සත්සමුදුර වැලිකතර ඔස්සේ බක්මහ දීගයට


හැටේ දශකයේ සිංහල චිත්‍රපට ගීත -3

 

මෙහි මුල් කොටස පසුගිය සතියේ  පළවිය.


නා මලෙන් මැවු ලියක් වගේ   
සෞම්‍ය රාත්‍රියක් විදාල ඉන්නෙ මේ රැයේ   
එළි කළ දා ප්‍රේමයේ මේ රහස දැන් ප්‍රියේ   
සුනිල් රශ්මියත් ලැබෙන්නේ අපට මේ බිමේ   
මං ලබා උපන් කෙනෙක් වගෙයි ඔයා ලොවේ   
(සරණ)   
සුවඳ කැකුළු වැනි මල් මල් බඳුනේ   
දස දෙස නොදෙවෙනි හෙළ දෙරණේ   
ඔබේම ජාතිය ඔබේම ආගම   
උණුසුම දුරු වී සිසිල දැනේ   
(සිඟිති සුරතල්)   
ලංකාවේ නීල ජලේ   
වැල්ලේ වැලි සිප ගන්නේ   
මූදු රැල්ල වගේ අපේ මේ ජීවිතේ   
හමන සුළඟ වගේ මේ අපේ ආදරේ   
විලේ මල් පිපුණත්   
මූදේ මල් නොපිපෙන්නේ   
(පුංචි බබා)   
දවසක මුතු වැල් ගේනවා   
රැහැනෙ දුවට පැලඳනවා   
පලඳවලා හැඩ බලනවා   
රන් සුරතල් සුරතලී   
රන් තණකොළ ගේනවා   
රන් තණකොළ කඩනවා   
මගෙ සුරතල් සුරතලී   
(ආදරවන්තයෝ)   
ලස්සන ලෝකෙට පා ඔසවාලා   
මිටි උයනේ ඉමු චුට්ටක් වේලා   
(පැංචා)   
සරා සොඳුරු මල් පැටලී   
නින්ද නොයනා ජීවිතයයි   
(හන්තානේ කතාව)   
නිදහස් කාහල නාදේ ඇසේ   
හෙළබිම දසදෙස රාවේ ඇසේ   
සිරිලක් මව අද සිහල දෙසේ   
ඇත මිනි කිරුළ දරා   
සිංහල ජීවය සමරව් පිබිදෙව්   
තරු ලෙස පිබිදෙව් පාවෙන ලොව මත   
කුල වත ගොත බේදේ   
දුරලමු රල මෙන් මහ මුහුදේ   
කීර්ති රාවේ නැගේ දස දේසේ   
රාජ තේජ බල සැම පතුරව්   
රන් දජ නංවා මල්ඵල නංවමු   
ජාතික සමගින් පුබුදුවමු   
දිනු රට දිනු දය දිනු ලක් පොලොවේ   
දිනු විට මේ දේ ඔබේ දිනුමයි   
සිරිලක් මව අද සිංහල දේසේ   
ඇත මිනි කිරුල දරා   
සිංහල ජීවය සමරව් පිබිදෙව් පිබිදෙව්   
(සිඟිති සුරතල්)   


‘සිත ගිය තැන’ සින්දු පොතේ ඇත්තේ කවරය පමණි. චිත්‍රපටයට අදාළ එක් සින්දුවක් එහි නැත. ඒ වෙනුවට ඇත්තේ ජෝතිපාලගේ ‘රන්වන් පුන් සඳ පායලා - මල් මල් මූණක් නෑවිලා’ නමැති ගීතය ඇතුළු ගුවන් විදුලි ගීත කිහිපයකි. ‘පුංචි බබා’ චිත්‍රපටයෙහි ගීත 04ක් ඇතත් සින්දු පොතේ ඇත්තේ 02කි. ඉනුදු එක් ගීතයක ඇත්තේ බොරු වචන (ලංකාවේ නීල ජලේ) ය.

