සතුන්ගේ වෙස් ගෙන ගමට ආ මහ සොහොන් අවතාරය


 

එළුවකු, මුවකු, අශ්වයකු, බැටළුවකු, අලියකු තම වාහනය කර ගත්, ලේ සොහොන්, අමු සොහොන්, ජය සොහොන්, මරු සොහොන්, ගොළු සොහොන් අවතාර ගෙන්වමින් සුපුන්ට වැසුණු මහසොහොන් අවතාරය පන්නා දැමීමට යක් ඇදුරෝ තුන් තිස් පැයක තොවිලයක් සිදු කළහ.   


දැරණියගල ප්‍රදේශයේ ජීවත් වන සියදෝරිස් හා එන්සිනා තම වැඩිමල් දියණිය වන සුදාරාත් බෑණා වන විමලු‍ත් ඔවුන්ගේ දරුවා වන සුපුන් ද සමඟින් ජීවත් වන්නේ ඉතා සතුටිනි. පුංචි පවුල රත්තරං යන වදන මොනවට සනාථ කරමින් මොවුන්ගේ පවුලේ කිසිදු ආරවුලක් හෝ හිත් රිදවීමක්වත් කිසි දිනකවත් සිදුවූයේ නැත. සියදෝරිස් හා එන්සිනා තමන්ගේ වැඩිමල් දියණියගේ පුතා වන සුපුන්ට දැක්වූයේ ඉමහත් සෙනෙහසකි. ආච්චිගේත් සීයාගේත් ආදරය දිනාගෙන හැදෙන වැඩෙන සිරිමල්ට වයස අවුරුදු දොළහකි. සුපුන් දඟකාරය. නිතරම කෙළිදෙළෙන් කාලය ගත කරයි.   


පාසල් ගොස් දුවගෙන එන්නේ ආච්චිත් සීයාත් සමඟ සෙල්ලම් කිරීමටය. ආච්චි සහ සීයා සමඟ විහිළු කරමින් දුව පනිමින් කතන්දර අසාගනිමින් සිටින සුපුන්ව සියදෝරිස්ටත් එන්සිනාටත් නැතිවම බැරි තරම්ය. අම්මාටත් තාත්තාටත් වඩා ඔහු සමීප මොවුන් දෙදෙනාටය. සුපුන්ට හැමදාම කෑම කවන්නේ ආච්චිය. සීයා කතන්දරයක් කියන අතරතුර ආච්චි කෑම ගුළි කර කවන්නේ ඇත්තටම සුපුන් තවමත් ළදරුවකු යැයි සිතාය. ඇත්තටම මොවුන්ගේ පවුල හරිම සුන්දරය.   


සියදෝරිස්ගේත් එන්සිනාගේත් බාල දියණිය වන කුමුදුනී ජීවත් වන්නේ මෙම නිවසට කිලෝමීටරයක් පමණ දුරකිනි. කුමුදුනී ද නිවසේ වැඩකටයුතු අහවර කර සවස් වරුවේ සුපුන්ලාගේ නිවසට ගොඩවදින්නේ රෑ බෝවීමට පෙර ඇයගේ සැමියා ඇය කැඳවාගෙන යනතුරු එහිම සිටින්නීය. ඔවුන්ට දරුවන් නොමැත. එම නිසා ඔවුන් දෙදෙනාද සුපුන්ට තම දරුවකුට සේ ආදරය දක්වති. කුමුදුනී සුදාරාට රාත්‍රී ආහාරය පිළියෙළ කිරීමට උදව් කරයි. නිවස අස්පස් කරදෙයි. කුමුදුනී හා අනුර තම නිවස කරා පිටත් වන්නේ මෙහිදීම රාත්‍රී ආහාරය ද අනුභව කොටය.   


මේ අතර එන්සිනා රෝගාතුර වූවාය. වෙනදා සිනාමුසු මුහුණින් සිටින එන්සිනා අද ඇඳටම වී සිටී. සුදාරාත් විමලු‍ත් එන්සිනාව රෝහලට ගෙන යන්නේ ඇයගේ අසනීප තත්ත්වය බලාසිටිය නොහැකි නිසාය. සුපුන්ට ආච්චි අම්මාගේ අසනීප තත්ත්වය දරාගත නොහැකිය. හැමදාම තමන්ට කෑම කවන ආච්චි අම්මා මේ දිනවල ඇඳටම වී සිටී. සීයා කතන්දර කියමින් කෑම කැව්වද ආච්චි අම්මාගේ හුරතලය නැතිව ඔහුගේ උගුරින් පහළට කෑම නොයන තරම්ය.   


