සිනමාව දෙවනත් කළ ඉරිදා ලංකාදීප කතාව සිරිපාල හා රන්මැණිකා


සලරුවක කතාවක්
 
 
1972 වස​ෙර් මුළු රජරට ත්‍රාසයෙන් හා භීතියෙන් කුළුගන්වා පසුව ලංකාව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ මරුසිරා ගැන පුවත්පත්වලින් රටටම දැනගන්නට ලැබිණ. ඔහුගේ බිහිසුණු වූද එමෙන්ම මානුෂික වූද චරිත කතාව 1974 වසරේ ඉරිදා ලංකාදීප පත්‍රයේ කොටස් වශයෙන් සතිපතා පළවීම හේතු කොට එයට විශාල ප්‍රචාරයක් ලැබිණ. ඉරිදා ලංකාදීප පත්‍රය දහස් ගණනින් අලෙවිය ඉහළ නැංවුණු අතර එයට විශාල පාඨක පිරිසකගෙන් විශාල ඉල්ලුමක්ද තිබුණේය.  
 
මේ කතාව මරුසිරා නොහොත් සිරිපාලගේ ජීවිතය අළලා අනුරාධපුර ඉරිදා ලංකාදීප විශේෂ වාර්තාකරු නිශ්ශංක කඳනආරච්චි විසින් ලියා එවනු ලැබූ අතර එය සංස්කරණය කිරීමට කර්තෘ මාණ්ඩලික රත්නපාල විතාන විසින් සහෝදර කර්තෘ මණ්ඩලයේ ධර්මසිරි ගමගේට පවරන ලදී.  
 
“ධර්මේ මේක හොඳ ස්ටෝරි එකක්. මරුසිරා අම්මාට, තාත්තාට වගේම බිරියටත් ලියපු කවි වගයකුත් තියෙනවා. ඔයා ඕක ‘සබ්’ (සංස්කරණය) කරල ගන්න.” රත්නපාල සහෝදර පත්‍රකලාවේදී ධර්මසිරිට කියා ඇත.  
ඉරිදා ලංකාදීප එදා ශ්‍රී ලංකාදීප කර්තෘ ගුණදාස ලියනගේ විසින් ධර්මසිරි ගමගේ කැඳවා මෙසේ අදහස් දුන්නේය.  
 
“ධර්මේ, මරුසිරාගේ හොඳ කතාවක් තියෙනවා. මානුෂික පැත්තකුත් තියෙනවා. අනුරාධපුරයට ගිහින් මරුසිරාගේ බිරියයි, මිනීමැරුමට ලක්වූ ඥාතීන්ගෙනුයි පොලිසියෙනුයි අහල සතිපතා පළ කරන්න ලිපි පෙළක් ලියමු ද? ඔයා දක්ෂ කෙටිකතා කාරයෙක්නේ. අපි අනුරාධපුරේ නිශ්ශංකගෙනුත් (වාර්තාකරු) උදව් ගම්මු.”  
 
“මම කැමැත්තෙන්ම ඒක කරන්නම් ගුණේ” ධර්මසිරි වැඩේ භාර ගත්තේය. ඔහුට වාහනයක් ද කාර්යාලයෙන් සැපයිණ.  
 
ලිපි පෙළේ දෙක තුන පළ වීමත් සමග ධර්මසිරි ගමගේට ආ නොයෙකුත් බලපෑම් තුට්ටුවකටවත් මායිම් නොකළ ප්‍රධාන කර්තෘවරයා කිසිදු බලපෑමකින් තොරව ඔහුට ධෛර්ය දුන්නේය.  
 
මේ පිළිබඳ ධර්මසිරි අයියා (අප ඔහු ආදරයෙන් ඇමතුවේ ඒ නමිනි) සරසවිය පුවත්පතේ සාකච්ඡාවකදී අපට තොරතුරු මෙසේ පැවසුවේය.  
 
