සිංහරාජය කෙසඟ කළ ‘දේශපාලන වන දඩයම’


හෙළයන්ගේ අවුරුද්ද

 

 

  • 1970 බලයට පත් වූ “සමගි පෙරමුණු’ ආණ්ඩුව සිංහරාජය විනාශ කරන්නට මුලින් ම අත්පොත් තැබීය. ඉන්පසු 1977දී බලයට පත් ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව හෙවත් ‘ධර්මිෂ්ඨ සමාජය’ සිංහරාජ සංහාරය ඇරඹුවේය.

 

 

වනාන්තරයට මායිම් බිමේ තැනින් තැන හුදකලා වූ කිතුල් ගස් කේඩෑරී වී ගියත් රෑන් පහළට එල්ලෙමින් තිබුණේ කාන්තාවන්ගේ දිගු කේශකලාපය සිහිගන්වමිනි. සැමියාගේ වියෝවෙන් දරුවන්ගේ ද සරණක් නොමැති වියපත් කාන්තාවක මෙන් සිංහරාජ වනාන්තරයට මායිම් වූ බිම්කඩවල ඉතිරිව ඇති මේ කිතුල් ගස් අද වියපත්ය. ස්වභාවිකව මියයමින් ඇති ඒ කිතුල් ගස්, මෝසම් වැසි සමයේ පාත්වන අකුණුවලින් බේරෙන්නට ගන්නේ තියුණු ආයාසයකි.   


වනාන්තර ආශ්‍රිත අපේ අතීත ජන ජීවිතවලට අවශ්‍ය වූ අඩුම කුඩුම ලබාගත්තේ ඒ වනාන්තර ආශ්‍රිතවය. වනාන්තරයේ වූ කිතුල් ගස වැසියන්ට කාසි පනම් උපයා දුන් කප්රුකය. අද මේ කිතුල් ගස් අපේ පරිසර පද්ධතියෙන් සමුගනිමින් සිටී.   


මේ වර්ණනාව කිතුල ගැන කියන්නට කළ වර්ණනාවක් නොවේ. සෙයිලමට සේන්දු වූ වර්තමාන ජන ජීවිතත්, කලකට පෙර රූස්ස ගහකොළ, සතා සිවුපාවා සමග, ගමේ ගෙවූ දිවිය ගැන අතීතාවර්ජනයක් කරමින් අද ලෝක උරුමයක්ව ඇතත් අවස්ථාවාදීන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන්, දේශපාලනඥයන්ගෙන්, නිලධාරීන්ගෙන්, ප්‍රතිපත්ති සැලසුම් සකසන්නන්ගෙන් නිරන්තරයෙන් කෙරෙන විවිධ වූ කෙනෙහිලිකම් මැද ජීවත්වීම වෙර දරන සිංහරාජයේ අතීත වතගොත කියන්නටය. 

 
අඩි සීයය ඉක්ම වූ උසින් යුත් රූස්ස ගස් හැම තැනකමය. මේ මහා වනාන්තරයට ආවේනික වූ ගස් වර්ග රාශියක් තිබේ. නා, වල්දෙල්, කැන්ද, ගොරක, හල් ඉන් ප්‍රධාන තැනක් ගනී. අල්පේච්ඡ ජීවිතවලට හුරු වූ ජනතාවක් මේ දැවැන්ත වනාන්තරයේ පහස ලබමින් දශක හයකට පෙර සිටියේය.   


රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලට මායිම්ව විශාල ප්‍රදේශයක් පුරා පෘෂ්ඨිමත්ව පැතිර තිබූ සිංහරාජ වනාන්තරය අද කෙසඟය. දශක හය හතකට පෙර සිංහරාජය තේජවන්තය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් 1970 බලයට පත් වූ “සමගි පෙරමුණු’ ආණ්ඩුව සිංහරාජය විනාශ කරන්නට මුලින් ම අත්පොත් තැබීය. ඉන්පසු 1977දී බලයට පත් ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව හෙවත් ‘ධර්මිෂ්ඨ සමාජය’ සිංහරාජ සංහාරය ඇරඹුවේය.   

 

 
1970 බලයට පත් වූ “සමගි පෙරමුණු’ ආණ්ඩුව සිංහරාජය විනාශ කරන්නට මුලින් ම අත්පොත් තැබීය. ඉන්පසු 1977දී බලයට පත් ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව හෙවත් ‘ධර්මිෂ්ඨ සමාජය’ සිංහරාජ සංහාරය ඇරඹුවේය.


මේ සංහාරයන් නිසා සදාහරිත වැසි වනාන්තරය දෑස් ඉදිරිපිට විනාශයට ගියේය. බිම වැටුණු දැවැන්ත රූස්ස ගස් ලොරිවල පටවාගෙන කිලෝමීටර් සියයකට වැඩිදුරක් ගෙවාගෙන බස්නාහිර පළාතේ අවිස්සාවේල්ලේ, කොස්ගම පිහිටි තුනීලෑලි කර්මාන්ත ශාලාවට ගෙනවිත් තුනී ලෑලි බවට පත් කෙරිණ. ඒ සිරිමාවෝ මැතිනියගේ ‘සමගි පෙරමුණු’ ආණ්ඩු සමයේ ය. ‘ධර්මිෂ්ඨ සමාජ’ ආණ්ඩු සමයේදී මේ දැවැන්ත රුක්‍ෂයෝ යටලී බාල්ක, උළුවහු, දොර ජනෙල් බවට පත් කෙරිණ.  මීට සිය වසරකට පෙරදී 49%ක් වූ අපේ රටේ වනාන්තර ගහනය 2005 වසර වනවිට 20% දක්වා අඩු වී ගිය බව රජයේ දත්ත පෙන්වා දෙයි. සිංහරාජයේ විනාශයේ උපරිමය ද ඒ යුගයටම අයත් විය.   


හෙක්ටයාර් 11250ක් වූ වපසරියකින් යුතු සිංහරාජයේ අතීත තොරතුරු සොයා ගිය මම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන නගරය පසුකර කලවාන රක්වාන මාර්ගයේ පොතුපිටියෙන් හැරී ඉලුඹකන්ද දක්වා යන පාරෙන් ඉහළට යද්දී හමුවන මිළිඳුතලාව ආරණ්‍ය සේනාසනයේ අධිපති විහාරහේ​ෙන් ධම්මසිද්ධි හිමියන් හමුවීමි.   
හතළිස් වසරක කාලයක් තිස්සේ උන්වහන්සේ වැඩසිටින්නේ මේ ආරණ්‍ය සේනාසනයේය. දැනට හැටපස් වන වියේ පසුවන උන්වහන්සේගේ පැවිදි දිවියට වසර පනස් පහකි. වසර පනහකට පෙර කාලයක සිට සිංහරාජ වනාන්තරයේම දකුණු සීමාවේ පිහිටි දෙනියායේ ඉලුක්තැන්න ආරණ්‍යයේ සිට සිංහරාජ මහ වනය මැදින් මේ ඉලුඹකන්ද, දෙනවක්කන්ද ආදී ගම්මානවලට නිතර නිතර වැඩම කළ උන්වහන්සේට සිංහරාජය ගැන අත්දැකීම් බහුලය.   


නව යෞවනයේ විසි හතර වන වියේ දී උන්වහන්සේ රූස්ස වන මැද පිහිටි මිළිඳුතලාවේ මහ වෘක්‍ෂයක් මැද බවුන් වඩන්නට කටයුතු කරද්දී අවට වැසියන් එක්ව මා පැදුරුවලින් වටකර පුවක් අතු සහ ඉලුක් සෙවිලි කර තාවකාලික නවාතැනක් සාදා දී පසුව කටුමැටි බිත්ති බැඳ කුටියක් තනා දුන් බව සිහිපත් කළහ.   

 

 


“ඒ කාලේ මේ ගම්මාන මහ කැලෑවෙන් වැහිලා. දහවල් කාලයෙත් රැහැයියෝ කෑ ගහනවා. ඉර එළිය මහ පොළොවට වැටෙන්නේ අඩුවෙන්. මහ ගස්කොළන් වල අතු වලින් ආකාසේ පේන්නේ නෑ. මුළු දවසම සීතලයි. උදේටයි හැන්දෑවටයි වැඩියෙන් සීතලයි. දොළපාරවල් පිරිලා ඉතිරිලා වතුර ගලා ගියා. ඒ වතුර අයිස් කැටේට සීතලයි. මේ මණ්ඩියටම ගෙවල් තිහකට වැඩි තිබුණේ නෑ. මට මතක විදියට ගාලවත්ත ගමේ ගෙවල් දා හතරයි තිබුණේ. කැකිල්ලපිටිය ගමේ ගෙවල් හතක් තිබුණා. දංඅත්තාවල ගමේ ගෙවල් තුනයි.

දෙනවක්කන්දේ ගිරිගෝරිස්හාමි කියලා වැඩිහිටියෙක් හිටියා. එයාගේ ගේ තිබුණේ කැලෙට මායිම්ව.” ධම්මසිද්ධි හිමියෝ අතීතය වර්ණනා කළහ.   


ඉලුඹකන්ද වූ කලී සියවස් හතරක් පමණ පැරණි රජ සමයේ විවිධාකාර සබඳකම් පැවැත්වූ ගමකි. මීට පරම්පරා හතරකට ඉහතදී සිදුවූ විශාල නායයාමකින් ගිල්ම ගැසූ ස්ථානයක් “ගිල්මකන්ද” ලෙස නම් වී භාවිතයේ පහසුවට “ඉලුඹකන්ද” ලෙස ව්‍යවහාරය වෙනස් වූ බව ගම්මුන්ගේ විශ්වාසයයි.   


දැනට වසර හතළිහකට පෙර මේ ගම් අතරින් වඩාත් ජනාකිර්ණ වී තිබී ඇත්තේ ඉලුඹකන්ද සහ ඊට ඉහළින් ඇති බම්බුමලේ ගම්මානයි. දැනට වසර පනහකට හැටකට පෙර දී ඉලුඹකන්දගම වඩාත් සමීප සම්බන්‍ධතා පැවැත්වූයේ රක්වාන-දෙනියාය මාර්ගයේ “සූරියකන්ද”, “ඉත්තෑකන්ද” වැනි ගම් සහ ප්‍රධාන නගරයක් ලෙස කහවත්ත නගරය සමගය. ඒ සබඳතා පැවැත්වීමේදී ගම්මු ආවේ ගියේ අඩිපාරෙනි. අඩිපාර වැටී ඇත්තේ රක්වාන - දෙනියාය පාරේ දකුණු පැත්තෙන් ඇති මෝනිංසයිඩ්, ඉලුඹකන්දවත්ත හරහා එල්ආර්සී ඉඩම් කොටසක් ඔස්සේ ඇති සැතපුම් දෙකක් දෙක හමාරක් පමණ දුරැති මගකිනි.   


දෙනියාය සිට සූරියකන්ද හරහා මාදම්පේ හන්දිය දක්වා (රත්නපුර-ඇඹිලිපිටිය ප්‍රධාන පාරේ) ඉංග්‍රීසි ආණ්ඩුව කැපූ පාර ඒ 17 පාරයි. මේ පාර කපන්නට පෙර ඉලුඹකන්ද, පොතුපිටිය, කැකිල්ලපිටිය, ගාලවත්ත සහ දෙනවක්කන්දේ වැසියන්ට ළඟම නගරය දෙනියාය විය. ඒ ගම් වැසියන් සිංහරාජ වනාන්තරය මැද්දෙන් බෙවරලිය හරහා දෙනියාය සමග සම්බන්‍ධකම් පැවැත්වීය. හැතැක්ම අටකින් (කිලෝ මීටර් දහතුනකින්) පමණ මේ ගම්මානවල සිට දෙනියායට ළඟා විය හැකිය.   