දින කීපයක් මෙසේ ගතවිණි. එදින උදෑසන තම අම්මාගේ කාමරය වෙත ගිය සුදාරා එන්සිනාව අවදි කිරීමට උත්සාහ ගත්තාය. එහෙත් ඇය මෙලොව අතහැර ගොස්ය. සුදාරා මහා හයියෙන් කෑ ගසා හැඬුවාය. ඇගේ විලාපය ඇසී සියදෝරිස් හා විමල්ද සුපුන්ද එන්සිනාගේ කාමරය වෙත දිවගෙන ආවෝය.   


සුදාරා සුපුන් කැටුව තම නැගණියගේ නිවස වෙතට ඉක්මන් ගමනින් ගියේ ඇයට පණිවුඩය කීමටය. තම ආදරණීය අම්මා මියගිය පුවත ඇසූ කුමුදුනී හිස අත් බදාගෙන මහා හයියෙන් හැඬුවාය. එය දැක සුපුන්ට දුක හිතුණි. ආච්චි අම්මා තමන්ව අතහැර ගොස් ඇත්තේ යළි නොඑන ලෙසිනි. එය සුපුන්ගේ සිතට මහා ලොකුවට දැනුණේ තමන් සමඟ සෙල්ලම් කිරීමට ඇය ආයෙත් නොඑන නිසාය.   


අම්මාත් පුංචි අම්මාත් විලාප තියා අඬනු බලා සිටිය නොහැකි වූ සුපුන් නිවසින් එළියට බැස්සේ ආච්චි අම්මාව බැලීමට තම නිවසට යාමටය. මහා විශාල රූස්ස ගස් අතරින් ඇවිදිමින් යන සුපුන්ගේ ඉදිරියට පැමිණෙන්නේ විශාල දේහයකින් යුතු අලියෙකි. අලියාගෙන් බියකරු විලාසයක් පෙනෙයි. කන්දෙක විදහාගෙන හොඬවැල ඉහළට උස්සාගෙන හයියෙන් හයියෙන් තමන් ඉදිරියට පැමිණෙන අලියා දැක සුපුන්ගේ සිත තිගැස්සිණි. මහා රූස්ස ගස් අතරින් තමන් ඉදිරියට එන අලියාගෙන් බේරීමට දකුණු පැත්තට හැරී රූස්ස ගස් අතරින් එහා මෙහා වෙමින් තමන්ගේ නිවස දෙසට දුවන්නේ අවසිහියෙනි. ඔහුට පෙනෙන්නේ භයංකාර විලාසයකින් යුතුව තමන් ඉදිරියට ආ අලියා තමන්ගේ පසුපස තමන්ව පන්නාගෙන එන සෙයක්ය.   


සුපුන්ගේ නිවසට අසල්වැසියන් කිහිප දෙනෙකු පැමිණ සිටියෝය. සුපුන්ගේ තාත්තා ඔවුන් හා කතා කරන්නේ එන්සිනාගේ මළගමේ වැඩකටයුතු ගැනය. සුපුන් දුවගෙන පැමිණ එක්වරම සිහිසුන්ව ඇද වැටුණේ නිවස තුළය. සියල්ලෝ කලබලයට පත් වූහ. සිහිසුන්ව ඇදවැටුණු සුපුන්ව සිහිගත්තද ඔහු අවසිහියෙන් මෙන් මොන මොනවදෝ පවසයි. සුපුන්ගේ අම්මා සුදාරා හා පුංචි අම්මා කුමුදුනී හඬමින් නිවසට පැමිණෙන්නේ ඒ මොහොතේදීය. ඔවුන් දෙදෙනාට සුපුන්ව අමතක වී තිබුණි. නිවසට ගොඩ වූ පසු සුදාරා වැලහින්නියක සේ එන්සිනාගේ දේහය බදාගෙන හඬාවැටුණි.   


