සිතූ පැතූ සම්පත් පහළවන දියෙන් ලැබුණු කුමාරයා


 

ජීවිතේ විතරක් නෙවෙයි සංසාරෙම වරදින්න එක වචනෙත් ඇති. කටින් පිටවෙන සමහර වචන ඒ තරම් ප්‍රබලය. විනාශකාරීය. ගිනි කූරකින් දැල්වූ මහා ගින්නක් යම් සේද, අහිතකර වචනයකින් එපමණටම දැවෙන, පිච්චෙන සේම විනාශකාරී පැතිරීමක් ගෙන දෙන්නේය.


අමිතභෝගී සිටුතුමා යනු රන්, රිදී, මුතු, මැණික් ආදී සැප සම්පත්වලින් පිරී ඉතිරී ගිය සිටුවරයෙකි. ඔහුට සම්පත් අඩු නැතිවම පහළ වුණු නිසා අමිතභෝගී යන නම වඩාත් ගැළපිණි. අමිතභෝගී සිටුතුමාගේ ජීවිතයෙහි දෙඅන්තයකි. එක පැත්තක් මුළුමනින් අඳුරුය. තවත් පැත්තක් ආලෝකමත්ය. අතීතයේ කළ අඳුරු කර්ම ජීවිතයේ දුබල වීමටත්, අතීතයේ කළ ආලෝකමත් කර්ම ජීවිතයේ සුබවීමටත් ඔහුට බලපෑයේය.


කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම සිදුවූයේ ගෞතම බුද්ධ කාලයට බොහෝ පෙරදීය. එදා ද අමිතභෝගී සිටාණෝ එනුවර රන්කරුවෙකු විය.


කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ආදාහනයෙන් පසු උන්වහන්සේගේ ශ්‍රී ධාතු නිදන් කරවා රනින් ස්තූපයක් බඳින්නට එදා වැඩසිටි මහරහතන් වහන්සේ නමකට උවමනා විය. ඒ ස්තූපය වනාහි තනි රත්තරනින් යොදුනක් උසට කරන නිර්මාණයක් විය.
දැන් මේ වැඬේට රත්ත්‍රන් සොයා ගන්නේ කොයින්ද?


උන්වහන්සේ කල්පනා කළහ.


එකල රන්කරුවන් බොහෝ දෙනෙක් දඹදිව පුරා වාසය කළහ. මහරහතන් වහන්සේ රන්කරුවන් වෙත යමින් කාරණය පවසා “රන් සම්මාදම්හි” යෙදුණාහ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් නිදන් කරවන යොදුනක් උස සෑයට රත්‍රන් නොදුන්නෙකු නැත.
රත්ත්‍රන්වලින් ආඪ්‍ය තවත් ප්‍රධාන නිවසක් නුවර තිබිණි.


රහතන් වහන්සේ ඔහුගේ ගෙදරටත් වැඩම කළහ. ඒ වේලාව “සම්මාදමට” සුදුසු වේලාවක් නොවෙයි. ගේ ඇතුළේ මහත් ගාලගෝට්ටියකි. රන්කරුවාත් බිරිඳත් කේන්තියෙන් බැණ ගන්නා මොහොතකි. දෙන්නා දෙමාල්ලන්ගේ රණ්ඩුව නොදැන ගෙදරට වැඩි රහතන් වහන්සේ දුටු රන්කරුට තවත් කේන්තියකි.


ඇයි ඔබවහන්සේ මේ රණ්ඩුව අහන් ඉන්නද ආවේ.... කේන්ති පිටම රන්කරුවා ප්‍රශ්න කළේය.


ඔබතුමාට ටිකක් කේන්ති ගිහින් වගෙයි.... මම ආවේ රණ්ඩුව අසා ඉන්න නොවෙයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යොදුනක් උස සෑයක් රනින් බඳිනවා එයට රන් පරිත්‍යාගයක් ලබා ගන්න. උන්වහන්සේ කාරණය පැවසූහ.