“සිරිපාල (මරුසිරා) 1975 අගෝස්තු 05 වෙනිදා උදේ 08 ට මහනුවර බෝගම්බර සිරගෙදර පෝරකයේදී එල්ලා මැරූ බව මහනුවරින් වාර්තා වුණා. මා පුවත්පත්වලින් වසර හතරක් තිස්සේ දැන හිටියේ සිරිපාල සොරෙකු, මිනීමරුවෙකු, මැරයකු මෙන්ම එඩිතර ගතිපැවතුම් ඇති තරුණයෙකු ලෙසයි. එහෙත් සිරිපාලගේ ගෙලට තොණ්ඩුව වැටීමට පැය කීපයකට පෙර තම පියාට, අම්මාට හා බිරියට ලියූ වේදනාත්මක කවි තුළින් මට ඇතිවුණේ ඔහුගේ ජීවිතයේ බොහෝදෙනෙකු නුදුටු මානුෂික හැඟීම් සමුදායක්. මේ ඔහු අම්මාට හා තාත්තාට ලියූ කවි දෙකක්.  
 
​අම්මේ තාත්තේ මගෙ නෙත් දෙකට සම  
සිහිපත් කළෙමි කරනෙමි මොහොතකම හැම  
විරුවකු පරිදි දිවි දෙමි ඉරණමට මෙම  
වඳිමින් දෙපා ඔබගෙන් සමුගනිමි මම  
වරදින් සමාජයෙ මම කළ වැරදි ගැන  
දිනයක් උදාවී ඇත පසුතැවිලි වන  
කොතැනද කවුද වරදට මුල පිරුව තැන  
මට ඒ සමාජෙම පිළිතුරු කියනු මැන  
 
සිරිපාලගේ බිරිය රන්මැණිකාට ලියූ කවියක් ධර්මසිරි අයියා එදා කීවේය.  
 
සොඳුරිගෙ උකුළ දියණිගෙ නිවහන කරවා  
සොඳුරිගෙ දිවිය දියණිගෙ දිවියම කරවා  
ඉගෙනුම නමැති විමසුම වෙත යොමු කරවා  
හොඳ දරුවකු කරන් ඇය සුමගට හරවා  
 
කැලෑවේ සැඟවී හුන් සිරිපාල වන මණ්ඩියේ සිට පැමිණ සීමන් අප්පුට වෙඩි තබා ඉන්පසු මහ පාරට පැන ට්‍රැක්ටරයක් නවත්වා එයට ගොඩවැදී රන් මැණිකා බලන්නට ඇගේ ගෙපැලට ගියා. එතැනදී වූ සිදුවීම ධර්මසිරි ගමගේ විසින් රන් මැණිකාගෙන් අසා එක් ලිපියක ලියා තිබුණේ ඔහු පෑ සමත්කම් චිත්‍රපට තිර නාටකයට ලියූ නිර්මාණාත්මක සංවාද මගින් කියවන්නන්ගේ චිත්ත රූප මවමිනි. ඒ මෙසේය.  
 
රන්මැණිකා දරුවන් සතරදෙනාට වේලාසනින් රෑ කෑම පිළියෙළ කරදී ඔවුන් නිදිකර වූ ඇය ලොකු දුව ළඟ ඇළ වී සිටියාය.  
 
මැණිකා යන හඬ ඇසිණ. දෙවැනි වර යළිත් ඒ හඬ ඇසෙත්ම කටහඬ හඳුනාගත් මැණිකා මහත්තයා යැයි තමාටම කියාගෙන වහා නැගිට චිමිනි ලාම්පුවේ දැල්ල වැඩිකර ගොස් දොර පියන් හැරියාය. (රන් මැණිකා සිරිපාලට කතා කළේ මහත්තයා නමිනි) පැරණි රජ කතන්දරයක අසා පුරුදු සොල්දාදුවෙකු මෙන් තුවක්කුවද ඇතිව දොරකඩ සිටගෙන සිටින සිරිපාලගේ රූපකාය ඇයට දකින්ට ලැබිණ.  
 
“රන් මැණිකා මට කඩුව දියං.” කිසි දිනෙක නොඇසූ රළු පරුෂ හඬකින් සිරිපාල කතා කරනු ඇය අසාගෙනය. ඔහුගේ මුහුණේ පැවති හුරතල් සියුමැලි පෙනුම දරදඬු වී ගොස් තිබිණි. ඇය බියෙන් සැලෙන හඬින් වචන එක්කාසු කළාය.  
 
“කඩුව? ඒ මොටද?” 
 
“මං බොල සීමන් අප්පුට වෙඩි තිබ්බා. ඔව් මං නැති මොහොතක උඹට දාපු දඟරෙට මං වෙඩි තිබ්බා. ඒත් මගේ වෙඩිල්ලට ඌ මළාද සැකයි. ඕකා කඩුවෙන් කීතු කපලා මැස්සට ගිනි තියලා එතනම සොහොන බඳින කං මගෙ හිතට ඉවරයක් නෑ.”  
 
“අනේ බුදු මහත්තයා, ආපහු යන්න එපා.” දෙපා බදාගෙනම කී ඇය ඉන්පසු තවත් ළංව දණ ගසාගෙන මෙසේ කීවාය.  
 
“මහත්තයට කියන්න මගේ හිතේ ලොකු රහසක් තියෙනවා.”  
 
“රහසක්?” සිරිපාලගේ මුහුණේ මෙතෙක් පැවති ඉරියව් වෙනස් විය.  
 
“ඔව්. ආදරෙන් කියන්න හිටි ජීවිතේ ලොකුම රහස”  
 
“මොකක්ද?”  
 
“මහත්තයා නිසා මගේ කුසට දරුවෙක්.”  
 
රන් මැණිකා ඒ වචන ටික කියූ සැණෙකින් සිරිපාලගේ අතින් තුවක්කුව අත ඇරිණ. සිරිපාල පහත් වී දණගසාගෙන තම දෙපා බදාගෙන සිටි රන්මැණිකා ඔසවා පපුවට තුරුලු කරගත්තේ, “ඔය ඇත්තමද රන් මැණිකා?” යයි දයාර්ද හඬකින් අසමිනි. ඔහුගේ හදෙහි සෙනෙහසේ ගැස්ම හා ආදරයේ උණුසුම ඇයට දැනිණි.  
 
“මං ඔය විත්තිය කලින් දන්නව නං සීමන්ට වෙඩි තියන්නෙ නෑ රන්මැණිකා. උඹේ කුසේ මං වෙනුවෙන් ඉපදෙන්න ඉන්න දරුවා වෙනුවෙන් මං සීමන්ට සමාව දෙනවා.” යයි කී සිරිපාල පොඩි දරුවකු මෙන් ඉකිබිඳ අඬන්නට පටන් ගත්තේය. සිරිපාලගේ කම්මුල් දිගේ ගලා ආ කඳුළු වැලක් සීතල මැණිකාගේ ළැම තලයට දැනිණි.  
 
ප්‍රවීණ චිත්‍රපට ගීත රචකයකු, කතාරචකයකු තිරනාටක රචකයකු චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ ධර්මසිරි ගමගේ හා චිත්‍රපට අධ්‍යක්ෂ අමරනාත් ජයතිලක ඉතා පැරණි මිතුරන්ය. අමරනාත්ගේ මුල්ම චිත්‍රපට වූ ‘ආදරවන්තයෝ’ මෙන්ම ‘තිලක හා තිලකා’ චිත්‍රපටවල තිරනාටකය රචනා කළේ තම හිත මිතුරාය. ‘මරුසිරා’ පුවත්පත් ලිපිපෙළ පුවත්පතින් නොතිත් ආසාවෙන් කියවූ අමරනාත් හා ඒ දිනවල ‘එක් දවසක් රෑ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිටි අතර එහි ගීත ලිවීමට ධර්මසිරි හැඳල විජය චිත්‍රාගාරයට ගියේය. මේ චිත්‍රපටයේ නිෂ්පාදක චන්ද්‍රා අබේවික්‍රම මේ කතාව ලිවීමට ධර්මසිරිට උදව් කර තිබුණි.
  
“ධර්මේ අපි ඔයාගේ මරුසිරා කතාව චිත්‍රපටයට නගමු” දැයි අබේවික්‍රම ඇසීය.  
 
එය පළ දැරීය. අමරනාත් අධ්‍යක්ෂණය කළ සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයේ ධර්මසිරි තිර නාටකය රචනා කළේය. 1976 ඇරැඹුණු මේ චිත්‍රපටය 1977 සැප්තැම්බර් 16 වෙනිදා තිරගත විය.  
 
සිංහල සිනමාවේ මරුසිරා ගේ ජීවිත කතාව පසුබිම් කොට චිත්‍රපට දෙකක් නිපදවීම හා එකම වසරේ තිරගතවීමද තවත් විශේෂයකි. අනික් චිත්‍රපටය වූ මරුවා සමග වාසේ ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කොට 1977 සැප්තැම්බර් 30 වෙනිදා තිරගත විය. එහි නිෂ්පාදක හේවා කුරුප්පු සිරිසේනය. එය සිනමාස් කෝප් (පුළුල්තිර) චිත්‍රපටයකි.  
 
ධර්මසිරි ගමගේ ලියූ මරුසිරා චිත්‍රපටය විකාශනය වන්නේ මෙසේය.  
 
දෙද්දූව ජයතුංග සිරිපාල දරුවන් හත්දෙනෙකුගේ පවුලක හයවෙනියා ලෙස උපත ලබන්නේ කොට්ටාවේ පන්නිපිටියේ මිල්ලගහවත්තේය. පන්නිපිටියේ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු පාසල් යන කාලයේ සිටම කොළඹ යුගයේ කවි ගැන උනන්දුවක් දැක්වූ ශිෂ්‍යයෙක් ලෙස ප්‍රකටව සිටියේලු. පී.බී. අල්විස් පෙරේරා, මීමන ප්‍රේමතිලක ඔහුගේ ප්‍රියතම කවියෝ විය. මිතුරන්ගේ හිත දිනූ සිරිපාලට මිතුරෝ ආදරය කළහ.  
​ෙම් පන්තියේ ළමයින්ට කකුල් මාට්ටු වෙට්ටු දමන ගණන්කාරයෙක් සිටියේ. තම මිතුරෙකුට කකුල් මාට්ටු දැමූ මේ ගණන්කාරයා මග එනකං බලා සිටි ඔහු බ්ලේඩ් තලයකින් ඔහුගේ දණහිස උඩ කතිරයක් ඇන්දේය.  
ඔහු හැමවිට තම මිතුරන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීම අගය කළේය. තමා කළ වරදේ බරපතළකම තේරුම්ගත් සිරිපාල තම පියා සේවය කළ අනුරාධපුර සාලියපුර තිබූ වැඩිහිටි නිවාසයට පැන ගියේය. එතැන් සිට ඔහුගේ ජීවන ගමන්මග වෙනස් විය. අනුරාධපුරයේදී ඔහුට ලයනල් නම් අවංක මිතුරෙකු හමුවිය. ඔහු සමග එක්ව සිරිපාල පොකට් ගැසුවේය. පොකට් ගැසීමේ ගුරාටද විද්ද මේ දෙදෙනා සාලියපුරට පැමිණ හැම තැනම කරක් ගැසූහ.  
 
 
 
 
එහිදී ඔවුන් අක්කර ගණනක ඉඩමක් මුර කළහ. සාලියපුර හයේ කණුව අසල පදිංචි සීමන් අප්පු චණ්ඩියකු මැරයකු විය. ඔහු කෝටාල් නම් හොර මත්පැන් හලක් පවත්වාගෙන ගියේය. ඔහුගේ සොහොයුරා වූ ගුණපාල විවාහකයෙකි. ඔහුගේ බිරිය රන් මැණිකාය. මේ දෙදෙනාට දියණියන් හතරදෙනෙකි. ගුණපාල තිත් පොළඟෙකු දෂ්ට කිරීමෙන් මිය ගිය අතර පසුව රන්මැණිකා ද හොර කසිප්පු විකිණීමෙන් තම දරුවන් රැකගත්තාය. දියුණුවෙන් දියුණුවට පත් රන්මැණිකා ගැන සීමන් අප්පු පිළිබඳ සිත් ඇතුව ඇයට විවාහ යෝජනාවක් ගෙන ආවේය. ඇය මෙයට අකමැති වූවාය.  
 
