සරාගී ළඳුන්ගේ විප්ලවීය ඇඳුම ‘කොට සාය’


විලාසිතා කියන කතා

 

 

බීට්ල්ස් සංගීත කණ්ඩායම, මිනිසා සඳ මත පා තැබීම යනාදී විප්ලව අතර 1960 දශකයේ සංකේතය ලෙස මිනි ස්කර්ට් හෙවත් කෙටි සාය හැඳින්විය හැකියි. Mini යන වදනෙහි අරුත ඉතා කෙටි නැතහොත් කුඩා බවයි.   

 

කෙටි සායේ දේශපාලනය   


1960 දශකයට පෙර අවධියේ තරුණ පිරිසට වෙන් වූ විලාසිතා කිසිවක් නොවූ අතර මවත් දුවත් එකම පැරිසියානු එම්බ්‍රොයිඩර් විලාසිතාවලින් සැරසුණහ. 


ස්ත‍්‍රී සමානත්මවාදය පිළිබඳ සමාජය දැනුම්වත් වීමත් සමඟ කාන්තාවන්ට වෙන් වූ විලාසිතා නිර්මාණය කෙරෙහි වැඩි අවධානයක් යොමු විය. ඇ​ෙමරිකානු ජාතික ලේඛිකාවක් හා කාන්තා ක‍්‍රියාකාරිනියක වූ බෙටී ෆ‍්‍රීඩ්මන් විසින් 1963දී සතුටින් ජීවත් වෙන ගෘහණියගේ චරිතයේ මිත්‍යාව විවේචනාත්මකව විශ්ලේෂණය කරමින් The Feminine Mystique නමැති කෘතිය පළ කළ අතර, ගෘහණියගේ චරිතය හැරුණු විට වෙනත් චරිත ගවේෂණය කර බැලීමේ කාන්තා ආශාව පිළිබඳව මෙයින් ප‍්‍රකාශ කෙරිණි. 


1960 ගණන්වලදී යුවතියෝ වැඩි දුර අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාල වෙත ඇතුළත් වීම හා ශ‍්‍රම බලකායට එකතුවීමේ විශාල වැඩිවීමක් දක්නට ලැබිණි. කාන්තාවන්ට ගැලපෙන ලෙස නම්‍යශීලී වැඩ මුර සහිතව සේවය කිරීමේ පහසුකම් සලසා තිබීම නිසාද සේවයේ නියුතු කාන්තා ප‍්‍රතිශතය ඉහළ ගියේය. 


මේ දශකයේදී විවාහ වූ මෙන්ම දික්කසාද වූ කාන්තාවන් ආරක්ෂා කිරීමට හා බලගැන්වීමට උපකාර වන නීති සම්මත විය. නමුදු ඒ සියල්ලටම වඩා උපත් පාලන පෙති සොයාගැනීම වැදගත් විය.

එනිසා කාන්තාව ගැබ්ගැනීම පිළිබඳව බියෙන් මිදුණු අතර එය ලිංගික විප්ලවයට මඟ පාදන්නක් විය. මවක හා බිරිඳක ලෙස කාන්තාවට සමාජයේ ගොඩනැගී තිබූ ප‍්‍රතිරූපය සපුරාම වෙනස් වී තරුණ, තනිකඩ හා නිදහස් මෙන්ම තමා සතු ලිංගිකත්වය පිළිබඳව ආඩම්බර වන, තමාගේ බලය ගැන ආත්ම විශ්වාසයෙන් යුත් කාන්තා පරපුරක් බිහි විය. කාන්තාවන්ගේ ක‍්‍රියාකාරිත්වයේ අලූත් ප‍්‍රගතිය ප‍්‍රකාශ කිරීමේ සංකේතය වූයේ කෙටි සායයි. 


