සල්ලිබාගෙ ඇති පුතුන් සිවුදෙනෙක් හැදූ අම්මාත් මහපාරේ...


මහලු මඩමේ තනිවුණු අෑ අපේ අම්මාය

 

මවුපියන් හා දරුවන් අතර ඇත්තේ නීති රීතිවලට යටත් වූ බැඳීමක් නොවේ. එය නීති රීති මතින් කඩදාසි කොළ මත ලියූ බැඳීමකින් ඔබ්බට ගිය එකකි. කොටින්ම කොන්දේසි විරහිත වූවකි. දරුවන්ගේ ආදරය කෙසේ වෙතත් අම්මලාගේ ආදරය බොහෝ විට අව්‍යාජ වූ අවිහිංසක වූවකි. බිරිඳක්, සැමියෙක් ලෙස දෙපළක් එකතු වෙන්නේ තම තමන්ගේ නෑදෑ ඥාති පාර්ශ්වය ඉදිරියේ පොරොන්දු පත්‍රවලට අත්සන් තැබීමෙනි. ඇතැම් අය විවාහ වී දවස් කීපයකින් මාසෙන්, දෙකෙන්, අවුරුදු කීපයකින් මේ පොරොන්දු පත්‍රය කඩ කොට උසාවි ගොස් ඔවුන් වෙන්ව යති. ඊට පසු ඔවුනොවුන්ගේ සම්බන්ධකමක් නැත. සමහරු නැවත විවාහ ගිවිස තවත් කවුරුන් හා නීතියෙන් බැඳෙති.   


මේ අරුම පුදුම මාරු කිරීම් දරුවන්ට - මවුපියන්ට කළ නොහැකි ය. එය සමස්ත ජීවිත කාලයට පොදු වූ සදාතනික බැඳීමකි. මට මේ අම්මා එපා, තව අම්මා කෙනෙක් ඕනෑයි මාරු කළ නොහැකි මේ බැඳීම රැකීම ද හරියට නොවන අවස්ථා එමට තිබේ. ඒ සමහර අම්මලා තම තමන්ගේ ගෙවල්වලට වී මානසිකව විඳවති. තවත් පිරිසක් වැඩිහිටි නිවාසවලට වී විඳවති.   


ඉල්ලා සිටිය නොහැකි, දරුවන්ගේ සෙනෙහස නොලබන, තවත් කතාවක් අද කියවමු. 

 
කරුණාවතී අම්මා ඉන්නේ කොට්ටාවට නුදුරු මාපිය උපහාර මන්දිර වැඩිහිටි නිවාසයේ ය. ඇයත් දරුවන් පස් දෙනෙක් මෙලොවට දායාද කළ සෙනෙහෙබර අම්මා කෙනෙකි. අම්මා කොයිතරම් දයාබර වුණත්, කරුණාවන්ත වුණත් දරුවන්ගේ දයාබරත්වය ඇගේ ජීවිත කතාව තුළින් අපූරුවට විද්‍යාමාන කර තිබේ. මම කරුණා අම්මා ළඟට යොමු වී ඇගේ කතාව විමසමි. කරුණාවතී අම්මාට දැන් වයස අවුරුදු 78 කි. පේළියට සැකසූ ඇඳන් අතරේ මැද්දේ ඇඳ කරුණාවතී අම්මාගේ මේ ජීවිතයේ වර්තමාන නවාතැනයි. ඉඩකඩම් යහමින් තිබුණු ඇයට දැන් ඒ කිසිවක් නැත. කරුණා අම්මා තමන්ගේ ජීවිත සැරිය නිමා කිරීමට සූදානමින් ඉන්නේ තමන්ටවත් අයිති නැති පූජා කළ ඇඳක, මේ වගේම තනි වූ අම්මලා පිරිසක් අතරේ සිටය. 

