සිකුරු තුලාවට: ඔබට කොහොමද?


2019.10.04 දා සිට 2019.10.28 දක්වා සිකුරු තුලා රාශිගතවීම ඔබට බලපාන හැටි!  

 

ග්‍රහ මණ්ඩලයේ දීප්තිමත් ග්‍රහයා ලෙස සිකුරු සැලකෙයි. සිකුරු ජ්‍යොතිර්වේදයේ තරුණ කාන්තාවකට සමාන වෙයි. සිකුරුගේ බලය පතුරවන්නේ සියලු ලෞකික ආශාවන් කෙරෙහිය. පුරුෂ කේන්ද්‍රවලට සිකුරු ස්ත්‍රී කාරක ග්‍රහයා වෙයි.   


ගුරු නොහොත් බ්‍රහස්පති ළඟට සෞම්‍ය ග්‍රහයා සිකුරු ය. සිකුරු ගුරුගේ පුත්‍රයා ලෙස ද ජ්‍යොතිෂයේ හැඳින්වෙයි. එහෙත් සිකුරු ස්ත්‍රියක ලෙස හඳුන්වයි. සියලු ශුභ ඵල දීමට සිකුරු මුල් තැන ගනී. මැය ජන්මයාගේ ආධ්‍යාත්මික දියුණුවට බාධාවකි. ආලය, ප්‍රේමය, ආදරය, තැන්පත් බව, පිරිසිදු බව, රූප ශෝභාව, සැප සම්පත්, වාහන ලාබ, නිවාස ලාබ, සංගීත, නළු නිළි කලා කටයුතු ආදී දේවල් ගැන සිකුරු කේන්ද්‍රයේ පිහිටි ආකාරයෙන් දැනගත හැකිය.   


විවාහ ජීවිතය ගැනත්, සිකුරුගෙන් දැනගත හැකි වේ. සිකුරු ග්‍රහයාට වෘෂභ, තුලා රාශි දෙක ස්වක්‍ෂේත්‍ර වෙයි. මීන රාශිය උච්ච වෙයි. මිථුන, මකර, කුම්භ යන රාශි 03 මිත්‍ර රාශි වෙයි. කටක, සිංහ රාශි දෙක සතුරුයි. කන්‍යා රාශිය නීච වන අතර, මේෂ, වෘශ්චික, ධනු රාශි 03 සමවෙයි.   


උපන් කේන්ද්‍රයේ සිකුරු වෘෂභ රාශි ගතවීමෙන් විෂ්ණු යෝගයත් තුලා රාශි ගතවීමෙන් පියුමාකාර යෝගයන් යෙදෙයි. මීන රාශිගත වීමේ දී මහෞෂධ යෝගය යෙදෙයි. මෙම යෝග 03 ඉතා බලවත්ය.   


2019 ඔක්තෝබර් මාසයේ 04 වැනිදා පාන්දර 05.16ට සිකුරු තුලා රාශිගත වී, එකී රාශියේම ඔක්තෝබර් 28 දා උදේ 8.33 දක්වා සිටී. 28 දා වෘශ්චික රාශියට පැමිණෙයි (උදේ 08.33 ට)   


මෙම ග්‍රහ මාරුව ඔබට බලපාන්නේ මෙසේය.   


මේෂ ලග්නය:- මේෂ ලග්න හිමි ඔබට සිකුරු 07 වැන්නට පැමිණීම ඉතා ශුභයි. අවිවාහකයින්ට උසස් විවාහයක් කර ගැනීමට හැකිවෙයි. එහෙත් විවාහයට විරුද්ධවාදිකම් ඇතිවිය හැකිය. වෛද්‍ය සේවාවන්වල යෙදී සිටින අයටත් වෙද හෙදකම් ගැන ඉගෙන ගන්නා අයටත් ඉතා ශුභයි. සමාජයෙන් ගෞරව කීර්තිය ලැබෙයි. හවුල් ව්‍යාපාර කටයුතුවලින් ලාබ ලබයි. 2019.10.18 සිට රවි ග්‍රහයා ද තුලා රාශිගත වීම නිසා දේශපාලන කටයුතුවලින් වාසි අත්වෙයි. උෂ්ණ රෝග හටගනී.   


