සිදු​වෙන ස්ථානය අනුව මල්වර වීමේ ගුණදොස්


යොවුන් වියට පා ඔසවන දැරිවියකගේ මල්වරවීම උත්සවාකාරයෙන් සැමරීම සිංහල බෞද්ධ සමාජයේ දැකිය හැකි සුවිශේෂී සංස්කෘතික ලක්ෂණයකි. මල්වරවීම සිදුවන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුමේ වර්ණය හා ස්වභාවය අනුවත් එම මොහොතේ දැරිවිය සිටි ස්ථානය අනුවත් ඇගේ අනාගතය පිළිබඳ ඵලාපල විස්තරයක් ඉදිරිපත් කිරීම ජ්‍යොතිෂයට අනුව සිදු කෙරෙන්නකි. මල්වරවීම සිදුවන අවස්ථාවේ ඇය සිටි ස්ථානය අනුව කෙරෙන ඵලාපල විස්තරය දළ වශයෙන් මෙලෙස දැක්විය හැක.  


අතරමගකදී හෝ නෑදෑයින් නොවන නිවසකදී නම්  
කල්ක්‍රියාව හෙවත් ගතිපැවතුම් එතරම් හොඳ නැත. අධික වියදම් කරන්නියකි.  


ගවයින් සමීපයේ හෝ ගව ගාලකදී නම්   
ඇවතුම් පැවතුම් ඉතා යහපත් වේ. කෑම බීම ආදියෙන් හිඟ නොවේ.  


ගෙදරින් බැහැරව තනිව සිටින විටදී නම්   
දුක් කරදර ඇතිවේ. ස්වාමියාට අහිතකර ලෙස සිටී  


ස්නානය කරන විට නම්  
නිරෝගී භාවය ලැබේ. අලංකාර වස්ත්‍රාභරණවලට හිමිකම් කියයි.  


ළිඳ ළඟ හෝ ගඟ ළඟදී නම්  
ආයුෂ වැඩිවේ. අනුන්ට උපකාර කිරීමට ලැදි වේ.  


ප්‍රිය සම්භාෂණයක් සහිත පිරිසක් මැදදී නම්  
සැප සම්පත් ලැබේ ප්‍රසිද්ධිය ඇතිවේ.  


තමාගේ ගමේ වෙනත් ගෙදරකදී නම්   
නිතර නිතර අනුන්ගේ ගෙවල්වලට යාමට ප්‍රිය කරන්නියක වේ.  


වෙනත් ගමකදී නම්  
අනවශ්‍ය ගමන් ඇවිදීමට ප්‍රිය වේ. පිට අය සමග ආශ්‍රය වැඩිවේ.  


නෑ ගෙදරකදී නම්  
නෑදෑයින්ට උදවු උපකාර කිරීමට කැමතිය. එමෙන්ම නෑදෑයින්ගෙන් උදවු උපකාර ලැබේ.  


තමාගේම නිවස තුළදී නම්  
ඉතා වාසනාවන්ත වේ. තමාගේ නම්බුව ආරක්ෂා කරගනී. දියුණුව ඇතිවේ.  


සභාවක් මැද හෝ පාසල් ළමයින් අතර සිටියදී නම්  
සබකෝලය නැති තැනැත්තියක වේ. තනිව වුව මගතොට යාමට බිය නොවේ. අනුන්ට යටත් නැත. ස්ථිර විවාහයට පෙර ආදර සබඳතා ඇතිවේ.  


ස්ත්‍රීන් මධ්‍යයේදී නම්  
සියලු සැප සම්පත් ලැබී සැපසේ ජීවත්වීමට ලැබේ.  


පිරිමි මධ්‍යයේදී නම්   
ලැජ්ජා බිය අඩුවේ. සැප සම්පත් නොලැබී යයි. එහෙත් ශක්ති සම්පන්න වේ.  


වී හාල් එළවළු ආදිය තිබෙන තැනකදී නම්  
අගහිඟකම් ඇති නොවේ. පවුලේ අන් අයට වඩා සැපසේ වාසය කිරීමට ලැබේ.  


ධාන්‍ය සහිත කමතකදී හෝ ගොයම් පැසුණු කුඹුරකදී නම්   
ධන ධාන්‍ය සම්පත් හිඟ නොවේ. සැපසේ වාසය කිරීමට ලැබේ.  


වාහනයක ගමන් කරන අවස්ථාවකදී නම්  
විටින් විට අසනීප ගති ඇතිවේ. අනුන්ගෙන් කරදර ඇතිවේ. සැප සම්පත් අඩුවේ.  


සොහොනක් ළඟදී හෝ මළ ගෙදරකදී නම්  
දුක් කරදර වැඩිවේ. අසනීප වැළඳුණ විට ඉක්මනින් සුව නොවේ.  


දේවස්ථානයකදී නම්  
දුක්කරදර අපල උපද්‍රව වැඩිවේ.  