ඒ ඇසුණු හැටියට රන්කරුට තවත් කේන්තිය වැඩිවිය.


ඔබවහන්සේලාට ඉතින් වෙන ප්‍රශ්න නෑනෙ. යොදුන් ගණන් උසට ඕව බැඳ බැඳ ඉන්න. අපට ප්‍රශ්න තියනවානෙ. ඔය ධාතු ගිහින් ගඟක - මුහුදක දැම්ම නම් ඉවරනෙ. එතකොට ඔය ප්‍රශ්නෙත් ඉවරනෙ. අපට කරදරයකුත් නෑනේ.


රන්කරුගේ කතාව නිහඬව අසා සිටි රහතන් වහන්සේ එහි බැරෑරුම්කම මැනවින් අවබෝධ කරගත්හ.


ඔබ රත්‍රන් දුන්නත් නැතත් සංසාරයට ඉතාම බරපතළ අකුසලයක් සිද්ධ කර ගත්තා. ඒ අකුසලය මේ මේ තරම් බලවත්.

බුදුවරයෙකුගේ ධාතුවලට අපහාස කළ ඔබට සසර පුරා දුක් විඳින්න වෙන්නෙ මෙන්න මේ ආකාරයටය වශයෙන් දීර්ඝ දේශනාවක් කළහ.


ඒ අසා සිටි රන්කරුට තමන්ගේ අනාගත ජීවිතය පිළිබඳ දැඩි බියක් ඇති විය. කෝපය නිවී ගොස් වැඳ වැටී සමාව ඉල්ලා සිටියේය.
රන්කරුව, ඔබේ කෝපය හරියට කුලප්පු වුණු අශ්වයන් නැටූ දූවිලි ගොඩක් වගෙයි. ඒ දූවිලිවලින් ප්‍රදේශයක් නොපෙනී යනවා. අවට ගස් කොළන් දූවිල්ලෙන් වැසී දුර්වර්ණ වෙනවා. ඔය ක්‍රෝධ දූවිල්ලත් ඒ වගෙයි. 


ස්වාමීනි, දැන් මා කුමක් කළ යුතුද? රන්කරුවා විමසා සිටියේය.


මම ආවේ ඔබෙන් රන් ස්වල්පයක් ඉල්ලා ගන්නයි. නමුත් ඔබ සිදුකර ගත්තේ සංසාරයටම නපුරක්. ඒ නිසා මේ සෑය සඳහා රනින් මල් පොකුරු තුනක් සාදා පූජා කරන්න. එවිට ඔබට සිදු වූ වරදට කිසියම් පහසුවක් ලැබේවි.


රන්කරුවා ඊට බොහෝ කැමැති විය. ඔහු තමන්ගේ ලොකු පුතා කැඳවා “පුතනුවන්, මගේ අතින් මෙවැනි වරදක් වුණා. මට රන්මල් පොකුරු තුන හදන්න ඔබේ උදවු ඕනෑ’ යි ඉල්ලා සිටියේය.


මට බෑ.... ඔබ කරගත් දේ ඔබම කරගන්න. වැඩිමල් පුත්‍රයා වැඬේ මඟ හැර ගියේය. දෙවැනි පුතා ද කැඳවා ඒ උදවුවම ඉල්ලා උන්නේය. හෙතෙමේ ද ඒ පිළිතුරම තැබීය. ඊළඟට බාලයාය. හරි මම තාත්තාට උදව් දෙන්නම්. 


ඒ අනුව බාල පුතා පියාණන් සමඟ එක්වී රන් මල් සාදා සෑයට පූජා කළේය.


ඉන් කලකට පසු රන්කරුවා මරණයට පත් විය. ඔහුට උපදින භවයක වත් භව බෝගයෙන් අඩුවක් නැත. රන්මල් පූජා කිරීම එතරම් බලවත් පින්කමක් ලෙස ප්‍රතිඵල උදා කළේය.


එහෙත් උපදින ආත්මයේ මරණය නම් ශෝචනීය මළගමක් විය.


ඔහු ළිඳ ළඟට ගිය විට ළිඳට වැටී මියැදෙයි. පාරුවේ ගිය විට පාරුවෙන් වැටී මියැදෙයි. මුහුදේ ගිය විට රැල්ලට ගසා ගොස් මියැදෙයි. ආත්ම හතක් තිස්සේම රන්කරුවා මිය ගියේ අවාසනාවන්ත පරිදි දියේ ගිලීමෙනි. එයට හේතු වූයේ බුදුවරයෙකුගේ ධාතුන් ගඟේ මුහුදේ දාන්න යැයි කළ නපුරු වචනයයි.


යාදිසං වපතේ බීජං
තාදිසං හරතේ ඵලං


වපුල බීජයට අනුව අස්වැන්න ලැබේය. මොහු ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ බරණැස රූමත්ම සිටු 
කුමරියකගේ කුසක පිළිසිඳ ගත්තේය. එය ද ඉතාම අපූරු පිළිසිඳ ගැන්මක් විය.


බරණැස සිටුතුමාට සිටියේ රූමත් දියණියකි. ඇය ඉතා පිරිසිදුව ඇති දැඩි කරන්නට සිතූ සිටුතුමා දියණිය එක්ටැම් ගෙයක රැඳවූවාය.

ඇයට ඕනෑ එපාකම් කිරීමට පත් කළේ සිටුවරයාට හිතවත් දාසියකි. කෑම බීම ද අවශ්‍ය සියලු දේ ද එක්ටැම් ගෙය වෙතට ලැබෙයි.


ඒ කාලයේ අහසින් යන විජ්ජාකාරයෙක් කුටියේ සිටින සිටු රූමතිය දැක විජ්ජාවක් ඔස්සේ ඇගේ එක්ටැම් ගෙට රිංගා ගත්තේය. හත්මුතු පරම්පරාවේම පිරිසිදු දියණිය ලෙස සිටුතුමා හැදූ වැඩූ දියණියට විජ්ජාකාරයා නිසා රහසේම දරු ගැබක් හට ගත්තාය.


ඒ දස මාසයම ඇය ඉතා රහසේ දිවි ගෙවුවාය. ඇයට පුත් කුමරෙකු ලැබිණ. රන් පාටින් බබළන පුත් රුවනකි. ඒත් මේ පුත්‍රයා හදා ගැනීම කළ යුත්ත නොවේ. එසේ වුවහොත් පිය සිටුහුගේ උදහසට ලක්වේ. ඒ බියෙන්ම ඇය පුත්‍රයාව ඉපදුණු ගමන්ම මල්දම් පළඳා රතුපාට රෙද්දක ඔතා භාජනයක තබා එම භාජනය ද වසා දාසිය අත තැබුවාය.


දාසිය මේක බාරයක්. මේ භාජනය අරින්න එපා ඔබට නපුරක්. මේ භාජනය හිරු උදාවීමට පළමුව ගං දියේ පාකර හරින්න.
දාසිය අලුයම්හි බිලිඳාව දියෙහි පාකර හැරියාය.


බුදුන්ට අපහාස කළ රන්කරු ඉපදුනත් බිල්ලකට හෝ ගඟේ පා කර හැරීමක් සිදුවිය.


එදා ගඟේ පහළ නාමින් සිටි කාන්තාවන් දෙදෙනකුට දියේ පාවී එන භාජනය හමු විණ. ඔවූහු එය විවෘත කර බැලූහ. රතු රෙද්දෙන් එතූ ගුලියකි. එය ද ලිහා බැලූහ.


අහෝ බිලිඳෙක්.... මියැදී නැත. රන්පාටින් බබළන කිරි කැටියෙක්.


ඕ දෙපළ උද්දාම වූහ. බිළිඳාට කිරි පෙවූහ. ටික කලක් ඇති දැඩි කර ගත්හ. දැන් ඔහු ළපටි වියේය. හිසකේ බොකුටුය. සිරුර රනින් කළ “කඳක්” වැනිය. එබැවින් “ජටිල” යැයි නම් තැබූහ.


බුද්ධ ශාසනයේ රන්වන් පාටින් බබළන සිරුරක් තිබුණේ කච්චායන මහා තෙරුන්ටය. මේ කාන්තාවන් දෙපළ කච්චායන තෙරුන්ගේ දායිකාවෝ වූහ.


දරුවා ගැළපෙන්නේ කච්චායන තෙරුන්ටය. ඔවූහු ගොස් කච්චායන තෙරුන්ට “කුමරුවා” පූජා කළහ.


උන්වහන්සේගේ ඥාන ශක්තියෙන් කුමරුවාගේ අතීත විස්තරය බැලූහ.


මොහු සාරපින් කඳකි. අතීතයේ මෙවැනි අකුසලයක් සිද්ධවීමෙන් සසර පුරා ජලයෙන් දුකට පත් වෙමින් සිටින්නෙකි. මොහුට පිහිට විය යුතුයි.


කච්චායන මහ රහතන් වහන්සේ නුවරෙහි ධනවත්ම සිටු පවුලක දායක පිරිසක් ගෙන්වා ඔවුන්ට දරුවා භාර කළහ.


මේ දරුවා පින් කඳක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවැති කාලයේ උන්වහන්සේගේ ශ්‍රී ධාතු නිදන් කළ සෑය බඳින්නට රන්මල් පොකුරු තුනක් පූජා කළා. ඒ නිසා සසර පුරා යන යන තැන සම්පත් පහළ වෙනවා. ඒත් අවාසනාවක් තියනවා.

සර්වඥ ධාතුන් ජලයට දමන්නැයි ගර්හා කළ නිසා ජලයෙන් ජීවිතයට හානි සිදුවෙනවා.


සිටුතුමා දරුවා රැගෙන ගොස් දැඩි ආරක්ෂාව මැද ඇති දැඩි කළේය. මහා කච්චායන හාමුදුරුවන්ගේ කතාව ඇත්තකි.
කුමරු සිටුමැදුරට ගියදා පටන් ඉබේම සම්පත් පහළ වෙයි. හිතූ පැතූ සම්පත් පහළ වෙන නිසා ඔහු ගෞතම බුද්ධ ශාසනයේ ‘අමිතභෝගි’ නමින් ජනප්‍රිය විය. වැඩිවිය එළැඹි කුමරුට සිටුතුමාගේ දියණිය සරණ කර දෙනු ලැබිණි. ඉන්පසු දෙදෙනාම අලුත් මන්දිරයක ජීවිතය ආරම්භ කළෝය.


මන්දිරය පිටුපස තිබුණේ විශාල කන්දකි. ටික දවසකින් එය සේදී සේදී ගොස් නිවසට නැගෙනහිර දෙසින් අසූ රියන් රන් පර්වතයක් පහළ විය.


එවැනි ලැබීමක් ඇති ධනවතෙක් නුවරෙහිම නොවිණි. මේ නිසා “අමිතභෝගීට” සිටු තනතුරක් දෙන්නට රජතුමා වහා කටයුතු කළේය.


තවත් කලක් ඇවෑමෙන් ඔහුට දරුවන් තිදෙනෙකු ලැබිණි. ඒ තුන්දෙනාම පිරිමි දරුවෝ වූහ. ඔවූහු වැඩිවිය එළැඹෙන විට අමිතභෝගී තරමක් වයස්ගතය. ඔහු තමන්ගේ වැඩිමල් පුත්‍රයා කැඳවා ‘පුත, මේ වජිර තලය (උදැල්ල වැනි ආයුධයක්) රැගෙන ගොස් අර එහා පැත්තේ රන් කන්දට කොටා ඔබට අවශ්‍ය ප්‍රමාණයක් ලබා ගන්න.” මහත් සන්තෝෂයෙන් වජිර තලය රැගෙන ගියත් එය රන්වල වැදී භයංකාර හඬක් නගමින් ආපසු එයි. හරියට කළු ගලකට කොටන්නාක් වැනි විය. රන් කන්ද සීරෙන්නේ වත් නැත. ක්ලාන්ත එනතුරු කෙටුවත් භයංකාර ශබ්දයක් පමණි. ඔහු “මට රන් එපා. මට බයයි” කියමින් දිව ආවේය. වැඩිමල් පුත්‍රයාට රන් උරුම නැති බව අමිතභෝගීට වැටහිණි.


ඉන්පසු දෙවැනි දරුවා කැඳවා පෙර සේම වජිර තලය දී රන් කන්ද වෙත පිටත් කළේය. ඔහුට ද වැඩිමලාට වූ දේමය.


ලොකු පුත්‍රයන් දෙදෙනාටම රන් උරුම නැත. බාලයා කැඳවා.


“පුත, මගේ ධනය අර රන් කන්දයි. මේ වජිර තලයෙන් කැමැති ප්‍රමාණයක් ලබා ගන්නැයි” පැවසුවේය.


බාල දරුවා ගොස් පෙර වජිර තලයෙන් රන් පර්වතයට ගසන්නට විය. කිරි මැටි ගොඩකට ගසන්නාක් මෙනි. ගැලවී ගැලවී එයි. රන්කන්දේ උරුමකාරයා බාල දරුවා විය.


මේ බාල දරුවා වනාහි ඊට භව හතකට පෙර කාශ්‍යප බුදුහාමුදුරුවන් වෙනුවෙන් තැනූ රන් සෑයට රන් මල්කරණයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ දරුවාය. ඔහු සසර පුරාම වාසනාවන්තයෙක් බවට පත්විය. වචනයක වරදින් අමිතභෝගීට දියෙන් හානි සිදුවිය.

අමිතභෝගී ගෞතම ශාසනයේ ධර්මාවබෝධය ලැබුණේ පෙර ආත්ම හතම අවාසනාවන්ත මරණයට උරුමකම් කීයේය.


අදත් ගං දියේ ගසාගොස් හෝ රිය අනතුරට පත්වී හෝ ගින්නට අසුව, ගස්, ගොඩනැගිලි හෝ මහපොළවට යට වී අවාසනාවන්ත ලෙස මරණයට පත්වන අය වැඩි දෙනෙක් පෙර සංසාරයේ කරගත් එවැනි වූ අකුසලයක ප්‍රතිඵලයක් විය හැකිය. ඒ නිසා වචනයෙන් වත් අන්‍යයන්ගේ ජීවිත හානිය මෙසේ වේවායි ප්‍රාර්ථනා නොකරන්න.


‘වපුරන ලද දේ ලැබෙන්නේමය.’


‘උඳු වැපුරූ කල උඳුය - මුං වැපුරූ කල මුං ය’


බාල දරුවා රන් මල්කරණයට උදවු වුයේ මේ උතුම් පින්කමක් බව සිතාය. ආරාධනයක් ඇතිව වේවා නැතිව දානයකට පින්කමකට උදවු කිරීම තමන්ගේ වස්තු ලබාදීම, ශ්‍රම දායකත්වය දීම, සසර වසනා තුරුම අගහිඟකමක් නොවීමට හේතු වේ. තුණුරුවන ඒසා ප්‍රබලය. අචල විශ්වාසය ඇතියෝ මෙලොව පරලොව දෙලොවම දිනන්නෝය.

සටහන - අසංක ආටිගල