සැමියා මරා දැමූ තම පියාට මරණ දඬුවම හිමිකර දුන් දියණිය


කැරකෙන ලෝකේ

තමිල්නාඩුවේ ‘දළිත්’ නමින් හැඳින්වෙන පහත් යැයි සම්මත කුලයට අයත් පුද්ගලයන්ගෙන් 6%ක් පමණ 2016 වසරේ ප‍්‍රහාරවලට ලක්වී ඇති බවද, එවැනි ක්‍රියා 1291ක් එම වසරේ වාර්තා වූ බවද තමිල්නාඩුවේ ජාතික අපරාධ වාර්තා කාර්යංශය සඳහන් කර තිබේ. ඉන්දියාවේ පහත් යැයි සම්මත කුලවලට අයත් පුද්ගලයන්ට සිදුවන පහර දීම් හා මරණ සම්බන්ධයෙන් සාධාරණයක් ඉල්ලා අධිකරණයට ඉදිරිපත් වන්නන් විරලය. එවැනි වාතාවරණයක් තුළ, කුලී මිනීමරුවන් ලවා තම සැමියා මරා දැමූ පියාට මරණ දඬුවම ලබා දීමට කටයුතු කළ දියණියක පිළිබඳව තමිල්නාඩුවෙන් වාර්තා වේ.
   
කෞෂල්‍යා 21 හැවිරිදි යුවතියකි. 2015දී ඇය 22 හැවිරිදි ෂන්කර් නම් කුලහීන තරුණයකු සමඟ විවාහ වූයේ මව්පියන්ට රහසිනි. විවාහයෙන් මාස අටකට පසු ඔවුන් දෙදෙනා මහමග ගමන් කරමින් සිටියදී මෝටර් බයිසිකල්වලින් පැමිණි පිරිසක් තරුණ යුවළට පහර දෙන්නට වූහ. ප‍්‍රහාරයෙන් තරුණයා මරණයට පත් වූ අතර තරුණිය හිසෙහි බරපතළ තුවාල සහිතව රෝහල් ගත කෙරිණි.   


සුවය ලබා පැමිණි තරුණිය සැමියාගේ නිවෙසේ පදිංචියට ගිය අතර තම සැමියාගේ මරණයට වගකිව යුතු වන්නේ තම මව්පියන් යැයි කියමින් නඩුවක් ගොනු කළාය. නඩුව සඳහා වැදගත් සාක්ෂියක් අසල වූ වෙළෙඳසලක තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබිණි. එම සීසීටීවී දර්ශන පරීක්ෂා කළ පොලිසිය පුද්ගලයන් සය දෙනකු අත්අඩංගුවට ගත්තේය. මරා දැමුණු තරුණයා කුලහීනයකු වූ බැවින් තරුණියගේ මව්පියන් විසින් ඔහු මරා දැමීම සඳහා තමනට ඉන්දියානු රුපියල් පනස් දහසක් ගෙවන ලදැයි ඔවුහු පාපොච්චාරණය කළහ. ඒ අනුව කෞෂල්‍යාගේ පියා වූ චින්නසාමි, මව අන්නලක්ෂ්මි, ඇගේ මාමා වූ පණ්ඩිදුරෙහි සහ 16 හැවිරිදි තවත් තරුණයකු අත්අඩංගුවට ගැනිණි.   


කෞෂල්‍යාගේ පියා ඉහළ කුලයට අයත් ධනවත් ව්‍යාපාරිකයකු වූ අතර තම දියණියට දැඩි නීතිරීති පැනවූවකු විය. කෞෂල්‍යා හා ෂන්කර් පොලාඩි නගරය ආසන්නයේ පිහිටි ඉංජිනේරු විද්‍යාලයක සිසුවෝ වූහ. ෂන්කර් ‘දළිත්’ නමින් හැඳින්වෙන පහත් කුලයක දිළිඳු ගොවියකුගේ පුත‍්‍රයකු විය. ඔවුන් අතර ප්‍රේම සම්බන්ධයක් පැවැති අතර රහසින් විවාහ වීමට දෙදෙනා තීරණය කළහ. මෙම සම්බන්ධය දැනගත් කෞෂල්‍යාගේ පියා ඇය නිවෙසේ සිරකාරියක කළ අතර කෙසේ හෝ ඇය නිවෙසින් පලා ගොස් ෂන්කර් හා විවාහ වූවාය. විවාහයෙන් පසු ඔවුහු පොලිස් ස්ථානයට ගොස් තම ජීවිතවලට තර්ජනයක් ඇතැයි සඳහන් කරමින් පැමිණිල්ලක් ද දැමූහ.   
ඔවුන් දෙදෙනාට සතුටින් ජීවත්වන්නට හැකි වූයේ මාස අටක් වැනි කාලයකි. කුලී මිනීමරුවන් පිරිසක් මහමගදී ෂන්කර්ට හා කෞෂල්‍යාට පහර දුන් අතර එම ප‍්‍රහාරයෙන් ෂන්කර් මරණයට පත් විය. සාමාන්‍යයෙන් තමිල්නාඩුවේ කුල හීනයන් හා වංශවතුන් අතර විවාහ ගනුදෙනු සිදු නොවේ. එසේ විවාහ වූවන් තම කුල ගෞරවය රැකගැනීම සඳහා යැයි පවසමින් ඝාතනය කෙරුණු අවස්ථා නිතර අසන්නට ලැබේ. කෞෂල්‍යාගේ පියාද ෂන්කර් ඝාතනය කිරීමට තීරණය කරන ලද්දේ තම පවුලේ ගෞරවය රැකගැනීමේ අරමුණින් යැයි නඩු විභාගයේදී ප‍්‍රකාශ විණි.   


කෞෂල්‍යා මෙම මරණයට වගකිව යුත්තේ තම මව්පියන් යැයි නඩු විභාගයේදී සාක්ෂි දෙමින් කියා සිටියාය. අවසානයේ ඇගේ පියා ඇතුළු පස් දෙනකුට මරණ දඬුවම නියම විය. මව, මාමා සහ ඥාති තරුණයාට එරෙහි සාක්ෂි ප‍්‍රමාණවත් නොවූයෙන් ඔවුන් නිදහස් කෙරිණි. ඔවුනට එරෙහිව නැවත වරක් නඩු පැවරීමට තමන් පියවර ගන්නා බවත්, මරා දැමුණු තම සැමියාට නීතිය ඉටුවනතෙක් සටන අත නොහරින බවත් කුල පීඩකයන්ට එල්ල වන ප‍්‍රහාරවලට එරෙහි ක්‍රියාකාරිනියක ලෙස මින් ඉදිරියට තමා කටයුතු කරන බවටත් කෞෂල්‍යා සහතික වී සිටින්නීය. තම ගම් ප‍්‍රදේශයේ දිළිඳු දරුවන්ට අකුරු කියා දෙන ඇය සෑම සති අන්තයකම දුරකතර ගෙවා අගනුවරට පැමිණෙන්නීය. ඒ කුල පීඩනයට එරෙහිව සටන් කිරීම සඳහා මිනිසුන් දැනුම්වත් කිරීමටය.   


‘‘ඝාතකයන්ට මරණ දඬුවම හිමිවීම ඔබ ලද ජයග‍්‍රහණයක් නොවන්නේදැ’’යි මාධ්‍යවේදියකු කෞෂල්‍යාගෙන් විමසූ විට ඇය කියා සිටියේ ‘‘ මට අවශ්‍ය වූයේ පළි ගැනීමට නොව කුලභේදයට වඩා පුද්ගලයකුගේ ජීවිතය වටිනා බව පෙන්වා දීමයි.’’ යනුවෙනි.   

 

 


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා