සැමියා ගෙදර නොපැමිණීම නිසා බිරියට ළංවූ ‘ආදර යකා’


 

 

අවමංගල රීරි යකා, තොටුපළ රීරි යකා, කඩවර රීරි යකා, සොහොන් රීරි යකා හා ගොපලු යකා ආදිකොට ඇති යක්ෂයෝ මේ මහා රාත්‍රියේ ගමට එන්නාහුය. ඒ මිනිස් බිල්ලක් ගෙන ලේ උරා බොන්නටය. සිදුවන්නේ කුමක්ද කිසිවකු මේ ගම දැන සිටියේ නැත. යක්ෂයෝ සෙමින් සෙමින් ගොදුරු සොයා එන දසුන බියකරු ය.   


රීරි යකා, මහසෝන් යකා, කළු යකා යනාදී යක්ෂයින් ඈත අතීතයේ විසූ බවට ඇතැමුන් පිළිගත් අතර, තවමත් අප ජන සමාජයේ මෙම මිථ්‍යා මතයේ එල්බගෙන සිටින්නවුන් වෙති. මේ ද මිථ්‍යා විශ්වාස පසුපස දිවගිය එක්තරා කාන්තාවකගේ සත්‍ය කතා පුවතකි. 


නිමන්ති විවාහක කාන්තාවකි. ඇගේ සැමියා වන වරුණ සමඟ නිමන්ති බොහෝ සාමකාමී යුගදිවියක් ගත කළාය. වයස අවුරුදු පහක දියණියක් හා අවුරුදු දෙකක දියණියක් ඔවුන්ට වූහ. වරුණ කොළඹ නගරයේ පිහිටා ඇති ආයතනයක රැකියාවක් කරන අතර, නිවසට පැමිණෙනුයේ මසකට වරකි. දරුවන් දෙදෙනාගේ කටයුතු ද කරගනිමින් නිමන්ති තම සැමියා එන දිනය උදාවන විට සිටින්නේ බොහෝ තුටින්ය. 


වරුණ නිවසට ගොඩවන්නේ නිමන්තිටත් දියණියන් දෙදෙනාටත් අවශ්‍ය දේවල් අතින් කරින් උස්සාගෙනය. නිමන්තිගේ දරුවන් දෙදෙනාටද පියාගේ පැමිණීම සතුටට හේතුවක් වන්නේ සතියක්ම වරුණ ඔවුන් දෙදෙනා ඇකයේ තබාගෙන කෙළිදෙළෙන් පසුවන නිසාය. 


නිමන්ති නිතරම නොයෙක් විශ්වාස පස්සේ දුවන තැනැත්තියකි. මාස තුනකට වතාවක් සැමියාගේත් තමාගේත් දරුවන්ගේත් හඳහන් පරීක්ෂා කරගැනීමට ජ්‍යොතිෂ්‍යකරුවකු වෙත යන නිමන්ති ඒ අනුවම වැඩකටයුතු කළාය. එහිදී පවුලේ කිසිවකුට හෝ ඉතාම අපල කාලයක් ලබා ඇති බව පැවසුවහොත් මහ පන්සලට සහ දේවාල ගානේ නිතරම යන්නීය. සෙත් ශාන්ති වියහියදම් කරන්නට වරුණගෙන් මුදල් ඉල්ලා ගන්නීය. වරුණ දිනපතා නිවසට නොඑන නිසා අසල්වාසී හිතවතියන්ගෙන් ණයට මුදල් ඉල්ලා ගෙන වරුණ පැමිණි විට යම් පොලී මුදලක් සමඟ එම මුදල ගෙවා දමන්නීය. 


එදාත් වරුණ නිවසට ගොඩවැදුණේ ඉමහත් සතුටිනි. බිරිඳ හා දරුවන් දෙදෙනා මාසයකට පසු දැකගැනීමේ දිනය උදා වනතෙක් ඔහු ඇඟිලි ගණන් කර කර උන්නේය. එහෙත් මෙදින වරුණ නිවසට පැමිණෙන විට සුපුරුදු ලෙස නිමන්ති ගෙයි දොරකඩට ආවේ නැත. වරුණ කුතුහලයෙන් මෙන් නිවසට ගොඩවැදුණි. නිමන්ති කාමරයේ සිට සාලයට ආ ක්ෂණයෙහිම වරුණව දැක ඇගේ ඇස් ගෙඩි දෙක විශාල වුණි. “බබ්... බ්..බබ්” කියා නිමන්ති කතා කරන්නට උත්සාහ ගත්තද ඇගේ මුවින් වදන් පිට වූයේ නැත. තමන් දිහා ඇස් දෙක විශාල කරගෙන බලාගෙන සිටින නිමන්තිගේ උරහිස් දෙකින් සොලවා වරුණ ඇය ඇමතීය. 


“නිමා.. මොකද මේ.. මොකද මේ ගොත ගහන්නේ”? වරුණ ඇසීය. එහෙත් ඇගේ මුවින් වචනයක් හෝ පිටවූයේ නැත. 


“දෙයියනේ මේ මොකද වෙලා තියෙන්නේ..”? වරුණට කිසිවක් සිතාගැනීමට නොහැකි විය. තමන් අසන කිසිවකටවත් පිළිතුරු නොදෙන ඇය ගොත ගසන්නීය. යමක් කීමට උත්සාහ කළද මුවින් වචන පිට නොවේ. තම බිරිඳට කුමක් සිදුවීද? යන්න වරුණගේ සිතට කුතුහලයක් ඇතිවිය. ඔහු වහාම නිමන්තිගේ මාපියන්ට ඇමතුමක් ගෙන සියල්ල දැන්වූයේය. නිමන්තිගේ මාපියන්ගේ අදහස වූයේ ඇය කපු මහතකු වෙතට රැගෙන යා යුතු බවය. දෙදෙනා ඉක්මනින්ම නිවසට පැමිණෙන බවත් දැන්වූහ. 


නිමන්තිගේ මාපියන් නිවසට පැමිණි වහාම ඇගේ මවට දරුවන් භාරදී වරුණත් නිමන්තිගේ පියාත් නිමන්ති කැටුව ගමේ ප්‍රසිද්ධ දේවාලයක් කරා ගියෝය. නිමන්තිගේ මුහුණ දෙස බැලූ කපු මහතා “මොකක්ද බොල මේ දරුවට කරලා තියෙන්නේ”? කියමින් ඉක්මනින්ම දේවාලය තුළට නිමන්ති කැටුව එන ලෙස අණ කෙරිණි. කපු මහතාගේ වදන් හමුවේ විශාල භීතියකට හා කුතුහලයකට පත් වූ වරුණත් පියාත් නිමන්ති දේවාලය තුළටම ගෙන ගියෝය. 


“හ්ම් මට තේරෙනවා මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා.. යකා ගහලා මේ දරුවට.. ඒකයි මේ දරුවට කතා කරගන්න බැරි..” 


‘රීරි යකා’ යනු අතිශය බියජනක යකෙකි. යක්ෂයන් අතුරින් වඩාත්ම බලසම්පන්න යක්ෂයා ලෙස සැලකෙන්නේ රීරි යකා ය. ඔහු විවිධ ලෙඩ රෝග ඇති කරන අතර, ශරීරය රතු පැහැතියි. මේ නිසාම රතු පැහැති රෙද්දක් පොරවගෙන සිටියි. ලේ සම්බන්ධ විවිධ ලෙඩ රෝග, පීනස, ඔළුවේ කැක්කුම, ඇස් නොපෙනීම හා කාන්තාවන්ට විශේෂයෙන් වැලඳෙන සමහර ලෙඩ රෝගත් රීරි යකා විසින් ඇති කරන බව පිළිගැනේ. 


සත්තකින්ම කිල්ලක් ඇති වූ විට, ස්ත්‍රීන් ඔසප් වූ විට හා දරු උපතකදී රීරි යකාගේ බැල්ම වැටෙන බව කියති. විශේෂයෙන් ගැවසෙන ස්ථාන ලෙස ඇළ දොළවල්, මංසන්ධි හා පාළු පිට්ටනි දැක්විය හැකිය. බලි රූපවල රීරි යකා නිරූපණය සඳහා ගිරවෙකු, කුකුළෙකු, කඩුවක් හා මිනිස් හිසක් අත් දෙකක් ඇති, අත් හතරක් ඇති, ඌරකු වාහනය කරගත් (විටෙක රීරි යකාගේ වාහනය ගවයකු බවද කියැවේ) වඳුරු මුහුණැත්තකු ලෙසින්ද දැක්වේ. රීරි යකාගේ වෙනත් අවතාර කිහිපයක් තිබෙන බව කියයි. ඒවා; අවමංගල රීරි යකා, තොටුපළ රීරි යකා, කඩවර රීරි යකා, සොහොන් රීරි යකා හා ගොපලු යකා වේ. 


ඉක්මනින්ම මේකට මොනාහරි කරන්න වෙයි” කපු මහතා ඉතාමත් බැරෑරුම් ස්වරයෙන් පැවසීය. “මොකක්ද කපු මහත්තයෝ අපි මේකට කරන්න ඕනේ..”? වරුණ විමසීය. “ශාන්තිකර්මයක් කරලා නූලක් කරට දැම්මනම් හරියට හරියයි” කපු මහතා කීය. 


ශාන්තිකර්ම යනු දුර අතීතයේ සිටම ගැමියන්ගේ ලෙඩදුක් දුරුකරවා ශාන්තියක් යහපතක් කිරීම සඳහා යොදාගන්නා මානසික හා කායික ප්‍රතිකර්ම විදියකි. 


එය සිංහල ආයුර්වේද ක්‍රමයට අනුව භූත විද්‍යාව නමින් සැලකේ. ශල්‍යා, ශාලාක්‍යා, කාය චිකිත්සා, භූත විද්‍යා, කෙමාර ශාත්‍යා, අගද තන්ත්‍රා, රසායන තන්ත්‍රා, වජීකරණ තන්ත්‍රා යන අෂ්ටාංග ආයුර්වේදයේ සිව් වන ස්ථානයෙහි ලා එයට ප්‍රධාන තැනක් හිමි වේ. පහතරට, උඩරට, සබරගමු සම්ප්‍රදායන් තුනෙහිම ශාන්තිකර්ම පැතිර පවතී. මෙයින් ගත් කල දෙවියන් උදෙසා සහ යකුන් වෙනුවෙන් කරන ශාන්තිකර්ම ලෙස දෙකොටසකට බෙදේ. 


දෙවොල්මඩු, ගම්මඩු, පුන මඩු, ගරාමඩු, හෑල්ලුම් මඩු හා පහන්මඩු යන ශාන්තිකර්ම පත්තිනි දෙවියන් සහ දෙවොල් ශ​ාන්තිකර්ම ගණයට අයත් වේ. එයින් අපේක්ෂා කෙරෙනුයේ දෙවියන්ගෙන් ඇතිවන්නා වූ වඳුරු වසංගත රෝග දුරු කරවා ශාන්තිය ළඟාකර ගැනීමයි. සම්ප්‍රදායන් තුනෙහි මෙම ශාන්තිකර්ම පවත්වන විධි ක්‍රම වෙනස් වුවද ඉන් අපේක්ෂා කරන ප්‍රතිපලය එක සමාන වෙයි. දෙවියන් උදෙසා කෙරෙන ශාන්තිකර්ම අතුරින් බලි ශාන්තිකර්ම දෙවියන් හා ග්‍රහයින් උදෙසා කරන විශේෂ ශාන්තිකර්මයක් ලෙස සැලකිය හැක. එහිදීද ගායන විධි සහ බලි නිර්මාණ සැරසිලි ක්‍රම නර්තන විලාශ වෙනස් වුවද එයින් බලාපොරොත්තු වන ශාන්තිය ඉහත සඳහන් සේම එක ගණයෙහි ලා සැලකිය හැකිය. 


බලි ශාන්තිකර්මද ඇතුළු පන්තියේ බලි සහ පිට පන්තියේ බලි යනුවෙන් කොටස් දෙකකට බෙදා වෙන්කළ හැක. ඇතුළු පන්තියේ බලි යනු ජන්ම පත්‍රය බලා යම් කිසි දෛවඥයකු විසින් නියම කරන පරිදි නිශ්චිතවම අපල කරන ග්‍රහයා වෙනුවෙන් කරනු ලබන වත් පිළිවෙත් කොටසකි. පිටත පන්තියේ බලි යනු සියලුම ග්‍රහයන්ගේ අපල දුරු කිරීම සඳහා පොදුවේ කරන බලියයි. 


යකුන් උදෙසා කරන ශාන්ති කර්ම අතර සිංහල ගැමි බෞද්ධයන් අතර පවතින ඇදහිලි විශ්වාස අනුව යකුන් පිළිබඳ පුදපූජා රාශියකි. විශේෂයෙන් පහතරට ප්‍රදේශයෙහි මාතර බෙන්තර ගුරුකුලයන්ට ආවේණික යකුන් උදෙසා කෙරෙන ශාන්තිකර්ම ලෙස තොවිල්, සන්නි යකුම, රට යකුම, මහසෝන් සමයම, කුමර සමයම, සූනියම් ශාන්තිකර්මය ආදී නම්වලින් ප්‍රචලිතව ඇත. 


පහතරට සම්ප්‍රදාය ගත් කල එය නැවතත් ගුරුකුලයන් තුනකට බෙදී පැතිර පවතී. අපේ කතාන්දරයේ කපු මහතා මේ ගුරුකුල තුනම නියෝජනය කරමින් ශාන්ති කර්ම කරන්නෙකි. බෙන්තර ගුරුකුලය, මාතර ගුරුකුලය, රයිගම ගුරුකුලය ආදි වශයෙනි. 


මෙම ගුරුකුල තුනෙහිද ශාන්තිකර්ම පැවැත්වීමේදී එක් එක් ගුරුකුලවලට අයත් ආවේණික විශේෂතා ලක්ෂණ පවතී. එයිනුත් බෙන්තර සහ මාතර යන ගුරුකුල දෙකෙහි සන්නිය යකුම, රට යකුම, සූනියම් ශාන්තිකර්මය විශේෂ තැනක් හිමිකරගන්නා අතර රයිගම සම්ප්‍රදායේ එම ශාන්තිකර්ම පැවතුණත් විශේෂ ස්ථානයක් හිමිවන්නේ මඩු ශාන්තිකර්මය සඳහා ය. 


යකුන් උදෙසා කරන ශාන්තිකර්මවලදී කළු යකා, රීරි යකා, තොට යකා, අභිමානා, සන්නි යකා ආදී යකුන්ගෙන් භූත භය සහ ඇල්ම බැල්ම දුරුකර ශාන්තියක් ළඟාකර ගැනීම සඳහා මෙම ශාන්තිකර්ම පවත්වන අතර මෙහිදී සූනියම් යකා පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතුය. 


සූනියම් යකා වනාහි අවපසට සහ පුරපසට දෙවියෙකු සහ යකෙකු වශයෙන් සලකන හෙයින් ශාන්තිකර්මවලදී විශේෂ ස්ථානයක් හිමි වේ. ගැමියන් අතර ගම්භාර දේවතාවා ලෙසද ප්‍රචලිත චරිතයකි.


අප දන්නා පරිදි නිදසුනක් වශයෙන් සන්නි යකුම ශාන්ති කර්මයේ දී කළු යකා, රීරි යකා, තොට යකා, අභිමානා, මහසෝනා වැනි චරිත නිරූපණය කළද සූනියම් යකාගේ චරිතය නිරූපණය කරනු නොලබයි. ඒ වෙනුවෙන් තකරී, මකරී, යමී, යමදූතී, කාලරාක්ෂී, ඔඩ්ඩි යක්ෂණී, අසේනි, විසේනි නම් සූනියම් දේවතාවාගේ පිරිවර යක්ෂණියන්ගේ අවතාර තුනක් ගෙනහැර දක්වයි. එයද මාතර සම්ප්‍රදායේ නොමැති බෙන්තර සම්ප්‍රදායට පමණක් ආවේණික වූ විශේෂ චරිත කොටසකි. 


අප මාතර සම්ප්‍රදායේ මෙම යකුන්ගේ චරිත රඟදැක්වීම නොකරයි. යකුන් උදෙසා කරන ශාන්තිකර්ම අතුරින් ගත් කල සන්නි යකුන් ශාන්තිකර්මයට සහ සූනියම් ශාන්තිකර්මයට විශේෂ තැනක් හිමි වේ. ඉතා දුර අතීතයකට උරුමකම් කියන්නා වූ මෙම ශාන්තිකර්ම බෞද්ධාගම සහ දෙවියන් කෙරෙහි ඉතා ළඟින් බැඳී පවතී. 


ලොව පැවතියා වූ පළවෙනි ශාන්තිකර්මය වශයෙන් සූනියම් ශාන්තිකර්මයට ප්‍රමුඛ ස්ථානයක් හිමි වේ. මයුරපාද හිමියන් විසින් රචිත පූජාවලිය නම් ග්‍රන්ථයෙහි මහාසම්මත රජ වශයෙන් අප මහා බෝසතාණෝ උපන් වග හත් වන පරිච්ඡේදයේදී සනාථ කොට තිබේ. 


පළමුව ජලයෙන් කප වැනසීලා දෙවනුව පොළොවක් මතුවන්නේ 
තෙවනුව කුමරෙක් එහි ඉපදීලා සූර්ය වංසය පැවතෙන්නේ 
සිවුවෙනි වර ඒ සූර්ය කුමරුන් මහසම්මත නම් රජවෙන්නේ 
සම්මත නිරිඳුගෙ අග මෙහෙසුන් හට වසවතු විනයක් සාදන්නේ 


එසේම සන්නියකුම ශාන්ති කර්මයද බුදුන් සමයේ විශාලා මහනුවර තුන්බිය දුරු කිරීමට සන්නි යකුන් පිටමං කිරීම සඳහා බුදුරජාණන්වහන්සේ රතන සූත්‍රය දේශනාකර පිරිත් පැන් ඉස්ස බවට පූජාවලිය ග්‍රන්ථයේ 21 වන පරිච්ඡේදය සාක්ෂි දරයි. එයම සන්නි යකුම ශාන්තිකර්මය සඳහාද පාදක කොටගෙන ඇති බව පෙනී යයි. 


වරම් ඉල්ලන්නේ මගෙන් කින්ද මම දෙන වරය මෙතොපට 
නරං අල්ලා වාත පිත් සෙම් තුන්දොසින් සැම ලෙඩ කරනට 
දෙවවු වරමක් විසල්පුර වැද ලිච්චවින් වනසා දමන්නට 
යමව් කියමින් එකුන් විස්සම ගොසින් පැනපුව විසල් පුරයට 


වර්තමානයේ මෙම සන්නි යකුම නමැති ශාන්තිකර්මය දහ අට සන්නිය වශයෙන් ප්‍රචලිතව ඇතත් එය එසේ විය නොහැක. මන්දයත් දහ අට සන්නි ශාන්තිකර්මය නමින් ශාන්තිකර්මයක් මෙම ශාන්තිකර්ම ක්ෂේත්‍රය තුළ නොමැති නිසාය. දහ අට සන්නිය යනු සන්නි යකුම නම් ශාන්තිකර්මයේ එන එක් චරිතාංග කොටසක් පමණි. යකුම සන්නි නමැති ශාන්තිකර්මය සන්නි යකුම වශයෙන් ව්‍යවහාරයේදී පද පෙරළී ඇති බවට සාධක ඇත. තුන් සමයමේ කෙළි පුද දීමේදී හැන්දෑසමය මේ යකුන්ට කෙළි පුද දීම මෙයට නිදසුනක් වශයෙන්ද සඳහන් කළ හැකිය. 


අපේ කතාන්දරය අනුව, තමන්ව දුටු ක්ෂණයෙන්ම ගොළු වූ නිමන්ති ගැන වරුණට අදහා ගැනීමටවත් නොහැකිය. වෙනදාට පෙරමගට දිව එන බිරිඳ එදින එසේ නොකොට ගේ තුළින් මතු වී තමන් දුටු ක්ෂණයෙන්ම පුදුමයෙන් මෙන් තමන් දෙස බලා සිටි අයුරු ඔහුට සිහිවිය. මෙය කුමක් විය හැකිද? වරුණට කිසිවක් සිතාගැනීමට නොහැකිය. 
“පුතා කලබල නැතිව ඉන්න. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. කපු මහත්තයා කීවා වගේ ශාන්ති කර්මය කරලා බලමු. කෙළීට එකපාරටම මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා ඊට පස්සේ දැනගන්න හැකි” නිමන්තිගේ පියා තම බෑනා අස්වැසීය. 


එදින ශාන්තිකර්මයට අවශ්‍ය සියලු බඩුබාහිරාදිය සූදානම් කෙරිණි. කපු මහතාගේ ගාස්තුව වශයෙන් රුපියල් පහළොස් දහසක්ද දිය යුතුය. බඩුබාහිරාදිය සඳහා කපු මහතා රුපියල් දොළොස් දහසක මුදලක් ඉල්ලා සිටියේය. රාත්‍රී නවය පසුවී ආරම්භ කළ ශාන්තිකර්මය නිමා වනවිට රාත්‍රී එකොළහයි හතළිස් පහට පමණ විය. නිමන්තිගේ කරට ආරක්ෂක නූලක්ද කපු මහතා දැමීය. තමන්ට අය විය යුතු ගාස්තුවද රැගෙන කපු මහතා ගෝලයින් සමඟ නිමන්තිගේ නිවසින් පිටවූයේ “දරුවට දැන් සුවයි. ආයේ බයවෙන්න දෙයක් නෑ” යනුවෙන් පවසමිනි. 


නමුත් නිමන්තිට සුව වූයේ නැත. පෙර පරිදි නිමන්ති කතා බහ නොකොට සිටි අතර, යමක් ඇසුවද “අ..අ..” යනුවෙන් ගොත ගසමින් හිස වනමින් පිළිතුරු දෙන්නීය. නිමන්තිගේ තත්ත්වය කෙසේවත් වරුණට ඉවසා දරාගත නොහැකි විය. තම මිතුරකුට නිමන්තිගේ ලෙඩේ පිළිබඳව සැල කර සිටි වරුණට මිතුරා පැවසුවේ වහාම නිමන්තිව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත රැගෙන යන ලෙස ය. 


ඒ අනුව ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත නිමන්ති යොමු කෙරිණි. වරුණත් නිමන්තිත් දියණියන් දෙදෙනාත් මිතුරාත් විද්‍යාකුලපති මහතා හමුවට පැමිණ සිටියහ. විද්‍යාකුලපති මහතා මුලින්ම වරුණගෙන් සියලු විස්තර අසා දැනගත්තේය. ඉන්පසු තනියෙන් නිමන්තිව ඇතුළට ගෙන මෝහන නිද්‍රාවට පත් කළේය. එහිදී නිමන්ති කතා කළේය. මෝහන නිද්‍රාවේදී නිමන්ති ගොළුවීමට හේතුව හෙළි විය. 


වරුණත් නිමන්තිත් බොහෝ සතුටින් සමාදානයෙන් ජීවත් වූ අතර, මසකට වරක් වරුණගේ පැමිණීම නිමන්තිට ජීවිතේ එපා කරවීමට හේතුවක් විය. නිමන්ති වරුණ එනතුරු සිත හදාගෙන සිටින්නේ බාල දියණිය මොන්ටිසෝරිය වෙත රැගෙන ගිය පසු එහිදී හමුවන අනික් දරුවන්ගේ මාපියන් මුණගැසී කතාබහ කිරීමට ලැබෙන නිසාය. ඒ තුළින් ඇය සැනසුමක් ලැබුවාය. නිවසට වී ඔහේ කාලය ගත කරන නිමන්තිට එය විශාල සහනයක් විය. 


