සමාජවාදයට කැපවුණු ජවිපෙ කාන්තාවෝ


සමාජයේ හරස් කඩක්

 

උඩුගං බලා පීනන මිනිසුන්ට තමයි සමාජයක් වෙනස් කරන්න පුළුවන් යන්න සමාජය පිළිගත් සත්‍යයකි. බුදුන්වහන්සේ වගේම ජේසුස්වහන්සේත් ආගමික ශාස්තෲවරුන් ලෙස ඒ බව ඔප්පු කර තිබෙන අතර සර් අයිසැක් නිව්ටන්, ගැලීලියෝ ගැලීලි, ගුග්ලිමෝ මාර්කෝනි වගේම කාල්මාක්ස් ආදී විද්‍යාඥයන්, ද‌ාර්ශනිකයන් ද ඒ බව සමාජයට පසක් කර තිබේ. එහෙත් උඩුගං බලා පිහිනන්නකු දුටු විට එය පිස්සුවක් සේ දැකීමට ඇතැම්හු පෙලඹෙති.   


ජවිපෙ සාමාජිකයන් ද කරන්නේ උඩුගං බලා පිහිනීමක් බව ඇතැමුන් පවසන්නේ චෝදනා මුඛයෙනි. චණ්ඩ මාරුත මැද, සැඩ රළ පහරවලට ලක්වෙමින් එලෙස පිහිනීම යථාර්ථයක් නොවන බව බොහෝදෙනාගේ මතය වී තිබේ. ඇත්තටම ඔවුන් උඩුගං බලා පිහිනන්නේ ද? එසේ නම් එය ජයගත හැකි ද? ජවිපෙ කාන්තා අංශය නැතහොත් සමාජවාදී කාන්තා සංගමය ඒ ගැන දරන්නේ කුමන අදහසක් ද යන්න විමසා බැලීම මේ ලිපියේ අරමුණය.   


ජවිපෙ කියන්නේ සීඅයිඒ කෙමනක්, ඇමෙරිකන් බළල් අතක් වගේ චෝදනා එද‌ා හැත්තෑව දශකයේ එල්ල වුණා වගේම අද ජවිපෙ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ වලිගයක්, ජාත්‍යන්තර සංවිධානවල වුවමනාව ඉටුකරමින්, ඊළමට අවශ්‍ය පාර කපන සංවිධානයක්, එන්ජීඕවලින් යැපෙන තවත් එක පක්ෂයක් යනාදී චෝදනා රැසක් ජවිපෙට එල්ල වෙමින් තිබේ.   


අවස්ථා දෙකකදී රාජ්‍ය මර්දනයටත්, ඊටත් වඩා අවස්ථා ගණනාවකදී අවස්ථාවාදී ප්‍රවණතාවන් නිසා වූ බලපෑම්වලටත් මුහුණ දෙමින් ඉහත අවලාද ද දරාගනිමින් ජවිපෙ කටයුතු කරන්නේ කෙසේ ද? ඇත්තටම ජවිපෙ අරමුණ මොකක් ද? ජවිපෙ තුළ සිටින කාන්තාවන් මොනවද කරන්නේ? සමහරු කියන විදිහට ජවිපෙ සහෝදරවරුන්ට කන්න උයන එක ද ඔවුන්ගේ රාජකාරිය? මේ දේවල්වලට උත්තර සෙවීමට අපි සමාජවාදී කාන්තා සංගමයේ සහෝදරියන් කීපදෙනකු සමඟ සාකච්ඡා කළෙමු.   


ජනතා විමුක්ති පෙරමුණට අනුර කුමාර දිසානායක නායකත්වය ලබාදෙන විට එහි කාන්තා අංශයට නායකත්වය දෙන්නේ සමන්මලී ගුණසිංහය. ඇය සමාජවාදී කාන්තා සංගමය 94න් පසු නැවත ගොඩනැගීම ගැන දක්වන්නේ මෙවැනි අදහසකි.   


“විවිධ අභියෝග මැද අපි අනූහතරෙන් පස්සේ නැවත වැඩ ආරම්භ කළා. පළමු අවස්ථාවේදීම අපි සමාජවාදී කාන්තා සංගමය ගොඩනැඟුවේ නැති වුණත් කලින් වැඩ කරපු සහ අලුතෙන් එකතු වුණ සහෝදරියන් යම් පිරිසක් 94-95 වනවිටත් අපත් අපේ පක්ෂය තුළත් ධෛර්යයෙන් හා කැපවීමෙන් වැඩ කළා. දිමුතු ඇතුළු සහෝදරියන් කීපදෙනෙක් සමඟ පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා කළ සාකච්ඡාවකින් පස්සේ අපි නැවතත් සමාජවාදී කාන්තා සංගමය ගොඩනැගුවා. ඒක අපි ලැබූ විශාල ජයග්‍රහණයක්. 96 වනවිට අපි ජාත්‍යන්තර කාන්තා දින සැමරුම සමාජවාදී කාන්තා සංගමය ලෙස සමරන්නත් සමත් වුණා. 97 පළාත් පාලන මැතිවරණයට අපි සහෝදරියන් සැලකිය යුතු පිරිසක් අපේක්ෂකයන් ලෙස එකතු කරන්නත් සමත් වුණා.   


ඒ විදිහට වැඩ අරඹපු අපිට 94න් පස්සේ රාජ්‍ය මර්දනය ඍජුව බලපෑවේ නැති වුණත් මැතිවරණ කාල සීමාවන්හීදි බරපතළ ලෙස මැර තර්ජනවලට මුහුණ දෙන්න සිදුවුණා. වාමාංශික ව්‍යාපාරයක් ලෙස අපිට පක්ෂයෙන් පරිබාහිර අවස්ථාවාදීන්ගේ බලපෑම් එල්ල වුණා වගේම පක්ෂය තුළින්ම මතු වූ යම් යම් අවස්ථාවාදී ප්‍රවණතාවන්ගෙන් ද බලපෑම් ඇති වුණා. එහෙත් ඒ සියල්ලට සාර්ථකව මුහුණ දෙමින් අද වනවිට පූර්ණ කාලීන සහෝදරියන් හා අර්ධකාලීන සහෝදරියන් විශාල ප්‍රමාණයක් සමඟ සමාජවාදය කරා යන ගමනේ තව තවත් ඉදිරියට යන්න හැකිවීම විශාල ජයග්‍රහණයක්. සමාජවාදී කාන්තා සංගමය ලෙසත් මන්ත්‍රීවරියන් සමඟ බහුජන ව්‍යාපාරයක් ලෙසත් අද අපි උතුරු නැගෙනහිර ඇතුළු සමස්ත පීඩිත කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගන ප්‍රබල සංවිධානයක් බවට පත්ව තිබෙනවා.”   


අද වනවිට සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකාව ලෙස ජවිපෙ කාන්තාවන්ට නායකත්වය දෙන සමන්මලී කවුද? පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන අතරතුර සමාජවාදී ශිෂ්‍ය සංගමය සමඟ සම්බන්ධ වන ඇය ඉන් පසුව ජවිපෙ කාන්තා අංශය ගොඩ නැගීමට දායකත්වය සැපැයුවාය. ශාස්ත්‍රවේදී උපාධිය සමත් වූ ඇය තම උපාධිය භාවිත කරමින් රැකියාවක් කිරීම තෝරගන්නවා වෙනුවට පූර්ණ කාලීන දේශපාලනය තෝරා ගත්තාය.   


