සඳේ අඳුරු පැත්තේ අභිරහස් රැසක් ?


2017 දෙසැම්බර් 11 වැනි දින විශ්‍රාමික ගගන ගාමීන් සහ නාසා ආයතනයේ නිලධාරීන් පිරිවරාගෙන ධවල මන්දිරයේ දී නැවත සඳ ගමනකට සුදානම් වන ලෙස අැමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.  

අභ්‍යාවකාශයට ඇලුම් කරන්නන් පමණක් නොව සාමාන්‍ය ජනතාවද මෙම ආරංචිය නිසා සතුටට පත්වන බව නොරහසකි. ලෝක ජනගහනයෙන් සියයට හැත්තෑවක් පමණ බිහි වී ඇත්තේ ඇමෙරිකාව සඳ තරණය කළාට පසුවය. ඔවුන් අද සිතන්නේ නවීන තාක්‍ෂණය අනුව සඳ ගමන පහසු බවය. ඇමෙරිකානුවන් සඳ මත පා තබා වසර 48ක් ගත වී ඇතත්, එම හපන්කම කිරීමට ලෝකයේ දියුණු යැයි පිළිගත් කිසිම රටකට මෙතෙක් හැකි වී නොමැත.  


ඇමෙරිකාවද රුසියාව පරදවා සඳට යෑම නිසා නැවත එවැනි ගමනකට උනන්දුවක් දැක්වූයේ නැත. නාසා ආයතනයද වෙනත් අභ්‍යාවකාශ ගමන් ගැන වෙහෙසුණා හැර සඳ තරණය ගැන නොසිතූ බව පෙනෙන්නට තිබේ.  
1969 වසරේ පළමුවරට මිනිසා සඳ මත පා තැබූ අවස්ථාව එවකට යොවුන් තරුණයකුව සිටි මා හට හොඳින් මතකය. දැන් මෙන් ගුවන් විදුලි සහ රූපවාහිනී නාළිකා රැසක් එවකට ශ්‍රී ලංකාවේ නොතිබූ අතර, විද්‍යුත් මාධ්‍යයකට තිබුණේ ලංකා ගුවන් විදුලි සේවය පමණි.  


ප්‍රථම සඳ ගමන පිළිබඳව එද‌ා ගුවන් විදුලිය මගින් විශාල ප්‍රචාරයක් ලබාදෙන ලදී. පුවත්පත් මගින්ද එ​ෙස්මය. ශ්‍රී ලංකා වාසීන් වන අප රූපවාහිනිය දැක තිබුණේ චිත්‍රපටවලින් සහ පුවත්පත් සඟරාවල පළ වී තිබූ ඡායාරූප වලින් පමණි. රූපවාහිනිය තිබූ රටවල් රැසකට එදා එම ඓතිහාසික සිදුවීම දැක ගැනීමේ වරම ලැබුණි.  


1969 ජූලි මස සිට 1972 දෙසැම්බර් මාසය දක්වා ගත වූ කාලය තුළ ඇමෙරිකාව විසින් මිනිසුන් 12 දෙනෙකු සඳ මතු පිටට රැගෙන යන ලදී. ඇපලෝ යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වූ මෙම සඳ ගමන්වලදී ඇපලෝ 11 යානාවෙන් ගොස් ප්‍රථමයෙන් සඳ මත පා තැබූ මිනිසා ලෙස නීල් ආම්ස්ට්‍රෝන් සහ ඇපලෝ 17 යානාවෙන් ගොස් සඳ මත පා තබා එහි පියමං කළ අවසාන මිනිසා ලෙස ඉයුජින් ඒ සර්නන් සඳගාමියා ඉතිහාසයට එක් වී ඇත.  
සඳ කුඩා ග්‍රහයෙකි. එහි විශේෂත්වයක් ඇත. ගිනිකඳු වලට සමාන දේවල්, පාෂාණ වර්ග, වාතය නොමැතිකම, ගලා යන ජලය නොමැතිකම ආදියයි. පෘථිවියේ සිටින අපට මෙම කරුණු දැනගැනීම වැදගත්ය. මේවා නිසි ලෙස හැදෑරීමෙන් අපට අන් ග්‍රහයන් ගැන හෝඩුවාවක් දැනගත හැකිය.  


මෙහි වාතය නොමැතිකම දැනුම ලබා ගැනීමට බෙහෙවින් උපකාරී වෙයි. සඳෙහි එක් දිනයක් පැය 709ක් (දින 29.5) වේ. මේ අනුව සඳ වෙනත් ග්‍රහයින් ගැන දැනුම ලබා ගැනීමට විද්‍යාගාරයකි. සඳ නැවත තරණය කිරීම වැදගත් වන්නේ අජටාකාශ ගමන් පුළුල් කිරීමක් නිසාය.  


සඳ ගමන ප්‍රෝඩාවක් බව කියන්නෝද රැසක් වෙති. සඳ ගමනට අද‌ාළ ඡායාරූප චිත්‍රාගාරයක හෝ කාන්තාරයක් වැනි ස්ථානයක රූගත කළ ඒවා බව ඒ අයගේ අදහසයි. මේ පිළිබඳව චිත්‍රපට මෙන්ම පොත් පත්ද පළකර ඇත. ඇමෙරිකානුවන් විසින් කළේ ප්‍රෝඩාවක් නම්, ඔවුන් සමග කරට කර සඳ තරණය වෙනුවෙන් යුද්ධයක් කළ රුසියාව ඒ පිළිබඳ මුනිවත රකීද යන්න ඔවුන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් වෙයි.  


ඇමෙරිකානු ජනාධිපතිවරයා නාසා ආයතනයට දුන් විධානය අනුව ඇමෙරිකානුවන් විසින් සිදුකළ යුතුව ඇත්​ෙත් නැවත එක් වරක් හෝ සඳ ගමනක් සිදු කිරීමයි. යානය පෘථිවියෙන් පිටත් වී සඳ වෙත ගොස් මිනිසුන් එහි ගොඩබැස කරන ක්‍රියාවන් සහ නැවත පෘථිවියට පැමිණෙන තුරු සෑම අවස්ථාවක්ම ලෝකවාසීන්ට සජීවීව නැරඹීමේ අවස්ථාව ලැබෙනු ඇත. 1969 වසරේ මෙන්ම අදටත් මෙම සිදුවීම මිනිසා විසින් සිදුකළ ​ඓශ්චර්යවත්ම සිදුවීම වනු ඇත.  


1969-1972 කාලය තුළ ඇමෙරිකාව විසින් මිනිසුන් සඳ වෙත රැගෙන යාමට යොද‌ා ගත්තේ අඩි 363ක් උසැති යෝධ සැටර්න් 5 රොකටයයි. ටොන් දහස් ගණනක් බර එම යානාව නිපැදවීම සඳහා ඔවුනට විශාල වියදමක් දැරීමට සිදු විය. දැනට ඊට වඩා ලාභද‌ායක හොඳ මාර්ග ඔවුන් සතුව ඇත.  


ඇපලෝ යෝජනා ක්‍රමය මගින් සඳ පිළිබඳ වැදගත් කරුණු රැසක් සොයාගත් බව සත්‍යයකි. ඒ අතුරින් සඳේ බලපෑම නිසා පෘථිවියේ ඇතිවන විපර්යාස ගැන දැනගැනීම විශේෂය. සඳ විද්‍යාගාරයක් වැනිය. පෘථිවියෙන් බැහැර ජීවිත්වීමේ ක්‍රමය සොයා බැලීම පිළිබඳ සඳ ගමන ඉතා වැදගත් වනු ඇත. වසර බිලියන ගණනක සිට එකතු වූ වල්ගා තරුවල ඇති මිදුණ හිමමෙන් හිම තට්ටුද එහි ඇත.  


ඒවා පිහිටා ඇත්​තේ සඳේ අපට නොපෙනෙන පැත්තේ බව විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇත. එම අඳුරු කොටස් ඉතාමත් ශීතාධිකය. සමහර අඳුරු කොටස් ගැන මිනිසා නොදනී. සඳෙහි පිහිටීම අනුව එයට නියමිත කාලගුණ සමයක් නොමැත. විද්‍යාඥයින්ගේ මතය අනුව එහි සමහර කොටස්වලට දවසේ 75‌% ප්‍රමාණයකට ආලෝකය ලැබේ. මෙම ආධාරයෙන් විදුලි බලය නිපදවා ගැනීමේ හැකියාව ගැනද සිතිය යුතුව ඇත.  
සුර්යාගෙන් ලැබෙන තාපය සඳ මතට වැටෙන අංශක ගණන අනුව සමහර ස්ථානවල සෞම්‍ය රශ්මියක් ලැබේ. නමුත් සඳ ගෝලය වටා කොටසට ලැබෙන සූර්ය තාපය වැඩිය. එය ෆැරන්හයිට් 212ක් හෝ සෙල්සියස් 100ක් පමණ වේ.  


සඳට නැවත ගොඩබැසීමට තෝරාගෙන ඇත්තේ සඳෙහි දකුණු අර්ධගෝලයේ ස්ථානයකටයි. මෙයි ප්‍රධාන අරමුණ වී ඇත්තේ සඳෙහි ඇති සම්පත් දීර්ඝකාලීන වශයෙන් පරිහරණය කිරීමයි. ‘‘නාසා’’ ආයතනයේ හූස්ටන් හි පිහිටි ජොන්සන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ඉතා දක්‍ෂ අන්දමින් යානයක් නිර්මාණය කර ඇත.  


මෙහි වියදම් පාර්ශ්වයද අඩුය. මෙම ක්‍රමය අනුව විශේෂ ඩෙල්ටා 4 බූස්ටරයද අයත් වේ. මෙහිදී ගෙන යන බඩු බාහිරාදිය සහ මුහුණ දීමට ඇති කාර්යයන්ද සැලකිල්ලට ගෙන ඇත.  


මෙහිදී ඉන්ධන වශයෙන් රසායනික ද්‍රව්‍ය පාවිච්චි වේ. මෙහිදී එල්.අයි. ඩිපෝව මගින් ගොඩබැසීමේ යානාවට ඇතුළුවීමට ගතවන්නේ දින කීපයක් පමණි. කෙසේ වෙතත් මීට වසර 48කට පෙර සිදුකළ සඳ ගමන් වලට වඩා නව තාක්ෂණය උපයෝගී කරමින් පහසුවෙන් නැවත සඳ ගමනක් ඇමෙරිකානුවන්ට සිදුකළ හැකි බව විද්‍යාඥයින්ගේ පිළිගැනීමයි.  

 

 

 

 

 


දයාසිරි පෙරේරා  
ආධුනික තාරකා විද්‍යාඥ, බණ්ඩාරවෙල.