සුදු ජාතිවාදයට එරෙහිව ඇමෙරිකාවේ කළු විරෝධය


පොලිස් රථයකට ගිනි තබමින්... 

 

 

මේ ලෝකය මනුෂ්‍ය අපට පමණක් අයිති නැති බව ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ හෝ අප වටහා ගත යුතුය. ජීවත් වෙන ලොකු කුඩා සෑම ජීවියකුටම මේ ලෝකය අයිතිය. මිනිසා නමැති සත්වයා සහජීවනයෙන්, බෙදාහදා ගනිමින් ජීවත් වීමට පුරුදු වී නැත. ‘කොවිඩ් 19’ වසංගතය හමුවේ අසරණ වුවත්, එසේ කිරීමට උත්සාහ ගන්නේ ද නැත. ‘කොවිඩ් 19’ හෝ වේවා ඊටත් වඩා බිහිසුණු වසංගතයක් හෝ වේවා ලොව වැනසුවත්, මනුෂ්‍ය අපගේ සැබෑ ස්වරූපය කිසි දිනෙක වෙනස් නොවෙයි.   


ඇමෙරිකාව ගැන කතා කිරීමට පෙර යමක් කිවයුතුය. ‘කොවිඩ් 19‘ වයිරස වසංගතය හමුවේ නිරෝධායන නීති ක්‍රියාත්මක කරන ලෙසත් සමාජ දුරස්ථභාවය රැකගනිමින්, මුහුණු ආවරණ පලඳින ලෙසත් අප රටේ සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබියදීත්, අටළුගම වැසියන් ඊට කන් නොදෙන බව පසුගිය දා ඉතා පැහැදිලිව පෙනුණි. ‘එකක් මතකතියාගන්න ඕනෑ. මේ රටේ පෞද්ගලික සිවිල් නීති තිබෙනවා. ඒත් සෞඛ්‍ය නීතිය, නිරෝධායන නීතිය සහ අපරාධ නීතිය සම්බන්ධයෙන් හැමෝටම ඇත්තේ එක නීතියයි. කුමන ආගමකට හෝ කුමන ජනවර්ගයකට අයිති වුවත්, කුමන ප්‍රදේශයක ජීවත් වුවත් මේ නීතිය කාටත් එකයි.’ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙසේ අවධාරණය කළේ අටළුගම සිදුවුණු එම සිදුවීම සම්බන්ධයෙනි. 
වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා, සුළුජාතීන්ට සිදුවන අඩන්තේට්ටම් සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකාවට ද විටින් විට චෝදනා එල්ල වෙයි. ඒ සම්බන්ධයෙන් පුවත් පළ වෙයි. පසුගිය 20 වැනිදා අල් ජසීරා පුවත් වෙබ් අඩවියේ පළ වූයේ ‘කොරෝනා වසංගතය මැද ඉන්දියාව සේම ශ්‍රී ලංකාව ද මුස්ලිම් වැසියන් අපකීර්තියට පත්කිරීමට උත්සාහ ගන්නා බවට චෝදනාවකි. සාමකාමී සමාජයක් තුළ නැති ප්‍රශ්න ඇති කිරීමට මෙවැනි චෝදනා ඉවහල් වෙයි. අනුන්ගේ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කනස්සල්ලෙන් පසුවන ලෝක පොලිස්කාරයා ඇමෙරිකාවය. ඒත් ඇමෙරිකාවේ සිදුවන ‘වාර්ගික පොලිස් ප්‍රචණ්ඩත්වය’ ට තවමත් විසඳුමක් ලැබී නැති බව එරටින් වාර්තා වෙන පුවත් අනුව අපට පෙනෙයි. 


පසුගිය දින කීපය පුරා ළැව්ගින්නක ස්වරූපයෙන් ඇමෙරිකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ලක් පැතිරෙන්න පටන් ගත්තේය. එම විරෝධතා ආරම්භ වූයේ මිනිසෝටා ජනපදයේ මිනියැපොලිස් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. ඒ, කොවිඩ් 19’ වයිරසයෙන් ඇමෙරිකාව දරුණු ලෙස බැටකද්දීය. තවමත් ‘කොවිඩ් 19’ වයිරස වසංගතය හේතුවෙන් වැඩිම මරණ සහ වැඩිම ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. දහස් ගණනක් ඇමෙරිකානුවෝ එකාමෙන් විරෝධතාවලට එක් වූහ. විරෝධතා මර්දනයට බලධාරීන් ගත් ක්‍රියා මාර්ග කෙරෙහි ජනතාව තුළ පිළිකුලක් ඇති කළේය. මෙසේ විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිළෙන්න වූයේ එක් ඇමෙරිකානුවකු නිසාය. අප්‍රිකා ඇමෙරිකා කළු ජාතිකයකු නිසාය. 


මැයි 25 වැනිදා, ඇමෙරිකාවේ මිනසෝටා ජනපදයේ මිනියැපොලිස් නගරයේ, පවුඩර්හෝන් පළාතේ, ආහාර අලෙවිසලකින් මිනියැපොලිස් පොලිසියට ඇමතුමක් ලැබුණි. අලෙවිසැලේ හිමිකරු පැමිණිලි කළේ එහි පැමිණ සිටින පුද්ගලයකු සතුව ඇමෙරිකන් ඩොලර් 20 ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් ඇති බවටය. පොලිස් නිලධාරීන් සිවුදෙනෙක් එම ස්ථානයට වහා පැමිණියහ. පොලිස් නිලධාරීන්, ව්‍යාජ මුදල් නෝට්ටු ඇතැයි කී කළුජාතිකයා අත්අඩංගුවට ගත්තේ ය. මේ අප්‍රිකන් ඇමෙරිකන් කළුජාතිකයා ජෝජ් ෆ්ලොයිඩ් ය. 


මාංචු දැමීමෙන් පසු පොලිස් නිලධාරීන් ඔහු බිම පෙරළා ගත්තේය. ජෝජ් ෆ්ලොයිඩ් සිටියේ නිරායුධවය. පොලිස් නිලධාරීන් සිවු දෙනාගෙන් කෙනකු වූ සුදු ජාතික පොලිස් නිලධාරි ඩෙරික් චෝවින් පහත් වී, මුණින් අතට බිම දිගා කළ ෆ්ලොයිඩ්ගේ ගෙලෙහි දකුණු පැත්ත, එක් දණහිසකින් තද කර ගත්තේය. මිනිත්තු 8 ක් සහ තත්ත්පර 46 ක් මෙසේ පොලිස් නිලධාරි ඩෙරික් චෝවින්, ජෝජ් ෆොයිඩ්ගේ ගෙල තද කරගෙන සිටියේය. 


ඩෙරික් චෝවින්, සමඟ එතැනට පැමිණ සිටි සෙසු පොලිස් නිලධාරීන් වූයේ ටෝ තාඕ, ජේ. ඇලෙක්සැන්ඩර් සහ තෝමස් ලේන් ය. චෝවින්, ජෝජ් ෆ්ලොයිඩ්ගේ ගෙල තද කරගෙන සිටිද්දී, ජේ. ඇලෙක්සැන්ඩර්, ෆ්ලොයිඩ්ගේ පිට තද කරගෙන සිටි අතර, තෝමස් ලේන් ෆ්ලොයිඩ්ගේ පාදවලින් අල්ලා ගෙන සිටියේය. පොලිස් නිලධාරී ටෝ තාඕ ඒ අසලට වී බලා සිටියේය. පොලිස් නිලධාරීන් පසුව කියා සිටියේ අත්අඩංගුවට ගැනීමට පැමිණි අවස්ථාවේදී, ෆ්ලොයිඩ් ඊට විරෝධය දැක්වූ නිසා ඔහු යටත් කර ගැනීමට සිදුවුණු බවය. කෙසේ නමුත් අසල අවන්හල්වල සීසී ටීවී කැමරා දසුන් අනුව හෝ පොලිස් නිල රථය ඉදිරිපස කැමරාවේ සටහන් වූ දසුන් අනුව හෝ එවැන්නක් පෙනෙන්නට නැත. 


පොලිස් නිලධාරීන්, ෆ්ලොයිඩ් යටත්කරගෙන සිටින අයුරු අසල පදික වේදිකාවේ සිටි බොහෝ දෙනකු ඔවුන්ගේ ජංගම දුරකතනවලින් රූගත කරන්න විය. ‘මට හුස්ම ගන්න අමාරුයි. මා මරන්න එපා’ යැයි ෆ්ලොයිඩ් කෙඳිරි ගාද්දී, අවට සිටි පිරිස පොලිසියට විරෝධය දක්වන්න වූහ. ඒ අනුව, පොලිසිය සහ අසල සිටි පිරිස අතර බහින්බස්වීමක් ද හටගත්තේය. මේ සියල්ල දුරකතනවලින් රූගත කළ වීඩියෝ දසුන්වල පැහැදිලිව පෙනෙන්නට තිබේ. 