විහාරස්ථානයකදී හෝ වන්දනා ගමනක් යන විටදී  
ධාර්මික වේ. සැප සම්පත් ලැබේ. ගතිගුණ යහපත් වේ.  


හිස් භාජනයක් රැගෙන යන විටකදී නම්  
මිල මුදල් හිඟ වේ. ජීවිතයේ වැඩ කටයුතු එතරම් සාර්ථක නොවේ.  


පිරුණු භාජනයක් රැගෙන එන විටකදී නම්  
ඉතා වාසනාවන්තය. ධන ධාන්‍ය වැඩිවේ. උසස් තත්ත්වයට පත්වේ.  


පහත් කුලයක අය සිටින ගෙදරකදී නම්  
අනුන්ගේ නිග්‍රහයට භාජනය වේ. දුප්පත් වේ. අනුන්ගෙන් ගරු සැලකිලි නොලැබී යයි.  


ළිප ළඟදී හෝ ගිනිමැළයක් ළඟදී නම්  
දුක් මහන්සිවී ජීවත් වීමට සිදුවේ. ගතිගුණ යහපත් වේ. අනුන්ගේ කේලාම් ඇසීමට ප්‍රිය වේ. එහෙත් නිරෝගී සම්පත ලැබේ.  


දර ගෙන එද්දී හෝ දර පලද්දී නම්  
නිරෝගී වේ. එහෙත් අගහිඟකම් ඇතිවේ. ගතිගුණ යහපත්වේ.  


අසුනක වාඩිවී සිටින විටෙක නම්  
නිරෝගීවේ. එහෙත් ආයුෂ අඩුවේ. ධනවත් වේ.  


සිටගෙන සිටියදී නම්  
සැප සම්පත් අඩුවේ. ආයුෂද අඩුය.  


නිදාගෙන සිටියදී නම්  
ගතිගුණ ඉතා යහපත් වේ. සැප සම්පත් ලැබේ. නිවාස ඉඩකඩම් වාහන ආදියට හිමිකම් කියයි.  


සෙල්ලම් කරමින් ප්‍රීතියෙන් සිටින අවස්ථාවකදී නම්  
ඉතා යහපත් වේ. නිරෝගී වේ. ධනවත් වේ. සැපසේ වාසය කිරීමට ලැබේ.  


මල්වර වීම සිදුවී හතර වන දිනයෙන් හෝ පස්වන දිනයෙන්  


අස්විද, රෙහෙන, මුවසිරස, අනුර, හත, සා, දෙට, දෙනට, උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප යන නැකතකින් බුධ, සඳු, ගුරු, කිවි යන දිනෙක 2, 3, 5, 7, 10, 11, 13 යන තිථියෙන් සුබ ග්‍රහයෙක් හිමි ලග්නයෙන් සහ සුබ හෝරාවෙන් කිරි ගසක් යටදී ස්නානය කරවිය යුතුය. රත් සඳුන්, මුරුවාමුල්, වියළි ඉඟුරු, අමුකහ, වදකහ, ගල් සෙවල, කලාඳුරු අල, ජටාමාංශ, සපුමල් කැකුළු, වෙනිවැල්ගැට, සුවඳ කොට්ටං, ඊතණ, සමන්පිච්චමල් යන මේවා සමව ගෙන නැවුම් කළයකට දමා වතුර පුරවා ගින්නෙන් කකාරවා ස්නානය සඳහා ගත යුතුය.  
නෑවීම මව හෝ පවුලට හිතවත් වැඩිහිටි කාන්තාවක විසින් සිදුකිරීම සිරිතයි. ස්නානයෙන් පසු එම කළය බිඳ දැමිය යුතුය. නෑවීමෙන් අනතුරුව දිනට හිමි ග්‍රහයාට අයත් වර්ණ සහිත ඇඳුමකින් සැරසී නිවස තුළට පිවිසීම සිදුවේ. නිවසට පැමිණෙන විටදී ද සුදු වස්ත්‍රයකින් මුහුණ ආවරණය කරගෙන එන්නේ අවට කිසිත් නොපෙනෙන පරිදිය. රස කැවිලි වර්ගත්, එළවළු, පලතුරු ආදියත් සපිරි බඳුන් මැද තබා ඇති පහනක් දල්වා ඒ මධ්‍යයේ ඇති කැඩපතින් තම මුහුණ බලා අනතුරුව මුහුණ වසා සිටි කඩතුරාව ඉවත් කරයි.  
ඉන්පසු මාපිය නෑදෑයින්ට වැඳ නමස්කාර කර ආශිර්වාද ලබාගනී. මල්වර වීම යුවතියකගේ දෙවන උපත ලෙස ජ්‍යොතිෂයේ සඳහන් වන අතර එය එතරම්ම තම ජීවිතයට වැදගත් අවස්ථාවකි.  

 

 


ජ්‍යොතිෂවේදී  
ආර්.එම්. පොඩිරාළහාමි  
රඹුක්කන