සිරිලාල් කොඩිකාර හා ජයන්ත වීරසේකර මාවත


 

යටත් විජිත සමයේත් ඉන් පසුවත් කාලයක් යන තුරුම එවකට සිටි ආණ්ඩු කාරයන් සිහි වීමට විදී නාමයෝ සමානව යොදා තිබුණි. සර් හෙන්රි වෝඩ්, සර් තෝමස් මේට්ලන්ඩ්, සර් එඩ්වඩ් බාන්ස්, සර් විලියම් ග්‍රෙගරි, ටොරින්ටන් සාමි ආදී විදී නාම සංඛ්‍යාව සිය ගණනකි.   


මේ නම් ලාංකිකයන්ගේ කටට කොයිතරම් පුරුදුද්‍ කිවතොත් අපට නම කියැවෙන්නේ ටොරින්ටන් චතුරශ්‍රය, හැව්​ෙලාක් පාර, මැකාති පාර , කැම්බල් පෙදෙස, වෝඩ් පෙදෙස ආදී වශයෙනි. 
මේ කතාව ලියන්නේ මරදානේ ඩ්‍රිබර්ග්ස් ඇවනියු, යනුවෙන් හැඳින් වූ මාවත ගැනයි. මෙය අද හඳුන්වන්නේ ජයන්ත වීරසේකර මාවතයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව කොළඹ විදී නාමයන්ට ආණ්ඩුකාරවරුන්ගේ නම් දැමීම වෙනස් වී වෙනත් ජාතීන්ගේ නම් වලින් ද හඳුන්වනු ලැබීය. ඒ අනුව මේ පාරට ඩ්‍රිබර්ග්ස් ඇවනියු යන නාමය ලැබුණි. 


එවකට ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ බර්ගර් ආසනය නියෝජනය කළ ඇලන් ඩ්‍රිබර්ග්ස් මහතා සිහි වීම පිණිස ඩ්‍රිබර්ග්ස් ඇවනියු යන්න යොදා තිබුණේය. 


සිරිලාල් කොඩිකාරයන් 1954 දී නැවතී සිටියේ මේ කියන ඩ්‍රිබර්ග්ස් ඇවනියු නමැති පාරේ අංක 21 / 12 දරණ තැනය. තමා වසර හයක් සේවය කළ සිංහල ජාතිය පුවත් පත වසා දමා තිබූ වකවානුවයි. හරියාකාර රැකියාවක් නැති වුවත් ඔහු සිංහල ලේඛක සංගමයේ ලේකම් හැටියට කටයුතු කරගෙන ගියේය. කේ. ජයතිලක මහතා ලාල්ගේ හොඳම හිතව​ෙතකි. ජයතිලකයන්ට උසාවිය පාරේ කාර්යාලයක් තිබුණි. සිරිලාල්ට එහි කිසියම් රැකියාවක් ලබා දී තිබුණ නිසාත් සිංහල ලේඛක සංගමයේ කාරක සභා රැස්වීම් නිතර නිතර පැවැත්වුණ නිසාත් ලාල්ට නිතර නිතරම හල්ෆ්ට් ඩොෆ්ට් වලට ඒමට සිදු විය. එකල උසාවිය පාර හැඳින්වූයේ හල්ෆ්ට්ඩ්‍රොෆ්ට් යනුවෙනි. 


සිංහල ලේඛක සංගමය පිහිටු වීම පිළිබඳ යෝජනාව කේ. ජයතිලකයන් සමග මුලින්ම සාකච්ඡා කළේ සිරිලාල් කොඩිකාරයන් හා ඇම්.ඩී.ඇන්. ඔස්ටින් විසිනි. ලංකාදීප පත්‍රයේ පියල් වික්‍රසිංහයන්ගේ සහාය ඒ සඳහා ලැබුණු බව සඳහන්ය. මෙහි මංගල රැස්වීම පවත්වන ලද්දේ වැල්ලවත්තේ බහුතාක්ෂණික ආයතනයේදීය. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් එහි සභාපති හැටියට යෝජනා කළේ බලදේව දේශබන්දු මහතාය. භාණ්ඩාගාරික ධුරයට කේ ජයතිලකයන් පත් විය. කාර්යාලය සඳහාය. ස්ථානය සඳහා ද කේ. ජයතිලකයන්ගේ උසාවිය පාරේ කාර්යාලය යොදා ගනු ලැබිණ. පියල් වික්‍රමසිංහයෝ එහි ලේකම් විය. එවකට ඔහු ඉරිදා ලංකාදීප පත්‍රයේ කතුවරයා විය. 
සිරිලාල් කොඩිකාර ලේකම් ධුරය දරණ සිංහල ලේඛක සංගමය නිතර සාකච්ඡා පැවැත් වූයේ ඔහුගේ බෝඩිමේය. ක්‍රියාකාරී කමිටුව නිර්මාණය වුයෙත් එතැනට නිතරම ආගිය අයගෙන්ය. වීරසිංහ මල්ලිමාරච්චි එයින් ප්‍රධාන කෙනෙකි. ඩී.ඩී. සිරිවර්ධන, සිරිල් බී. පෙරේරා ටී. පිය​ෙසා්ම ආදී තවත් බොහෝ ලේඛකයෝ වූහ. 


මරදානේ ඕරිබර්ග් ඇවනියු හි සිරිලාල් කොඩිකාර නවාතැන් ගෙන සිටියත් මේ පාරට යොදා ඇති වීදි නාමය ඔහුට රුස්සන්නේ නැත. බීපු වෙලාවට ඔහු බනින්නේ මේ පාරට නම යෙදු එකාටාත් නම ඇති එකාටයි. එදා කාරක සභා රැස්වීමට පැමිණි අයගේ ගණ පූර්ණය හරියන තෙක් ටි. පියසෝමත්, සිරිලාල් කොඩිකාරත් මේ මාවතේ නම වෙනස් කිරීම ගැන කතා බහක යෙදුණි. එදා රැස්වීමේදී මේ නම වෙනස් කොට අභාවප්‍රාප්ත ලේඛකයෙකුගේ නමක් යෙදිය යුතු යැයි ලාල් යෝජනා කළේය. යෝජනාව ස්ථිර විය. සම්මත විය අභාවප්‍රාප්ත ලේඛකයා ජයන්ත වීරසේකරයි. 


ජයන්ත වීරසේකරයන් පදිංචිව සිටියේත් මේ පාරේම නිසා ගැටළුවක් ඇති වන්නේත් නැත. මේ යෝජනාව සභා සම්මත වීමෙන් පසු කාරිය පැවරුණේ ලේකම් හැටියට සිරිලාල්ටයි. කොළඹ නගරාධිපතිට යෝජනාව යැවුණි. එවකට නගරාධිපතිව සිටියේ වී.ඒ. සුගතදාස මහතාය. ලියුම ලැබුණ බවට කෙටි පිළිතුරක් ලැබුණි. යළිමතක් කිරීම් ලිපි යැවුණි. ඒවාටත් පිළිතුරු ලැබුණි. නැවත මතක් කිරීම් සිදු විය. ඒවාටත් පිළිතුරු ලැබුණි. මාවතේ නම වෙනස් කිරීම වෙනුවට දැන් දෙපැත්තේම ලිපි ගොනු සෑදී තිබේ. ඔබේ අංකය හා මගේ අංකය දෙකම තිබේ. 


මෙය දැන් ලාල්ගේ බෝඩිමේ සගයන් බොන වෙලාවට කතා කරන ප්‍රධාන මාතෘකාවයි. බෝඩිමේ සෙසු අයද තරගයට මෙන් නගර සභාවට දොස් කියති. මේ අතරට වීරසිංහ මල්ලිමාරච්චි කට දැමුවේ ප්‍රශ්නය විසඳා ගැනීමට නුවණක් ඉදිරිපත් කරමිනි. 


‘‘..ලාල් ඕක ඔහොම කරලා හරියන්නේ නෑ. සුගතදාස හම්බවෙන්ඩ යමු....’’ 


