සුජාතාගේ මිහිරි කටහඬ


සත්සර

 

  • සිංහල ගීත මෙන්ම ද්‍රවිඩ ගීතත් ඉස්ලාම් ආගමික ගීතත් සුජාතා ගායනා කළා

 

එකම දිනක දී චිත්‍රපට හතරක ගීත හතරක් පටිගත කළ එකම ගායිකාවක ගැන ඔබ අසා තිබුණාද? ඇයගේ පළමු ගීතය කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ පටිගත කළ අතර, දෙවෙනි ගීතය දවල් කාලයේ දී හැඳල විජය චිත්‍රාගාරයේදීද, තුන් වැනි ගීතය කැලණියේ සරසවි චිත්‍රාගාරයේද, හතර වැනි ගීතය කිරුළපනේ ලංකා චිත්‍රාගාරයේද පටිගත කළ වාර්තාව මෙතෙක් කිසිදු ගායකයකුට හෝ ගායිකාවකට බිඳ දැමිය නොහැකි වූ තත්ත්වයක් බව ඇය කියා තිබුණාය. 1975 වසරේ ‘හරියට හරි’’ චිත්‍රපටය හරහා චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසි ඇය ලංකාවේ පළමු චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරියද වූවාය.   


චිත්‍රපට 352 ක පමණ ගී ගැයූ ඇය සිංහල ගීතවලට අමතර ද්‍රවිඩ, හින්දි හා ඉස්ලාම් ගීත ගැයූ අතර ලංකාවේ නිෂ්පාදිත ද්‍රවිඩ චිත්‍රපට 99% ක වාගේම ගී ගයා ඇත්තේ ඇය ය.   
මේ ගායිකාව මුදුන්කොටුව මුණසිංහ ආරච්චිලාගේ සුජාතා. 1942 මැයි 12 වෙනිද‌ා මාතලේ රත්තොට දී උපත ලැබුවාය. ඇගේ පියාගේ නම මුදුන්කොටුව මුණසිංහ ධර්මද‌ාසය. ඔහු රැකියාව කළේ පොලිස් සාජන්ට්වරයෙකු ලෙස රථවාහන අංශයේය. ඔහුට ‘පෙරේරා’ කියන වාසගමක් තිබී නැත. එවකට සිටි ඉංග්‍රීසි ජාතික උපපොලිස් අධිකාරිවරයෙක් (ප්‍රින්ඩ්ලි මහතා) මෙසේ කියා ඇත. ‘‘තමාගේ නම අද සිට ‘පෙරේරා’ කියා වෙනස් කර ගන්නවා. ඒක තමාට හොඳට ගැළපෙනවා.   


''From to day you Have to change to sergeant Perera. Not Darmadasa''   


සුජාතාගේ මව විමලකාන්තාය. ඇය ටවර් හෝල් නිළියක් මෙන්ම චිත්‍රපට නිළියකි. බලගතු කාසිය, රොඩී කෙල්ල, හෙලදිව පුරඟන, බිහිසුණු රාත්‍රිය ආදි නාට්‍යවල රඟ පෑ ඇය දිව්‍ය ප්‍රේමය, හිතක පිපුණු මල්, කළ කළ දේ පළ පළ දේ, වනමල චිත්‍රපටවලද රඟපෑවාය. ඇගේ සැමියාද ටවර් නළුවකුද දක්ෂ තබ්ලා වාදකයකුද විය. සොහොයුරු සොහොයුරියන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වැන්නා සුජාතා ය. සුජාතා අධ්‍යාපනය ලැබුවේ කැලණියේ වෙදමුල්ල මහා විද්‍යාලයෙනි.   


සුජාතා කලාකාමී පවුලකට අයිති වූයේ මාපියන්ගේ ආභාසයෙනි. ඇගේ වැඩිමහල් අක්කා ලලිතා ‘‘ප්ලෝරි දේවි’’ නමින් ප්‍රකට වූ ටවර් නිළියකි. අයියා ධර්මසිරි සංගීත උප දේශකයකු වගේම දක්ෂ තබ්ලා වාදකයෙකි. නංගී රංජනී ගායිකාවක් වගේම නැටුම් ගුරු උපදේශිකාවකි. බාල මල්ලී සුසිල් පෙරේරා බටහිර ඩ්‍රම්ස් වාදකයෙකි.   


කලාකාමී පවුලක උරුමය විදහාපාමින් වයස අවුරුදු නවයේදී ‘විදුර නාඩගමේ’ ළමා චරිතයක් නිරූපණය කළ සුජාතා, සිහින මැව්වේ හෙදියක්වීමටය. ගායිකාවක් වූයේ දොළොස් හැවිරිදිව සිටියදීය.   
‘මට මුල්ම ගීතය ගයන්න අවස්ථාව ලැබුණේ ඒ.ජේ. කරීම් නම් විශිෂ්ට ක්ලැරිනට් වාදකයා නිසා. ඔහු ගැයූ ‘සාධු සිරීපා’ ගීතය එදා ජනප්‍රියයි. තාත්තාගේ හොඳ මිත්‍රයෙකු වූ ඔහු මාව මුලින්ම ගුවන් විදුලියට එක්ක ගියා.   


1950 ගුවන් විදුලියේ කොළඹ සේවයේ විචිත්‍රාංග වැඩ සටහනට මා ගැයූ මුල්ම ගීතය වූ ‘මල් සේ දිලේවා’ ගීතයේ ගී තනුව හා සංගීතය කරීම් මාස්ටර්ගේ. පද රචනය සිසිර කුමාර මානික්ක ආරච්චිගේ. 1954 මම ගුවන් විදුලියේ වෙළෙඳ අංශයේ ‘ආධුනික පැය’ ප්‍රසංගයේ ගී ගයා මුල් තැනට පත් වුණා. ඊළඟ පියවර ගුවන් විදුලියේ ‘ජයග්‍රාහී පෙළපාළියේ’ ගීතයක් ගයා මුල් තැන දිනීම. මේ ගීතය මගේ ගායන ජීවිතයේ සුවිශේෂි මං සලකුණක්.   
‘‘සාධු දන්ත දා   


වඳිමි සාර ශාන්ති ශ්‍රී පතලා’’   


මේ ගීතයේ පද රචනය චන්ද්‍රසේන වීරසේකර හෙවත් ගිල්බට් මාස්ටර්ගේ. සුජාතා අතීතය මතක් කරමින් කීවාය.   


