සැප්තැම්බර් මාසයේ බලගතු පෙරැළි


2018 සැප්තැම්බර් මාසය තුළ ප්‍රධාන ග්‍රහයින් ඉතා බලවත් වන බැවින් රට තුළ බොහෝ වෙනස්වීම් ඇතිවනු ඇත. රවි ග්‍රහයා තමාට ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ රාශිය වූ සිංහ රාශියේ 17 වන සඳු දින අලුයම 6.47 දක්වා ගමන් කරයි. කුජ ග්‍රහයා තම උච්ච රාශිය වූ මකර රාශියේ මුළු මාසය පුරාම සැරිසරන්නේය. සිකුරු ග්‍රහයද 01 සෙනසුරාදා රාත්‍රී 11.32 ට ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ රාශිය වූ තුලාව ගමන් කර මාසය පුරාවට එහි ගත කරනු ලබයි. ඊළඟට බුධ ග්‍රහයා 19 වන බදාදා අලුයම 4.16 ට තම උච්ච ස්වක්ෂේත්‍ර මුල ත්‍රිකෝණ රාශිය වූ කන්‍යාවට ගමන් කර මාසය පුරා එහි ගත කරනු ලබයි.   


රජුන්ට, රාජ්‍යයට සහ එහි උසස් අයට රවි ග්‍රහයා බලවත්වන බැවින් රවිගේ මෙම ගමන රජයට ඉතා හිතකරය. පාලකයින්ගේ බලය තහවුරු වේ. හිරුගෙන් ජීවබලය හා රෝග නාශක බලය ලැබේ. ඒ අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජනතාවට හිතකාමී තීරණ ක්‍රියාත්මක කරනු ඇත. එපමණක් නොව නිර්භීතකම, දීර්ඝායුෂ, ප්‍රසිද්ධිය, බලය, ක්‍රියා ශූරත්වය, ගෞරවය, භක්තිය, අවබෝධ ඥානය ආදී උසස් ගතිගුණ ලබා දේ. මේ අනුව ජනාධිපතිතුමා ඇතුළු පාලකයින් නිර්භීතව යම් යම් තීරණ ගනු ඇත. රවි බලවත්ව මෙම දිනවල උපත ලබන දරුවන්ට ඔවුන්ගේ ජීවිතයද බලවත් එකක් වනු ඇත.   


ග්‍රහ මණ්ඩලයේ දුවනිය ලෙසද, කලත්‍ර කාරක හෙවත් විවාහ කාරක ලෙස හැඳින්වෙන සිකුරු ග්‍රහයා බලවත්වීම නිසා ලෞකික සැප සම්පත් ලැබීමේ වාසනාව ලැබේ. සියලු කලා අංශවලට අධිපතිවන්නේ ද සිකුරුය. සිනමාශාලා, නාට්‍යශාලා, මංගල උත්සව ශාලා, සුවඳ විලවුන් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා ගුවන්තොටුපළවල්, මෝටර් වාහන කර්මාන්තශාලාවලට අධිපති සිකුරුය. ඒ අනුව එම ක්ෂේත්‍රවල දියුණුවට අදාළ කරුණු යෙදේ. නළු නිළියන්ට ඉතා ශුභයි. ඔවුන් ඇගයීමට ලක්වේ. චිත්‍රපට, ටෙලි නාට්‍යවලට සහ ඊට සම්බන්ධ ශිල්පීන්ට ගරු සම්මාන ලැබෙනු ඇත. සිකුරු බලවත්ව උපත ලබන දරුවන්ට මාලවී නම් මහ පුරුෂරාජ යෝගය පිහිටන්නේය. ඔවුන් අනාගතයේ අප රට බබලවන කලාශිල්පීන් වනු ඇත.   


කන්‍යා රාශියේ බලවත්වන බුධ ග්‍රහයා සෞර ග්‍රහ මණ්ඩලයේ පණිවිඩකරුවා සහ ලේඛකාධිකාරි නමින් හඳුන්වනු ලබයි. ඥානයට අධිපති, කාව්‍යකරණය, ව්‍යාකරණ, න්‍යාය ශාස්ත්‍රය, විදුලි සංදේශ කටයුතු, පරිගණක හුවමාරු ආදියට බුධ බලපවත්වයි. එම ක්ෂේත්‍රවල විශාල ප්‍රගතියක් මෙම මාසය තුළ ඇති වේ. බුධ බලවත්වූ අය ඉගෙනීමෙන් පරතෙරට යයි. කතාවෙන් ලිවීමෙන් දස්කම් දක්වයි කාර්මිකයින්, ලිපිකරුවන්, විවිධ ලෝහ වර්ග නිර්මාණකරුවන්, අශ්වයන්, වෛද්‍යවරුන්, රාජමන්දිර බුධට අයත් බැවින් අදාළ ක්ෂේත්‍රවල නිරත අයට ශුභඵල උදා කරනු ඇත.   


බුධ ග්‍රහයා බලවත්ව ගතකරන කාලය තුළ උපත ලබන දරුවන්ට භද්‍ර නම් මහ පුරුෂ රාජයෝගය පිහිටන වේලාවන්ද යෙදේ. අනාගතයේදී එම දරුවන් දක්ෂ ලේඛකයින්, ග්‍රන්ථ කර්තෘවරුන්, ජනමාධ්‍ය ප්‍රධානීන්, බුද්ධිමතුන් වනු ඇත. කුඩා දරුවන්ට අකුරු කියවීමට නැතිනම් අත්පොත් තැබීමට ශුභ මුහුර්ථ සකසා ගැනීමටද හැකියාව ලැබේ.   


ඊළඟට කුජ ග්‍රහයා මකර රාශියේ බලවත්වීම ගැන බලමු   


භූමිපුත්‍ර, අඟහරු යන නම් වලින් හඳුන්වන කුජ ග්‍රහයා සටන්කාමී, ග්‍රහයෙකි. යුද්ධයට සැරසීම, යුද්ධ කිරීම, විප්ලව, මිනීමැරීම්, ස්ත්‍රී දූෂණ, කොල්ලකෑම්, ලේ සෙලවීම, ගිනිතැබීම, තදබල නීති, හදිසි යුද නීති, ගොවිතැන් මුඩු ඉඩම් සංවර්ධනය ආදියට කුජ බලපවත්වයි. ශල්‍ය වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු පාලනය වන්නේ කුජගෙනි.   


මේ අනුව බලන කල කුජ බලවත්වීම නිසා වැඩ වර්ජන, විරෝධතා නම් අඩුවක් නොවනු ඇත. මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, කොල්ලකෑම්, ගිනි ගැනීම් වැඩිවනු ඇත. නීතිරීති තද වේ. සෑම ක්ෂේත්‍රයකම සෑම තැනකම සටන්කාමීත්වය දැකිය හැකි වනු ඇත. කුජ බලවත්ව උපත ලබා ඇති අය නිතර සටනට සූදානම්ය. කුජ බලවත්වීම නිසා හොඳ පැත්තක්ද ඇත. මුඩු ඉඩම් සංවර්ධනය කිරීම ආරම්භ වේ. ​ගොවියන්ට සහ ගොවිතැනට හොඳ කලක් උදාවේ. මහ පොළොවෙන් මැණික් ගල් මතුවනු ඇත.   


සෙනසුරු ඒරාශ්ඨක අපල පාපී ග්‍රහයින්ගේ මහ දශා අතුරු දශා ගත කරන අය හැර සියලුම ලග්න හිමියන්ට සැප්තැම්බර් ග්‍රහ ගමන් ශුභපල උදාකරනු ඇත.   


මේෂ ලග්නය   


ඔබට සිකුරු සහ බුධ ග්‍රහයා යන දෙදෙනා ශුභඵල ගෙන දෙන්නේ නැත. බුධ 6 වැන්නටද, සිකුරු 7 වැන්නටද, කුජ 10 වැන්නටද පැමිණේ. ඔබ මේෂ, වෘෂභ, මිථුන, නවාංශකයකින් උපත ලබා නැතිනම් මෙම මාසය තුළ රක්ෂා බලාපොරොත්තු අයට සතුටුදායක ප්‍රතිඵල ලැබේ. ඉඩකඩම්, දේපළ වාසනාවද ඇත. විවාහ බලාපොරොත්තු අයට මෙම මාසය තුළ උත්සාහ කිරීම වටී. ඔබ රක්ෂාවක නිරත අයෙක් නම් එහි උසස්වීම් ලබන මාසයක් බව කිවයුතුය. මන්ත්‍රී පදවියක් දරන්නේ නම් නියෝජ්‍ය ඇමැතිකමක් හෝ රාජ්‍ය ඇමැතිකමක් ලැබෙනු ඇත. බුධ ග්‍රහයා 6 වැන්නට පැමිණීම එතරම් යහපත් නැත. රෝගාබාධ ඇතිවිය හැකිය.   


වෘෂභ ලග්නය   


සිකුරු කුජ බුධ යන ග්‍රහයින් තිදෙනාම ඔබට ශුභඵල ගෙන දෙන්නේය. බුධ 5 වැන්නටද, සිකුරු 6 වැන්නටද, කුජ 9 වැන්නටද පැමිණ ඇත. මෙහිදී ඔබේ ලග්නාධිපති සිකුරු 6 වැන්නට පැමිණීම එතරම් යහපත් නැත. බුධ 5 වැන්නට හා කුජ 9 වැන්නට ගමන් කිරීම ශුභඵල ගෙන දෙනු ඇත. ඉගෙනීම ලබන දරුවන් මෙම කාලය තුළ පෙනී සිටින විභාගවලින් ජයගනු ඇත. නැටුම්, ගැයුම්, ගායනය ආදියට දක්ෂතා දක්වනු ඇත. බුද්ධිමතුන්ට, මාධ්‍ය ආයතනවල සේවය කරන අයටද තනතුරු නම්බුනාම ලැබෙනු ඇත. පුදපූජාවලට ආශා කරයි. ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය හා න්‍යාය ශාස්ත්‍රය ආදී ක්ෂේත්‍රවල නිරත අයට යහපත් ප්‍රතිඵල ලැබේ.   


මිථුන ලග්නය   


බුධ සිකුරු ඔබට ඉතාමත් ශුභඵල ලබාදෙන අතර කුජ ඉතාමත් අපලය, හදිසි අනතුරුවලට ලක්කිරීමට පුළුවනි. බුධ ග්‍රහයා ඔබේ 4 වැන්නටද, සිකුරු 5 වැන්නටද, කුජ 8 වැන්නටද පැමිණ ඇත. හදිසි අනතුරු, ශෛල්‍ය කර්මවලට මුහුණ පෑමට ඉඩ ඇත. ප්‍රවේසම්වන්න. බුධ ග්‍රහයා 4 වැන්නට පැමිණීම නිසා යාන, වාහන, ඉඩකඩම් දේපළ හිමිකම් ලැබේ. ඊට ඔබේ ජන්ම කේන්දර මුල බලවත් විය යුතුය. ඔබේ නවාංශකය මේෂ, වෘෂභ, මිථුන නම් බාධක ගෙනදේ. ඔබ දරුඵල බලාපොරොත්තු සිටින්නේ නම් ලක්ෂණ, කඩවසම් දරුවෝ ලැබෙත්. ගැහැනු දරුවන් ලැබීමේ අවස්ථාව ඇත. ක්‍රීඩාවලින් ජය ලැබිය හැකිය. ස්ත්‍රීන් පුරුෂයින් කෙරේද පුරුෂයින් ස්ත්‍රීන් කෙරේද ආදරයෙන් බැඳේ. විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන අයට යහපත්ය. මෙම මාසය තුළ ඔබේ දරුවන්ද ඔබට කීකරු වනු ඇත.   