හුස්මගන්නට අමාරුයි කී, 46 හැවිරිදි ජෝජ් ෆ්ලොයිඩ් එතැනදීම මියගියේය. මරණ පරීක්ෂණයක් පැවැත්විණි. මරණයට හේතුව හුස්ම හිරවීමක් නොවන බව මරණ පරීක්ෂකගේ නිගමනය විය. ජෝජ් ෆ්ලොයිඩ් ට වෙනත් රෝගී තත්ත්වයක් තිබෙන්න ඇති බවත්, අත්අඩංගුවට ගැනීමේ දී එම රෝගී තත්ත්වය නිසා මරණය සිදුවන්න ඇති බවත් මරණ පරීක්ෂණ වාර්තාවේ සටහන් විය. 


මේ අතර, කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ්ගේ ගෙල ඩෙරික් චෝවින් දණහිසෙන් තද කරගෙන සිටින අයුරු සහ තමන්ට හුස්ම ගන්න අමාරු යැයි ෆ්ලොයිඩ් පවසන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමින් තිබුණි. ඒවා ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේ ද ප්‍රසිද්ධ විය. ඇමෙරිකාවේ පමණක් නොව ලොව පුරා ප්‍රසිද්ධ විය. ඒ අවස්ථාව වෙනවිට ෆ්ලොයිඩ්ගේ පවුලේ නීතිඥවරුන් මැදිහත් වී ෆ්ලොයිඩ් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලන්න විය. ස්වාධීන මරණ පරීක්ෂණයකට අවසර දෙන්නැයි ද ඔවුහු ඉල්ලා සිටියහ. 


සිදුවීමට අදාළ වීඩියෝ දසුන් සමාජ මාධ්‍ය ඔස්සේත් ඇමෙරිකන් පුවත් නාළිකා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වූයේ මුළු ඇමෙරිකාවම කලඹමිනි. ඒ සමඟ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් සිවුදෙනා වහා සේවයෙන් නෙරපා දැමීමට පොලිස් බලධාරීන් කටයුතු කළේය. මිනියැපොලිස් පොලිස් දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව, සිද්ධිය සම්බන්ධයෙන් එෆ්.බී.අයි. පරීක්ෂණයක් ඇරැඹිණි. මේ අතර, මිනසෝටා ජනපද අපරාධ විමර්ශන ඒකකය වෙනම පරීක්ෂණයක් ආරම්භ කළේය. 


සේවයෙන් නෙරපා දැමුවත්, මුලදී 44 හැවිරිදි ඩෙරික් චෝවින් හෝ සෙසු පොලිස් නිලධාරීන් තිදෙනා හෝ අත්අඩංගුවට ගැනීමක් සිදුවූයේ නැත. මිනියැපොලිස් නුවර කේන්ද්‍රකොට ගනිමින් විරෝධතා ඇරැඹුණේ ඒ නිසාය. විරෝධතා ඇරැඹුණේ 26 වැනිදා ය. විරෝධතා සාමකාමී විය. බලධාරීන් දිගින් දිගටම නිහඬව සිටිද්දී, විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත්තේය. අප්‍රිකන් ඇමෙරිකන් කළුජාතිකයන් පමණක් නොව, ඇමෙරිකන් සුදු ජාතිකයන්, ඇමෙරිකන් ආසියානුවන් ද විරෝධතා සඳහා එක් වූයේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස තර්ජනය මැදය. මාස්ක් පැලැඳ සිටියත්, සමාජ දුරස්ථභාවයක් පෙනෙනතෙක්මානයක නොවීය. කලහකාරී පිරිස් කඩසාප්පු ගිනි තැබූහ. කොල්ලකෑමට පටන් ගත්හ. රජයේ ගොඩනැගිලි සහ වාහනවලට ප්‍රහාර දුන්හ. පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කරමින් කලහකාරීන් විසුරුවා හැරීමට උත්සාහ ගැනීම ගින්නට පිදුරු දැමීමක් විය. පොලිස් ස්ථාන දෙකක් ගිනි තැබුණි. මිනියැපොලිස් යුදපිටියක් බවට පරිවර්තනය විය. 
මිනියැපොලිස් විරෝධතා උත්සන්න වෙද්දී, මිනසෝටා ආණ්ඩුකාර ටිම් වොල්ට්ස් මිනියැපොලිස් නගරයට ඇඳිරි නීතිය පැනැවීය. හමුදාව කැඳවීය. හදිසි ආපදාවකදී සහායට පැමිණෙන මෙම හමුදා සේනාංක හැඳින්වෙන්නේ ජාතික ආරක්ෂක බළකාය (නැෂනල් ගාඩ්) යන නමිනි. ගැටුම් උත්සන්න වෙද්දී, පාලනය කිරීමට නොහැකි වෙද්දී, ඩෙරික් චෝවින් අත්අඩංගුවට ගැනුණි. ඒ, පසුගිය 29 වැනිදාය. පොලිස් අත්අංඩගුවේ සිටිද්දී ජෝජ් ෆ්ලොයිඩ් මරණයට පත් වීම සම්බන්ධයෙන් ඩෙරික් චෝවින් ට මිනීමැරුම් චෝදනා එල්ල විය. මිනසෝටා නීතිපති කීත් එලිසන් මාධ්‍ය හමුවේ කියා සිටියේ සෙසු පොලිස් නිලධාරීන් තිදෙනාට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන බවය. පොලිස් නිලධාරී ඩෙරික් චෝවින්ගේ බිරිඳ මිකෙලී ය. මැය මිනෙසෝටා ජනපද රූපසුන්දරිය ලෙස කිරුළු පැලැඳි සුරූපිනියකි. තම සැමියාගේ ක්‍රියාකලාපය සමාජ මාධ්‍ය ඔස්සේත් පුවත් නාළිකා ඔස්සේත් දුටු මිකෙලී චෝවින් කම්පනයට පත් වූවාය. සිදුවීම පිළිකුල් කරමින්, ජෝජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ අයට සිය කනගාටුව පළ කරමින්, මිකෙලී චෝවින් සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කළාය. 


ජෝජ් ෆ්ලොයිඩ්ට අත්වුණු ඉරණම 2014 දී එරික් ගානර් නමැති අප්‍රිකන් ඇමෙරිකන් කළු ජාතිකයාට සිදුවුණු බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සිහිපත් කර තිබේ. නිව්යෝක් පොලිස් නිලධාරීන්ගේ අඩන්තේට්ටම් මැද එරික් ගානර් මියගියේ ‘මට හුස්ම ගන්න බැහැ’ යැයි එකළොස් වතාවක් කීමෙන් පසුවය. එරික් ගානර්ගේ මරණය සිදුවූයේ නිව් යෝර්ක් ස්ටැටන් දූපතේය. ජෝජ් ෆ්ලොයිඩ්ට සාධාරණයක් ඉල්ලමින් මේ වනවිට ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා රැලිවලට තේමා වී ඇත්තේ ‘මට හුස්ම ගන්න බැහැ’ සටන් පාඨයයි. ඇමෙරිකාවේ සුදු ජාතික පොලිස් නිලධාරීන් බොහොමයක් අප්‍රිකන් ඇමෙරිකන් කළු ජාතිකයන් දෙස බලන්නේ ඔවුන් අපරාධකරුවන් සේ සලකමිනි. ඇමෙරිකාවේ යථාර්ථය එයයි. ධනය සහ ආදායම බෙදීයෑම මත ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින්නේ සමාජ විෂමතාවකි. මේ නිසා කළු ජාතිකයෝ නිරන්තරයෙන් කෙනෙහිලිකම්වලට ලක් වෙති. එවැනි තත්ත්වයක් යටතේ පළමු කළු ඇමෙරිකානුවා ලෙස ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනපති පුටුවට යෑම ඓතිහාසික සිදුවීමකි. 2013 සිට 2019 තෙක් කාලයේ ඇමෙරිකාව තුළ පොලිසිය අතින් ඝාතනය වූ පුද්ගලයන් ගණන 7,668 කි. එයින් බහුතරය කළු ජාතිකයන් ය. 


ඇමෙරිකක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සුදු අන්තවාදී අදහස් ඇත්තෙකි. එය ඔහු ප්‍රසිද්ධියේ පවසයි. මිනියැපොලිස් සිදුවීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් අදහස් දැක්වීය. ජෝජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ පවුලේ අය සමඟ තමන් දුරකතනයෙන් කතා කළ බවත්, ඔවුන්ට කනගාටුව පළ කළ බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේ පසුගිය 29 වැනිදා ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදීය. ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සමාවක් නොලැබෙන බව මාධ්‍ය හමුවේ ට්‍රම්ප් අවධාරණය කළේය. 


