සිරුර හැඩ ගන්වන්න පච්ච කොටන කලාව


 

 

ටැටූ එසේත් නැත්නම් පච්ච කලාව ලොව අතිශයින් ජනප්‍රිය කලාවකි. මේ කලාවට කොතරම් දිගු ඉතිහාසයක් ඇත්ද යත් එය මානව ශිෂ්ටාචාරයට පෙර සිටම මිනිසා තම ශරීරය අලංකාර කර ගැනීමට භාවිත කර තිබූ බවට ඉතිහාසයේ පැහැදිලි සාක්‍ෂි පවතී.  
දෙවැනි ශතවර්ෂය මිසරයේ තිබී හමුවූ ඉපැරණි මමීවල පවා පච්ච කොටා තිබූ බව පර්​ෙ‌ය්ෂණයෙන් සොයාගෙන ඇත. ක්‍රිස්තු පූර්ව තුන්සීයේ දී පමණ පැරැණි ‘‘අයිස්මෑන් ඔඩිස්’’ නමැති ශරීර කොටස් මත පච්ච වැනි දෑ නිර්මාණය කර තිබූ බව ද අනාවරණය කරගෙන ඇත.  


එවැනි ඉපැරණි පච්ච කලාව ලංකාවට පැමිණ තිබුණේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ පැමිණීමත් සමඟ පච්ච කලාව ලංකාවට පැමිණි බව සඳහන් වේ.   


අතීතයේ දී සිරුරේ පච්චයක් කොටාගෙන ඉන්න අය දිහා සමාජය බැලුවේ එතරම් හොඳ ඇසකින් නොවේ. බොහෝ විට එවැන්නන් සමාජය හැඳින් වූයේ අයි.ආර්.සී. කාරයෝ ලෙසය. දරුණු, රළු පුද්ගලයින් සිරුරේ පච්ච කොටාගෙන සිටිනවා යන මතය එකල සමාජයේ පැතිර තිබුණි. ‘‘මරුවා සමග වාසේ, අම්මා බුදු වේවා’’ අතීතයේ දී ජනතාව අතර බෙහෙවින් ප්‍රචලිත වූ පච්ච විය.  
නමුත් අද වන විට ඒ මතය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙන අතර පච්චය කියන නාමය වෙනුවට ටැටූ යන වචනය බෙහෙවින් ජනප්‍රිය වචනයක් බවට පත්ව අවසානය.   


ටැටූ කලාව වර්තමානයේ ලොව පුරා ඉතා ජනප්‍රිය කලාවකි. පිරිමින්ට පමණක් අතීතයේ දී සීමා වී තිබූ මේ කලාව අද වන විට පිරිමින් හා සමව කාන්තාවන් අතර ද ජනප්‍රිය කලාවක් බවට පත්ව අවසානය.  


ටැටූවටල අමතරව මේ වන විට විවිධාකාරයේ සිරුරු අලංකරණ ක්‍රම ලොව පුරා සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී. මෙම ‘‘සිරුරු අලංකරණය (Body Modipication) කලාව’’ ටැටූවෙන් එහා ගිය කලාවක් බවට පත්කරගෙන තිබේ. ඇතැම් සිරුරු අලංකරණ ක්‍රම දෙස බැලූවිට පෙනී යන්නේ ඒවා සිරුරට වැදීම සඳහා යොදාගනු ලබන ක්‍රම ලෙසය.  


අතීතයේ විසූ නොදියුණු ජනතාව සිරුරු අලංකරණය සඳහා පච්චා කොටාගනු ලැබුවේ තම වර්ගයා හඳුනාගනු පිණිසය. අදට ද අප්‍රිකානු සහ ඇමේසන් වනය ආශ්‍රිතව ජීවත් වන ග්‍රෝතික ජනයා සිරුරට වද දෙන ආකාරයේ අලංකරණ ක්‍රම භාවිතා කිරීම සිදුකරති. එය ඔවුන්ගේ ගෝත්‍රවල අනිවාර්ය චාරිත්‍රයක් ලෙස ද සැලකේ.  


වර්තමානයේ මෙම සිරුරු අලංකරණ කලාව කොතරම් විවිධාංගීකරණය වී ඇත්දැයි කිවහොත් ඔවුන් අප්‍රිකානු සහ ඇමේසන් ග්‍රෝතික ජනයා සිහිපත් කරවයි. ඒ අනුව මෙම කලාව නොදියුණු මිනිස් ශිෂ්ඨාචාරය කරා ආපසු ගමන් කර ඇති බව සිතේ.  
වර්තමානයේ ටැටූවලට අමතරව වෙනත් සිරුරු අලංකරණ ක්‍රම මගින් සිරුරට ලබා දී ඇති වධ විශ්වාස කළ නොහැකි තරම්ය. මේවායින් යම් ආශ්වාදයක් ලබාගැනීම හෝ ප්‍රසිද්ධ වීම බලාපොරොත්තු වේ. 

 
ටැටූවලට අමතරව සම පලුදු කිරීම්, දිව වර්ණ ගැන්වීම, තියුණු ලෙස විවිධ උපාංග සිරුරේ අවයවවලට කාවැද්දීම, සම ඇදීම, ත්‍රිමාණ ටැටූ, අස්ථි කාචය වර්ණ ගැන්වීම, මුහුණ සිදුරු කිරීම, සත්ත්වයින් මෙන් මුළු සිරුරම ටැටූ කිරීම හා ජනප්‍රිය ඉංග්‍රීසි චිත්‍රපටවල ඇති දුෂ්ඨ චරිත ආකාරයට මුහුණු හැඩ ගැන්වීම සමඟ ප්ලාස්ටික් සැත්කම් දැනට ලොව පුරා බහුලව සිදුකෙරෙන සිරුරු අලංකරණ ක්‍රම වේ.  
වර්තමානයේ සිරුරු අලංකරණය සඳහා ප්ලාස්ටික් සැත්කම් බහුලව සිදු කෙරුණ ද අතීතයේ දී ඒවා සිදුකර තිබුණේ තදින්ම අවශ්‍යතාවයක් දැනුණු අවස්ථාවල දී පමණි.  


මේ සඳහා උදාහරණයක් ලෙස ‘‘සිපිලිස්’’ යන භයානක ලිංගික රෝගය හැඳින්වීමට පුළුවන. අද මෙම ලිංගිකව බෝවෙන රෝගය සාර්ථකව සුවපත් කිරීමට හැකියාව තිබුණ ද, අතීතයේ එසේ හැකියාවක් තිබී නැත. එබැවින් මේ සඳහා අතීතයේ දී භාවිත කළ ප්‍රධානතම පිළියම වූයේ සිරුරේ යම් ස්ථානයකින් ලබාගත් සමේ කොටස් සිපිලිස් රෝගය හේතුවෙන් හටගෙන තිබූ තුවාල වැසෙන ආකාරයට තබා මැසීමය. නමුත් එය සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් නොවූව ද සමාජ අපවාදයෙන් ගැලවීම සඳහා සිපිලිස් රෝගයට ගොදුරු වූවකට මෙය සුළු හෝ උපකාරයක් වී ඇත.  


මෙම සිරුරු අලංකරණයේ දී ප්‍රධානම ස්ථානය හිමිවන්නේ ටැටූ කලාවටය. අතීතයේ දී සිරුරේ එක් ස්ථානයක යම් වචනයක් හෝ රූපයක් කෙටීම සිදුවුවද වර්මානයේ සම්පූර්ණ සිරුරම ආවරණය වන ආකාරයට මේ පච්ච කෙටීම සිදු කෙරේ.  
ලකී ඩයමන්ඩ් රිච් නමැත්තා මේ ආකාරයට මුළු සිරුරම වැසෙන පරිදි ටැටූ කරගත් ටොමි ලෙහර්ච් ද අද ලෝ ප්‍රසිද්ධව සිටියි. දිවියෙකු​ගේ අකාරයට ඔහු තම ඇස් පවා වෙනස් කර ගෙන සිටීම විශේෂත්වයකි. ඔහු ප්‍රකට "LEPPERD MAN" ලෙසය.  
එසේම මනඃකල්පිත චරිතයක් වන ඩ්‍රැකියුලා මෙන් සිරුර අලංකරණය කරගත් මාරියා ජෝස් ක්‍රිස්ටිනා ද එවැනි ප්‍රසිද්ධ චරිතයකි. 35 හැවිරිදි ඇය ලොව පුරා ප්‍රසිද්ධ ‘‘වැම්පයර්’’ ලෙසය.  


මීට අමතරව බළලෙකුට සමාන ආකාරයෙන් තම මුළු සිරුරම හැඩගස්වාගත් කාන්තාවක් පිළිබඳව ද වාර්තා වී තිබෙනවා. ඩෙන්ස් ඇවිනර් නම් මේ කාන්තාව තම මුහුණේ හැඩය සම්පූර්ණයෙන්ම බළලෙකුගේ මුහුණට සමාන ආකාරයෙන් සකසාගෙන ඇත. ඇගේ දෙඇස්, තොල් පමණක් නොව දත් පවා බළලෙකුට, කොටියෙකුට සමාන වන ආකාරයට සකසාගෙන තිබීම විශේෂත්වයකි. එපමණක් නොව නාසය, දෑතේ අඟිලිවල නිය ද බළලෙකුගේ සමාන ආකාරයට සකස්කර ගැනීම නිසාම ලොව පුරාම ඇය ප්‍රකටව සිටියේ ‘‘මිනිස් බළලා’’ (Human Cat) ලෙසය. 2012 වසරේ දී වයස අවුරුදු 54 දී ඇය මියගියාය.   
සිරුරේ සම ගැඹුරට වන පරිදි කපා ඉවත්කර එයින් ඇතිවන තුවාල කැළල් පච්චයක් ආකාරයට නිර්මාණය කිරීම ද මෑතක දී ලොව ප්‍රකට තවත් සිරුරු අලංකරණ විලාසිතාවකි. "SCARRING" යනුවෙන් හැඳින්වෙන මෙය සිහිගන්වන්නේ හරකුන්, අශ්වයින් හංවඩු ගැසීමේ ක්‍රමයයි. එම කපා ඉවත් කිරීමෙන් හෝ පිළිස්සීමෙන් සිදුකරන මේ ක්‍රමය අතිශයින්ම වේදනාකාරිය.  
මේ හා සමාන තවත් සිරුරු අලංකරණ ක්‍රමයක් ‘‘ත්‍රිමාණ ටැටූ’’ (3D Tattoos) නිර්මාණය, මේ සඳහා භාවිතා කෙරෙන විශේෂ එන්නත් මාර්ගයෙන් සම පුම්බා ඉන් පසුව තමන් කැමති හැඩයක් නිර්මාණය කිරීම මෙහිදී සිදුකෙරේ. මෙය සිරුරට ඉතා හානිදායක ක්‍රමයක් ලෙස සැලකේ. පපු පෙදෙස, හිස, නළල, තොල් අත් පා ආදී ස්ථාන ත්‍රිමාණ ටැටූ නිර්මාණය සඳහා යොදාගනී.  
සම ඇදීමෙන් හෝ සිදුරු කිරීමෙන්, කැපීමෙන් සිරුර අලංකරණය සඳහා පෙලඹීම විදෙස් රටවල ඉතා ප්‍රචලිත ක්‍රමයකි. බොහෝ විට සැත්කම් මගින් සිදු කරනු ලබන මෙය ද අතිශයින්ම වේදනාකාරී ක්‍රමයකි. කන, නාසය, දිව, කම්මුල ආදී සිරුරේ අතිශයින්ම සංවේදී ස්ථාන පවා සිදුරුකොට ඒවාට කුඩා බොත්තම් ආකාරයේ ආභරණ පැලඳවීම මෙහිදී සිදු වේ. මෙය සිහියට නැගෙන්නේ නොදියුණු අප්‍රිකානු ගෝත්‍රිකයින් තම තොල, කන, නාසය, දිව සිදුරු කර ඒවාට විශාල ප්‍රමාණයේ ආභරණ පැලඳ සිටින ආකාරයයි.  
මෙහිදී ඇතැමුන් තම දිව කොටස් දෙකකට වෙන්වන සේ කපාගෙන තම සිරුරට අලංකාරයක් ලබාගැනීමට තරම් පෙළඹීම ද විශ්වාස කළ නොහැකි තරම්ය. එවිට ඔවුන්ගේ දිව දිස්වෙන්නේ කොටස් දෙකකට බෙදී ගිය උරගයින්ගේ දිවට සමානවය. මෙසේ දිව කැපී පසුව වචන උච්චාරණය කිරීම ද අපහසුවන්නා සේම ආහාර ගැනීමේ දී ද අපහසුතාවයක් ඇතිකරවයි. නමුත් ඒ සියල්ල පසෙකට දමා සිරුරේ අලංකාරය පිළිබඳව පමණක් සිතීම පුදුමාකාරය.

