සැමියාගෙන් මත්කුඩට හුරු වූ දුලාරිගේ ලෝකය


මග වැරදුණු ජීවිතය යළි යහමඟට  


නිවැරැදි මාර්ගයක නිවැරැදි මාර්ග සංඥා අනුගමනය කරමින් ගමන් කරමින් සිටියදී අතර මැදදී ලැබුණ වැරැදි මාර්ග සංඥා හා මගපෙන්වීම් නිසා යළි මාර්ගය සොයාගත නොහැකිව මග අසන්නට කෙනෙක්වත් නැති කැලෑ පාරක අතරමං වුණ කෙනකුට කැලේ මැදදීත් පාර හොයා ගන්න උදව් කරන ගූගල් සිතියමක් වගේ වැරැදි මගකට යොමු කිරීම නිසා මතට පෙළඹුණු එයට ඇබ්බැහි වුණු කෙනකුට පාර කියාදෙන ආයතන රැසක් අපේ රටේ රාජ්‍ය අනුග්‍රහයෙන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය දායකත්වයෙන් පවත්වාගෙන යනු ලැබේ. අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් යටතේ පාලනය වන එවැනි මධ්‍යස්ථාන රැසක් අපේ රටේ පවතී. 


මතට ඇබ්බැහි වීම නිසා සිදුවන හානි ගැනත්, මතට ඇබ්බැහිවූවන් එයින් මුදවා ගැනීම පිළිබඳවත් ඔබ සමඟ මීට පෙර අවස්ථා කීපයකදී සාකච්ඡා කළ අපේ මේ උත්සාහය මතට ඇබ්බැහිවීමෙන් මග වරද්දාගෙන දැන් යළි නිවැරැදි මගට වැටෙමින් සිටින්නන්ගේ ජීවිත අත්දැකීම් ගෙනහැර දැක්වීමටය. ඒ තවත් රසවත් කතාවක් සේ කියවන්නට නොව කියවන්නාට තමන්ගේ ජීවිතයට තවත් අත්දැකීමක් කරගන්නටය. එමගින් ජීවිතය වරදින්නට යන බව දැන එතැනින් පලායාමට මග පෙන්වීමටය. 


දුලාරි කුරුණෑගල නගරයට තරමක් නුදුරින් ජීවත් වූ තරුණියකි. ඇය දැන් මාස නවයක් තිස්සේ සිටින්නේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයෙන් පාලනය වන තලංගම පිහිටි, බස්නාහිර පළාත් මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේය. මේ ඇගේ අත්දැකීමයි. 


දුලාරිගේ පවුල බොහොම සතුටින් සමාදානයෙන් ජීවත් වුණ ගමේ හිටිය වැදගත් පවුලකි. ඇගේ පියා රජයේ ප්‍රධාන ආයතනයක රියැදුරකු ලෙස සේවය කරමින් පවුල නඩත්තු කරද්දි අම්මා දරුවන් රැකබලා ගනිමින් ගේදොර කටයුතු සොය බැලුවාය. දුලාරි පවුලේ බඩපිස්සීය. ඇයට අයියා කෙනෙක් හා අක්කා කෙනෙක් ද සිටියහ. තාත්තාගේ හුරතලිය වූ ඇය හැම විටම හිටියේ ඔහුගේ ඇඟේ දැවටෙමින්ය. පුංචි කාලේ සිටම රුවැත්තියක වූ දුලාරිට තාත්තා කිව්වේ මගේ රෝස මල කියලයි. වැඩ නිමවා ගෙදර පැමිණි විගස ඔහු සෙව්වේ දුලාරිවය. යෞවනියක් බවට පත්වූ පසුව ද පියා දුලාරිව වඩාගත්තේ කිසිම බරක් නැති විලසටය. අයියයි අක්කයි දෙන්නත් දුලාරිට ආදරය කළ අතර අයියා බෙහෙවින්ම ආදරය කළේ දුලාරිටය. ඒ නිසා ඇයට සැර වැර කිරීමට අවශ්‍ය වරදකදීවත් එසේ කරන්නට අයියාගේ හිත ඉඩ දුන්නේ නැත. එවැනි අවස්ථාවකදීත් නංගි හුරතල් කරන අයියා නංගීගේ වරද ගැන අම්මාට කිව්වේ අම්මා නංගිට ටිකක් මේ ගැන හිමීට අවවාද කරන්න, ගහන්න බනින්න යන්න එපා කියාය. 


මේ තරම් ආදරයක් මැද හැදුණ වැඩුණ දුලාරිට මග වැරදුණේ යොවුන් හිතේ උපන් කුලුඳුල් ප්‍රේමය නිසාය. දුලාරිගේ හිත ගන්නට ඇගේ පස්සෙන් වැටුණ තරුණයෙකි. ඔහු ටේලර් ෂොප් එකක් පවත්වාගෙන ගිය අවුරුදු විසිදෙකක තරුණයෙකි. ඔහු නමිත් පවන්ය. ඒ වනවිට දුලාරිගේ වයස අවුරුදු පහළොවකි. ඇය පවන් කෙරෙහි ඇදී ගියේ ඔහුගේ පෙණීම ද එක වරම ඇගේ සිත් පැහැරගත් නිසාය. ගෙදරට හොරා වැඩුණ මේ ආදරය දැන් දුලාරිට නැතුවම බැරිය. ඇය ඔහුගේ ආදරයෙන් උමතු වූවා සේය. තාත්තා නැතිව බැරි වූ දුලාරිට දැන් තාත්තා ගැන වගක් නැත. 


දුලාරිගේ වෙනස වහාම තාත්තාට අවබෝධ විය. හේ මව සමඟ මේ ගැන කතා කළේ සැකය හිත තුළ තබාගෙනය. “පුතාලගේ අම්මේ ඔයාට තේරෙන්නේ නැද්ද අපේ චූටි දූගේ වෙනසක්” කියලා ඇහුවාම අම්මා කිව්වේ “එයා දැන් ලොකු ළමයෙක් නිසා ඔයා ගාවට වැඩිය එන්නේ නැතුව ඇති. ඒකයි. ඒ ගැන එතරම් හිතන්න එපා” කියාය. එහෙත් තාත්තා දූ ගැන සෙවීම අත්ඇරියේ නැත. නංගිගේ වෙනස අයියාට ද දැනී තිබිණ. ඒ නිසා ඔහු ද නංගි ගැන සොයා බැලුවේය. ඔවුන්ගේ සැකය නිවැරැදිය. දුලාරි තරුණයකු සමඟ හාදකමක් පටන් ගෙන තිබෙන බව අයියා සාක්ෂි සහිතව තහවුරු කරගත්තේය. කොපමණ අවවාද කළත් දුලාරි ඒවා කනකට ගත්තේ නැත. සාමාන්‍ය පෙළ විභාගයට තව තියෙන්නේ සුළු කාලයකි. ඒ කාලය තුළ නංගි පාසලට ගෙනගොස් ඇරලීමට අයියා කටයුතු කළේය. මුරකාවල් මැදින් ගොස් දුලාරි සිය ආදරවන්තයා මුණ ගැසුණාය. 


මේ සියලු දේවල් මධ්‍යයේ දුලාරි අධ්‍යාපන කටයුතු ද මගහැර නොගත්තාය. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඈ ඒ තුනයි, බී දෙකයි, සී දෙකයි, එස් දෙකක් ලබාගන්නට සමත් වූවාය. එහෙත් දෙමාපියන් හා ගුරුවරු ඇයට දොස් කීවේ අනං මනං හිතන්නේ නැතිව ඉගෙන ගත්තා නම් මීටත් වඩා ප්‍රතිඵල ලබාගත හැකි බවය.

 
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව උසස් පෙළ පංති පටන් ගන්නා තුරු සාමාන්‍යයෙන් දරුවෙක් උත්සාහ කරන්නේ තමං ඉලක්ක කරගත් උසස් පෙළ විෂය ධාරාව ඔස්සේ පෞද්ගලික පංතිවලට යාමටය. එහෙමත් නැත්නම් පරිගණක හෝ ඉංග්‍රීසි හෝ වෙනත් අධ්‍යාපනික වශයෙන් වැදගත් වන විෂයක් හැදෑරීමටය. එහෙත් දුලාරි ගියේ වෙනම ගමනකි. ඇය තෝරාගත්තේ ඇඟලුම් කම්හලක රැකියාවකි. උසස් පෙළ පටන් ගන්නා තුරු රැකියාවට යන බව ඇය දෙමව්පියන්ට කිව්වත් ඒක ඇත්තක් නොවීය. 


දුලාරිගේ පෙම්වතා පවන් ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළ දක්වා පමණකි. එය ද සමත් වෙන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැත. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව ටේලරින් පටන් ගත්ත පවන් දුලාරි උසස් පෙළ හදාරනවාට කැමැත්තක් තිබුණේ නැත. එහි ඇතැම් විට ඉරිසියාවක් තිබුණා විය හැකිය. එසේත් නැත්නම් ඉගෙනීමේ හැකියාවක් සහිත දුලාරි උසස් පෙළ හදාරා ඇතැම්විට විශ්වවිද්‍යාල මට්ටමටම ඉහළ ගියහොත් තමන් අමතක වන්නට ඉඩ ඇතැයි ඔහු කල්පනා කළා වන්නට ද හැකිය. තවත් සමහර විටක තමන්ට වඩා ඉගෙන ගත්ත බිරිඳක ලබන්නට ඔහු අකමැති නිසා එසේ කළා වන්නට ද පුළුවන. කෙසේ වුවත් මේ කාරණා තුනෙන් එකක් බව නම සැබෑවකි. එහි අවසන් ප්‍රතිඵලය වුණේ දුලාරි උසස් පෙළ අතහැර ඇඟලුම් කම්හලක සේවිකාවක බවට පත්වීමය. 


එහෙත් සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල පැමිණෙන තුරු ඇයට රිසි දේ කරන්නට ඉඩ හැරි දුලාරිගේ දෙමාපියන් හා සහෝදර සහෝදරියන් ඉන්පසුව ඇගේ රැකියා ගමන නැවැත්වූහ. එහෙත් දුලාරි එක හඬින්ම තමන් උසස් පෙළ හදාරන්නේ නැති බව පැවැසුවාය. දුලාරිගේ හිතුවක්කාරකම් අත්හැරිය නොහැකි බව දැනගත් දෙමාපියෝ ඇයට හිතුවක් කරගන්නට හැර පාඩුවේ සිටියහ. ඉන්පසු නැවතත් ඇය ඇඟලුම් කම්හලේ රැකියාවට ගියාය. අවුරුදු විස්ස සම්පූර්ණ වෙද්දී ඇය පවන් සමඟ විවාහ වී ගමේම නිවෙසක් කුලියට ගෙන පදිංචියට ගියේ දෙමාපියන්ට හොර රහසේය. එහෙත් දැන් කරන්නට දෙයක් නැත. කුමක් සිදුකළ ද දුලාරි තමන්ට අවැසි දේ කරන්නීය. ඒ නිසා දෙමාපියෝ සහ සහෝදරයෝ ඇයට කරදර කරන්නට ගියේ නැත. 


පවන්ගේ ඇත්ත ස්වභාවය දුලාරි දැනගත්තේ විවාහයෙන් මාස පහකට පමණ පසුවය. පවන් මත්කුඩුවලට දැඩිව ඇබ්බැහි වී සිටින බව දුලාරි දැන ගත්තේ ඇයට හොරෙන් නිවසේදී ඒවා භාවිත කරන ආකාරය දැකීමෙනි. මේ ප්‍රශ්නය නිසා දෙදෙනා අතර බහින් බස්වීම් ද ඇති විය. පසුව තමන් එය ඇත්හැරීමට සූදානම් බව පවන් පැවැසූ නිසා ඔහුව වෛද්‍යවරයකු වෙත යොමු කර ලැබුණ උපදෙස් පරිදි ටිකෙන් ටික එය අත්හැරීමට හැකි වෙන පරිදි දුලාරි ඔහුට මත්කුඩු මාත්‍රා ටිකෙන් ටික අඩු කරමින් ලබාදුන්නාය. පසුව ඔහුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කරන්නට දුලාරි කටයුතු කළේය. විවාහ වී මාස අටක් වැනි කාලයකදී පළමු වතාවට ඇයට නිවසේ තනිවෙන්නට සිදුවිය. තමන්ගේ ප්‍රශ්න කියන්නට කෙනෙක් ද සිටියේ නැත. සැමියා ද දැන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකය. 


ඒ කාලය තුළ දුලාරි මත්කුඩුවලට යොමු වූවාය. සැමියාට ලබාදෙන්නට ගෙන ආ කුඩු ගෙදර ඉතිරිව තිබුණි. මේවාට සැමියා මේ තරම් රුචිකත්වයක් දක්වන්නේ ඇයිදැයි කල්පනා කළ ඇය ටිකක් භාවිතා කර බලන්නට සිතුවාය. ඉන්පසු ඇය ටිකෙන් ටික එයටම ඇබ්බැහි වන්නට විය. සැමියා සාමාන්‍ය සුවයක් ලබා නිවසට පැමිණෙන විට බිරිඳ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලාය. පවන්ට කරකියා ගන්නට දෙයක් නැත. ඔහු දුලාරි සමඟ රණ්ඩු කරගත්තේය. එහෙත් ඵලක් වූයේ නැත. අවසානයේ දෙන්නාම එකතු වී එකට මත්ද්‍රව්‍ය භාවිත කරන්නට පෙළඹුණහ. 


හම්බකරන සියල්ල මත්කුඩුවලට යෙදවීම නිසා ගෙදර දොර ප්‍රශ්න උග්‍ර විය. කෑම බීමක් නිවසේ පිසෙන්නේ නැත. ගෙවල් කුලී දෙන්නට අතේ මුදල් නැත. මේ තත්ත්වය දැනගත් දුලාරිගේ දෙමාපියෝ ඇයව නිවසට ගෙන්වා ගත්හ. ඒ වනවිට ඇගේ වැඩිමල් සහෝදර සහෝදරියන් ද විවාහ වී සිටි නිසා දෙමාපියන් සිටියේ තනිවය. ඒ නිවසට ගිය පසුව ද දෙදෙනා හම්බ කරන සියල්ල මත්ද්‍රව්‍යවලට යෙදවූහ. 


“අපේ අතට රුපියල් දහ දාහක් හම්බවුණත් ඒ ඔක්කෝම කුඩු ගන්න වියදම් කරන්න තමයි හිතෙන්නේ. කන්න බොන්න ඕනෑකමක් දැනෙන්නේ නැහැ. එ්ත් නවත්තපු ගමන් ලෙඩ ගොඩයි. කැරකිල්ල, වමනේ, ඇඟ රිදෙනවා. නොයෙක් දේවල්.” දුලාරි තමන්ගේ අත්දැකීම අපට කිව්වේ එලෙසය. 

 


“මුදල් නැති වුණාම මොනව ද කළේ?” 


“අතේ, කනේ, කරේ තිබුණ සියලුම රත්තරන් බඩු උගස් තිබ්බා. ගෙදර වත්තේ පොල් තියෙනවා. අම්මලාට හොරෙන් පොල් කඩලා විකුණලා කුඩු බොනවා. බේත් ගන්න සල්ලි නැහැ කියලා තාත්තාට බොරු කියලා සල්ලි ඉල්ලගෙනත් බිව්වා. ඊට පස්සේ තමයි තාත්තා මාව පොලිසියට කියලා උසාවි දම්මලා මේ වගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කළේ. මගේ මහත්තයාවත් පුනරුත්ථාපනයට යොමු කළා. එයා ඉන්නේ වෙනත් මධ්‍යස්ථානයක. මට අවුරුද්දක කාලයක් පුනරුත්ථාපනයට නියම කළා. දැන් ඒකෙන් මාස දහයක් ගෙවිලා ඉවරයි. තව මාස දෙකකින් ගෙදර යනවා. මහත්තයාගේ කාලය නම් අවුරුදු දෙකකටත් වැඩියි.” 


“දැන් ඔයාට මොනවද හිතෙන්නේ?” 


“මෙතනට ආවට පස්සේ මාව සාමාන්‍ය තත්ත්වයට ආවාම තමයි කරපු දේවල්වල වැරැදි හැම දෙයක්ම තේරුණේ. තාත්තාලට මං සලකපු විදිහ ගැන එතෙකාට ලජ්ජා හිතුණා. ඒ වගේම එයාලා ගැන දුකත් හිතුණා.” 
“මොනව ද මෙතනින් ඔයාට ලැබුණේ? ඉස්සරහට මොනව ද කරන්න හිතාගෙන ඉන්නේ?” 


 “තව ඉගෙන ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. මෙතනදි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මත්ද්‍රව්‍ය කියන්නේ මොනව ද කියලා විතරක් නෙවෙයි ඒවාට අපි යොමු වෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවල ද ඒවා උදාවෙන්නේ කොහොම ද ඒ සියලු දේ ගැන හොඳ අවබෝධයක් අපිට ලබාදුන්නා. ඒ වගේම එවැනි තත්ත්වයන්වලදි අපි කළ යුතු දේවල් ඉගැන්නුවා. මේක හරියට ඉස්කෝලයක් වගේ. අපිට වෘත්තීය පුහුණුවක් දුන්නා. බණ භාවනා කළා. යෝගී ව්‍යායාම් කළා. ගෙදර ගියාට පස්සේ මහත්තයා එනකල් අම්මලා ළඟට ගිහින් කොට්ට උර මහලා කීයක් හරි හොයාගන්නයි මම හිතාගෙන ඉන්නේ. මහත්තයා ආවට පස්සේ එයාවත් එක්කගෙන රට යනවා.” 


(සත්‍ය කතාවක් ඇසුරෙන් සකස් කරන ලද මෙම ලිපියේ අඩංගු නම් ගම් සියල්ල මනඃකල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න.) 


අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ, එහි ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශයේ අධ්‍යක්ෂක ටී.ඩබ්. ප්‍රේමසිරි මහත්වරුන් ඇතුළු තලංගම පිහිටි බස්නාහිර පළාත් මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සියලු කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතිය.

 


මුදිතා දයානන්ද
(ඡායාරූප අන්තර් ජාලයෙනි)