සීගිරි ගලෙන් වැටී ගස් දෙබලක හිර වූ දැරිය දිවි පරදුවට තබා බේරා ගත් හැටි


ගමෙන් ඇසෙන කතා

 

මේ සිද්ධිය සිදුවී දැනට අවුරුදු පතළිහක් පමණ ගෙවී ගොසිනි. එහෙත් ඒ සිද්ධිය මතක් වනවිට තවමත් හිත තදින් සසල වෙයි.   


එකල මම ගලේවෙල මහා විද්‍යාලයේ උපාධි උප ගුරුවරයකු ලෙස සේවය කළෙමි. උඩකුඹුර මහතා විදුහල්පති විය. ගලේවෙල කඳුරට හා වියළි කලාපය මායිමේ පිහිටි ඉතා ජනාකීර්ණ නගරයක් විය. කිසියම් සාහසික පිරිසක් සීගිරියට හොරෙන් ඇතුළුවී සීගිරි ලෙන්වල චිත්‍රවලට හානි කොට චිත්‍ර දෙක තුනක් මත කළු දියරවලින් මකා පැල්ලම් ඇති කර තිබුණි.   


මේ හානිය එදා පුවත්පත්වල පළවීමත් සමග රට දැඩි ලෙස කම්පා විය. කළු පාට ගා විනාශ කළ චිත්‍ර පිරිසිදු කිරීමත් හානි කොට තිබූ චිත්‍ර නැවත ප්‍රතිසංස්කරණය කිරීමටත් පැවරුණේ චිත්‍ර විශේෂඥයකු වූ ඉතාලි ජාතික ලුසියානෝ මරාන්සිටය.   


ඒ සඳහා ඔහුට දිගු කාලයක් වෙහෙසක් ශ්‍රමයක් දැරීමට සිදුවිය. ලුසියානෝ මරාන්සි මේ චිත්‍ර ප්‍රතිසංස්කරණය කිරීමේ දී පැරණි චිත්‍ර සඳහා අවශ්‍ය වර්ණ තාක්ෂණය ලබා ගත්තේ නිලගම චිත්‍ර ශිල්පි පරපුරගෙනි. මේ චිත්‍ර පරපුර ජීවත් වූයේ ගලේවෙලට නුදුරු මොරගොල්ල නිලගම ගමේය. 

 
චිත්‍ර ප්‍රතිසංස්කරණයට අවුරුද්දකට වැඩි කාලයක් ගත විය. ප්‍රතිසංස්කරණය කළ චිත්‍ර මහත් උත්සවයකින් යළි විවෘත කිරීමට කටයුතු සකස් විය. ඒ සඳහා පැමිණියේ අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ධුරය දැරූ ඊරියගොල්ල මහතාය.   


එම උත්සවය සඳහා සීගිරිය අවට සියලුම විදුහල් ගුරු මණ්ඩලය හා ළමුන් සමග සීගිරියට පැමිණිය යුතු බව දන්වා තිබුණි. එක් එක් පාසලට ප්‍රධාන අමුත්තා එන මාර්ගයේ පිළිගැනීම සඳහා වෙන් කළ කොටස්වල දෙපස සිට ගෙන සිටීමට නියම විය. 

 
නියමිත දින විදුහල්පති උඩකුඹුර මහතා ගුරු මණ්ඩලය හා ළමුන් සමග බස් රියෙන් සීගිරියට ළඟාවිය. පැමිණීම වාර්තා කළ පසු විදුහලට නියමිත කොටස නිලධාරියකු විසින් පෙන්වා දෙන ලදී. උත්සවය පෙරවරු දහයට ඇරැඹෙන නිසා නවය හමාර වනවිට නියමිත ස්ථානයේ සිටිය යුතු විය. අපට ලැබුණේ පාර නිමවී ගල නැග ළඟාවිය යුතු වංගු සහිත කොටසකි. 

 
ළමුන් එහි පෙළට සිටුවනු ලදුව විදුහල්පති හා ගුරු මණ්ඩලය ඒ අසල විය. උදය දහයට කිට්ටුය. ප්‍රධාන අමුත්තා තවම නැත. චණ්ඩ හිරු රැසින් රත්වී ගල ගිනි කබලක් ලෙස දැනෙයි. හෙවණකට ගහක් කොළක් නැත. ළමුන් සැර හිරු රැස් මැද පැයකට කිට්ටු කාලයක් හිට ගෙන සිටිති. සමහරු ලේන්සුවකින් හිස ආවරණය කර ගනිති. ස්ථානයෙන් පිටව යාමට ඉඩ නැත. තදින් පිපාසය දැනෙයි. ළමයි වතුර ඉල්ලා ඇවිටිලි කරති. එහෙත් ළඟ පාතක වතුර නැත. අප සිටි කොටස පොළොව මට්ටමේ සිට අඩි 300 කිට්ටුය.   


එක්වරම පිපාසයෙන් පීඩිත වූ දැරියක් ක්ලාන්තවී ගල මත ඇද වැටුණාය. ඈ වැටුණේ ගලේ කෙළවරටය. වැටුණු වේගයෙන් ඇය පහළට පෙරළී පහළට ඇදෙයි. ගලේ එක් කඩතොලුවක වැවී තිබුණු ගහක දෙබලකට හිරවී ඇය එහි එල්ලී සිටියි. ඇගේ කඳ මැදින් ගහේ දෙබලට හිරවී ඇත. ගස් දෙබල නැත්නම් ඇය කෙළින්ම වැටෙනුයේ ගල පාමුලටය. ගලේ වැදීමෙන් ගලන ලේ ධාරාවලින් ඇගේ සුදු ගවුම ලේ පැල්ලම්වලින් පිරී ඇත.   
ළමෝ මහ හඬින් විලාප නගති. උඩකුඹුර මහතා නළලට අත ගසා ගෙන ඒ මේ අත දුවයි. ගුරුවරු ළමයි කළ යුතු කුමක්දැයි තීරණය ගත නොහැකිව ළතවෙති.   


 ඇය වැටී හිරවී ඇති තැන ගල පාමුල සිට අඩි සියයක් පමණ උසය. ඇය අඩි දෙසීයක් පමණ පහළට වැටී හිරවී මරණය සමග පොර බදයි. සියල්ලෝම ගල් ගැසී කට ඇරගෙන ඈ දෙස බලා සිටිති. උසස් පෙළ ළමුන් අතර සෝමදාස නම් ශිෂ්‍යයකු විය. ඔහු අප ඉදිරියට දුවගෙන ආවේය.   


සර් මට පුළුවනි පහළට බහින්න. මම ගලේ කඩතොලු අල්ලගෙන හෙමින් පහළට බැහැල ළමයත් අරගෙන උඩට නගින්නම්.   


සෝමදාසත් අමාරුවක වැටෙයි.   


තර්ක වාද විවාද කිරීමට වේලාවක් ගත වූයේ නැත. ඔහු සපත්තු ගලවා සුදු දිග කලිසම උඩට නවාගෙන කමිසය ගලවා ගලේ කඩතොලු අල්ලාගෙන හෙමින් හෙමින් පහළට බසින්නට විය. හිරවී සිටින දැරියගේ සිරුරෙන් ගලන ලේ පහළට වැටෙයි. සෝමදාසට ටිකෙන් ටික ගලේ පැළුම්, ගලේ නෙරා ගිය තැන්, ගල මත වැවී තිබූ කුඩා පැළෑටි අල්ලා ගනිමින් පහළට බැසීමට විනාඩි පහළොවකට වඩා ගත විය. අපට ඒ කාලය දැනුණේ කල්පයක් ලෙසිනි. ගල අද්දරට වී ඔහු හා දැරිය දෙස බලමින් අපි නොඉවසිල්ලෙන් සිටියෙමු.   
පරිස්සමෙන්. පරිස්සමෙන් ළමයි කෑ ගසති.   


සෝමදාස දැරිය හිරවී සිටි පඳුර ළඟට ළංවී ගල අල්ලා ගෙන ඇය පඳුරෙන් ඉවත් කර කර මතට ග​ත්තේය. ළමයි සතුටින් කෑ ගසති. ඉන්පසු ඔහු සෙමින් සෙමින් ගල දිගේ ඉහළ නගින්නට විය. වෙහෙස මහන්සියට අමතරව දැරියගේ බර ද ඇගෙන් ගලන ලේ ද දරා ගෙන ඔහු නැවතී විවේක ගනිමින් ගලේ ප්‍රබල තැන් අල්ලා ගනිමින් ඉහළට එයි.   


ඒ සඳහා පැය භාගයකට වඩා කාලයක් ගතවිය. දැරිය ඔසවා ගෙන සෝමදාස ගල ඉහළට එනවිට ගුරුවරු දැරිය ඔසවා ගෙන සෝමදාස අතින් ඇද ඉහළට ගත්හ. දැරිය හඳුනාගැනීමට නොහැකි තරමට ලේවලින් නැහැවී ඇත. සෝමදාසගේ සිරුර ඩහදිය හා ලේවලින් පිරී ඇත. ගුරුවරු ළමයි සෝමදාස බදාගෙන සතුට පළ කරති.   


මේ වනවිට ආරංචිය හැමතැන පැතිර ගොස් තිබුණි. දැරිය ගෙන යාමට රියක් සූදානම් විය. ඇය කෙළින්ම දඹුල්ල රෝහල වෙත ගෙන යන ලදී. ප්‍රධාන අමුත්තා එන විට ඇය රෝහලට ගෙන යමින් තිබුණි. උත්සවය නිමවූ පසු ළමුන් බස් රියේ පාසලට යවා උඩකුඹුර මහතා ගුරුවරුන් කීප දෙනකු සමග රෝහලට ගොඩ විය.   
ළමයා ගලේ වැදිලා හොඳටම තැළිලා. ඔළුවෙත් තුවාල. දැන් නම් ​ලේ ගැලීම නතර වෙලා. සිහිය එන්ට දවස් දෙක තුනක් යයි.   


පසුදා සෙනසුරදාවක් විය. ගුරුවරු කීප දෙනෙක්ම ඇය බැලීමට රෝහලට ගියහ. ඇගේ දෙමාපියන් උගත් අය බැවින් ගුරු මණ්ඩලයට කළ යුතු දෙයක් එහි නොතිබුණු බව තේරුම් ගත්හ. අමාත්‍යාංශයේ නියමයෙන් පරික්ෂණයක් පැවැත්වීමට සෙනසුරාදාම කණ්ඩායමක් පාසලට පැමිණියහ.   


මේ සිද්ධිය පුවත්පත්වල පොල්ගෙඩි අකුරින් පළවිය. සෝමදාසට ගුරු මණ්ඩලයේත් ළමුන්ගේත් ආදරය ප්‍රශංසාව හිමි විය. දැරියට සිහිය ආවේ දින තුනකට පසුවය. ඇය රෝහලෙන් පිටවීමට සති තුනක් පමණ ගතවිය. මම අවුරුද්දකට පමණ පසු පාසලෙන් මාරුවී ගමට පැමිණියෙමි. සෝමදාස බැංකු ලිපිකරුවකු ලෙස සේවය කරන බව පසුව මට ආරංචි විය. 

 

 

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන