සඳ ගමනට වසර 51 යි: ඇපලෝ 11 යානයේ කොටස් වෙන්දේසියේ


 ජූලි 16 සහ 17 යන දිනවල කැලිෆෝනියාවේදී   වෙන්දේසි කෙරුණු මෙහෙයුම් යෂ්ටිය   

 

 නීල් ආම්ස්ට්‍රෝන් භාවිත කළ මෙහෙයුම් යෂ්ටිය  

 එඩ්වින් ඕල්ඩ්‍රින් භාවිත කළ මෙහෙයුම් යෂ්ටිය 

 

නීල් ආම්ස්ට්‍රෝන් හා එඩ්වින් ‘බස්’ ඕල්ඩ්‍රින් මුල්වරට හඳට පා තබද්දී ඒ යානා හැසිරවීමට භාවිත කළ මෙහෙයුම් යෂ්ටි වෙන්දේසිය පසුගිය 16 සහ 17 යන දිනවල කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ස්හිදී සිදු කෙරුණි. ඒ, නීල් ආම්ස්ට්‍රෝනයන් හා එඩ්වින් ‘බස්’ ඕල්ඩ්‍රින් සඳට පය තබා වසර 51 ක් ගත වෙද්දීය.   


 මේ මෙහෙයුම් යෂ්ටි, පරිගණක ක්‍රීඩාවලදී පාවිච්චි කරන ජෝයිස්ටික් වැනිය. මේවා 1969 ජූලි මාසයේ දී, නීල් ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රින් දෙදෙනා හඳ මතට ගෙන ගිය ඇපලෝ 11 යානයට සම්බන්ධ කොටස්. ඒ වෙන්දේසියෙන් ඇමරිකන් ඩොලර් ලක්ෂ තුනක් විතර ඉපැයීමේ බලාපොරොත්තුවක් විය. ඇපලෝ 11 මගින් හඳ මතට ඔවුන් ගෙන ගිය කොලොම්බියා සේවා මොඩියුලය හැසිරවීමට යොදා ගත්තේ මෙම මෙහෙයුම් යෂ්ටි දෙක ය. මිනිසා පළමුවරට හඳ මතට ගෙන ගිය ඇපලෝ 11 මෙහෙයුමේ වැදගත් ම සිහිවටන ලෙස සැලකෙන්නේ ද මේවාය.   


 වසර 51කට පෙර මිනිසා මේ සියවසේ ලද විශිෂ්ටතම ජයග්‍රහණය සලකුණු කළ, සංකේත ලෙස සැලකිය හැකි මේ සුවිශේෂ කෞතුක වස්තු, ඇගයීම කෙරුණේ කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ස්හී ජුලියන්ස් වෙන්දේසි පොළේ දී ‘ලෙජන්ඩ්ස් ඇන්ඩ් එක්ස්ප්ලොරර්ස්’ නම් වෙන්දේසියේදීය. අඟල් හතර හමාරක් උස මේ මෙහෙයුම් යෂ්ටි හුරුබුහුටි දැව ඇසුරුමක බහා තිබේ. එහි ඇපලෝ 11 ලාංඡනය හා නාසා ආයතනයේ සහතික කළ ටැග් පැහැදිලිව දකින්න ලැබේ. මුල්ම සඳගාමීන් සඳට ‍ගෙන ගිය යානා කොටස හැඳින්වූයේ කොලොම්බියා යන නමිනි. නීල් ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රීන් සඳ මතට ගෙන ගිය යානය හැඳින්වූයේ ඊගල් යනුවෙනි.   


 සෝවියට් දේශය 1957 වසරේ අප්‍රේල් මාසයේ දී ස්පුට්නික් 1 යනුවෙන් කෘතිම චන්ද්‍රිකාවක් යැවීමෙන් අභ්‍යවකාශ යුගය ආරම්භ විය. සෝවියට් දේශය 1961 අප්‍රේල් 12 වැනිදා යූරි ගගාරින් ප්‍රථම අජටාකාශගාමියා කරමින් වොස්ටොක් 1 යානයෙන් උඩුගුවනට යැවීමෙන් තවත් පියවරක් ඉදිරියට තැබීමෙන් අභ්‍යවකාශ තරණය සඳහා තරගයක් ඇති විය. ඒ, සෝවියට් දේශයත් ඇමරිකා එක්සත් ජනපදයත් අතරේය. ඇමෙරිකාව සඳට යෑම සැලැසුම් කළේ ඒ අනුවය.

   
ඒ අනුව, 1961 දී ඇපලෝ වැඩසටහන ආරම්භ කෙරුණි. ඉන් වසර අටකට පසු ප්‍රථම මිනිසා හඳට පා තැබුවේය. මිනිසුන් සඳට යැවීමට තරගයේ දී සෝවියට් දේශය පසුබෑමට ලක්විය. සෝවියට් දේශයට හැකි වූයේ ස්වයංක්‍රීය ගවේෂණ යානා සඳට යැවීම සහ එම යානා මගින් සඳේ පස් සාම්පල ගෙන්වා ගැනීම පමණි.   


 ඇපලෝ වැඩසටහනේ මුල්ම යානා උඩුගුවනට යැවූයේ යන්ත්‍ර සූත්‍රවල ක්‍රියාකාරිත්වය අත්හදා බැලීමටය. අනෙක් යානා හතෙන් හයක්ම හඳ වෙතට යැවීමට හැකි විය. මිනිසුන් රැගෙන හඳ බලා ගිය පළමු යානය වන ඇපලෝ 8 යානය හඳ වෙතට ගොඩ බැස්සේ නැත. 1968 නත්තල් දා සැන්දෑවේ එය හඳ වටා ගොස් ආපසු නිරුපද්‍රිතව අජටාකාශගාමීන් සමග ආපසු පැමිණියේය.   


ඇපලෝ 11 යානයට සම්බන්ධ ඊගල් යානයෙන් ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රින් සඳට ගොඩබෑවේ 1969 ජූලි 20 වැනිදා ය. ඇපලෝ 11 යානය සඳ බලා පිටත්වූයේ ජූලි 16 වැනිදා ය. මෙහෙයුමට සම්බන්ධ වූයේ නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්න් හා මයිකල් කොලින්ස් යන තිදෙනා ය. ඇපලෝ 11 යානය කොටස් තුනකින් යුක්ත විය. ඇපලෝ 11 උඩුගුවනට ගෙන යන සැටර්න් 5 රොකට්ටුව, මවු යානය වූ කොලොම්බියා හා චන්ද්‍ර යානය වූ ඊගල් ඒ කොටස් තුනය. නීල් ආම්ස්ට්‍රෝ එඩ්වින් ඕල්ඩ්‍රින් සඳ මතට ගොස් එනතෙක් මයිකල් කොලින්ස් මවු යානය පදවමින් සඳේ කක්ෂයට වී සිටියේය.   

 


ලු‍සිත ජයමාන්න   
ඩේලිමේල් ඇසුරිනි