සතුරන්ට මුහුණ දීමට සේනා රැස් කළ ගම බොරලැස්ගමුව


ඈත අතීතයේ කෝට්ටේ රාජධානියට අයත් බොරලැස්ගමුව සටන්කාමී ඉතිහාසයකට මෙන්ම වාරි ශිෂ්ටාචාරයේ විශිෂ්ට නිර්මාණයක් වූ සුන්දර වැවක උරුමයෙන් ද පෝෂණය ලැබු ගම්මානයකි.   
 
බොරලැස්ගමුව යන ග්‍රාම නාමය සෑදි ඇති අන්දම සොයා ගියෙමි.   
 
එය කෝට්ටේ රාජධානිය සමග ඉතා සමීප සබඳතාවක් තිබු ගමකි.  
 
සතුරු හමුදාවලට මුහුණ දීමට බළසේනා රැස් කළ ගම බලරැස්ගමුව බොරලැස්ගමුව වූ බව අදටත් ගමේ ජීවත් වෙන පැරැන්නන් පවසන්නේ මහත් අභිමානයෙනි.  
 
කෝට්ටේ යුගයේ ධර්මශාස්ත්‍රීය ප්‍රබෝධයේ කේන්ද්‍රස්ථානයක් වූ පැපිළියානේ සුනේත්‍රාදේවි පිරිවෙනත් අනෙක් පැත්තෙන් ඓතිහාසික බෙල්ලන්විල රාජ මහා විහාරස්ථානයත් බොරලැස්ගමුවේ අභිමානය රැක දුන් බොරලැස්ගමුව හා බැඳී පවතින ඉපැරැණි ගම්මාන දෙකකි. කෝකිල සංදේශයේ පැපිළියානේ සුනේත්‍රාදේවි පිරි​ෙවනේ විහාරස්ථානය ගැන සඳහන්ව ඇත්තේ මේ අයුරිනි.   
 
සඳ දළ නල විසිරුණු සමානේ
සඳ දෙව් දුළබ පැළඹර දිසි වසානේ
වැද නිදිගන්නට සහයුරු වෙළ පියානේ
සෙජ නුඹ වසන් වෙහෙරේ පැපිළියානේ  
 
බෙල්ලන්විල විහාරස්ථානයත් ඈත අතීතයේ සිට වන්දනාමානයට පාත්‍ර වූ ඓතිහාසික සිද්ධස්ථානයකි. මෙවැනි පසුබිමක බොරලැස්ගමුව යනු කෘෂිකාර්මික ජීවන රටාවට හුරු ජනතාවගේ නිජ භූමියක් බව නොරහසකි. තුරුලතා මඩුලු වලින් පිරුණු ගමක අසිරිය සමග වැවෙන් හමන මඳ නල මුසු වූ කල් හි දැනෙන සෞන්දර්යාත්මක සුව පහස සෞන්දර්යකාමීන්ගේ නෙත් සිත් පැහැර ගන්නේ ඔවුන් ද නොදැනුවත්වමය. හිමිදිරි උදෑසන ඒ රස පහස විඳි සෞන්දර්යකාමීයා ශ්‍රී චන්ද්‍ර රත්න මානවසිංහයන්ය. ඔහු ජීවත් වීමට බොරලැස්ගමුව තෝරා ගෙන ඇත්තේ මේ සොඳුරු බව නිසාය. ඔහුගේ අතින් ලියවුණු බොහෝ නිර්මාණවලට බොරලැස්ගමුව පරිසරයේ තිබු ගැමි මිහිර බොහෝ දුරට ගළපා ඇත. බොරලැස්ගමුවේ විසූ ජී.එච්. පෙරේරා කිවිඳුන් සේම අදටත් ජීවත් වන ප්‍රවීණ ගත් කරු සෝමවීර සේනානායක සූරීන්ගේ ද සාහිතකෙත පෝෂණය වීමට බොරලැස්ගමුවේ සොඳුරු පරිසරය බෙහෙවින් බලපා ඇති බව ඔවුන්ගේ නිර්මාණවලින් පසක් වනු ඇත.  
 
 
 
 
බොරලැස්ගමුවේ පුරාණය සොයා යෑමේ දී හමු වූ බොරලැස්ගමුව සංස්කෘතික සහ අධ්‍යාපන පදනමේ සභාපති හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්. වික්‍රමාරච්චි මහතා බොරලැස්ගමුව ගැන අදහස් දැක්වූවේ මේ අයුරිනි.   
 
කෝට්ටේ රාජධානිය සමග කිට්ටු සම්බන්ධකමක් තිබුණ ගමක් වශයෙන් බොරලැස්ගමුවට දීර්ඝ ඉතිහාසයක් තිබෙන ගමක්.   
 
කෝට්ටේ රාජධානියේ රජ කළ හය වැනි විජයබා රජතුමාගේ පුතුන් තිදෙනා වූ බුවනෙක බාහු, මායාදුන්නේ රයිගම් බණ්ඩාර යන රාජ කුමාරවරුන් තිදෙනාට ක්‍රීඩා කරන්න වගේම විවේක ගන්න සකස් කළ භූමිය බොරලැස්ගමුව වුණා කියලා කථාවක් තියෙනවා. ඒ අනුව බොරළු අස්කරගම බොරලැස්ගමුව වුණා කියලත් ජනප්‍රවාදයේ තියෙනවා. කෝට්ටේ යුගයේ කෘෂි කර්මාන්තය නගා සිටුවීමට විශාල දායකත්වයක් බොරලැස්ගමුවෙන් ලැබී තිබෙනවා.   
කැස්බෑව වැව, කටු ඇළ වැව ආදී වැව් අතර බොරලැස්ගමුව වැවට ප්‍රධාන ස්ථානයක් ලැබී තිබෙනවා. දෙහිවල අත්තිඩිය බෙල්ලන්විල ආදී විශාල වෙල් යායවල් වලට වී ගොවිතැන් කිරීමට අවශ්‍ය ජලය සපයා දී ඇත්තේ බොරලැස්ගමුව වැවෙන් තමයි. සිංහල රජ කාලෙන් පස්සේ පෘතුගීසි, ලන්දේසි පාලන යුග වලදී බොරලැස්ගමුව වැව ගැන වැඩි උනන්දුවක් දක්වලා නැහැ.   
 
1884 දී ඉංග්‍රීසි ජාතිකයන් පාලනය කළ යුගයේදී නැවත බොරලැස්ගමුව වැව ප්‍රතිසංස්කරණ කිරීමට පියවර අරගෙන තිබෙනවා.   
 
ඉංග්‍රීසි පාලකයන් බොරලැස්ගමුව වැව ගැන ​ෙකතරම් උනන්දු වුණාද කිව්වොත් ඒ කාලේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වාරි ඉංජිනේරුවා බොරලැස්ගමුවට කැඳවලා ඔහුගේ උපදෙස් මත වැව හාරලා වැව් බැම්ම උස්සලා කුඹුරු ගොවිතැන්වලට ක්‍රමවත් ජල සැපයුමක් ලබා දීලා තියෙනවා.   
 
1867 දී වැවේ ආරක්ෂාව වෙනුවෙන් වෙල් විදානේ කෙනෙක් පත් කරලා තියෙනවා. ඔහුට පැවරුණ ප්‍රධාන කාර්යය වුණේ වැව පාලනය කිරීමත් ජලය නිසි පිරිදි කුඹුරුවලට මුදා හැරීමක් කුඹුරු වලින් රජයට බදු අය කර දීමත්ය. ඉංග්‍රීසි ආණ්ඩුවෙන් පත් කළ වෙල් විදානේගේ නම දොන් ජෝසප් යහම්පත් කරුණාරත්නයි. වැවේ වටිනාකම තේරුම් ගත් ඉංග්‍රීසි පාලකයෝ වැවට ඩයිනමයිට් දැමීම සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙනවා.   
 
නමුත් ගමේ ජීවත්වන ගම් වැසියන් දෙදෙනෙක් ඩයිනමයිට් දාලා මාළු මරලා තියෙනවා. මේ බව දැන ගත් ගම්වැසියෝ වෙල් විදානෙට පැමිණිලි කරලා තියෙනවා. වැව් බැම්මටත් සුළු සුළු හානි සිදු වෙලත් තිබෙනවා. පස්සේ මේ දෙන්නට රුපියල් 25 ගානේ දඩ මුදල් ගෙවන්න ඒ කාලේ සිද්ධ වෙලා තිබෙනවා.
  
වී ගොවිතැන බොරලැස්ගමුවේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි. ඊට අමතරව අඹ වගා
වක් තිබිලා තියෙනවා.   
 
