සර්කියුලර් පාක් විහාර මහා දේවි උයන වූ හැටි


සිහිවටනයක පසුබිම් කතාව

 

පිටකොටුවෙන් කොම්පඤ්ඤ වීදිය හරහා යන බස්රථයක නගින්න. කොම්පඤ්ඤ වීදියට ළඟා වන විට කොන්දොස්තර තැනට ඔබ පැවසිය යුත්තේ තමන් කිව් උද්භිද උද්‍යානය අසලින් බස්සන ලෙසය. කොම්පඤ්ඤවීදියේ කොන්දොස්තර තැන ඔබේ කතාවට අන්දමන්දව මෙසේ පවසනු නියතය.   

මේ ගිනි කාෂ්ටක ස්ලේව් අයිලන්ඩ් එකේ මොන උද්භිද උද්‍යානද ලොක්කා. ඩිමෙල් පාර්ක් එක නම් ටිකක් එහායින් තියෙනවා. ඔය ති​ෙයන්නේ කිව් පාර එ්කේ ගිහින් තියෙනවා නම් කිව් පාර්ක් එකත් හොයා ගන්න ට්‍රයි කරලා බලන්න.   


ඔබත් කොම්පඤ්ඤ වීදිය කිව් පාර අසලින් බහින්න. ඒ පාර ඔස්සේ අන්තයටම ගියත් ඔබට කිව් උද්භිද උද්‍යානයක් නම් සොයා ගත හැකි වන්නේ නැත.   


ඉංගිරිසි හෝඩියේ ඇති අකුරක් නමින් ලංකාවේ පාරක් නම් කොට ඇති ඉපැරණිම පාර කිව් රෝඩ් ය. මෙම පාරේ වයස අවුරුදු 208කි. ලංකාවේ උද්භිද උද්‍යාන ඉතිහාසය සොයා ගෙන යෑමේ දී ලංකාවේ මුල්ම උද්භිද උද්‍යානය බිහි වී ඇත්තේ අද කොම්පඤ්ඤ වීදිය නමින් හැඳින්වෙන ප්‍ර​ෙද්ශයේය. එය 1810 දී පිහිටුවා ඇත්තේ බ්‍රිතාන්‍ය රාජකීය කොමිසමක් මගිනි. උද්‍යානයේ භූමිය අක්කර හතක් පුරා විහිදී තිබී ඇත. සුද්දන් කිව් පාර්ක් එකට යන පාර හඳුන්වා ඇත්තේ කිව් රෝඩ් ලෙසය.   


1815 දී කොළඹ මේ කියන කිව් පාර්ක් එක ඉන් ඉවත් කොට ගෙන ගොස් ඇත්තේ කළුතර උග්ගල්ගොඩ ප්‍රදේශයටය. නමුත් උද්භිද උද්‍යානයක් පිහිටුවීමේ පරිසර වාර්තාවෙන් පෙනී ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ උද්භිද උද්‍යානයක් පිහිටු වීමට නුසුදුසු බවය. ලංකාව පුරා කරන ලද හැදෑරීම්වලින් පසුව එම උද්භිද උද්‍යානය පිහිටු වීමට පේරාදෙණිය රාජකීය උද්‍යානය පිහිටි භූමිය ඒ සඳහා තෝරා ගෙන ඇත.   


1822 දී බිහි වූ නූතන උද්භිද උද්‍යානයේ මුල් උද්‍යාන අධිකාරිවරයා වූයේ ඇලෙක්සැන්ඩර් මුත් නමැති සුද්දෙකි. අද පේරාදෙණිය යැයි කියන නමුත් එහි නියම නම පේරදෙණියයි. මෙහිදී නූතන ලෙස මෙම උද්‍යානය හඳුන්වා ඇත්තේ මෙම උද්‍යානයේ තුන් වන වික්‍රමබාහු (1371) සහ රාජාධිරාජසිංහ (1780-1798) ආදී රජවරුන් ද මෙම ස්ථානය තම වාසස්ථානය කරගෙන සිටි නිසාය.   


ඉපැරණි ලේඛන පිරික්සීමේදී පෙනී යන්නේ කිව් පාර්ක් එක කොළඹින් ගෙන ගියායින් පසු දශක පහක් ගිය මුත් කොළඹ ජනතාවට විඩාව නිවා ගන්නට පාර්ක් එකක් හදන්නට සුදු ආණ්ඩුවට උවමනාවක් වුණේ නැති බවය. කොළඹ මුල්ම ක්‍රීඩා පිටිය තිබූ තැන අද ඇත්තේ මහ තැපැල් කන්තෝරුවයි. එම භූමිය ස්ටැන්මෝර් ස්වාමිවරයා විසින් සිය වියදමෙන් සිත් ඇද ගන්නා සොඳුරු ස්ථානයක් බවට පත් කළ බව ලේඛනවල සඳහන් වේ.   
වර්තමානයේ විහාරමහා දේවි උද්‍යානය නමින් හැඳින් වෙන භූමියේ ඉතිහාසය ගැන කියන්නට යද්දී ඊට කලින් කොළඹ තිබූ උද්‍යාන ගැන නොකිවහොත් එය මහත් අඩුපාඩුවකි. මෙම විහාරමහා දේවි උද්‍යානයේ ඉතිහාසය පිරික්සීමේදී එය 1860 ගණන් තෙක් ඈතට දිවයන බව පෙනී යයි. වත්මන් විහාරමහා දේවි උද්‍යානයේ මුල් කාලයේ අක්කර 120ක භූමි භාගයකින් යුක්ත වී ඇත. මුල් කාලයේ මෙය හඳුන්වා ඇත්තේ සර්ක්‍යුලර් ගාර්ඩන් යන නමිනි. එදා සර්ක්‍යුලර් ගාර්ඩන් එකට අයත් භූමියට නිදහස් චතුරඝ්‍රය අයත් භූමිය ද අයත්ව තිබීමෙන් ඉඩමේ ප්‍රමාණය ඔබට සිතා ගත හැකි වනු නිසැකය. මේ සුන්දර භූමියේ ලඳු කැලෑ දිය කඩිති මෙන්ම ස්වභාවික පොකුණු ද එක් කොට ඇත්තේ අමුතුම අලංකාරයකි.   


​ෙමම උද්‍යානය ගොඩනැගීමේ දී උපදෙස් දී ඇත්තේ මහාචාර්ය පැට්‍රික් ගෙඩස් හා ක්ලිපර්ඩ් හොලිඩේ යන ප්‍රකට නගර නිර්මාණ ශිල්පීන් විසිනි. මෙම උද්‍යානය පිහිටු වීමට යටත් විජිත ලේකම්වරයාගෙන් අවසර ගෙන ඇත්තේ කොළඹ නගර සභාව විසිනි. මෙම භූමි භාගය හැඳින් වූ නම ලෙස ඇතැමුන් සර්ක්‍යුලර් නාමය පැහැදිලි කොට ඇති බව ඇතැම් ලේඛනවල සඳහන්ය.   


මෙම උද්‍යානයේ වූ කුඩා ලඳු කැලෑ එදා අබිසරු ලියන්නට සරු ආදායමක් ගෙන දෙන්නක් වී තිබිණ. මේ නිසා මුල් කාලයේ මේ උද්‍යානයට රාත්‍රී ජාමයේ පොලිසියෙන් නිතරම කඩා පැන ඇත. රාත්‍රී කාලයේ එකම දුරාචාර පුරයක් බවට මෙම භූමිය පත්ව තිබූ බව එකල පුවත්පත්වල පළ වූ ප්‍රවෘත්ති නිරීක්ෂණයේ දී පෙනී යයි. හොර සුරා අලෙවිකරුවන්ගේ තිප්පොළක් වී තිබූ මෙම භූමිය රාත්‍රියේ බජව් දැමීමට ද යොදා ගැනිණි. නගරවාසීන් විසින් එය තෝරා ගෙන තිබුණේ‍ මෙහි තිබූ ගස් කොළන්වලින් ලැබූ ආශ්වාදය ගෝල්ෆේස් පිට්ටනියෙන් ලබා ගත නොහැකි වූ නිසාය. ඊටත් වඩා තනිකරම පිටියක් වූ ගෝල්ෆේස් පිට්ටනියේ සැඟවීමට තැනක් නොතිබුණත් මේ භූමියේ වූ ගහ කොළට මුවා වී ඕනෑම දුරාචාරයක් කිරීමට කාටත් හැකියාවක් තිබුණි.   


පළමු ලෝක යුද සමයේ මේ භූමිය කාපිරි සෙබළුන් රඳවා තැබීමට ද යොදාගෙන ඇත. දැඩි පීඩනයකින් සිටි කාපිරි සෙබළුන් සිටි ප්‍රදේශයක් අසලින්වත් අබිසරු ලියන් නම් නොගිය බව සඳහන්ය. ඊටත් වඩා කොළඹ අභිසරු ලියක හෝ පුද්ගලයකු අතුරුදන් වූයේ නම් මුලින්ම පරික්ෂාවට ලක් වී ඇත්තේ සර්ක්‍යුලර් පාර්ක් එකේ දැවැන්ත භූමියයි. සර්ක්‍යුලර් උද්‍යානය වික්ටෝරියා පාර්ක් ලෙස බෞතිස්ම කොට ඇත්තේ වික්ටෝරියා රැජිනගේ ස්වර්ණ ජයන්ති උළෙල නිමිත්තෙන් බව එච්.ඒ.ජේ. හුලුගල්ල මහතා ඩේලි නිවුස් පුවත්පතට ඩී.ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන් ජීවත් වූ යුගයේ ලියූ ලිපියක ඇත.   


වික්ටෝරියා පාර්ක් එක විහාරමහා දේවි උද්‍යානය බවට පත් වන්නේ 1956 බුද්ධ ජයන්ති සංවත්සරයේදීය. බ්‍රිතාන්‍ය කිරීටයෙන් සිලෝන් එක මුළුමනින්ම මුදා ගෙන නොතිබූ බැවින් වික්ටෝරියා නාමය වෙනස් කිරීම ගැන එදා ලංකාවේ ඉංග්‍රීසි පුවත්පත්වල සහ ලන්ඩන් නුවර පුවත්පත්වල ද ඊට එරෙහිව ලිපි පළ වී ඇත. එම ලිපිවල පළ වී ඇති විස්තර අනුව දෙවන ලෝක යුද්ධ සමයේ මේ වික්ටෝරියා පාර්ක් භූමිය මුළුමනින්ම යුද කටයුතු සඳහා පවරා ගෙන ඇත.   


නමුත් යුද්ධයෙන් පසු වික්ටෝරියා පාර්ක් එක ගොඩනැගීමට වන්දි ලැබුණේ පවුම් වශයෙන් බව එවකට පළ වූ සිංහල පුවත්පතක ප්‍රවෘත්තියක් පළ කොට ඇත. 

 
විහාරමහා දේවි උද්‍යානයේ ආරම්භයේ ඇති බුදුරුව ආරම්භයට මුල්ගල තබා ඇත්තේ කොළඹ නගර සභාවේ ශත සංවත්සරයටය.   


එය විවෘත කොට ඇත්තේ ලංකාවේ ප්‍රථම නාමික ජනාධිපතිවරයා වූ විලියම් ගොපල්ලව මැතිතුමා විසිනි. මුලින් අක්කර 120ක් වූ මේ භූමිය අද අක්කර 40ක භූමියකට සීමා වී ඇත්තේ ප්‍රධාන මාර්ග කීපයකටත් මැදි වෙමිනි.
මෙයින් වසර 40 කට පෙර විහාරමහා දේවී උද්‍යානයට විශේෂ දිනයක් විය. ඒ පුංචි කෝච්චියක් විහාරාමහා දේවි උද්‍යානය වටා ගමන් ඇරඹීමය. බොහෝ කලක් මෙම දුම්රිය බාල මහලු කාටත් විනෝදාස්වදය ලබා දෙන්නක් විය. එම කෝච්චියට නමක් තිබුණා දැයි සොයන්නට ගොස් සොයා ගත හැකි වුණේ වික්ටෝරියා පාර්ක් නම වෙනස් කළ සන්ධියේ ඒ ගැන කිපුණු පුද්ගලයකු කර්තෘ භාරයේ එවා තිබූ ලිපියකි. ඔහු ඉන් කියා තිබුණේ වික්ටෝරියා නාමය පාර්ක් එකෙන් වෙනස් කරනවා නම් සුද්දගේ කාලයේ සිට පැවති පිටකොටුවේ වික්ටෝරියා බාර් එක ද විහාරමහා දේවි බාර් එක ලෙස වෙනස් කළ යුතු බවය. 

 
පේරාදෙණිය උද්භිද උද්‍යානය පිහිටුවීමේදී බ්‍රිතාන්‍ය පාලකයන් සැලකිල්ලට ගත් එක් කරුණක් විය. එය පිහිටුවීමේ මුල් අරමුණ වූයේ ලංකාවේ ආර්ථික භෝග වගාවන් පිළිබඳ පර්යේෂණ කටයුතු කිරීමය. එහෙත් දැන් විහාරමහා දේවි උයනේ යම් පර්​ෙ‌ය්ෂණයක් කෙරෙන්නේ නම් ඒ මිනින්දෝරුවන්ගේ මිනුම් කටයුතු පුහුණු කිරීම විය යුතුය.   


අනගාරික ධර්මපාල පිළිරුව අසල නිතැනින්ම දැක ගත හැකි පිරිසක් නම් පුහුණු වන තරුණ මිනින්දෝරුවන්ය. ඔවුන් ඊට අදාළ උපකරණ සමග තම අභ්‍යාස කටයුතුවල නිරත වනු අද විහාරමහා දේවි උද්‍යානයේ නිතර දැක ගත හැකිය.   


අධ්‍යයනයක් පිණිස වික්ටෝරියා පාර්ක් එකේ වගා කළ භෝගයන් කෙසේ වෙතත් ලිඛිත සාක්ෂි අනුව පේරාදෙණිය උද්භිද උද්‍යානයේ මුලින්ම වගා කොට ඇත්තේ සාදික්කා (MYRISTICA Fragrans) සහ කරාබු නැටි (SYZYGIUM Anomaticum) නම් වූ වඩාත් ඵලදායී ආර්ථික භෝගයන්ය. එම මුල් පර්යේෂණයන්ට යොදා ගත් ශාකයන් අසූව දශකය වන විටත් දැක ගත හැකි විය. ඒ වන විට එම පර්යේෂණ කටයුත්තට ගත වී තිබූ කාලය වසර 125 කි.   


විහාරමහා දේවි උද්‍යානය සතු භූමි සම්පත කෘෂි පර්යේෂණ කටයුතු සඳහා යොදා ගත හැකි මහා සම්පතකි. ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ හග්ගල උද්‍යානය ආරම්භ කොට ඇත්තේ 1861 දී බවය. හෙනරත්ගොඩ (ගම්පහ) උද්භිද උද්‍යානය ආරම්භ කොට ඇත්තේ 1876 දීය. මේ උද්‍යාන තුළ කොකෝවා, රබර් මෙන්ම සිංකෝනා වගාවන් ගැන පර්යේෂණ පවත්වන ලද්දේ පේරාදෙණිය උද්‍යානය තුළ කරන ලද පර්යේෂණයන් මුල් කර ගෙනය.   


ෆේස් බුක් යුගයට පෙර පෙම්වතුන්ගේ එකම විනෝදාස්වාදය මෙන්ම ප්‍රේම පාරාදීසය වූයේ ද මේ විහාරාමහා දේවි උද්‍යානයයි. සිංහල චිත්‍රපට බොහොමයකට නැතුවම බැරි පසුබිමක් වූයේ මේ විහාර මහා දේවි උද්‍යානයයි. තවමත් මඟුල් ජෝඩුවල පිංතූර ගැනීමේ ප්‍රධාන ලොකේෂන් එකක් වන්නේ විහාරමහා දේවි උද්‍යානයයි.   


ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන් මුල් යුගයේ විහාරමහා දේවි උද්‍යානයේ පෙම්වතුන්ගේ අසංවර ක්‍රියාවන් ගැන ප්‍රවෘත්තියක් රාත්‍රී ප්‍රවෘත්ති විකාශයට ඇතුළත් කොට ඇත. ඊට දිනකට පසු පුවත් පත් වාර්තා කොට ඇත්තේ එම ප්‍රවෘත්තිය නැරඹීමෙන් පසු පාසල් ගිය තම දියණියන් වික්ටෝරියා පාර්ක් එකේ කොල්ලන් සමග ලව් කරනු දැක දෙමාපියන් බොහොමයක් පොලිසි ගොස් ඇති බවය. ඒ අතර තම සැමියා අනියම් පෙම් සුව විඳි හැතිරිය සොයා පොලිසි ආ බිරින්දෑවරුන් ගැන ද වාර්තා වී ඇත.   


විහාරමහා දේවි උද්‍යානයෙන් අප ලබා ගන්නා ඵලදායිතාව කුමක් දැයි විමසිය යුතුය. උයන් වත්තක් විද්‍යානුකූලව නිර්මාණය කරන්නේ කෙ​සේද? මල් ගසක් විද්‍යානුකූලව හිටුවා ඉන් ආර්ථික ඵල ප්‍රයෝජන ගන්නේ කෙසේද? පැළෑටියක් ගසක් උද්භිද විද්‍යානුකූලව හඳුනා ගන්නේ කෙසේද?   


ආදී කරුණු හැදෑරීමට ක්‍රමවත් වැඩ පිළිවෙළක් කොළඹදී අත්හදා බැලිය හැකි හොඳම භූමිය සුන්දර විහාරමහා දේවි උයනයි. මෙම විහාරමහා දේවි උයන මෙවැනි කටයුත්තකට යොදා ගැනීමෙන් විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ස්ථානයක් බවට එය පත්කර ගත හැකිය.   


ඉතිහාසය හාරා ඇවිස්සීමේදී පෙනී යන්නේ කොළඹ ක්‍රීඩා පිට්ටනි මුල් කොටගත් ක්‍රීඩා සමාජ කීපයක්ම බිහි වී ඇති බවය. යුනියන් ක්ලබ්, ස්ලේව් අයිලන්ඩ් ක්ලබ් සහ සීසීසී ක්ලබ් හෙවත් කලම්බු ක්‍රිකට් ක්ලබ් මේවාය. ගාලු මුවදොරට සී.සී.සී. එක එන්නට කලියෙන් එය පවත්වා​ ගෙන ​ෙගාස් ඇත්තේ කොම්පඤ්ඤවීදියේ මැලේ ක්‍රීඩා පිටියේය. ගාලු මුවදොරට සි.සී.සී. සමාජය ගෙන ගොස් ඇත්තේ 1876 දී බැවින් එහි ඉතිසාහය ගැන ඔබට සිතා ගත හැකි වෙනු නියතය.   


දැන් විහාරමහා දේවි උද්‍යානයේ මායිම් වට වී ඇත්තේ පාරවල් කිහිපයකිනි. මැතිනියගේ පාලන යුගයේ දේශපාලන පතාක යෝධයකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ උඩුකය පිළිරුවක් මෙහි පිහිටුවා ඇත්තේ සෙන්ට් බ්‍රිජට් කාන්තා විද්‍යාලය දෙස බලාගෙනය.   


කොළඹ ජනාකීර්ණ අවධියක ජීවත් වන කාටත් පිරිසිදු වාතාශ්‍රයක් ලබා ගන්නට විහාරමහා දේවි උද්‍යානය පංකාදු තැනකි. විවේකීව සැඳෑ සුවය ගත කිරීමට කොළඹ නගරයේ ගෝල්ෆේස් භූමිය හැරෙන්නට දැන් ඉතිරිව ඇති ගහ කොළින් යුතු විශාලතම භූමි භාගය විහාරමහා දේවි උද්‍යානය විය යුතුය.   

 

 

 


සටහන - වජිර ලියනගේ