සාරයියාට ඇන්ඳ සබරගමු පෙරහරේ ගුණහාමි


‘‘ඔන්න තිස්ස මහත්තයෝ, ඊළඟ චිත්‍රපටයට හොඳ කතාවක් තියෙනවා,’’ යි ජෝ අබේවික්‍රම එක් හවස් යාමයක චිත්‍රපට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරියට කීවේය.   


ජෝත්, තිස්සත්, චිත්‍රපට නිෂ්පාදක ශේෂා පලිහක්කාරත් කෝට්ටේ පාරේ සෙරන්ඩිබ් කාර්යාලයේ කතා කරමින් සිටියහ.  


 
මොකක්ද? ජෝ කතාව ශේෂා කුතුහලයෙන් ඇසීය.   


රත්නපුර මහා සමන් දේවාල පෙරහරට එන සාරවිටකාරයෙක් හිටියා. මම මිනිහව දන්නවා. මිනිහගෙ ජීවිතේ අපූරු කතාවක් තියෙනවා.   


මේ ​ෙවන විට ශේෂා පලිහක්කාර සෙරන්ඩිබ් සමාගම වෙනුවෙන් නිෂ්පාදනය කළ රන්මුතුදූව හා ‘ගැටවරයෝ’ චිත්‍රපට තිරගත වී ජනප්‍රිය වී සරසවිය සම්මානත් ලබා තිබුණි. මේ 1965 වසරය. මෙතෙක් කළ චිත්‍රපට දෙකටම වඩා වෙනස් අමුතු තාලයේ චිත්‍රපටයක් ගැන සිතමින් සිටි මේ පිරිස ජෝගේ අදහසට එකඟ විය.   


මේ සාරවිටකාරගේ නම එලාරිස් ගුණහාමි. මිනිහා බොහොම ගුණධර්ම ඇතිව හැදුණ මිනිහෙක්. පන්සලේ නායක හාමුදුරුවන්ට ලොකු ගරුත්වයක් තිබුණ මනුෂ්‍යයෙක්. වැඩක් නැතත් පන්සලේ මිදුල අතුගානවා. පූජා කරපු පරමල් ඉවත් කරනවා. ලැගුම් ගෙය පිරිසිදු කරනවා. බෝධි පූජාවලට සම්මාදන් වෙනවා. අහිංසක මිනිහ. නිතරම හිනාවෙච්චි ගමන් ඉන්නෙ. පස්සෙ මිනිහ ඔල්මාද ගතියෙන් හිටියේ.   


එතැනට චිත්‍රපට අධ්‍යක්ෂ මයික් විල්සනුත් ආවේය. ඔහු මේ කතාව අසා සිටියේය.   


මේක කරන්න අපි තිස්සට බාරදෙමු. ශේෂා පලිහක්කාර මයික්ට යෝජනා කළේය. 

 
මේක තිස්සට හොඳට ගැලපෙන චිත්‍රපටයක්. මයික් ස්ථිර කළේය.   


සාරවිට සිනමාවට උපන්නේ එහෙමය. ජෝගේ කතාව අනුව තිර රචනය කිරීමට කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාට පැවරිණ. තිස්ස එයට හවුල් විය. චිත්‍රපටයේ මුල්ම දර්ශනය රූප ගත වුණේ සබරගමු මහා සමන්​ දේවාලේ පෙරහරදාක රාත්‍රී කාලේය. ජෝව සාරවිට කාරයකු ලෙස සැරසුවේ කලා අධ්‍යක්ෂ දයා කරුණාරත්නය. වෙස් ගැන්වූයේ රොහාන් මුදන්නායක හා ඊබට් විජේසිංහ විසින්ය.   


රාත්‍රී කාලේ ජෝ සාරවිටි පෙට්ටියක් අරන් යනකොට කාටවත් අඳුනා ගන්න බැරිවුණා. අපි දර්ශන ගත්තේ එහි පසුබිමෙන් ඇහෙන ගීතයට අවශ්‍ය රූප රාමු හැටියට. අපේ කැමරා අධ්‍යක්ෂවරයා වුණේ ඩබ්ලිව්.ඒ. රත්නායක.   


රත්නායක මීට පෙර සාමා හා ගැටවරයෝ චිත්‍රපටවල කැමරාව මෙහෙයෙව්වා. ගැටවරයෝට සරසවි සම්මානයකුත් ලැබුණා. චිත්‍රපටයේ සියලුම ගීත රචනා කළේ මහගම සේකර. අමරදේව සංගීතය නිර්මාණය කළා. මුලින්ම එන සාරවිට කාරයාගේ ගීතය ගැයුවේ ජේ.ඒ. මිල්ටන් පෙ​ෙර්රා. අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය අතීත කතාව විස්තර කළේය.   


මේ සාරයියා ගැයූ ගීතයයි   
සිරි සාර බුලත්විට කාලා බලන්   
හොඳ නංගී වරෙන් පොඩි මල්ලී වරෙන්   
කට සුවඳ කරයි දත් පණුවො නොකයි   
සිරි සාර බුලත්විට කාලා බලන්   
පන්සල පල්ලිය කෝවිල හන්දිය   
බස් නැවතුම්පොළ පෝලිම හැම තැන   
කාගෙත් හොඳ හිත සමග බෙදාගෙන කාල බලං   
කරඳමුංගු කරාබු නැටි සාදික්කා වසා වාසි  
ඉඟුරු පියලි කොත්තමල්ලි  
චුන්න පූග නාගවල්ලි  
මේවා නිසි පදමට ගෙන කටට රහට...   
සිරි සාර බුලත් විට කාලා බලං...   


චිත්‍රපටයේ හැටියට සාරයියා ජීවත් වුණේ පැල්පත් පේළියකය. ශේෂා පලිහක්කාරට අයිති රාජගිරියේ මාදින්නාගොඩ ඉඩමක, කලා අධ්‍යක්ෂ දයා කරුණාරත්න පැල්පත් (මුඩුක්කු පේළියක්) නිර්මාණය කළේය. පැල්පත්වාසීන් ජීවත් ​ෙවන සැටි ඔවුන්ගේ ජීවන රටා ගැන අවබෝධයක් ලබා ගැනීමට අධ්‍යක්ෂ තිස්ස ලියනසූරියට අවශ්‍ය විය.   


දිනක් තිස්සත් කලා අධ්‍යක්ෂක දයා කරුණාරත්නත් මරදානේ පොලීසිය ඉදිරිපිට තිබූ ඩීන්ස් පාරේ බාර් එකකට ගියේ පොඩි සප්පායමක් වී මේ ගැන කතා කිරීමටය. මේ බාර් එක තිබුණේ ඩීන්ස් පාරට හැරෙන තැන තිබූ සයිකල් බසාර් එක ඉදිරිපිටය. හිටි හැටියේම ඒ කාලේ කොළඹ හොල්ලපු චණ්ඩියා වූ චොප්පෙ බාර් එකට ඇතුළු විය.   


ඔයා තමයි චොප්පෙ. චණ්ඩියෙක් වුණාට හිත හොඳ මිනිහෙක්. මිනිහා කප්පම් ගත්ත සල්ලි පැල්පත්වල දුප්පත් අයට බෙදලා දෙනවලු. දයා තිස්සට කීවේය.   


චොප්පෙ ඩ්‍රෑම් එකක් අතට ගත් පසු බාර් කීපර් මේ දෙදෙනා ගැන මොනවාදෝ කියනු මිතුරන් දුටහ. චොප්පෙ ඔවුන් අසලට ආවේය.   


දොරේලා මරු පික්චැර්නේ ගහල තියෙන්නේ. මම රන්මුතුදූවයි, ගැටවරයොයි දැකල තියෙනවා. අපේ ගාමිණී දොරේගේ ෆයිට් නියමයි. ඒ වගේ නොම්මර එකේ වැඩක් තමයි කොරන්න ඕනෑ. දොරේලට මං ගානේ ඩ්‍රින්ක්ස් රවුමක් එවන්න ද? චොප්පෙ වේටර්වරයකු කතා කිරීමට වටපිට බැලුවේය.   


එපා චොප්පෙ අයියා, දැන් දවල්නෙ, මේ හොඳටම ඇති. දයා කීය.   

 

 

 


අපි ඊළඟට කරන්න යන්නෙ පැල්පත්වල ජීවත්වෙන මිනිස්සු ගැන කතාවක්. ඒ නිසා අපිට පැල්පත්වලට ගිහිල්ලා ඒවායෙ මිනිස්සු ජීවත්වෙන හැටි බලන්න ඕනෑකමක් තියෙනවා තිස්ස කීය.   


ඕක ටොයිෂ් වැඩක්නෙ දොරේ. ඕකට හොඳම තැන කැලණි පාලම යට.   


චොප්පෙ දයා හා තිස්ස සමග කැලණි පාලම යටට ගියහ.  


මේ මහත්තුරු පික්චැර් එකක් ගහනවා. දවස් දෙක තුනක් හරි සුමානයක් හරි ඉඳීවි. මේ දොරේලා කන බොන දේවල් අපි ගානේ. හැබැයි පොඩි පොඩි අඩුපාඩු තියේවි. චොප්පෙ කීය.  


එදා අපිට සූදානම් කර දුන් පැල්පතක දයාත්, මමත් දවස් දෙකක් ගත කළා. පැල්පත්වාසී මිනිසුන් ගැන අපි හොඳට අධ්‍යයනයක් කළා. ඔවුන්ගේ ගති පැවතුම් සණ්ඩු මනුස්සකම් ජීවන රටාව ගැන. ඒ ඇසුරෙන් සාරවිට තිර නාටකය පෝෂණය වුණා. ඒ ජීවන වටපිටාව ඇසුරෙන් දයා පැල්පත් සමූහයක් රාජගිරියේ ඉදිකළා. තිස්ස කීවේය.  


චිත්‍රපටයේ කතාව විකාශනය ​ෙවන්නේ මෙසේය.  


උපතින්ම තමා උරුම කරගත් අවංකකම හා සරළකම හේතුවෙන් සාරයියාට කරදරයක් නැතිව මුඩුක්කුවේ ජීවත්වීමට හැකිවේ. කරුණාවෙන් පිරි හදවතක් ඇති ඔහු අට හැවිරිදි නන්දසේන හදා වඩා ගත්තේ තමාගේම දරුවකු මෙනි. හොර කසිප්පු පෙරා විකිණීමෙන් ජීවිකාව ගෙන ගිය මාකස්ට තම තිප්පොළ වැටලීමට පොලීසිය එන බව ආරංචි වී කසිප්පු බූලි දෙකක් සාරයියාගේ නිවසේ සැඟවීමට උත්සාහ කරද්දී ඔහු එයට එරෙහිවෙයි. මේ සිද්ධියෙන් කෝපයට පත් මාකස් අවස්ථාවක් බලා කුඩා නන්දසේන පැහැරගෙන ගොස් අනාථ මඩමක නතර කරයි.  


මීට පෙර සාරයියාගේ හිතවත් පවුලක් නන්දසේන බලාගත්හ. දරුවා අනාථ මඩමට ගෙන ගිය බව දැනගත් සාරයියා ඇඬූ කඳුළෙන් එහි යයි. එහි පාලිකාවක වූ දේවිකා නන්දසේන නැවත පැල්පතට ගෙන යාමට වඩා ඉගෙනීමට යොමු කිරීමේ අගය සාරයියාට පහදා දෙයි. දරුවාට හොඳක් ​ෙවන නිසා එයට ඔහු එකඟ වෙයි.  


මේ අතර මාකස්ගේ සගයන් කිහිපදෙනකු පොලිසිය අල්ලා ගනී. මේ ඔත්තුව දුන්නේ සාරයියා බව සිතන මාකස් අහිංසක සාරයියාට පහරදෙයි. ඔහු එය ඉවසා සිටී. එදින රාත්‍රියේ සාරයියා අපූරු සිහිනයක් දකී. තමාට හිතවත්ව කෑම බීම පවා ගෙනැවිත් දෙන මැගිනෝනා සහ ඇගේ දියණිය නිරංජලාට සාරයියා තම සිහිනය ගැන කියයි. මැගිනෝනා කියන්නේ එය සුබ සිහිනයක් බවත් නන්දසේන නමින් ජිම්කානා ලොතරැයි ටිකට්පතක් ගන්නා ලෙසය.  


මාකස් විසින් සොරා ගන්නා මැණික් වෙළෙන්ඳෙකුගේ මුදල් බෑගයක් අවුස්සා බලද්දි එහි ඇති ලියකියවිලි ඉවත දමා එහිවූ ගල් කැටයක් තිබී එය සාරයියාගේ පැල්පත පැත්තට වීසි කොට මුදල පමණක් රැගෙන යයි. තමා වීසි කළේ අගනා මැණිකක් බව පසුදා පුවත්පත් වලින් දැන මාකස් පැල්පත් දෙවනත් කොට එය සොයයි.  


මැගිනෝනාගේ අදහස අනුව සාරයියා මිලදී ගත් ජිම්කානා ටිකැට්ටුවට දිනුමක් ලැබීම පැල්පත්වාසීන්ගේ සතුටට හේතුවෙයි.  


ඔවුන් සාරයියා වටකරගෙන ලස්ස ගණනන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා ගීතය ගයති. තමාට ලැබුණ මුදල් වලින් පැල්පත්වල දුප්පතුන්ට උදව් කරන සාරයියා ගෙයක් මිලට ගෙන නන්දසේන ද කැඳවාගෙන එයි. අනාථ නිවස වැසීමට යන බව ආරංචි ​ෙවන සාරයියා තම නිවස ඒ සඳහා පරිත්‍යාග කරයි.  


නැතිවූ මැණික් ගල සාරයියා ළඟ ඇතැයි සිතන මාකස් සාරයියා මැරීමට තැත් කරයි. මැගිනෝනාගේ පැල්පතට ද ගිනි තබයි. ගැටුමකදී තම සගයකුගේ වෙඩි පහරකින් මාකස් මිය යයි. අළු බවට පත්වූ පැල්පත වෙනුවට මැගිනෝනාට සාරයියා ගෙපැලක් තනා දෙයි. ජීවිතය ගැන කළකිරී සියල්ල අත්හරින සාරයියා යළිත් බුලත් තට්ටුව ගෙන මගට බසී.  


මේ චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම, ජීවරාණි කුරුකුලසූරිය, සෝභනී අමරසිංහ, සුනිලා ජයන්ති, ජෙසීකා වික්‍රමසිංහ, පියදාස ගුණසේකර, තිලකසිරි ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, සොමී මීගම, ඩී.ඇම්. කොළඹගේ, දොන් සිරිසේන රඟපෑහ. මාකස් ලෙස රඟපෑවේ එකල ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු වූ වොලී නානායක්කාරය.  

 

 

මම චිත්‍රපටය සැලසුම් කරන කාලයේ එක්සත් ලංකා රසික සංගමය කියන කලා සංවිධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කළා. ඒ සංගමයේ සිරිමතී රසාදරී, ශාන්ති විරාජ්, පියදාස ගුණසේකර, ගුණරත්න රත්නායක, වොලි නානායක්කාරත් නිලතල දැරුවා. වොලී යන එන හැටි මම නිරීක්ෂණය කළා. ඔහු සාරවිටේ මාකස් නම් දඩබ්බර චරිතයට ගැලපේ යයි මම හිතුවා. ඔහු එවකට සේවය කළේ ලේක් හවුස් ආයතනයේ. මගේ යෝජනාවට ඔහු එකඟ වුණා. වොලී මුල්වරට සිනමාවට එකතු වෙන්නේ එහෙමයි. තිස්ස ලියනසූරිය කීවේය.  


සාරවිට චිත්‍රපටය ගැන කතා කරන විට එහි නන්දා මාලනිය ගැයූ ‘‘මේ සිංහල අපගේ රටයි’’ ගීතය නිතැතින් සිහියට නැගේ. මේ පිළිබඳව තිස්ස ලියනසූරිය ගැන දිලීප පෙරේරා ලියූ සොඳුරු සිනමා අදියුරු කෘතියෙන් තොරතුරු දැක්වේ.  


මේ ගීතය නිර්මාණය වීම ගැන අපූරු කතාවක් තිබේ. තිස්ස ලියනසූරිය ඒ කතාව කියන්නේ මෙසේය.  


ගීත යොදා ගනිද්දී අපි කල්පනා කළා ජාතික හැඟීම් දනවන ගීතයකුත් යොදා ගත්තොත් හොඳයි කියලා. තිර නාටක රචක කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා මහත්තයා දවසක් නුගේගොඩ හන්දියේ බස් නැවතුම්පොළක ඉන්න වෙලාවක ඇහිලා තියෙනවා. අසළ ගෙදරක අම්ම කෙනෙක් දරුවකුට පියානෝවක් වාදනය කරමින් ගීතයක් උගන්වනවා.  


මේ රට මගේය  
මේ රට ඔබේය  
මේ රට ඔබේ හා මගේය  


මේ ගීතය වගෙ ගීතයක් සාරවිට චිත්‍රපටයේ ළමා නිවාසයේ (සෝභනී අමරසිංහ) ලවා ළමුන්ට උගන්වන දර්ශනයක් ඇතුළත් කරන්න. අපි මේ අදහස මහගමසේකරට කිව්වා. ඔහු මේ සිංහල අපගේ රටයි ගීතය ලියන්නේ ඒ අනුව. මේ ගීත ගැයූ නන්දාටත් ගීත රචක සේකරටත් සරසවි සම්මාන හිමිවුණා වගේම ගීතයත් ජනප්‍රිය වුණා.  


මේ ගීතය අමරදේවයන් නිර්මාණය කළේ එක්තරා හවස්වරුවක ශේෂා පලිහක්කාරගේ මාදින්නාගොඩ නිවසේය. ඒ අවස්ථාවේ අමරදේවයන් සර්පිනාවක් ලබාගෙන පැදුරක වාඩිවෙයි. ජෝ ශේෂා ටයිටස් තොටවත්ත, තිස්ස වටේට වාඩිවෙනවා.  


තිස්ස මොකක්ද මුල් පේළිය? අමරදේවයන් අසයි.  


මේ සිංහල අපගේ රටයි  
අප ඉපදෙන මැරෙන රටයි  
අප හද පණ ගැහෙන රටයි  
මුළු ලොව ඒ රටට යටයි  


අමර​දේවයන් තාල අල්ල අල්ලා මුමුණයි. ඊට පසු ඔහු තිස්ස දිහා බලයි.  


හරි හරි ෂෝක්. ඔය තියෙන්නෙ.   


නන්දා මාලිනී ගැයූ මේ ගීතයේ සමනොල ගිරි කඳු මුදුනේ නම් කොටසක් තිබෙන තැන ගැන අමරදේවයන් තිස්සගෙන් ඇසුවේය.  


මොකක්ද තිස්ස මෙතැනට එන රූප මාලාව.  


සිරිපාදේ... සිරිපාදේ වන්දනා කරන මිනිස්සු. ඒ එක්කම වේගයෙන් පෙරළි පෙරළි යන වළාකුළු පෙළක රූප මාලාවක එනවා.  


හොඳයි, හොඳයි ඒක හොඳයි. එහෙම නම් අපි වළාකුළු එන තැනට මේ වගේ ඉන්ටර් ලූඩ් එකක් දාමු. අමරදේවයන් කීවේය.  


තිස්ස ලියනසූරිය කියන්නෙ මේ ගීතයේ ආරම්භක සංගීත ඛණ්ඩය ඇහෙද්දි අනුරාධපුරයේ, පොලොන්නරුව සිද්ධස්ථානවල රූප පෙළක් පෙන්වීමට සිතූ බවය. ඒ බව තිස්ස, ශේෂාට කීවේය.  


මට වාහනයකුයි, සල්ලි ටිකකුයි දෙන්න. මම ගිහින් දවස් දෙකකින් අවශ්‍ය ටික ෂූට් කරගෙන එන්නම්.  


ශේෂා ඈත නොගොස් කෙටි මාර්ග ගැන සොයද්දි තිස්ස, කලා අධ්‍යක්ෂ දයා කරුණාරත්න සමග කොටුවේ දුම්රිය පොලින් අනුරාධපුරය බලා යාමට පිටත් වූහ.  


දයා ළඟ මිලිමීටර් 35 පුංචි කැමරාවක් තිබුණා. අපිට තිබුණෙ අඩි 100 ක දළ සේයා පට පමණයි. අපි අනුරාධපුරයට ගිහින් සිද්ධස්ථාන රූප ගත කළේ බොහොම අරපරෙස්සමින්. කැමරාව මෙහෙය වූයේ දයා. අපි ගීතයේ මුලට එන ආරම්භක වාදනය සඳහා එන රූප රාමු සඳහා යොදා ගත්තා.  


මේ සිංහල අපගේ රටයි ගීතය චිත්‍රපටයේ අර්ථ පූර්ණ වුණේ ඒ ආකාරයෙන්. තිස්ස කීවේය.  


සාරවිට චිත්‍රපටය සඳහා (1965 දී) රුපියල් ලක්ෂ හතරක් පමණ වැය වී ඇති අතර රුපියල් ලක්ෂ හතක පමණ ආදායමක් උපයා ඇත.  


1966 සරසවිය සම්මාන උළෙලේදී සාරවිට සම්මාන දහයකින් පුද ලබා ඇත. හොඳම චිත්‍රපටය (ශේෂා පළිහක්කාර), හොඳම අධ්‍යක්ෂක (තිස්ස ලියනසූරිය) හොඳම නළුවා (ජෝ අබේවික්‍රම) හොඳම තිර නාටක රචක (කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා) හොඳම කැමරා අධ්‍යක්ෂ (ඩබ්ලිව්.ඒ. රත්නායක) හොඳම සංස්කාරක (ටයිටස් තොටවත්ත) හොඳම ගීත රචක (මහගමසේකර) හොඳම ගායිකාව (නන්දා මාලිනී) හොඳම කලා අධ්‍යක්ෂ (දයා කරුණාරත්න) ප්‍රියතම නළු චරිතය (ජෝ අබේවික්‍රම) මේ සම්මානය.  

 

 

 

 


ඡායාරූප පිටපත් කිරීම:  ලාල් සෙනරත් 
ඒ.ඩී. රන්ජිත් කුමාර