සිය ගණනක් බිලි ගත්ත යකාගේ පාලම


මහවැලි ගඟේ බ්ලිගන්න තැන්   

 

යකාගේ පාලමේ මැද කොටස. මෙම ප්‍රදේශයේදී මිනිසුන් දුම්රියට බෙල්ල තබයි. ඉදිරියෙන් පෙනෙන්නේ පේරාදෙණිය දුම්රිය ස්ථානයයි.

 

 

රොබරෝසියා මල් පිපෙන පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියට පියවර තබන අප සැමට දැනෙන්නේ වචනයෙන් කියා නිම කළ නොහැකි අපූර්ව සුන්දරත්වයකි. අහස් වියනක් ලෙස පැතිරී ඇති තුරුලතාවෝ පේරාදෙණිය මහීකාන්තාව ආරක්ෂා කරන්නේ දැඩි හිරුඑළියට අභියෝගයක් වෙමිනි. මෙතරම් සුන්දරත්වයක් ලබාදෙන භූමියේ පහළින් මහවැලි නදිය නිසොල්මනේ ගලා බසී. 

 

හෝටන් තැන්නෙන් පටන්ගෙන ත්‍රිකුණාමලයෙන් මුහුදට වැටෙන මෙරට දිගම මහවැලි ගඟෙන් එගොඩ ​ෙමගොඩවීම සඳහා ඉදිකර ඇත්තේ දුම්රිය පාලම් තුනක් පමණක් බව බොහෝ දෙනෙකු දන්නේ නැත. ඉන් එකක් නම් මෙරට දුම්රිය මාර්ගයකදී හමු​ෙවන දිගම මනම්පිටිය පාලමය. අනෙක් දුම්රිය පාලම් දෙකම අයිති වන්නේ මහනුවරට ය. ඉන් එකක් පිහිටා තිබෙන්නේ කටුගස්තොටය. අනෙක අප කතා කරන පේරාදෙණිය කඵ පාලම, නැතිනම් යකාගේ පාලමයි. 


පේරාදෙණිය (පැණිදෙණිය) සහ සරසවි උයන දුම්රිය ස්ථාන දෙක අතරින් ගලා බසින මහවැලි ගඟ හරහා ඉදි කර ඇති මෙම දුම්රිය පාලමේ බැමි සමඟ සම්පූර්ණ දිග අඩි 348 කි. දෙපැත්ත යා කරමින් ගඟේ සිට අඩි හතළිස් පහක්, පනහක් පමණ උසකින් විශාල කුලුනු හතරක් සාදා, ඒ මත දුම්රිය පාලම සවිකර ඇත. මෙම පාලම කොටස් හතරකට සවිකර තිබීමත් විශේෂත්වයකි. ඒ දෙපැත්ත කෙළවර අඩි 60 දිග පාලම් කොටස් දෙකක් සහ මැද අඩි 100 පාලම් කොටස් දෙකක් වශයෙනි. ඉංග්‍රීසින් විසින් බ්‍රිතාන්‍යයේ “හොරස්” නැමති ආයතනයකින් දුම්රිය පාලම සාද‌ා කොටස් වශයෙන් වෙන්කර, ක්‍රි.ව 1897 දී මෙරටට ගෙන්වා සවිකර තිබේ. 


එහි ආලේප කර ඇත්තේ කඵ පැහැති තීන්තය. ඒ නිසා “කඵ පාලම” ලෙස ආරම්භයේදී භාවිතා කළ ද, තවත් වසර කිහිපයක් ගත​ෙවන විට එය “යකාගේ පාලම” බවට පත් විය. අද ද බොහෝ දෙනෙක් එය හඳුන්වන්නේ ඒ නමිනි. විශ්වවිද්‍යාල භූමියේ කෙළවරට ​ෙවන්නට යකාගේ පාලම පිහිටා තිබේ. 

