සසර ගමනේ අනාථ නොවෙමු


ධර්ම ගවේෂි

 

දීර්ඝ සසර ගමනින් එතෙරවන්න යාත්‍රාවක්

‘‘අනමතග්ගෝයං භික්ඛවේ   
සංසාරෝ, පුබ්බා කෝටි න   
පඤ්ඤායති අවිජ්ජා නීවරණානං   
සත්තානං තණ්හා සංයෝජනානං   
සන්ධාවතං සංසරණං’’

(තිණකට්ඨ සූත්‍ර දේශනාව) 

  

අතිශය දීර්ඝ සසර ගමනක ඈත අතීතයේ සිට අපි සැවොම ඒ මේ අත සරණක් රහිතව සැරිසරන්නෙමු. මේ බව ජිනවචනයෙහි මෙසේ දේශනා කොට ඇත.   
‘‘මහණෙනි, අවිද්‍යාවෙන් වැසී ගිය තණ්හාවෙන් බැඳී ගමන් කරන්නා වු සත්ත්වයින්ගේ සසරෙහි පූර්ව කෙළවර ආරම්භය නොපෙනෙන්නේය. යමෙක් මේ දඹදිව පුරාම ඇති තෘණ වර්ග ලී කැබලි ආදී සියල්ලම එක් ස්ථානයකට රැස් කොට අඟල් සතරක පමණ කෑලිවලට කපා ඒ එක් එක් කැබැල්ලක් ගානේ මේ මගේ මවය, මේ මාගේ මවගේ මවය.. යනාදී වශයෙන් වෙන්කර තබන්නේ ද මහණෙනි, එක් මිනිසෙකුගේ මවුවරු සංඛාවෙහි අවසානයක් නොපෙනෙයි. නමුත් මේ දඹදිව තෘණ වර්ග ලී කැබලි ආදී සියල්ල වහා අවසන් වන්නේය’’ යනුවෙන් සංයුක්ත නිකායේ අනමතග්ග සංයුක්තයේ එන තිණකට්ඨ සූත්‍ර දේශනාවෙන් දේශනා කොට ඇත.   


මේ ප්‍රකාශය ඇසූ විට ඔබට පැමිණි සංසාරික ගමන මේ තරම් දීර්ඝ අතිශය දීර්ඝ එකක් දැයි සිතෙනු ඇත. සසර ගමන පිළිබඳව කවර හෝ ප්‍රමාණයක අවබෝධයක් නොමැති පෘථග්ජනයෙකු හෝ ශ්‍රද්ධා විරහිතයෙකු මේ ගැන විමතිය දනවන බවක් වෙතත් ආර්ය්‍ය ධර්මය පිළිබඳව දන්නා ආර්ය්‍ය ධර්මයෙහි සංවර වූ ආර්යයන් වහන්සේලාගේ අවබෝධය පිළිබඳව යම් පමණකට දන්නා ආර්ය්‍ය ශ්‍රාවකයෙකු හෝ ලෝක ධර්මතාවයන්ගේ ස්වභාවය පිළිබඳ අනුලෝම ඥ‌ානයකින් සමන්විත වූවෙකු හැර අනෙකෙකු මේ කාරණයෙහි සත්‍යතාව නොදකින්නේය.   


එසේම භාග්‍යවතුන් වහන්සේ විසින් තවදුරටත් මේ සසර ගමනේ අතිශය දීර්ඝ බව පෙන්වාදීම සඳහා උදාහරණ රාශියක් දේශනා කර ඇත.   
මහණෙනි, යම් මිනිසෙක් යොදුන් දෙලක්ෂ හතළිස් දහසක් හෙවත් සැතපුම් තිස් අට ලක්ෂ හතළිස් දහසක් ඝනකම් මේ මහා පොළොව කුඩා ඩෙබර ඇට ප්‍රමාණයට ගුලි කොට මේ මාගේ පියාය මේ මාගේ පියාගේ පියාය..’ යැයි කියමින් යම් ස්ථානයක තබන්නේ ද මහණෙනි, ඒත් මිනිසෙකුගේ පියවරු සංඛ්‍යාවෙහි අවසානයක් නොපෙනෙයි. නමුත් මේ මහා පොළොවෙහි පස් වහා අවසන් වන්නේය.   
එසේම පැමිණි දීර්ඝ සසරෙහි යම් එක් මිනිසෙක් අනේක වාරයන් හිදී තිරිසන්ව ඉපදීමෙන් එම සත්ත්වයාගේ ගෙල කපා දැමීමෙන් ගලාගිය රුධිරයේ එකතුව සතර මහා සාගරයෙහි ජලස්කන්ධයට වඩා අධික වන්නේය. සතර මහා සාගරයෙහි ජලස්කන්ධය අල්ප වන්නේය.’’   
බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද මෙම දේශනාව අසන ඔබට මේ කරුණ අරභයා විමතියක් ඇතිවිය හැක. නමුත් පැමිණි සසර ගමනෙහි අතිශය දීර්ඝ බව පිළිබඳව යථාවබෝධයක් ඇත්තෙකු සාධු නාද පවත්වමින් මේ දේශනාව අනුමත කරන්නේය. මේ සා දීර්ඝ සසරෙහි පැමිණෙන අප අනුපිළිවෙළින් අතොරක් රහිතව ඒකාකාරීව මිනිසත් ලොවට නූපන්නෝය.   


විචිත්‍රවත් වූ තිරිසන් ලොවෙහි විවිධ ආකාරයෙන් යුතු තිරිසන්ගත සත්ත්වයින් අතර මිනිසාගේ මාංශමය පරිභෝජනය සඳහා භාවිතා කරනු ලබන ගව සූකරාදී සත්ත්වයෙකුව ඉපිද ගෙල කපා දැමූ වාර ගණන අනන්ත අප්‍රමාණ වන්නේය. තිරිසත් ආත්ම භාවයකට නොපැමිණ කල්පයක් ආයුෂ ඇති අවිචිය ආදී අටමහා නිරයන්හිත් ඔසුපත් නිරයන්හිත් පුන පුනා වැටි වැටී ලද උත්පත්ති සංඛ්‍යාවම ගණනය කළ නොහැක්කේය. දීර්ඝ ආයුෂත් ඇති අසුර ලෝකයෙහි ප්‍රේත ලෝකයන්හි සැරිසරමින් තියුණු වූත් කටුක වූත් දුක් වේදනා වින්දනය කළ අවස්ථා මෙන්ම එසේ දුක් විඳි කාල පරාසයත් කිව නොහැකි තරම් වෙති. භූමට්ටක හෝ ආකාසට්ඨක හෝ දේවී දේවතාවෝම සැප වින්දනය කොට දෙව් ලොවින් දෙව් ලොවට ඉහළ පහළ ගමන්ගත් වාර ගණන ගණනය කළ නොහැකි තරම්ය. ධ්‍යාන උපදවා මහා කල්ප ගණනින් බඹ ලොව ධ්‍යාන ක්‍රීඩාවෙහි යෙදී කටයුතු කළ වාර ගණනම අනන්ත වේ.   
මෙසේ ලී කැබැල්ලක් ආකාසයට විසිකළ විට ඒ මේ අත පොළොවට වැටෙන ආකාරය අවිනිශ්චිත වන්නාක් සේම සුගති දුගතිගාමී වශයෙන් උත්පත්තිය ලබමින් පැමිණෙන මේ සසරෙහි ගොන්ව, මී ගොන්ව, එළුව, බැටළුව උත්පත්තිය ලැබීම කොතරම් දුර්ලභ වන්නේදැයි මෙන්ම කොතරම් කාල සීමාවකින් පසුව සිදුවන්නේ දැයි තම තමන්ගේ නුවණින් සිතා බැලීම වටී.   


එවැනි සසර ගමනක මිනිසත්ව උපත ලැබුවත් ගම්පහරණ මංපහරණ සොරෙකුව උපත ලබන බව කොතරම් දුර්ලභ වන්නේදැයි බැලිය යුතුය. මිනිසත්ව උපත ලබන සෑම අයෙකුම ගම්පහරණ මංපහරණ සොරුන්ව නූපදිති. මිනිසුන් අතරින් අල්පමාත්‍ර ප්‍රමාණයක් පමණක් ඉතා කලාතුරකින් එවැනි උත්පත්තීන් ලබති.   
ඔවුහු ද වරදකරුවන් වී ගෙල සිඳලන අවස්ථා වඩාත් දුර්ලබ වෙති. එවැනි අවස්ථාවක ගෙල සිඳලෑමෙන් ගලායන රුධිරයේ ප්‍රමාණය බොහෝ නොවේ. අල්ප වූ රුධිර ප්‍රමාණයක් පමණක් ගලා යයි. එය සතරමහා සාගරයෙන් අල්ප වූ ප්‍රමාණයකටවත් සැසඳිය නොහැක. ආත්මභාව සිය දහසක් පමණ කාලයක ගෙළ සිඳ දැමුව ද තරමක භාජනයක් පිරෙන තරම්වත් රුධිරය එක් රැස් නොවේ. එසේ නම් සතර මහා සාගරයෙහි ජලස්කන්ධයට සමාන ලෙස හෝ එයට වඩා වැඩිතර ප්‍රමාණයක් රුධිරය රැස් වන්නේ නම් එය පරම දුර්ලභ කරුණක්ම වන්නේය.   


ගෙල සිඳ දැමීමෙන් ගලායන රුධිරය ප්‍රමාණයෙන් සුළු වුවත් ගෙල සිඳ දැමූ ආත්මභාවයන්ගේ ප්‍රමාණය ප්‍රමාණාත්මක කළ නොහැකි බැවින් ටික ටික නමුත් රැස්වූ රුධිරයේ එකතුවම සතර මහා සාගරයේ ජලස්කන්ධයට වඩා අධික වන්නේය. මහා ගංගා ආරම්භ වන ස්ථානයන් පිළිබඳව සලකා බැලුවහොත් එහි ආරම්භය ඉතා කුඩා දිය පහරකි. එම දිය පහර ඔස්සේ එක්රැස් වන ජලය දිගින් දිගටම පැමිණෙමින් විශාල වෙමින් පැමිණෙන ගංගාවෝ මහා ගංගාවන් ලෙස මහ මුහුදට ගමන් කරති.

   
ඒ ආකාරයෙන්ම මංපහරණ ගම්පහරණ සොරුන්ව උපත ලද උත්පත්ති ප්‍රමාණයේ අසීමාන්තික බව නිසා රැස්වූ රුධිරය සතර මහා සාගරයෙහි ජලස්කන්ධයට වඩා අධික බව සාධාරණ කරුණක් වේ.

   
එවැනි දුක් සහගත සසර ගමනක ප්‍රඥාවෙන් යුක්තව දාන ශීලාදී ගුණධර්ම ආරක්ෂා කරන්නෝව උත්පත්තිය ලැබ යම් පමණකට හෝ නින්දා කළ යුතු සසර ගමනේ යම් අවකාශයක් ලැබිය හැක්කේ නම් එය මහත් අස්වැසිල්ලක් වනු ඇත. අතීත ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා රහත් මහ රහත් උතුමන් වහන්සේලා අබුද්ධෝත්පාද කාලයෙහි පසේ බදුරජාණන් වහන්සේලා අැසුරු කිරීමෙන් උන්වහන්සේලාගේ අවවාදනුශාසනා ගරු තනතුරෙහි ගුරු තනතුරෙහි තබාගෙන විවිධ පුණ්‍යක්‍රියාවන්හි යෙදීමෙන් අනතුරුව තබන ලද යහපත් ප්‍රාර්ථනාවන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් වර්තමාන සාංසාරික ප්‍රවෘත්තිය තුළ මනුෂ්‍ය උත්පත්තියක් ලැබුවෝ වෙමු.   


වර්තමාන මනුෂ්‍ය සම්පත්තිය ලබා ගැනීමට පෙර අප කුමන ස්ථානයක කවර ස්වරූපයෙන් කිනම් ආකාරයේ කුසලාකුසල කර්මයන් රැස් කළෝදැයි නොදනිමු. මේ සංසාර ගමන තුළ ඔබත් මමත් අධික ලෙස රැස් කළේ අකුසල පාර්ශ්විත ධර්මයෝමය. දවසකට පැයක් පමණ කාලයක් ධර්ම මාර්ගයේ ධර්මානුකූල කටයුත්තක යෙදුනා යැයි සිතමු.   


පැයක් ධර්මය ශ්‍රවණය කළ ඔබ දවසෙහි ඉතිරි පැය විසිතුනක කාලයක්ම අධර්ම මාර්ගයේ අධර්මානුකූල කටයුතුවලම යෙදී වාසය කළෝ වෙමු. සසරේ ස්වභාවය පිළිබඳව යම් අවබෝධයක් ඇති අයෙකුට පැය විසිතුනක කාල පරාසයක් අධර්මය තුළ කටයුතු කරමින් ප්‍රමාදී වූ අප පැයක කාලයක් කුසල මාර්ගයක ධර්ම මාර්ගයක යෙදීමෙන් තෘප්තිමත් වන්නේ නම් එයම පෘථග්ජන සත්ත්වයාගේ අන්ධබාල බව මිස වෙන කුමක් වේද?   
සසර දුකෙන් මිදීමේ බලාපොරොත්තුවෙන්ම කටයුතු කරන්නෙකු හට එම වීර්යය ප්‍රමාණවත් වේදැයි පරිස්සමින් කල්පනා කොට බැලිය යුතුමය.   
නිවන් සම්පත් තබා මේ ඝෝර සසරෙහි සුගති සම්පත් ලැබීමට පවා මහා වෙහෙසක් ගැනීමෙන්ම සම්පූර්ණකර ගත යුතු කරුණකි. මේ දුර්ලභ බව භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ උපමා කොට දක්වා තිබේ. සංයුක්ත නිකායේ මහා වර්ගයේ සච්ච සංයුක්තයේ පංච ගතිපෙය්‍යාල වර්ගයේ එන මනුස්සචුති සූත්‍ර දේශනාදී සූත්‍ර ගණනාවකින් මේ බව දේශනා කොට ඇත. 

 
දිනක් භාග්‍යවතුන් වහන්සේ නවක භික්ෂුන් වහන්සේලා පිරිසක් සමීපයෙහි සිට තමන් වහන්සේගේ ශ්‍රී සුගත හස්ත ධාතුවෙහි මහපටැඟිල්ලේ නියසිළ මතට (නිය පොත්තෙහි කපා දමන කොටස මතට) මහා පොළොවෙන් පස් බිඳක් ගෙන නවක භික්ෂුන් වහන්සේලාට පෙන්වා මහණෙනි කුමක් සිතන්නාහුද? මා විසින් නියසිළ මතට ගන්නා ලද මේ ස්වල්ප වූ පස් ප්‍රමාණයත් මහා පොළොවත් යන මේ දෙකෙන් කුමක් නම් අතිශයින් බොහෝ වන්නේ ද? යැයි ඇසූ සේක.   
එවිට එම නවක භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිඋත්තර දෙමින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ මහා පෘථිවියෙහි යම් පාංශු ස්කන්ධයක් වන්නීද එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රී සුගත හස්ත ධාතුවේ මහපටැගිල්ලේ නිය සිළ මතට ගන්නා ලද මේ පස් ප්‍රමාණයම ඉතා ස්වල්ප වන්නේය.   


භාග්‍යවතුන් වහන්සේ විසින් තමන් වහන්සේගේ නියසිළ මතට ගන්නා ලද පස් ස්වල්පය මහා පෘථිවිය හා සමග සංසන්ධනය කරනුයේ අල්පමාත්‍ර සංඛ්‍යාවකට ද ගිණිය නොහැක්කේය. උපමාවෙන් ද උපමා කොට දැක්විය නොහැක්කේය. සොලොස් කලාවෙන් කලාවකට ද නොපැමිණෙන්නේය යැයි කීහ.   
එවිට භාග්‍යවතුන් වහන්සේ එයම උපමා කොට මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් වර්තමානයේ මනුෂ්‍ය උපතක් ලබා සිටින්නේ ද එ​සේ සිට මනුෂ්‍ය ආත්මභාවයෙන් චුතව නැවතත් අනතුරු භවයෙහිම මනුෂ්‍ය ලොවම උපතක් ලබන්නේ නම් එවැනි සත්ත්වයෝම ඉතා අල්ප වෙති.   
යම් මනුෂ්‍ය සත්ත්වයෝ ප්‍රමාණයක් මනුෂ්‍ය ලෝකයෙන් චුතව නැවත මනුෂ්‍ය ආත්ම භවයක් නොලැබ අනතුරු භවයෙහිම නිරයෙහි (අටමහා නිරය හා ඔසුපත් නිරයන් 128 හි) උපදින්නේ නම් එවැනි සත්ත්වයෝම අතිශයින් බොහෝ වෙති. මහණෙනි, මේ කරුණ අරභයා යම් හේතුවක් යම් ප්‍රත්‍යයක් වන්නේ නම් ඔවුහුගේ දුඃඛ සමුදය නිරෝධ මාර්ග යන ආර්යය සත්‍යයන් පිළිබඳ අනවබෝධයයි වදාළ සේක.   


(මනුෂ්‍යයාති සූත්‍ර දේශනාව)   


මේ ආකාරයෙන්ම යම් සත්ත්වයෝ මිනිස් ලොවින් චුතව නැවත අනතුරු භවයෙහිම මනුෂ්‍ය ලොවම උපතක් ලබන්නේ නම් එවැනි සත්ත්වයෝම ඉතා අල්ප වෙති. යම් මනුෂ්‍ය සත්ත්වයෝ ප්‍රමාණයක් මනුෂ්‍ය ලෝකයෙන් චුතව නැවත මනුෂ්‍ය ආත්මභාවයක් නොලැබ අනතුරු භවයෙහිම තිරිසන් යෝනියෙහි උපදිත් ද, ප්‍රේත ලෝකයෙහි උපදිත් ද අසුර නිකායෙහි උපදිත් ද එවැනි සත්ත්වයෝම අතිශයින් බොහෝ වෙති.   


එසේම යම් මනුෂ්‍ය සත්ත්වයෝ ප්‍රමාණයක් මනුෂ්‍ය ලෝකයෙන් චුතව නැවත මනුෂ්‍ය ආත්මභාවයක් නොලැබ අනතුරු භවයෙහිම දෙවියන් අතර උපදී ද එවැනි සත්ත්වයෝම ඉතා ස්වල්ප වෙති. දෙව් ලොවින් චුතව නැවතත් දෙව්ලොවම උපදී ද එවැනි සත්ත්වයෝ ඉතා ස්වල්ප වෙති. දෙව් ලොවින් චුතව අනතුරු භවයෙහි නිරයෙහි උපදින සත්ත්වයෝම අතිශය බොහෝ වෙති.   


මේ සසරගත සත්ත්වයෝ තම තමන්ගේ ජීවිතයෙහි පංචනාමගුණික අරමුණු සොයමින්ම තමන් උත්සාහයෙන් ලබාගත් මනුෂ්‍ය ජීවිතය ප්‍රතිඵල රහිත තත්ත්වයකට පත්කර ගැනීමට වඩා, වඩාත් අර්ථාන්විත ජීවිතයක් බවට පත්කර ගැනීමට ධර්මානුකූල ජීවිතයක් බවට පත්කර ගැනීමට ධර්මයෙන් පිළිසරණක් ලැබූ ජීවිතයක් බවට පත්කර ගැනීමට උත්සාහවත් වන්නෝ අල්පමාත්‍ර වෙති. අනන්ත සංඛ්‍යාත සත්ත්වයෝ ප්‍රමාණයක් නිරන්තරයෙන්ම ලෝකස්වාදයෙහිම ඇලී ගැලී වාසය කරති.   


ජීවිතයන් සාංසාරික ගමනත් සාර්ථක කිරීමට සමත් පුණ්‍ය ප්‍රවාහයන්ගේ අත්‍යවශ්‍ය බවක් නොදැක අන්ධයන් සේ ඒ මේ අත සැරිසරමින් යම් යම් කටයුතුවලම යෙදෙමින් අන්ධකාරයෙන් අන්ධකාරයටම ගමන් කරති. ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි සංවර වෙමින් පිළිසරණක් ඇත්තෝව වෙනත් ආත්මභාවයකට යා යුතු යැයි නොසිතති. නිවන් නොපතති.   


බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්නා වූ බෞද්ධයන්ට පවා බුද්ධානුශාසනාවට අනුරූප පරිද්දෙන්ම සසරෙහි භයානක ස්වභාවය කොතරම් දුරකට වැටහී ඇත්තේදැයි විශේෂයෙන් සලකා බැලිය යුතුය. චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව නොදන්නා අනාර්ය ශ්‍රාවකයා සසර ගමනෙහි මුළාවට පත්වීම අරුමයක් නොවූවත් ආර්ය ශ්‍රාවකයා නැවත නැවත මුළාවට පත් නොවී මාරයාගේ මාරපාෂයෙන් ගැළවී යෑමට වඩාත් වෙර වීර්ය දැරිය යුතුය.   
දෙමාපියන් වැඩිහිටියන් වශයෙන් අප දූ දරුවන්ගේ මෙලොව ජීවිතය සාර්ථක කිරීම සඳහා දිවා රාත්‍රී නොතකා උත්සාහවත් වෙමු. නමුත් එම උත්සාහය බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට කොතරම් අනුකූල පරිද්දෙන් සිදුවනවා දැයි ඔබ සිතා බැලුවාද? අධික තරගකාරීත්වය ඔවුනොවුන් පරදා නැගී සිටීමේ අධික ආශාව, ක්‍රෝධය, වෛරය කුහක පිළිවෙත් දැඩි ආත්මාර්ථකාමීත්වය ආදී ළමා මනස සැනින් විනාශ කර දමන අධර්මවාදී පිළිවෙත් හා සිතුවිලි ළමා ලෝකය තුළ වඩාත් වේගයෙන් පැතිර යමින් පවතී.

   
මේ අගුණ දුර්වලතා බොහෝමයක් වැඩිහිටියන්ගේ යම් යම් අදූර්දර්ශී කටයුතුවල අනිසි ප්‍රතිපලයක් වශයෙන් ඉස්මතුව ඇත. ළමා මනස තුළ වර්ධනය විය යුතු දයාව අනුකම්පාව පරාර්ථකාමීත්වය දුකේ දී පිහිටවන බව සමගිය එක්සත්ව එක්සිත්ව අන්‍යොන්‍ය සුහදතාවයෙන් යුක්තව එකා මෙන් නැගී සිටින බව අන්‍යයන්ගේ දියුණුව දැක සතුටු වන බව තමාගේ විර්ය්‍යයෙන් ජීවිතය ජය ගැනීම ආදී කටයුතු මෙන්ම භෞතික හා අධ්‍යාත්මික පෝෂණය ආදිය අරුත් සුන් වවන බවට පත්ව ඇත්තේ වැඩිහිටි සමාජයෙන් සපයන වැරදි ආදර්ශ හේතුවෙන් බව කිව යුතුය.

   
වර්තමාන කුටුම්භ පරිසරය තුළ දිනකට ආධ්‍යාත්මික ගුණ දහම් වර්ධනය කිරීම සඳහා අවම කාල සීමාවක්වත් වෙන්කර ගැනීමට අප අසමත්ව සිටින්නෙමු. එසේ අසමත් වූ අප සාංසාරික සුභසිද්ධිය තබා මේ ජීවිතයේ ලැබිය යුතු ගුණ වගාවක් පිළිබඳව පවා සිතා බැලීම උපහාසාත්මක කරුණකි. දූ දරුවන්ගේ මෙලොව සුබසිද්ධිය අධ්‍යාපනය හෝ උසස් රැකියාවක් හෝ උසස් මට්ටමේ ගෙයක් දොරක් තනදීම හෝ උසස් පවුලකින් විවාහයක් පමණක් යැයි සිතා කටයුතු කළ බොහෝමයක් දෙමාපියන්ට වර්තමානය වන විට යම් තැනක වැරදී ඇති බව පසක්වන විට සිදුවිය යුතු සියලු විනාශයන් සිදුවී හමාරය.   
ඔවුන්ගේ දරුවෝද තම තමන්ගේ දෙමාපියන් දිව ගිය මාවත් ඔස්සේම ඔවුනටත් වඩා වේගයෙන් දිව ගොස් අන්ත අසරණ තත්ත්වයකට පත්වී සිටිති   
අතිශය දුෂ්කරතා මාධ්‍යයේ ​බොහෝ වෙහෙසක් දරා ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ අර්ථය නොදැන උමතු වූවන් සේ කටයුතු කිරීම නිසාත් ධර්මයෙන් දුරස්ව කටයුතු කිරීම නිසාත් වර්තමාන සමාජයට ආර්ථය අනර්ථය පවා වෙන්කර හඳුනාගත නොහැකි තත්ත්වයකට පත්වී සිටිති. දුරාචාරය, දූෂණය, අපරාධ, සොරකම ආදී කටයුතු ඉතා වේගයෙන් සමාජය තුළ සාධාරණීකරණය වෙමින් පවතී.   


සාධාරණව ධාර්මිකව ජීවිතය ගත කිරීමට උත්සාහවත් වන්නන් හට ජීවත්විය නොහැකි තත්ත්වයට සමාජීය සම්මතයන් වෙනස් කරමින් පවතී. අද අද සිදුකරන්නාවූ අයහපත් කටයුතුවලින් ලැබෙන අයහපත් ප්‍රතිවිපාකයන්ගේ අනිසි ප්‍රතිඵල මේ ජීවිතය මෙන්ම ඉදිරි ජීවිත පවා අඳුරට හෙළන වේගය පිළිබඳව අවබෝධයක් සේම දැන ගැනීමේ අවශ්‍යතාවයක් නැත්තෝව කටයුතු කරන්නෝ වීමු.   


සුළු අරමුණක් හේතුවෙන් අද සිදු කරනු ලබන ප්‍රාණඝාතයෙන් සසර ආත්මභාව සිය දහස් ගණනක් අල්පායුෂ්කව මෙන්ම ඒ ආකාරයෙන්ම තමන්ගේ ජීවිතය විනාශවන බව නොසිතනා සේය.  


මතුසම්බන්ධයි.

 

ඇරැව්වල සුධම්ම හිමි විසිනි