සඳහටම අතුරුදන් වුණු මැලේසියා ගුවන් යානයේ අබ්රහස


චීනයේ බීජීං අගනුවර ‘බීජීං කැපිටල්’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලොව වඩාත් කාර්යබහුල ගුවන්තොටුපොළවලින් එකකි. ලොව කාර්යබහුල ගුවන්තොටුපොළ අතරින් පස්වැනි ස්ථානයේ ඇත්තේ මෙම බීජීං ගුවන්තොටුපොළ යැයි ද පැවැසෙයි. සෑම මොහොතකම නන්දෙසින් ගුවන්තොටුපොළට පැමිණෙන ගුවන් යානා ගුවනේ කැරැකෙමින් රැඳී සිටින්නේ, නියමිත වේලාව උදා වී ගොඩබෑමට අවස්ථාව ලැබෙන තුරුය. බීජීං ගුවන්තොටුපොළ දෙවැනි වන්නේ ඇමෙරිකා ගුවන්තොටුපොළවලට පමණි. 2014 වසරේ, මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට චීනයේ බීජීං ගුවන්තොටුපොළ බලා පියාසර කරමින් තිබුණු මැලේසියානු ගුවන් සේවයට අයත් එම්.එච්. 370 ගුවන් යානයට බීජීං බලා පැමිණීමට නොහැකි විය. එය කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකර ලොවෙන් අතුරුදන් විය. 

එදා සිට අද දක්වා ඇමෙරිකන් ඩොලර් මිලියන 150 කට වඩා වැඩි මුදලක් වැය කරමින් යානය සෙවීම සිදු විය. ඊට නායකත්වය දුන්නේ මැලේසියානු රජයයි. යානය කඩා වැටුණු බව අනුමානස කළත්, යානයේ සුන්බුන් කිසිවක් හමුනොවිණි. හමුවුණැයි පැවැසුණු කැබැලි යානයේ නොවන බව පසුව තහවුරු විය.  239 දෙනකු රැගත් මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 එම්.එච් 370 යානය සෙවීම සම්බන්ධයෙන් වසර තුනකට වැඩි කාලයක් තිස්සේ සිදුකළ දීර්ඝ මෙන්ම වෙහෙසකර මෙහෙයුම සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කෙරුණි. එය පිටු දහස් ගණනකින් සමන්විතය. ඒ, ඊට සම්බන්ධ වුණු රටවල් එකමුතු වීමෙනි. යානය මිහිපිටින් අතුරුදන් බව එම වාර්තාව අවසානයේ සඳහන් වෙයි. ඒ අනුව, එම්.එච් 370 යානයට සිදුවුණේ කුමක්දැයි යන්නේ එහි සිටි පිරිස පමණි.


එදා, එනම් 2014 මාර්තු මාසයේ, මැලේසියාවේ ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේත් ඉන්පසු බීජීං ගුවන් තොටුපොළේත් රේඩාර්වලින් අතුරුදන් වුණු එම්.එච් 370 මගී ගුවන් යානය කඩා වැටෙන්න හෝ පැහැර ගෙන යන්න ඇතැයි හෝ අනුමාන කෙරුණි. මැලේසියා අගමැති නජීබ් රසාක් හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව නිවේදනය කළේ ඉතා හැඟීම්බරවය. යානය කඩා වැටෙන්න ඇතැයි කියා හෝ පැහැර ගන්න ඇතැයි කියා අංශ දෙකකින් සෝදිසි මෙහෙයුම ඇරැඹිණි. තවත් අපූරු අදහසක් ඉදිරිපත් විය. එම අදහස ද ලෙහෙසියෙන් බැහැර කළ නොහැකි විය. යානයේ ඇමෙරිකාවට හෝ චීනයට ඉතා වැදගත් පුද්ගලයකු සිටි බවත් ඔහු හෝ ඇය නිසා සෙසු මගීන් ද සමඟ යානය උඩු ගුවනේදීම පුපුරුවා විනාශ කළ බව එම අදහසය. අද වැඩිදෙනා විශ්වාස කරන්නේ ඇමෙරිකාව හෝ චීනය හෝ යානය පුපුරුවා හරින්න ඇතැයි කියාය.


යානයේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සැකය එල්ල වූයේ යානයේ ප්‍රධාන නියමුවා අහ්මද් ෂා කෙරෙහිය. ඒ, ඔහු වසර ගණනාවක් තිස්සේ සිර දඬුවම් විඳින මැලේසියා විපක්ෂ නායක, අන්වාර් ඊබ්‍රහීම්ගේ පක්ෂ ක්‍රියාකාරියකු බව හඳුනා ගැනීමෙනි. කිසියම් ආකාරයක දේශපාලන පළිගැනීමක් හැටියට යානය පැහැරගෙන ගියා විය හැකි යැයි මැලේසියානු රජය මුලින් අනුමාන කළ නමුත් එම අනුමානය වැරැදි බව අද වනවිට තහවුරු වී අවසන්ය.


යානයේ ප්‍රධාන නියමුවා වූ සහාරී අහ්මද් ෂා ක්වාලාලාම්පූර් නුවර පිහිටා ඇති මන්දිරයක් බදු සුඛෝපබෝගී නිවසක ජීවත් වූ අයෙකි. 2014 වසරේ අවසන් ගුවන් ගමනට එක් වෙද්දී ඔහු 53 හැවිරිදි වියෙහි පසුවිය. සහාරී අහ්මද් ෂා දක්ෂ පළපුරුදු නියමුවකු විය. ලොව අංක එකේ ගුවන් නියමුවන් අතර ඔහුගේ නම ද තිබුණු බව පැවැසිණි. අහ්මද් ෂා ජීවිතයෙන් වැඩි කාලයක් වෙන් කළේ ද ගුවන් යානා පියාසර කිරීමටය. ඔහු මැලේසියානු ගුවන් සමාගමට එක් වූයේ 1981 වසරේය. අහ්මද් ෂා ගුවන් යානා පියාසර කරවීමට ඉතා තදින් ඇලුම් කළ අයකු බව මැලේසියානු ගුවන් සේවයේ ඔහුගේ මිතුරන් පෙන්වා දී තිබුණි. නිවාඩු දිනවලදී පවා ඔහු රාජකාරියට වාර්තා කළේය. ක්වාලාලාම්පූර් නුවර පිහිටි ඔහුගේ ‘මන්දිරයේ’ ගුවන් යානා පැදැවීම පුහුණු කරන නියමු කුටියක අනුරුවක් ද ඇති බව පොලිසිය නිවෙස සෝදිසි කරද්දී සොයා ගත්තේය.


2014 වසරේ මාර්තු 7 වැනිදා, උදෑසන නිවසින් පිටත් වුණු අහ්මද් ෂා, සැතපුම් 15 ක් දුර පුට්රාජයා නුවරට ගියේය. අපචාර චෝදනා ලැබ ඒ වනවිට පස් වසරක සිරදඬුමක් ලබමින් සිටි මැලේසියා විපක්ෂ නායක අන්වෝර් ඊබ්‍රහීම්ගේ නඩු විභාගය පුට්රාජයා නුවර අධිකරණයක් හමුවේ විභාග වෙමින් පැවැතිණි. එදින අධිකරණයට ඊබ්‍රහීම්ගේ සමීපතමයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ද සහභාගී වී සිටි අතර අහ්මද් ෂා ඔවුන්ගෙන් කෙනෙක් විය. එදින රාත්‍රී 9 ට ප්‍රධාන නියමු අහ්මද් ෂා, පුට්රාජයා නුවරින් පිටත් වී කෙළින්ම රාජකාරි සඳහා ක්වාලාලාම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගියේය. ඒ සිය අවසන් ගුවන් ගමනට එක් වීමට දැයි ඔහු දැන සිටියා ද නැද්ද අප නොදනී.