වීරසිංහ මල්ලිමාරච්චි ඒ වෙන කොට සුගතදාස සමග දේශපාලන සම්බන්ධකම් ගොඩනගාගෙන සිටියේය. අදාළ ලිපි ගොනුවද රැගෙන මල්ලිමාරච්චි සමග ලාල් ගියේ සෑ​ෙහන හැඟීමකින් යුතුවයි. ඔහු එහි ගියේ රටේම ලේඛකයන් නියෝජනය කරන එකම ලේඛක සංවිධානයේ ලේකම්වරයා හැටියටයි. ලේඛකයන්වත් ලේඛක සංවිධානයටත් ලේකම් වරයාවත් එතරම් වැදගත් අය නොවන බව ඔවුන්ට ඒත්තු ගියේ එහි ගියාට පසුවයි. වීරසිංහ මල්ලිමාරච්චි නිසා නගරාධිපතිතුමාගේ කිසියම් අවධානයක් මේ ගැන යොමු විය. 


‘‘..කවුද මේ ජයන්ත වීරසේකර කියන්නේ’’ නගරාධිපතිවරයා ඇසීය. 


ලාල්ගේ ​ෙදකන් රත් විය. ඔහු සිතා සිටියේ ජයන්ත වීරසේකර යන නම නොදන්නා කෙනෙකු නැතැයි කියාය. ඔහුට උත්තර දී ගන්නට බැරි විය. මල්ලිමාරච්චි ඔහු අපහසුවෙන්...........  


‘‘ඇයි ලාල් කියන්න...’’ සර් ඩ්‍රිබර්ග්ස් ඇවනියු එකේම පදිංචි වෙලා ඉඳලා. ළඟදී මැරුණු ප්‍රසිද්ධ ලේඛකයෙක්. හැමෝම දන්න ප්‍රසිද්ධ ලේඛකයෙක්. මල්ලිමාරච්චි​ෙග් කතාව නිසා තරාදියේ සෑහෙන බරක් ඔවුන්ගේ පැත්තට වැටුණු බව ලාල්ට තේරුම් ගියේය. ලාල් එවර තවත් ලොකු බරක් ඔසවා තැබුවේය. 


‘‘ජයන්ත වීරසේකර මහත්තයා තමයි කුකවි වාදය පොත ලීවේ... කුමාරතුංග මහත්තයාගේ කුකවි වාදේ දෙපැත්තෙම කතා එ්‍ පොතේ තියනවා...’’ 


ලාල්ගේ ඒ කතාව නගරධිපතිවරයාට අණ්ඩර දෙමළයක් විය. ඔහුගෙන් පැවසෙන වචනවලින් පෙනෙන්නේ මේ කිසිවකින් ඔහු තෘප්තිමත් නොවූ බවය. 


‘‘මේ මාවතේ තවත් ලේඛක​ෙයා් ඉඳල මැරෙන්ඩ ඇති නේද? ඔය කියන නම පාරට යෙදුවොත් අනිත් මැරුණ ලේඛකයන්ගේ අය විරුද්ධ වෙයි නේද...’’ 


නගරාධිපතිතුමාගේ ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නට අමාරුය. ඒ සියල්ල වෙනුවට ලාල්ට කදිම දෙයක් ස්ථානෝචිතව මතක් විය. එය ලාල් අසා තිබූ දෙයකි.

 
‘‘ජයන්ත වීරසේකර මහත්තයා තමයි ඩඩ්ලි සේනානායක මහත්තයාට සිංහල උගන්නල තියෙන්නේ...’’ 


නගරාධිපතිතුමා​ෙග් දෑස දීප්තිමත් විය. ලිපිය අතට ගෙන මුල සිට අගටත්, අග සිට මුලටත් නැවැත කියැවූයේය. එහි අනුමත අත්සන යොදා තවත් මොන මොනවදෝ ලීවේය. 


‘‘හොඳයි අපි බෝඩ් එක විවෘත කරන්න එන දිනේ දන්නලා ලියුමක් එවන්නම්... මිස්ට මල්ලිමාරච්චි නිතර නිතර ඇවිත් මේ ගැන බලන්න...’’ 


නගරාධිපතිතුමා මල්ලිමාරච්චිට දුන්නේ සුහද නියෝගයකි. මේ ජයන්ත වීරසේකර මාවතට නම තැබීමේ කතාවයි.

 

 

 

 


සටහන :
පී. ඇම්. සේනාරත්න