මේ වාඩියට සිරිපාල හා ලයනල් කෝටාල් බීමට ආහ. රන්මැණිකා ධෛර්යසම්පන්න ගැහැනියක් බව දැන සිරිපාල ඇයට ආලය කළේය. මේ 1970 වසරය. එවකට සිරිපාලගේ වයස අවුරුදු 21 කි. තිස්තුන් හැවිරිදි වැන්දඹු රන්මැණිකා දරුවන් හතරදෙනෙකුගේ මවකි. සිරිපාල රන්මැණිකාගෙන් බහ ඉල්ලුවේය. අකමැත්තෙන් වුවද ඇගේ බහ ලැබිණ. දැන් සිරිපාල කෝටාල් වාඩියේ ප්‍රධානියාය. හොරකම් නොකොට හොඳ ජීවිතයක් ගත කිරීමට සිරිපාල පොරොන්දු විය.  
 
දැන් සිරිපාලලාට අතමිට සරුය. ඔහුට තුවක්කුවක් තිබේ. සීමන් බලා සිටියේ සිරිපාල කොටුකර ගැනීමටය. මේ සඳහා ඔහු තම ගෝලයා වූ පියදාස ලවා සිරිපාලව මැරීමට මාන බැලුවේය. සිරිපාලගේ වෙඩි පහරකින් පියදාස මිය යයි. පොලිසිය සිරිපාල සොයයි. සිරිපාල ලයනල් සමග කැලේ පනී.  
 
මේ 1971 අප්‍රේල් කැරැල්ල සමයයි. රන්මැණිකා බත්මුලක් රැගෙන සිරිපාල හා ලයනල් සොයා ඔවුන් සැඟවී සිටි මහ වනයට ගියාය. ඔත්තුවක් අනුව පොලිසිය සිරිපාල හා ලයනල් අත්අඩංගුවට ගනී. සීමන් අප්පු රන් මැණිකාගේ කෝටාල් වාඩියට ගිනි තබයි. මේ අතර සිරෙන් පැන ගන්නා සිරිපාල හා ලයනල් 1971 වසරේ එක් දවසක සීමන්ගේ නිවසට පැමිණ ඔහුට තුවක්කුවෙන් වෙඩි තබා රන්මැණිකා සොයා ගියේ සීමන් මිය ගියේ නැත්නම් කඩුව ඉල්ලාගෙන ඔහු ඝාතනය කිරීමටය.  
 
රන් මැණිකාට තමා නිසා දරුවකු සිටින බව දැන සිරිපාල පොලිසියට භාරවීමට ලයනල් කීවද ඔහු එයට අකමැති විය. දෙමිතුරෝ වෙස්වළා මන්නාරමට පළා යාමට දුම්රියට නගී. ඔත්තුකරුවකුගේ දැන්වීමකින් පොලිසිය ඔවුන් ලුහුබඳී. සිරිපාල හා ලයනල් දුම්රිය පෙට්ටියෙන් පෙට්ටියට පනී. වරෙක් රේල්පීලියට මාරක ගමනක් යයි. දුම්රියෙන් පනී. හලාවතට පලා යයි. පොලිසියට ලැබුණු ​ඔත්තුවක් අනුව හලාවත නිවස වටලයි. සිරිපාල හා ලයනල් වෙඩි තබති. ඔවුන් මෙල්ල කරගත් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගනී. සිරිපාල පෝරකයට නියම වෙයි.  
 
සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයේ සිරිපාල ලෙස රවීන්ද්‍ර රන්දෙනියත්, රන්මැණිකා ලෙස මාලිනී ​ෆොන්සේකාත්, ලයනල් ලෙස රොබින් ප්‍රනාන්දුත්, සීමන් අප්පු ලෙස ජෝ අබේවික්‍රමත් රඟපෑහ. රන් මැණිකා ලෙස රඟපෑ මාලිනී තම අත්දැකීම් මට මෙසේ පවසා සිටියාය.  
 
“චිත්‍රපටයේ සම්පූර්ණයෙන්ම රූපගත වුණේ අනුරාධපුරේ. මම දවසක් කතා රචක ධර්මසිරි අයියට කිව්වා මට ඇත්තටම රන් මැණිකා හම්බවෙන්න ආසයි කියලා. ධර්මසිරි අයියා අනුරාධපුර ලංකාදීප වාර්තාකරු ලෙස සේවය කළ කඳනආරච්චි මාර්ගයෙන් රන්මැණිකා රූපගත කරන තැනට එක්ක ආවා. ඇය මට වඩා පුංචියි. කළුයි. තරමක් කුදුයි. ඇගේ නිර්භීත බව එඩිතර බව මුහුණෙන් අපූරුවට කැපිල පෙනුණා. මම ඇයව නිරීක්ෂණය කළා. ඇය කතා කරන හැටි ඇවිදින හැටි නහය හකුළගෙන හිනාවෙන සැටි මම අධ්‍යයනය කළා. අපි දෙන්නා කතා කරන අතරේ පොලිසියේ මහත්තයෙක් එතැනට ඇවිත් මෙහෙම ඇහැව්වා.  
 
රන්මැණිකත් කැමතිද චිත්‍රපටියක රඟපාන්න කියලා.   
 
මොකද? අපිට බැහැ කියලා හිතුවද? කියලා සැරෙන් රන්මැණිකා පිළිතුරු දුන්නා.  
 
මම වේශනිරූපණ ශිල්පී රොහාන් මුදන්නායකට කිව්වා ඇත්ත රන් මැණිකා වගේ මුහුණ කළු පාට කරන්න කියලා. රොහාන් එ්කට කැමති වුණේ නැහැ. ඒත් මම කිව්වා රන්මැණිකා හැටියටම මේක්අප් කරන්න කියලා. එයා වගේම කොණ්ඩය හදන්න කියලා. රන් මැණිකා සිරිපාලට වඩා අවුරුදු 10ක් විතර වැඩිමහල්. ඒ වියපත්බව, එඩිතරකම මගේ මුහුණෙන් පිළිබිඹු කරන්න ඕනෑ කියලා.  
 
මට කසිප්පු පෙරන හැටි උගන්නන්න වෙනමම පිරිසක් අනුරාධපුරයෙන් ආවා. ගින්දර දාන සැටි බැරල්වලට පුරවන හැටි බූලිවල පෙරන හැටි, ඇත්ත විදිහටම මම ඒ අයගෙන් ගුරු උදේශ ගත්තා. මේ චිත්‍රපටය 1979 නවදිල්ලියේ ජාත්‍යන්තර චිත්‍රපට උළලේදී රංගන කුසලතා සම්මානයක් හිමිවුණා. චිත්‍රපටය බලපු අය මේ චරිතය මමද රඟපෑවේ කියලා පුදුමයට පත්වුණා.”  
 
සිරිපාල ලෙස රඟපෑ රවීන්ද්‍ර රන්දෙනිය මා සමග කියා ඇත්තේ තමා චිත්‍රපට ජීවිතයේ කළ ත්‍රාසජනක සිද්ධිවලට මුහුණ දුන් ප්‍රථම චිත්‍රපටය මෙය බවය.  
 
