සම්බන්ධකම් කීපයක් තිබුණා හැබැයි දැන් නෑ


ඔහු මුලින් ගායකයකු ලෙස හෝටල්වල ගීත ගයමින් කාගේත් ආකර්ෂණය දිනාගත් අයෙකි. නිළියක වූ තම මෑණියන්ගේ අාභාසයෙන් රංගනයට අවතීර්ණ වූ ඔහු, ක්‍රමයෙන් ජනප්‍රියත්වය කරා ගියේ දක්ෂතා පෙන්වමිනි. මේ නිසාවෙන්ම ඔහු පුංචි තිරයේ සිහින කුමරකු බවට පත්වන්නට වැඩි කලක් ගතවුණේ නැති තරම්ය. ඔහුට නිළියන්ගේ පමණක් නොව කාන්තාවන්ගෙන් ද ඇල්ම, බැල්ම වැඩිවන්නට විය. පසු කාලයේදී ජනප්‍රිය නිළි චතුරිකා පීරිස් සමග විවාහ වූ ඔහු කාගේත් කතාබහට ලක් වන්නට විය. විවාහය බිඳී යාමත් සමඟ ඔහු පුවත් මවන්නෙක් බවට පත්විය. සමාජ වෙබ් අඩවිවලින් ඔවුන්ගේ ප්‍රේම කතාවට හොඳ ප්‍රසිද්ධියක් ලබා​ෙදන ලදී. මේ නිසාවෙන්ම ඔහු මෙරට මෙන්ම විදෙස් රටවල ශ්‍රී ලාංකිකයන්ගේ අවධානයට පාත්‍රවිය.   


ඔහු නමින් රොෂාන් පිලපිටිය වේ. කන්ද උඩරටින් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ රොෂාන් පසුගිය කාලයේදී කාන්තා ඇසුර නිසා ජනප්‍රිය වන්නට විය. ඔහු අනංගයකු ලෙසත්, කාන්තාවන් සනසන්නෙක් ලෙසත් සමහරු හඳුන්වනු ලැබිණි. මේ නිසා මෙන්ම “ආදරය, ප්‍රේමය සහ විවාහය” යන මාතෘකාවට ඔහු අත්‍යවශ්‍ය පුද්ගලයෙක් නොවේදැයි මට සිතුණි. ඉතාම කාර්යබහුල තත්ත්වයක සිටියදීත් මාගේ ඉල්ලීම අහක දැමීමට ඔහුට සිත් නොදිනි. ඒ ඔහුගේ උතුම් මිනිසත්කම නිසාවෙනි. ඔහු ආදරය, විවාහය ගැන කියන්නේ මොනවද කියා දැන් අපි විමසා බලමු.  
 

ඔබගේ මෑණියන් රංගන ශිල්පිනියක් ලෙස ප්‍රකට වූ තැනැත්තියක්. කුඩා කාලයේ ඉඳන් නළු නිළි ඇසුර ඔබට ලැබුණාද?   


එහෙම තිබුණේ නෑ. මොකද අම්මා නිළියක් වුණේ විවාහයට පෙරයි. විවාහයෙන් පස්සේ එහෙම නළු නිළි ඇසුරක් ලොකුවට තිබුණේ නෑ. ඒ නිසා මට කුඩා කාලයේදී එවැනි අත්දැකීම් නැති තරම්.

  
ඔබට ආදරයක් මුලින්ම ඇති වුණේ කොයි කාලයේ විතරද?

  
පාසල් යන කාලයේදී තමයි ප්‍රථම ප්‍රේමය ඇති වුණේ. එතකොට පාසලේ 9 වැනි ශ්‍රේණියේ මම ඉගෙනුම ලැබුවේ. ඒ කාලේ දැකලා හිතින් අාදරය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ එහාට ගිය ලොකු සම්බන්ධතාවක් නොවෙයි. පාසල් කාලයේ එහෙම ආදරය කරන්න ලොකු වාතාවරණයක් තිබුණේ නෑ. ඔය 90 ගණන්වල රටේ තිබුණු වාතාවරණයත් එක්ක ආදරය කරන්නට වඩා ජීවත්වීමේ ගැටලුව තිබුණා.   


මොකද එතකොට භීෂණ කාලය තිබුණේ. තරුණයෙක් නම් ඝාතනය වන සංස්කෘතියක් තිබුණේ. එහෙම ලොකුවට පාසල් ප්‍රේමයක් අපට විඳින්න ලැබුණේ නෑ. මොකද බයේ තමයි ජීවත් වෙන්න අපට ඒ කාලයේ සිදු වුණේ.   


ඔබ පසු කාලයක ගායකයෙක් විදිහට ගීත ගයන්නට පටන් ගත්තා නේද? ඒ කාලයේදී තරුණියන්ගෙන්, කාන්තාවන්ගෙන් ලොකු ආකර්ෂණයක් ඇති වෙන්න ඇති නේද?   


එහෙම සම්බන්ධතා කීපයක් ඇති වුණා. නමුත් එතකොට මට ජීවිතය පිළිබඳව ලොකු අරමුණක් ප්ලෑන් එකක් තිබුණේ නෑ. අපි පාසල් යන ගමන්ම තමයි සංගීත කණ්ඩායමක සෙල්ලම් කළේ. එතකොට තිබුණු වාතාවරණය මත කෙල්ලෙක්ගේ අතින් අල්ලගෙන යන්න තරම්වත් පුළුවන්කමක් තිබුණේ නෑ. ඒ කාලයේ කඩුගන්නාවේ මිනිස්සු මරලා දාලා තිබුණා. ඒ මිනී ගඳ නිසා නහය වහගෙන බයෙන් තමයි අපි ගමන් කළේ. එහෙම රාමුවක සොමියක් තිබෙන ලව් කරන්න පුළුවන්ද? ජීවිතය රැකගැනීම තමයි මූලික වුණේ. ඇත්තටම අපේ පරම්පරාවට එදා ආදරය විඳින්න ලැබුණේ නෑ. ඕක තමයි ඇත්ත කතාව.   


එහෙම විඳින්න පුළුවන් ආදරයක් ලැබුණේ ඔබ නළුවෙක් වුණාට පස්සේ එහෙම නේද?   


ඔව්. එහෙම ටික කාලයක් ගියාට පස්සේ තමයි ඒ විඳින ආදරය ලැබු​ෙ​ණ්. පාසල් කාලයේ ආදරය හොඳින් ලැබුණේ නෑ. අපේ යාළුවෝ ඝාතනය කළා. ඒ මානසිකත්වයේ අපි හිටියේ. පස්සේ කාලයක් ගිහිල්ලා තමයි ආදරයක් ගැන හිතන්න හරියට පුළුවන් වුණේ. ඒත් වෙන රටවල අයට වඩා ඒකත් අපට අඩුයි. ජීවත් වීමේ අර්බුදයත් එක්ක මේ රටේ බහුතරයකට 100%ක් ආදරය කීරීමේ ගැටලුව තිබෙනවා. කොළඹ පර්චස් එකක ගණන අහනකොට ආදරය පෑළදොරින් පැනලා යනවා. නමුත් ඒ බාධක මැද අාදර සම්බන්ධතා කීපයක් කරන්න මට පුළුවන් වුණා.

  
ඔබ ජනප්‍රිය නිළි චතුරිකා පීරිස්ට ආකර්ෂණය වුණේ කොහොමද?   


ඒක ඇත්තටම දන්නේ නෑ. රංගනයේදී ඇති වූ හිතවත්කම මත ඒ දේ සිදුවෙන්න ඇති. අපේ ජීවිතේ හැම දෙයක්ම ලියැවිලා එනවා කියා මා සිතනවා. ඒ අනුව තමයි හොඳ හෝ නරක හැම දේම සිද්ධ වෙන්නේ. කිසිම දෙයක් ගැන මගේ හිතේ කම්පාවක්වත් නෑ. සතුටින් ඉන්නවා. නමුත් ආදරේ කරන්න තරම් මේ රට සුදුසු රටක් නොවෙයි කියලයි මට හිතෙන්නේ.   


ඇයි ඔබට එහෙම සිතෙන්නේ? චතුරිකා ඔ​ෙබන් වෙන්වෙලා ගිය හින්දද?   


අද හැම තැනින්ම අපට ඇහෙන්නේ, දකින්න ලැබෙන්නේ හොඳ පැත්ත නොවෙයි. ගීත කලාව ගත්තත් හොටු පෙරාගෙන අඬන ගීත, ටෙලි නාට්‍යවලත් එහෙමයි. තරුණ තරුණියන් සියදිවි නසාගන්නවා. ඒ වගේ තරුණ පරපුරේ අයට විශාල අර්බුද ගොඩක් තිබෙනවා. මාධ්‍ය භාවිතය තුළත් එය තිබෙනවා. චතුරිකා මගෙන් වෙන්වෙලා ගිය හින්දා නොවෙයි මේවා මම කියන්න​ෙන්. මේක තමයි සත්‍යය. ඉතිං ඔය තුළ ආදරය කරන්න, විඳින්න හරියට පුළුවන් තත්ත්වයක් තරුණයන්ට තිබෙනවාද කියාලයි මම ප්‍රශ්න කරන්නේ.   


මේ රටේ ආදරය සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. සමස්තයක් වශයෙන් මේ රටේ ආදරය කිරීමේ අයිතිය කොල්ලන්ට නෑ. ඒ කාලේ මම සිංදු කිව්වේ ක්ලබ්වල, ෆයිව්ස්ටාර් හෝටල්වල වගේම තෝසේ කඩෙන්ද කෑම කනවා. මම දකිනවා සල්ලි තිබෙන අය හැසිරෙන විදිහ හා දුප්පත් කොල්ලෙක් හැසිරෙන විදිහ අතර වෙනස. දේශපාලකයන්ට හෝටලේ කොරිඩෝවටම ගැහැනුන් එක්ක ගිහිල්ලා ජොලි කරලා, කිසිම දෙයක් වුණේ නැති ගානට ඇවිත්, දුප්පත් තරුණ තරුණියන්ගේ ආදරයට ​ෙපරළා ගහන හැටි මා දැකලා තිබෙනවා. මේ දුප්පත් අයට ආදරය කරන්න තැනක් නැති හින්දා තමයි බස් එකේ හරි කිස් එකක් දෙන්නේ. එක හොඳයි කියලා කියනවා නොවෙයි. එහෙම අජූත තැනක තමයි ඉන්නේ.   


එ් වගේම ගීතවලින් Sex මාකට් කරනවා. මේක බැරියර්ස් තිබෙන රටක්. Sex කියන්නෙත්, ආදරය කියන්නේ බැරියර්ස් නැති දෙයක්. ලෝකේ කොහේවත් බැරියර්ස් නෑ. අපේ රට තමයි අාදරය කරන්නවත්, මොන මඟුලකටවත් අයිතියක් නැත්​ෙත්​. මට වඩා තරුණ පරපුරට මෙය විශාල අසාධාරණයක්. අවුරුදු 18න් ඉහළ අයගෙන් දුරකථන චෙක් කරනවා. Sex තිබෙනවාද කියා. එහෙම රටක අපි ඉන්නේ. ඉතිං කොහොමද ආදරයක් ගැන කතා කරන්නේ.   


ඔබ “ලිවිං ටුගෙදර්” සංකල්පයේ හිටි කෙනෙක්. ඔබ මෙයට කැමතිද? එකඟද?   


“ලිවිං ටුගෙදර්” සංකල්පයේ වරදක් මා දකින්නේ නෑ. නමුත් එහි විශ්වාසය නැත්නම් තමයි ප්‍රශ්නය තිබෙන්නේ. විශ්වාසය හා අන්‍යොන්‍ය අවබෝධය මත දෙදෙනාට එය පවත්වාගෙන යන්න පුළුවන්. සුචරිතවත් විදිහට කතා කළාට අපි එකගෙයි කාපු මිනිස්සු. එක ගැහැනියෙක් එක්ක නිදාගෙන දේපළ පිටයයි කියන බයට අනෙක් ගැහැනියක් එක්ක සම්බන්ධකම් රටක, බොරුවට අපේ අය සුදනෝ වගේ කෑගහනවා. ඇමරිකාවේ එහෙම නෑ. ඉතිං එහෙම රටක අපි “ලිවිං ටුගෙදර්” සංකල්පයේ වරදක් දකින්නේ නෑ. මම ඒක හොඳයි කියලා අපේ සංස්කෘතියට ගහන්න හදනවා නොවෙයි. එහෙම එකක් නෑ. එතනදී අවංක විය යුතුයි. කපටිකමට ලිවිං ටුගෙදර් ඉඳලා ගැහැනිය හෝ පිරිමියා දාලා යනවානම්, ඔවුන් කසාද බැන්දාමත් වංචනිකයන් වෙනවා. එකිනෙකා හඳුනාගැනීම තුළ “ලිවිං ටුගෙදර්” වරදක් නෑ කියලයි මම නම් හිතන්නේ.   


චතුරිකා එක්ක සම්බන්ධය තිබෙන කොටත් ඔබට වෙනත් නිළියන්ගෙන් ආදර යෝජනා ආවා නේද?   


මෙහෙමයි මම කසාද බැන්දට පස්සේ කිසිම සම්බන්ධතාවක් ඇති කරගත්තේ නෑ. ඊට ​ෙපර සම්බන්ධතා තිබිලා තියෙනවා. විවාහ වුණාට පස්සේ සම්බන්ධකම් තිබුණේ නෑ. නමුත් ක්ෂේත්‍රයේ පැතිර ගියේ වෙනත් කතා. අපි වෙන් වුණාට හොඳින් ඉන්නවා. සමහරු පව් කියනවා. එහෙම අවශ්‍ය නෑ. අපිට යම් ජනප්‍රියත්වයක් තිබෙන හින්දා තමයි අපේ පෞද්ගලික දේවල්වලට ඉක්මණින් තටු ලැබෙන්නේ.   


ඔබ දෙදෙනාගේ කසාදය ඉවර වුණේ ඔබගේ වැරැද්දක් හින්දද? නැත්නම් එයාගේ වැරැද්දක් හින්දද?   


මම ඔය ගැන කතාකරන්නත් කැමති නෑ. ඒක මිනිසුන්ට වැඩකුත් නෑ. මට අැති වැඩකුත් නෑ. ඒක වෙලා දැන් අවුරුදු 5ක් වෙනවා. 2012දී එය සිද්ධ වුණේ. එය සම්පූර්ණයෙන්ම මම අමතක කරලා ඉවරයි. දැන් ඊට වඩා මේ තරුණයන්ට තිබෙන ප්‍රශ්න ගැන ඇත්ත කතාකරන්න මම කැමතියි. මගේ කසාදය 2012 දී අවසන් වුණා. ඒකට උත්තර දීලා අනෙක් පාර්ශවය ඈඳාගෙන කතා කියන්න මට අවශ්‍ය නෑ. ඒක මගේ පෞද්ගලික අදහස.  

 
ඒ විවාහයේ අවසන් වීමත් සමග ප්‍රේම සබඳතා ඇති වෙන්න පටන්ගත්තා නේද? බොහෝ කාන්තාවන් ඔබේ ඇසුර බලාපොරොත්තු වුණා නේද?   


ඔව්. ඊට පෙරත් සම්බන්ධකම් ඇති වෙනවා. නැතිවෙනවා. ඒක කොතනින් කෙළවර වෙයිද කියලා මා නම් දන්නේ නෑ.   


මෑත වකවනුවේ සමාජ වෙබ් අඩවිවල ඔය සොනාලි නමැති තරුණියක් සමග සිපගන්න, බදාගෙන ඉන්න පිංතූර පළවී තිබුණා. ඔබ ඇය සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තද?   


ඇත්තතටම එහෙම එක එක සම්බන්ධකම් තිබෙනවා. එක එක වෙබ් සයිට්වල එවැනි දෑ පළවෙනවා. ඒක විශාල වශයෙන් අද රැකියා විරහිත තරුණයන් කරන ඉතා හොඳ වැඩක්. මේ සමාජ වෙබ් අඩවිවලින් ඔවුන් ලක්ෂ ගණන් මාසයකට මුදල් උපයනවා. ඔවුන් අපි ජෝඩු කරලා කසාද බන්දලාත් ඉවරයි. මට විතරක් නොවෙයි, අපේ රටේ දේශපාලකයන්, පිළිගත් පුද්ගලයන්ටද එවැනි දේවල් කරලා කසාද බන්දලා ජෝඩු කරනවා මේ වෙබ් සයිට්. ඒ ගැන මම එච්චර හිතන්නේ නෑ, දැන් එහෙම සම්බන්ධයක් නෑ, මම එහෙම මගේ පෞද්ගලිකත්වය දෙන්න කැමති නෑ. තේරුමක් නෑ. මම කී දෙනෙක් එක්ක ඉන්නවද? මම කී දෙනෙක්ට ආදරය කරනවාද? නිළියෝ කී දෙනෙක් එක්ක යනවාද? මිනිසුන්ට වැඩක් නැහැනේ. ඒක ම​ෙග් පෞද්ගලිකත්වයයි.   


ඔබ කාන්තාවන් සනසන්නෙක් බවයි මේ කතාවලින් වැටහෙන්නේ. ඒ කියන්නේ ඔබ අනංගයෙක් වගේද හැසිරෙන්නේ?   


නෑ. මම සම්බන්ධකම් කීපයක් තියාගත්තා තමයි. නමුත් දැන් නෑ. කවුරුත් සනසන්න ගියේ නෑ. මේක තමයි ඇත්ත. මම එක පාරක් කසාද බැඳලා වෙන්වුණාට, සමහරු තුන හතර කසාඳ බැඳලා වෙන්වෙලා ඉන්නවා. ඒවායේ වරදක් මා දකින්නේ නෑ, මිනිස්සුනට ප්‍රශ්න තිබෙන්න ඇති. ඒවා හොඳයි කියන්නෙත් නෑ.   


ඔබ ආදරය, ප්‍රේමය කොයි විදිහටද හඳුනාගෙන තිබෙන්නේ ?

  
ආදරය කියන්නේ “එක්ස්පෙරිමන්ට්” එකක්. සමහරුන්ට හරියනවා. සමහරුන්ට වරදිනවා. නමුත් ඒක ජීවිතයේ ලැබෙන “​ෆීලින්” එකක්. ආදරයට ගෞරවය කරනවා. වැරදුණා කියලා ජීවිතේම වරදින්නේ නෑ. වෛරය, ක්‍රෝධයට වඩා අාදරය උතුම් දෙයක් ලෙසයි මා සලකන්නේ.  

 
ඔබට දැන් පෙම්වතියක් නෑ කියලද කියන්නේ?   


ඔව්. මේ මොහොතේ මට පෙම්වතියක් නෑ,  

 
ඔබ ආපහු විවාහවෙන්න අදහසක් තිබෙනවාද?   


එ්ක කියන්න දන්නෙ නෑ. එහෙම ගැලපෙන අදහස් හරියන, මාව තේරුම් ගත්, මගේ රංගනය කරන්න එපා කියලා බලපෑම් කරන්න නැති එක්කෙනෙක් හමුවුණොත් මම විවාහ වෙයි. එහෙම නැත්නම් මේ විදිහට ඉඳීවි.   


විවාහ යෝජනා එහෙම හරියට එනවා ඇති නේද?   


ඔව්. යෝජනා නම් හරියට එනවා. යෝජනා ආ පළියට ආදරය කරන්න අමාරුයි. එහෙම හොඳ එකක් ආවොත් බඳින්නත් ඉඩ තිබෙනවා. නැත්නම් හැමදාමත් තනිකඩවත් ඉන්න ඉඩ තිබෙනවා. තනියෙන් ඉන්නවා කියන්නේ පරාජිත බවක් නොවෙයි. ස්වාධීනව ජීවත් වෙන්න ඉතාම සතුටින් පුළුවන්.   


ගෙදරින් මට කිසිම බලපෑමක් නෑ, පොඩි කාලයේ තිබුණත්, දැන් ම​ෙග් වයසත් එක්ක කාගෙන්වත් බලපෑමක් එන්නේ නෑ. ඔවුන් දන්නවා මම ඔවුන්ට වරදක් කරන්නේ නැති බව. මම වරදක් කරලත් නෑ. සමාජයට වරදක් කරලත් නෑ. මම සමාජයට අහිතකර ලෙස පවුල් කඩලා, පවුල් විනාශ කරලා නෑ, මම දූෂණ කරලත් නෑ, මට ගෞරවාන්විත ආදර සම්බන්ධතා කීපයක් තිබුණා. ඒවාට මම අදත් ගෞරව කරනවා. වෛරයක් නෑ. ඉදිරියේදී මොනවා වේවිද දන්නේ නෑ.   


පසුගිය කාලයේ ඔබට එල්ලවූ ​ෙචා්දනා ගැන සිතද්දී ඇතිවුණේ කලකිරීමක්ද?

  
සතුටක්. හැම දෙයක්ම ඉතාම සතුටින් භාරගන්නවා. සමාජය හා අනෙක් අය දන්නවා. මම කෙනෙක්ගෙ පවුලක් කඩලා, තව කෙනකුගේ ජීවිතයට රිංගූ මනුස්සයෙක් නොවෙයි කියලා. ඒ නිසා ගහකට නැග්ග මිනිහාට කියන්න දෙයක් තිබෙනවා වගේ සමහර පාර්ශව කිව්වාට, මට එයින් හානියක් නෑ. මම මොකුත් කියන්නෙත් නෑ. ඕනෑම කෙනකුට ඕනෑම දෙයක් කියන්න නිදහස තිබෙනවා. කිසි කෙනෙකුට අපහාස කරන්නේ නෑ. ඒ හැමෝටම ගෞරවයක් මා තුළ තිබෙන්නේ. ජීවිතේ හරිම සතුටින් ඉන්නේ. හැමදේම ඉතාම හොඳට සිද්ධ වුණා කියලා මම හිතනවා.   


ජීවිතය ගැන ආපසු හැරී බැලීමේදී මොකද සිතෙන්නේ?   


ඉතාම සතුටින් තමයි ඉන්නේ. නමුත් මේ ර​ෙට් කලාවට ප්‍රතිපත්තියක් නැතිවීම ගැන දැඩි ලෙස කම්පාවකින් ඉන්නේ. සියලු කලාවන්වලට ස්ථීර ජාති ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියන තැන මා ඉන්නේ. ඒ හැරෙන්න මා ජීවිතය හොඳින් විඳින කෙනෙක්. කිසිම අසතුටක් නෑ. හොඳින්, සතුටින් ඉන්නේ.   


ඔහු පසුගිය කාලයේ ඇති වූ බොහෝ දේ නිසා ජීවිතය මුවහත් කරගෙන තිබේ. ඒ ලැබූ අත්දැකීම් මතින් ඔහු අද ජීවිතය ශක්තිමත් කරගෙන තිබෙන බව කතාබහේදී මට වැටහුණි. ඔහුට කාන්තාවන්ගේ ඇල්ම, බැල්ම තවමත් එල්ලවෙන්නේ කවුරුත් නොහිතන පරිද්දෙනි. ඒ තරමට අනංගයෙන් මෙන් ඔහු අපට පෙනේ. රොෂාන් ජීවිතය හොඳින් විඳින කෙනකු බව නම් ඔබට දැන් වැටහෙනවා ඇති නේද? ඔහුගේ ජීවිතයේ අඩුව පුරවන්න පුරප්පාඩුවක් තවම හිස්වී තිබේ. ඒ වාසනාවන්තිය ඔබ විය හැකිය.   

 

 


සටහන් කළේ 
සමන්ත යහම්පත්