සිවනාදන් පණපිටින් වැළලූ හැටි


යුද බිමේ මතක සටහන්

අමතක නොකරමු ඒ බ්හිසුණු යුද සමය

ඩෙල්ටාවෙන් බෙදී යන මහවැලි ගංගාව

 

  • යුද බ් යෙන් වැසුණු ඉතිහාසයේ ශෝචනීය සිදුවීම්

1968 වර්ෂයේදී උසස් පෙළ විභාගය අවසන් කළ මම නිදහස් දිවියක් ගත කරනු රිසියෙන් ත්‍රිකුණාමලය බලා ගියෙමි. මගේ ගමන කෙළවර වූයේ පාරම්පරික දමිළ ජනාවාසයක් වූ මනච්සේන කුඩා ග්‍රාමයෙනි. එහි ළඟාවීමට ත්‍රිකුණාමලයේ සිට ගෝකණ්ණතිත්ථය හරහා සැතපුම් දහයක් මුහුදු යාත්‍රාවකින් මූතුර් ජැටියට ගොස් එතැන් සිට තවත් සැතපුම් හයක් බස් රථයකින්ද ගමන් කළ යුතුව තිබිණ.  


මනච්සේන ග්‍රාමය අවටින් පිහිටි පච්චනූර්, මලිකතිව්, පට්ටිතිඩල්, කිලිවෙට්ටි යන තවත් ගම් කීපයක් ඇත. මේ සියලුම ගම්මාන පාරම්පරික දමිළ ජනතාවගෙන් සමන්විත විය. යාබදව පිහිටි තෝප්පූර් ග්‍රාමයේ වැඩිවශයෙන්ම ජීවත් වූයේ මුස්ලිම් ජනතාවය. ඉන් ඔබ්බට වෙරුගලට යන තෙක් මුළු ප්‍රදේශයම වසාගෙන විසිරී පැතිරී ගියේ කිසිදු මිනිස් ජනාවාසයකින් තොර ගන වනාන්තරයකි. ඉක්බිති 1948 දී ආරම්භ කරන ලද අල්ල - කන්තලේ ගොවි ජනපද ව්‍යාපාරය නිසා සේරුවිල, සෝමපුර, නීලපොළ, දෙහිවත්ත යන සිංහල කොලනි බිහි විණ.  


වෙරුගල් ආර හරස් කර ඉදිකරන ලද මාවිල්ආරු ජල ව්‍යාපෘතිය ​හේතුවෙන් මූතුර් සිට සාම්පූර් දක්වාද තෝප්පුර්, සේරුවිල හා වෙරුගල් ගම්මානද සීමා මායිම් කරගත් සුවිශාල භූමියායක් නිල්වන් ගොයමින් වැසී ගියේය. තාක්‍ෂණය එතරම්ම දියුණු නොවූ යුගයක අඩුම වියදමකින් වැඩිම ඵලදායිතාවක් අත්කරගත් ඒ ගොවි ජනපද ව්‍යාපාරය ගැන අදටත් අපට අඩම්බරයෙන් කතා කළ හැකිය. ඒ නිසාම කොට්ටියාරම් පත්තුවේ සුන්දර අතීතය අදත් මා හද කිති කවයි.  


මහවැලි නදියෙන්ද වෙරුගල් ආරෙන්ද හුදෙකලාව පිහිටි මේ භූමි කලාපයට මා මුලින්ම පය තැබුවේ 1968 වසරේ ජූනි මස පස්වෙනි දිනය. එහිදී මට හඳුනාගන්නට ලැබුණු කදිම තරුණයෙකි සිවනාදන්. භාෂා වහරින් අප අන්දමන්ද වුවද හැඟීම්වලින් අප දෙදෙනාගේ සිතුම් පැතුම්වල වෙනසක් නොවීය.   


ටික දිනකින්ම අප අතර හොඳ මිතුරුදමක් ගොඩනැගිණ. මා නවාතැන්ගෙන සිටියේ මගේ සහෝදරයා විසින් පවත්වාගෙන ගිය මනච්සේන ග්‍රාමයේ තිබුණු එකම සිල්ලර කඩේය. සිවනාදන්ගේ නිවස පිහිටියේද කඩයට ආසන්නවය. කටුමැටි බිත්තියෙන් වටකර පොල් අතු සෙවිලි කළ වහල් පලින් හෙබි නොඋස් කුඩා නිවාස ගම හැමතැන විසිතුරු කළේය.  


සරුසාර පොල් වගාව හතර වටින්ම දිස්විය. ගම්මානය කෙළවරේ සුවිශාල කුඹුරුයායකි. තොරතෝංචියක් නැති ගිරවුන්ගේ අඬහැරය උදේ හවා නොමැතිව ගුවනේ රැව් පිළිරැව් දුන්නේය. ඉපනැල්ලේ සුවඳ ගෙනෙන ශීතල සුළඟ වෙල්යාය දෙසින් හමා ආවේය. නිකැළැල් ගැමි පරිසරය මනස්කාන්ත විය. ස්වභාවධර්මවාදී සිත්තරකුගේ තෙළිතුඩින් නිර්මාණය වූ සිතුවමක් සේ එය ගම්මානයට ජීවමානබවක් ගෙන දුන්නේය.  
බස් මාර්ගය අසලින්ම පටන්ගෙන එක්වරම ශීඝ්‍ර නැග්මක් සහිතව ඉහළට එසැවී ගිය ඒරියතිව්මලේ කඳුවැටිය අඩි සියයට වැඩි උන්නතාංශයක් හිස දරාගෙන සීමාමායිම් නොපෙනෙන කුඹුරු බිම් යායද බිඳ දමා ඈතින් අෑතට විහිදී ගියේය.  


නග්න වූ කඳු මුදුනට ඉහළින් දිස්වන්නේ සුදෝ සුදු වලාකැටි විසිරෙන නිල් අහස් තලයත්, වරින් වර එතුළින් එබී බලන සාම්පූර් ගම්මානය හෙවත් පාවුල් තුඩුවය. එහි පිහිටි සමුද්‍ර ප්‍රදීපාගාර කුලුන කොට්ටියාරම් පත්තුව සුරකින මුර දේවතාවකු සේ රෑ එළිවන තුරාවට විමසුම් රැස් විහිදුවමින් දුප්පත් දමිළ ගම්මාන දෙස බලා සිටියේය.  


ප්‍රදේශයට ආගන්තුකයකු වූ මට සිවනාදන් හොඳ මඟපෙන්වන්නෙකු විය. පසුදින පටන්ම අපි කොට්ටියාරම් පත්තුව පුරාවට සංචාරය කරන්නට පටන් ගත්තෙමු. රොබට්ස් නොක්ස්ගේ ඓතිහාසික සියඹලා ගස අසලින් ආරම්භ කළ අපේ ගම්සැරිය 1972 වසර වනතෙක් වරින් වර ඉදිරියට ගියේය. එය ඉතා දිගු ගමනකි.  
1968 වසරේ එක්තරා සඳ ඇති රාත්‍රියක ජීවිතයේ ප්‍රථම වතාවට සේරුවිල චෛත්‍යය දැකබලා ගැනීමට ගිය ගමන මට කිසිදා අමතක වන්නේ නැත. එකල කොට්ටියාරම් පත්තුවට විදුලි ආලෝක පහසුකම් ලැබී නොතිබුණේය. රාත්‍රී කාලයට මංමාවත් හා ගම්මාන දැඩි අඳුරේ ගිලී ගියේය. එනමුදු අපි ගමන් ආරම්භ කළ එදින පසළොස්වක් පොහොයට චන්ද්‍රයා දින ගනිමින් සිටි රාත්‍රියකි. තුදුස්කලාවෙන් පිරිපුන් සඳ එළිය අපට ආශිර්වාදයක් විය. මගේ අයියාත් සිවනාදන් හා මමත් ගමනට එක්වීමු. අප ගමන් කළේ පාපැදිවලිනි.  
මලියදූව හන්දියට අප එනවිට වේලාව රාත්‍රී නවය පසු වී තිබිණ. පරිසරය දැඩි නිහඬබවක් ඉසිලීය. ඒරියතිව්මලේ කන්දට ඉහළින් සාම්පූර් ප්‍රදීපාගාරය දිස්වෙයි. සඳ රැසින් බබළන කුඹුරු යාය බොල්පිණි සලන මැදියම් රාත්‍රිය උදාවන තුරු නොඉවසිල්ලෙන් බලා සිටියි.   


පාරේ කිසිදු වාහනයක් නැත. තෝප්පූර් හන්දියෙන් මාවත දෙකට බෙදෙයි. වම් පසට හැරුණු විට සේරුවාවිල මාර්ගයයි. කෙළින්ම ඉදිරියට විහිදෙන්නේ වෙරුගල් පාරය. මඩකළපු මාර්ගය මෙය වුවද වෙරුගලින් ඔබ්බට යන්නට වෙරුගල් ආරුවේ පාලමක් නැත. සිවනාදන් අඳුරේම මට මගතොට තොරතුරු පවසයි.  
අපි තෝප්පූර් කඩමංඩියට පැමිණියෙමු. එකල කඩ තුන හතරකට වඩා නොතිබුණු ඒ පුංචි කඩ වීදිය පාළු ස්වභාවයක් ඉසිලීය. සුදෝ සුදු කින්නියා ගව රංචුවක් පාර පුරා ලැග ඉදිරි මග අවහිර කර තිබිණ.  
ඒ නැගෙනහිර ප්‍රදේශයට වියළි කච්චාං සුළං හමන සමයයි. එක්වරම පොළොව සූරාගෙන වේගවත් සුළං දහරාවක් ඇදී ආවේය. එඬේර පුසුඹ මුසු යෝධ දූවිලි රැල්ලක් අපේ ඇස් කන් නාස වසාගත්තේය. දුවන සුළඟ නිමේෂයකින් ඈතට ඇදී ගියේය. ගවයෝ කන්තල සලන්නට වූහ. පෝරනුවක පාන් පිලිස්සෙන සුවඳක් නාසයට හමා ආවේය. අඳුරු කඩ ලෑල්ලක් අස්සෙන් එළියක් දිස්වෙයි. සිවනාදන් ගොස් ලෑල්ලට තට්ටු කළේය. බේකරි හිමියා සිවනාදන්ගේ මිතුරෙකි. උණු උණුවේ සුවඳ හමන බනිස් සමඟ අපට තේ පැන් සංග්‍රහයක්ද ලැබිණ.  


ඉදිරි ගමන් මග මිනිස් වාසයෙන් තොරය. ලවණ කළපු දිය මුසු සුළඟ ගත වෙළාගනියි. එක දිගට විහිදෙන ශුෂ්ක පඳුරු තලාය. මඟ දෙපස ඔබමොබ පනින හාවුන්ය. හඳපානේ අසිරිය ඔවුහුද නොමඳව විදගනිති. මඳ මඳ ගිමන් සහිතව අප සේරුවාවිල චෛත්‍ය භූමියට යන විට වේලාව රාත්‍රී දහය පසු වී තිබිණ. හාත්පස වසාගත් සඳරැස් දහරා අප නෙත් අබියස චෛත්‍යය මළුව ඒකාලෝක කළේය. උස් තුරුගොමු අතරින් පෙරී එන චන්ද්‍ර ප්‍රතිබිම්බ තැන තැන විසිතුරු රටා මැවීය.  


හතර වටින් නැගෙන රැහැයින්ගේ නොනවතින රාවය භූමියේ ඓතිහාසික වටිනාකම රැකගන්නට දරන උත්සාහයක් වැන්න. අල්ල අභය භූමි වනාන්තරය නාහිමියන්ගේ ආවාසය අසල පිහිටි ගල්තලාව තෙක්ම පැමිණ තිබුණේය. නිහඬ හෝරාවක බබළන සඳ එළිය ආධාරයෙන් අපි චෛත්‍යය මළුව වටා ඇවිදිමින් ප්‍රතිසංස්කරණය වෙමින් පවතින පෞරාණික නටබුන්වල තත්ත්වය නිදහසේ දැකබලා ගත්තෙමු.  
සේරුවාවිල චෛත්‍යය භූමිය මෑත යුගයේ මුලින්ම සොයාගනු ලැබූ දඹගස්ආරේ ශ්‍රී සුමේධාලංකාර ස්වාමීන් වහන්සේ මගේ සොහොයුරා හොඳින් දැන හඳුනාගෙන සිටියහ. එබැවින් උන්වහන්සේ සමඟ කතාබහ කරනු රිසියෙන් අපි ආවාසය වෙතට පිය නැගුවෙමු. අඩක් විවරව තිබුණු දොර අතරින් දැකගන්නට ලැබුණේ උන්වහන්සේ කිසියම් කාර්යයක යෙදී සිටින බවය. පන්සලේ ආවතේවකරු අපේ පැමිණීම උන්වහන්සේට දන්වා සිටියේය.  


මා සොහොයුරා දුටු සැණින් ‘බොහෝම දවසකින්. මොකද මේ රෑ වෙලා’ උන්වහන්සේ සිය සතුට ප්‍රකාශ කළහ. සුහද කතාබහකින් පසුව අපත් සමඟ ආවාසයෙන් පිටතට පැමිණි උන්වහන්සේ ‘අපි යමුකො චෛත්‍ය මළුව බලන්න. හොඳට හඳ එළියත් තියෙනවානේ.’  


ඒ වනවිටත් වැඩිමනත් ප්‍රතිසංස්කරණයකට ලක්ව නොතිබුණු චෛත්‍ය මළුවේ විස්තර පවසමින් ඒ අසල පිහිටි ගල්තලාව වෙතට අප එක්කරගෙන ගියහ. එහි පසෙකින් මියගිය හස්තිරාජයකුගේ ඇටසැකිල්ලක් තිබිණි. ඒ ගැන මගේ අවධානය යොමු විය. අලියාගේ හිස් කබල, හකුපාඩාව, පාද අස්ථි කොටස් ඉළ ඇට ආදිය දිගු කලක් තිස්සේ වැස්සට තෙමී අව්වට වේළී නිරාවරණව තිබීම හේතුවෙන් ධවල පැහැ ගෙන රෑ සඳ එළියේ දීප්තිය නඟමින් ගල්තලාවට අභිමානයක් එක් කළේය.  


‘මේ සතා මං මේ ස්ථානයට වැඩම කළ කාලයේදීම වගේ මේ ගල්තලාව උඩට ඇවිත් මැරිලා හිටියා. දකින්න තරම් ඇඟේ තුවාලයක් තිබුණේ නැහැ. සමහර විට වයසට ගිහිල් වෙන්න ඇති. පහළින් ලොකු වතුර වළකුත් තිබුණා. වෙරුගලට යනකන්ම හතර වටේ ගන කැළෑව. වනසතුන් නොසෑහෙන්න හිටියා. දවාලටත් අලි එනවා වතුර බොන්න. වැටුණු තැනම ශරීර කූඩුව ගල උඩ දිරාපත්වෙලා ගියා.’ ජීවිතයේ ප්‍රථම වතාවට මියගිය අලියකුගේ ඇට සැකිල්ලක් අත පත ගාලා බලන්න මට අවස්ථාව ලැබුණේ ඒ සොඳුරු රාත්‍රියේදීය.  
කොට්ටියාරම් පත්තුවට මහ රෑ හඳ පායන විට ලෝකය මොනතරම් සුන්දරදැයි මට සිතිණ. ඒ සුන්දරත්වය දැක දැකත් අසරණ සිරකරුවකු ලෙස අකාලයේ මිය යන්නට සිදු වූ රොබට්ස් නොක්ස් (පියා) ගැන මට වේදනාවක් ඇති විය.  


සිවනාදන්ලාගේ ජීවන මාර්ගය වූයේ කුඹුරු ගොවිතැනය. ගමේ කුඹුරු වැඩ කිරීමට අමතරව ඔවුහු සෝමාවතී වනාන්තරය තුළ පිහිටි අංගොඩවිල්ලුවේද කුඹුරු කළහ. එය ඔවුන් පාරම්පරිකව කරගෙන ගිය කාලීන වගාවකි. අංගොඩවිල්ලුව පිහිටියේ වෙරුගල් ආරුව ඉස්මත්තේ දෙගංබඩ තලාවකය. ඊසානදිග මෝසම් වැසි අවසන් වන පෙබරවාරි මාසයත් සමඟ ඔවුහු අංගොඩවිල්ලුවට පැමිණෙති.   


පවන ගංතොටින් වෙරුගල් ආරුව තරණය කර අංගොඩවිල්ලුව බලා යන ගමන අතිශය සුන්දර අත්දැකීමකි. තුන් මාසයක් පුරාවට කුඹුරු අස්වද්දා අස්වනු නෙළාගන්නා ඔවුහු නිරිතදිග මෝසම් වැසි ආරම්භ වන මැයි මාසය වනවිට වනාන්තරයෙන් සමුගනිති.  


අත්තා මුත්තා කාලයේ පටන්ම සෝමාවතී වනාන්තරයේ මහවැලි ගඟබඩ තෘණභූමිවල කිරිපට්ටි පාලනය පවත්වාගෙන ගියේද දමිළ හා මුස්ලිම් ජාතිකයෝය. මඩකළපුව, සමන්තුරේ, එරාවුර් ප්‍රදේශවලින් මුස්ලිම් ජාතිකයෝද කොට්ටියාරම් පත්තුවෙන් දමිළ ගවපට්ටි හිමියෝද සෝමාවතී වනාන්තරයට ඇදී ආහ. මේ කර්මාන්තයට සිවනාදන්ලා නන් අයුරින් දායක වූහ. එනිසාම සිවනාදන්ගේ කින්නියානු ගොන් බාන බැඳි මඩකළපු කරත්තයේ නැගී සෝමාවතී වනාන්තරය පුරාම සංචාරය කිරීමේ භාග්‍යය මටද උදා විය.  
සාම්පූර් - සේනවූර්හි කදිරාන තම්බිගේ කිරි ගවපට්ටි ගොවිපොළ පිහිටියේ මහවැලි ඩෙල්මාව අසබඩ කොමනච්චි විල්ලුවේය. සුදෝ සුදු කින්නියා එළදෙනුන් දහසකින් පමණ සමන්විත වූ මේ ගොවිපොළෙහි ඉතිහාසය 1920 දසකයටත් එපිටට විහිදෙයි. කදිරාන තම්බිගේ කිරි ගව පට්ටියත්, ඒබ්‍රහම් සයිබු කොම්පැණියේ එළු ගාලත්, කන්දෙට්ටිගේ හරක් වාඩියත්, සීනි කාක්කාගේ දුම්කොළ වාඩියක් එකල සෝමාවතී වනාන්තරයට ආඩම්බරයක් විය. ඔවුහු එසමයේ කොමනච්චියේ නිල නොලත් රජවරුන් වූහ.  
ඒ දීර්ඝ කතා ඉතිහාසය හරිම රසවත්ය. 1980-84 කාලයේ වසර හතරක් පුරාවට මම ඒ වනගත ජීවිතය නොඅඩුව රසවින්දෙමි. කලක් සෝමාවතී වනාන්තරයේ බලපත්‍රලාභී දඩයම්කරුවකුව සිටි ජෝන් මාමා ඇසුරු කිරීමේ වරම මට ලැබිණ.  


නිසල තරු එළියේ කොමනච්චි ගල්පව්ව මත සැතපී රෑ තුන් යාමයක් පුරාවට ජෝන් මාමා මා සමඟ පැවසූ ඒ රසබර කොමනච්චි වෘත්තාන්තය පොතක් ලියන්නට තරම් වටී. ඒබ්‍රහම් සයිබුගේ එළුගාල් ඉදිවූයේ ඓතිහාසික කොමනච්චි චෛත්‍ය භූමියෙන් රැගෙන ආ ගල්කණු මතය. ඒ කොටින්ගෙන් එළුවන් ආරක්‍ෂා කර ගැනීම සඳහාය. එනමුදු රාත්‍රී කාලයේදී ගාලෙන් එළුවන් ඩැහැගන්නා කොටි ගල්කණු දිගේ පහළට බහින දර්ශනය ​ජෝන් මාමා විදුලි පන්දම් දහරාවෙන් බලා සිටියේය.   


අප කිසිවකුත් බලාපොරොත්තු නොවූ අයුරින් 1985 වර්ෂයේදී බියකරු අඳුරු සමයක් උදාවිය. වැඩි දිනක් නොගොසින්ම ජාතීන් වශයෙන් අප එකිනෙකාගෙන් වෙන්කර දමනු ලැබිණ. සිවනාදන්ලාගේ ජීවිත අනාථ කඳවුරුවලට සීමාවෙද්දී අපට ගම්බිම් බලා ආපසු එන්නට සිදුවීම අභාග්‍යයකි. සිත් කම්පාවන සිද්ධීන් එදිනෙදා ජීවිතයට අමුතු දෙයක් නොවීය. දින, සති, මාස අවුරුදු විය. අවුරුදු දස අවුරුදු විය. දස අවුරුදු විසි අවුරුදු විය. කාලය මෙලෙසින් ගෙවී ගියේය.  


මාත් මගේ සොහොයුරාත් යළිත් කොට්ටියාරම් පත්තුවට ගියේ 2013 වසරේදීය. එනම් වසර විසිඅටකට පසුවය. එකල මෙන් මුහුදු යාත්‍රාවල කාලය මිඩංගු කිරීමේ අවශ්‍යතාවක් නොවීය. ත්‍රිකුණාමලය නගරයෙන් මඩකළපුව බලා යන බස් රථයකට නැඟ කින්නියා නව පාලම් පද්ධතිය පසුකරගෙන අපි කෙළින්ම කොට්ටියාරම් පත්තුවට ගියෙමු. පච්චනූරුව දේවස්ථානය ඉදිරිපිටින් බස් රථයෙන් බැසගත් අපි මුලින්ම ගියේ ඒරියතිව්මලේ කඳු පාමුල පදිංචිව සිටි අපේ හිතවතකු වූ ආශිර්වාදන් මහතා දැකබලා ගැනීමටය.  
හුදෙකලා වෙල්යාය, කුඩා කටුමැටි පැල්පත, සුළඟේ සැලෙන උස් පොල් රුප්පාව, අතීතයේ කිසිත් සිදු නූනාක් සේ පෙර අප දැක තිබුණු ලෙසින්ම තවදුරටත් අපේ පැමිණීම බලාපොරොත්තුවෙන් මඟබලා ගෙන සිටියේය. බැස යන සැදෑ හිරු දෙස බලාගෙන ආශිර්වාදන් මහතා මිදුල මැද පුටුවක වාඩි වී සිටී. අප නෙත් සතුටින් පිනා ගියේය. ඉඳිකඩුල්ල පැන අපි මිදුලට පියමැන්නෙමු. අඩවන් දෑසින් හිස ඔසවා අප දෙස බලා සිටි ඒ හිතවතා මිත්‍ර සෙනේහ පුසුඹ හඳුනාගත්තාක් සේ සැණෙකින් ඉදිරියට දිවැවිත් අප බදා ගත්තේය. දෑස් කඳුළින් තෙත් විණි. කතා කරන්නට වචන නැතුවාක් මෙන් අපි මොහොතක් නිහඬව බලා සිටියෙමු.  


නවක මිතුදම් රැසක් ගොඩනැගී තිබිණ. බියකරු අඳුරු සමය තුළ ආශිර්වාදන් මහතාගේ දූවරු දෙදෙනකුම විවාහ කරගෙන තිබුණේ සිංහල පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින්මය. ඔවුහුද ඒ ආසන්නයේ නිවෙස් තනාගෙන පදිංචිව සිටියහ. ඒ වනවිට ආශිර්වාදන් මහතා අසූනව වැනි වියේ පසුවිණ. දෙමල්ලෝ සිංහල දෙමළ භාෂා දෙකම හොඳින් වහරති. ජාතික සමඟිය යනු එය නොවේද? අපේ යටගිය අතීතය ආවර්ජනය කරමින් මවිසින් ලියා තිබුණු ආශිර්වාදන් මහතාගේ ඡායාරූපයක්ද ඇතුළත් ග්‍රන්ථයේ පිටපතක් එතුමාට පිළිගන්වන්නට ලැබීම මට ඉමහත් සතුටක් ගෙන දුන්නේය.  


පච්චනුරුව පසුකරගෙන අප කෙළින්ම ගියේ මලියදූව දෙසටය. එය කිලෝමීටර් තුනක දුර ගමනකි. ගම්මාන තවමත් පාළුවට ගොස් ඇති බවත් දක්නට ලැබිණ. පාරේ ගැවසෙන සෙනඟද නැත. අප ටික දුරක් ඇවිදගෙන යන විට පට්ටිතිඩල් ගම්මානය අසල පිරිසක් පාරේ රැඳී සිටියහ. ගමට එන අමුත්තන් දෙදෙනා දෙස ඔවුන් විමසිලි වූ බවක් පෙනිණි. අපටද එක්වරම ඔවුන් කිසිවකු හඳුනාගැනීමට බැරිවිය. එහෙයින් සිනහවක් පාමින් අප ඉදිරියට යත්ම ඒ අසල පාර අයිනේ ඇති වසා දමන ලද කුඩා කඩයක් පෙන්වා ‘මේ ඇලන් අයියාගේ කඩය නොවේදැයි’ කියා මම සොහොයුරාගෙන් ඇසුවෙමි.  


එවිට එකවරම පිරිස අතරින් අයෙක් ‘එන්ගේ ඇලන් අයියාට කඩේකි’ කියා සැර පරුෂ වදනින් අප දෙස බලා ඇසූහ. අප මඳ තිගැස්මකට පත් වුවද හැරී බලත්ම පිරිස අතරින් කෙනෙක් ‘ආහ්! ජායා’ කියා කෑගසමින් දිව අවුත් මා සොයුරා බදා ගත්තේය. ඒ අපි හොඳින් ඇසුරු කළ පොන්නම්බලම්ය. ඒ ආදර වැළඳගැනීම සුළු වේලාවක් තුළ තව තව පිරිස් එහි කැඳවන්නට හේතු විණ. දුරු මඟ ගෙවා තමන් බලන්ට පැමිණීම ගැන ඔවුහු සියල්ලෝම විස්මයට පත්වූහ. ගමේ සිටි වැඩිහිටි පරම්පරාවේ බොහෝ දෙනකු අකාලයේ ජීවිතයෙන් සමුගත් බව මෙහිදී දැනගන්නට ලැබීම අපේ දැඩි සංවේගයකට කාරණාවක් විය.
සිවනාදන්ගේ සොහොයුරා වන ආශිර්වාදන්ගේ නිවස පිහිටියේ මලියදූව නමැති පුංචි ගොඩබිම් දූපතකය. අප එහි යන විට නිවසේ තරමක පිරිසක් රැස්ව සිටියහ. ආශිර්වාදන් ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව දැනගන්නට ලැබිණ. උතුරා ගිය සෙනෙහසින් අප පිළිගත් ආශිර්වාදන්ගේ බිරිද ඔත්පළව සිටින සැමියාගේ ඇඳ අසලට අප කැඳවාගෙන ගියාය. වේදනාවෙන් කෑගසන රෝගියාගේ තත්ත්වය බරපතළ බව අපටද වැටහිණ. එනමුදු අපේ පැමිණීම කන වැකුණු විගසින් අමාරුවෙන් හිස හරවා අප දෙස බලා හේ අඬන්නට පටන්ගත්තේය. සැණෙකින් හිමින් මුමුණා බිරිඳට යමක් පැවසීය.  


ඉක්මනට බත් ටිකක් උයා අපට කන්නට දෙන ලෙසට කළ ඉල්ලීමකි ඒ. අතීත ළෙන්ගතු ඇසුර සිහිපත් වී අපේ නෙත්වලින් කඳුළු ගලා එන්නට පටන් ගත්තේය. දෑස්වලින් කඳුළු වියැළෙන්නට හැර මම සිවනාදන් ගැන විමසුවෙමි. එයද දුක් මුසු කතාවකි. එය මෙසේ ලියැවෙන වගයි.  


ඒ අඳුරු සමය තුළ උපන් ගම්මානය ආසන්නයේම ස්ථාපිත අනාථ කඳවුරක දිවි ගෙවන්නට මෙගම්වැසියනට සිදුවිය. එහි එක්තරා වාසියක්ද තිබිණ. එනම් රාත්‍රී කාලයේදී අනාථ කඳවුරේ රැඳී සිට අවැසි නම් දිවා කාලයට තම නිවෙස්වලට ගොස් ගේදොර බලා ආපසු ඒමේ නිදහස ගෘහ මූලිකයන්ට හිමිවීමයි.   


මේ අන්දමට සිවනාදන් ද උදේට නිවසට ගොස් තමන්ගේ ජීවන වෘත්තියට උර දුන් ගොන් බානට කවා පොවා නහවා එන්නට පුරුදුව සිටියේය. දිනක් සිවනාදන් ගෙදරට යනවිට ගොන් බාන දිගෙලි කර තිබුණු කඩත් සමගම අතුරුදන්ව සිටියේය.  


හිස ගිනිගත් හේ වෙල් යායන් වතුපිටි හැමතැන ඇවිද සොයා බැලුවද ගොන් බාන හමුවූයේ නැත. ඉක්බිති ලද හෝඩුවාවකට අනුව තවත් මිතුරකුත් සමඟ ඔහු අල්ලපු ගම්මානය දෙසට ගියේය. මැදියම් දහවල වන තුරුත් මඟතොට විමසමින් රස්තියාදු වූ නමුත් ප්‍රතිඵලයක් නොවූයෙන් වේදනාවටත් කෝපයටත් පත් ඔහු තම පවුලේ බඩවියත රැකදුන් ඒ අහිංසක සත්ත්වයන් සොරාගත් අයට ශාප කරමින් තවදුරටත් ඔබමොබ ඇවිදින්නට විය. මේ වනවිට හිතේ වේදනාව නිසාම ඔහු මත්පැන් පානය කර තිබුණු බවටද වාර්තා වෙයි.  
කෙසේ හෝ අතරමගදී ගම්මුන් සමඟ බහින් බස් වීමක් ඇති වී තිබේ. ගම්මාන දෙකක ජීවත් වුවද මානව නීතියෙන් පමණක් බෙදා වෙන් කරදුන් එකම කුඹුරු යායක් අස්වද්දා ජීවත් වූ මේ දෙගම් වැසියන් අතරෙහි එකිනෙකා හා දැන හැඳුනුම්කම් පැවැතියෝය. ඒ නිසාම වේදනාවෙන් කෑගසන සිවනාදන්ගේ හිත සනසා ඔහු ආපහු ගමට හරවා යවන්නට වැඩිහිටියන් කීපදෙනෙක් සමත් වූහ.  


එනමුදු ආපසු හැරී යන අතරෙහිද සිවනාදන්ගේ කෝප වදන්වල අඩුවක් නොවීය. ඔහු මඳ දුරක් ඉදිරියට ඇවිද ගියා පමණි. පසුපසින් පන්නා ගිය පිරිසක් සිවනාදන් අල්ලා ආපස්සට ඇදගෙන ආහ. යහළුවාද ඒ පස්සේම ගියේය. කෝපයෙන් කෑගසන පිරිස සිවනාදන්ගේ අතට උදැල්ලක් දුන්හ. වළක් හාරන ලෙසට බල කෙරිණි. මිතුරා විස්මයෙන් බලා සිටී.  


පහරදීම් අඩම්තේට්ටම් මැද බියට පත් සිවනාදන් වළ කැපීමට පටන්ගත්තේය. හති දමයි, ත්‍රාසයෙන් වටපිට බලයි. ලැබෙන අණ ප්‍රබලය. යළිත් වළ කපයි. මිතුරාගේ ඇස් කළුවන් විය. ඔහු අවසානයට දුටුවේ කැපූ වළ තුළටම සිවනාදන් තල්ලු කර දැමූ පිරිස දඩිබිඩි ගා වළ පස්වලින් පුරවන බියකරු දර්ශනයයි.  
සැණෙකින් ආපසු හැරුණු මිත්‍රයා අන් අයගේ අවධානය තමන් වෙත එල්ලවීමට ප්‍රථම එතැනින් ඉවතට පැනගෙන පඳුරුගොමු, ගස්වැල් අතරෙහි සැඟවෙමින් ද පාළු වෙල්යායන් තුළ දණ බඩගාමින්ද ආපසු ගමට රිංගා ගැනීමට සමත් විය.  


හිතවත් සිවනාදන්! ඔබට සග මොක් සුව! රෑ හඳපානේ සේරුවිල යන්නට අපට තවත් වරම් නැත.

 

කැමිලස් වනිගසූරිය