“මම පැවිදි වුණේ අවුරුදු දහයේදී. මගේ ආරණ්‍යය තිබුණේ දෙනියාය නගරයට කිට්ටුව ඉලුක්තැන්න කියන ප්‍රදේශයේ. ඒ පළාතේ උදවිය මේ බම්බුමලේ, ඉලුඹකන්ද, පොතුපිටිය, කැකිල්ලපිටිය, ගාලවත්ත සහ දෙනවක්කන්ද කියන ගම් එක්ක ලොකු සම්බන්‍ධකම් තිබුණා. ආවාහ විවාහ පවා සිද්ධවුණේ මේ ගම් අතර. වැඩිපුර ආවේ ගියේ වනාන්තරය හරහා තියන අඩි පාරෙන්. කුකුළා අතේ අරගෙන යන ගමන් එදා තිබුණේ නෑ. හේතුව යන්න එන්න පොළොවට එළිය වැටෙන්න ඕනෑ. හැන්දෑවෙන්න ඉස්සර ගමන අවසන් කරන්න ඕනෑ.” උන්වහන්සේ ගමනේ අමාරුව වගේම සුන්දර බවද පැහැදිලි කළහ.   

 

සිංහරාජයේ පරිවාර වනාන්තරය

මිලිදුලාව ආරණ්‍ය වත්මනේ

 


“මට මතකයි අපිත් මේ ගමන එනකොට දානේ පවා ඔතාගෙන එන්නේ. ගමනේ අමාරුවක් තිබුණේ නෑ. සීතල පරිසරය නිසා දාහයක් ඇත්තෙම නෑ. කූඩැල්ලෝ වැහි වැහැලා. සමහර අයගේ කකුල්වල කූඩැල්ලෝ කාලා දණහිසින් පාත ලේ පෙරෙනවා. ඇඟිකරුවලත් ලේ පෙරෙනවා. ගලින්ගලට පැන පැන එන තැනුත් තියනවා. ඇළ, දොළවල් ගණනාවකින් එගොඩ වෙලා එන්නේ යන්නේ. කූඩැල්ලෝ කාපු තැන්වලින් ගලාගෙන ගිය ලේ ඒ දොළපාරවලින්වලින් සෝදාගන්නවා. ඒ එන පාර රූස්ස ගස් කොළන් මැද්දෙන් තිබුණේ. සීතදොළ කියලා දොළක් මගදී හමුවෙනවා. එතනදි තමයි අපි දහවල් දානේ වළඳන්නේ. ඇත්තටම ඒක අපූරු ගමනක්” යැයි උන්වහන්සේ අතීතය සිහිපත් කළහ.   


ධම්මසිද්ධි හිමියන් පවසන ආකාරයට මේ ගමනට අඩුම තරමේ පැය හතරක්වත් ගතවෙයි. බඩුමුට්ටු කරතියන් යන ගමනක් නම් එය පැය හයක්වත් ගත වෙයි.   


ධම්මසිද්ධි හිමියන් පවසන පරිදි සිංහරාජයට මායිම්වූ මේ ගම්මාන කිහිපයේ වැසියන් නිරෝගීය. පිරිසිදු වාතාශ්‍රය, පවිත්‍ර පානීය ජලය, රසායන ද්‍රව්‍යවලින් තොර ආහාර භාවිතය ඊට හේතුවයි.   


“මේ ගම්මානවල ජනතාවගේ මූලික ආදායම් මාර්ගය වී තිබුණේ කිතුල් මැදීමයි. කිතුල් මලෙන් වෑහෙන තෙළිදිය උණුකර පැණි හකුරු නිපදවා ඒවා සිදාදියට ගෙනගොස් විකිණීමෙන් ගන්නා මුදලින් හුණු දුම්කොළ, දියලුණු, මිරිස් තුනපහ, ඇඳුමක් පැලඳුමක් මිලට ගන්නවා. ඒ හැර වෙනත් දෑ ඔවුන්ට අවශ්‍ය වුණේ නෑ. ගතකළේ අල්පේච්ඡ ජීවිතයක්.”   
“මම ආව ගිය මුල් වකවානුවේ මේ ගම් කිහිපයටම තිබුණේ උළු සෙවිලි කළ ගෙවල් දෙකයි. සමහර ගෙවල් බටකොළ හෙවිලි කරලා තිබුණා. ඉලුක් හෙවිලි කරපු ගෙවලුත් තිබුණා. බටකොළ වහල දුම් වැදුණොත් අවුරුදු හතළික් විතර දිරන්නේ නැතුව තියනවා. ඉලුක් වහල එච්චර කල් තියාගන්න බෑ. ගිණිහොඩ ලී මැදට තියලා බටලීවලින් ඒ ගිණිගොඩ ලී සවිගන්නලා, වරිච්චිය බැඳලා මැටි ගහපු ගෙවල් තිබුණේ.” ධම්මසිද්ධි හිමියෝ කීහ.   


භූමිතෙල් භාවිතයට පෙර මේ ගම්වල වැසියන් රාත්‍රිය ආලෝකමත් කරන්නට භාවිත කර ඇත්තේ කැකුණ ඉටිය. කැකුණ ඉටි ගුළියක් බිඳුණු මැටි බදුනකට දමා ගිනි දල්වයි. ඒ ඉටිවලට ගිනි ඇවිළී දියවෙවී පැය ගණනක් ආලෝකය දෙයි. නමුත් අද මෙන් නිවසේ හැම කාමරයක්ම රාත්‍රියට ආලෝකමත් නොවීය. ධම්මසිද්ධි හිමියන් කී ආකාරයට දශක හත අටකට පෙර මෙම ගම්මානවල නිවෙස් වැඩිපුරකම සාලය මැද්දේ වූ ළිපක තෙළිදිය උණුකර තිබේ. සිංහල අලුත් අවුරුද්දේ නොනගතය ලබන්නට පෙර වැඩ අත්හරින අවස්ථාවේ පමණක් නිවෙන මේ ළිප නිවසට ආලෝකය මෙන්ම උණුසුමත් සපයයි.   


“ඉස්සර මුළු අවුරුද්ද පුරාවටම සීතල තියනවා. බිම් කළුවර වැටෙන්න ඉස්සර රෑට උයාපිහා ගන්නවා. කොල්ලෝ කුරුට්ටෝ අඳුර වැටෙන කොට කාලා බඩ පුරවා ගන්නවා. ගෙයි සාලේ මැද ගිනිමැලේ වටේට ඉඳගෙන ගිනි තපිනවා. තෙළිදිය උණුවෙලා හකුරු හදන දවසට මේ පොඩි එව්වෝ නැගිටලා ඉන්න ගෙවල් තියනවා. ඒ අර හකුරුවලට පැණි උණු කරපු භාජනේ අඩියේ තියන හකුරු සූරලා කන්න. ඒක හරිම අපූරුයි. ඔය ‘හකුරු කැට’ එහෙම නැත්නම් ‘හකුරු ගුළි’ කියන්නේ ඒවාට.” උන්වහන්සේ පැහැදිලි කළහ.   


කිතුල් මැදීමේ දී අතීත වැසියා ඒවා කරන්නේ ද ගෞරවයක් ඇතිවය. එදා කිතුල් ගහෙන් වෑස්සෙන තෙළිදිය එකතු කරන්නට එල්ලුවේ පුවක් හෝ කටුකිතුල් ගස්වලින් බිමට වැටුණු කොළපත් පොඟවා සැදූ ගොටුය. ගොටු යැයි හැඳින්වුවත් ඒවා බාල්දියක් සේ අතින් එල්ලාගෙන යන්නට තෙළිදිය පිටට ගලා නොයන්නට කොළපත් පට්ටාවලින් දැමූ අපූරු මැස්මකින් සවිගන්වා තිබේ. හකුරු හදන්නට තෙළිදිය ගන්නා ගොටු කිතුල් මල් මැදීමේ දී උදේ සවස මාරු කරයි.   

 

සිංහරාජ පිවිසුම

 


කිතුල් මලෙන් තෙළිදිය වෑස්සෙන ආකාරය අනුව මල කපන වාර ගණන අඩු වැඩි වෙයි. හොඳින් තෙළිදිය වෑස්සෙන් කිතුල් මල උදේ සවස කපන අතර සමහර අවස්ථාවල දහවල් කාලයේ ද කපයි. තෙළිදිය වෑස්සීම අඩුනම් රාත්‍රී කාලයේ ද කපයි. ඒකට කියන්නේ ‘තුන්කැත්ත’ කපනවා කියාය. සිංහරාජ වනාන්තරය මායිමේ කිතුල් මල් නොමදින නිවසක් නොමැති තරම්ය. අද මෙන් සීනි නොතිබූ ඒ කාලයේ පැණි රසට තිබුණෙ පැණි හකුරුය. ‘තේ’ නොතිබූ කාලයේ බෙලිමල්, රණවරා, පාවට්ටා, පානයන් විය.

මල් මදින්නෙක් කිතුල් ගස් හත අටක් මදියි. ඉන් එකක ඇත්තේ කිතුල් රා ය. තෙළිදිය එකතුවන භාජනයට මණ්ඩි දමා ගහේම පස්සවාගෙන පිටතින් ගෙනියන කොළපත් භාජනයට ඒ වෑස්සුණු තෙළිදිය වක්කරගෙන තිබුණ භාජනයම එල්ලයි. හොඳින් පැසුණු මේ තෙළිදිය ‘රා’ යනුවෙන් හඳුන්වයි. ගමෙන් නගරයට ආ බොහෝ පිරිස් අද ‘රා’ බොන්නට ගම්වල යති. නමුත් කිතුල් ගස් නැති තැනක කිතුල් රා තිබේද යන්න ගැටලුවකි.   

 


දැවැන්ත රූස්ස ගස් ලොරිවල පටවාගෙන කිලෝමීටර් සියයකට වැඩිදුරක් ගෙවාගෙන බස්නාහිර පළාතේ අවිස්සාවේල්ලේ, කොස්ගම පිහිටි තුනීලෑලි කර්මාන්ත ශාලාවට ගෙනවිත් තුනී ලෑලි බවට පත් කෙරිණ. ඒ සිරිමාවෝ මැතිනියගේ ‘සමගි පෙරමුණු’ ආණ්ඩු සමයේ ය. ‘ධර්මිෂ්ඨ සමාජ’ ආණ්ඩු සමයේදී මේ දැවැන්ත රුක්‍ෂයෝ යටලී බාල්ක, උළුවහු, දොර ජනෙල් බවට පත් කෙරිණ.


සිංහරාජ අවට ගම්වල පිරිමින් එදා සුරාපානයට ගත්තේ මේ කිතුල් ‘රා’ ය. මල් මදින්නා පමණක් ගහෙන් බා ගත් කිතුල් රා කළවම් නොකර බොන බවට මතකයක් ඇත. පිටස්තර කාට හෝ දෙන්නේ නම් දිය බින්දුවක් හෝ කළවම්කර දීම සිරිතක් ව තිබූ බව පැරණි සිරිත් විරිත් මතක ඇත්තේ අදටත් කියති. 

 
අපි කතාකරන සිංහරාජ අවට ගම්වල වැසියන්ගේ උවමනාවන් ද අල්පය. රා බිව්වේ ද, බෙලිමල්, රණවරා, පාවට්ටා බිව්වේද පොල් කට්ටෙනි. ඒ සඳහා පොල්කටු කුරුට්ට හැර වෙනම ම සකසා තිබේ. රා බොන්නට ගන්නේ ලොකු පොල්කටුය. 


මල් හත අටක එක්තුව තෙළිදිය ගෙනෙන්නේ ලොකු භාජනයකට දමාගෙන කදකිනි. සමහර අවස්ථාවල කළේ එක පැත්තක තෙළිදිය බඳුනය. අනික් පැත්තේ හොඳට පැසුණු කොස් ගෙඩියක්ය. මේ ගම්වල වැසියන් එදා ගමේ තිබුණ කුඹුර වගාකර කපාගත් වීවලින් ගෙදරට උවමනා හාල් නිපදවා ගත්හ. ඒ නිසා හැම ගෙදරකම තුන් වේලටම කොස් හෝ දෙල් වාරයට දෙල්, මඤ්ඤොක්කා, අල වර්ගයක් හෝ මැල්ලුමක් වැරදුනේ නැත. එසේ කළේ බත්වල අඩුව පිරිමහන්නටය. නමුත් ඉන් පූර්ණ පෝෂණයක් ලැබූ අතර ගැමියන්ට ඉහෙන් බහින රෝගයක්වත් නොහැදුණේ ඒ නිසාය.   


ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසීන් සහ ලන්දේසීන් මුහුදුබඩ සහ මුහුදුබඩට කිට්ටු ප්‍රදේශවල ජනප්‍රිය කළ කුරුඳු වගාව පසු කලෙක මේ ගම්වලට ද පැතිර ආවේ ය. ගාල්ල, කළුතර දිස්ත්‍රික්වල කුරුඳු වගාව ජනප්‍රිය වී තිබුණූ නිසා ඒ වකවානුවේ අප මුලින් කී ඉලුඹකන්ද, පොතුපිටිය, කැකිල්ලපිටිය ගාලවත්ත, දෙනවක්කන්ද ආදි වූ ගම් සමග සබඳකම් තිබුණේ මේ දකුණු ප්‍රදේශය නිසා කුරුඳු වගාව තැන තැන වවන්නට ඇතැයි සිතිය හැකිය. එසේම ආවාහ විවාහ කටයුතුවලින් පසු කුරුඳු වගාවට හුරුවූවන් මේ ගම්වල බින්න බැසීමෙන් පසුවද ‘කුරුඳු’ වගා කරන්නට ඇතැයි සිතිය හැකිය.   


ඒ අනුව බලද්දී සිංහරාජ වනාන්තරයේ ද සුළු පරිමාණයෙන් ගස්කොළන් කපා තැනින් තැන කුරුඳු වවන්ට ඇත. එහෙත් අතීතයේ කුරුඳු වගාවට කැලෑ එළිපෙහෙළි කිරීම ඉතා අල්පයක්ව තිබුණි. ධම්මසිද්ධි හිමියන් පැවසුවේ කුරුඳු වගා කළත් ඒ කුරුඳු තළා අස්වැන්න ගෙනගොස් තිබුණේ දෙනියායටය. එය තරමක් දුෂ්කර වූ ක්‍රියාවක් විය. දෙනියාය ගමන දින දෙකක ගමනකි. උදේ දෙනියායට ගියොත් එදිනම ආපසු පැමිණිය නොහැක. බොහෝ වෙලාවට දෙනියාය අවටින් නෑදෑ සම්බන්‍ධකම් තිබූ, ඥාතීන් සිටි පිරිස් පමණක් ‘කුරුඳු’ වගාවේ නිරත වූ නිසා කුරුඳු වගාවට විශාල ලෙස කැලෑව එළිපෙහෙළි නොවීය. මේ ගම්වල තරුණියන් හා විවාහ වී බින්න බැස්ස කිතුල් මැදීමට නුපුරුදු වූ තරුණයන් සමහර අවස්ථාවල කුරුඳු වගා කළ බවට වැඩිහිටියෝ පැවසූහ.   


දෙනියාය සම කැලේ මැදින් වූ අඩිපාර සමග තිබූ ගමන් බිමන් අඩු වී ගියේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් රක්වාන, සූරියකන්ද, ඉත්තෑකන්ද, පෙතියාකන්ද, උල්ඉඳුවාව හරහා දෙනියායට කැපූ පාර නිසාය. පොදු මගී ප්‍රවාහන සේවා ස්ථාපිත වී ලංගමය ද බිහිවීමෙන් පසු දෙනියාය සහ රත්නපුර අතර ලංගම බස් සේවයක් ඇරඹුනි. ඒ නිදහසින් පසුවය. බස් සේවය ඇරඹෙන්නට පෙර දශක ගණනාවකට පාර තැනූ නිසා බම්බුමලේ, ඉලුඹකන්ද, පොතුපිටිය, කැකිල්ලපිටිය ගාලවත්ත සහ දෙනවක්කන්ද ආදී ගම්වල වැසියෝ බෙරගල මූකලාන සහ මෝනිංසයිඩ්, හරහා සූරියකන්දට, ඉත්තෑකන්දට ගියහ.   


එසේ යනවිට පෙත්තදොළ, නෙලුකැටියාවල දොළ, බම්බුමලේ දොළ හෙවත් මොරේදොළ සහ ගොරකදොළ යන දොළවල්වලින් එගොඩ වී යායුතුවූ නමුත් දුරින් දෙනියායට තරම් නොවීය. එබැවින් දැනට දශක අටකට පෙර සිට මේ පාර ජනප්‍රිය විය.   

 

 


ඉතිරි කොටස ලබන සතියේ,.....  

 

 


අජිත්ලාල් ශාන්තඋදය