2014 වසරේ මාර්තු 8 වැනිදා සෙනසුරාදා දිනයක් විය. එදා අලුයම 12.41 ට බෝයිං 777 වර්ගයේ එම්.එච් 370 මගී යානය ගුවනට නැඟුණි. ගුවන්ගතවීම හොඳින් සිදුවුණු බව සහාය නියමු 27 හැවිරිදි වියෙහි පසුවුණු ෆරීක් අබ්දුල් ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොළ පාලන මැදිරියට පණිවුඩයක් ලබා දුන්නේය. ඒ අනුව, සැතපුම් 2,700 ක් දුර ගෙවා චීනයේ බීජීං නුවර බලා යන ගමන ඇරැඹිණි. 


අලුයම 1.30 වෙද්දී, යානය ගුවන්ගත වී මිනිත්තු 45 ක් ගත වී තිබුණි. මැලේසියානු ගුමන් ගමන් පාලන අධිකාරිය සහ එම්.එච් 370 මගී යානය සමඟ පණිවුඩ හුවමාරුව ඇණ හිටියේ මෙම අවස්ථාවේදීය. ඒ වනවිට යානය මැලේසියාව පසු කර, තායිලන්ත බොක්කට ඉහළින් වියට්නාමයට හරහා පියාසර කිරීමට නියමිතව තිබුණි. පණිවුඩ හුවමාරුව අැණහිටීමට පෙර නියමුවන් අවසන් වශයෙන් පවසා තිබුණේ ‘සියල්ල හොඳින්, සුබ රාත්‍රියක්’ කියාය. ඒ වනවිට යානය අඩි 35,000 ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබුණු අතර පැය 7 කට ඇති කරම් ඉන්ධන ද එහි විය.


මේ වනවිට යානයෙන් සංඥා නිකුත් කෙරෙන ‘ට්‍රාන්ස්පොන්ඩරය’ අක්‍රිය වී ගොස් තිබුණි. ඒ අනුව යානයේ ගමන් මඟ, දිශාව, වේගය, පියාසර කළ උස ආදිය ආදී දත්ත රේඩාර් උපකරණවල සටහන් නොවිණි. යානය ගුවන් ගමන් පාලන අධිකාරියේ රේඩාර් තිරයෙන් අතුරුදන් වී ගියේය. යානයෙන් සංඥා නොලැබුණත්, යානයේ ගමන් මඟ එම කලාපයේ පිහිටි රේඩාර් යන්ත්‍ර මගින් සොයා ගැනීමට ඉඩ සැලැසුණි. යානයේ නියමුවන් දෙදෙනාට අමතරව කාර්ය මණ්ඩලයේ සිටි ඉතිරි 12 දෙනා ද මැලේසියානු ජාතිකයෝ ය. යානයේ සිටි මගීන් ගණන 227 කි. චීන ජාතිකයෝ 153 දෙනෙක්, මැලේසියානුවෝ 38 දෙනෙක් මගීන් අතර සිටියහ. එයින් හත් දෙනෙක් කුඩා දරුවෝය. ඊට අමතරව ඉරාන, ඇමෙරිකා, කැනඩා, ඉන්දියා, ඉන්දුනීසියා, ඕස්ට්‍රේලියා, ප්‍රංශ, නවසීලන්ත, යුක්රේන, රුසියා, තායිවාන සහ නෙදර්ලන්ත ජාතිකයෝ යානයේ වූහ. 


එයින් දෙදෙනකු සොරකම් කරන ලද ගමන් බලපත්‍රවලින් යානයට ගොඩ වූවන් බවට තොරතුරු හෙළිවිය. ඔවුන් දෙදෙනා 21 හැවිරිදි පොරියා මූර් මොහොමඞ් සහ 29 හැවිරිදි දෙලවාර් සයීඞ් බව පසුව හඳුනා ගැනුණි. ඒ, පරීක්ෂණ කටයුතුවලදී ඇමෙරිකාවට සහ මැලේසියානු බලධාරීන්ට සහාය දීමට ඉරාන ආරක්ෂක අංශ ඉදිරිපත් වීමෙන් පසුවය. මොවුන් ‘ත්‍රස්තවාදීන්’ යැයි මුලින් අනුමාන කෙරුණි. කෙසේ නමුත් ඉරාන බලධාරීන් පෙන්වා දුන්නේ මොවුන් ‘ත්‍රස්තවාදීන්’ නොව, සොරකම් කළ ගමන් බලපත්‍ර යොදා ගනිමින් මැලේසියාවේ සිට චීනයට ගොස් පසුව ඉතාලිය, ඔස්ට්‍රියාව හෝ ජර්මනියට ඇතුළු වීමට උත්සහ කළ අනවසර සංක්‍රමණිකයන් දෙදෙනකු බවය. යානයේ ගමන් කිරීමට නියමිතව සිට අවසන් මොහොතේ දී ඊට ගොඩ නොවුණු සිව් දෙනෙක් ද වූහ. මොවුන් ගැන පරීක්ෂණ තවමත් සිදු කෙරෙමින් පවතී. ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොළේ ආරක්ෂක කැමරා දසුන් පරීක්ෂා කිරීමේදී මොවුන් සිව්දෙනා ගැන හෝඩුවාවක් ලැබුණු බව ද මැලේසියානු ආරක්ෂක අංශ පවසා ඇත.


අලුයම 1.33 වෙද්දී ගුවන් යානය හදිසියේම ඉහළට පියාසර කර, හිටිහැටියේම යළි පහළට පැමිණ ඇතැයි ද පසුව අනාවරණය විය. මේ බව අනාවරණය වී ඇත්තේ මැලේසියානු හමුදා රේඩාර් දත්ත මගිනි. ඒ අනුව අඩි 35,000 ක් ඉහළින් ගමන් කළ යානය හදිසියේම අඩි 45,000 ක් ඉහළට නැග ඇති අතර, බටහිර දිශාවට හැරෙමින් එය යළි වේගයෙන් අඩි 23,000 ක් තෙක් පහළට පැමිණ ඇත. ඒ, පෙනැංග් නමැති දූපතට ඉහළිනි. ඉන්පසු එය යළිත් අඩි 35,000 ක් උසට නැග පියාසර කර ඇත. එතැනින් පසු යානය ගියේ කොහෙටදැයි නොදනී.


හිටිහැටියේ යානය ඉහළට පියාසර කිරීමත්, යළි පහළට පැමිණීමටත් හේතුව කුමක්දැයි තහවුරු වී නැති අතර නියමු කුටියේ සිදුවුණු කිසියම් ‘පොර බැදීමක්’ නිසා එය සිදුවුණා විය හැකි යැයි අනුමාන කෙරේ. එම පොර බැඳීම සිදුවුණේ නියමුවන් දෙදෙනා අතර ද එසේත් නැතිනම් යානයේ සිටි වෙනත් අයකු සහ නියමුවන් අතර ද යන්න හරිහැටි නොදනී. 


ප්‍රධාන නියමුවා යානය පැහැර ගත්තේ නම්, යානයේ මගීන් සහ කාර්ය මණ්ඩලය සිහිසුන් කිරීමට යානය ඉහළට ගෙන ගියා ද යන සැකය ද පවතී. බෝයිං 777 යානයක් අඩි 43,100ක් ඉහළට යද්දී එය තුළ පීඩනය වෙනස් වෙයි. ඔක්සිජන් අඩු වීමෙන් ඇතුළේ සිටින අය සිහිසුන් වෙයි. ගුවන් යානා හදිසියේ මේ අයුරින් පීඩනය වෙනස් වුවහොත්, මගීන්ට ඔවුන්ට ඉදිරියේ ආසනවල ඇති ඔක්සිජන් මුහුණු ආවරණ භාවිත කිරීමට හැකියාව ලැබේ. යානය තුළ එසේ පීඩනයේ වෙනසක් සිදු වන්නේ නම්, ඔක්සිජන් මුහුණු ආවරණ පැළැඳ ගන්නැයි නියමුවන් සහ කාර්ය මණ්ඩලය උපදෙස් දෙයි. එහෙත් හිටිහැටියේ පීඩනයේ වෙනසක් වුවහොත් යානය තුළ මගීන්ට සිහිසුන් විය හැකිය.


උදේ 7.24 වෙද්දී, මැලේසියානු ගුවන් සේවය නිවේදය කළේ යානය අතුරුදන් බවය. ඒ සමඟ යානය වියට්නාමය අසල තෝ චූ නමැති කුඩා දූපතට නුදුරින් දකුණු චීන මුහුදට කඩා වැටෙන්න ඇතැයි පළමු අනුමානය විය. සෝදිසි මෙහෙයුම් ඇරැඹුණේ ඒ අනුවය. යානය මලක්කා සමුද්‍ර සන්ධියට වැටුණේ ද යන්න අනුමාන කරමින් ද සෝදිසි කිරීම් ඇරැඹුණේය. 


බෝයිං 777 වැනි අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කෙරෙන ගුවන් යානා පියාසර කෙරෙන්නේ ස්වංක්‍රීයවය. මෙවැනි ගුවන් යානාවල පරිගණකවලට දත්ත නිවැරදිව ඇතුළු කළ විට, බාධක මඟ හැර පියාසර කරමින් ආරක්ෂිතව නියමිත ගුවන් තොටුපොළට ගොඩබෑමට පවා ඒවාට හැකියාව ඇත.   බෝයිං 777 එම්.එච් 370 මගී යානය නියමිත ගමන් මඟ වෙනස් කළේ නම්, එය ස්වංක්‍රීය පාලනයෙන් මිදී නියමුවාගේ පාලනයට නතු වෙයි. අන්දමන් දූපත් දෙසට යානය පියාසර කළේ කවුරුන් වුවත්, ඔහු ඒ ගැන හසල දැනුමක් තිබෙන අයකු විය යුතු යැයි පැවැසෙන්නේ එහෙයිනි.


යානය මූදට කඩා වැටෙන්න ඇතැයි සිතා සිදු කළ සෝදිසි මෙහෙයුම්වලට රටවල් 15 ක් සම්බන්ධ විය.  නැව් 43 ක් සහ ගුවන් යානා 58 ක් ද ඊට සම්බන්ධ විය. මූදු පතුළ ගවේෂණයට කුඩා ස්වංක්‍රීය කුමුදු භාවිත කෙරුණි. ඇමෙරිකා නාවික හමුදාව, ඔවුන් සතු ‘ඩිස්ට්‍රෝයර්’ වර්ගයේ යුද නැව් ද සෝදිසි මෙහෙයුමට යොදවා ගත් බව පැවැසිණි. මැලේසියා රජය නැව් 27 ක් සහ ගුවන් යානා 18 ක් යානය සෙවීමට යෙදවිණි. චීනය ද යුද නැව් 10ක් සහ හමුදා ගුවන් යානා දෙකක් සෝදිසියට එක් කළේය.


එපමණක් නොව චන්ද්‍රිකා 10 ක් සෝදිසි කිරීම් සඳහා එක් කර ගැනිණ. ගුවන් යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වීමෙන් පසු, තවත් පැය 7 1/2 ක් පියාසර කළ බවට තොරතුරු සොයා ගත්තේ  බ්‍රිතාන්‍යයේ ‘ඉමර්සැට්’ චන්ද්‍රිකා සමාගමය. ඒ, යානයේ රෝල්ස් රොයිස් වර්ගයේ ඇන්ජින්වලින් නිකුත් වූ සංඥා භාවිතා කරමිණි. යානය කොහෙදැයි මේ සංඥාවලින් තහවුරු කර ගැනීමට නොහැකි නමුත් එය පියාසර කළ දිශාව සහ ඇන්ජින් ක්‍රියාත්මක වී තිබුණු කාලය නිර්ණය කර ගැනීමට චන්ද්‍රිකාව සමත් විය. ඒත් යානයට අවසානයේ සිදුවුණු දේ අපට කීමට එය ද අපොහොසත් විය.

 

 

 

 

 

 

 

 

ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි