සීතාවක ටිකිරි කුමරු රාජසිංහ වූ හැටි


ලක්දිව අසහාය රණශූරයෝ

 

සීතාවක රාජසිංහ රජු ලංකා ඉතිහාසයේ අද්විතීය රජවරුන් අතර කැපී පෙනෙන චරිතයකි. සැබැවින්ම ඔහු රණශූරයෙකි. දෑතෙහි කඩු දෙකක් රඳවාගෙන සටන් කිරීමෙහි මෙන්ම අසුන් විහිදුවීමෙහිද සමතෙකු විය. සීතාවක ටිකිරි කුමරු ලෙස නම් ලද ඔහු මාවනැල්ලට නුදුරු අලුත්නුවර සටනින් පසු රාජසිංහ බවට පත් විය. රාජසිංහ කුමරුගේ පියා මායාදුන්නේ රජ මාළිගයේ සිටි පෙටියාගොඩ පත්තාමේස්ත්‍රී රාජවන්නියාර් මුදියන්සේ දිසාව විය. මව මායාදුන්න රජුගේ අග්‍ර බිසෝ සත්සිය වරිගෙයි සුමනා දේවිය වූහ. පෘතුගීසි ලේඛකයින් සඳහන් කරන්නේ රාජසිංහ රජුගේ යුද හැකියාව ජුලියස් සීසර් හා සමාන බවය.   


වයස අවුරුදු 23 දී පැලෑද සටන ජයගත් ඔහු අනතුරුව අලුත්නුවර සටන, මුණ්ඩතොන්ඩ​පොළ සටනද, කන්ද උඩරට කරලියද්දේ සමග කරන ලද සටනද ජයගත් ඔහු මුල්ලේරියාවේ ඓතිහාසික සටනින් ජය ගෙන පෘතුගීසීන් කොළඹ කොටුව තුළට සීමා කළේය. එහෙත් ක්‍රමයෙන් දේශීය ජන බලවේගය දියකර හරිමින් විදේශ ද්‍රවිඩ හමුදා සමඟ අත්වැල් බැඳගති.   


බැරණ්ඩි කෝවිල මෙන්ම ශ්‍රීපාදය ද එහි සොඳුරු ගම්ද අාඬි තවුසන්ට පැවරීය. කෝවිල් තුළ නර බිලි මෙන්ම සත්ව බිලි පූජාද පැවැත්වීය. වෙහෙර විහාර වනසා දේපොළ කොල්ල කෑවේය. තමා විසින්ම උඩරට රජු ලෙස පත් කළ වීර සුන්දරයන් බොරු වළක දමා මැරවීය. තමාගේ සෙනවිවරු දෙදෙනාගෙන් එක් අයෙකු වස දී මරා දැමීය.   


උඩරට විමලධර්මසූරිය රජුට විරුද්ධව බලනේදී සිදු කළ සටනින් පරාජයට පත්වූයේ උඩරට රජුගේ සෙබළෙකු විසින් උණපතුරු වලින් සකසන ලද විස පෙවූ අඩයටියක් හෙවත් අත් හෙල්ලයක් දමා ගැසීමෙන් ලත් තුවාලය නිසා විෂ ශරීරගත වීමෙනි. ආද‌ාහන කටයුතු සිදු කරන ලද්දේ මහනුවරදීය. ඔහු පරද‌ා කොනප්පු බණ්ඩාර පළමු වන විමලධර්මසූරිය නමින් උඩරට රජ විය. රාජසිංහ රජුගේ එකම දියණිය වූ උඩපොළ වරිගේ මැණික් බිසෝ බණ්ඩාරගේ වැඩිමල් පුත් නිකපිටියේ බණ්ඩාර සීතාවක රජු බවට පත් විය. ඒ රාජසූරිය නමිනි. දෙවැනි පුත් ජයසූරිය තුංතොට යුව රජු බවට පත් විය.   


ලම්භකර්ණ වංශික හය වැනි පරාක්‍රමබාහුගෙන් පසු ඔහුගේ දියණිය වූ උලකුඩය දේවිය නොහොත් ලෝකනාථා කුමරිය සහ ගම්පොළ සේනාසම්මත වික්‍රමබාහු යන දෙපොළගේ පුත්‍ර ජයවීර කුමරා ‘‘ශ්‍රී සඟබෝ ශ්‍රී ජයවීර පරාක්‍රමබාහු’’ නමින් කෝට්ටේ රාජ්‍යත්වයට පත් විය. එහෙත් මෙම කුමරුගේ රාජ්‍ය කාලය වසර දෙකකට සීමා කරමින් යාපනයේ ප්‍රතිරාජයා ලෙස සිටි සෙබ්බගබ්බ පෙරුමාල් හෙවත් සපුමල් කුමරු හය වැනි බුවනෙකබාහු නමින් කෝට්ටේ රජු බවට පත් විය.   


උපතින් මලයාල සම්භවයක් ඇත්තකු වූ මොහුට විරුද්ධව දිවයින පුරා කැරැල්ලක් ඇති විය. සිංහල සංගේ හෙවත් සිංහලයාගේ සටන ලෙස එය හැඳින්වීය. මෙම සෙබ්බගබ්බ පෙරුමාල්ගේ පියා හය වැනි පරාක්‍රමබාහු රජුගේ රජ මාළිගයේ ඇම්බැට්ටයෙකු වූ පණික්කර් හෙවත් පණික්කි මුදලිගේ පුත්‍රයා විය. මෙම රජුගේ රාජ්‍ය කාලයේදී දකුණ ඉන්දියාවෙන් විශාල ද්‍රවිඩ පිරිස් මෙරටට ගෙන්වා ගන්නා ලදී. මලයාලයන්, හෙට්ටීන් සහ දකුණු ඉන්දියානු ද්‍රවිඩයෝ ඔවුන් අතර වූහ. සොකරි නාඩගමෙන් කියැවෙන්නේ එම පුවතයි. සතර කෝරළ විත්ති පොත මෙන්ම පී.ඇම්.පී අභයසිංහ මහතාගේ වන්නි උපත ග්‍රන්ථයේද මේ පිළිබඳ විස්තර සඳහන් වෙයි.   


හය වැනි බුවනෙකබාවන් මෙම විදේශීය පිරිස් සමඟ එකතු වී සිංහල සංග්‍රාමය මර්දනය කිරීමේ සටනේදී සටන් බිමේදී මිය ගිය බව බෙල් මහතා සිය කෑගලු වාර්තාවේ සඳහන් කරයි. ඒ අනුව බුවනෙකබාවන්ගේ රාජ්‍ය කාලය වසර හතකට සීමා විය. මින් පසු උලකුඩය දේවියගේ දෙවැනි පුත් ජයබා කුමරු හය වැනි විජයබාහු නමින් කෝට්ටේ රාජ්‍යයට පත් විය. මෙම රජු විසින් සිය රාජ්‍යත්වයෙන් සතර වැන්නේදී දෙවුන්දර උපුල්වන් දේවාලයට දෙනලද ඉඩම් දීමනාවක් පිළිබදව වූ සන්නයක් දෙවුන්දරින් හමුවී ඇත. ශක වර්ෂ 1436 දී හෙවත් ක්‍රි.ව. 1514 දී නිකුත් කරන ලද එම සන්නය මෙසේය.   


‘ස්වස්ති ශ්‍රී ශුධ ශක වර්ෂ එක්දහස් සාරසිය දෙතිස් වැන​්නෙහි රජ පැමිණි ස්වස්ති ශ්‍රී මහා සම්මත පරම්පරායානුයාන සූරියවංශාභිධාන ශ්‍රී ලකදීපනි ශ්‍රීමත් සිරිසඟබෝ ශ්‍රී විජයබාහු චක්‍රවර්ති ස්වාමීන් වහන්සේට සතර වැන්නෙන් මතු අවුරුද්දු පොසොන අව විසේනිය දෙවිනුවරෙහි නගරීස නීල කෝවිලට.....’’   


මෙහි නගරීස නීල කෝවිල යනු දෙවුන්දර උපුල්වන් දේවාලය වේ. මෙම රජුගේ රාජ්‍යත්වයෙන් දසවැන්නේදී එනම් ක්‍රි.ව. 1520 දී උක්ත දේවාලයට තුඹෝගොඩ නමැති ගමද එහි ගම්මුදල මෙන්ම ගමට අයිති කුඹුරු වතුපිටි මෙන්ම ඒවා පාලනය සඳහා පත්කළ නිලධාරීන් පිළිබදව ද විස්තරයක් සඳහන් තඹ සන්නසක්ද හමුව ඇත. කොළඹ ජයවර්ධනපුර කෝට්ටයේ සිට නිකුත් කරන ලද එම සන්නස මෙසේය.   


‘ස්වස්ති ශ්‍රී වෛවස්වත මනුසංඛ්‍යාත මහා සම්මත පරම්පරානුයාග සූර්යවංශෝද්භූත ත්‍රී සිංහලාධීශ්වර් නවරත්නාධිපති ශ්‍රීමත් සිරිසඟබෝ ශ්‍රී විජයබාහු චක්‍රවර්ති ස්වාමීන් වහන්සේට දසවැන්නෙන් මතු අවුරුදු පොසොන අවසතවක....’   


‘ජයවර්ධන කෝට්ටයේ මාළිගාවේ සිංහාසනයේ වැඩහිඳ මුදලිවරුන් වද‌ාළ මෙහෙවරින් මේ සන්නස් තහඩු පත්‍රය ලියාදුන් බවට...’’

   
පොබ්බගබ්බ පෙරුමාල් කෝට්ටේ රාජ්‍යත්වයට පත් වූ පසු මෙරටට පැමිණි සොළී පාණ්ඩ්‍ය කේරළාදි පිරිස් අතර ඔහුගේ පියාගේ සහෝදරයා හෙවත් තම බාප්පා සහ පිරිසද වූහ. තුඩුගල විසිදාගම බණ්ඩාරවලිය සහ ලීලසේන මහතාගේ පැරණි දෙවුන්දර විත්ති පොතට අනුව හය වැනි බුවනෙකබා රජුගේ කාලයේදී සොලී පිරිස් නැව් හයකින් දෙවුන්දරට ගොඩබට බවත් ‘අරුප්පුඩි තින්නාඩු තිනත්න මුඩිත්ත පෙරුමාල් එහි ප්‍රධානියා බවද සඳහන් වෙයි.   


මොවුන් දෙවුන්දර උපුල්වන් දේවාලය අල්ලාගෙන අනතුරුව විෂ්ණු දේව රූපයක් ඉර හඳ කොඩිය සෙවණේ පා ගමනින් හතර කෝරළය බලා පැමිණියෝය. අතර මඟදී මෙම පෙරුමාල් මියගිය අතර, අතරමඟදී ආද‌ාහන කටයුතු සිදුකොට භෂ්මාව​ෙශ්ෂද සමඟ සෙස්සෝ හතර කෝරළයට පැමිණියහ. හය වැනි බුවනෙකබාවන් විසින් මෙම පිරිසට ගම් බිම් ප්‍රදානය කරන ලදී.   


හතර කෝරළයේ උපුල්වන් දෙවොල අත්පත් කරගත් ඔවුන් එය විෂ්ණු දෙවොලක් බවට පත්කර ගත් අතර මියගිය පුද්ගලයාගේ භෂ්මාවශේෂ තැන්පත් කොට දේවාලයක් ඉදිකළ අතර ඔහු පල්ලේවාහල දෙවි බවට පත්කර ගත්හ. තින්නාඩුගේ පුත්‍රයා බුවනෙකබාවන්ගේ යුව රජු ලෙස පත් කරන ලදුව ඔහු අම්බුළුගල කුමරු ලෙසට ප්‍රසිද්ධ විය.    
‘සීතාවක රාජසිංහ රාජ්ජ කාලය’ නම් වූ පුස්කොළ පොත ලියා ඇත්තේ මානියංගම හිටිනාමළුවේ ධර්මපාල නම් වූ හිමි නමකි. උන් වහන්සේ සීතාවක රාජසිංහ රාජ්‍යයේ ආසන්න පසු කාලයේ සිටි යතිවරයෙකි. උන්වහන්සේ සිය ග්‍රන්ථය ලියා අවසන් කර ඇත්තේ ක්‍රි.ව. 1699 දීය.   


රාජසිංහ යුගය පිළිබඳ වැදගත් සිදුවීම් ශකවර්ෂ ක්‍රමයට දින වකවානු සහිතව සඳහන් කර තිබීම නිසා එම ග්‍රන්ථය ඓතිහාසික වශයෙන් වැදගත් වේ. මෙම ග්‍රන්ථයට අනුව සොළියෙකු වූ අට වන වීර පරාක්‍රමබාහු හට දරුවන් පස් දෙනෙකි. ඔවුන් නම් ධර්මසේන, තනියාන්වල්ලන්, සකලකලාවල්ලන්, ශ්‍රී රාජසිංහ සහ සැක්‍රායුධ වේ. 

 
මොවුන් අතුරින් වැඩිමල් ධර්මසේන කුමරු ධර්ම පරාක්‍රමබාහු නමින් කෝට්ටේ රාජ්‍යත්වයට පත්වූයේ පෘතුගීසි ආක්‍රමණිකයාගේ සහායෙනි. මේ වෙනුවෙන් කොළඹ නගරය තුළ පෘතුගීසි බළකොටුවක් ඉදිකර ගැනීමටත්, කතෝලික පල්ලියක් සහ කුරුඳු ගබඩාවක් ඉදිකර ගැනීමටත් ධර්ම පරාක්‍රමබාහු පෘතුගීසීන්ට අවසර දෙන ලදී. ඊට අමතරව ඇතුන් දහදෙනෙකු සහ මුතු මැණික් ආදී වටිනා තෑගි බෝගද පෘතුගීසින්ට දෙන ලදී.   


පෘතුගීසින් සහ සොළී පිරිස් එකතුව සිංහ රජුට විරැද්ධව කළ සය අවුරුදු යුද්ධය නිසා සිංහල සටනේ නායක සෙනවිවරුන් වූ කුරගම හිටියාන සහ සිරිවර්ධන පතිරාජ ප්‍රමුඛ ගණවැසි පංතියද බොහෝ සිංහල ජනතාවද මරණයට පත් විය. මෙතෙක් කලක් සිංහලයා සතුව පැවති බලගතු නාවික හමුදාව ද විනාශ විය. සිංහලයාගේ නැව් පෘතුගීසින් අතට පත් විය.   


ධර්ම පරාක්‍රමබාහු විසින් ලක්දිව වෙරළ තීරය ආරක්ෂා කිරීමේ කාර්ය පෘතුගීසීන්ට පවරන ලද අතර ඒ වෙනුවෙන් වසරකට කුරුඳු බහාර් 400 ක් එනම් ටොන් 80 ක් බැගින් කප්පම් ගෙවීමටත් එකඟ වෙමින් ගිවිසුමකටද එළැඹුණි. ධර්ම පරාක්‍රමබාහුගේ රාජ්‍ය කාලය වසර 25 ක් බව සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය ග්‍රන්ථයේ සඳහන් වන අතර රාජ්‍ාවලිය සඳහන් කරන්නේ එය වසර විස්සක් බවය.   


ධර්ම පරාක්‍රමබාහුගෙන් පසු ඉතිරි සොහොයුරන් සිව්දෙනා අතුරින් බාලයා වූ සැක්‍රායුධ කුමරු විජයබාහු නමින් කෝට්ටේ රාජ්‍යත්වයට පත් විය. වැඩිමල් සහෝදරයන් තුන්දෙනා වෙනුවට බාලයා රජ වූයේ ඔවුන් පැවති යුද්ධවලදී මරුමුවට පත්වීම නිසා බව සිතීම සහේතුකය. මෙම සැක්‍රායුධ කුමරු රජවූයේ හය වැනි විජයබාහු නමින් බවට ඇතැම් ඉතිහාසකරුවන් කරන සඳහන සදොස්ය. සැබැවින්ම මොහු හත් වන විජයබාහු බව පැහැදිලිය. හය වැනි විජයබාහු සිංහල නරවරයා විය.   


මෙම සැක්‍රායුධ හෙවත් හත් වන විජයබාහු අනුලා කහතුඩ බිසවට ජාතක කොට වැදූ කුමාරයින් තිදෙනෙකි. ඔවුන් නම් බුවනෙකබාහු, මද්දුම බණ්ඩාර සහ මායාදුන්නේ විය. මොවුන් සිය පියා සළඹයා හෙවත් සල්මාන් නමැති මුස්ලිම් වෙළෙන්දකු ලවා මරවා රාජ්‍යය තුනට බෙදාගෙන රාජයත්වයට පත් වූහ.   


මෙම සිදුවීම ‘විජයබා කොල්ලය’ නමින් හැඳින්වේ. බුවනෙක බාහු කෝට්ටේ රජු බවට පත් වූ අතර තොටුපොළවල් සහ විදේශ වෙළෙඳ කටයුතු පාලනය ඔහු සතු විය. මද්දුම බණ්ඩාර ශ්‍රී රාජසිංහ නමින් රයිගම රජු බවට පත් විය. වළල්ලාවිට සහ පස් යොදුන් කෝරළ දෙක ඔහුගේ පාලන ප්‍රදේශය විය. එහෙත් ඔහුගේ අකල් මරණය නිසා ඔහුගේ පුත් පරරාජසිංහම් රයිගම පාලකයා බවට පත්වූයෙන් ඔහු රයිගම් බණ්ඩාර ලෙස ප්‍රසිද්ධියට පත් විය. 

 
මායාදුන්නේට අයත් වූ සීතාවක රාජධානිය ජන අනුපාතයෙන් අඩු ප්‍රතිශතයක් වුවද භූමි ප්‍රමාණය මෙන්ම සරුසාර බවින්ද ඉහළ අගයක් ඉසිලීය. මෙම රාජධානියට සතර කෝරළය, (ගල්බොඩ, කිණිගොඩ, පරණකූරු සහ බෙලිගල්) දෙනවක, බුලත්ගම, හේවාගම් කෝරළයෙන් කොටසක්ද, කුරුවිට අටුළුගම්, පනාවල්, හඳපාන්දුර සහ දෙහිගම්පොළ යන කෝරළයන්ද අයත් විය.   


මායාදුන්නේ සහ ඔහුගේ බිසව වූ සත්සිය වරිගෙයි සුමනා යන දෙපොළට කුමාරවරුන් තිදෙනෙකු සහ කුමාරිකාවියන් දෙදෙනෙකු ලැබුණි. කුමාරවරු තිදෙනා මහරදගුරු බණ්ඩාර, තිඹිරිපොළේ මහරදගුරු බණ්ඩාර සහ සන්නාහ බණ්ඩාර විය. මෙයින් වැඩිමල් කුමරු වයස අවුරුදු විස්සේදී මියගිය අතර දෙවැනි කුමරු වීධියේ බණ්ඩාර සහ පෘතුගීසින් සමඟ එකතු වී සිදුකළ සීතාවක ආක්‍රමණයකදී පැරදී පලායමින් සිටි වීදියේ බණ්ඩාර විසින් මැණික්කඩවර සේනාව භාරව සිටි තිඹිරිපොළේ මහරදගුරු බණ්ඩාර මරවන ලදී.   
සීතාවක රාජසිංහ රාජ්ජ කාලය ග්‍රන්ථයේ සඳහන් වන්නේ ශක වර්ෂ 1481 මැදින්පුර අමාවක දිනයේදී වීදියේ බණ්ඩාර විසින් බත්තමයෙකු ලවා මෙම කුමරු මරා දමන ලද බවය. එ කිතුවසින් 1559 වේ. මායාදුන්නේ​ෙග් තුන් වැනි පුත්‍රයා වූ සන්නාන බණ්ඩාර උපතින් බකල කුමාරයෙකු විය.   


සීතාවක රාජසිංහ කුමරු මායාදුන​්නේගේ පුත් කුමරුවෙකු නොවීය. ඔහු මායාදුන්නේගේ අගබිසව සහ රජ මාළිගාවේ සිටි හින්දු පූසාරිවරයෙකු අතර තිබූ අනියම් සබඳතාවකින් උපන් දරුවෙකි. ‘‘සීතාවක රාජසිංහ රාජ්ජ කාලය’’ ග්‍රන්ථයේ ඒ බව සඳහන් කර ඇත්තේ මෙසේය.   


‘මායාදුනු මහ රජු උකුත්වීමට පෙරාතුව සීතාවක වාහළ වේලාවේදී හිමි පෙටියාගොඩ පන්නාමේස්ත්‍රී සිංහල කීර්ති රාජපක්ෂ භාතිරජ්ජ වන්නියාර් මුදියන්සේ දිසාව මායාදුනු මහරජතුමන්ගේ අග්‍රබිසෝ සත්සිය වරිගෙයි සුමනා දේවීන් වහන්සේට ජාතක කොට වැදුවා වූ මායාදුනු මහරජු තම පුත් කුමාරයෙකු සේ හැදූ වැඩුවා වූද ‘ටිකිරි රජ්ජුරු බණ්ඩාර යාපා’ එකලට වයස තෙවිසි මට්ටම පිරුණා පමණි’’   


මායාදුන්නේ රජතුමා ටිකිරි කුමරු පැලෑද සටන සඳහා යවන්නේ කුමරුට වයස අවුරුදු විසිතුනේදීය. ක්‍රි.ව. 1580 දී මායාදුන්නේ රජතුමා කතාශේෂගතව රෝගී බවට පත් විය. එම නිසා මැති ඇමැතිවරු සහ සංඝයා වහන්සේලාද මහ සේනාවද රැස්කරවා රාජසිංහ කුමරු රාජ්‍යත්වයට පත්කරන ලදී. ඒ බව ‘සීතාවක රාජසිංහ රාජ්ජ කාලය’ කතුවරයා සඳහන් කර ඇත්තේ මෙසේය.   


‘මායාදුනු මහරජුද දැනසිටි පරිදි රාජසිංහ රජු සිය පුතණු කෙනෙකුත් නොවන බව වුවද, රාජසිංහ රජුගේ සාමර්ථකම් හේතුකොට ගෙන මහත් වූ ප්‍රමදයෙන් ඇතිදැඩි කොට හදාවඩා ගත් බව සැලකිය යුතුයි. මෙසේ හදාවඩා ගත් නිසාද, සන්තාන බණ්ඩාර කුමරු බකල නිසා රජකමට සුදුසු නැති හෙයින්ද මායාදුන්නේ රජ්ජුරුවෝ තමාගේ රාජසිංහ කුමාරියන්ට තමාගේ ආඥාපනතට පවත්නා ලෙසට පවතින්නට මහා සේනාවටත් මන්ත්‍රීන්ටත් සංඝයාටත් ගණ පංතියටත් රටවැසි ජනයාටත් අණ කළේය.   


මෙයින් වසරකට පසු මායාදුන්නේ රජු මරණයට පත්විය. රණශූරයෙකු වූ ටිකිරි කුමරු වයස විසිතුනේදී පැලෑද සටන සඳහා යවන ලදී, සටනේ නායකත්වය ටිකිරිකුමරු දැරූ අතර දණ්ඩනායක දියෝගුද සිළු වික්‍රමසිංහ සහ මායාදුන්නේගේ පුත් තිඹිරිපොළ අදහසින්ද සමඟ සේනාව පටත් කළේ වීදිය බණ්ඩාරට විරුද්ධව සටන් කිරීම සඳහාය.   


වීදිය බණ්ඩාර දෙවැනි වර විවාහ වී සිටියේ මායාදුන්නේගේ දියණියක් සමඟය. ඇගේ නැගණියගේ දියණිය විවාහ වූයේ වීදියේගේ වැඩිමහලු පුත් විජේපාල අාස්ථාන කුමරු සමඟය. මෙම බිරියන් දෙදෙනාට නිතර නිතර සිදු වූ අඩත්තේට්ටම් මායාදුන්නේ වෙත පැමිණිලි කරන ලදුව වීදියේ රජුට විරුද්ධව මෙම සටන සිදුවිය. පස්යොදුන් කෝරළයේ දියවලකඩ නම් ස්ථානයේදී සිදුවූ මෙම සටනින් වීදියේ බණ්ඩාර පරාජය වූ අතර ඔහුගේ සෙනවියා වූ සමරකෝන් නයිදේ ඇතුළු ප්‍රධානීන් කීපදෙනෙකුගේ හිස් කපා ගෙන අවුත් මායාදුන්නේ වෙත භාරදුණි.   


ඉන් අනතුරුව ප්‍රතිකාල් කප්පිත්තාමෝරු සමඟ පරංගි දෙසිය දෙනෙකුගේ ද සහායගෙන ටිකිරි කුමරු සහ මායාදුන්නේගේ පුත් කුමරුද වික්‍රමසිංහ මුදලි හා සේනාවද ගෙන වීදියේගේ රාජධානිය වූ පැලෑද නුවරට කඩාවැදුණි. අන්ත පරාජයට පත් වීදිය බණ්ඩාර පලාගිය අයුරු ‘‘අලකේශ්වර යුද්ධය’’ ග්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ මෙසේය.   
‘වීදියේ රජ්ජුරුවන් බයින් තැතිගෙන විරිදු කොඩියද විරිදු කවි පොතද ඇතුළුව නොයෙක් විරිදු දමා මේ රජ තුන් කට්ටුවම නැගණියන් වූ මහ ටිකිරි බණ්ඩාරගේත් යෙහෙළිණින් වූ කුඩා ටිකිරි බණ්ඩාරගේත් උන්වහන්සේලාගේ පිරිවර ගෑනු පිරිමි පමණකුත් පැලෑනුවර සිටියදී අනෙකුත් නොයෙක් අයත් තමතමුන්ගේ කුඩීනඩීන් වීදියේ බණ්ඩාරත් ඇතුළු වූ නොයෙක් අයම බිඳිලා ගල්වාරම්පොත මාවතින් වලව දිසාවට නාඩුව පිටත් වූහ.  සීතාවක ටිකිරි කුමරුගේ ඊළඟ විශිෂ්ඨ යුද ජයග්‍රහණය මාවනැල්ලට නුදුරු අලුත්නුවර සටන වේ. පැලෑද නුවර සටනින් පැරදුණු වීධියේ බණ්ඩාර වලව දිසාවෙන් දෙවුන්දරටද අනතුරුව ඉදල්ගස්හින්න කඩවතින් කන්ද උඩරටද පලාගියේය. එවකට උඩරට රාජ්‍යය කෙළේ සොළී පරපුරේ සකලකලාවල්ලන්ගේ මුනුපුරෙකු වූ කරලියද්දේ බණ්ඩාරයන්ය. වීදියේ බණ්ඩාර උඩරටින් සේනාවක්ද, හතර කෝරළයෙන් සේනාවක්ද තමාගේ සේනාවද සමඟ ඇල්පිටි පාරෙන් අවුත් පැරණි ජයවර්ධන කෝට්ටය වූ දෙවනගල කඳවුරු බැදීය.   


මෙම පුවත දැනගත් මායාදුන්නේ රජු ටිකිරි කුමරු සහ වික්‍රමසිංහ මුදලි යන දෙදෙනා යටතේ සේනා දෙකක් එවීය. ටිකිරි කුමරුගේ සේනාව දෙවනගලට නුදුරු කටුගහ ග්‍රාමයේ වාඩිලාගත් අතර වික්‍රමසිංහගේ හමුද‌ා එයට සමීප කාර්යගම ගමේ වාඩිලා ගති. වීදියේ බණ්ඩාර සිය හමුදා අට්ටාපිටිය තොටට එනම් මහ​ඔයේ තොටුපළ වෙත එවා යුද්ධය ආරම්භ කළේය. මෙම සටනින් වීදියේගේ හමුදා පරාජයට පත් විය.   


