සිංහල මුද්‍රිත ග්‍රන්ථාවලියේ ප්‍රථම සිංහල මුද්‍රිත පොත


Singaleesh Gebeede Boek   

මුද්‍රණ ශිල්පයේ අද්විතීය හාස්කමක් ලෙස ප්‍රථම සිංහල මුද්‍රිත පොත හැඳින් විය හැකිය. දිගු කාලීන අත්හදා බැලීමක ප්‍රතිඵලයක් වශයෙන් ලන්දේසි ජාතික ගේබ්‍රියෙල් ස්කා ද ගේ අපූර්ව නිර්මාණයක් ලෙසින් මෙම ​පොත ගෞරවාදරයට මෙන්ම ප්‍රණාමයට ලක්ව තිබෙන්නකි. එය කතෝලික ආගමට අනුගත වූ යාච්ඤා පොතකි. සර්වකාලීනව හා සාර්වභෞමිකව ඇගයීමට ලක් වී ඇති මෙම ඓතිහාසික පොත ජාතික වස්තුවක් සේ සලකමින් බහුමානයට පාත්‍ර විය යුතුය. 

 

මෙම පොත ඩිමයි 8 ප්‍රමාණයේ ඝණ කඩදාසියකින් නිර්මිත වූවකි. එහි සම්පූර්ණ පිටු ගණන 41කි. පොතේ නම ලංදේසි භාෂාවෙන් සටහන්ව තිබේ. Singaleesh Gebeede Boek යනුවෙන් පළමු පිටුවෙන්ම ග්‍රන්ථ නාමය දක්වයි.   


මෙකල ලංකාවේ ආණ්ඩුකාර තනතුර දරන ලද්දේ වෑන් ඉන්හොප් තුමාය. එතුමාගේ පාලන කාලය ක්‍රි.ව. 1736 මාර්තු මාසය වශයෙන් ඉතිහාසයේ සටහන්ව පවතී. ඔහුගේ සේවා කාලය තුළ දී හාපුරා කියා මුද්‍රණද්වාරයෙන් පොතක් නිකුත් කිරීමට හැකි වීම ගැන මහත් ආඩම්බරයටත් ප්‍රමෝදයටත් පත් වූ බව කාලීන බොහෝ ලිපි ලේඛනවල සඳහන්. විශේෂයෙන් මෙම පොත පිළිබඳව විශාල විස්තරයක් බතාවියේ තම මව් රාජ්‍යය වෙත වාර්තා කොට තිබීමෙන් මේ පිළිබඳව ඔහුගේ බලවත් කැමැත්ත පිළිබිඹුවේ.   


දෙවන පිටුව ලන්දේසි භාෂාවෙන් කරනු ලබන කෙටි හැඳින්වීමකින් සැරසී තිබේ. ඒ සඳහා තනි පිටුවක්ම වෙන් කරයි. එහි ඡායා පිටපත මෙසේය.   


තුන් වැනි පිටුවේ සිංහල භාෂාවෙන් හැඳින්වීම දක්වයි. ප්‍රධාන වූ භාෂාවන් පහ, ක්‍රිස්තියානි ඇදහිල්ලේ  පංගු දොළහ හා අනඥාවල් දහය මෙම පොතෙහි අඩංගු වන බව ඉතාම කෙටියෙන් සටහන් කරයි. ඔබගේ අවධානය සඳහා එම පිටුවම මෙසේ ඡායා පිටපත් කොට දක්වමි.


මෙහි දක්වා ඇති රූපසටහන නම් ලන්දේසි පෙරදිග ඉන්දියානු සමාගමේ ලාංඡනයයි. ඊට පහලින් දීප්තිමත් වූ කොම්පඤෝඤා වෙනුවෙන් අච්චු ගැසුවේ වර්ෂ 1737 යනුවෙන් කාල නිර්දේශය දක්වයි. සිව්වෙනි පිටුවෙන් දේවස්ථානයෙන් ලද අනුමැතිය මෙසේ දක්වා ඇත. 


මේ පොත කොළඹ දේවස්ථානයේ උසාවියෙන් හරි වැරදි පරීක්ෂා කර බලමින් හොඳට ඔප්පු ගන්නට යෙදුණා ඇත.   


පහ හා හය වෙනි පිටුවලින් ආදළ වූ පෙරවදන සටහන් කරයි. එය මුල අරඹය වශයෙන් දක්වා මෙසේ පවසයි. සෙනෙහෙවන්ත වූ සිංහල අසෙනි තමාලගේ ගැලවීමෙහි පුරුදු වීමට ද දීප්තිමත් වීමට ද වෙනුව ගුස්තාව් විල්ලම් වන් ඉම්හොව් යන ගරුතර ගොවැණෙනදොර උත්තමාණන් වහන්සේ පණිවුඩ පනත සැටියට පළමුවෙන් අච්චුගසන්ට යෙදුණු මෙපොත දෙවියන් වහන්සේට ද තමන් පැමිණි තැන්වල ද යුතු වූ ස්තූති කිරීමෙන් ඔප්පු ගනුව. ඒ බව පොතේ මෙම පිටුවෙන් පැහැදිලි වෙයි.


   
හත් වෙනි පිටුවේ සිට යාච්ඤා පෙළ ආරම්භ කොට තිබේ.   


අපේ ස්වාමි දරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ යාච්ඤාවයි. (පිටු 8 කි)   


උදාසන කියන යාච්ඤාවයි. (පිටු 6 කි)   


රාස්ත්‍රියෙ කියන යාච්ඤාවයි. (පිටු 5 යි.)   


ආහාර පානය කරන්ඩ පළමුවෙන් කියන යාච්ඤාවයි. (පිටු 4 කි)   


ආහාර පානය කර ඉක්බිති කියන යාච්ඤාවයි. (පිටු 4 කි)   


සියලු තැන්වලට වර්ධනය වූ අනුමාන නොවන අපේ ක්‍රිස්තියානි ඇදහිල්ලේ පංගුවලින් දොළහයි (4 යි)   

 

දෙවි ස්වාමි දරුවානන් වහන්සේම අහස්තලෙන් දෙවා වදාළ අනාඥාවල් දසයයි. (පිටු 10 කි)   


​ෙපාතේ අවසාන පිටුවද ඉතාම අගනේය. මෙහි ඇත්තේ සුපිපුණු පුෂ්පයකි. එහි දෙපැත්තට විහිදී ගිය දිග කොළ අතු දෙකකි. මලට යටින් මල් කැකුළු දෙකකි. ඔබගේ දැනගැනුම සඳහා පොතේ අවසාන පිටුව ඡායා පිටපත් කොට දක්වමි. කිසිම දෙයකට ඇළුම් නොකරන ලෙස ද දැනුම් දී තිබීම ද අතිශයින්ම වැදගත් වේ. 


​ෙම් වන විටත් පන්සල් ආශ්‍රිතව බෞද්ධාගමික පුස්කොළ පොත් ඉතාම ප්‍රචලිතව තිබුණි. ඒ නිසාම පුස්කොළ පොතේ රටාවන් මෙම පොත සඳහා ද දැඩි සේ බලපෑමකට ලක්ව තිබෙන බව පෙනේ. පිටුවක් අවසානයේ අන්තිමට යෙදෙන වචනය ඊළඟ පිටුවේ ආරම්භයට යොදා ගෙන තිබීම ද තවත් විශේෂත්වයකි. නැවතීමේ ලකුණ වෙනුවට කුණ්ඩලය භාවිත කරයි.


ගේබ්‍රියෙල් ස්කා ද මහතා ඉතාම දක්ෂ අන්දමින් මුද්‍රිත අකුරු නිපදවා ගෙන තිබීම ජාතියේ ප්‍රණාමයට හේතුවකි. ඔහු ලන්දේසි ජාතිකයෙකු වුවත් සිංහල රීතිය කෙරෙහි ද විශේෂ අවධානය යොමු කොට තිබීම ද අපගේ ප්‍රසාදයට හේතුවක් වන්නේය.   

 

 

 

 


විමල් බී. ලියනගේ.