 

පාලමේ ගඟ පැත්තට වන්නට පෙම්වතුන් සිටින අයුරු. (රවුම තුළ)

 


පේරාදෙණියේ සුන්දරත්වයට අභියෝග කරන යකාගේ පාලම, වසරකට කිහිප දෙනෙකුම බිලි ගන්නා බව රහසක් නොවේ. අවම වශයෙන් වසරකට එක් අයෙකු හෝ තම ජිවිතය පූජා කරන බව ප්‍රදේශවාසීහු පවසති. මෙම වසර ආරම්භයේදීම කටුගස්තොට ප්‍රදේශයේ තරුණයෙක් යකාගේ පාලමෙන් මහවැලි ගඟට වැටී මිය ගියේ ය. එහෙත් අතීතයේදී මෙන් දැන් මිනිසුන් පාලමේ වැදී මිය යන්නේ නැති බවත්, එහි අඩුවීමක් දැකගත හැකි බවත් එම ප්‍රදේශයේ වැඩිහිටි පුද්ගලයෙක් පැවසීය. මේ ආකාරයෙන් බොහෝ දෙනෙක් මියගොස් ඇත්තේ දුම්රියේ ගමන් කරමින් සිටියදී පාලමේ ගැට්ටේ වැදීමෙනි. පෙරහර කාලයේදී එය තවදුරටත් වර්ධනය වේ. අගෝස්තු මස 16 දින කුඹල් පෙරහරින් වීදි සංචාරය ආරම්භ​ෙවන මහනුවර ඇසළ පෙරහර බැලීමට දුම්රියෙන් පැමිණෙන ජනතාව මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නම්, ඒ ඔවුන්ගේම යහපතට හේතුවක් වනු නිසැකය. 
එක දුම්රියක් පමණක් ගමන් කිරීමට හැකියාව ලැබෙන පරිදි සාද‌ා ඇති මෙම දුම්රිය පාලමේ රේල් පිලි දෙකට වම් පසින් ඇතුළතින් ගමන් කළ හැකි මං තීරුවකි. එය සාදා ඇත්තේ දුම්රිය මාර්ගයේ වැඩ කරන සේවකයන්ට ගමන් කිරීම සඳහා පමණි. පොදු මහජනතාවට විවෘතව නැති නිසා ඔවුන්හට ගමන් කිරීමට අවසර නැත. තවද එය අනතුරුද‌ායක ගමනකි. පාලමෙන් යන අතරතුර හදිසියේ හෝ දුම්රියක් පැමිණියහොත් ඉවත් වීමට ඉඩක් නොමැත. මෙයට වසර කිහිපයකට පෙර මෙම මංතීරුවේ කුඩා දරුවෙක් ගමන් කරමින් සිටියදී, ඉදිරියෙන් පැමිණි දුම්රියෙන් බේරීම සඳහා දිව යාමේදී එහි මැද තිබූ හිඩැසකින් ගඟට වැටී මියගොස් තිබේ. 


ඊට අමතරව පාලමේ දෙපැත්තෙන්ම කතිර ආකාරයෙන් සකසා ඇති යකඩ වැටකි. කතිර ඇතුළතින් ගඟ අයිනට යා හැකි​ෙවන අයුරින් ඉඩ ද පවතී. ඉන් රිංගා ඉදිරියට ගියහොත් ගඟට වැටෙනු නිසැකය. මේ තරම් අවද‌ානම් සහිත යකඩ පාලමේ දෙපස අත්තිවාරම උඩ ගඟ පැත්තට වෙන්නට පෙම්වතුන් කිහිප දෙනෙකුම සිටිනු දැක ගත හැකිවීම මා පුදුමයට පත් කරන දසුනක් විය. ඔවුන් ගඟ පැත්තේ යකඩ ඇන්දට බරවී ආදරය කරති. පෙම්බස් දොඩති. ඔවුන්ගේ ලෝකයේ අතරමංවී ඇති සෙයකි. ඒ නිසාදෝ ඔවුන් අසලින් ගිය මාව දැක්කේ ද නැත. පෙම්වතා පෙම්වතියගේ බඳ වටා අත යවා ඇය ළංකර ගනී. වරෙක දෙදෙනා තුරුල් වන්නේ කිසිවෙක් නොදකිනු ඇතැයි සිතා විය යුතුය. ඇයගෙන් ද ඊට බාධාවක් නැත. එහෙත්. කිසියම් අතපසුවීමකින් හෝ පය ලිස්සා ගියොත් දෙදෙනාම අඩි පනහක් හැටක් යට ගඟෙහි සැඟවෙනු නිසැකය.. 


මට හිතුණේ ඔවුන්ගේ අවසාන හමුවීම සනිටුහන් කිරීමට පැමිණි ගමනක් දෝ කියාය. ඊටත් වඩා පුදුමය නම් ඔවුන් පෙම් කිරීමට තෝරාගෙන ඇත්තේ අවදානම් සහිත පාලම් දුම්රිය මාර්ගයක, යක්ෂයාට බිලිවෙන තැනකි. පිවිතුරු ආදරයේ මිහිර මෙවන් තැනකදී ලබාගත හැකිදැයි මට නම් නොතේරේ. ඒ අසලින් ගමන් කළ පුද්ගලයෙකුගෙන් මේ ගැන විමසීමේදී දැන ගැනීමට ලැබුණේ පාලම යට බිලි ගත් සංඛ්‍යාව සඳහන් කරමින් දැන්වීම් පුවරුවක් පවා සවි කර තිබූ බවය. දැනට වසරකට පෙර බිලිගත් සංඛ්‍යාව එකසිය හැට ගණනක් වශයෙන් සඳහන්ව තිබු බවද, ඔහු වැඩිදුරටත් පැවසීය. 

 

 පේරාදෙණිය දුම්රිය පොළ ප්‍රදේශයේ සිට යකාගේ පාලම පෙනෙන අයුරු. 

 


පාලම පසුකර මා ඉදිරියට ගියේ මේ ගැන තවදුරටත් තොරතුරු සොයා ගැනීමේ අදහසිනි. එහිදී යු.ඩී. කමලා මහත්මිය (71) හමු වූවාය. 


‘‘මම උපන්දා සිට පදිංචිව සිටින්නේ මේ ගමේ. කුඩාවට තේ කඩයක් කරගෙන යනවා. වසර හැටක පමණ කාලයක සිට යකාගේ පාලමේ සිදු​ෙවන අනතුරු ගැන මම දන්නවා. දෙසීයකට ආසන්න ප්‍රමාණයක් විවිධ හේතුන් නිසා පාලම උඩ හෝ පාලමෙන් වැටී හෝ මියගොස් තිබෙනවා. සමහර අනතුරු මමත් දැක තිබෙනවා. පෙරහර කාලයට දුම්රියේ දොරේ එල්ලී මිනිසුන් ගමන් කරනවා. ඒ අය පාලමේ ඇන්දේ වැදී ගඟට වැටෙනවා. නැවත ආයේ පියවි සිහිය ලැබෙන්නේ නැහැ. මිය යනවා. බොහෝ දෙනෙක් මැරෙන්නේ පාලම උඩදී දුම්රියෙන් ගඟට වැටිලයි. 


සමහර පුද්ගලයෝ බෙල්ල කපාගන්න, දුම්රියට බෙල්ල තියන්නත් තෝරා ගන්නේ මෙම පාලමයි. මේ ළඟදි කැම්පස් ළමයෙක් දුම්රියට බෙල්ල තියලා මැරුණා. ඒ ආකාරයෙන් බෙල්ල තියන්න ආපු කිහිප දෙනෙක් අපි බේරා ගෙනත් තියෙනවා. 


ඇයි. මේ වගේ තැනක් ඔවුන් මැරෙන්න තෝරා ගන්නේ. 


“ඒ ගැන නම් කියන්න මට තේරෙන්නේ නැහැ. එහෙත් කිහිප දෙනෙකුම බෙල්ල තියලා මියගොස් තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන. පාලම යටින් බොහෝ දෙනෙක් නානවා. එහෙත් නාන්නගොස් මේ වනතෙක් කිසිවෙක් මියගොස් නැහැ. අපි ඒ අය දැනුම්වත් කරනවා. දොළහෙන් පස්සේ ජලය මුදාහරිනවා. ජලයට බහින්න එපා. ගහගෙන යාමට ඉඩ තියෙනවා. කැම්පස් එකේ ඉගෙන ගන්න ළමයි නම් එන්නේ නැහැ. පිටින් එන අය තමයි පාලම උඩ අසංවරව හැසිරෙන්නේ.” 


යකාගේ පාලම කියන්නේ මිනිසුන් බයවෙන නිසා කියා මතයකුත් තිබෙනවා. කඵවර රාත්‍රියට පාලමත් කඵපාටයි. ළඟට එනකම් හරියට පේන්නේ නැහැ. නොදන්නා කෙනෙක් එකපාරටම කඵවරේ ආවොත් බයවෙනවා කීවේ ඒ නිසයි. අප අසල සිටි තවත් වැඩිහිටියෙක් පැවසීය. 


කමලා මහත්මිය නැවතත් කතාව පටන් ගත්තාය. 


‘‘තවත් වැදගත් දෙයක් කියන්නම්. ඔය පාලමේ ගඟ පැත්තට වෙන්න තරුණ ජෝඩු හරියට ඉන්නවා. මම ඒ හරියෙන් යන්නේ බිම බලාගෙන. මොකද ඔවුන්ගේ හැසිරීම අසංවරයි. ඒ ජෝඩු සියල්ලම පිටින් එන අයයි. කැම්පස් එකේ ළමයි. ඒ වගේ හැසිරෙන්නේ නැහැ. ඔය පාලම අසල නිවෙසක පදිංචිව සිටි ගුරුවරියක් තම කුඩා පිරිමි දරුවන් හදා ගන්න බැහැ කියා, වෙනත් ප්‍රදේශයක පදිංචියට ගියා.’’ 

 

 ඉංග්‍රීසින් විසින් සාදන ලද වැල් පාලම සහ ගඟට පනින තැන පෙන්වන සමරකෝන් 

 


ඇයි ඒ බව පොලිසියට දැනුම් දෙන්නේ නැත්තේ. මට ඉවසා ඉන්න බැරිම තැන ඇයගෙන් විමසුවෙමි. 


‘‘අපි පොලිසියට ඇමතුමක් දීල මේ සම්බන්ධයෙන් පැවසුවත්, ඔවුන් කියන්නේ අම්මලාත්.. ඔය වයසේ හිටියනේ. ඔන්න ඔහේ හිටපුවාවේ කියලයි. ඇත්තෙන්ම පෙම් කරන්න සුදුසු තැනක් නොවෙයි එතැන. පොඩ්ඩක් හරි ලිස්සල ගියොත් ගඟේ පතුලෙන් තමයි සොයා ගන්න වෙන්නේ. අනෙක ඔවුන්ගේ හැසිරීම අනුමත කරන්නත් බැහැ.’’ 


‘‘දුම්රිය පාලම ඇතුළතින් මිනිසුන් ගමන් කරන නිසා, හදිසියේ හෝ දුම්රියක් පැමිණියහොත් ඔවුන්ගේ ජීවිත අනතුරේ වැටෙනවා. එපමණක් ද නොව විශ්වවිද්‍යාල දරුවෝ ගමන් කරන්නෙත්, ප්‍රදේශවාසීන් ගමන් කරන්නෙත් මෙම පාලම ඇතුළෙනුයි. අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම පාලමේ පිටතින් පොදු ජනතාවට ගමන් කිරීම සඳහා දෙපැත්තෙන් මංතීරු දෙකක් සාදාදෙන ලෙසයි.’’ ඇය අවසන් වශයෙන් ඉල්ලා සිටියාය. මෙය අද‌ාළ බලධාරීන්ගේ අවධානයට යොමු වේවා යැයි අපි ද ප්‍රාර්ථනා කරන්නෙමු. 


දොඩම්වල වැල් පාලමෙන් මහවැලි ගඟට පනිමින් තම ජීවිතය අවදානමකට පත්කර ගන්නා පුද්ගලයෙක් ද මේ ගමනේ දී අපට හමුවිය. ඔහු එසේ අඩි 40 ක් 50 යටට පනින්නේ සිය ජිවිකා වෘත්තිය වශයෙනි. මෙම හපන්කම හැමෝටම සිදු කළ නොහැකිය. එහෙත් දැන් ඔහුට එම වෘත්තියෙන් සමුදීමට සිදුවී තිබෙන්නේ ඒ අසලින් දැවැන්ත පාලමක් ඉදිකර ඇති බැවිනි. එය දොඩම්වල අලුත් පාලම ලෙස හැඳින්වේ. 
දොඩම්වල අලුත් පාලම මහවැලි නදියට උඩින් සාදා ඇත්තේ මීට වසර දෙකකට පමණ පෙරය. ඊට පෙර තිබුණේ ඉංග්‍රීසින් විසින් සාදන ලද එම එල්ලෙන වැල් පාලමයි. අලුත් පාලම අසලින් පැරණි වැල් පාලම ද එදා මෙන් ම, අදට ද දක්නට ලැබේ. එහෙත් බොහෝ දෙනෙක් දැන් ගමන් කරන්නේ අලුත් පාලමෙනි. එදා එල්ලෙන පාලමෙන් ගඟට පැන දස්කම් පෙන්වමින් ජිවිකා වෘත්තිය කර ගත්තේ ඩී.එච්.එම් සමරකෝන් බණ්ඩාය (55) ය. ඔහු අප සමඟ තම අත්දැකීම් විස්තර කළේ මෙලෙසිනි. 