තරුණ පාරිභෝගික පිරිසක් 


එම සමයේදී තරුණ පරම්පරාව වඩා විප්ලවකාරී හා පැහැදිලි ප‍්‍රගතියක් පෙන්නුම් කළහ. එපමණක් නොව, පෙර කවදාටත් වඩා යහමින් මුදල් ඔවුන් අතේ ගැවසෙන්නට විය. ඉතා කෙටි කාලයක් තුළදී තරුණ පිරිස් ප‍්‍රබල පාරිභෝගික පන්තියක් බවට පත් වූ අතර ඔවුහු තාරුණ්‍යයේ ජීවයට ගැළපෙන විලාසිතා ඉල්ලා සිටින්නට වූහ. මෙමගින් සමස්ත විලාසිතා පද්ධතියම අර්බුදයකට ලක් වූ අතර එකල උසස් යැයි සම්මත වී තිබූ විලාසිතා නිර්මාණවලට පහර වැදෙන්නට පටන් ගැණුනි. ඉහළ පැළැන්තියේ විලාසිතා නිර්මාණ ශිල්පීන් සහ වෙළෙඳ සමාගම් විසින් තමන්ට අඳින්නට රිසි දෙය ඉල්ලා සිටි තරුණ වෙළෙඳපොළට ගැලපෙන ඇඳුම් විකුණන්නට පටන් ගත්හ. වැඩිමහලූ මව්වරුද තම දියණිවරු අඳින පළඳින ආකාරයේ විලාසිතා සඳහා තරඟ කළහ. 


කෙටි සාය ජනප‍්‍රිය කළ - මේරි ක්වොන්ට් 


මේරි නමැති විලාසිතා නිර්මාණ ශිල්පිනිය කෙටි සාය ගැන උනන්දු වී තිබුණේ පාසල් අවධියේ සිටමය. මේරි පාසල් සිසුවියකව සිටි කාලයේ ඇගේ නිල ඇඳුමේ සාය කොටස උඩට නවා අඳින්නට පුරුදු වී සිටියේ එමගින් වඩා ප‍්‍රබෝධමත් පෙනුමක් ලැබෙන බවට ඇය විශ්වාස කළ බැවිනි. 


කෙටි සාය නිර්මාණය කරන්නට පෙළඹුම් සාධකය වූයේ නැටුම් ස්ටුඩියෝවේදී දුටු ටැප් නර්තනයේ යෙදුනු ශිල්පිනියක හේතුවෙනි. 


මේරි එක් දිනක් ඇගේ බැලේ නර්තන පන්තියේ සිටියදී යාබද කුටියෙන් අපූරු සංගීතයක් ඇසෙන්නට විය. කුතුහලය ඉවසා ගන්නට අසමත් වූ ඇය හෙමිහිට යාබද පන්තියට හිස පොවා බැලූවාය. ඇය දුටුවේ ටැප් නර්තන (Tap Dancing හෙවත් පාදවලින් පොළොවට තට්ටු කරමින් කරන නර්තනයක්) පන්තියක් පැවැත්වෙන ආකාරයයි. පන්තිය මධ්‍යයේ නර්තනයේ යෙදෙමින් සිටියේ ඇයට වඩා වසර කිහිපයකින් වැඩිමහලූ යුවතියකි. ඒ යුවතිය ඇඳ සිටියේ අඟල් 10 කට පමණක් සීමා වූ කෙටි රැළි සහිත සායකි.

ඇඟටම ඇලූණු කළු පැහැ උඩ ඇඳුමකින්ද, කළු පැහැ ටයිට් (කෙටි ඇඳුම් අඳින විට යටින් අඳින සිරුරේ හැඩය පෙන්වන දිග කලිසමක්) එකකින්ද, බොබ් කොණ්ඩ විලාසිතාවෙන්ද, සැරසුණු ඇගේ සමස්ත පෙනුම මගින් අවධානය යොමු කෙරුණේ ඇගේ පාද වෙතටයි. ඇඳ සිටි කෙටි සාය නිසා ඇගේ සුන්දර දෙපා අපූරුවට කැපී පෙනුණි. මෙම දසුනින් මේරි ක්වොන්ට් වශී වී ගියාය. ඉන්පසුව ඇගේ සිහිනය වූයේ එම යුවතිය මෙන් පෙනුමක් ලබාගැනීමයි. 


තාරුණ්‍යයේ අවශ්‍යතා මැනවින් හඳුනාගැනීමට සමත් වූ තුරුණු විලාසිතා නිර්මාණ ශිල්පිනියක වූ මේරි ක්වොන්ට් වටහා ගත් එක් දෙයක් නම්, තමා ඇතුළු තරුණ පරම්පරාවට ගැලපෙන විලාසිතා ඒ වන විට සමාජයේ නොතිබූ බවයි. එනිසා පසුව ඇගේ සැමියා වූ ඇලෙක්සැන්ඩර් ග‍්‍රීන් හා මිතුරෙක් වන ආචි මැක්නායර් සමඟ එකතු වී 1955 දී Bazaar නමින් සාප්පුවක් ආරම්භ කළාය. විලාසිතා නිර්මාණකරණය පිළිබඳ වෘත්තීය මට්ටමේ දැනුමක් නොමැතිව වුවද, එදිනෙදා මහ මග යනෙන යුවතියන්ගේ විලාසිතා හා රුචි අරුචිකම් ගැන ඇයට හොඳ අවබෝධයක් තිබුණි. 


සායවල යට වාටිය දණහිසට වඩා අඟල් කිහිපයක් කෙටි කරමින් මේරි ක්වොන්ට් විසින් හඳුන්වා දුන් සාය ලැව් ගින්නක් මෙන් තරුණ පිරිස් අතර පැතිරිණි. මේරිගේ ප‍්‍රියතම මෝටර් රථය වූ මිනි කූපර් රථයෙහි නමේ මුල් කොටස වන මිනි යන්න මෙම අලූත් සාය හැඳින්වීම සඳහා භාවිත කෙරිණි. එයද මේරිගේ අදහසක් වූ අතර මෙම මිනි සාය මගින් 60 දශකයේ ලන්ඩනයේ නිදහස්, ශක්තිමත්, තරුණ, විප්ලවකාරී හා අසම්ප‍්‍රදායික ජීවිතය පෙන්නුම් කෙරිණි. 


තනි නිර්මාණයක් නොවේ 


මිනි සාය ජනප‍්‍රිය කරවීමෙහි ගරුත්වය හිමි වන්නේ මේරි ක්වොන්ට්ට වුවත් එය ඇගේ තනි නිර්මාණයක් නොවේ. මේරි එංගලන්තය වෙනුවෙන්ද, ප‍්‍රංශ විලාසිතා නිර්මාණකරුවෙකු වූ අන්ද්‍රේ කුරේෂ් ප‍්‍රංශය වෙනුවෙන්ද මෙම මිනි සාය නිර්මාණය කර ඇත. මේරිට පෙර කලෙක එනම් 1964 දී අන්ද්‍රේ විසින් අභ්‍යවකාශ යුගයේ සරලත්වය සමඟ මිනි සාය නිර්මාණය කර විලාසිතා ලොව තැතිගැන්වීමට සමත් විය. ප‍්‍රංශ විලාසිතා අතර මිනි සාය ජනප‍්‍රිය කරවීමේ ගරුත්වය ඔහුට නිතැතින්ම හිමි වෙතත්, මේරිගේ ජනප‍්‍රිය වරම ඔහුට ලැබුණේ නැත. ඔහු මෙය හඳුන්වා දුන් සමයේ සමහර ලෝ ප‍්‍රකට විලාසිතා සමාගම් හා විලාසිතා නිර්මාණකරුවන් මෙම මිනි සාය හෙළා දකින්නට වූහ. 


මිනි සායේ කළඑලි බැසීම සමඟ මේරි ක්වොන්ට් ජනප‍්‍රිය වූ පසු අන්ද්‍රේ නිහඬව නොසිට එය තමාගේ නිර්මාණයක් බව පැවසීය. එහෙත් මේරි ඒ කිසිවක් මායිම් නොකළ අතර එය ඔවුන් දෙදෙනාගේම නොව, වීදියේ සිටින ගැහැණු ළමුන්ගේ සොයාගැනීමක් බව පැවසුවාය. අවසන එම නිර්මාණ ශිල්පී දෙපළ අයිතිය උදෙසා නොගැටී වසංගතයක් මෙන් ජනප‍්‍රිය වූ ඇඳුමෙන් හොඳ හැටි ව්‍යාපාරික වාසි අත්පත් කරගත්හ. 
මේරිගේ විලාසිතා බලපෑම බ්‍රිතාන්‍යයටත්, අන්ද්‍රේගේ බලපෑම ප‍්‍රංශයටත් නොඅඩුව ලැබුණු අතර පහසුවෙන් සේදිය හැකි අමුද්‍රව්‍යවලින් නිපදවූ මිනි සාය අන්තර්ජාතික රැල්ලක් විය. එහි අන්තර්ජාතික පිළිගැනීම ඇති කිරීම කෙරෙහි ජීන් ෂ්රිම්ප්ටන් නමැති නිරූපණ ශිල්පිනියද බලපෑය. 


ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් කප් කානිවල් නමැති ප‍්‍රසිද්ධ අශ්ව රේස් සැණකෙළියට 1965දී ඇය සහභාගී වූයේ එකල කාන්තාවක් පිටතට යන විට අඳින අත්‍යවශ්‍ය අංග වූ තොප්පිය, අත් වැසුම් හෝ දෙපා වැසෙන පරිදි ස්ටොකින්ග්ස් හෝ නැතිවය. එදින ඇගේ ඇඳුම කැපී පෙනෙන තවත් සිදුවීමක් විය. ඇය සැහැල්ලූවෙන් පෙනී සිටින ඡායාරූපයක ඇයට පසුපසින් සම්ප‍්‍රදායික ලෙස සැරසුණ මැදි වයසේ කාන්තාවන් පිරිසක් අනුමත නොකරන බැල්මකින් ඇය දෙස බලා සිටින ආකාරය දැක්වෙන ඓතිහාසික ඡායාරූපයක් එදින ගෙන තිබුණි. එහි ජීන් පෙනී සිටින ආකාරය හා අත්‍යවශ්‍ය යැයි එතෙක් සැලකුණු ඇඳුම් පැළඳුම්වලින් වැඩි ප‍්‍රමාණයක් නොමැතිව පෙනී සිටි ඇගේ සුන්දරත්වය නිසාද, ඇගේ පසුබිමේ කාන්තාවන් හා ඇය අතර දක්නට ලැබුණ පැහැදිලි වෙනසත් නිසා ඇය එම අවස්ථාවේ ඇඳ සිටි කෙටි සාය ගැන ලෝකයේම අවධානය යොමු විය. 


දණහිස දක්වා උස බූට් සපත්තු, කෙටි සාය හා ගලපා අඳින අනෙකුත් ඇඳුම් අතර විය. පසුකාලීනව විනිවිද පෙනෙන අමුද්‍රව්‍ය හා ලේස් රෙදිවලින් සාය නිපදවන්නට විය. ඒවා අඳින විට යට ඇඳුම් පිටතට පෙනෙන්නට වූ බැවින් යට ඇඳුම්ද විලාසිතාවලට අතිශය වැදගත් විය. 


කෙටි සාය වැඩිපුරම අඳිනු ලැබුවේ අධ්‍යාපනය ලබන යුවතියන් විසිනි. එනිසා වයස අවුරුදු 15 - 22 අතර යුවතියන්ගේ විලාසිතා පාරාදීසයක් ලෙස එකල ලන්ඩනය කැපී පෙනුණි. කෙමෙන් අඩි උස පාවහන් හා බරපතල ඇඳුම් සහිත විලාසිතා අභිබවා, තරමක් ළමා ස්වභාවයක් සහිත වූද, පාද නිරාවරණය කරනු ලැබුවා වූද කෙටි සාය විලාසිතා සමාජයේ අතිශය ජනප‍්‍රිය විය. 


එම යුගයේ වඩාත් ජනප‍්‍රිය නිරූපණ ශිල්පිනිය වූයේ එවකට වයස අවුරැුදු 17ක් වූ ට්විගී යනුවෙන් හැඳින්වූ ලෙස්ලී හෝන්බිය. කොල්ලෙකුගේ මෙන් කෙටි කොණ්ඩයක්, මළානික දෙතොල් හා ඉතා සිහින් සිරුරින් හා පාදවලින් යුතු වූ ඇගේ හිසේ සිට දෙපතුළ දක්වාම ස්වභාවය එකල යුවතියන් හා කාන්තාවන් විසින් අනුකරණය කරන ලදී. 


1960 දශකයේ අග වෙන විට කෙටි සායට පැවති උන්මාදය තුරන් වී ගිය අතර මෙකල ලෝකයේ පැවති දේශපාලන වාතාවරණය නිසා විලාසිතා කෙරෙහි පැවති කුතුහලයෙන් යුත් අවධානය අඩු වී ගොස්, මැක්සි ගවුම් හා දිගු පාද සහිත කලිසම් ජනප‍්‍රිය විය. කාන්තාවගේ නිදහස වෙනුවෙන් කෙටි සායට සහයෝගය දැක්වූ ක‍්‍රියාකාරීන්ද, එය කාන්තාවන් නිදහස් කරනු වෙනුවට වඩාත් සමාජයට නිරාවරණය කරන අංගයක් බව වටහා ගත්හ. එලෙස ක‍්‍රමයෙන් කෙටි සායට පැවති කැමැත්ත තුරන් වී යන්නට පටන් ගති. 


නැවත පණ දුන් පන්ක් රොක් සංගීතය 


1970 දශකයේ මුල් භාගය වෙන විට සමාජයෙන් ගිලිහී යමින් තිබූ කෙටි සාය විලාසිතාව නැවත සමාජයට ගෙන ආවේ පන්ක් රොක් හෙවත් වේග රිද්ම සංගීත රැල්ලක් මගිනි. ඩෙබී හැරී වැනි රොක් ගායිකාවන් වේදිකාව මත කෙටි සායවලින් සැරසී පෙනී සිටියහ. පන්ක් සංගීත ශිල්පීන්ගේ විලාසිතා සම්මතයට අනුගත නොවූ ඒවා විය. 


වෘත්තීයභාවයක් ලැබීම 


1980 වන විට කෙටි සායෙහි භාවිතය තරමක් වෙනස් විය. ෂෝල්ඩර් පෑඩ්ස් යෙදු කෝට් සමඟ කෙටි සාය වෘත්තීය ව්‍යාපාරික කාන්තාවන්ගේ ඇඳුමක් ලෙස භාවිත වීම ඇරඹිණි. ඒ අනුව එහි පෙනුම සරාගී හා හුරුබුහුටි විය. පසුව එය තනිකඩ හා මැදි වයස්වල ව්‍යාපාරික කාන්තාවන්ටද පොදු විලාසිතාවක් විය. 


බටහිර ලෝකය ඒ වන විට කෙටි සාය පිළිගෙන තිබුණත්, ලෝකයේ සමහර රටවල පිළිගැනීම වෙනුවට අප‍්‍රසාදය හිමිවිය. විශේෂයෙන්ම අප‍්‍රිකානු රටවල කෙටි සාය හැඳින්වූයේ බටහිරින් පැමිණි වසංගතයක් ලෙසය. එහෙත් කුමන බාධා හමුවේ වුවද, කෙටි සාය සම්පූර්ණයෙන්ම විලාසිතා අතරින් ඉවත්ව නොගියේය. අදටත් විලාසිතා දැක්මවල පවා ඉතා කෙටි සාය විලාසිතා ජනප‍්‍රියය. ඒවා දිනෙන් දින නවීකරණය වෙමින් පරිණාමය වෙයි.

 

 

 

 

 

 

 


නිසංසලා දිසානායක