කටක ලග්නය   


බුධ සිකුරු ඔබට පාපී ග්‍රහයින් වන අතර කුජ ග්‍රහයා වඩාත් ශුභපල ගෙනදෙන ග්‍රහයාවේ. බුධ 3 වැන්නටද සිකුරු 4 වැන්නටද කුජ 7 වැන්නටද පැමිණ ඇත. පාපී ග්‍රහයකු වුවත් ඔබගේ ජන්ම කේන්දරයේ බුධ බලවත් නම්, ඉගෙනීමට දක්ෂ වේ. සහෝදරයින්ට යහපත්ය. නිතර ගමන් බිමන් යෙදේ. තැපැල් හෝ දුම්රිය සේවයේ රක්ෂාවන්ට කාලය යෙදේ. සිකුරු ග්‍රහයා ඔබගේ ජන්ම කේන්දරයේද 4 වැන්නේ නම් ඔබ දැනටමත් යාන, වාහන ඉඩකඩම් දේපල හිමි අයෙකි. සිකුරු 4 වැන්නේ ගත කරන දින කීපය තුළ එවැනි දේ ලැබීමටද වාසනාව ඇත. විවාහ වයසේ නම් ලස්සන සහකාරියක හඳුනා ගැනීමට ලැබේ. කුජ ඔබට වාසනාව ගෙනදෙන ග්‍රහයා වේ. විවාහ වන වයසේ පසුවන අයට මෙම කාලය තුළ විවාහ වාසනාව ලැබෙනු ඇත. මෙම ග්‍රහයින් තිදෙනාම තම ජන්ම කේන්දරයේ අශුභව පිහිටා ඇත්නම් සඳහන් කරන ලද ශුභඵල නොලැබී යාමට ඉඩ තිබෙන බවද සලකන්න.   


සිංහ ලග්නය   


ඔබටද බුධ, සිකුරු අපල ගෙනදෙන පාපී ග්‍රහයින්ය. බුධ තදබල අපල ගෙනදේ. කුජ ග්‍රහයා ඉතාමත් ශුභපල ගෙන දෙන ග්‍රහයාවේ. බුධ 2 වැන්නටද, සිකුරු 3 වැන්නටද කුජ 6 වැන්නටද පැමිණ ඇත. බුධ 2 වැන්නටද ශුභ නැකත් නොවේ. ජන්ම කේන්දරයේ යහපත්ව ඇත්නම් ධනය ලැබීමට මෙම මාසය ශුභය. නීතිඥ, ඉංජිනේරු වැනි ක්ෂේත්‍රවල නිරත අයට යහපත් මාසයකි. ඔබගේ සිකුරු ග්‍රහයා යහපත්ව ඇත්නම් පමණක් සහෝදර සහෝදරියන්ගේ ආදරයට ලක් වේ. නිරෝගී භාවය ලැබේ. සංගීතය, චිත්‍ර කර්මාන්තයේ නිරත අයටද ශුභයි. කුජ ග්‍රහයා 6 වැන්න වූ මකර රාශියට පැමිණ ඇත. සතුරන් නසයි. සතුරෝ නැත. ඔබ ස්ත්‍රියක් නම් ගබ්සාවීම, ඇඟ සුද්ධවීමේ රෝග ඇතිවිය හැකිය. දරුඵල බලාපොරොත්තුව සිටින අයට මෙම කාලය තුළ වාසනාවන්ත දරුවන් ලැබේ.   


කන්‍යා ලග්නය   


බුධ සහ සිකුරු යන ග්‍රහයින් දෙදෙනා ඔබට ඉතාමත් ශුභඵල ගෙනදෙන ග්‍රහයින්ය. කුජ තදබල අපල ගෙනදේ. බුධ ග්‍රහයා ඔබේ ලග්නයට පැමිණීම ඉතාමත් ශුභයි. ඔබේ ලග්නාධිපති බුධ ජන්ම කේන්දරයේ ලග්නයේම නම් ඔබ දැනටමත් උගතෙකි. පණ්ඩිතයෙකි. ඉගෙනීම ලබන වයසේ පසුවන අය ඉදිරිපත් වන ඕනෑම විභාගයක් ඉහළින්ම සමත්වනු ඇත. බුධ කන්‍යා ලග්නයේ ගතකරන කාලය තුළ කන්‍යා ලග්නයෙන් උපන් අයට භද්‍ර නම් මහ පුරුෂ යෝගය පිහිටන්නේය. සිකුරු ග්‍රහයා 2 වැන්නට පැමිණ ඇත. ඔබට නිරායාසයෙන්ම ධනය ලැබෙනු ඇත. පවුලට දරුවන්ට ඉතා යහපත්වේ. මිත්‍රයින් ඇසුර ලැබේ. කුජ ග්‍රහයා 5 වැන්නට පැමිණ තිබීම යහපත් නැත. දරුවෝ අකීකරු තීරණ ගනී. රහස් අසනීපවලට ගොදුරු විය හැකිය. වැය පක්ෂය වැඩි වේ. ඔබගේ සිකුරු සහ බුධ ග්‍රහයින් යහපත් තැනක නැතිනම් ඉගෙනීම පවා කඩාකප්පල් විය හැකිය. බුධ සිකුරු බලවත් නම් ලේඛකයින් ග්‍රන්ථ කර්තෘවරුන් සහ මාධ්‍යවේදීහු ගෞරව සම්මානවලට ලක්වෙති.   


තුලා ලග්නය   


සිකුරු බුධ කුජ යන ග්‍රහයින් තිදෙනාම ඔබට ඉතාමත් ශුභපල දෙන ග්‍රහයින්ය. සිකුරු ලග්නයට පැමිණීම ඉතාමත් ශුභ එකකි. ඔබ කාන්තාවක් නම් ගෙදරට ශ්‍රියාකාන්තාව ගෙන එන්නීය. ඉතාමත් ප්‍රීතියෙන් කාලය ගත කරන එවැනි ප්‍රියසාදවලට සහභාගි වන දින කීපයකි. ප්‍රණීත ආහාරපාන ලැබේ. හදිසි ධන ලාභවලට හේතුය. ජන්ම කේන්දරයේ සිකුරු ලග්නයේ නම් ඔබ දැනටමත් රජෙකු හා සමාන සැප සම්පත් විඳිනු ඇත. බුධ ග්‍රහයා පැමිණි තැන නම් එතරම් යහපත් නැත. වියදම් පැත්ත වැඩි වේ. විදේශගත වීමටද වාසනාව ඇත. නෑදෑයින්ගෙන් නොව පිට අයගෙන් ඔබට වාසි ගෙන දේ. කුජ ඔබේ හතර වැන්නට පැමිණේ. අනෙකුත් ලග්නවලට මෙන් නොව කුජ 4 වැන්නේම තැන්පත් අයෙක් නම් රුචක නම් මහ පුරුෂ රාජයෝග ඇත්තෙකි. කුජ ග්‍රහයා දුර්වල තත්ත්වයක සිටින අයට දේපළ ඉඩකඩම් හානි සිදුවිය හැකිය.   


වෘශ්චික ලග්නය 

 
ඔබට ශුභ ග්‍රහයෙකු වන්නේ ඔබේ ලග්නාධිපති කුජ පමණි සිකුරු බුධ පාපී ග්‍රහයෝ වෙති. ඔබ දැනටමත් ලග්න ඒරාෂ්ඨකයේ අවසන් කොටසද පසු කරමින් සිටී. සඳු ග්‍රහයා ඔබේ ලග්නයේ හෝ 2 වැන්නේ හෝ 3 වැන්නේ නම් තදබල අපල කාලයක් පසු කරමින් සිටී. කෙසේ වෙතත් කුජ 3 වැන්නටද බුධ 11 ට සහ සිකුරු 12 වැන්නට පැමිණ ඇත. ඔබේ ලග්නාධිපති කුජ බලවත්ව පිහිටා ඇත්නම් පමණක් රජයෙන් සම්මාන ලබන දින කීපයකි. ඔබේ ජන්ම කේන්දරයේද කුජ තුන්වැන්නේ නම් 11 වැන්නේ රවි, ශනි, රාහු, කේතු වැනි ග්‍රහයෙක් නම් භාර්යාවට අගුණයි. බුධ පාපී ග්‍රහයෙක් වුවත් 11 වැන්නට පැමිණ සිටින කාලය තුළ යම් ශුභඵල ලද හැක්කේ ජන්ම කේන්දරයේද බලවත්නම් පමණි. එසේ නම් ව්‍යාපාරවලින් ලාභ ලැබිය හැකිය. මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. සිකුරු 12 වැන්නට පැමිණීම ශුභ නැත. ස්ත්‍රී සංගම්, මත්පැනට හා සූදුවට පොළඹවයි. නිකරුණේ ලස්සනට වියදම් කරයි.   


ධනු ලග්නය   


ඔබට ශුභ ග්‍රහයෙකු වන්නේ කුජ පමණි. සිකුරු බුධ පාපී ග්‍රහයෝ වෙති. කෙසේ වෙතත් මෙම ග්‍රහයින් තමාගේ ජන්ම කේන්දරයේ බල දුබලකම අනුව ප්‍රතිඵල ගෙනදේ. කුජ බලවත් අය නිර්භීතයි. ඉදිරියට යයි. මෙම කාලය තුළ ඔබට පැමිණෙන සතුරු කරදරවලට සාර්ථකව මුහුණ දේ. කුජ ග්‍රහයා දෙවැන්නට පැමිණ සිටී. වියදම් අධික වනු ඇත. වාද විවාද වලින් ජය ලබාගනී. මුහුණේ කැළැල් ඇතිවන තුවාල සිදුවීමට ඇති නිසා ප්‍රවේසම් වන්න ඊට හේතුව ඔබ දැනට ලග්න ඒරාෂ්ඨකය ගත කරමින් සිටින අතර සඳු ග්‍රහයා 12, 1, 2 වැනි තැනක නම් ඉතා ප්‍රවේසම් විය යුතුය. බුධ ග්‍රහයා පැමිණ ඇත්තේ 10 වැන්නටය. බුධ බලවත් තැනක නම් ඔබට රක්ෂාවක් ලැබීමට හැකි මාසයකි. රැකියාවල නිරත අයට උසස් වීම් ලැබේ. ව්‍යාපාර නිරත අයට ලාභ ප්‍රයෝජන අත්වේ. සිකුරු 11 වැන්නට පැමිණ ඇත. සිකුරු ඔබට පාපී ග්‍රහයකු වූ ජන්ම කේන්ද්‍රයේ බලවත් නම් ඔබ කරන ව්‍යාපාර වලින් හෝ රක්ෂාවෙන් ආදායම වැඩිවේ. ස්ත්‍රීන් ඇසුරට වැටේ. 

 
මකර ලග්නය   


සිකුරු බුධ ඔබට ශුභ ග්‍රහයින් වන අතර කුජ පාපියෙකි. කුජ ලග්නයට පැමිණ ඇත. ඔබේ ජන්ම කේන්දරයේ කුජ අසුභව පිහිටා ඇත්නම් හදිසි අනතුරු හිසට ඇතිවන තුවාල වලින් ප්‍රවේසම් වන්න. බුධ ග්‍රහයා නම් පැමිණ ඇති ස්ථානය ඉතාමත් ශුභයි. ඔබට පාපී ග්‍රහයෙක් වුවත් බුධ ජන්ම කේන්දරයේ බලවත් නම් උසස් අධ්‍යාපනය ලබනට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය. ධාර්මිකව, පිනට දහමට යොමුව කටයුතු කරයි. නැටුම්, ගැයුම්වලට, හිතයයි. සිකුරු ග්‍රහයාද පැමිණ ඇත්තේ ශුභ තැනකටය. රජයේ රක්ෂාවක් බලා​පොරොත්තු වන අයට සතුටුදායක ප්‍රතිඵල ලැබේ. උසස් අයගෙන් උදව් උපකාර ලැබේ. බර වැඩවල යෙදීමට සිදුවන්නේ නැත. ලිපිකරු, කළමනාකරු, මුදල් අයකැමි වැනි රැකියා ලැබීමට පුළුවනි. සිකුරු මහ දශාව හෝ අතුරු දශාවක් ගතකරන්නේ නම් ශුභඵල වැඩිය.   


කුම්භ ලග්නය   


ග්‍රහයින් තිදෙනාම ඔබට ශුභඵල ගෙනදෙන බැවින් ඔබ වාසනාවන්ත​ෙයකි. කුජ 12 වැන්නටද, බුධ 8 වැන්නටද, සිකුරු 9 වැන්නටද පැමිණ ඇත. කුජ ඔබට ශුභ ග්‍රහයෙකු වුවත් ජන්ම කේන්දරයේ දුබලව ඇත්නම්, හදිසි අනතුරු, නඩුහබවලට පැටලීම, ඥාතීන් සමග ආරවුල් ඇතිකර ගැනීමට ඉඩ ඇත. බුධ ග්‍රහයා පැමිණ ඇති තැන හොඳ තැනක් නොවේ. නිතර රෝග ඇතිවිය හැකිය. හිත කරදර සහිතවේ. ඔබගේ ලග්නය අනුව ග්‍රහයින් තිදෙනාගෙන් දෙදෙනෙක්ම අශුභතැන්වලට පැමිණ ඇති බැවින් වාසනාව, අවාසනාවකටද හේතු වී ඇත. දැන් බලමු සිකුරු ගෙන්වත් ඔබට ශුභපල ලැබේද? කියා. සිකුරු පැමිණි තැන නම් ඉතාමත් ශුභයි. 9 වැන්න යනු කෙනෙකුගේ පෙර පිං ගැන කියවෙන තැනයි. රක්ෂාවක් බලාපොරොත්තුව සිටින අයට තම ආශාවන් ඉටුවන දින කීපයක් වේ. රක්ෂාවල නිරත අයට උසස්වීම් ලැබේ. වැටුප් වැඩිවීම් හිමිවේ. පියාට විශේෂයෙන් යහපත්ය. ධනය වැඩිදියුණුවේ. සියුම් කර්මාන්තවල නිරත අයටද ශුභයි. පිනට දහමට සිත යොමු වේ.   


මීන ලග්නය   


ඔබට ශුභපල ගෙනදෙන්නේ කුජ ග්‍රහයා පමණි. කුජ පැමිණ ඇත්තේ 11 වැන්නටයි. පොළොවෙන් ලැබෙන මැණික් ආදී ඛනිජ වස්තූන් ලැබීමේ වාසනාව මේ දිනවල ඇත. වැවිලි වලටද යහපත් දිනවේ. වෙළෙඳ ව්‍යාපාරිකයන්ටද තම ව්‍යාපාර තුළින් ධන සම්පත් ලැබිය හැකිය. ගනුදෙනුවලදී ප්‍රවේසම්වන්න. මිතුරන් අඩු කරයි. ඊළඟ බුධ පැමිණි තැන බලමු. කලත්‍රයිමානයවූ 7 වැන්නට බුධ පැමිණ ඇත. යහපත් විවාහයකට දින කීපයකි. ලිවීමෙන් හා පොත්පත් කිරීමෙන් ලාභ උපයා ගත හැකිය. නුවණැත්තන් සමග හවුලේ වැඩ කිරීමට ලැබේ. උෂ්ණ රෝග සෑදීමේ හැකියාව පවතී. සිකුරු ග්‍රහයා 8 වැන්නට පැමිණීම යහපත් නැත. වකුගඩු හෝ හෘදයේ රෝග ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් ප්‍රවේසම් වන්න.   

 


​ෙජ්‍යතිර්වේදී හංවැල්ලේ ඇස්. සිරිවර්ධන   
133 සී, ජයන්ති පාර, දොම්පේ