මේ අතර නිමන්ති දියණියගේ මොන්ටිසෝරියේ තවත් දැරියකගේ පියෙකු සමග කතාබහ කරන්නට පටන් ගත්තාය. එය දුරකථනයෙන් දෙදෙනාගේ විස්තර කතාබහ කිරීම දක්වා දුරදිග ගියේය. නිමන්ති පාලිත සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වන්නට පටන් ගත්තේ එතැන් පටන්ය. පාලිත සමඟ නිතරම දුරකථනයෙන් කතාබහ කරන නිමන්ති ඉඳහිට දියණිය මොන්ටිසෝරියට රැගෙන ගොස් නිවසට එනවා වෙනුවට නොයෙක් තැන්වලදී පාලිතව මුණගැසුණාය. 


වරුණ නිවසට පැමිණෙන බවක්වත් නිමන්තිට මතකයක් නැතිවිය. කලින් දින දුරකථනයෙන් කතා කොට පසුදා එන බවක් වරුණ පැවසුවද නිමන්ති සිටියේ පාලිතගේ ලෝකයේය. අතින් කරින් බඩු පුරවාගෙන පැමිණි වරුණ නිමන්තිව සොයද්දී පාලිත සමඟ දුරකථනයෙන් ආදර වදන් තෙපළ තෙපළ සිටි නිමන්ති එක්වරම සාලය වෙත එන විටම වරුණව දුටුවනම ඇගේ ඇස් උඩ ගියේය. ඇයට වචන පවා අමතක විය. වරුණ කුමක් ඇසුවත් පිළිතුරු දෙනවා වෙනුවට ඇය ගොත ගැසුවාය. ඇගේ සිතට වරදකාරී හැඟීමක් දැනුණු අතර, පාලිත සමඟ දුරකථනයෙන් කතා කරනවා වරුණට ඇසුණාදැ’යි නිමන්ති සිටියේ බියෙනි. එහෙත් වරුණගෙන් එවන් කිසිදු වෙනසක් නොපෙනුණත් නිමන්තිට වචන ගළපාගෙන කතා කිරීමට හැකි නොවුණි. 


නිමන්ති මෝහන නිද්‍රාවේදී සියලු තතු එලෙස පවසා සිටි අතර, නිමන්තිට කිසිදු ලෙඩක් නොමැති බවත්, යකෙකුගේ භූතයෙකුගේ බලපෑමක් නොමැති බවත් නිමන්ති කර ඇති වැරැද්ද ඇයට පහදා දී යළි එලෙස නොකරන ලෙස අවවාද කොට ඇයව මෝහන නිද්‍රාවෙන් අවදි කෙරිණි. සති කිහිපයක් නිමන්තිට මානසික ප්‍රතිකාර ලබාදුන් අතර, මේ වනවිට වරුණ සමඟ ඇය ඉතා හොඳ යුගදිවියක් ගත කරන්නීය. ඇය යළිත් අන් ඇසුරක් පැතුවේ නැත. 


මැයගේ තත්ත්වය දෙස බලන විට මැය පුදුමාකාර ලෙස මානසික කම්පනයකට ලක් වී තිබීම නිසා Somatoform Disorder එනම් මනෝ කායික රෝගී තත්ත්වයකට පත් වී තිබුණි. කාලයක් තිස්සේ මැය මානසික කම්පනයට ලක්වීමෙන් මනෝ විද්‍යාවේදී Hysteria නොහොත් Dissociative Disorders යනුවෙන් හඳුන්වන මානසික රෝගී තත්ත්වයට මැය පත්වී තිබුණු බව හෙළිවිය. 

 

 


(මෙහිදී රෝගීන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම උදෙසා නම් ගම් පමණක් වෙනස් කර ඇත. සියලු වාර්තා පරීක්ෂණ සංගමය සතුව ඇති ඇති අතර, සත්‍ය සිදුවීමකි.) 

 


සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත