ස්මාර්ට් ෆෝන් භාවිතයේදී ඔබට මේ දැනුමත් අවශ්‍ය වේවි


නව ලොව

 

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය හිටි හැටියේ නිතර නිතර ඉබේම රීස්ටාර්ට් වෙන්නේ ඇයි? 


රැම් මතකය අඩු දුරකථනවලදී මෙම දෝෂය සාමාන්‍යය. මෙයට බලපාන ප්‍රධානම හේතුව දුරකතනයේ රැම් මතකය පමණට වඩා අධික ලෙස භාවිත කිරීමයි. විවිධ ඇප්වලින් දුරකතනයේ රැම් එක පරිහරණය කරන විට මෙහෙයුම් පද්ධතියේ කාර්යයට අවශ්‍ය මතකය මදි වෙයි. එවිට දුරකතනය රීස්ටාර්ට් වෙයි. එකවර ඇප්ස් ගණනාවක් විවෘතව තැබීම, අනවශ්‍ය ලෙස මතකය භාවිත වෙන ඇප්ස් ඉන්ස්ටෝල් කර තිබීම ආදිය නිසා මෙම තත්ත්වය උග්‍ර වෙයි. මේ නිසා අනවශ්‍ය ඇප්ස් ඇත්නම් ඒවා අන්ඉන්ස්ටෝල් කිරීම සුදුසුය. එමෙන්ම ක්ලීන් මාස්ටර් (Clean Master) වැනි ක්ලීනිං ඇප් එකක් භාවිත කර දුරකතනයේ අනවශ්‍ය ලෙස වැය වී තිබෙන මතකය නැවත ලබා ගන්නට පුළුවන. 


මොබයිල් ෆෝන් එකක ඇති දත්ත ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකට කොපි කරන්නේ කෙසේද? 


මේ සඳහා යූඑස්බී ඔන්ද ගෝ (USB On-The-Go) ලෙස හැඳින්වෙන කේබල් එකක් යොදා ගත යුතුය. එම කේබල් එකෙහි එක් පසෙක ඇත්තේ සාමාන්‍ය යූඑස්බී ටයිප් ඒ ආකාරයේ පෝට් එකකි. එයට සාමාන්‍ය ආකාරයට ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් සම්බන්ධ කරන්නට පුළුවන. එම කේබල් එකෙහි අනෙක් පස යූඑස්බී මයික්‍රෝ ටයිප් එකක ජැක් එකක් අන්තර්ගත වෙයි. එය දුරකතනයේ ඇති යූඑස්බී මයික්‍රෝ ටයිප් පොට් එකට සම්බන්ධ කර දුරකතනයේ ඇති දත්ත ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් වෙත පිටපත් කරන්නට පුළුවන. 


මෙහිදී ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක FAT 32 ආකාරයට ෆෝමැට් කර තිබෙන එකක් විය යුතුය. ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක මේ ආකාරයෙන් සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ ඇති ෆයිල් මැනේජර් (File Manager) එකෙන් හෝ ඊඑස් එක්ස්ප්ලෝරර් (ES Explorer) වැනි වෙනත් ෆයිල් මැනේජර් එකකින් හෝ ෆයිල් පිටපත් කරගන්නට පුළුවන. 


බිට් 32 සහ බිට් 64 සිම් කාඩ් අතර ඇති වෙනස්කම් මොනවාද? 


මෙහි ඇති ප්‍රධාන වෙනස සිම් කාඩ් එකෙහි ඇති මතක ධාරිතාවයි. සිම් කාඩ් එකක මතක ධාරිතාව වැඩිවීම වාසිදායකය. මතක ධාරිතාව වැඩි නම්, සිම් කාඩ් එක තුළ රැඳවිය හැකි දුරකතන අංක සහ SMS, MMS යනාදිය වැඩිය. අනෙක් අතට සිම් කාඩ් නිකුත් කරන සන්නිවේදන ආයතනවල විශේෂ සේවා රැගත් තොරතුරු ද අඩංගු කළ හැක්කේ වැඩි මතකයක් ඇති සිම්කාඩ්වලය. එනම් 64bit ධාරිතාවක් තිබෙන සිම්කාඩ් තුළය. බොහෝ ජංගම දුරකතන සිම්කාඩ් නිකුත් කරන ආයතන විසින් ඇතුළු කරන මෙනුව එවැන්නකි. 


ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් එකක් පරිගණකයක් සමග සම්බන්ධ කර අන්තර්ජාලයට පිවිසෙන්නේ කෙසේද? 


ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය ඇති ස්මාර්ට් ෆෝන් එකක් වයිෆයි හොට්ස්පොට් (Wi-Fi Hotspot) එකක් සේ භාවිත කිරීමට පුළුවන. එමඟින් එක් පරිගණකයකට පමණක් නොව පරිගණක කීපයකටම වුවද එකවර අන්තර්ජාල සම්බන්ධතාව ලබා දිය හැක. මේ සඳහා පරිගණකවලද වයිෆයි පහසුකම තිබිය යුතුය. පරිගණකයේ වයිෆයි පහසුකම නැත්නම් වයිෆයි ඩොංගල් එකක් ලැප්ටොප් පරිගණකයේ යූඑස්බී පෝට් එක හා සම්බන්ධ කර එයට වයිෆයි පහසුකම ලබා ගන්නට පුළුවන. ඉන්පසුව දුරකතනයෙන් සාමාන්‍ය අන්තර්ජාලය භාවිත කරන ආකාරයට Mobile Data යන්න සක්‍රිය කළ යුතුය. දැන් වයිෆයි හොට්ස්පොට් එක සක්‍රිය කිරීම සඳහා දුරකතනයේ Settings තුළ තිබෙන Wireless and Networks වැනි නමකින් පෙන්වන වයර්ලස් ජාලයකට සම්බන්ධ වෙන මෙනුව හරහා ගොස් උචිත සෙටිංග්ස් සකසාගත යුතුය. ඉන් පසුව පරිගණකයේ වයිෆයි පහසුකම සක්‍රිය කළ යුතුය. 


දැන් ටාස්ක් බාර් එකෙහි සිස්ටම් ට්‍රේ එක මත ඇති නෙට්වර්ක් කනෙක්ෂන් අයිකන් එක තෝරාගත් විට මෙම හොට්ස්පොට් එකෙහි නම පෙන්වනු ඇත. දැන් එය තෝරා සාමාන්‍ය ආකාරයට පාස්වර්ඩ් එක ලබාදුන් විට වයිෆයි හරහා දුරකතනයේ අන්තර්ජාල සම්බන්ධතාව පරිගණකයට ලබා ගැනීමට පුළුවන. 


වෙබ් පිටු වෙත පිවිසෙන විට අප කැමති වෙබ් පිටුවල පමණක් රූප නොපෙනෙන ආකාරයට සකස් කර ගත හැකි ක්‍රමයක් තිබේද? 


මේ සඳහා ගූගල් ක්‍රෝම් සඳහා සහාය දක්වන එක්ස්ටෙන්ෂන් එකක් භාවිත කළ යුතුය. ඉමේජ් ඔන්/ඕෆ් (Images On/off) යනු එවැනි එක්ස්ටෙන්ෂන් එකකි. මෙය ලබා ගනු පිණිස bit.ly/2mDczE6 යන කෙටි කළ වෙබ් ලිපිනය ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයේ සර්ච් බොක්ස් එකෙහි ලියා සර්ච් කළ විට යොමු කෙරෙන වෙබ් පිටුවට පිවිසිය යුතුය. එතැන සිට මෙම එක්ස්ටෙන්ෂන් එක ඩවුන්ලෝඩ් කර ඉන්ස්ටෝල් කර ගත යුතුය. එවිට වෙබ් බ්‍රව්සර් එකෙහි දකුණු පස ඊට අදාළ අයිකන් එකක් පෙන්වයි. දැන් රූප පෙනිය යුතු නැති වෙබ් අඩවියට පිවිසෙන විට මෙම බට්න් එක මත වරක් ක්ලික් කළ යුතුය. එවිට එම වෙබ් අඩවියේ ඇති රූප පෙන්වන්නේ නැත. 


සටහන : පැතුම් වීරසිංහ