් පමණි.   


එද‌ා සැළලිහිණි සංදේශ කතුවරයා ජයවර්ධනපුර සිටි කාන්තාවන්ගේ සෝභා සම්පන්න රූපය වර්ණනා කළේ එලෙසින්ය. මෙවන් වූ සුන්දර ලාලිත්‍යයක් හිමි කාන්තාව විටෙක කවි සිතිවිලවලට එබිකම් කළේ නාරිලතා මලක් සේය.   


කවිය, කතාව, චිත්‍රය, මූර්තිය ආදී වූ නිර්මාණයන්ට ද‌ායක වන ඇය ඒවායේ තේමාවන් වූයේ ද රූපයේ ඇති ආකර්ෂණය නිසාමය.   


 එවන් වූ සෝභා සම්පන්න කාන්තාවෝ අතීතයේ සිටම සිය රූපය පවත්වාගෙන යාම සඳහා විවිධ වූ රූපලාවන්‍ය ක්‍රම අනුගමනය කළහ.   


ඔවුහු අංජන, සුදුහඳුන්, කෝමාරිකා, මී පැණි, කහ, දෙහි යුෂ, කොකුම් ආදී ස්වභාවික ශාක ද්‍රව්‍ය රුව වැඩිවීම සඳහා යොද‌ා ගත්හ. මේවා කාලයෙන් කාලයට නවීකරණය වෙමින් ජනප්‍රිය විය.   


අද වන විට, කාන්තා රුව රැකගැනීම සඳහා ආයුර්වේද සත්කාරවලට අනුව පිරිසුදු කිරීම් (Cleaning) සම්බාහනය (Massage), ඖෂධ මගින් ස්වේද කිරීම (දුම ඇල්ලීම- Lterbal Steam), සමට සත්කාර කිරීම (Neutrisying Pack) සහ රසායන ප්‍රතිකාර (Toring) ආදී රූපලාවන්‍ය ක්‍රම යොද‌ා ගනිති.   


මීට අමතරව සම රැළිවැටීම, සම තුනී වී එල්ලා හැලීම ආදිය මුහුණෙහි සිදුවීම වළක්වා ගැනීම සඳහා නිවසේදී ද රූපලාවන්‍ය සත්කාර සිදුකර ගනිති. විශේෂයෙන්ම හොඳින් ජලය පානය කිරීම, යෝගට්, මීපැණි, ලෙමන් යුෂ විටමින් C යනාදිය මිශ්‍රකර සාද‌ාගත් ස්වභාවික මිශ්‍රනයක් මුහුණේ ආලේප කර විනාඩි 20 ට පමණ පසු සෝද‌ා හැරීම, තම්බාගත් කැරට් පොඩිකර එයට මී පැණි එකතු කර මුහුණේ ආලේප කර විනාඩි 30 ට පමණ පසු සෝද‌ා හැරීම, ආමන්ඩ් සත්කාරය, ඔලිව්තෙල් වලින් මුහුණ සම්බාහනය කිරීම කෝමාරිකා සත්කාරය, කඩල පිටි කිරි, කහ මිශ්‍රකර මුහුණේ ගා පැය භාගයකට පසු සෝද‌ා හැරීම ආදී රූපලාවන්‍ය සත්කාර ද නිවසේදීම සිදුකර ගනිති.   


 මේ සියලු දේ සොබාවික දේවල් හෙයින් කිසිවෙකුට හානිකර තත්ත්වයක් ඇති නොකරන්නේය. අද වන විට මෙම ක්‍රමවේදයන්ට අමතරව කෘත්‍රීම රූපාලංකාර ප්‍රතිකර්ම කරළියට පැමිණ ඇත්තේය. එනම් හෝමෝන පෙති එන්නත්, ශල්‍යකර්ම, ක්‍රීම් වර්ග මේ සඳහා භාවිතයට ගැනීම සිදුවේ. ව්‍යායාම, ස්වභාවික එළවළු, පලතුරු, ජලය හා ස්වභාවික රූපලාවණ්‍ය ආදී ක්‍රමවලින් තොර වූ මෙම කෘත්‍රිම සත්කාරක ඉක්මනින් පැහැපත් වන සිරුරේ හැඩතල පවත්වාගෙන යාමට භාවිත කිරීම කොතරම් යෝග්‍ය ද යන්න ගැටලුසහගතය. 

