සාමකතා මේසයේදී හෙළිවුණු බාලසිංහම්ගේ ‘‘​හොර ආචාර්ය’’ පට්ටම


අඳුරු යුගයක නොලියවුණු කතාව

ලංකාවේ සාම වෑයමට නෝර්වේ මැදිහත් වූ ඇත්ත හේතුව-2   

 

වසර ගණනාවක් ස්වීඩන යටත්විජිතවාදයට යටත් වී සිටි නිසා නෝර්වේජියානුවන් තුළ සහජයෙන්ම සුළු ජනවර්ග පිළිබඳ අනුකම්පාවක් පවතී. ජනතාව තුළ එසේ පවතිද්දී දේශපාලකයන් තුළ පවතින්නේ යුරෝපය හෙල්ලුම් කැවූ ”පැරණි වයිකිං” යුගය යළි ඇති කිරීමේ සැලැස්මයි. වයිකිං යුගය මෘග මෙන්ම කොල්ලකාරී ද විය. යටත් වූ සතුරකුට වුව ඔවුන් පිළිතුරු දුන්නේ කඩුව ගෙල මත පතිත කිරීමෙනි.   


”යාපනයේ අපේ මිනිසුන්ට පහර දෙනවා සර්. ගම් පිටින් ගිනි තියනවා...” කන්දප්පාගේ මුහුණ හඬන්නට ළංවූවකුගේ මුහුණ මෙන් විය.  ඒ 1983 වසරවිය.
 
එහෙත් ඒ වනවිට උතුරේ ගැටුම් නැවතී තිබිණ. 1983 දී හමුදා සෙබළුන්ගේ මුර සංචාරක රථ පෙළ ඉලක්ක කර පහරදී භීෂණය ඇරඹුවේ තමන් බව කන්දප්පා නෝර්වේ බලධාරීන්ගෙන් වසං කළේය. ඉන්පසු ඇතිවූ ජාතිවාදී ගින්න රජය විසින් මැඩපවත්වනු ලැබ දෙපිරිස සාමයෙන් ජීවත් වූ අතර 1984 වනවිට උතුරේ ගැටුම් කිසිවක් සිදු නොවීය. 1985 දී යළි ඝාතන රැල්ලක් ඇති කළේ ත‍්‍රස්තවාදීන් විසිනි.   


1984 සිසිරයේ දී විසි පන්දහසක් දමිළයෝ විවිධ මාර්ගවලින් යුරෝපය කරා ගෙන එනු ලැබූහ. මේ වන විට තවත් හැට දහසක් ඉන්දියාවේ සරණාගත කඳවුරුවල සිටි අතර ඔවුන් ගෙන්වා ගත් ඉන්දීය දේශපාලකයන් කන්දප්පාට පැවසුවේ තම රටට කරදරයක් වෙමින් පවතින ප‍්‍රශ්නය විසඳීම සඳහා දමිළයන් යුරෝපයට කැඳවා ගන්නා ලෙසය. පහරට ප‍්‍රතිප‍්‍රහාරයක් එල්ල වන වගක් ඔවුන් නොසිතූ අතර ඉන්දියාවද ත‍්‍රස්ත සාමාජිකයන්ද සිතුවේ ශ‍්‍රී ලංකාව තුළම ප‍්‍රශ්නය ඇදෙමින් පවතිනු ඇති බවයි.   


”මට හත්සීයක් ගේන්න ඉන්නවා. දරුවොයි ගෑනුයි. ඔවුන් අසරණ වෙලා..” කන්දප්පා කීය. නිලධාරීහු හත්සීයක් දෙනාට අවසර පත‍්‍ර නිකුත් කළහ. කන්දප්පා තවත් හත් සීයක් දෙනා සඳහා ව්‍යාජ වීසා පත‍්‍ර සැකසීය. නිලධාරින්ගේ අත්සන්ද ව්‍යාජ මුද්‍රා ද ඔහු ළඟ තිබිණි.   


කන්දප්පා එසේ අත්තිවාරමේ පළමු පස් පිඩැල්ල කැපුවේය.   


මීළඟට ඇත්තේ කළුගල් පුරවා අත්තිවාරම සැකසීමයි. වසර ගණනාවක් නෝර්වේහි ජීවත් වූ ඔහු යුරෝපයේ ප‍්‍රධානම ප‍්‍රවාහන මාධ්‍යයක් වන මුහුදේ සහාය ලබා ගැනීමට තීරණය කළේය. ඔහු ක්‍රියාත්මක වූයේ වෙනමම ආකාරයකටය.   


කන්දප්පා බර්ජින් මුහුදේ මසුන් මැරීමේ නිරත වූ කුඩා යාත‍්‍රාවක් කුලියට ගත්තේය. එය කුලියට ගන්නා ලද්දේ බර්ජින් ධීවර සංගමයකිනි. එය වැඩි කාලයක් උතුරු මුහුදේ මසුන් මැරීමට යොදා ගත් යාත‍්‍රාවක් විය. සරණාගතයන් ගෙන ඒම සඳහා පිටත්ව යෑමට පෙර කන්දප්පා නැව් තට්ටුව යට කුඩා කාමරයක තම ගමනේ සැබෑ අරමුණ තැන්පත් කළේය. එය යුරෝපයේ වෙළෙඳපොළ කිහිපයකින් පහසුවෙන් ලබාගත් රයිෆල හා පුපුරන ද්‍රව්‍ය පෙට්ටි කිහිපයක් විය. තමිල්නාඩුවේ රැඳී සිටින ත‍්‍රස්තවාදීන් සඳහා වූ එම ආයුධ තොගය නවීනතම ඒවා විය. මෙවැනි මුහුදු ගමන් කීපයක්ම කරන්නට කන්දප්පා අදහස් කර තිබූ අතර යන ගමනේදී පුපුරණ ද්‍රව්‍ය ද එන ගමනේදී සරණාගතයන්ද ගෙන ඒමට සැලසුම් කර තිබිණි.   


තමිල්නාඩු වෙරළ බලා කළ පළමු ගමනට කන්දප්පාද එක්විය. යාත‍්‍රාවේ නියමුවා ස්වීඩන ජාතිකයකු වූ හෙයින් ඕනෑම රළුපරළු අවස්ථාවකට මුහුණ දීමට නියමුවා සූදානම්ව සිටියේය. සති පහකින් යාත‍්‍රාව තමිල්නාඩු වෙරළ කරා ඇදුණේය. මෙම ගමනට නොට් දොළහක බඩු නැවකට වුවත් ගත වන්නේ සති තුනක් වුවත් මෙම අබලන් යාත‍්‍රාව නොට් දොළහක වේගයෙන් යුතුව සති පහක්ම පාවී ගියේය.   


තමිල්නාඩු වෙරළේදී යාත‍්‍රාව වරායක් කරා ගෙන යාමට නිලධාරීන්ගේ අනුමැතිය ලැබී තිබිණ. දකුණු ඉන්දීය නිලධාරීහු හා දේශපාලකයෝ ජාතික හැඟීම් මගින් කුප්පනු ලැබ සිටියෝ සියලු ආචාර මුර සහිතව වුවද මෙම අබලන් යාත‍්‍රාව කැඳවාගෙන යාමට සූදානම්ව සිටියෝය. යාත‍්‍රාව මුහුද මැද නවතා හොරෙන් සරණාගතයන් පැටවීමට කන්දප්පා සැලසුම් කරගෙන සිටියද උදාවී ඇති නව තත්ත්වය ඔහු මහත් පුදුමයට පත් කළේය. වරායේ දී ආයුධ පෙට්ටි දේශපාලකයන් අතටම පත් කරන ලදී. ඒවා තමිල්නාඩුවේ පුහුණු කඳවුරු කරා යැවීමට නියමිත විය. එය යුරෝපාකරයෙන් ලැබුණු පළමු ආයුධ තොගයයි.   


මේ ආයුධ පෙට්ටි භාරගත්තේ කොටින්ට උදව් කළ තමිල්නාඩු දේශපාලක ජී. නැඩුමරන් ය.   


පළමු ගමනේදී සරණාගතයන් දහසක් දෙනා නෞකාවට පටවන ලදහ. ඔවුන් ද සමග තවත් සති පහක් බඩගෑ යාත‍්‍රාව බර්ජින් වෙත ආවේය.   


ඔවුන් සරණගතයන් ලෙස භාර ගැනීමට එරික් සොල්හයිම් මැදිහත් වූ අතර එය පසුකාලීනව ඡන්ද ආකරයක් බවට පත්විය.   


එරික් ඒ පසු පස සෙවණැල්ල සේ සිටියේය. ඡන්ද දහසක් ලැබෙන්නේ නම් පළමු සභිකයා නගර සභාවට පත්ව යනු ඇත. මෙම සරණාගතයන්ට නිශ්චිත කාලයකදී පුරවැසි අයිතිය ලැබෙනු ඇති අතර ඔවුන් ඔහුගේ වනු ඇත. මහ මුහුදේ රුදුරු දුක් ගැහැටෙන් ඔවුන් බේරා ගත්තේ තමා සහ පක්‍ෂයයි.   


ශ‍්‍රී ලංකාවෙන් එන සරණාගතයන් යම් ප‍්‍රමාණයක් භාර ගැනීමට නෝර්වේ දේශය නිල වශයෙන් කැමැත්ත ප‍්‍රකාශ කළේය. මහා පරිමාණ යුද සහ දේශපාලන මෙහෙයුමකට දෙමළ ඩයස්පෝරාව පිවිස සිටියද ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යංශ නිලධාරීන් සිටියේ නිදිකිරා වැටෙමිනි.   


අනාථයන්ගේ ප‍්‍රකාශ ද කඳුළු ද ශ‍්‍රී ලංකා රජයට එරෙහිව රූපවාහිනියෙන් ගලා යද්දී තව තවත් සරණාගත කඳවුරු යුරෝපය පුරා ඇරෙමින් පැවතුණේය.  


ඉන් මාස හයකට පසු ආ නගර සභා මැතිවරණයේ දී කන්දප්පා පොරොන්දුව ඉටු කළේය. එරික්ගේ පක්‍ෂය ඉදිරිපත් කළ අපේක්‍ෂකයන් අතරින් සිව්දෙනකු නගර සභාවට පත්ව තිබූ අතර පක්‍ෂය අවලංගු වීමේ අවදානමෙන්ද ගැලවුණේය.   


මේ විට නෝර්වේහි පදිංචිව සිටි දමිළ ජනතාවගේ සංඛ්‍යාව දස දහසකි. ඔවුහු නෝර්වේ රාජ්‍යයේ සාමකාමී නිහඬ බව බිඳිමින් සිටි අතර දේශපාලනයට ද බලපෑම් කළ හැකි පිරිසක්ව සිටියහ.  


මෙම දෙමළ සරණාගතයන් මිත්‍රයන් නොවන බව නෝර්වේ ජාතිකයන් දැනගත්තේ ඔස්ලෝ නගර සභාවේ අසුනකට ශ්‍රී ලාංකික දමිළයකු තරග වැදුණු අවස්ථාවේය. පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින රටක් ලෙස නෝර්වේහි හොර ඡන්ද දැමීමක් නැත. එරට ජනතාව ඒ ගැන නොදනිති. ඡන්ද දිනය උදාවන තුරු රට පුරා ඡන්ද උණුසුමක්ද නැත. පළමු වතාවට ඔස්ලෝ නගර සභා අසුනකට ශ්‍රී ලාංකික දමිළ සරණාගතයෙක් තරග වැදුණේය. එවකට ක්‍රියාත්මක දමිළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරීමට ආ බොහෝ පිරිස් දමිළ ජාතිකයන් වූ අතර ඔවුහු නියම පුද්ගලයා නොව අන් අය වූහ. එකම පුද්ගලයා දෙවරක්ද ආවේය. තරගයෙන් ඩයස්පෝරා සාමාජිකයා ජයග්‍රහණය කළේය. පසුව ​ෙහාර ඡන්ද සෙල්ලම හෙළිදරව් කළ නෝර්වේජියානු මාධ්‍යවේදියා​ෙග් නිවසට ඩයස්පෝරාවේ වෙඩි ප්‍රහාරක්ද එල්ල විය.   


