සතියකට හාල් කිලෝ 14 ක බත් කන කිලෝ 92 ක් බර ලොව මහතම දැරිය


ඉන්දියාවේ උතුරු බෙංගාලයේ වාසය කරන සුසාන් කතුන් නව හැවිරිදි දැරියකි. ඇයගේ වයසේ පසුවන අනෙකුත් දරුවන් මෙන්ම ඇයත් පාසල් යන්නීය. ඇගේ අනෙකුත් අවශ්‍යතා ඉටු කර ගන්නීය. නමුත් ඇයට අනෙක් දරුවන් මෙන් ඒ සියල්ල සාමාන්‍යයෙන් කළ නොහැක. ඒ ඇය අසාමාන්‍ය දැරියක වීම නිසාය.  

වයස අවුරුදු නවයක් වුවත් අඩි තුනයි, අඟල් පහක් උස ඇගේ බර කිලෝ ග්‍රෑම් 92 ක් හෙවත් රාත්තල් 203 කි. ඇගේ දෙමාපියෝ ඇය ජීවත් කරවීම සඳහා අතිවිශාල දුකක් විඳිමින් සිටිති. ඇයද සිය මිතුරු මිතුරියන් සමඟ සෙල්ලම් කිරීමට නොහැකිව ළත වෙමින් සිටින්නීය.  


ඉන්දියාවේ උතුරු බෙංගාලයේ වාසය කරන සුසාන්ට අවශ්‍ය ආහාර වර්ග අතිවිශාල වීම නිසාද ඇයගේ දෙමාපියෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති.   


සුසාන්ට සතියකට අවම වශයෙන් කෙසෙල් ගෙඩි 180 ක් හාල් කිලෝ 14 ක බත් අල කිලෝ අටක් මාළු කිලෝ අටක් සහ එයට අමතරව බෙංගාලි ස්වීට් වර්ග සහ කේක් වර්ග රැසක්ද අවශ්‍ය කෙරේ. ඇය ලෝකයේ සිටින මහතම දරුවා විය හැකි බව විශ්වාස කෙරේ.   


‘‘මගේ මිතුරු මිතුරියන් හැම දෙනාම කෙට්ටුයි. ඒත් මම විතරක් මහතයි. ඒ නිසා මං ඇවිදීමේදී නිදා ගැනීමේදී, සෙල්ලම් කිරීමේ දුෂ්කරතාවට පත්වෙනවා.’’ යැයි ඇය පවසන්නීය.

  
ඇගේ දෙමාපියන් ඇයගේ මහත්වීම උදරය විශාල වීම පාලනය කරන්නට නොගත් උත්සාහයක් නැත. ඒත් එයින් කිසිදු ප්‍රයෝජනයක් වූයේ නැත. ඇගේ මව වන බෙලි බීබී පවසන්නේ ‘‘මගේ අනෙක් දරුවන් සියලු දෙනා සාමාන්‍ය තත්ත්වයෙන් සිටිනවා. මෙම දරුවාට විතරක් මේ වගේ තත්ත්වයක් ඇතිවීම ගැන දරාගන්න බැරි දුකක් ඇති වෙනවා. දරුවාගේ මහත්වීම පාලනය කරන්නට වෛද්‍යවරුන් ළඟට ගියත් ඔවුන් කියන්නේ ඒක පාලනය කරන්න බෑ කියලයි’ යනුවෙනි.   


කෙසේ නමුත් ඇය පරීක්‍ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ මෙම තත්ත්වය දිගටම පැවතියහොත් ඇයට දියවැඩියාව හෝ හෘද රෝග වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බවයි.   

 

 

 


මොහොමඩ් ආසික්   
ඩේලි මේල් ඇසුරෙනි