සවස් වනවිට සුදාරාට හොඳටම අසනීප විය. සුපුන් බලාගත් අත බලාගෙන මොනවදෝ දොඩවයි. නිවසේ එක් පසෙක එන්සිනාගේ දේහය විය. සියල්ලෝම සිදුවන්නේ කුමක්දැයි කළ යුත්තේ කුමක්දැයි අවබෝධ කරගත නොහැකිව සිටිති. ගමේ වැඩිහිටි කීපදෙනකුගේ තීරණය වූයේ එන්සිනාගේ දේහය පසුදිනම භූමදානය කිරීම සුදුසු බවයි.   
එදින එන්සිනාගේ දේහය භූමදානය කෙරිණි. සුදාරා සිහිකටක් නොමැතිව සිටින්නේ අම්මාගේ මරණයත් සුපුන්ගේ තත්ත්වයත් දරාගත නොහැකිවය. සුපුන්ට කුමක් වීදැයි සිතමින් සිටින ඇයගේ අසනීප තත්ත්වය ද උත්සන්න විය. සුදාරාව විමල් රෝහල කරා රැගෙන ගියේ ගමේ වැඩිහිටියන් දෙදෙනෙකුගේ ද සහාය ඇතිවය. ඇයව රෝහල්ගත කෙරිණි. ඉන්පසු කිරීමට ඇත්තේ සුපුන්ව පියවි තත්ත්වයට ගැනීමය.   


වැඩිහිටි කීපදෙනෙකුගේම උපදෙස් මත පසුදින තොවිලයක් ලෑස්ති කෙරිණි.   


මහසෝන් යක්ෂයා එසේ නැතිනම් අපි දන්න මහසෝනා සමාජගත වන්නේ කෙසේද? මිනිසුනට ආරූඪවන්නේ කෙ​ෙස්ද? එය සත්තකින්ම අතිශය බිහිසුණු කතාන්දරයකි.   
ගැමුණු රජ්ජුරුවෝ එළාර රජුව පරදලා ජයගත්තට පස්සේ ගෝඨයිම්බර යෝධයා අලු‍ත් නිවසක් තනා ගෙට ගෙවැදීම නිමිත්තෙන් ඉතා විශාල උත්සව‍යක් සංවිධානය කළේය. සාදය මාරයි. යක්කුම ගෙන්වන්නට තරම් මෙය අගනා වූවකි. සාදයේ මුලදීම ගෝඨයිම්බර මත්පැන් නිසා මත් වීම නිසා ඔහුගේ බිරිඳ සෝනා කුමරිය පැමිණි අය පිළිගන්නා වූ රාජකාරිය කළේය.   


ඒ අසලින් එදා ගමන් කරපු ආරාධනයකින් තොරව එකවිටම මැදිවිය ඉක්මවූ කළු ඇඟපත මනාව වැඩුණු පුද්ගලයකු සාදය‍ට පැමිණි අතර කුමරිය මේ හැඩරුව පවසමින් ඒ බව ගෝඨයිම්බරයාට පැවසූ අතර කියූ හැඩරුව අනුව එකවිටම ඔහු හඳුනා ගත් ගෝඨයිම්බරයා ඔහුව පිළිගෙන සංග්‍රහ කරන ලෙස සෝනා කුමරියට අණ කළේ.   
ඒ වෙන කිසිවකු ‍නොව නම ඇසූ පමණින් බොහෝ දෙනා බිය සලිත වන රිටිගල ජයසේනය. රිටිගල ජයසේන යනු ගැමුණු කුමරුන්ට ජය පතා යක්ෂ සේනාව මෙහෙය වූ ඇතුන් දහයකගේ ශක්තිය ඇති සේනාධිපතියා ය.   


ගෝඨයිම්බර ‍සෙ​ෙනවිත් මේ ජයසේනට සාදයේ හොඳ හැටි කෑම බීම දී සැලකූ අතර මධුවිතෙහි ප්‍රමාණය වැඩි වූ විටම සියල්ල අමතක වූ ජයසේන එකවිටම සිතට ආ අදහසකට සෝනා කුමරිය වැලඳ ගත්තේය.   


එකවරම මෙය දුටු ‍ගෝඨයිම්බර සෙනවියාට, තරු විසිවුණු අතර ජයසේනට අසැබි වචනයෙන් බැන වදිමින්, තම නිවසින් යන ලෙස තර්ජනය කළහ. රිටිගල ජයසේන ඉතා ලැජ්ජාවට පත් වුණු අතර තරහත් සමඟම ගෝඨයිම්බරගෙන් තමාට කිසිම තර්ජනයක් නැති බවත් සතියකින් තම්මැන්නා සුසානභුමියේ දී හැකි නම් ද්වන්ධ සටනකට එන ලෙසත් උත්සව සභාවේදීම අභියෝග කළේය. 

 
ගෝඨයිම්බර ‍සෙ​ෙනවිත් බීමතින්ම ජයසේන තමාට කිසිදු අභියෝගයක් නොමැති බවටත් කඩුවකින් නොව තමාගේ වම් පයේ සුලැඟිල්ලෙන් ජයසේනගේ හිස ගසා දමන බවටත් මහ හඬින් උත්සව සභාව මධ්‍යයේ වහසි බස් දෙඩීය. සභාව ක්ෂණයකින් මහා යුද්ධයක් හට ගන්නා තැනක් බවට පෙරළිණ. සියල්ලෝම විමතියෙන් බලා සිටියෝ ය. මේ ආරංචිය දැනගත් ගැමුණු රජු වහාම මේ සටන නවත්වා දමන ලෙස අණ කළත් තම අභිමානය තමන්ට සිදුවූ ලජ්ජාව මකා ගැනීමට අනිවාර්යයෙන් මේ සටන පැවතිය යුතු බව දෙදෙනාම සපථ කළහ.   


සටනට දිනය පැමිණි අතර සටනට පෙර දා හොඳින් මත්පැන් බී සටන දාත් දවල් වන තුරු නිදමින් සිටි ගෝඨයිම්බරයාට එක පාරම තම අභියෝග කළ සටන මතක් වූ අතර කෑම බීමද අමතකව ඇඳ සිටි සළුව තදින් ගැ‍ට ගසා උතුරු සළුව හිසේ ජටාවක් ලෙස බැඳගෙන සොහොන් බිමට දිව යන්නට විය.   


ඒ වන විටත් රිටිගල ජයසේන ලෝහ සන්නායකයක් පැලඳ සිටිමින් මනාව සටනට සූදානම්ව සිටියේය. ඔහු හතර රියන් උස පුද්ගලයකු වූ අතර ගෝඨායිම්බරයා ඉන් හරියටම අඩක් උස විය. ගෝඨයිම්බරයාගේ සහායට සටන නැරඹීමට පැමිණි අය මෙය දුටු සැණින් ම බෝහෝම දුකට පත්වූයේ ගෝඨයිම්බරයා පරාද වේවි යන හැඟීම නිසාය.   


තම මිතුරාට ආචාර කළ ගෝඨයිම්බර සටනට පිවිස ආචාර කිරීමත් සමඟම හිස ඔසවා සතුරා හෙවත් ජයසේනයාගේ මුහුණ බැලූ ගෝඨයිම්බර ඇසිපිය ගහන සැණින් අහසට පැන ජයසේනගේ නිකටට තම වම් ප‍යෙන් දැඩි පහරක් එල්ල කළේය. එක විටම අන්ද මන්ද වූ ජයසේනට තමා නමස්කාර කරන සෙනසුරු දෙවියන් සිහිවන විටම හිස කඳින් වෙන් වී රිටිගල පැත්තේ කරඹ ගසක අතු අතර සැඟව ගියේ ය. අද එම ස්ථානය ඔළුකරඳ නම් වේ.   


මෙය එක විටම දුටු, දැනුණ සෙනසුරු දෙවියන් කලබල වීම නිසා කල් යල් බලා මනාව වැඩකරන සිරිතද අමතකව ගොස් වහා පැමිණ එවේලෙහි සොයා ගත් වලසකුගේ හිසක් ගෙනවිත් ජයසේනයාගේ හිස නැති සිරුරට දිවි බේරා ගැනීම සඳහා සවි කරන ලද බවත්, එම වලසා සොයා ගත්තායයි පැවසෙන්නේ ත්‍රිකුණාමලය මරතඩිය හන්දිය අසල පිහිටි සෙනසුරු කෝවිල් භූමියෙන් බවත් ජනප්‍රවාදවල කියවේ.   