පරාජිත වීදියේ බණ්ඩාර උඩරටින් අතිරේක සේනාවක් රැගෙන අවුත් තම සේනාවද සමග අලුත්නුවර කඳවුරු බැඳගති. එහෙත් සටන් ඇරඹීමට පෙරදින විදියේ බණ්ඩාර මිනිසෙකුගේ කරපිට නැගී රාත්‍රියේ හොර රහසින් කන්ද උඩරටට පලා ගියේය. නායකත්වයකින් තොරව පසුදින ඇරඹී යුද්ධයෙන් වීදියේගේ සේනා අන්ත පරාජයකට පත් විය. සීතාවක රාජසිංහ රාජ්‍ජ කාලය කතුවරයා මෙම සටන සඳහන් කර ඇත්තේ මෙසේය.   


‘රාජසිංහ රජතෙම යුද්ධයට සැරසී වඩින බව අසා සතර කෝරළයේ නොයෙකුත් අයට සේනාව රාජසිංහ රජ්ජුරුවෝ දැක මාන්න තාන්න ගෙන පැමිනුණ නිසාත් වීදියේ රජතෙම බයින් තැතිගෙන තමාගේ සේනාව හා උඩරටින් ආ සේනාවටත් නොකියාම රාත්‍රියේ එක මිනිහෙකුගේ කරට නැගී කන්ද උඩටම ගියාහ. රාජසිංහ රජතෙම පාන්වත්ම අලුත්නුවරට වන් කල්හි අලුත්නුවර උන් හතුරෝ බිඳී හිස ලූ ලූ අතේ දුවන කල්හි කෙටුම් කෑ හතුරන් පමණකුත් නැත. ඒ ඒ තැන වැටුනෝ ගණනක් නැත. මේ ඇර උඩරටින් ආ වීදියේ බණ්ඩාර කැටුව ගිය හමුදාවගෙන් හැට ඈඳුත්තක් මිනිසුන් අල්වා උනුන්ගේ අත් ඇදලා මායා දුන්නේ මහ රජ්ජුරුවන් සමීපයට එවූහ. එකල ලංකාවේ සේනාව රාජසිංහ නම් තැබුවාහ. එතුවක් පටන් රාජසිංහ නමින් ප්‍රසිද්ධ වූ වග දත යුතුයි.   


රාජසිංහ රජුගේ ඊළඟ යුද ජයග්‍රහණය වීදියේ බණ්ඩාරගේ මුණ්ඩතොන්ඩපොළ රාජධානිය විනාශ කිරීමයි. අලුත්නුවර සටනින් පසු මායා දුන්නේ රජතුමා විසින් ක්‍රි.ව. 1556 දී උඩරට රජකම් කරන කරලියද්දේ බණ්ඩාර වෙත ලිපියක් යවමින් වීදියේ බණ්ඩාර උඩරටින් පන්නා දමන ලෙස නියෝග කළේය. බියට පත් කරලියද්දේ වීදියේ බණ්ඩාර උඩරටින් පන්නා දැමීය. වීදියේ බණ්ඩාර උඩරටින් නික් මී හත් කෝරළයට පැමිණ මුණ්ඩතෙන්ඩපොළ එදිරිමාන්නසූරිය රජු වෙත පැමිණ ඔහුගේ අවසරය මත බෝගොඩ නම් ස්ථානයේ සිය සේනාව සමග නවාතැන් ගත්තේය.   


මුණ්ඩතොන්ඩපොළ යනු කුරුණෑගල නාතගනේ නම් ස්ථානය බව හඳුනාගෙන ඇත. මෙසේ සිටින අතරවාරයේ එදිරිමාන්නසූරිය රජු හමුවීමට ගිය වීදියේ බණ්ඩාර රහස් සාකච්ඡාවක් සඳහා රජතුමා පිටතට කැඳවාගෙන අවුත් වේලායුධ ආරච්චියා ලවා රජු මැරවීය. මෙම සිද්ධිය සිදුවූයේ ක්‍රි.ව. 1558 දීය. අනතුරුව වීදියේ බණ්ඩාර මුණ්ඩතොන්ඩපොළ රාජ්‍යත්වයට පත් විය.   


නොබෝ දිනකින් වීදියේ බණ්ඩාර පෘතුගීසීන්ගේ ද සහාය ඇතුව සීතාවක රාජධානිය ආක්‍රමණය කළේය. මායාදුන්නේ විසින් සිය පුත් තිඹිරිපොළේ අදනසින් සහ වික්‍රමසිංහ මුදලි යටතේ සේනාවන් දෙකක් සටන් සඳහා යැවීය. රජකුමරුගේ සේනාව මැණික් කඩවර වාඩිලාගත් අතර වික්‍රමසිංහගේ හමුදා ඉදිරියට ගොස් සටන්කොට වීදියේගේ සහ පරංගින්ගේ හමුදා පරාජය කළේය. වීදියේ විසින් මැණික්කඩවර උන් කුමරු මරවන ලදී. අනතුරුව ඔවුන් සීතාවක රාජ්‍යය ආක්‍රමණය කළහ. මායාදුන්නේ සහ රාජසිංහ කුමරු විශාල සේනාවක් සමග ගොස් ඔවුන් පරාජය කර අනතුරුව මුණ්ඩතොන්ඩපොළ රාජධානිය ආක්‍රමණය කළහ. ක්‍රි.ව. 1561 දී සිදු වූ මෙම සටන අලුයම සිට කළුවර වැටෙන තෙක් පැවතුණි. සීතාවක රාජසිංහ රාජ්ජ කාලය ග්‍රන්ථයට අනුව,   


‘.....රාජසිංහ මහරජ මහා සේනාව පිරිවරා ගොස් ඒ ඒ ස්ථානවල බැඳි කොටු කෝට්ට විස් පැළලි අරවාගෙන ගොස් මුණ්ඩතොන්ඩපොළ නුවරට වදිනා කල වීදියේ රජතෙම බියෙන් තැතිගෙන අතරක නොරදාම පුත්තලමට ගොස් නැව් නැගි යාපා පටුනට අන්තිබා ගියහ.   


මුල්ලේරියා සටන 

 
විදේශීය ආක්‍රමණිකයින්ට විරුද්ධව සීතාවක රාජසිංහයන් විසින් දියත් කළ මහා සංග්‍රාම අතුරින් මුල්ලේරියා සටන මෙරට ඉතිහාසයේ අතිවිශිෂ්ට සංග්‍රාමයක් විය. එය ජයග්‍රහණය කිරීම සඳහා පෘතුගීසීන්ට එකතුව ක්‍රියා කළ බලවේග අඩපණ කිරීමටත් ජාතික බලවේග ඒකරාශී කිරීමටත් මනා පරිපාලන හැකියාවක් සහ යුදමය යාන්ත්‍රණයක් සැකසීමටත් සිදු විය. කෝට්ටේ බුවනෙකබාවන් පෘතුගීසී රූකඩයක් විය. ඔහුගේ දියණිය වූ සමුද්‍රාදේවිය නොහොත් සමුද්‍රා සල්පදෝරු වීදියේගේ බිසව විය. එම දෙපොළගේ වැඩිමල් කුමරු විජේපාල අාස්ථාන විය. කෝට්ටේ රාජධානිය විජේපාල කුමරුට නොදී ධර්මපාල නම් වූ කුමරුට දෙන ලද්දේ විශේෂ හේතුවක් නිසාය. වීදියේ බණ්ඩාර නිතර නිතර සටන් වල නියුක්ත වීම නිසා රජ මාළිගය තුළ සිටි කඩවසම් පෘතුගීසි තරුණයකු සමග අනියම් සබඳතාවක් පැවැත්වීය. ඔහුට දාව උපන් ධර්මපාල කුමරු රාජ්‍යයට පත් කරන ලද්දේ පෘතුගීසි බලපෑම මතය. අවසන් ප්‍රතිඵලය වූයේ වීදියේ විසින් සමුද්‍රා දේවිය දියවන්නා ඔයේ ගිල්වා මරා දැමීමය.   


සීතාවක රාජසිංහයන් විසින් යාපනයට පලවා හැරි වීදියේ බණ්ඩාර එහිදී ඇති වූ කලහයකදී මරණයට පත් විය. සමුද්‍රා දේවිය ඝාතනය සිදු වූයේ ක්‍රි.ව 1554 දීය. 

 
දොන් ජුවන් ධර්මපාල විවාහ වූයේ කන්ද උඩරට කරලියද්දේ බණ්ඩාරගේ නැගණිය සමගය. එම නිසා කරලියද්දේ බණ්ඩාර ධර්මපාල කුමරුගේ මස්සිනා විය. කෝට්ටේ නුවර පෘතුගීසින්ගේ සහායෙන් කරලියද්දේ උඩරට රාජ්‍යයට පත් විය. දොන් ජුවන් ධර්මපාලගේ බිසව අකාලයේ මිය ගිය නිසා උඩරට රජකම රැක ගැනීම සඳහා කරලියද්දේගේ දියණියක් ධර්මපාල රජුට විවාහ කරදෙන ලදී. දෝන මාර්ගරීදා නමින් බෞතීෂ්මය ලැබ ඊට වසරකට පසු එනම් ක්‍රි.ව. 1571 අප්‍රේල් මාසයේදී එම විවාහය සිදු විය. 

 

 

 
මතු සම්බන්ධයි.   


විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
එම්.කේ. ජයසේන