කරත්ත වලින් තමයි ඒ කාලේ කොළඹට අඹ අරන් ගිහිල්ලා තියෙන්නේ ගමේ රේන්ද කර්මාන්තයක් තිබිලා තියෙනවා. අදටත් රේන්දවත්ත කියලා වත්තකුත් තියෙනවා. කොටුවේ චැතැම් වීදිය, යෝක් වීදිය, ගල්කිස්ස ආදී ස්ථානවල රේන්ද අලෙවි සඳහා පොළවල් පවා ඒ කාලේ තිබිලා තියෙනවා. බොරලැස්ගමුවේ පන් කර්මාන්තයක් වී ගොවිතැන වගේම තිබුණා පැදුරු, මාගල් මලු ආදි භාණ්ඩ නිෂ්පාදනය කළා.   
 
ගමේ ගොයම් කපා පාගා ගැනීමට මාගල් හා පැදුරු වුවමනා වුණා ඒ නිසා පත් කර්මාන්තයට ගමේ හොඳ ඉල්ලුමක් තිබුණා. කබොක් ගල් හා ගඩොල් කර්මාන්තයක් කරගෙන ගිය පිරිසක් ගමේ හිටියා.
  
ගෙවත්තේ පොල් ගහක් දෙකක් වගා කර ගැනීමට අමතක නොකළ ගම්වැසියන් පොල් තෙල් හිඳීම පොල් අතු විවීම වගේම ගෙවල්වල වහලවල් සෙවිලි කිරීමට පොල් අතු යොදා ගත්තා.   
 
ගව පාලනය ගමේ හොඳින් තිබුණා. මෑතක් වන තුරුම ගෙවල්වලට එළ කිරි මී කිරි බෝතල්වල දමා විකිණීම කරගෙන ගිය පිරිසක් හිටියා.   
 
පිළියන්දල තිබු පිඟන් සංස්ථාවට පිඟන් මැටි ලබා ගත්​තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ වේරහැරින් තමයි. මැටි ශුද්ධාගාරයක් වේරහැර තිබුණා. රබර් සහ කුරුඳු වගාව පැවති බවට රබර් වත්ත කුරුඳුවත්ත ආදි නම් ඇති ප්‍රදේශ පැවතීමෙන් පැහැදිලි වෙනවා.   
 
කෙකටිය, නෙළුම් අල, දිය හබරලිය, ඕලුදඬු, දිය බෙරලිය අල කොළ දලු ජල පෝෂක ප්‍රදේශ නිසා ඒ කාලේ යහමින් තිබුණා. මේවා ගම්වැසියෝ ආහාරයට ගත්තා වගේම වෙ​ෙළඳ පොළට දමා කීයක් හරි සොයා ගත්තා. ලෝහ භාණ්ඩ රන් රිදි ආභරණ කර්මාන්තකරුවෝ ගමේ කොටසක හිටියා. ඒ පැපිලියාන ප්‍රදේශයේ වළං කර්මාන්තයක් දිවුලපිටියේ අවට හකුරු කර්මාන්තයට. ඒ කාලේ ප්‍රසිද්ධ වෙලා තිබුණා.   
 
අපේ ගම්වලින් බිහි වූ වියතුන් හා කලාකරුවන් ගැන සඳහන් කළොත් මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි, බොරලැස්ගමුවේ මහ කවි ජී.එච්. පෙරේරා, ගීත රචක හා ප්‍රවීණ පුවත්පත් කලාවේදී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ගත්කරු සෝමවීර සේනානායක, පුවත්පත් කර්තෘ විමලසිරි පෙරේරා, පරිවර්තන කෘති ලියු සිරිල් සී.පෙරේරා, මහාචාර්ය ඩබ්ලිව්. විල්සන්, සම්මානීත මහාචාර්ය අමිල සිත් යාපා, මහාචාර්ය සුසිරිපාල මාලිම්බොඩ, ගිරිරාජ් කෞශල්‍ය, ලැම්බට් පෙම්මාවඩු ඩබ්ලිව්.ජී. බෝතේජු උදය මානවසිංහ, පී.ආර්. පෙරේරා, දමිතා අබේරත්න, මාලනි බුලත්සිංහල යනාදී විද්වතුන් හා කලාකරුවන් රැසක් මේ ප්‍රදේශයේ එදා ජීවත් වුණා වගේම අදටත් ජීවත් වෙනවා යැයි වික්‍රමාඅාරච්චි මහතා අවසන් වශයෙන් පැවසීය.   
 
ප්‍රවීණ ගත් කරු සෝමවීර සේනානායක මහතා ජීවත් වෙන බොරලැස්ගමුව ගැන අදහස් දැක් වූයේ මේ අයුරිනි.   
ඉස්සර බොරලැස්ගමුව හන්දියට් කිව්වේ “නාගස් හන්දිය” කියලා තමයි. මේකට හේතුව විශාල නා ගසක් මේ හන්දියේ තිබිලා තියෙනවා. අතීතයේ ගම් හැඳින්වීමට ගස් වර්ගවල නම් යොදා ගෙන තිබෙනවා. කොස් ගස් හන්දිය, දිවුල් ගස් හන්දිය, දෙල්කඳ හන්දිය, පේරගස්හන්දිය ආදී නම් වලින් ඒ බව පැහැදිලියි. බොරලැස්ගමුව ඒ කාලේ බොහෝම ප්‍රසිද්ධයි. දම්පර කියන අඹ වලට යාපනේ කරතකොලොම්බා අඹ වගේ බොරලැස්ගමුවේ දම්පර අඹවලට හොඳ ඉල්ලුමක් තිබුණා.   
 
ඊළඟට දේශීය එළවළු භෝග ගමේ වගා කළා. විශේෂයෙන් පිටකොටුවේ එළවළු මාර්කට් එකට දේශීය එළවළු වර්ග අලෙවි කළේ බොරලැස්ගමුවෙන් තමයි. වී ගොවිතැන ගමේ ප්‍රධාන ජීවනෝපාය වූ අතර ගොයම් කපා පාගා ගත් කල ගම්මඩු, ​ෙදවොල් මඩු අලුත් සහල් මංගල්‍යය, කොහොඹ කංකාරිය වැනි උසස් චාරිත්‍ර විධි වලින් පෝෂණය වුණු ගමක් තමයි බොරලැස්ගමුව කියන්​ෙන් මෙවැනි සංස්කෘතික අංග වලින් බොරලැස්ගමුවේ වැසියන්ගේ ජන ජීවිතය ඔපවත් වුණා.   
 
අදටත් පිරිවෙන් හන්දියේ වසරකට වරක් ගම්මඩුවක් පැවැත්වීමේ චාරිත්‍රය තිබෙනවා. වසර 67 කට පෙර බොරලැස්ගමුව ඇතුළු සෑම ගමකම පාහේ දරුණු ගව වසංගතයක් ඇති වෙලා තිබෙනවා. ගවයා කියන්නේ අ​ෙප​්​ වී ගොවිතැන හා ජන ජීවිතය හා බැඳුණු සතෙක්. මේ ගව වසංගතය පැතිර ගිය අවස්ථාවේ එවකට බෙල්ලන්විල රජ මහාවිහාරයේ වැඩ වාසය කළ බෙල්ලන්විල සෝමරතන නායක හාමුදුරුවෝ දෙවියන්ට බාර හාර පුද පුජා පවත්වල පෙරහරක් පවත්වල තිබෙනවා. මේ සිදුවීමෙන් පස්සේ ගමේ ගව වසංගතය තුරන් වෙලා තිබෙනවා.  
 
මේ සිදුවීම සිහි කරලා වසරක් පාසා බෙල්ලන්විල රජ මහා විහාරයෙන් අද දක්වා පෙරහර පවත්වනවා. බෙල්ලන්විල පෙරහරේ දිය කැපීමේ මංගල්‍යයට වේරැස් ගඟට යන්නේ බොරලැස්ගමුව හරහා තමයි. දිය කැපීම අවසන් කර නැවත විහාරස්ථානයට පැමිණෙන පෙරහරට දේව දානය පිරි නමන්නේ බොරලැස්ගමුවෙන් තමයි.   
 
බොරලැස්ගමුවේ පවතින නිහඬ සාමකාමී ගැමි පරිසරය ගැන වටහා ගත් පිරිස පදිංචියට බොරලැස්ගමුව තෝරා ගෙන තිබෙනවා. ඒ අතර වියතුන් කලාකරුවන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන උදවිය ඉන්නවා. ඒ අය දියුණු බොරලැස්ගමුවට හොඳ මානව සම්පතක් එදා තරම් අද වී ගොවිතැන බොරලැස්ගමු​ෙවන් නොතිබුණත් තවමත් යන්ත්‍ර සුත්‍ර මගින් හෝ ගොවිතැන් කරන අය අතරින් පතර ඉන්නවා. අවසන් වශයෙන් වර්තමාන පරපුරෙන් බොරලැස්ගමුවට කල එළියක් ඇති වීම සතුටට කරුණක් බව ගත්කරු සෝමවීර සේනානායක මහතා අවසන් වශයෙන් පැවසීය.   
 
ඊළඟට හමුවූයේ බොරලැස්ගමුවේ ඉපදී හැදී වැඩි අදටත් ගමේම ජීවත් වෙන ප්‍රවීණ රංග ධරයකු වන ජී.ආර්. පෙරේරා මහතායි. ඒ මහතා ඒ අතීත තොරතුරු ගෙන හැර පෑවේ මෙසේය.   
 
බොරලැස්ගමුවට ගම් 13 ක් අයිති වෙනවා. දිවුල්පිටිය, පැපිළියාන, බෙල්ලන්විල, බෙල්ලන්තර, අත්තිඩිය, රත්තනපිටිය, නිකපේ, කටුවාවල, නිලම්මහර, වේරහැර ගොඩි ගමුව, ඇඹිල්ලවත්ත එගොඩ වත්ත හෙවත් උස් වත්ත යනුවෙන් ගම් 18 ක් තිබෙනවා. 1505 දී පෘතුගීසි ආක්‍රමණයෙන් පස්සේ ගාලු දිසාවේ පෘතුගිසීන්ට පන්දම ඇල්ලූ තුන් දෙනෙක් හබරාදුව ගල්හේන කියන ප්‍රදේශයේ ඉඳලා තියෙනවා. මේ අයියා මලෝ තුන් දෙනාගේ නම් වුණේ ගල්​ෙහ්නගේ ශිල්වා, ගල් හේනගේ පෙරෙයිරා සහ ගල්හේනගේ අල්වේස් කියලයි.   
 
මෙයින් ශිල්වා කඩු ශිල්පයට හොඳ දක්ෂයෙක් වෙලා තියෙනවා. මුලින්ම රජුට පක්ෂපාතීව ඉඳලා පස්සේ පෘතුගිසීන්ගේ නම් ගම් වාසගම් දැනගෙන පෘතුගීසීන්ට ළැදි පිරිසක් වෙලා තිබෙනවා. කොහොම හරි ගමේ හිටපු ගම්මුලා දෑනියත් එක්ක ආරෝවක් ඇති කරගෙන ගමෙන් තරහ වෙලා පාරට බැහැල තියෙනවා.
 
  
 
 
​ෙම් අයිය මලෝ තුන්දෙනා හබරාදුවේ ඉඳලා යක්කල මුල්ල උඩුගම, නෙළුව පාරෙන් බදුරලිය බුලත්සිංහල අඟුරුවාතොට හරහා පයින්ම ඇවිත් නතරවෙලා තියෙන්නේ. එදා නාගස් හන්දිය වූ බොරලැස්ගමුව හන්දියේ තමයි.   
මේ අයිය ම​ෙලා් තිදෙනාගෙන් වැඩි මලා වූ ශිල්වා කෝට්ටේ රාජධානියේ හිටපු එදිරිල්ලේ රාලව හොඳට හඳුනනවා. ශිල්වා කඩු හරඹයේ දක්ෂයෙක් කියලත් එදිරිල්ලේ රාල හඳුන්වනවා. ශිල්වා කළේ තව අනිත් සහෝදරයන් දෙදෙනා නාගස් හන්දියේ නතර කරලා එදිරිල්ලේ රාල හමුවෙන්න ගියා.   
 
ශිල්වාගේ පැමිණීම් ගැන සතුටු වූ එදිරිල්ලේ රාල කෝට්ටේ රජතුමාට ශිල්වව හඳුන්වලා දෙනවා. පසුව ඔහුව කෝට්ටේ රාජධානියේ බළ සේනාවට බඳවා ගන්නවා. පසුව ශිල්වාගේ ක්‍රියාකලාපය ගැන සතුටට පත් වන රජතුමා ඔහුට බැද්දගානේ ගම්වරය ලබා දීලා තිබෙනවා. ඔහු ඒ ප්‍රදේශයෙන් පෙළවහක් කරගෙන ජීවත් වෙලා තියෙනවා. අදටත් බැද්දාන ප්‍රදේශයේ ගල්හේනගේ සිල්වා වාසගම තිබෙන උදවිය ඉන්නවා. ඒ අය හබරාදුවෙන් ආ ශිල්වාගෙන් පැවත එන පිරිස තමයි.   
 
ශිල්වාගේ දෙ​ෙසාහොයුරන් වූ ගල්හේනගේ පෙරෙයිරා බොරලැස්ගමුවෙන් පෙළ වහක් කරගෙන ජීවත් වූ අතර අදටත් ගල්හේනගේ පෙරේරා යන වාසගම තිබෙන උදවිය හබරාදුවෙන් ආ පෙරෙයිරාගේ පරම්පරාවෙන් පැවත එන උදවිය තමයි ගල්හේනගේ අල්වේස් කොට්ටාව බ්‍රාහ්මණගම ප්‍රදේශයේ ඉඩම් අත්පත් කරගෙන පෙළ වහක් කරගෙන ජීවත් වෙලා තිබෙනවා. අදටත් බ්‍රාහ්මණ ගම ප්‍රදේශයේ ගල්හේනගේ අල්විස්ලා ජීවත් වෙනවා.   
 
මගේ සීයා කෙනකු වන ගල්හේනගේ හෙන්ද්‍රික් පෙරේරා හෙවත් මහා කවි ජී.එච්. පෙරේරා කිවිඳුන් ද ඒ පරපුරෙන් පැවත එන කෙනෙක් තමයි බොරලැස්ගමුව ප්‍රසිද්ධ වුණේ. ජී.එච්. පෙරේරා සීයාගෙන් තමයි.   
 
මට අකුරු කියෙව්වෙත් ජී.එච්. පෙරේරා සීයා තමයි. මම මුලින්ම පාසල් ගියෙත් රත්තනපිටියේ ආනන්ද බෞද්ධ මිශ්‍ර පාඨශාලාවට තමයි. ඒ විදුහලේ මුල් ගුරුවරයා වූයේ ජී.එච්. පෙ​ෙර්රා කිවිඳුන්ම තමයි.
  
විදුහලේ උදේ පන්සිල් ගැනී​ෙමන් පසුව විදුහලට පමා වී එන ළමයින්ට දඬුවම් කළේ සුන්දර වදන් පිරුණු කවියකින් තමයි. ඒ කවි​ෙය් හොඳ උපහාසයක් කැටිව තිබුණා. පස්සට ඉර පායන තුරු නිදා ගන්නේ ඇයිද වැනි වදන් ඒ කවිවලට තිබුණා. ඒ කාලේ දරුවෝ හරිම ලැජ්ජාශීලී නිසා වෙලාවට විදුහලට පැමිණීම මේ කවි වලින් පස්සේ සිදු වුණා. ඒ කාලේ අද වගේ සෑම තැනකම ගෙවල් බොරලැස්ගමුවේ තිබුණේ නැහැ. සුවාරිස් රාලහාමි ගේ ගෙදර නිශ්ශංකලාගේ ගෙදර අපේ සියදෝරිස් බාප්පාගේ ගෙදර ජී.එච්. පෙරේරා සීයාගේ ගෙදර ආදී කොට ගත් ගෙවල් මගේ මතකයේ තිබෙනවා. ලඳු කෑලෑවල් සහිත ප්‍රදේශ තමයි ඒ කාලේ තිබුණේ.  
 
පොල්, දෙල් කොස් අඹ කජුවලින් ඵල බර වූ ස්වයං​පෝෂිත කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වුණ පිරිසක් අපේ ගමේ ජීවත් වුණා. පොඩි කාලේ ජනප්‍රියම ක්‍රීඩාව තමයි චක්ගුඩු සෙල්ලම කියන්නේ. ගැමි කොල්ලෝ වශයෙන් ඒ කා​ලේ අඹ කාලේට අඹ ගස් වල තමයි කජු කාලෙට කජු ගස්වල තමයි කජු ගස්වල අතු ලෙහෙසියෙන් කැඩෙන්නේ නැහැ. ඒකනේ ගම් මඩු ශාන්ති කර්මවලදී අයිලය හදන්න කජු අතු ගන්නේ.
  
මම ඉතින් කජු අත්තේ ඉහත්තාවටම ගිහිල්ලා කජු පුහුලම සමග කජු ගෙඩිය කඩා ගන්නවා. මේ විදියට කජු කඩන්න ගිහිල්ලා වැටුණු අවස්ථාවලුත් තියෙනවා.   
 
බොරලැස්ගමුවේ දම්පරා අඹ හරිම රසයි. ඉතින් ඒ කාලේ අඹ ගහක් අතරින්නේ බොහෝම කලාතුරකින් තමයි. ඒ කාලේ කොල්ලෝ කජු පුහුලමකට අඹ ගෙඩියකට යටත් වෙන්නෙ කැමැති නැහැ. ඉතින් ආ​ෙරා්ව තමයි හවසට තාත්තා කුඹුරු වැඩ කරලා ආවාම දිමි ගොටු සහිත වේවැල් කසාය මට හොඳින් ලැබෙනවා.  
 
එ් කාලේ නාගස් හන්දියේ කඩ 4 ක විතර නම් මට මතකයි. පකිර කඩේ. මයිනා කඩේ ආරොන් අයියාගේ කඩේ කිලුටු කඩේ වශයෙන් කඩ තිබුණා. පකිර කඩේ මුස්ලිම් ජාතිකයකුගේ කඩයක් මයිනා කඩේ ගැහැනු කෙනෙක් කරපු කඩයක්. ඒ කඩේ මයිනෙක් ඇති කළා. මයින කඩේට උදේට තේ බොන්න මිනිස්සු ඇවිල්ලා හිටපු හැටි මට මතකයි. නාගස් හන්දියේ ඉඳලා හික් ගස් හන්දියට (මහරගමට) ශත 5 යි. හික් ගස් හන්දිය කියන්නේ මහරගමට තමයි. ඒ කාලේ බෙල්ලන්විලට ශත 5 යි. ඇස්වාට්ටුවට ශත 25 යි. ඉඳියප්පමක් ශත 2 යි. ආප්පයක් ශත 5 යි. පිරිවෙන හන්දියේ රෙගක්කාගේ කඩේ ආප්ප හරිම රසයි. අද වගේ ආප්ප නෙවෙයි. ඒ කාලේ එක ආප්පයක් කෑවාම බඩ පිරෙනවා. ඒ කාලේ බොරලැස්ගමුව හා බෙල්ලන්විල වෙල්යාය අස්වැද්දුවම හරිම ලස්සනයි. මේ ප්‍රදේශ ඒ කාලෙත් කුරුලු පාරාදීසයක් තමයි. හැල් කුඹුරු නිසා ලියදි වපුරන්න හොඳට වතුර හිඳෙන්න ඕන. අපි එළිවෙන තුරා යොතෙන් වතුර අරන් දානවා. යොතෙන් වතුර අරන්දාන්නේ එක ක්‍රමයකට තමයි. එක කුඹුරක වතුර තිබුණොත් වපුරන්න බැරි නිසා කවුරු කවුරුත් මහන්සි වෙලා යොතෙන් වතුර අදිනවා. ඒ කාලේ යොත් කවිත් තිබුණා. වතුර අහවර කළාම බෙල්ලන්විල වෙල් යායේ ලුල්ලු කාවයියෝ මගුරෝ කණයෝ, පිරිලා බත් පත රස ගන්නවනවා වගේම එහි ඇති ගුණය දන්නේ ගැමියෝ පමණයි.   
 
මගේ ළමා කාලයේ හමු වූ මිතුරන් අතර සිනමාවේ දී තිස්ස අබේසේකරයන් ඔහු මිය යන තුරාම මගේ අති ජාත මිත්‍රයෙක් වුණා.   
 
ඉස්සර මමත් තිස්සත් විනෝදෙට දේශපාලන රැස්වීම් බලන්න යනවා. ඒ කාලේ ​ෙසා්මවීර චන්ද්‍රසිරි කැස්බෑවට ස්වාධීනව තරග කරනවා. ඔහුගේ විචිත්‍රවත් වදන් අහන්න මමත් තිස්සත් බොරලැස්ගමුවේ රැස්වීමක් බලන්න ගියා. සෝමවීර ඉතා වේගයෙන් සම සමාජ කාරයන්ට බණින්න ගත්තා. තොපි හිතා ගනිව් තොපේ  ඡන්දේ නැති වුණාට මම දිනනවා. මට තොපේ ඡන්දේ ඕනම නැහැ කියලා ඉතාම තදින් සම සමාජකාරයන්ට බැන්නා. මටත් තිස්සටත් මේක අදහා ගන්න බැරි වුණා. රැස්වීම ඉවර වෙලා අපිත් රත්තනපිටියේ විද්‍යොදය පාරෙන් යද්දි සෝමවීරගේ බමෆියට් රථය නතර කරලා තියෙනවා. අපි දුරටම දැක්කා එතැන රා තිප්පොළක් තිබෙන ස්ථානයක්. අපිත් පොඩ්ඩක් ඔළුව දාලා බලන කොට සෝමවීර සම සමාජ පාක්ෂිකයන් සමග රා බොනවා. සම සමාජ පාක්ෂකයන්ට රා අරන් දීලා තියෙන්නේ සෝමවීරයි. සම සමාජකාරයෝ රා බොන ගමන් කියනවා ‘‘සහෝදරයා බොරලැස්ගමුවේදී කරපු කථාව නම් ඒ තරම් හරි මදියි. අපිටයි බැන්නේ.’’
 
එතකොට සෝමවීර කියනවා මං දන්නවා මම උඹලට කොයි තරම් බැන්නත් උඹලා මට ඡන්දේ දෙනවා. මේක උඹලා ගණන් ගන්න එපා. ඇත්තටම ඒ සැරේ මහ ඡන්දයේදී සෝමවීර ඡන්ද දාහතර දහස් ගණනකින් කැස්බෑව ආසනය ජය ගත්තා. ඒ තරම් සුන්දරයි. ඒ කාලේ දේශපාලනය. ජී. සමරපාල පෙරේරා වෙද මහත්තයා සම සමාජයෙන් ඡන්ද ඉල්ලුවා.   
 
රූබන් පෙරේරා කියලා තවත් අපේ ඥාතියෙක් ගම් සභාපතිකම කළා. මහ ඡන්දෙට ඉල්ලුවා. හරිම සැහැල්ලු සුන්දර මිනිස්සු තමයි. ඒ කාලේ දේශපාලනය කළේ. රොබට් ගුණවර්ධන මහත්තයා අපේ ගමේ වෙලේ සෑම නියරක් ගාණේ ඇවිද්ද දේශපාලනඥයෙක්. මිනිස්සු සමග පුදුම එකමුතුවක් මේ දේශපාලනඥයන් තුළ තිබුණා.   
 
රත්තනපිටියේ අක්කර 52 ක ඉඩමත් කෝට්ටේ යුගයේ දී රාජසන්නසකින් පැපිළියානේ සුනේත්‍රා දේවි පිරිවෙනට පූජා කරලා තියෙනවා. මේක සුද්දන්ගේ කාලේ අයිතිකර ගෙන දෙවැනි ලෝක යුද සමයේ යුද පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගිහිල්ලා තිබෙනවා.   
 
පස්සේ සුනේත්‍රා දේවි පිරිවෙන් මැද ගොඩ සුමන තිස්ස හාමුදුරුවන්ගේ මැදිහත්වීම මත මේ ඉඩමේ විද්‍යොදය විශ්වවිද්‍යාලය පිහිටු වීමට පියවර ගත්තා. වර්තමාන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පිහිටුවල තියෙන්නේ මේ ඉඩමේ තමයි.   
 
බොරලැස්ගමුවේ ගොවියකුගේ පුතෙකු ලෙස ඉපදීමට ලැබීමත් ඇළේ දොළේ නියරේ පහස ලබමින් කුඹුරු අස්වද්දවා අස්වනු නෙළිම තරම් සතුටක් මගේ ජීවිතයේ කිසි දිනෙක අත් විඳලා නැහැ’’ යනුවෙන් ජී.ආර්. පෙරේරා නම් රංගධරයා අවසන් වශයෙන් ප්‍රකාශ කළේය.   
 
බොරලැස්ගමුවේ දී හමු වූ ජී.ආර්. පෙරේරා මහතා සමග කථා බහ කිරීමේදී ගොවි බිම් හා ගොවිතැන ගැන ලබා ගත් දැනුම ප්‍රශංසනීයයි. ඉතාම රසවත් අයුරින් තවත් බස හැසිරවීම හරියට වක්කඩ කැඩු කල ගලා බසින දිය පාරක් සේ ගලා යන්නේ අව්‍යාජ ගැමියකු මා ඉදිරියට කැඳවමිනි.   
 
 
 
සටහන සහ ඡායාරූප
මහින්ද ආරියවංශ  
 
 
 
​බොරලැස්ගමුවේ ඉපැරණි ඡායරූපය ලබා දීමෙන් උපකාර කළ ගත්කරු සෝමවීර සේනානායක මහතාට ස්තූතිය පුද කරමි.