ඇය ජනතා විමුක්ති පෙරමුණේ පළමු නාගරික මන්ත්‍රීවරිය ය. 1997 පළාත් පාලන මැතිවරණයෙන් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට තේරි පත් වූ ඇය එතැන් සිට මේ දක්වා අඛණ්ඩව එම ධුරය දරන්නීය. ජවිපෙ පූර්ණ කාලිනයකු වන බිමල් රත්නායක සමඟ විවාහ වන ඇය මේ වනවිට උසස් පෙළ හදාරන දියණියක ඇතුළු දියණියන් දෙදෙනකුගේ මවකි. එකල සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක වූ බිමල් රත්නායක අද වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. භාරදූර වගකීම් රැසක් දරන ජවිපෙ පූර්ණ කාලීනයන් දෙපළක් ලෙස දරුවන්ගේ කටයුතු වගකීම් ඉටු කරමින්, දෙමාපියන් ගැන සොයා බලමින්, දේශපාලන කටයුතුත් නොපිරිහෙළා ඉටු කරන්නේ කෙසේ ද? පක්ෂයෙන් ඔවුන්ට වැටුපක් ගෙවනවා ද?   


ඒ ගැන අපි සමන්මලී සහෝදරිය සමඟ වගේම හැත්තෑව දශකයේ සිටම සමාජවාදී කාන්තා සංගමයේ ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ ජවිපෙ කවුරුත් නන්දසීලි අක්කා කියා කතා කරන යූ.ඒ. නන්දසීලී සහෝදරිය සමඟත් කතා කළෙමු.   


නන්දසීලී කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂ උපාධියක් ලැබූ උගත් කාන්තාවකි. ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුවියක ලෙස අධ්‍යාපනය ලබමින් සිටියදී 71 දී අත්අඩංගුවට පත්ව වැලිකඩ බන්ධනාගාරගත වූවාය. එහිදී ද උපාධිය අත්නොහැරි ඇය පොත් පාඩම් කරමින් 73 දී විශ්වවිද්‍යාලයේ අවසන් විභාගය සඳහා ද පෙනී සිට සමත් වූයේ හිරගෙවල්වලට දමා තමන්ගේ ජීවිතය සිර කිරීමට කිසිවකුට නොහැකි බව පසක් කරමිනි. තමන්ගේ අරමුණු සිරගෙයි බිත්තිවලින් සිරකළ නොහැකි බව පසක් කරමිනි.   

 

වැඩ කරද්දී මුහුණ දෙන්න වුණ දුෂ්කරතා නම් එමටයි. වැටුප් නොලබා පූර්ණ කාලීන දේශපාලනයේ නිරතවන්නත් නඩත්තු කරන්නේ කොහොමද කියලා අත්දැකීමක් සමාජයට තිබුණේ නැහැ. පාක්ෂිකයන්ට තිබුණේත් නැහැ. ඒ වගේම අපිට සම්බන්ධ වෙලා හිටිය ගොඩක් දෙනෙකුට තවත් කෙනෙකුට කීයක් හරි වියදමට දෙන්න තරම් වත්කමක් තිබුණෙත් නැහැ. හැත්තෑ හතෙන් පස්සේ අපි වැඩ පටන් ගන්නකොට අපේ ගෙදර ප්‍රධාන මධ්‍යස්ථානයක් වුණා. පක්ෂයේ අභ්‍යන්තර සංවිධාන, සාකච්ඡා පැවැත්වුණේ අපේ ගෙදර. ඒ අයට කන්න දෙන්න තරම් වත්කමක් අපිට තිබුණේ නැහැ. ඒ වෙනකොට මමත් පූර්ණකාලීන සහෝදරයෙක් එක්ක විවාහ වෙලා හිටියේ. අපේ ගෙදර තිබුණා දෙල් ගහකුයි කොස් ගහකුයි. දෙල් කාලෙට එක එක විදිහට දෙල් හදලා කෑවා. කොස් කාලෙට කොස් කෑවා. පොළොස් වෑංජනයක් සම්බෝලයක් එක්ක බත් ටිකක් කෑවා. සමහර විට අපි දවසටම කෑවේ එක වේලයි හෝ දෙකයි. කැන්වසින් යද්දී අපි සැතපුම් ගාණක් පයින් ගිහින් දවල් දෙකට තුනට විතර කඩේකින් පාන් ගෙඩියක් අරන් හකුරු කෑල්ලක් එක්ක කනවා. අතේ කීයක් හරි තිබුණොත් කහට උගුරක් බොනවා. ඒ කාලේ අපි හැමද‌ාම වගේ කැන්වසින් කළා. 


නන්දසීලී එදා මෙදා තුළ තම දේශපාලන අත්දැකීම් බොහොමයක් අප ඉදිරියේ ගෙනහැර පෑවාය.   


“අපි දේශපාලනයට ආවේ විප්ලවවාදී දේශපාලනය ගැන අත්දැකීම් අඩු, විශ්වවිද්‍යාල පවා එවැන්නන් දකින්න අඩු සමාජ වටපිටාවක් පවතින කාලයකදීයි. ඒ කාලේ තරුණයෙක්වත් වාමාංශික දේශපාලන ප්‍රවාහයට එකතු කරගැනීම අසීරු කාලයක තරුණියක හැටියට අපි එකතු වීම අපේ ගෙවල් කිසිසේත්ම අනුමත කළේ නැහැ. ඒත් ඒ බාධක මැද මම විශ්වවිද්‍යාලයේ සිට දේශපාලනය කළා. අත්අඩංගුවට පත්වුණා. ඒත් උපාධිය කරගත්තා. ඒ නිසා අම්මලාට මට දොස් කියන්න ඉඩක් ඉතිරි වුණේ නැහැ. ඒ කාලේ අපිට වැඩ කරද්දි තේ කහට උගුරක් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. බස් එකට සල්ලි නැහැ. අපි සැතපුම් ගණන් පයින් ගිහින් තමයි වැඩ කළේ.   
හැත්තෑ පහේ මම නිදහස් වෙලා එළියට ආවා. ඒ ඇවිත් නැවත වැඩ පටන් ගත්තා. හැත්තෑහතේ මැතිවරණය වෙලාවේ ජවිපෙන් රට පුරා ආසන කීපයකට අපේක්‍ෂකයන් ඉදිරිපත් කළා. ඒ ප්‍රදේශවල ඉන්න බලවේගය මදි කැන්වසින් කරන්න. ඒ නිසා අපි රට පුරා ඉන්න පූර්ණ කාලීනයන් හා අර්ධ කාලීනයන් එකතු වෙලා අර මැතිවරණයට ඉදිරිපත් වෙන ප්‍රදේශවල කැන්වසින් කළා. අපි එහේ නැවතිලා තමයි වැඩ කළේ. සහෝදරියෝ සහෝදරයෝ කියලා අපි අතර කිසිම වෙනසක් තිබුණේ නැහැ. සහෝදරයෝ අපිව හැම විටම ආරක්ෂා කළා. ඒ නිසා අපිට බයක් දැනුණෙත් නැහැ. රෑද දවල්ද කියලා වෙනසක් අපිට තිබුණෙත් නැහැ. රැස්වීම්වලට වේදිකා හදනකොට අපිත් ඒ තැන්වල වැඩ කළා. රෑ එළිවෙනකල් ඒ තැන්වල වැඩ කරලා පහුවද‌ාට ඒ වේදිකාවට නැගලා කතා කළා. කාන්තාවන් දේශපාලනයේ දකින්න අඩු ඒ කාලේ අපේ වගේ පක්ෂයක වේදිකාවක කාන්තාවක් කතා කිරීම සමාජයට අලුත් අත්දැකීමක් වුණා. ඒ නිසා එහෙම කතා කළ අපේ සහෝදරියෝ ගැන සමාජයේ විශේෂ සැලකිල්ලකුත් තිබුණා.   


ඒත් අපිට වැඩ කරද්දී මුහුණ දෙන්න වුණ දුෂ්කරතා නම් එමටයි. වැටුප් නොලබා පූර්ණ කාලීන දේශපාලනයේ නිරතවන්නත් නඩත්තු කරන්නේ කොහොමද කියලා අත්දැකීමක් සමාජයට තිබුණේ නැහැ. පාක්ෂිකයන්ට තිබුණේ නැහැ. ඒ වගේම අපිට සම්බන්ධ වෙලා හිටිය ගොඩක් දෙනෙකුට තවත් කෙනෙකුට කීයක් හරි වියදමට දෙන්න තරම් වත්කමක් තිබුණෙත් නැහැ. හැත්තෑ හතෙන් පස්සේ අපි වැඩ පටන් ගන්නකොට අපේ ගෙදර ප්‍රධාන මධ්‍යස්ථානයක් වුණා. පක්ෂයේ අභ්‍යන්තර සංවිධාන, සාකච්ඡා පැවැත්වුණේ අපේ ගෙදර. ඒ අයට කන්න දෙන්න තරම් වත්කමක් අපිට තිබුණේ නැහැ. ඒ වෙනකොට මමත් පූර්ණකාලීන සහෝදරයෙක් එක්ක විවාහ වෙලා හිටියේ. අපේ ගෙදර තිබුණා දෙල් ගහකුයි කොස් ගහකුයි. දෙල් කාලෙට එක එක විදිහට දෙල් හදලා කෑවා. කොස් කාලෙට කොස් කෑවා. පොළොස් වෑංජනයක් සම්බෝලයක් එක්ක බත් ටිකක් කෑවා. සමහර විට අපි දවසටම කෑවේ එක වේලයි හෝ දෙකයි. කැන්වසින් යද්දී අපි සැතපුම් ගාණක් පයින් ගිහින් දවල් දෙකට තුනට විතර කඩේකින් පාන් ගෙඩියක් අරන් හකුරු කෑල්ලක් එක්ක කනවා. අතේ කීයක් හරි තිබුණොත් කහට උගුරක් බොනවා. ඒ කාලේ අපි හැමද‌ාම වගේ කැන්වසින් කළා.   


ඒ මොනවටද කැන්වසින් කරන්නේ?   


පක්ෂයට අලුත් සම්බන්ධකම් හොයන්න. අපි කරන්නේ මොනවද කියලා ජනතාව දැනුම්වත් කරන්න. රටේ දේශපාලනය ගැන දැනුම්වත් කරන්න. අනාගතයේ දේශපාලනය තුළ විය හැකි දේ සහ එයින් ජනතාවට සිදුවන පීඩාවන් ගැන අපි මේ ගියාම කතා කරනවා.   


ඒ දේවල් කතා කරන්න ඔයාලට කොහෙන්ද දැනුම ලැබෙන්නේ?   


පක්ෂයට එන හැම කෙනෙකුටම දැනුම දෙනවා. පාසල් ගිය නොගිය කවුරුත් අපේ පක්ෂ අධ්‍යාපනය තුළ ඉස්සරහට යනවා. ඒ දැනුම ලබාගන්නා කෙනෙකුට සමාජයේ සිදුවන දේවල් ගැන දේශපාලනයේ සිදුවන දේවල් ගැන හොඳ විග්‍රහයක් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම අලුත් දේශපාලන තත්ත්වයන් ගැන පක්ෂයේ සංවිධායකයින් අපිව නිතරම දැනුම්වත් කරනවා.

   
දැවැන්ත මර්දනයකට මුහුණ දීලා නැවත 94 පක්ෂය පටන් ගනිද්දිත් අපි හැත්තෑ හතේදී පටන් ගන්න කොට තිබුණ අත්දැකීමට සමාන තත්ත්වයක් තමයි රටේ තිබුණේ.   


නන්දසීලී එහෙම කිව්වත් ඒ කාලේ ඇය ලංකාවේ හිටියේ නැහැ. ඇය ලංකාවේ හිටියේ නැත්තේ ඇයි? 94න් පසුව ජවිපෙ සමග සමාජවාදී කාන්තා සංගමය ගොඩනගද්දී මුහුණ දෙන්න සිදුවුණ අත්දැකීම් මොනවද කියලා අපි ලබන කලාපයෙන් තවත් කීප දෙනකුගේ අත්දැකීම් සමග කතා කරමු.   

 

 

 

මුදිතා දයානන්ද