එල්ටීටීඊ සංවිධානය සාම සාකච්ඡා මේසයට ගෙන ඒම සඳහා නෝර්වේජියානුවන්ගේ පළමු සම්ප්‍රාප්තිය සිදුවෙන්​නේ 1998 වසරේදීය. 1998දී එවටක ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එල්ටීටිඊ සංවිධානය සමග සාම සාකච්ඡා වටයක් පැවැත්වීමට අදහස් කර සිටි අතර ඇගේ ​​​​තෝරා ගැනීම වූයේ ප්‍රංශ ජාතික සාම සාකච්ඡා මැදිහත්කරුවෙකි. එහෙත් එය අසාර්ථක වූ අතර චන්ද්‍රිකා නෝර්වේ වෙතට හැරුණාය.

පලස්තීනය, සුඩානය, ග්වාතමාලාව, හයිටිය යන රටවල සන්නද්ධ ගැටුම් සමථයකට පත් කිරීම සඳහා නෝර්වේජියානුවන් ඒවනවිට මැදිහත්ව සිටි අතර ජාත්‍යන්තරයේ ඔවුන්ට හොඳ පිළිගැනීමක්ද තිබිණි. චන්ද්‍රිකා සමග 1998 අවුරුද්දේ සිට 2000 වසර දක්වාම නෝර්වේජියානුවන් සාම ක්‍රියාවලියක නිරතව සිටියේ රහසිගතවය. එකල පුවත්පත්වලට මේ පිළිබඳ ලුහුඬින්වත් ​ෙතාරතුරු කාන්දුවී නොතිබුණි. එහෙත් 2000 ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරතුර චන්ද්‍රිකා ජනපතිනිය ඝාතනය කිරීම සඳහා දැරූ ප්‍රයත්නයෙන් පසු ඇය පළමු වරට තමන් කෙටි සංවිධානය සමග සාකච්ඡා වාරයක් සඳහා තිරය යටින් වැඩ කොටසක් ක්‍රියාත්මක කරමින් සිටි බව කියා සිටියාය.   


චන්ද්‍රිකා ජනපතිනිය තමන් සමග තිබූ රහසිගත සබඳතාව එක්වරම හෙළිදරව් කළ විට තම රට පුදුමයට පත්වූ බව ​ෙසාල්හයිම් පසුව පැවසීය. දිගින් දිගටම සිදුවූ යුද පරාජයන් නිසා මෙම සාකච්ඡා සඳහා රට තුළින් විරෝධයක් මතු වූයේ නැත.   


​ෙනා්ර්වේජියානුවන් වසර ගණනාවක් බලා සිටි අවස්ථාව එළඹියේ එල්ටීටීඊ සංවිධානය කටුනායක ගුවන් තොටුපොළට පහරදී ගුවන් යානා රැසක් විනාශ කර ගුවන් මගීන්ට භීෂණයක් අත්කර දුන්නාට පසුවය. එම ප්‍රහාරය චන්ද්‍රිකා ජනපතිනියට සාම මාවත කරා යාමට පොළඹවන ආකාරයේ එකක් විය. මේ වනවිට ශ්‍රී ලංකා සන්නද්ධ සේනා සතුව සැලකිය යුතු පිරිස් බලයක් හා යුධ ශක්තියක් තිබුණද ජයග්‍රහණයක් නොපෙනෙන දීර්ඝ සටන් සමය නිසා ඔවුන් සිටියේ බෙලහීනත්වයට පත්වය. සෝවියට් එම්.අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර් 14 ක්, කාලතුවක්කු 97 ක්, යුද ටැංකි 24 ක් 2001 වනවිට ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සතුව තිබිණි. එහෙත් අලිමංකඩ කඳවුර ඇද වැටීම නැවැත්වීමට ඒ කිසිවකුටත් ​නොහැකි විය.   


ඒවනවිට රට යුද්ධයෙන් හෙම්බත්ව තිබූ ආතර විදේශ ආයෝජන සහ ආධාර නොලැබීමෙන් රටේ ආර්ථිකය තිබුණේ අතිශය දුර්වලවය. එරික් සොල්හයිම් ලෝක බැංකු ආධාර යළි ලබාදීමට එකඟවීම ජනපතිනියට මහත් සහනයක් විය.   


එරික්ගේ දැනුම් දීම මත පැමිණි ලෝක බැංකු නියෝජිතයෝ ජනාධිපති සමග නොබි​ෙඳන මිත්‍රත්වයක් ඇති කර ගැනීමට සමත් වූහ. ඒ සඳහා ඔවුන් උපයෝගී කරගත්තේ ජනාධිපතිවරයා යෝජනා කරන ව්‍යාපෘති සඳහා මුදල් අනුමත කරදීමය. දශක ගණනාවක් තිස්සේ ඔවුන් ශ්‍රී ලංකාවේ තම සේවා සලසා තිබුණ ද ආණ්ඩු ප්‍රධානීන් සමග සමීප ඇසුරක් පවත්වා තිබුණේ නැත. එහෙත් එරික් එම සබඳතා සමීප කර දුන්නේය.   


ජනාධිපති සමග ලෝක බැංකුව අමනාප වූයේ ඩීසල් බලාගාරයක් නිසාය. ලෝක බැංකු ආධාර යටතේ විදුලි බල මණ්ඩලයට ඩීසල් විදුලි බලාගාරයක් ඉදිකිරීමට අයැදුම්පත් කැඳවිණි. ඉල්ලුම් කළ අය අතරින් වඩාත් ප්‍රතිඵල දායක බලාගාරයක් සඳහා අයැදුම්කර තිබුණේ යුරෝපීය සමාගමකි. විදුලිබල මණ්ඩල පත් කළ තාක්‍ෂණික කමිටුවකින්ද ලෝක බැංකුව පත් කළ තාක්‍ෂණික කමිටුවකින්ද අනුමත වූයේ මෙම යුරෝපීය සමාගමයි.   
එහෙත් ජනපති එම සමාගමට අකමැති විය. බලාගාරය සඳහා දෙන ආධාර මුදල තමාගේ නිර්දේශයට පිටින් දේශපාලන හිතවත්කම් මත දිය නොහැකි බව ලෝක බැංකුව කියා තිබිණ. ආණ්ඩුව ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. අවසානයේ ඩොලර් මිලියන 20ක ආයෝජනයක් වූ මෙම බලාගාරය සඳහා ලබාදෙන ණය මුදල අත්හිටුවීමට තීරණය කළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබාදෙන සියලු ආධාර නවතා දමා තම නේවාසික නියෝජිතයාද ආපසු කැඳවීය. පුවත්පත්වල පළවූයේ ජනාධිපතිගේ හිතවතකුට ඉදිකිරීම් ටෙන්ඩරය නොදුන් නිසා ලෝක බැංකු ණය මුදල රජය ප්‍රතික්ෂේප කළ බවයි.   


වසර ගණනාවක් රජයට නොලැබුණු ලෝක බැංකු ආධාර නෝර්වේ රාජ්‍ය මැදිහත්වීමෙන් යළි ලබා ගැනීම ජනපති​ෙග් අරමුණ විය. එය ඒ ලෙසම සිදුවූ අතර සෝල්හයිම් ශ්‍රී ලංකා ජනපති​ෙග් විශ්වාසය දිනා ගැනීමට ද එමගින් සමත් විය.   


නෝර්වේ යනු යුරෝපී මහාද්වීපයේ පිහිටි කුඩා රටකි. ඛනිජ තෙලෙන් පොහොසත් එය එම තෙල් සම්පතේ ලාභය යොදවා රටේ සියලු පුරවැසියන්ට විශ්‍රාම වැටුපක් ලබා දී ඇත. යුරෝපය නොදියුණු මට්ටමක තිබූ මධ්‍යකාලීන යුගයේ නෝර්වේ, ස්වීඩන් හා පින්ලන්තය ඇතුළත්ව තිබූ ප්‍රදේශයේ සිටි රජවරු තම රටේ ආර්ථික දියුණුව සඳහා මුහුදු කොල්ලකරුවන් ලෙස නාවික යාත්‍රා යොදවා තිබිණ. වයිකිංවරුන් ලෙස ලෝක ප්‍රකටව සිටි මුහුදු කොල්ලකරුවන් වූයේ ඔවුන්ය.   