එහෙත් සෙනසුරු දෙවියන්ට කලබලයට ජයසේනයාට වලස් හිස සවිකර ඇත්තේ මුහුණ පිටුපසට සිටින ලෙසය. පහතරට මහසෝන් නැටුමේදී ද හිස පලඳිනු ලබන්නේ පිටුපසට බව මාතර යක් ඇදුරෝ කියති. එලෙස නැවත පණ ලැබූ ජයසේන එදා සිට රියන් 81 ක් උස ඇස් 03 හා අත් 04 ඇති රතු ඇඳුමින් ද කළු පාට ශරීරයෙන් යුතුව යෝධ ඌරු වාහනයකින් ගමන් කරන මහසෝන් යක්ෂයා බවට පත්විය. මොහුට අවතාර 05 ක් ඇති බවද සඳහන් බවද යක් ඇදුරෝ කියති.   


එනම්, එළුවකු වාහනයක් කරගත් ලේ සොහොන් යක්ෂයා, මුවකු වාහනයක් කරගත් අමු සොහොන් යක්ෂයා, අශ්වයකු වාහනය කරගත් ජය සොහොන් යක්ෂයා, බැටළුවකු වාහනය සහිත මරු සොහොන් යක්ෂයාද, අලියකු පිට යන ගොළු සොහොන් යක්ෂයාද මේ මහසෝන් යක්ෂයාගේ පංච අවතාර වේ.   


වෙසමුණි රජු මහ සොහොන් යක්ෂයාට දෙගාත මිනිස් හා කුකුළු බිලි පුද ගැනීමට අවසර දී ඇත. සුසානභූමි කඳු මුදුන් හා ගිරිහෙල් වාසස්ථාන කර ගත් මහ සොහොන් යක්ෂයා ගෝඨයිම්බර දැහැනට අවනත වන බව ජන වහරේ සඳහන්ව ඇත.   


මේ අනුව, එළුවකු, මුවකු, අශ්වයකු, බැටළුවකු සහ අලියකු තම වාහනය කර ගත්, ලේ සොහොන්, අමු සොහොන්, ජය සොහොන්, මරු සොහොන්, ගොළු සොහොන් අවතාර ගෙන්වමින් සුපුන්ට වැසුණු මහසොහොන් අවතාරය පැන්නා දැමීමට යක් ඇදුරෝ තුන් තිස් පැයක තොවිලයක් සිදු කළහ.   


කෙසෙල් කඳන්, ගොක් කොළ, පොල් මල්, දුම්මල ආදිය ගොඩගැහිණි. ශාන්තිකර්මයට අවශ්‍ය සියල්ල සූදානම් විය. අහල ගම් හතේම නම් දරා සිටි අය තොවිලයට ලෑස්ති වූහ. එදා මෙදාතුර ගමේ සිදුකරන විශාලම තොවිලය මෙය විය. දවසේ දිවා කාලය හා රාත්‍රියද පසුදින දහවල ද තොවිලය සඳහා වෙන් විය. යකැදුරා තමන් දන්නා සියලු‍ ශිල්ප ශාස්ත්‍ර දක්වා හමාරය. එහෙත් සුපුන්ගේ තත්ත්වයේ වෙනසක් නොවීය. ඔහුගේ ගත අප්‍රාණිකය. වැටුණු තැන එසේමය. කිසිවක් කතා නොකරයි. බලාගත් අත බලාගෙන මොනවදෝ දොඩවයි. කෑමක් බීමක් නොගනී. ශාන්ති කර්මයෙන්ද සුපුන්ගේ තත්ත්වයේ වෙනසක් නොවූ හෙයින් සුපුන්ගේ තාත්තා විමල් හා බාප්පා අනුරත් තවත් වැඩිහිටි කීපදෙනෙකුත් එක්ව නොයෙක් දේවාල ගානේ සුපුන් රැගෙන ගියහ.   


එහෙත් කිසිවකින්වත් සුපුන්ව යථා තත්ත්වයට ගත නොහැකි විය. මේ අතර සුපුන්ගේ අම්මාගේ අසනීප තත්ත්වය සුවවීම නිසා ඇය නිවසට රැගෙන ආවේ සුපුන්ගේ පුංචි අම්මාත් බාප්පාත්ය.   


මෙම ආරංචිය සුපුන්ගේ පාසලේ විදුහල්පතිවරයාට දැනගන්නට ලැබිණි. සුපුන් දින කීපයක්ම පාසලට නොපැමිණි බව පංතිභාර ගුරුතුමියගෙන් දැනගන්නට ලැබුණු අතර, පංතියේ සිසුන් පැවසුවේ සුපුන්ගේ ආච්චි අම්මා නැති වූ බවත් සුපුන් අසනීප වී සිටින බවත්ය. විදුහල්පතිවරයා සුපුන්ගේ නිවසට ආවේ තවත් ගුරුවන් කීපදෙනෙකු සමඟය.   
සුපුන්ගේ තත්ත්වය දුටු විදුහල්පතිවරයා වහාම සුපුන් මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත රැගෙන යන ලෙස උපදෙස් දුන්නේ තවත් දරුවාව නිවසේ තබාගෙන ශාන්තිකර්ම කරමින් කාලය අපතේ නොහරින ලෙස පවසමිනි.   


සුපුන්ගේ මාපියන් හා ඥාතීන්ද ගමේ සමහරක් වැඩිහිටියන්ද සුපුන්ගේ තත්ත්වය අමනුෂ්‍ය බලවේගයක් මිසක වෛද්‍යවරයකු වෙත යොමු කරවිය යුතු තත්ත්වයක් බව දැනසිටියේ නැත. නමුත් පාසලේ විදුහල්පතිවරයා දැනුම් තේරුම් ඇති කෙනෙක් නිසා ඔවුන් සුපුන්ව කැටුව ගියේ මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හමුවීමටය.   
වෛද්‍යවරයා සුපුන්ගේ සියලු‍ තොරතුරු ඔහුව මනෝ විශ්ලේෂණයට භාජනය කර දැනගත්තේය. ඒ අනුව සුපුන්ගේ සිතේ විශාල බියක් පවතින බවත් එය නැති කිරීමට යළිත් තොවිලයක් නැටීමට අවශ්‍ය බව ඔහුගේ සිත තුළ ඇති වී තිබිණි. “තොවිලයක් කළොත් මෙය හරියයිද?” විද්‍යාකුලපති මහතා සුපුන්ගෙන් විමසීය. “ඔව්, එහෙම කළොත් හරියයි කියලා හිතෙනවා” සුපුන් පිළිතුරු දිණි. වෛද්‍යවරයා සුපුන්ව මෝහන නිද්‍රාවට පත් කළේය. මෝහන නිද්‍රාවට පත් සුපුන්ගෙන් වෛද්‍යවරයා ප්‍රශ්න කීපයක් ඇසීය.   


වෛද්‍යවරයා: ඔබ දැන් සුව නින්දක ඉන්නේ. මම ඔබව ඔබේ ආච්චි අම්මා මියගිය මොහොත වෙත රැගෙන යනවා. ඒවා හොඳින් ඔබට මතක් වෙනවා. මේ මොහොතේ තමයි

ආච්චි මියගියේ. මතකද?   
සුපුන්: ඔව්, මතකයි.   
වෛද්‍යවරයා: මොනවද ඒ වෙලාවේ වුණේ?   
සුපුන්: ආච්චිගේ පණ ගියා. අම්මා හයියෙන් හැඬුවා.   
වෛද්‍යවරයා: ඉන්පසු මොකද වුණේ?   
සුපුන්: අම්මා මාව එක්කගෙන පුංචිගේ ගෙදර ගියා ආච්චි නැතිවුණ බව කියන්න.   
වෛද්‍යවරයා: හොඳයි, ඔබට දැන් මතක් වෙනවා පුංචිගේ ගෙදර ගිහින් නැවත එන ආකාරය. දැන් ඔබට මොනවද දැනෙන්නේ?   
සුපුන්: මට බයයි. ආච්චිගේ හොල්මන එයිද දන්නෑ.   
වෛද්‍යවරයා: හොඳයි, ඔබ දැන් ඉන්නේ ඔබේ නිවසට යන රූස්ස ගස් පිහිටි පාර දිගේ ඇවිදගෙන යන ගමන්. එවිට ඔබ මොනවද දකින්නේ?   
සුපුන්: කවුද මගේ පිටෙන් තල්ලු‍ කළා වගේ දැනුණා.   
වෛද්‍යවරයා: එවිට ඔබ මොනවද දකින්නේ?   
සුපුන්: මගේ ඉදිරියට විශාල අලියෙක් දුවගෙන එනවා වගේ දැක්කා. මගේ ඇස් නිලංකාර වෙලා වගේ තිබුණේ. හරියටම දැක්කෙ නෑ.   
වෛද්‍යවරයා: හරියටම දැක්කෙ නැත්තම් ඔබ කොහොමද කියන්නේ අලියෙක්ව දැක්කා කියලා. ඔබ දන්නෙ නෑ නේද?   
සුපුන්: මට හිතෙන්නේ එහෙම තමයි.   
වෛද්‍යවරයා: ඉන්පසු දුවගෙන ඇවිත් ගෙදර වැටුණා මතකද?   
සුපුන්: ටිකක් වගේ මතකයි.   
වෛද්‍යවරයා: ඔබට මේක මැවිලා පෙනුණ දෙයක් විතරයි. අලියෙක් හෝ අවතාරයක් හෝ ඔබ ඉදිරියට පැමිණියේ නැහැ. ඔබ හිතපු විදිය වැරදියි.   
සුපුන්: නෑ. මට මහාසෝනා ගැහුවා. මගේ පිටේ ඇඟිලි පහරවල් තියෙනවා හැමෝම දැක්කා. මට තොවිලයක් කරන්න ඕනෙ. මහසෝන් සමයමක් කරන්න ඕනේ.   


මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා පවසන්නේ මෙසේය.   


හරි. දැන් තමයි මහසෝන් සමයම. දැන් සුපුන්ට පේනවා මහා තොවිලයක්. බෙර ගහනවා. පන්දම් පත්තු වෙනවා. විලක්කු තටුවල ගහලා ගොක්කොළවලින් හදපු මල් යහනාවල සුවඳත් දැනෙනවා. “අන්න අන්න කුකුළු බිල්ල” කියමින් මෝහනයේ සිටින සුපුන්ට වෛද්‍යවරයා පැවසීය.  


‘‘දැන් වේලාව රාත්‍රි දොළහයි. ආයු බෝ වේවා. උතුම් බුදු සරණේ කියමින් වෛද්‍යවරයා පෑනක් අතින් ගෙන ආතුරයාව ආරූඪ කරන්නට විය. රඟ මඬලෙහි සෙල්ලම් කරන්නට ද හැකියාවක් තියෙනවා. මේ ආතුරයාට සෙල්ලම් කරන්න එන්න පිණුම් ගහන්න එන්න පුළුවන්’’. ඒ සමඟම රුවන් පිනුම් ගසා නටන්නට විය. 

 
ඉන්පසු “ඔබ මේ ශරීරයෙන් යනවාද?” වෛද්‍යවරයා ඇසීය. “ආපහු එන්නේ නෑ. මේ කප තියෙන තුරු එන්නේ නෑ” සුපුන් කියාගෙන කියාගෙන ගියේය. “එහෙනම් තවත් සෙල්ලම් කරලා යන්න හැකියි” වෛද්‍යවරයා සුපුන්ට කියමින් ඔහුගේ වටේ දුවමින් ගොස් පුටුවේ ඉඳගත්තේය. “තීන්දුයි. නිවාරණයි. දැන් සුපුන්ට සුවයි” කියමින් විද්‍යාකුලපති මහතා සුපුන්ව මෝහන නිද්‍රාවෙන් අවදි කළේය. සියල්ලන්ටම සියල්ල විද්‍යාකුලපති මහතා පැහැදිලි කළේය. 

 
මෝහනයේදී සුපුන් තොවිලයක් දැක්කා. මෙය මායාවක් පමණයි.   


සුපුන් මේ වනවිට නිරෝගී තරුණයෙක්. හැඩ වැඩ ඇති තරුණයෙක්. දැන් ඔහුගේ වයස දහහතයි. මෙපමණ කාලයකට සුපුන්ව සොයාගෙන මහසෝනා හෝ රීරි යකා හෝ මෝහිණිය පැමිණියේ නැත. සුපුන්ට දැන් බැල්ම හෙලන්නේ ගමේ රුවැති තරුණියන් පමණි.   


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, සත්‍ය සිදුවීමකි.)   


සටහන හා ඡායාරූප: 
හබරාදුව නිමල් අල්ගෙවත්ත