සිංහල නිවෙසට බොදු සිතුවම් පුරුදු කළ සාර්ලිස් මාස්ටර්


 

මෙයට වසර හැට හැත්තෑවකට පෙර කිසියම් නිවෙසක වාසය කරන අය බෞද්ධයන්ද යන වග නිවෙසට ගොඩවැදීමට පෙර දැනගැනීමට ක්‍රමයක් විය.  
ඒ නිවෙසේ ප්‍රධාන දොරටුවට ඉහළින් එල්ලා තිබූ සීවලී මහරහතන් වහන්සේගේ පිංතූරයකිනි.  


බද්ධපර්යන්කයෙන් වැඩ සිට උකුල මත පාත්තරය ඇති සීවලී මහරහතන් වහන්සේගේ රාමුකළ චිත්‍රය එකල සෑම බෞද්ධ නිවෙසකම ආලින්දයේ ප්‍රධාන ස්ථානයක, ඉහළින්ම රඳවා තිබීම අනිවාර්ය දසුනක් විය.  
එපමණක් නොව සූවිසි විවරණය, සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, යමාමහා පෙළහර, කේශ විඡේදනය, දේවාරාධනාව, සුජාතා සිටු දියනියගේ කිරි පිඩු ද‌ානය වැනි වෛවර්ණ චිත්‍රවලින් එකල බෞද්ධ නිවෙස් අලංකාරව තිබුණි.  


බෞද්ධ බණ පොතින් අසා තිබූ ප්‍රජාපතී ගෝතමිය, යසෝදරා දේවිය, සුජාතා සිටු දියණිය වැනි බෞද්ධ චරිත, බැතිමතුන් තමන්ගේ සිතෙහි මවාගත්තේ එම චිත්‍ර තුළිනි.  
ඒ සෑම බෞද්ධ චිත්‍රයකම කෙළවරක එම චිත්‍රයෙහි නිර්මාපකයාගේ නම ‘‘ඇම් සාර්ලිස්’’ යනුවෙන් සටහන්ව තිබුණි. ඇම්. සාර්ලිස් හෙවත් සාර්ලිස් මාස්ටර් එම චිත්‍රවලින් බෞද්ධ ආගමික හැඟීම් ප්‍රබෝධවත් කළා පමණක් නොව සිංහලයන්ගේ සිංහලකමද ප්‍රබෝධයට පත් කළේය.  


සාර්ලිස් මාස්ටර්ගේ බෞද්ධ චිත්‍ර, සිංහල බෞද්ධ නිවෙස්වලට පැමිණෙන්නට පෙර, එම නිවෙස් අලංකාර කර තිබුණේ බොහෝ විට එලිසබෙත් මහ රැජිනගේ චිත්‍රයකිනි. එසේ නැතිනම් බ්‍රිතාන්‍ය රජ පවුලේ චිත්‍රයන්ය. මීට අමතරව පිටරටවල භූමි දර්ශන, ඇපල් වැනි කම්මුල් ඇති සුන්දර යුවතියන්ගේ චිත්‍ර ආදියද දැකිය හැකි විය.  
පිටරටවලින් ගෙනා එම චිත්‍ර ගැලවී, සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍ර බිත්තිමත එල්ලුනේ නිකම්ම නිකං නොවේ. එම චිත්‍ර සමඟ ජාතිකාභිමානයද සිංහලයන්ගේ සිත්තුළ ලැගුම් ගත්තේය.  
එම පදනම වැටුණේ අනගාරික ධර්මපාලතුමන්ගේ ජාතික පුනර්ජීවන ක්‍රියාකාරීත්වය නිසාය. ඒ වනවිට සිංහල නිවෙස්වල විරාජමානව පැවැති බටහිර චිත්‍ර වෙනුවට දේශීය බෞද්ධාගමික චිත්‍ර පෙළක් නිර්මාණය කිරීමට අනගාරික ධර්මපාලතුමාට අවශ්‍යය විය. එතුමා මේ පිළිබඳව කොළඹ පිටකොටුවේ කයිමන් දොරකඩ සුප්‍රකට ව්‍යාපාරිකයකු වූ විලියම් ප්‍රේද්‍රිස්ට පැවසීය.  


''William Pedris The Paint People'' යනුවෙන් හැඳින්වුණ එම ව්‍යාපාරය විහාර චිත්‍ර සඳහා අවශ්‍යය වූ දුම්මල, සායම්, ආදී රසායන අලෙවි කළ ස්ථානයක් විය. මුළු ශ්‍රී ලංකාවේ සතරදිග්භාගයේම, විහාර සිතුවම් සිදු කෙරෙන විට අවශ්‍ය බඩු භාණ්ඩ ගැනීමට පැමිණියේ විලියම් ප්‍රේද්‍රිස් සාප්පුවටය.  
විලියම් ප්‍රේද්‍රිස්, මරද‌ාන මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ගොස් තමන්ගේ අවශ්‍යතාව හික්කඩුවේ ශ්‍රී සුමංගල මහ හිමිපාණන්ට දැනුම් දුන්නේය.  
මෙම කාලයේ රිචඩ් හෙන්රිකස් නම් යුරෝපීය චිත්‍ර ශිල්පියකු මාලිගාකන්ද පිරිවෙනේ විහාරයෙහි සිතුවම් කරමින් සිටියේය. හෙන්රිකස් සමඟ විහාර සිතුවම් කිරීමට සම්බන්ධ වූ ඇම්. සාර්ලිස් නම් ගෝලයකුද සිටියේය.  


අති පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මහ හිමිපාණන් විලියම් ප්‍රේද්‍රිස්ගේ අවශ්‍යතාව පැවරුවේ රිචර්ඩ් හෙන්රිකස්ගේ ගෝල ඇම්. සාර්ලිස්ටය.   
ඇම්. සාර්ලිස් හෙවත් එනම් මාලිගාවගේ සාර්ලිස් උපන්නේ අම්බලන්ගොඩ ආඳ‌ාදොළදීය. ඒ 1850 ජූනි මස 25 දිනය. මාලිගාවගේ නන්දෝරිස් නම් වූ ඔහුගේ පියා දෛවඥයකු විය.  
එකල පාසල් අධ්‍යාපනය ලැබීමට කිසියම් මුදලක් ගෙවීමට අවශ්‍යය විය. එතරම් හොඳ ආර්ථික තත්ත්වයක තමන්ගේ පියා නොසිටි නිසා සාර්ලිස් අධ්‍යාපනය ලැබුවේ වැලිතර විජේජෝභාෂා පිරිවෙනෙනි. එහි දී කුඩා සාර්ලිස්ට ප්‍රථම වරට අත්පොත් තබා අධ්‍යාපනය ලබා දුන්නේ අමරපුර මූලගන්ඨි මහා නිකායේ ආදි කර්තෘ පාලි චක්‍රවර්තී වැලිතර ඒ.යූ.ඒ. ඥ‌නතිලක මහ හිමිපාණන්ය.  

 


තරුණ සාර්ලිස් මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට එන්නේ එයින් පසුවය. එකල ටවර් රඟහලේ පැවැත්වෙන නාට්‍යවල වේදිකා තිර සහ දැන්වීම් පුවරු නිර්මාණය කළ රිචඩ් හෙන්රිකස්ගේ අැසුරට වැටෙන්නේ එම කාලයේය.  


දින කීපයක් ඇතුළත සාර්ලිස් මාස්ටර් විලියම් ප්‍රේද්‍රිස්ගේ අවශ්‍යතාව සම්පූර්ණ කළේය. ඔහු නිර්මාණය කළ චිත්‍රයෙහි වූයේ සන්සුන් ඉරියව්වෙන් දන් වළඳන භික්ෂූන් වහන්සේ නමකගේ වර්ණ චිත්‍රයකි. සාර්ලිස් මාස්ටර් එම චිත්‍රය හඳුන්වා තිබුණේ ‘‘සීවලී මහ රහතන් වහන්සේ’’ යනුවෙනි.  
විලියම් ප්‍රේද්‍රිස් පමණක් නොව අනගාරික ධර්මපාලතුමන්ද සාර්ලිස් මාස්ටර් නිර්මාණය කළ සීවලී රහතන් වහන්සේගේ චිත්‍රය පිළිබඳව ඉතාමත් ප්‍රසන්න වූහ. විලියම් ප්‍රේද්‍රිස් එම චිත්‍රය ජර්මනියට යවා එවකට පැවතුන ඉතාමත් ඉහල මුද්‍රණ තාක්ෂණයෙන් මුද්‍රණය කරන ලදී.  


බෞද්ධ බැතිමතුන් සාර්ලිස් මාස්ටර්ගේ මෙම වෛවර්ණ සීවලී පින්තූරය මිලදී ගත්තේ ඉතාමත් භක්තියෙනි. ශ්‍රී ලංකාව පුරා සෑම බෞද්ධ නිවෙසකම වීදුරු යොදවා රාමුකළ සීවලී මහරහතන් වහන්සේගේ චිත්‍රය අනිවාර්යයෙන් දක්නට ලැබෙන්නට විය. විලියම් ප්‍රේදිස් සමාගම එම චිත්‍රය වරකට මුද්‍රණය කළේ දස දහස් ගණනෙනි. ශ්‍රී ලංකාවේ කිසිම චිත්‍රයක පිටපත් එතරම් විශාල ප්‍රමාණයක් සීවලී පිංතූරය තරම් අලෙවි වී නැතැයි කියනු ලැබේ. එයට පසුව බෞද්ධ සාහිත්‍යයහි සහ පන්සිය පනස් ජාතක කථාවල විස්තර වන සිද්ධීන් රාශියක් සාර්ලිස් මාස්ටර් විසින් වෛවර්ණයෙන් නිමවා විලියම් ප්‍රේද්‍රිස් සමාගමින් මුද්‍රණය කරන ලදී.  
සීවලී පිංතූරය නිවෙසේ එල්ලීම නිවෙසට භාග්‍යය, වාසනාව කැඳවන්නේ යැයි එද‌ා බෞද්ධයෝ සිතූහ. සීවලී පිංතුරයෙන් නොනැවතුන ඔවුන් තවත් බෞද්ධ සිතුවම් තම නිවෙසේ එල්ලා ගත්හ.  


ප්‍රථම වරට බෞද්ධ චිත්‍රයක් බෞද්ධ නිවෙසක එල්ලීමට බෞද්ධයන් පෙළඹවීමේ ප්‍රමුඛයා සාර්ලිස් මාස්ටර් වශයෙන් හැඳින්වුවහොත් නිවැරදිය.  
එක් දහස් නවසිය එකොළහේදී, මාලිගාකන්ද විහාරයේ සිතුවම් කටයුතුවලින්, බෞද්ධ සිතුවම් කලාව ආරම්භ කළ සාර්ලිස් මාස්ටර් ස්වදේශ මිත්‍රයා පත්‍රයේ ප්‍රධාන චිත්‍රශිල්පියා වශයෙන්ද කටයුතු කළේය. උම්මංග ජාතකය වැනි පොත්වල පිටකවරය මෙන්ම එහි ඇතුළු පිටුද ඔහුගේ චිත්‍රවලින් වර්ණවත් විය.  
ශ්‍රී ලංකාවේ තිරගත නොවූවත් ශ්‍රී ලංකාවේ ප්‍රථම චිත්‍රපටය වූ ආචාර්ය එන්.එම්. පෙරේරා ප්‍රධාන චරිතය රඟපෑ ‘‘රාජකීය වික්‍රමය’’ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළේ සාර්ලිස් මාස්ටර්ය.  


නූතන විහාර චිත්‍රකර්මයේ ආදිතමයා සාර්ලිස් මාස්ටර්ය. ඔහු මාලිගාකන්ද විහාරයේ චිත්‍රකර්ම කටයුතු කරනවිට සෝලියස් මැන්දිස් කැලණි විහාරයේවත්. ජෝර්ජ් කීට් ගෝතමී විහාරයේවත් වැඩ ආරම්භ කර තිබුණේ නැත. සාර්ලිස් මාස්ටර් ඉඳුරුවේ කයිකාවල යාලේගම විහාරය, තිස්සමහාරාම චෛත්‍ය රාජයා අභියස විහාර ගෙය, මතුගම පාන්තියේ ශ්‍රී මංගල විහාරය, කිරිබත්ගොඩ ඊරියවැටියේ සුදර්ශනාරාමය, බෝමිරිය ගනේවත්ත විහාරය, කොළඹ වජිරාරාමය, ජේතවන විහාරය, අශෝකාරාමය, ඉසිපතනාරාමය, වේළුවනාරාමය ආදී විහාර බොහොමයක චිත්‍රකර්ම කටයුතු නිර්මාණය කළේය. එම අවධියේ වෙසක්, පොසොන්, තොරණ බොහෝමයක් හැඩ වූයේද සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍ර වලිනි.  


මාතර වෙහෙරහේන, අසූ අට රියන් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය ආරම්භ කළ සාර්ලිස් මාස්ටර් දක්ෂ මූර්ති ශිල්පියකුද විය. නමුත් ඔහුගේ මරණය නිසා එය සම්පූර්ණ කිරීමට නොහැකි විය. අනගාරික ධර්මපාල, ඩී.එස්. සේනානායක, දොස්තර සී.ඒ. හේවාවිතාරණ වැනි අයගේ පුද්ගල උඩුකය නිර්මාණ ඔහුගේ විශිෂ්ඨ මූර්ති අතර ප්‍රමුඛස්ථානයේ විය. ඒ සියලුම දක්ෂතාවයන්ට අමතරව සාර්ලිස් මාස්ටර් උපහාස කතා පැවසීමේ දක්ෂයකු ලෙසද ප්‍රකටය.  
වරක් සාර්ලිස් මාස්ටර් හමු වූ භික්ෂූන් වහන්සේ නමක් ඔහුගෙන් මෙසේ ඇසූහ.  


මාස්ටර් සීවලී හාමුදුරුවො රෑ දහවල් නැතිව පාත්තරේට අතද‌ාගෙන ඉන්නෙ කෑදරකමටද?  
‘‘විහාරවල සැතපෙන පිළිම හදන්නෙ බුදුහාමුදුරුවො කුම්භකරණයෙක් නිසාද?’’ සාර්ලිස් මාස්ටර් ඇසුවේ උපහාස සිනහවක්ද මුවඟ රඳවාගෙනය.  
තවත් වරෙක සාර්ලිස් මාස්ටර් විහාරයක සිතුවම් කටයුතුවල යෙදෙමින් සිටින විටකදී එම විහාරාධිපති හිමියෝ ඔහුගෙන් මෙසේ විමසූහ.  
‘‘මාස්ටර් දොරේ අඳින්නෙ මොනවද?’’  


‘‘දොරේ අඳින්නෙ කලිසම් හාමුදුරුවනේ සාර්ලිස් මාස්ටර්ගේ පිළිතුර වූයේ එයය.  
සාර්ලිස් මාස්ටර් නිතරම විද්‍යෝදය පිරිවෙනට ආවගියේය. සර් බාරොන් ජයතිලක මියගිය දිනයේ ඔහු පිරිවෙනට ගියේය.   
‘‘අනේ මොකට වික්ෂෝප වෙන්නද හාමුදුරුවනේ. බුදු බනේම ඔය ගැන කියල තියෙනවනේ’’  
‘‘මොකක්ද මාස්ටර් මමත් නොදන්න ඒ බුදු බණ? සාර්ලිස් මාස්ටර්ගේ කතාවෙන් පුදුමයට පත් වූ භික්ෂූන් වහනසේ විචාළහ.  
‘‘ඇයි හාමුදුරුවනේ අහල නැතිද බාරණ සීය ඉසිපතනේ කියල සූත්‍ර පිටකයෙ විස්තර වෙනවා’’  


1947 මැතිවරණයේදී සාර්ලිස් මාස්ටර් ඩී.එස්. සේනානායකට ඉතාමත් සමීපව සහයෝගය දුන්නේය. ඩී.එස්. සේනානායක අගමැති පදවියට පත්වූ පසු එකල ලබාදෙන ඉහළම ගෞරව නාමය වූ ‘‘සර්’’ නාමය සාර්ලිස් මාස්ටර්ට පිරිනැමිය යුතු යැයි ඇතැම්හු යෝජනා කළහ.  
මට අලුතෙන් සර් කියන නම් එකතු කරන්න ඕනෙ නැහැ. මම ඉපදුනාම මගෙ නමට තාත්තා සර් කියන ගෞරව නාමය දුන්නා’’ සාර් - ලිස් මාස්ටර් පැවසුවේ සියලු දෙනාම නිරුත්තර කරමිනි.  


සාර්ලිස් මාස්ටර් තමන් සතු කලාඥ‌ානය නොමසුරුව අනුනට බෙද‌ා දුන්නේය. ජී.එස්. ප්‍රනාන්දු, ජී.එල් ගෞතමද‌ාස, ඇම්. නෝබට් ඔහුගේ දක්ෂ ගෝලයෝය.  
සාර්ලිස් මාස්ටර්ගේ චිත්‍ර හුරුව ඔහුගේ එකම පුත් සුසිල් ප්‍රේමරත්නට ලැබුණි. සුසිල් ප්‍රේමරත්නගේ පුතුන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම චිත්‍රශිල්පීන්ය. එක් පුතෙකු වූ නයනජිත් ප්‍රේමරත්න එකල ජනප්‍රිය චිත්‍රකතා නිර්මාපකයකු විය. තවත් පුතෙකු වූ මනෝජ් ප්‍රේමරත්න ඒෂියා, වීක් සඟරාවේ. නේවාසික චිත්‍රශිල්පී හා පිටු සැකසුම් ශිල්පියා වශයෙන් කටයුතු කළේය.  


සාර්ලිස් මාස්ටර්ගේ සීවලී සිතුවම්, ඇතුළු තවත් බෞද්ධ සිතුවම් කීපයක් 1992 සිට දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් මුද්‍රණය කෙරුණි. ඒ සීවලී සිතුවම් සාර්ලිස් මාස්ටර් පසුව අඳින ලද්දකි. විලියම් ප්‍රේද්‍රිස් සමාගමින් මුද්‍රණය කළ සීවලී පිංතූරයෙහි සීවලී මහරහතන් වහන්සේගේ එක කනක් දර්ශනය වෙයි. නමුත් නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයෙන් මුද්‍රණය කළ සීවලී මහ රහතන් වහන්සේගේ චිත්‍රයෙහි කන්දෙකම දර්ශනය වෙයි.  
1955 නොවැම්බර් 21 දින සාර්ලිස් මාස්ටර් අභවප්‍රාප්ත විය.

 

පීටර් කැනියුට් පෙරේරා