1989 සෝවියට් ​ෙද්ශයේ බිඳවැටීමෙන් පසු ලෝකයේ නැගී ආ ධනවාදයේ ප්‍ර​ෙබා්ධය අනුව නෝර්වේ රාජ්‍යයට ලෝකයේ නම්බුකාර පිළිගැනීමක් අවශ්‍ය විය.   


සෝල්හයිම් ඉටු කළේ ඒ භූමිකාවයි. ඒ වනවිට නෝර්වේ වෙත ​ගොස් පදිංචිව සිටි ලංකාවේ දෙමළ සරණාගතයන් වසර ගණනක ඇවෑමෙන් එරට ඡන්දදායකයන් බවට පත්ව සිටීම ද මේ සාම වෑයමට ඔවුන් පෙළඹවීමට හේතුවක් විය. දෙමළ සරණාගත ඡන්ද යනු අහක දැමිය හැකි එකක් නොවේ.   


එරික් සෝල්හයිම් ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රශ්නය සාම සාකච්ඡා වටයකින් විසඳීම සඳහා දෙපාර්ශ්වය අතර මැදිහත්කරුගේ භූමිකාවට පණ පොවන විට ඔහු එරට ඇමැතිවරයකු නොවේ. එහෙත් දේශපාලකයකු ලෙස ඔස්ලෝ නුවර වැදගත් භූමිකාවක් ඉසිලූ සෝල්හයිම්ට සාම දූත කටයුත්ත භාරදීමට එරට රජය කැමති විය. ඔහුගේ වෑයම පළ දරමින් 2001 වසරේ පළමු සාකච්ඡා වටය නෝර්වෙහි ඔස්ලෝ නුවරදී පවත්වන ලදී.   


සාම ක්‍රියාවලියේදී එරික් සොල්හයිම් එල්ටීටීඊ යට පමණට වඩා ළෙන්ගතුවූයේ දැයි සමාජය තුළ බරපතළ සැකයක් අදටත් පවති. සාම මැදිහත්කරු ලෙස ඔහු කිසිම පාර්ශ්වයකට පක්‍ෂපාත නොවිය යුතු වුවත් ඔහු​ෙග් හැසිරීම තුළින් ඒ බවක් පෙන්නුම් කළ බව සාම සාකච්ඡා මේසයට එක්වූ සමහරු කියති. එයින් එකක් නම් කිසිඳු දිනක ආචාර්ය පදවියක් නොතිබූ ඇන්ටන් බාලසිංහම්ට සොල්හයිම් ආචාර්ය බාලසිංහම් කියා ඇමතීමටයි. ඇතැම් ජනමාධ්‍යද එකල ආචාර්ය නමින් බාලසිංහම් හඳුන්වා තිබූ අතර එය සාවද්‍ය තනතුරක් විය. බාලසිංහම්, කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහ ​කොමසාරිස් කාර්යාලයේ සේවය කළ භාෂා පරිවර්තකයකු පමණක් විය.   
පළමු සාම සාකච්ඡා වටය සඳහා පුද්ගලයන් නම් කිරීමට නෝර්වේ රාජ්‍යයෙන් දෙපාර්ශ්වයටම දැන්වූ අවස්ථාවේ ශ්‍රී ලංකා රජය එම කණ්ඩායමේ නායකත්වයට පත් කළේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාය. එයට සමගාමීව එල්ටීටීඊ යෙන් පත්කරන්නේ කවුදැයි විමසූවිට ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ ආචාර්ය ඇන්ටන් බාලසිංහම් කියාය. ඒවනවිට බාලසිංහම් ආචාර්යවරයකු නොවන බව ලෝකයට හෙළිදරව් වී නොතිබිණ. මෙහිදී සොල්හයිම් නිරතුරුව ඔහු අමතා ඇත්තේ ආචාර්ය බාලසිංහම් යනුවෙනි.   


පාත්පයින්ඩර් සංවිධානයේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා 2001 සාම සාකච්ඡා වටයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකි. මහාචාර්ය ජී.එල්. පීරිස්, මිලින්ද මොරගොඩ හා රවුෆ් හකීම් සෙසු සාමාජිකයෝ වූහ. බාලසිංහම්ගේ ආචාර්ය පට්ටම සම්බන්ධයෙන් සොල්හයිම් දැක්වූ ආකල්පය බර්නාඩ් ගුණතිලක මහතාගෙන් විමසුවෙමි. 