වෘෂභ ලග්නය:- ලග්නාධිපති සිකුරු 06 වැන්නේ ගමන් කරන නිසා ලෙඩ රෝග සහ සතුරු කරදරවලින් මිදීමට හැකිවෙයි. ගව මහීෂ සතුන්ගෙන් ප්‍රයෝජන අත්වෙයි. ඉඩම් දේපලවලින් ප්‍රයෝජන ලබයි. සිකුරු සමග රවි සිටීමෙන් උසස් තත්ත්වයක් හිමිවෙයි. ගති පැවතුම් යහපත්ය. බලවතෙකු වුවත් බලය අනිසි ලෙස යොදවන්නේ නැත. රූපය ලස්සන වෙයි. විවාහය ගැන බලවත් අවධානයක් යොමු කරයි. වාහන ලාබ ලබයි. අන් අයගේ ගෞරවයට පත්වෙයි.   


මිථුන ලග්නය:- 05 වැන්නේ සිකුරු සිටීමෙන් ගුණ යහපත් බවින් හා සදාචාරශීලී ගතියෙන් යුක්තයි. කොයි කා සමගත් සහයෝගයෙන් කටයුතු කරයි. ආලය මත විවාහය සිදුකර ගනී. වාසනාවන්ත දරුවන් ලබයි. කොයි කාටත් ආදර කරුණාව දක්වයි. මිත්‍ර ආශ්‍රය වැඩී. සංගීත කලා කටයුතුවල යෙදී සිටින අයට ඉතා ශුභයි. රවි ග්‍රහයා සමග 2019.10.18 සිට සංයෝගවීමෙන් හොඳට සිතා මතා කටයුතු කරයි. සහෝදරාදීන්ට උදව් කරයි.   


කටක ලග්නය:- සිකුරු 04 වැන්නේ යෙදීමෙන් ගෘහ ජීවිතය සතුටින් ගෙවිය හැකිය. තමාගේ උත්සාහයෙන්ම දේපල උපයා සපයා ගනී. අපක්ෂපාතයි. පිරිසිදුවට අලංකාරයට සිටීමට කැමැතියි. නිවාස ලාබ වාහන ලාබ ලබයි. විනෝදය ප්‍රිය කරයි. අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින අයට යහපත් කාලයකි. රවි සමග සංයෝග වී සිටින කාලය තුළ අන් අයගේ සිත් දිනා ගනී. අසරණ උදවියට උදව් උපකාර කරයි. ජනප්‍රියතාවයට පත්වෙයි. උපක්‍රමශීලී වෙයි.   


සිංහ ලග්නය:- 03 වැනි ස්ථානයේ සිකුරු ගමන් කරන නිසා ශරීරය නිරෝගී වෙයි. රූප ශෝභාව වර්ධනය වෙයි. සහෝදරාදීන් උදෙසා කටයුතු කරයි. අලංකාර බවින් තොරයි. කොයි කවුරුත් සමගත් සහයෝගයෙන් කටයුතු කරයි. දේශපාලන සමාජ සේවා කටයුතුවල නියැලේ. රවි සමග සිකුරු සිටින කාලයේ දී වැඩට ශූර බවක් පෙන්වයි. ජනප්‍රියතාවට පත්වෙයි. උද්යෝගය හා ධෛර්යමත්ගතිය නිසා උසස් දියුණුවක් ඇති කරගනී.   


කන්‍යා ලග්නය:- සිකුරුට අයත් 02 වැන්න ඔබට යහපත්ය. කතාව නිසා අන් අයගේ සිත් දිනාගනී. උභය පාර්ශ්වයේ (ස්ත්‍රී/ පුරුෂ) ඇදීම බැඳීම පවතී. පිරිසිදුවට සිටීමට කැමැතියි. කිසිවකු අමනාප කර නොගනී. සාමය සමාදානය අගය කරයි. සාර්ථක විවාහ ජීවිතයක් ගත කළ හැකිය. 2019.10.18 සිට රවි සමග සිකුරු සංයෝග වීමෙන් බැරි දුර්වල අයට උපකාර කරයි. එහෙත් ඇතැම් අවස්ථාවල දී තත්ත්වයට නොගැළපෙන කටයුතුවල යෙදීමෙන් අපකීර්තියට පත්වෙයි.   


තුලා ලග්නය:- ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා ලග්නගතව ගමන් කිරීම ඔබට ඉතා ශුභයි. තමාගේ උත්සාහයෙන්ම දියුණුව උදාකරගනී. ප්‍රිය පෙනීමක් ගෙනදෙයි. අන්‍යයන්ගේ සිත් දිනාගෙන වැඩකටයුතු කරගනී. කලා කටයුතුවල යෙදී සිටින අයට ඉතා යහපත් කාලයකි. රවි ග්‍රහයා ද 2019.10.18 සිට සිකුරු සමග සංයෝග වීමෙන් නිහතමානී ගතියක් දිස් වෙයි. ආදායම් තත්ත්වය යහපත් වෙයි. සමාජයේ ඉහළ පිළිගැනීමක් සිදුවෙයි. දේශපාලන කටයුතුවල නිරත වෙයි.   


වෘශ්චික ලග්නය:- සිකුරු 12 වැන්නේ සිටින නිසා, අන් අය උදෙසා කටයුතු කරයි. දුර බැහැර අයගේ ආශ්‍රය ඇතිකර ගනී. අවිවාහකයින්ට විවාහය තරමක් ප්‍රමාද වීම් ඇතිවිය හැකිය. ආර්ථික දුෂ්කරතා ඇතිවෙයි. වියදම් අධිකයි. අන් අයට උදව් කළත් ඔවුන්ගෙන් නිසි සහයෝගයක් නොලැබේ. රවි සමග සිකුරු ගමන් කරන කාලයේ දී විදේශ ගමන්, විදේශ රැකියා යෙදෙයි. වෛද්‍ය රසායනික කටයුතුවල නියැළී සිටින අයට යහපත්ය.   


ධනු ලග්නය:- සිකුරු 11 වැන්නේ ගමන් කිරීමෙන් සාමය, සමාදානය අගය කරයි. කොයි කා සමගත් සුහදව කටයුතු කරයි. අවිවාහකයන්ට විවාහ කටයුතු සාර්ථක වෙයි. පවුල් ජීවිතය සතුටින් ගෙවිය හැකිය. ආදායම් තත්ත්වය යහපත්ය. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට බාධක ඇතිවේ. පිරිස් බලය ලබයි. රවි ද සිකුරු සමග සිටින කාලයේ දී දේශපාලන කටයුතුවල නියැලෙයි. උසස් බලවත් අය ආශ්‍රයට ලැබේ.   


මකර ලග්නය:- සිකුරු 10 වැන්නේ සිටීම ඔබට යහපත්ය. සදාචාර සම්පන්නයි. ඉගෙනීම් කටයුතුවල යෙදී සිටින අයට ඉතා ශුභයි. සමාජශීලීය. ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අයට වාසි අත්වෙයි. විවාහ ජීවිතය සැපවත්ය. සහකරුට හෝ සහකාරියට නිවාස ලාබ හිමිවේ. රවි සමග සිකුරු සිටින කාලයේ දී කිසියම් දක්ෂතාවයක් නිසා උසස් තත්ත්වයක් ලබයි. නිහතමානී වෙයි. කොයි කා සමග වුව සහයෝගයෙන් කටයුතු කරයි.   


කුම්භ ලග්නය:- සිකුරු 09 වැන්නේ යෙදීමෙන් ආගම දහමට භක්තියක් විශ්වාසය ඇති කරගනී. පිං දහම් කිරීමට සිත පොළඹවයි. උසස් පරිසරයක ජීවත්වීමට වාසනාව ඇත. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට උසස් අධ්‍යාපනයට යොමු වීමට පුළුවනි. අවිවාහකයින්ට ප්‍රේම විවාහ සිදුවෙයි. 2019.10.18 සිට රවි ග්‍රහයා ද සිකුරු සමග සංයෝගවීමෙන් සාමය සමාදානයට කැමැතියි. නීතිගරුකයි. ආත්ම ගෞරවය රැකගනී.   


මීන ලග්නය:- සිකුරු ග්‍රහයා 08 වැන්නේ ගමන් ගැනීමෙන් රූප ශෝභාව වර්ධනය වෙයි. මොනම දේකටවත් වහා කම්පා නොවෙයි. අසල්වාසීන් හා ළඟින් ආශ්‍රය කරන අය සමග කරදර ඇති කරගනී. කාලය පිළිබඳ අදහස් මතුවෙයි. රවි සමග සිකුරු සිටින දිනවල සතුරු කරදර, ලිංගික ආබාධ, මුත්‍රා ආබාධ ඇතිවිය හැකිය. උෂ්ණ රෝග බලපායි. ඉවසීම නැත. ඉක්මන් කෝපය ඇතිවෙයි. තරහ නොඉවසයි. යටත් පහත් ගතිය අඩුයි. 

 
මීරිගම විද්‍යාල මාවතේ ජ්‍යොතිර්වේදී කලාභූෂණ ආර්.ඇම්.ටී.බී. රත්නායක