“සිරිපාල මනඃකල්පිත චරිතයක් නොවේ. සත්‍ය ලෝකයේ ජීවත්වූ ඔහු පාතාලයෙක් නොවේ. නිර්භීත, යුක්තිය උදෙසාම සටන් කළ කෙනෙක්. ඒ ප්‍රතිරූපය රඟපෑම තිරයේ මැවීම එයට සාධාරණයක් කිරීම විශාල අභියෝගයක්. සිරිපාල හා ලයනල් පොලිසියට බියෙන් දුම්රියක යන දර්ශනය ඉතා අසීරු එකක්. වරෙක අපි දෙන්නා දුම්රිය පෙට්ටි උඩ පැන පැන දුවනවා. තවත් වරෙක දුම්රිය යට උඩුබැලි අතට එල්ලීගෙන යනවා. යට රෝද දෙකක් රේල් පාරත් අතර පරතරය අඩි තුනක් විතර ඇති. රෝද දැලි පිහිවගෙ රේල් පීලි උඩ ගමන් කරන්නේ.  
 
රෝදවලින් නැගෙන ගිනි පුපුරු ඉවසාගෙන ගමනාන්තයටම ගියා. මේ චිත්‍රපටයේදී මට උපදෙස් දුන්නේ මගේ මිතුරු රොබින් ප්‍රනාන්දු. ඔහු ලයනල් ලෙස රඟපෑම මට ශක්තියක් වුණා. මේ චිත්‍රපටයේ මා වෙනුවට කිසිදු ආදේශ නළුවෙක් යොදා ගත්තේ නැහැ. හැම ක්‍රියාදාම වැඩකදීම රොබින් මට සහාය වුණා.  
 
බොනී (රවින්ද්‍ර) උඹට මේක කරන්න පුළුවන්. අපි කෝච්චි පෙට්ටි උඩ දුවල පහළට පනිමු. රොබින් මට හැම උපදෙසක්ම දුන්නා. අපි වගේම දුෂ්කර ක්‍රියා කරමින් ධාවනය වන දුම්රියේ පිටතින් අට්ටාලයක ඉඳගෙන කැමරා ශිල්පී ඩොනල්ඩ් කරුණාරත්නත්, සහාය කැමරා ශිල්පී සුමින්ද වීරසිංහත් අවදානම නොතකා මේ දර්ශන රූපගත කළා.  
 
වරෙක මේ අට්ටාලය කඩා වැටුණා. මමත්, රොබිනුත් දුම්රිය පෙට්ටි උඩින් දුවන දර්ශනයේදී ඩොනල්ඩ් කැමරාව අතින් ගෙන සුමින්දගේ විධානයට ගමන් කළා. වරක් සුමින්ද මේ අට්ටාලයෙන් බිම විසිවී අත ලෙලි ගියා.  
වන්.. ටූ... ත්‍රී.. ජම්ප් සුමින්ද වීරසිංහ කියන විට ඩොනල්ඩ් කැමරාවත් අතේ තියාගෙන බිමට පැන්නා මමත්, රොබින් බිමට පැන්න වගේ. අපි දුම්රියෙන් පනින තැන්වල කාඩ් බෝඩ් හෝ මෙට්ට දාලා තිබුණේ නැහැ. බිම උල් ගල් පමණක් අයින් කරල තිබුණේ.  
 
තව දර්ශනයක් තිබුණා සිරිපාල (මම) ට්‍රැක්ටරයක නැගී රන් මැණිකා සොයා වේගයෙන් යන. ඩොනල්ඩ් කැමරාවත් අරං බොනට් එක උඩ. සුමින්ද ඩොනල්ව අල්ලාගෙන. ට්‍රැක්ටරය මගේ අතින් වළක වැටුණා. සුමින්ද වැටෙන්න ගියා. ඔහු අල්ලගත්තේ සයිලන්සරේ. ඔහුගේ අත පිච්චුණා. සතියක් පමණ ඔහු ප්‍රතිකාර ගත්තා. මේ චිත්‍රපටයේ අවදානම් වැඩ ගැන වෙනම පොතක් ලිවිය හැකිය.” රවින්ද්‍ර කීවේය.  
 
ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ ‘මරුවා සමග වාසේ’ චිත්‍රපටයේ සිරිපාල ලෙස විජය කුමාරතුංගත්, රන්මැණිකා ලෙස ගීතා කුමාරසිංහත්, ලයනල් (මෙය ජස්ටින් ලෙස නම් කර තිබුණි) විමල් කුමාර් ද කොස්තා ද සීමන්ගේ චරිතය රෙක්ස් කොඩිප්පිලි ද රඟපෑහ.  
 
චිත්‍රපටයේ හැටිය ‘අම්මා බුදුවේවා’ අතේ පච්චයක් කොටාගත් සිරිපාල මඳ කලකට පසු දාමරිකයකු වී පපුවේ මරුවා සමග වාසේ යැයි කොටා ගත්තේ ඇයි? යන ප්‍රශ්නය ගෙන අධ්‍යක්ෂ තොටවත්ත තම චිත්‍රපටයේ සමාජාර්ථය මෙම තේමාව වටා ගොඩනැගීමට උත්සාහගෙන තිබුණි. ඒ කතාව සිරිපාල සහ රන්මැණිකා චිත්‍රපටයට වඩා හාත්පසින්ම වෙනස් ලෙස විකාශය වූ කතාවකි.  
 
​ෙමහි අධ්‍යක්ෂ ටයිටස් ද පුවත්පත් කලාවේදියකු ලෙස රඟපාමින්, සිරිපාල නීතියේ රැහැනට හසුකර ගන්නා සහකාර පොලිස් අධිකාරි (හෙන්රි ජයසේන) හා කෙරෙන සංවාදයක් තුළින් බටහිර සිනමා රීතිය ඔස්සේ කතාව ඉදිරිපත් කරයි.  
 
හොරෙක්, මිනීමරුවෙක්, දාමරිකයෙක් යැයි කියා මිනිසුන්ට ලේබල් ගහනවාට වඩා මිනිසා ඒ තත්ත්වයට පත්වන්නේ මන්දැයි සොයන්නට මට අවශ්‍ය වුණා. මේ චිත්‍රපටය බිහිවෙන තෙක් මෙබඳු සමාජ ගවේෂණයක් මෙරට සිදුකෙරෙනුදැයි ටයිටස් අපෙන් ප්‍රශ්න කොට තිබුණි.  
 
සිරිපාලගේ චරිතය රඟපෑම ගැන විජය කුමාරතුංග ම​ට මෙසේ කියා තිබුණි.  
 
“ටයිටස් මාව වෙහෙස කර මගේ රඟපෑම හූරා ගත්තා. මේ නිසා මම මානසිකව හා කායිකව දුක් වින්දා. මට මේ තරම් ටයිටස් දුන් වදදීම ගැන මම ඔහුට වෛර කළා. චිත්‍රපටය මුලින්ම දුටුදා මම ටයිටස්ව වැලඳ ගත්තා.”  
 
විජය මෙන්ම රන්මැණිකා ලෙස රඟපෑ ගීතා කුමාරසිංහ ද පුනපුනා ටයිටස් ගැන කියා සිටියේ ඔය ටිකමය. ඔවුන් දෙදෙනා කැමතිම දර්ශනය සිරිපාල සිරගෙය කඩාගෙන විත් රන්මැණිකාත් දරුවාත් කැලයේදී සිප වැලඳ ගන්නා අවස්ථාවය. ‘මරුවා සමග වාසේ’ චිත්‍රපටයේ මංගල දර්ශනය 1977 සැප්තැම්බර් 30 වැනිදා සැවෝයි සිනමා හලේ පවත්වා ඇත්තේ සිරිපාලගේ බිරියගේ ප්‍රධානත්වයෙනි.  
 
සත්‍ය සිදුවීමක් අලලා ශ්‍රී ලාංකේය සිනමාවේ එකම වසරේ (1977) චිත්‍රපට යුගලයක් බිහි වූ ප්‍රථම අවස්ථාව මෙය විය.   
 
 
 
 
 
 
 
ඒ.ඩී. රන්ජිත් කුමාර