 

 

‘‘මෙහෙම ක්‍රියාවලියකදී චාරිත්‍රයක් හැටියට ඩොක්ට කියා අමතනවා. ​සොල්හයිම් මහත්තයා කතා කළෙත් ඒ අරුතින්. ඒත් බාලසිංහම් මා සමග කීවා මට ආචාර්ය පදවියක් නෑ කියා. මේක මුලින්ම කියා තිබෙන්නෙ එල්ටීටීඊ පාර්ශ්වයෙන්. ඒ අනුවයි නම භාවිතයට එන්න ඇත්තේ...’ බර්නාඩ් ගුණතිලක කියයි.   


තායිලන්ත සාම සාකච්ඡා මේසයේ දී යළිත් මේ ප්‍රශ්නය මතුවිය. දෙපාර්ශ්වයේ එකඟතා එකතු කර සකසන ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කළ යුත්තේ සම මට්ටමේ දෙදෙනෙකි. මහාචාර්ය ජී.එල්. පීරිස් එනමින් අත්සන් කරනවිට බාලසිංහම් ආචාර්ය නමින් සලකුණු කිරීමට සොල්හයිම්ට අවශ්‍ය විය. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එයට විරෝධය එල්ල විය. බාලසිංහම් කියා ඇත්තේ තමාට එවැනි තනතුරක් නැති බවයි. එහිදී දෙදෙනාටම තනතුරු නොමැතිව ඒකාබද්ධ ප්‍රකාශය සැකසීමට ශ්‍රී ලංකා සාම නියෝජිතයෙක් යෝජනා කළේය. අන්තිමට ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කෙරුණේ ජී.එල්. පීරිස්ගේ මහාචාර්ය පට්ටම නැතිවය.   


‘‘මම වසර ගණනාවක් ආචාර්ය පදවිය ගන්න මහන්සි වුණා. ඒත් විනාඩි දෙකෙන් ඒක නැතිවුණා...’’ මහාචාර්ය පීරිස් ඉන්පසු පවසා ඇත්තේ කනගාටුවෙනි.   


සාම සාකච්ඡාවලට නෝර්වේ වියදම් කළ මුදල් කා​ෙග්ද? මේ සමග මතුවෙන තවත් ප්‍රශ්නයකි. මගේ පැනයට බර්නාඩ් ගුණතිලක මහතාගේ පිළිතුර මෙබඳුය.   


‘‘නෝර්වේ මැදිහත්වීම ගැන විවිධ මත අදටත් ජනතාව අතර තිබෙනවා. ඒත් ඔවුන් සෙවුවේ එමගින් ලැබෙන කීර්තිය මිස ඛනිජ තෙල්වත් වෙනත් දෙයක්වත් නෙවෙයි. ඔවුන්ට වියදම් කිරීම මුදල් එරටින් ලැබී තිබුණා. සොල්හයිම් මහත්තයා කීර්තිය සෙවූ කෙනෙක්. ඔහු​ෙග් කුඩා පක්‍ෂයට මෙම ක්‍රියාවලියෙන් විශාල ශක්තියක් ලැබුණා. රට තුළ දෙමළ ඡන්ද ඔහුට එමගින් ලැබෙන්න ඇති’’ මේ නිසා එරටටද ජාත්‍යන්තරයේ කීර්තියක් ලැබුණා. යූ.එන්. එකෙන් ලොකු තැනක් මේ ප්‍රශ්නයේදී ලැබුණා. එහෙත් ඔවුන් මැදිහත්වූ රටවල තිබූ ව්‍යාකූල තත්ත්වය ගැන හරි වැටහීමක් ඔවුන්ට තිබුණ ද කියා මෙම දන්නේ නෑ...’’ බර්නාඩ් ගුණතිලක මහතා සඳහන් කරයි.   

 


දශකයකට පසු අදට ද ඒ ප්‍ර්‍රශ්නය ඉතිරිව තිබේ.   

 

 

 

 

 

 


ප්‍රේමකීර්ති රණතුංග