‘සාධු දන්ත ද‌ා’ ගීතය සුජාතාට වාසනාව ගෙන ආ ගීතයක් විය. ඇය චිත්‍රපට පසුබිම් ගායිකාවක් වූයේ අහම්බෙනි. ‘සාදු දන්ත දා’ ගීතය ඇසූ ආර්. මුත්තුසාමි නම් චිත්‍රපට අධ්‍යක්ෂවරයා ගීත රචක බෙනඩික් ප්‍රනාන්දු මාස්ටර් හා අධ්‍යක්ෂ එල්.එස්. රාමචන්ද්‍රන් සමඟ සුජාතා එවකට පදිංචි කැලණියේ ගෙදර ආහ. මේ 1957 වසරේදීය. සුජාතාගේ මුල්ම චිත්‍රපට ගීත ගැයුවේ නොයෙල් ගුණරත්න සමගය. ‘සුරතල් මගෙ පොඩි මුව පැටියා’ මේ ගීතයයි. මුත්තුසාමි මාස්ටර්ගේ ප්‍රියතම ගායිකාව සුජාතා බව ඇය ගැයූ චිත්‍රපට ගී නාමාවලිය දෙස් දෙයි. ඔරුපැද පැද කිරිමූදේ (සිකුරු තරුව), ඔංචිල්ලා තොටිලි කොයින්දෝ (සූර චෞරයා), ආදරේ මන්දිරේ සඳළු තල එළිවෙලා. අතන ලගී - මෙතන ලගී (යටගිය දවස) නිල්වලා පෙත්තේ ජෝති පාල සමඟ, මධුර යාමේ සුහද සාමේ - මුත්තුසාමි සමඟ (සිතක මහිම) සාගර රැජිනට ආදරේ කියා. මල්ලිකා කහවිට සමග - සුවබර සුන්දර දෙපසේ, සැතපෙන කල විඳ නිදි සුවේ. පියා සලන ඉගිල්ලී, බෙග් සමඟ (අල්ලපු ගෙදර), ඔබ පාන ඔය බැල්මේ. මුත්තුසාමි සමඟ. මල්සරාට ප්‍රේම ලෝකෙ, චන්ද්‍රාමෙ රෑ පාය ආවා - ජෝතිපාල සමඟ) මේ අතර කැපී පෙනේ. පී.එල්.ඒ. සෝමපාල, ඇම්.කේ. රොක්සාමි, ෂෙල්ටන් ප්‍රේමරත්න, සිසිර සේනාරත්න ආදින්ගේ ගී තනු වෙනුවෙන් ‘රන්තරු පුන් සඳ’ පුෂ්ප මකරන්දය මාගේ (නාරද දිසාසේකර සමඟ), සුපුන් සඳක් පායලා මිල්ටන් පෙරේරා සමඟ (සිහින හතක්), මල් සුගන්දේ (කිංකිණිපාද), හද පිපුණා හද සංතානේ හරූන් ලන්ත්‍රා සමඟ (සීගිරි කාශ්‍යප), දුර දිග නොබලම යනවා, තරුණ නෙත් ජය මංගල්ලේ (ජෝතිපාල සමඟ), (ඇතුළුවීම තහනම්), ජීවන විල මැද (මහ රෑ හමු වූ ස්ත්‍රිය), ආනන්ද මේ රෑ හරි හැඩයි. ලන්ත්‍රා සමග (සුදු දුව), වනමලට ආසාවේ ජෝතිපාල සමග (හිතට හිත), සඳ රැජිනියනේ (සැකය), සිනාරැලි නැංවී ආවා දෝ (ස්වීප් ටිකට්) ගීත ආදියයි.   
මේ ගීත ගැයීමේදී සිදුවූ අත් දැකීම් රැසක් සුජාතා සතුව ඇත. ඉන් පළමු ​ෙකාටම සුජාතා විස්තර කළේ ‘පරසතු මල්’ චිත්‍රපටයේ ඇය ගැයූ පරසතු මල් සුවඳ අතීතේ ගීතය සිහි කරමිනි.   


පරසතු මල්වල සුවඳ අතීතේ   
පරසතු මල් ළඟ විසිර ගියාවේ   
දුවගේ මුවින් එන කැකුළු සිනාවේ   
එළිය මැදින් හෙට දවස උදාවේ   


‘මේ ගීතය 1965 දී පටිගත කළේ කොල්ලුපිටියේ සරසවි චිත්‍රාගාරයේදී. සංගීත අධ්‍යක්ෂවරයා ලයනල් අල්ගම. ගීතය ලිව්වේ මහගමසේකර. එදා මේ ගීතය සඳහා වාදක මණ්ඩලය 35 ක් පමණ සහභාගි වුණා. මට එදා උගුරේ සෙම්ගෙඩි ඇවිල්ල ගීතය කිව්වේ හරිම අපහසුවෙන්. සෙම්ගෙඩිවලට බෙහෙත් අරන් ගිහින් සින්දුව කිව්වට මගේ හිතට හරි නෑ. හැමෝම කිව්වා ගීතය හොඳයි ‘‘ඕකේ’’ කියලා. මම ලයනල් අයියා ගාවට ගිහිල්ලා කිව්වා අද මම මේ ගීතය හරියට කිව්වේ නෑ, මේක ආයිත් දවසක පටිගත කරමු කියලා. ඒ ගීතය මගේ ප්‍රියතම ගීතයක්. ලයනල් අයියා ගීතය නිර්මාණ කිරීමේදී ස්වරංජනී රාගයෙන් පටන් අරගෙන කමාජ් රාගයෙන් අවසන් කළ ගීතයක්. එද‌ා ගීත රචක මහගමසේකරත් ඇවිත් හිටියා. මට එක පාරටම මතක් වුණා මේ ගීතය ලයනල් අයියාගේ ගෙදර පුහුණු වෙන වෙලාවට එයාගේ නෝනා ටෙලි​ෙෆා්නය මුර කරනවා එහි හඬ අපේ වැඩේට බාධාවක් වෙයි කියලා. ඒ ගීතයේ ස්වර සංකලනය, මිහිර රසාස්වාදය මා නොඅඩුව ලැබුවා. එදා පටිගත කිරීමට ලයනල් අයියා ස්වර ලිපි ගෙනාවේ මාගලක් දිගට පුල්ස්කැස් කොළවල වම දකුණ වෙන් කරල ලියාගෙන. වාදක මණ්ඩලය කියන්නේ ‘ඔන්න පැදුරක් අරගෙන එනවා’ කියලා. මම ගීතයක් මගේ හිතට හරියන තෙක් කියන ගායිකාවක්. එද‌ා අද වගේ නෙවෙයි ගීතයක ​ෙකාටස්, කොටස් පටිගත කරන්න පහසුකම් තිබුණේ නැහැ. පසු දිනෙක මම ඇවිත් ගීතය ගයනවා කියලා කිව්වත්, නිෂ්පාදක චිත්‍රා බාලසූරිය මට මුදල් ගෙවන්න ආවා. මම කිව්වා ‘ගීතය මම හරියට කිව්වේ නැහැ. මට සල්ලි එපා. අනිත් පාර ආවාම ගන්නම් කියලා.   


දෙවෙනි පාර මම ඒ ගීතය කිව්වේ සෙම් ගෙඩි සනීප වුණාට පස්සේ. මේ ගීතයට වසරේ හොඳම ගායිකාවට හිමි සරසවි සම්මානය ලැබුණා. ගාමිණී ​ෙෆාන්සේකා මියයාමට වසර පහකට පමණ පෙර ඔහු පදිංචිව සිටි ජා-ඇළ නිවසට මමත්, මගේ සැමියා නවරත්නත් ගියා. එදා මධ්‍යම රාත්‍රිය පසු වෙනකන්ම මට මේ ගීතයත් ගාමිණී ලියූ ලයනල් අයියා සංගීතවත් කළ ‘සුදෝ මම ආදරෙයි’ ගීතයත් වාර ගණනාවක් කියන්න සිදුවුණා.   


‘මහ රෑ හමු වූ ස්ත්‍රිය’ චිත්‍රපටයට කරුණාසේන ජයලත් රචනා කළ ගීතයක් ගැන සුජාතා අපට විස්තර කළේ මෙසේය.   
‘කරුණාසේන ජයලත් මේ ගීතය ලියලා තිබුණේ කවි පන්තියක් වගේ. සංගීත අධ්‍යක්ෂ රොක්සාමි ගීතය කඩ කඩ ගායනා කරලා මට පෙන්නුව.   
‘‘ජීවන විල මැද වැජඹෙන කැකුළකි’’   

 

සුජාතා කලාකාමී පවුලකට අයිති වූයේ මාපියන්ගේ ආභාසයෙනි. ඇගේ වැඩිමහල් අක්කා ලලිතා ‘‘ප්ලෝරි දේවි’’ නමින් ප්‍රකට වූ ටවර් නිළියකි. අයියා ධර්මසිරි සංගීත උපදේශකයකු වගේම දක්ෂ තබ්ලා වාදකයෙකි. නංගී රංජනී ගායිකාවක් වගේම නැටුම් ගුරු උපදේශිකාවකි. බාල මල්ලී සුසිල් පෙරේරා බටහිර ඩ්‍රම්ස් වාදකයෙකි.   


කලාකාමී පවුලක උරුමය විදහාපාමින් වයස අවුරුදු නවයේදී ‘විදුර නාඩගමේ’ ළමා චරිතයක් නිරූපණය කළ සුජාතා, සිහින මැව්වේ හෙදියක්වීමටය. ගායිකාවක වූයේ දොළොස් හැවිරිදිව සිටියදීය.   


‘මට මුල්ම ගීතය ගයන්න අවස්ථාව ලැබුණේ ඒ.ජේ. කරීම් නම් විශිෂ්ට ක්ලැරිනට් වාදකයා නිසා. ඔහු ගැයූ ‘සාධු සිරීපා’ ගීතය එදා ජනප්‍රියයි. තාත්තාගේ හොඳ මිත්‍රයෙකු වූ ඔහු මාව මුලින්ම ගුවන් විදුලියට එක්ක ගියා.  


රොක් අයියා සිංහල මිනිසුන් අතරේ හැදී වැඩුණු කෙනෙක්. ඒ නිසා එයාට සිංහල ජනකවි, විරහා ගීත ගැන හොඳ අවබෝධයක් තිබුණ. දමිළ ජාතිකයකු වුණාට එයා දන්නේ නැත්තේ එයාගේ භාෂාව. සිංහල හා ඉංග්‍රීසි භාෂා චතුර ලෙස කතා කිරීමේ සූරයෙක් ඔහු. කවිය කිහිප වතාවක් ගයලා අපූරු තනුවක් ඔහු හැදුවා. මම පුදුමයෙන් බලා හිටියා. අපූරු රහ තනුවක් මැවුණා. මගේ ප්‍රියතම ගීතයක් ඒ.   


‘‘ජීවන විල මැද වැජඹෙන කැකුළකි රූබර වූ යුවතී   
තී මට තී මට කියමින් බිඟු පෙළ ඇය අවටම රඟතී   
ළහිරු රැසින් පිබිදෙන පියුමෙන් රොන් බී මත්වුණ බඹරා   
මියුරු හඬින් කී ගී නවතා යයි පියුමේ හද අඹරා   
නෑ එන පාටක්, නෑ එන පාටක්, ළතවෙයි පියුම අනේ   
හා මට කෑමක්, හා මට කෑමක් තවෙකෙක් බඳිති සෙනේ   


මම ගැයූ ගිත අතර පුතෙකු නළවන ගී වැඩිය කියලා තියෙනවා. දුවල දෙන්නෙක් නළවන ගී දෙකකුත් ගයලා තියෙනවා. ‘‘සූරයන්ගෙන් සූරයා’’ චිත්‍රපටයට රොක් අයියා හැදු ධර්මසිරි ගමගේ රචනා කළ නැළවිලි ගයන කොට මගේ දෙවැනි පුතා චානක කුසෙහි පිළිසඳ ගෙන.   


‘‘ඔබේ මව් බිම සිංහලයි   
ඔබේ මවු බස සිංහලයි   
ඔබ උපන් රට හදවතයි   
පුතේ මවු බස ප්‍රාණයයි   


චිත්‍රපටයේ ගීතය (සන්ධ්‍යා කුමාරි රඟන) ගැසෙන අවස්ථාවේ යුද හමුද‌ා ඇඳුමින් සැරසුණු පුංචි පුතෙක් දිස්වෙනවා. ඒ වගේම මගේ පුතා චානක යුද හමුදාවේ කපිතාන්වරයකු ලෙස සිටියදී අපේ රට වෙනුවෙන් දිවි පිදුවා. චානක මගේ කුසේ සිටියදීම මම තවත් සරල ගීතයක් ගැයුවා. ඒක රණ ගීයක්   


‘‘සූරිය වංශයේ සිංහල පුතුනේ   
නැළවිලි ගී හද අාදරේ   
මේ රණ ගීතය සවන තියා   
මව් බිම ගලවන්න පුතේ’’   


මේ ගීතය රචනය කළේ ඩෝල්ටන් අල්විස්. උයනල් අල්ගමගේ සංගීත රචනයක්. මම ‘කල්‍යාණී ගංගා’’ චිත්‍රපටයට ගැයූ ‘‘පුතුනේ මේ අහගන්න පුතුනේ’’ ගීතයත් ‘‘ඔංචිල්ලා තොටිලි කොයින්දෝ’’ ගීත මම ගැයුවේ දූ පුතුන් වෙනුවෙන්. ඉස්සර මා ගීත ගයන විට චිත්‍රපටයේ ඒ ගීත පසුබිමින් ගයන සුමනා අමරසිංහ, සන්ධ්‍යා කුමාරි, ක්ලැරිස් ද සිල්වා වගේ නිළියෝ නිදිමරා ගෙන බලන් ඉන්නවා. ‘‘සුනේත්‍රා’’ චිත්‍රපටයට මා ගැයූ ‘‘පායයි මේ රෑ සඳවතී’’ කියන ගීතය කිරුළපනේ ලංකා චිත්‍රාගාරයේ පටිගත වෙන විට සුමනා, රෝයි එළිවෙනතුරු ඉන්නවා.   


‘‘ඇයි ළමයෝ නිදිමරන්නේ’’ මම සුමනාගෙන් ඇහැව්වම ඇය කියනවා - ‘‘සුජාතානේ චිත්‍රපටයේ මුලින්ම නටලා සින්දු කියලා අපිට පෙන්වන්නේ. මම මේකට සාධාරණයක් කරන්නේ කොහොමද බලන් ඉන්නවා’’ කියලා කියනවා. එතකොට මම කිව්වා ‘‘ළමයෝ වරාගොඩ ඉස්කෝලෙදි මම නැටුම් ඉගෙනගෙන තියෙනවා. එ්කයි මට මේක ගයන්න ලේසි කියලා.   
සිංහල බෞද්ධ ගායිකාවක වූ සුජාතා මුල්වරට ඉස්ලාම් ගීතයක් ගයන්නේ ගුවන් විදුලියේ ද්‍රවිඩ ගී පරීක්ෂණයෙන් විශිෂ්ට ගායිකාවක් ලෙස සමත්වීමත් සමඟය. සුජාතා 1968 නවරත්න අත්තනායක සමඟ අතිනත ගනී. සංගීත අභ්‍යාස විද්‍යාලයක (කළුතර) සංගීත කථිකාචාර්යවරියක් ලෙසද අධ්‍යායන නිලධාරිනියක් ලෙසද කටයුතු කළාය.   
ඇය යාපනේ අර්ධද්වීපයේ දී දිවි පිදූ දෙටුපුත් කපිතාන් චානක සංජීව අත්තනායක සහ අපේ රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් වෙනුවෙන් ‘‘යුද බිම කඳුළක්’’ කැසට් පටයක් නිකුත් කළාය. මාධ්‍යවේදී නාරද නිශ්ශංකයෝ පවසා ඇති අන්දමට ද්‍රවිඩ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් ‘ස්වරම්’ නමින් බම්බලපිටියේ කදිරේෂන් ශාලාවේදීද, ඉස්ලාම් ගී ප්‍රසංගයක් ටවර් රඟහලේදී ‘‘ඉලම් පිරෙයි ගීතන්ගල්’’ නමින් ඒක පුද්ගල ප්‍රසංගයක් පැවැත් වූ එකම ගායිකාව ඇය බවය. ඉන්දියානු ගායිකාවකට නොදෙවැනි ලෙස ද්‍රවිඩ ගී ගැයූ ඇය ඉස්ලාම් ආගමික ගීත ගැයීමේ විශේෂ වරප්‍රසාදයක් ඇය ලබා ගත් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිල් ඒ. සීලවිමලයෝ පවසා තිබුණි.   


තම පුතුගේ වියෝවීමෙන් පසු සුදු හැඳි කතක් වූ සුජාතා තමාගේ මරණය ගැන නිතර මෙනෙහි කරන්නීය. තමා මියගිය පසු පොල්තෙල් පහනක් දල්වන ලෙසත් සොහොන් කොතක් නොකරන ලෙසත්. දිනකට වඩා මෘතදේහය තබා නොගන්නා ලෙසත්, ගුණ කථන නොව බුදු ගුණ පමණක් කීම ප්‍රමාණවත් බවත්, තම ශරීරය තමා විසින් ඉල්ලා ඇති පරිදි වෛද්‍ය විද්‍යාලයට භාර දෙන්නැයි සුජාතාවෝ අවසාන කැමති පත්‍රයකින් ඉල්ලා සිටින්නීය.   


අත්තනායක යුවළගේ වැඩිමහල් පුතු හේලි ඇමෙරිකාවේ කළමනාකරණ උපාධිය හද‌ාරා ඉන්දියානු ජාතික ක්‍රිස්කා සෙනෙකා සමඟ ද බාල පුතු සමීන් සම්මානනීය චිත්‍රපට නිළි අනෝජා වීරසිංහ ගේ දියණිය ඩිල්කා සමඟද විවාහ වී සිටිති. නවරත්න සුජාතා අයෝද්, සංදේශා, තිසෙත්. තිසල් යන මුනුපුරු මිනිබිරියන් හතර දෙනෙකුගේ ආදරය ලබමින් ජීවත් වෙති.   

 


ඒ.ඩී. රන්ජිත් කුමාර
ඡායාරූපය - චමත් වින්ඳුල