   
මෙයාකාර වූ බොහෝ සදොස් පදමාලාවන් නිදොස් කර ගැනීමට යම් පිටුබලයක් වූයේ මේ සමයට අයත් බොහෝ ගී ලියු ධර්මසිරි ගමගේ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, සිරිල් ඒ. සීලවිමල, අරිසෙන් අහුබුදු ආදීන්ගේ ගීත එකතු පළ වී තිබීමයි. ගමගේගේ ගී එකතු (සුළං කුරුල්ලෝ, කලක් ඇවෑමෙන්) පළ කළ ඔහුගේ පුත් චමිත්ද ගමගේටත් ජෝර්ජ් ලෙස්ලි ගීත එකතුව (සොඳුරු ලොවට මල් වැහැලා) පල කළ ඔහුගේ පුත් කෝකිල රණසිංහටත් සීලවිමලගේ ගීත එකතුව (සීලවිමල ගීත ප්‍රබන්ධ) පළ කළ එම පවුලේ උදවියටත් සක්විති කිත් රැස’ නමැති අහුබුදු ගීත එකතුව සම්පාදනය කළ ශ්‍රීනාත් ගනේවත්තටත් රසික කෘතඥතාව හිමි විය යුතුය. තවද ‘සසර සැරි සරන තෙක්’ නමැති ප්‍රේමකීර්ති ද අල්විස් චරිතාපදානයෙහි දී ගීතනාත් කුඩලිගම සම්පාදනය කර ඇති ‘ප්‍රේමකීර්තිගේ චිත්‍රපට ගී නාම ලේඛනය’ (321-335) ද මාහැඟි දත්ත එකතුවකි.   


සිංහල චිත්‍රපට සඳහා වැඩිම ගීත සංඛ්‍යාව රචනා කළ කරුණාරත්න අබේසේකරගේ ගීත එකතුවත් නොතිබීම බලවත් පාඩුවකි.   
ගීත රචකයන්ගේ ගීත එකතු පිළිබඳ විශ්වාසය පලුදු වන තැන්ද නැත්තේ නොවේ. උදාහරණයක් ලෙස මර්සලින් ජයකොඩි පියතුමාගේ වෙසක් කැකුළු අතු අග ඉඳ’ ගීත එකතුව දැක්විය හැකිය. (මෙහි සම්පාදකවරයා ජයකොඩි පියතුමා නොවේ) එම ගීත එකතුවේ න ‘කිංචි පිංචි පුංචි පැංචි’ නමැති ඉතා ජනප්‍රිය ගීතයෙහි ‘එතකොට මා තනිවේදෝ’ යන අන්තරා කොටස තිබුණේ නැත. මා එම කොටස පිටපත් කර ගත්තේ නන්දා මාලිනීගේ ‘ඈත කඳු යායේ’ සංගත තැටියට සවන් දීමෙනි.   


කර්තෘත්වය සෙවීම   


චිත්‍රපට ගීත ප්‍රබන්ධය ප්‍රථම වරට කිහිප දෙනකු අතර බෙදී යාම ඇරඹුණේ ‘එදා රෑ’ (1953) චිත්‍රපටයෙනි. එහි ආ ගීත 12 රචනා කළේ ඩී.ටී. ප්‍රනාන්දු, හර්බි සෙනෙවිරත්න, ලුවී රුද්‍රිගො යන තිදෙනාය. අනතුරුව ‘සුජාතා’ චිත්‍රපටයෙහි ගීත 12 ද ආනන්ද සමරකෝන්, සිරිසේන විමලවීර, ඩී.ටී. ප්‍රනාන්දු යන තිදෙනා අතර බෙදී ගියේය. මේ සම්ප්‍රදාය අද දක්වා පැවත ඒ මේ නිසා උද්ගත වී ඇති ගැටලුව නම් එක් එක් රචකයාගේ ප්‍රබන්ධය වෙන් කොට හඳුනා ගැනීම අපහසු වීමයි. චිත්‍රපට නාමාවලිවල ගීත රචකයන්ගේ නම් සඳහන් වුවත් ඔවුන් ලියූ ගී මොනවාදැයි වෙන් වශයෙන් දක්වා නැත. සින්දු පොත්වල ඇති නම් ගම් ගැන ද කිසිදු විශ්වාසයක් තැබිය නොහැකිය. එක් නිදසුනක් පමණක් දක්වන්නේ නම් ‘හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී’ නමැති ගීයෙහි කර්තෘත්වය සින්දු පොත පවරා දෙනුයේ නිහාල් ඒ. ජයසිංහටයි. එම ගීතය ඇතුළත් චිත්‍රපටයෙහි අධ්‍යක්ෂවරයා වූ නීල් රූපසිංහ ‘සරසවිය’ පත්‍රයට කියා තිබුණේ ඒ ගීතය රචනා කළේ සිරිල් බී. පෙරේරා බවයි. එහෙත් එහි සැබෑ හිමිකරු සිරිල් ඒ. සීලවිමලයි.

   
‘මී මැස්සෝ’ චිත්‍රපටයට කිහිප දෙනෙක් ගී ලියූහ. චිත්‍රපටයෙහි නාමාවලියෙන් තබා සින්දු පොතෙන්වත් ඔවුන්ගේ කර්තෘත්වය තහවුරු කරගත නොහේ. පුදුමයට කරුන නම් ‘මී මැස්සෝ’ වෙනුවෙන් මුද්‍රණය කර ඇති සමරු කලාපයෙන්වත් ඊට අනුබල නොලැබීමයි. සමරු කලාපයෙහි සියලු ගීත රචනා ඇත. එහෙත් රචකයන්ගේ නම් නැත.   
පැරණි සිංහල චිත්‍රපට ගැන ඉතා අගනා තොරතුරු සම්පාදනය කරන OCIC චිත්‍රපට වාර්ෂිකය පවා සි්න්දුවල කර්තෘත්වය සම්බන්ධයෙන් සපයා තිබුණු ඇතැම් දත්ත සාවද්‍ය විය. එබඳු සාවද්‍ය තොරතුරු ග්‍රන්ථාගත වීමට හේතුව එම සංස්කාරකවරුන් සින්දු පොත් ගැන තැබූ විශ්වාසය යැයි සිතන්ට පුළුවන.

   
78rpm වෙනුවට EP   


78rpm නමැති ග්‍රැමෆෝන් තැටි ඔස්සේ සිංහල චිත්‍රපට ගීත නිකුත් වීම කඩවුණු පොරොන්දුවෙන් (1947) ඇරඹිණ. ‘ගීතා’ (1970) චිත්‍රපටයෙන් නැවතිණ. එහෙත් 1959 පටන් වෙනත් ආකාරයක තැටි ව්‍යාපාරයක් කරළියට එමින් තිබුණේය. එනම් EP තැටි ව්‍යාපාරයයි. EP යනු Extended play යන දෙ පදයෙහි සංක්ෂේපයයි. ලුවිස් බ්‍රවුන් සමාගම විසින් ‘පිලිප්ස්’ ලේබලයෙන් වොලී බැස්ටියන්, සී.ඩී. ෆොන්සේකා, ක්‍රිස්ටෝෆර් පෝල්, ඇන්ජලීන් ගුණතිලක හා මොරිස් දහනායක යන ශිල්පීන්ගේ ගීත 04ක් සහිත ප්‍රථම EP තැටිය 1959 දී නිකුත් කරන්නට යෙදුණි. EP තැටිය ග්‍රැමෆෝන් තැටියට වඩා කුඩාය. එහෙත් ඇලි (groov) ඉතා සිහින්ය. ඒ නිසා තැටිය කුඩා වුව එක් පැත්තක 02 බැගින් ගීත 04ක් එහි අඩංගු කළ හැකි විය. ග්‍රැමෆෝන් තැටි යන්ත්‍රවල ඒ තැටි වාදනය කළ නොහැකි වූ අතර ඒවා වාදනය සඳහා විද්‍යුත් තැටි වාදන යන්ත්‍ර වෙළඳපොළට පැමිණ තිබිණ.