  
මේ සමගම දිව වර්ණ ගැන්වීම ද බහුලව සිදු කෙරෙන ක්‍රමයකි "INKED TOMAVE" යනුවෙන් මෙය හැඳින්වේ. කොළ, රතු, නිල්, කළු, වර්ණ යොදා දිව වර්ණ ගැන්වීම මෙහිදී සිදු කෙරේ. මෙය හරියට වර්ණ සහිත අයිස්ක්‍රීම් පොප්සිකලයක් දිව ගෑමෙන් පසුව දිව වර්ණවත්ව දිස්වෙන ආකාරය සිහිපත් කරවයි. මෙය ද අතිශයින් වේදනාකාරිය එයට හේතුව එන්නත් මාර්ගයෙන් දිව වර්ණ ගැන්වීමට සිදුවීමය.  


සිරුරට තියුණු ලෙස විවිධාකාරයේ උපකරණ කාවැද්දීම තවත් සිරුරු අලංකරණ ක්‍රමයකි. මෙය වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය අලංකරණ ක්‍රමයකි. හිංදු බැතිමතුන් දෙවියන් සඳහා වන බාරහාර ඔප්පු කිරීම සඳහා සිරුරේ විවිධ ස්ථානවල කම්බි කොකු ගසාගෙන පෙරහරේ යාම මෙයින් සිහිපත් වේ. විශේෂයෙන්ම මුහුණට, දිවට, කනට, ගෙලට, ඇස්බැමට, පපු පෙදෙසට, උදරයට, දෙපාවලට විවිධාකාරයේ තියුණු කම්බි කොකු ගසාගෙන තම සිරුරට අලංකාරයක් ලබා ගැනීමට පෙලඹෙති. මෙහිදී එවැන්නෝ මුඛයෙන් ආහාර ලබා ගන්නේ කෙසේද යන ප්‍රශ්නය එවැනි දෙයක් දකින්නා තුළ ඇති වේ. මෙය ද බොහෝ වේදනාකාරී සිරුරු අලංකරණ ක්‍රමයකි.  
අක්‍ෂි කාචය යනු මිනිස් සිරුරේ අතිශයින්ම සංවේදී ස්ථානයකි. මෙම ස්ථානය පවා පච්ච කොටා සිරු​රට අලංකාරයක් එක්කර ගැනීමට උත්සාහ ගැනීම ද පුදුමාකාරය. මෙය ‘‘ඇස් ටැටූ කිරීම’’ (EYE TATTOOMNG) නමින් හැඳින්වේ. තමන්ට අවශ්‍ය ඕනෑම මෝස්තරයක් තීන්ත යොදා එන්නත් කර අක්‍ෂි කාචය මත ටැටූ නිර්මාණය කිරීම මෙහිදී සිදු කෙරේ. මෙය ඉතාම හානිදායක ටැටූ වර්ගයක් බවට පළ වී තිබේ.  


මෑත කාලයේ ප්‍රදර්ශනය වූ ක්‍රියාදාම ඉංග්‍රීසි චිත්‍රපටවල ඇතුළත් වීර චරිත බොහෝ ප්‍රේක්‍ෂකයන්ගේ තදින්ම සිත් ඇද බැඳගත් ඒවා විය. ඒ ආකාරයටම ඉතා ජනප්‍රිය වූ ‘‘කැප්ටන් ඇමෙරිකා’’ චිත්‍රපටයේ සිටින දුෂ්ට චරිතයකට දැඩි ලෙස ඇළුම් කළ ඇමෙරිකාවේ හෙන්රි සීමන් ද එම දුෂ්ට චරිතයේ ආකාරයටම තම මුහුණ හැඩකර ගත්තේය. මෙහිදී විශේෂත්වයක් වූයේ හෙන්රිට තම උපන් නහයේ කොටසක් පවා ඒ සඳහා කපා ඉවත් කිරීමට සිදුවීමය. එපමණක් නොව ඔහුට තම මුහුණ රතුපාට වර්ණයෙන් ටැටූ කරවා, නළල, ඇහිබැම පවා පුම්බා වෙනස්කර ගැනීමට සිදුවිය. මෙයින් ඔහුට බිහිසුණු ස්වරූපයක් ලැබුණු අතර, තම අනන්‍යතාවය පවා ඔහුට නැවත අලුත්කර ගැනීමට සිදුවිය.  


මෙම සිරුරු අලංකරණ ක්‍රමවේද ඇතැම් රටවලට ඩොලර් බිලියන ගණන් ආදායම් උපදවන ව්‍යාපාර බවට පත්ව ඇත. විශේෂයෙන්ම ඇමෙරිකාව, ජර්මනිය, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, තායිලන්තය වැනි රටවල මෙවැනි සිරුරු අලංකරණ උන්මාදයක් බවට පත්ව අවසානය.  


අප්‍රිකානු සහ ඇමෙසන් ගෝත්‍රික ජනතාව මෙවැනි සිරුරු අලංකරණ බහුලව සිදුකළ ද ඔවුන් වෙසෙන දුෂ්කර පරිසර රටාවෙන් ඔවුනට උරුමව ඇති ස්වභාවික ශාරීරික ශක්තිය හේතුකොට ගෙන ඔවුන්ට ඒවායින් සිදුවන හානිය අවමය. නමුත් වර්තමානයේ මෙසේ සිදුවන බොහෝ සිරුර අලංකරණ ක්‍රමවේද මරණයට අත වැනීමක් වැනිය.  


විශේෂයෙන්ම මේ සඳහා භාවිත කෙරෙන රසායන ද්‍රව්‍යවලින් හටගන්නා ආසාත්මිකතාවය මෙන්ම තුවාලවලට ඇතුළු වන බැක්ටීරියා ආසාධන හේතුවෙන් සහ මේ සඳහා සිදුකෙරෙන සැත්කම් වැරදී යාමෙන් මරණ බහුලව වාර්තා වී තිබේ.
එසේ සිරුරු හැඩගස්සවා ගැනීමට යාමෙන් පසුගිය කාලයේ දී අප රටේ ද කාන්තා මරණ කීපයක්ම වාර්තා විය. එයින් එක් අයකු විශේෂඥ වෛද්‍යවරියක ද වූවාය.  


මෙවැනි සැත්කම් වැරැදී යාමෙන් සිරුරු කොටස් විකෘති වූ අවස්ථා ද බොහෝමයක් වාර්තා වේ. සම, පියයුරු, තොල් කඩා වැටීමෙන් හෝ පිම්බීමෙන් මෙම විකෘති වීම් ඇති වී තිබේ.  


මෙම ශිල්පය ඉතා දක්‍ෂ නිර්මාණශීලි ශිල්පීන් ලවා කරගත යුතු සේම, ඒ සඳහා භාවිතා කෙරෙන රසායන ද්‍රව්‍ය මෙන්ම එන්නත් වර්ග ද ඉහළ ප්‍රමිතියකින් යුතු ඒවා විය යුතුය. එසේ නොවීමෙන් සිදුවන්නේ සිරුරු අලංකරණය නොව අකාලයේ මරණය වැළඳ ගැනීමටය.  
අප රටේ තවමත් භාවිතා කෙරෙන්නේ ටැටූ නිර්මාණය සහ විවිධ උපාංග මුහුණේ හෝ සිරුරේ යම් ස්ථානයක පැලඳීම පමණි. නවීකරණය වන ලෝකයේ හමුවන ඉහත සඳහන් කළ විකාරරූපී සිරුරු අලංකරණය ද වැඩි කලක් නොගොසින් අපේ රටට ද පැමිණිය හැකිය.  


(තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි)  

 

 

පුෂ්පකුමාර ජයරත්න