 
“මේ ගොඩක් අම්මලා එයාලගෙ කතාව අපි එක්ක කියනවා. අපි අපේ ජීවිත කතාව කතා කරනවා. ගුණ යහපත් නැති දරුවෝ අම්මලාට මෙහෙම කරනවා නම්, ඔවුන් සමාජයට කොයිතරම් වැරදි කරනවා ඇතිද කියලත් වේලාවකට හිතෙනවා. මේ සමහර අම්මලා මෙහෙට එන්න කාලෙකට කලින් යහමින් ආදායම් ලබපු, ගෙවල් දොරවල්, ඉඩ කඩම් තිබුණු අයයි. මටත් තිබුණා හෝමාගම පැත්තෙ හොඳ ගෙයක්. අපි ඒ ගේ හදන්න ගොඩක් මහන්සි වුණා. ජීවිත කාලෙ වැඩි හරියක් කළේ ගේ හදන්න වෙච්ච ණය ගෙව්ව එක. ගේ හදන්න වෙච්ච මහන්සිය, අද ඒවා දරුවො බුක්ති විඳිනවා. මම අනුන් පිනට දීලා ගිය ඇඳක අතීතය හිතමින් ඉන්නවා.”   
මේ කතාව අනුව ඔබ අප කාටත් මේ ධර්මතාව කෙසේ විසඳේදැ’යි කිව නොහැක. අද කවරක් තිබුණත් හෙට ඒ කිසිත් නැතිව අසරණයකු වීමට වුණොත් එය ඇත්තටම අභියෝගයකි. එයට මුහුණ දීම බොහෝ දුෂ්කර වෙන්නකි. මා යළිත් කරුණාවතී අම්මා දෙසට යොමු වෙමි.   


“පුතේ... මට ඉන්නවා හොඳට උස මහත පුතාල හතර දෙනෙක්. ඒ අය හොඳට ජීවත් වෙනවා. කිසිම අගහිඟයක් නෑ. මට නම් ඉතින් ඒකත් ඇති. අපි දරුවෝ හැදුවා. දරුවන්ට ඉගැන්නුවා. විවාහ කළා. ඒ අය දරුවෝ හදාගෙන රැකියා කරන් සතුටින් ඉන්නවා.   


අපේ හෝමාගම ගෙදර දෙමහල් ගෙයක්. මමයි මහත්තයායි හිතාගෙන හිටියේ ගෙදර උඩුමහළ එක දරුවෙකුටයි, යට මහල දුවටයි දෙන්න. මෙහෙම ඉන්න අතරෙදි මහත්තයා නැති වුණා. එතකොට දරුවො රස්සා කරන වයස.   


මගේ එක පුතෙක් සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරනවා. තව පුතාලා දෙන්නෙක් බිස්නස් කරනවා. ඒ තුන් දෙනාටම සරුයි. අනික් පුතා රැකියාවක් කරනවා. ඒ අය පුළු පුළුවන් විදියට ඉඩම් අරගෙන ගෙවල් හදා ගත්තා. රැකියාව කරන පුතා විවාහ වුණ කෙනාගෙ ගෙදර නතර වුණා.   
අපේ පවුලේ බාලයා දුව. අන්තිමට හෝමාගම ගෙදර ඉතිරි වුණේ මායි, බාල දුවයි විතරයි. එයත් උසස් පෙළ කරල ඉවර වෙලා පුද්ගලික අංශයේ තැනක ලිපිකරු රැකියාවක් කළා. මේ අතරේ, දුව කෙනෙක් සමඟ ආදර සම්බන්ධෙක පැටලුනා. මේක මුලින් අපට ආදර සම්බන්ධයක් විදියට කිව්වේ නෑ. දුවගේ ඔෆිස් එකේ වැඩ කරන අවිස්සාවේල්ල පැත්තෙ අයියා කෙනෙක් කියලයි කීවේ. එයා වැඩට යද්දි, දුව ගේ ළඟට ඇවිත් බයිසිකලේ නග්ගාගෙන යනවා. හවසටත් ගේ ළඟින් බස්සලා යනවා. හැමදාම රෑට දුව එයාට කොල් එකක් එහෙමත් ගන්නවා.   


දුව හැමදාම මේ දරුවා එක්ක යන නිසා මේ කතාව මම අපේ ලොකු පුතාට කිව්වා.   
“පුතේ... නංගි එක්ක යන්න... එක්ක එන්න බයිසිකලේක ළමයෙක් එනවා. නංගි එයාට කෝල් එහෙමත් කරනවා. පොඩ්ඩක් හොයලා බැලුවොත් නරකද ?”   
එහෙම කිවුවාම..   


“හොඳයි අම්මෙ” කියලා පුතා දුරකතනය තිබ්බා. කොහොම හරි මේක ආදර සම්බන්ධයක් බව නම් මට තේරුණා.   
දවසක් දුව නැති අතරේ දවාලක අපේ ලොකු පුතා ගෙදර ආවා.   


“අම්මේ.. නංගිට අර මිනිහා එක්ක එහෙ මෙහෙ යන්ට එපා කියන්න. මම ඌ ගැන හෙවුවා. මට හරියටම තොරතුරු ආවේ ඊයෙ. ඌ දෙන්නෙක්ව බැඳපු මිනිහෙක්. පළවෙනි ගෑනිට ළමයි නෑ. දැන් ඉන්නෙ දෙවෙනි ගෑනි එක්ක. එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා. මෙහෙ ඌ නෑදෑ ගෙදරක ඉඳන් වැඩට එන්නෙ. උගේ පවුල ඉන්නෙ අසවල් දිසාවේ...” කිව්වා.   
ඒක ඇහුවම මම ගොඩක් බය වුණා. අනේ පුතේ.. උඹත් මේක නංගිට කියපන් කියලා මම කිව්වා...   
“මම රෑට නංගිට කෝල් කරන්නම්..” කියලා ලොකු පුතා ගියා...   


“මේ මොකක්ද වෙන්න යන්නෙ..” කියලා එදා දවසම මම කල්පනා කළා. දුව රෑ බෝවීගෙන එද්දී ගෙදරට ආවා. අර ළමයත් එක්ක.   
එදා රෑ“දුවේ උඹ අර ළමයා එක්ක යන එක හොඳ මදි. එයා ගෑනු දෙන්නෙක් බැඳපු කෙනෙක්. ළමයි දෙන්නෙකුත් ඉන්නවා..” කියලා මම කීවා.   
එහෙම අහපු ගමන් දුවට කේන්ති ගියා. “අම්මා කොහොමද ඕවා දන්නෙ. එයා බඳින්න කෙනෙක් හොයනවා” කිව්වා.   
එදා රෑ ලොකු පුතා දුවට කතා කරලා ඔක්කොම විස්තරේ කිවුවා. මේක අැහුවම දුව හරියට ඇඬුවා. පසුවදා වැඩට ගියෙත් නෑ.   


කොහොම හරි අර හාදයා දුවට ඇත්ත කියලා තිබුණා. ඒ වෙද්දිත් මේ සම්බන්ධෙ ගොඩක් දුර ගිය එකක් වෙලා තිබුණා. දින කීපයකින් බලද්දී දුව කාමරේ බෙල්ලෙ වැල දාගෙන මිය ගිහින් තිබුණා.   


ඊට පස්සෙ මගේ තනි නොතනියට ලොකු පුතා ඇවිත් පවුලේ අයත් එක්ක අපේ ගෙදර නතර වුණා. එයාගේ දරුවොත් මේ ගෙවල් අවට පාසල්වලට දා ගත්තා. එහෙම ඉද්දි ලොකු පුතා කීවා.   
’‘අම්මේ.. මල්ලිත් එන්නෙ නෑනේ. මේ ගේ අපට ලියල දෙන්න. අපි අම්මව බලා ගන්නම් කියලා.   


“ඇත්තටම ඒ වෙද්දි මට යමක් කියන්න හිටියේ ලොකු පුතා. එයාට ගේ ඉඩම ලිවුවා. ඒ ගැන ලොකුවට හිතුවෙත් නෑ. තවත් කාලයක් යද්දී ලොකු පුතාගෙ නෝනා මට නොයෙක් වෙනස්කම් කරන්න ගත්තා.   


ලොකු පුතායි, නෝනයි අතරෙත් නිතර නිතර රණ්ඩු ඇවිලුණා. මෙහෙම යද්දි හැමදාම ලොකු පුතා ගෙදර ආවේ හොඳටම බීලා. සමහර දාට යාළුවො ඇවිත් එයාව ගෙදරට දාලා යනවා. මට හිතේ නිදහසින් ඉන්න බැරි වටපිටාවක් ගෙදර ඇති වුණා. ඉඩම නොලිවුවා නම් සැනසිල්ලෙ ඉන්නවා නේද කියලා මම දහස්වර කල්පනා කළා.   
මම, ව්‍යාපාර කරන දෙවැනි පුතාගේ ගෙදරට ගියා. එහෙම ගියාට එයාලගෙන් මට කිසිම ප්‍රසාදයක් තිබුණේ නෑ. මම බාලයාගෙ ගෙදරට ගිහින් බැලුවා. ඒත් එහෙමයි.   
“කෝටියක විතර දේපළක් අම්මා ලිව්වේ අයියටනෙ. ඉතින් ඇයි මෙහෙ එන්නෙ, ඒ දරුවො එහෙම කියද්දී මම මොනවා කරන්නද?   


පස්සෙ මම කර කියා ගන්න දෙයක් නැතුව පොලීසියට ගියා. එහෙන් මේ කාරණය හොයලා බලලා උසාවි දැම්මා.   
උසාවියෙන් මගේ පුතාලා හතර දෙනාව ගෙන්නුවා. එහෙම ගෙන්වලා “අම්මාට මාසිකව රුපියල් දෙදහස ගානේ ගෙවන්න කියලා නියෝගයක් දැම්මා.   
දරුවෝ ඒකට එකඟ වුණා. මම කිවුවා මට දැන් දරුවන්ගේ ගෙවල්වල ගිහින් තවත් එයාලට බරක් වෙන්න බෑ. වැඩිහිටි නිවාසයකට යන්නම් කියලා. ඒ අනුව තමයි මම මේ වැඩිහිටි නිවාසයට ආවේ.” කරුණාවතී අම්මා කියන්නීය.   


“මම දැන් මේ නිවාසෙට ඇවිත් අවුරුදු පහක් වෙනවා. මගේ දරුවො මාව බලන්න එන්නෙ නෑ. දරුවො මාව බලන්න නොඑන හේතුවත් කියලා මම හිතන දෙයක් තියෙනවා.   
“එයාලට නියෝගයක් තියෙනවා මට රුපියල් දෙදහ ගානෙ දෙන්න. ඒක ඇවිත් දෙන්න එයාලට ලැජ්ජා ඇති. මට ඒ මුදල් දුන්නෙ මාස කීපයක් යනකල් හරි දරුවො දෙන්නෙක් විතරයි. දැන් අවුරුදු ගාණකින් මේ මුදල් මට ලැබෙන්නෙ නෑ. ඒක එහෙමයි කියලා මට බෑ ආයෙත් නීතිය හමුවට යන්න . එහෙම ගිහින් හදපු වඩපු දරුවො නීතියට කොටු කරලා දෙන්න. කොහොමද එහෙම කරන්නෙ.   


සමහර විට මහත්තයාත් හිතනවා ඇති. වැඩිහිටි නිවාසයේ ඉන්න මට මොකටද සල්ලි කියලා. කෑම බීම තියෙනවා. වෙන මොනවාද කියලා. ගොඩක් අයට නොපෙනෙන පැත්ත තමයි පුතේ ඒ... මේ ඉන්න අම්මලා හැමෝම වගේ ලෙඩ්ඩු. අසනීප වුණාම රෝහල් එක්ක යනවා. බේත් ෆාමසි වලින් ගන්න ඕන. මටත් මාසෙකට හාර පන්දාහක් බේත් යනවා. අපේ නිවාසේ දිසානායක පාලක මහත්තයා ඒවා යුතුකමක් වගේ කරනවා.   


ඒත් අපේ දරුවන්ට ඒ යුතුකම් අමතක වෙලා. ඒකයි පුතේ දුක. කරුණාවතී අම්මා බොහෝ කල කිරීමෙන් යුතුව පවසන්නීය.   
නම් ගම් මනඃකල්පිතයි.   


ස්තූතිය - කොට්ටාව මාපිය උපහාර මන්දිරය හා හොරණ කුඹුක් සෙවණ පාලක ඩී.එම්.එස්. දිසානායක මහතාට   

 

 

සටහන - අසංක ආටිගල