 
ඊට උද‌ාහරණ ලෙස පසුගිය කාලය තුළ සිදුවූ ඇතැම් ඛේදවාචකයන් පෙන්වාදිය හැකිය. එසේම ඉක්මනින්ම හම සුදුකර ගැනීමට භාවිත කරන ඇතැම් ප්‍රමිතියකින් තොර මිශ්‍රණවල විශ්වාසද‌ායක බවත් නොවන්නේය.   


විශේෂයෙන්ම ආසියාතිකයන් වූ අපට සූර්යාගෙන් නික්මෙන පාරජම්බුල කිරණ වලින් ආරක්ෂා වීම සඳහා හම තුළ ස්වභාවයෙන්ම මෙලනින් නිෂ්පාදනය සිදුවේ. ඒ නිසා අපට තලෙළු හමක් ලැබී ඇත්තේය.   


එහෙත් මෙම තලෙළු බව වෙනස් කර හම සුදුකර ගැනීම සඳහා භාවිත කරන ඇතැම් ක්‍රීම් වර්ගවල මකරි (රසදිය) අඩංගු බව වෛද්‍ය පරීක්ෂණවලින් ඔප්පු වී ඇත්තේය. මේවා ආලේප කිරීම නිසා මෙලනින් නිෂ්පාදනය අවම වන අතර මුහුණේ පැහැය වෙනස් වේ. හම සුදු කිරීම සඳහා සිදුකරන ඇතැම් එන්නත් වලින් ද මෙලනින් නිෂ්පාදනය අවම කරන බව වෛද්‍ය මතය වෙයි.   


මෙම ක්ෂණික රූපලාවන්‍ය විසඳුම් නිසා එවැනි දේ භාවිත කරන අයට දිගුකාලීන වශයෙන් බොහෝ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. එනම් දිගුකාලීන වශයෙන් හම මත පැල්ලම් ඇතිවීම, සම කැසීම, බිබිලි දැමීම. සම තුනී වීම නිසා බාහිර පරිසරයට අධි සංවේදී වීම, සම එල්ලා වැටීම, තරුණ බව අතුරුදන්ව වියළි අවපැහැති බවක් ඇතිවීම ඉක්මනින්ම විෂබීජ ආසාදනය වීම මෙම කෘත්‍රීම රූපලාවන්‍ය සත්කාරවල අයහපත් ප්‍රතිඵලය.   


විශේෂයෙන් කලා ක්ෂේත්‍රයේ තරුණියෝ මේ පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව ඉක්මනින්ම හම පැහැපත් වීමට හා සිය සිරුරේ හැඩය වෙනස්කර ගැනීමට කෘත්‍රීම ක්‍රම අනුගමනය කරති.   


එබැවින් කලා ක්ෂේත්‍රයේ නියැලි ජනප්‍රිය රංගන ශිල්පිණියන් කිහිප දෙනෙකුගේ අදහස් අපි විමසා බැලීමු.  


විනු සිරිවර්ධන   
කාන්තාවක් සුන්දර වෙන්න මොකද කළ යුත්තේ? 

 
අපට කළ හැකි සරලම ප්‍රධානම දේ තමයි නිතර පිරිසිදු ජලය පානය කිරීම, ඊළඟට නැවුම් පලතුරු ආහාරයට ගැනීම, මෙවැනි ස්වභාවික දේවලින් සුන්දරත්වය රැකගන්න පුළුවන්.   
සුදු වෙන්නේ කොහොමද?   


මම නම් සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරනවා. ඒකෙන් තමයි මට අවශ්‍ය බියුටි ට්‍රීට්මන්ට් හම්බවෙන්නේ. ඊට අමතරව විවිධ ආලේපන භාවිතා කරනවා. විශේෂයෙන්ම බුලුවටයන් කියන දේ තමයි ගොඩක් අය සුදුවෙන්න පාවිච්චි කරන්නේ. එය තමයි ඉන්ජෙක්ෂන් වලින් දෙනවා කියන්නේ. දැනට ලංකාවේ බුලුවටයන් තියෙන ප්‍රඩක්ට් එකක් තමයි ප්‍රිඩියම්. එය වෛද්‍යවරු අනුමත කළ එකක්. එය සුදුවෙන්න කැමැති අයට පාවිච්චි කරන්න පුළුවන්.  


ශරීරයේ හැඩය දිගටම පවත්වාගෙන යන්නේ කොහොමද?   


ඒකට නිසි ව්‍යායාම ගැනීම සහ කෑම පාලනය තමයි කරන්න ඕනැ. රංගන ශිල්පිනියෝ බොහෝ දෙනෙක් මේ ​ෙද්වල් අනුගමනය කරනවා. ඊට අමතරව හොඳ ග්‍රීන් ටී එකක් පාවිච්චි කිරීම හොඳයි.   


සමහරු ශරීරය ලස්සන කරගන්න කෘත්‍රිම ක්‍රම අනුගමනය කරනවා නේද?   


ඔව්. සමහරු එන්නත් පාවිච්චි කරනවා. මම ඒ දේවල් භාවිත නොකරන නිසා වැඩි තොරතුරු දන්නේ නෑ. මම දන්න තරමට එන්නත් කියන්නේ නිතරම යහපත් දෙයක් නෙවෙයි.   
ඒවා තාවකාලිකයි. හේතුව යම් අයෙක් එන්නත් භාවිත කරනවා නම් එය පුරුද්දක් ලෙස දිගටම සිදුකළ යුතුයි. ඊට වඩා හොඳයි වෛද්‍ය උපදෙස් මත රූපලාවන්‍ය සත්කාරවලට යොමුවීම. ඒ වගේම ස්වභාවික දේවල් පාවිච්චි කිරීම.   


මම වැඩිපුරම මගේ පෙනුම පවත්වා ගෙන යන්න කරන්නේ හමට බොහොම වැදගත් වන කහ පැහැති පලතුරු කෑම තුළින්. හිසකෙස්වලට පලා වර්ග ඉතාම වැදගත්. ඒ ආහාර පුරුදු වගේම ඒත් රූගත කිරීම්වලදී ඒවා අතපසු වුණොත් පේෂියා එකෙන් ඒ දේවල් ලබා ගන්නවා.   


මොනවා වුණත් කෘත්‍රිම ක්‍රමවලට වඩා ස්වභාවික පුරුදු සෞඛ්‍ය සම්පන්නයි. ඒ වගේම විශ්වාසද‌ායකයි කියලයි කියන්න පුළුවන්.


මහේෂි මධුශංකා   
ඔයාගේ රූපය රැකගන්න මොකද කරන්නේ?   


ඕනැම කෙනෙක් තමන්ගේ රූපය ගැන ගොඩක් හිතනවා. මම හිතනවා රංගන ශිල්පිනියක් විදියට කැපී පේන්න ඕනෑ. ලස්සනට අඳින්න, පලඳින්න ඕනෑ. ඒ නිසා මමත් විවිධ දේවල් කරනවා. ඒ මොනවද කියලා කියන්න අවශ්‍ය නෑ.   


●සුදු වෙන්නේ කොහොමද?   


ඒක හැමෝම දන්න දෙයක්. හැම රංගන ශිල්පිනියක්ම ඒවා පාවිච්චි කරනවා. ඒ ගැන පත්තරවලට කියන්න අවශ්‍ය නෑ කියලා මම හිතනවා. අනිත් එක ලස්සනට ගෑනු කෙනෙක් ඉන්න ඕනැ කියන එක හස්බන්ට අනුව තමයි තීරණය වෙන්නේ. හස්බන්ට පුළුවන් නම් වයිෆ්ව ලස්සනට තියන්න වියදම් කරන්න. එයාට ඕනැම ප්‍රඩක්ට් එකක් මිලදී ගන්න පුළුවන්. හැමෝම ලස්සනට ඉන්න ආසයි. ඒවා පාවිච්චි කළා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ.   


ඔයා ලස්සන රැකගන්නේ කොහොමද?   


මම කැමැතියි ස්වභාවික දේවල් පාවිච්චි කරන්න. හැමෝම තමන්​ෙග් ශරීර සෞඛ්‍ය ගැන හිතන්න ඕනැ. මට ව්‍යායාම කරන්න තරම් වෙලාවක් නෑ. ඒත් ව්‍යායාම කිරීම, හොඳින් වතුර බීම හොඳයි කියලා තමයි මට කියන්න තියෙන්නේ.


අභිෂේකා විමලවීර   


ඉක්මනින් සුදුවන්නට ඉල්ලන කාන්තාවන් පිළිබඳ රූපලාවන්‍ය ශිල්පිනී අභිෂේකා විමලවීර බී.බී.සී. සේවයට පවසා තිබුණේ මෙවැන්නකි.   


අපි ළඟට එන සේවාද‌ායකගේ තමන් කැමැතිම නිළිය හෝ නළුවාගේ පෙනුම ලබා දෙන්න කියලා ඉල්ලනවා. එහෙම නැත්නම් කොහොම හරි හම සුදු කරලා දෙන්න කියනවා. මේ ක්‍රමවල අහිතකර බලපෑම ගැන අපි විස්තර කිව්වත් ඒ අය ගණන් ගන්නේ නෑ. සමාජ ජාල ඇතුළු සෑම මාධ්‍යකින්ම උදේ ඉඳන් රෑ වෙනකම් ප්‍රචාරය කරන්නේ නොයෙකුත් රූපලාවන්‍ය ක්‍රම ගැන. මේ දේවල් නිසා හම සුදු කරගන්න සහ වෙනස් වෙන්න ඕනැ කියන එක මිනිසුන්ගේ ඔළුවලට කා වැදිලා.   


 එක් කාන්තාවක් පැමිණියා සුදුවෙන ක්‍රීම් වර්ග භාවිත කරලා වරද්දගෙන. ඇගේ මුහුණේ විශාල ගෙඩි තිබුණා. අවසානේ සොයා බලද්දී ඒ ගෙඩි ඇතුළේ පණුවෝ පිරිලා හිටියා. මේ වගේ ඉවක් බවක් නැතුව නොයෙකුත් ක්‍රම භාවිත කරන සමහර අය ටික කාලයකින් හිටියටත් වැඩිය කළුවෙනවා.   


ක්‍රීම් ගෑවට හරි එන්නත් ලබා ගත්තට හරි ඒවා කළුවෙනවා. සම පැහැපත් කරගැනීමේ ස්වභාවික ක්‍රම ඕනැ තරම් තිබෙනවා. රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන පසුපස දුවන්නේ නැතිව තමන්ට හිමි ලස්සන සමට සහ ශරීරයට ආදරය කරලා ඉතා පිරිසිදුව ඉන්න එකයි වැදගත්.   


ඒ ප්‍රවීණ රූපලාවන්‍යවේදිනියකගේ අදහස්ය.   


 අද ප්‍රමිතියකින් තොර බොහෝ ආයතනවල අධික මිල ගණන් යටතේ කෘත්‍රිම රූපලාවන්‍ය සත්කාරක කරන බව නොරහසකි. විශේෂයෙන්ම ඇය පැවසුවා මෙවන් වූ ප්‍රමිතියකින් තොර සත්කාර නිසා අපහසුතාවට පත්වූවෝ බොහෝය.   


විටෙක උසස් අධ්‍යාපනය හැදෑරූ සිසුවියක් සිය අලංකාර කෙස් කලඹට ඩ්‍රිම්රෝස් ප්‍රතිකාරය (හෙයා ට්‍රිට්මන්ට්) කර ගත්තාය. එහෙත් ටික දිනකින් හිස කසන්නට වූ අතර ටික ටික කෙස් ගැලවී යන්නට විය. අවසානයේ ඇය හිසකෙස් බූ ගෑ අතර විග් එකක ආධාරයෙන් එම තත්ත්වය වසා ගත්තාය. මෙවන් වූ අකරතැබ්බවලට මුහුණ දුන් බොහෝ දෙනා ඒ අයහපත් ප්‍රතිඵල අත්කර ගත්තේ ඒ සඳහා විශාල මුදලක් ද වැය කරයි.   


 විශේෂයෙන්ම සාමාන්‍ය කොණ්ඩයක් රීබෝන් කිරීම සඳහා රු. 150,000 ට අධික මුදලක් වැයවන්නේය. කොණ්ඩයේ ටිකක් රිබෝන් කිරීම සඳහා රු. 3000 ට අධික මිලක් වැය වේ. කොණ්ඩයෙන් කුඩා කොටසක් කලර් කිරීම (කෙස් රොදක්) සඳහා රුපියල් 2000 සිට ඒ ඒ නිෂ්පාදන අනුව අධික වූ මිල ගණන්ය. මූණ පේෂල් කිරීම සඳහා රුපියල් 2000 සිට ඉහළ මිල ගණන්ය. මේකප් සඳහා රුපියල් 800 සිට ඉහළ මිල ගණන්ය.   


මීට අමතරව මුහුණ සුදු කිරීම සඳහා රූපලාවන්‍ය ශිල්පීන් විසින් සකසා ගන්නා ලද ක්‍රීම් වර්ග ද වෙයි. මා දැනගත් පරිදි එවැනි තැනක, ආයතනයක් ලේබලයක් නොමැති සුදු කිරීමේ ක්‍රීම් අඩංගු පොඩි ඩප්පියක මිල රුපියල් 3000 කි. ඇතැම් ස්ථානවල මීටත් අධික මිල ගණන්වලට මෙවැනි ක්‍රීම් වර්ග අලෙවි වෙයි.   


මෙවන් වූ හේතු කාරණා නිසාම සල්ලි දීලා සිදුකරන කෘත්‍රිම රූපලාවන්‍ය සත්කාර මිනිස් ජීවිතයට එල්ලකරන බලපෑම කෙබඳු ද යන්න පිළිබඳ කතා කිරීමට කායික හා දියවැඩියා රෝග විශේෂඥ වරුණ ගුණතිලක මහතා සම්බන්ධ කර ගත්තෙමු.   


කායික රෝග හා දියවැඩියා රෝග විශේෂඥ   
වෛද්‍ය වරුණ ගුණතිලක   


අද බොහෝ කාන්තාවෝ රූපය ලස්සන කරගන්න කෘත්‍රිම ක්‍රම අනුගමනය කරනවා. විශේෂයෙන්ම ඇතැම් වෙළෙඳ දැන්වීම් නිසා මුළාවීම සිදුවෙනවා. ‘මම සුදුවුණේ මේවා පාවිච්චි කරලා’ කියලා කියන නිරූපිකාවෝ දැන්වීම්වලට පෙනී සිටින්නේ ස්වභාවික රූපයෙන් නෙවෙයි. ගොඩක් මේකප් කරලා. ඒවාත් සංස්කරණයේදී තව තව වෙනස් කරනවා. මේ දැන්වීම් දකින අය ඒ දිහා බළලා රූපලාවන්‍ය ක්‍රම අනුගමනය කරනවා.   


ඔවුන් මේ දැන්වීම් කලාවේ යථාර්ථය තේරුම් ගත යුතුයි. විශේෂයෙන්ම බටහිර රටවල නොයෙකුත් වෛද්‍ය පර්යේෂණ කර සමහර රසායනික හා සුවඳ වර්ග හමට අහිතකර බව තහවුරු කරලා තියෙනවා. ඒවා අඩංගු නිෂ්පාදනත් තහනම් කරලා තිබෙනවා. ඒත් ලංකාවේ ඉන්න තරුණ වැඩිහිටි කාන්තාවන්ට ඒ අය භාවිත කරන රූපලාවන්‍ය ක්‍රමවල විද්‍යාත්මක පැතිකඩ ගැන ඇති දැනුම අඩුයි.   


 බොහෝ දෙනෙක් ඉක්මනට ලස්සන වෙන්න රූපලාවන්‍යගාරවලට යනවා. ඒවායේ ගාන ක්‍රීම් වර්ගවල ප්‍රමිතිය හා ගැළපෙන හැටි කොහොමද කියලා දන්නේ නෑ. ​ෙබාහෝ තැන්වල මකරි (රසදිය) අඩංගු ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. එයින් කරන්නේ හම පුච්චලා ඉක්මනින් සුදු කිරීම.   


 මේවා​ෙයහි නියමිත ලේබලයක් නෑ. නිෂ්පාදිත ආයතනය, අඩංගු ද්‍රව්‍ය, කල් ඉකුත්වන දිනය යන කිසිදු තොරතුරක් නොදැනයි මේවා භාවිත කරන්නේ.   


ස්වභාවික හමේ ආරක්ෂාවට නිෂ්පාදනය වන මෙලනින් තත්ත්වය පාලනය කිරීම සිරුරට අහිතකරයි. ඉන් බොහෝ අහිතකර ප්‍රතිඵල අත්වෙන්න පුළුවන්. සමහර විට පිළිකා තත්ත්ව දක්වා එය වර්ධනය විය හැකියි.   


මීට අමතරව රසදිය නිසා දියවැඩියාව, වකුගඩු, ස්නායු, අක්මා ආදී රෝග තත්ත්වයන් ද උද්ගත විය හැකියි. මේවා දිගුකාලීන ප්‍රතිඵල.   


යම් අයෙකුට තමන් ඉක්මනින් සුදුවෙන්න කියලා ගාන ක්‍රීම් වර්ග ප්‍රමිතිගත ද ඇඟේ හැඩය වෙනස්කර ගැනීමට ගන්නා එන්නත් සෞඛ්‍යට බලපාන්නේ කොහොමද? ඒවා ශරීර ගතකිරීම සුදුසුද? ඒවාහි අන්තර්ගතය මොනවාද ආදී තොරතුරු ද දැනගැනීමට අවශ්‍ය නම් අන්තර්ජාලය හරහා හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හරහා ඒ දැනුම ලබාගත හැකියි.   


සමහර පිළිගන්නා ආයතනවලින් නිකුත් කරන සෞඛ්‍ය තොරතුරු සහිත වෙබ් අඩවිවල භාවිතයට නුසුදුසු තහනම් කරන ලද රසායනික මොනවාද කියලා සඳහන් කරලා තිබෙනවා.   


 මේ දැනුම නූතන සමාජයට අවශ්‍යයි. නැතිනම් සිදුවෙන්නේ නොදැනුම්වත්කම නිසා සල්ලිත් දීලා දිගුකාලීන වශයෙන් රෝග රාශීයකුත් වැළඳ ගැනීමයි.   

 

 


සටහන - කුමාරි හේරත්