‘‘මගේ ගම පිහිටා තිබෙන්නේ දෙවන රාජසිංහ මාවතේ. මහවැලි ගඟ අසලමයි ජීවත් වෙන්නේ. අලුත් පාලම හදන්න පෙර වසර තිහක පමණ කාලයක සිට රැකියාව වශයෙන් සිදු කළේ ගඟට පැනීමයි. ආරම්භයේදී විනෝදයට වගේ පැන්නා. පසුව විදෙස් සංචාරකයෝ පිනවීම සඳහා එල්ලෙන පාලම මැදට ගොස් ගඟ මැදට පැන පිහිනා ගොඩට එනවා. ඊට පෙර මට අවශ්‍ය මුදල ඔවුන්ට පවසනවා.’’ 


‘‘වැල් පාලමට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඉංග්‍රීසින් විසින් පළමුව මහනුවර ප්‍රදේශය වෙනුවෙන් සාදා ඇත්තේ මෙම වැල් පාලමයි. ඒ සමඟම පේරාදෙණිය මල් වත්තේ වැල් පාලමත් සාදා තියෙනවා. මම ඉංග්‍රීසි චිත්‍රපටයක් සහ ටෙලි නාට්‍යයක් වෙනුවෙන් ද ගඟට පැන තියෙනවා. ඔහු පවසන්නේ ආඩම්බරයෙනි’’. 


‘‘දැන් මම පමණයි ඒ ආකාරයෙන් මෙම ස්ථානයෙන් ගඟට පනින්නේ. විදෙස් රටවල් පනහක පමණ මගේ ජායාරූප තියෙනවා. මට පෙර මගේ සහෝදරයෝ සහ හිතවතුන් කිහිප දෙනෙක්ම ගඟට පැන තියෙනවා. මම ගඟට පැනීමේදී විශේෂ ඇඳුම් පැලඳුම් කිසිවක් අඳින්නේ පලඳින්නේ නැහැ. කොට කලිසම පමණයි. එදා විදෙස් සංචාරකයන්ට එය පුදුම සහගත දෙයක්. එයට හේතුව පාලමේ සිට ජලයට අඩි හතලිහක් පමණ ද, එතැන් සිට ජලයේ ගැඹුර අඩි තිහක් පමණ යටට පිහිටා තිබීමයි. මේ වෙනකම් කිසිදු හානියක් මට සිදුවෙලා නැහැ. ඒ අතරේ ජීවිත දෙකක් බේරා ගෙනත් තියෙනවා.’’ 


‘‘කොත්මලේ ජලාශය දහවල් දොළහෙන් පසු අරිනවා. එවිට මහවැලි ගඟේ ජලය වේගයෙන් ගලාගෙන යනවා. එම අවස්ථාවල නෑමට පැමිණෙන අය ගහගෙන යනවා. එවන් අවස්ථාවල ඔවුන් බේරාගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මට ජලය යට විනාඩි දෙක තුනක් හුස්ම ගන්නේ නැතිව සිටිය හැකියි. එයත් ගඟට පැනීමේදී වාසියක් වුණා.’’ 


‘‘දැන් මම ගඟට පනින්නේ නැහැ. එයට අලුත් පාලමත් හේතුවක්. පාලම හදන්න පටන් ගත් කාලයේදීම ගඟට පැනීමත් නතර වුණා. මට මතකයි 1978 වසරේදී පැවති ගංවතුරෙන් වැල් පාලමට උඩින් ජලය ගලාගෙන ගොස් අලාභ හානි පවා සිදු වුණා. දැනටත් වර්ෂා කාලයේදී වැල් පාලම අසලටම වගේ ජලය එනවා.’’ 

 

 

 

 


සටහන සහ ජායාරූප 
සිසිර කුමාර බණ්ඩාර