එසේ අවධාරණය කිරීමෙන් පසු, මිනියැපොලිස් නගරයේ විරෝධතාකරුවන්ට ජනපති ට්‍රම්ප් තර්ජනයක් කළේය. ඒ, ට්විටර් පණිවුඩයක් හරහාය. ‘ජෝජ් ෆ්ලොයිඩ්ගේ මතකයට කැළැලක් කරන්න මේ මැරයන්ට මා ඉඩ තියන්නේ නැහැ. ඒකට ඉඩ දෙන්න මට බැහැ. මා ආණ්ඩුකාර ටිම් වොල්ට්ස් සමඟ සාකච්ඡා කළා. හමුදාවේ සහාය ඔහුට නොඅඩුව ලැබේවි. සාමකාමී අයුරින් සියල්ල විසඳා ගන්න බලන්න ඕනෑ. හැබැයි කඩසාප්පු කොල්ල කෑමට දේපොළ විනාශ කිරීමට පටන් ගත්තොත්, පොලිසිය වෙඩි තියන්න පටන් ගනීවි. මට කරන්න දෙයක් නැහැ’ ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය. ජනපති ට්‍රම්ප්ගේ මෙම ට්විටර් පණිවුඩය ජනතාව කුපිත කරවන්නක් විය. 


මේ අතර, ජෝජ් ෆ්ලොයිඩ්ගේ සොහොයුරු පිලිනෝයිස් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ ජනපති ට්‍රම්ප් තමන් සමඟ දුරකතනයෙන් කතා කළ නමුත් ජනපතිවරයා තමන්ට කිසිවක් කීමට ඉඩක් නොදුන් බවය. ජනපති ට්‍රම්ප් ඔහුගේ අදහස් ප්‍රකාශ කළ නමුත් මියගිය සොයුරු ජෝජ් සම්බන්ධයෙන් තැකීමක් නොකළ බවත්ය. 


මිනියැපොලිස් නුවරින් ඇරැඹි විරෝධතා වොෂින්ටන් අගනුවරත්, ධවල මන්දිරයටත් පැතිර ගියේය. ධවල මන්දිරය ඉදිරිපිට කලහකාරීව හැසිරුණු පිරිස් ඊට කඩා වැදීමට පවා උත්සාහ කළේය. එම උත්සාහය ව්‍යර්ථ කිරීමට ජනපති ආරක්ෂක අංශය සහ පොලිසිය සමත් විය. කෙසේ නමුත් වැඩි ආරක්ෂාවක් සඳහා ජනපති ට්‍රම්ප් ධවල මන්දිරයයේ භූගතව පිහිටි බංකරයට ගෙනගොස් සඟවා තැබීමට සීක්‍රට් සර්විස් හෙවත් ජනපති ආරක්ෂක නිලධාරීහු කටයුතු කළහ. විරෝධතාකරුවන් විසුරුවාහරිනතුරු ට්‍රම්ප් සියලු සැප පහසුකම්වලින් සමන්විත එම බංකරයේ සැඟවුණු බව අනාවරණය කළේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතය. ධවල මන්දිරය ඉදිරිපිට හටගත් ගැටුම්වලින් ජනපති ආරක්ෂක අංශ සාමාජිකයෝ 50 දෙනකු තුවාල ලැබූ බව ද වාර්තා විය. 


ජෝජ් ෆ්ලොයිඩ් මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් ඇරැඹි විරෝධතා වොෂින්ටන් අගනුවරට, නිව් යෝර්ක් නුවරට පැතිරෙද්දී, ප්‍රධාන නගර කීපයක විරෝධතාකරුවන්ට පොලිසියේ සහාය හිමිවිය. පොලිස් නිලධාරීන් විරෝධතාකරුවන් අසලට පැමිණ එක් දණහිසක් පහත් කරමින් ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම හෙළා දැකීමට කටයුතු කළහ. එමෙන්ම, ජෝජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් සාධාරණයක් ඉටුවිය යුතු බව ඔවුහු පැවැසූහ. ඒ, අනුව, පැවැත්වුණු එම විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත්තේ නැත. සාමකාමී ලෙස අවසන් විය. පොලිසිය කළේ නුවණැති ක්‍රියාවකි. මේ අතර, ඇමෙරිකාවේ ජෝජ් ෆ්ලොයිඩ් මියයෑමේ සිදුවීම ජාත්‍යන්තරයට ද ගියේය. ලන්ඩන්, බර්ලීන් සහ කෝපන්හේගන් යන නගරවල ද ‘කොවිඩ් 19’ තහංචි මැද විරෝධතා පැවැත්විණි. ඒ, ඇමෙරිකාවේ විරෝධතා දක්වන පිරිසට සහාය පළ කිරීමක් ලෙසින් යැයි පැවැසිණි. 

 

 

ලුසිත ජයමාන්න 
විදෙස් මාධ්‍ය ඇසුරිනි