ශුභ නැකතින් ඇඳුම් මිලට ගෙන පලඳින්න


ළග එන සිංහල හින්දු අලුත් අවුරුද්දට අප සැමගේ බලාපොරොත්තුව අලුත් ඇඳුමකින් සැරසී සිටීමය. මේ නිසා දුප්පත් පොහොසත් කිසිදු භේදයකින් තොරව සෑම කෙනකුම ඇදුම් මිලට ගැනීමට නගරබද සාප්පු කරා ඇදෙති.


විශේෂයෙන්ම තරුණ පරපුර මේ සඳහා වැඩියෙන් කාලය යොදවනු දැකිය හැකිය. ඇදුමක් මිලට ගැනීම ඕනෑම දිනක කැමතිවේලාවකදී කළ හැක. නමුත් ජ්‍යොතිෂ විද්‍යාව අනුව ඇදුමක් මිලට ගැනීම සහ පැලදීම කරන්නේ නම් ඔබට සතුට සම්පත වාසනාව ජයග්‍රහණය උදාකර ගැනීමට පුළුවන.


චන්ද්‍රයා පහත සඳහන් නැකැත්වල ගමන් ගන්නා දිනවල ඇදුම් මිලට ගෙන පැලදීමෙන් ඇතිවන ශුභ අසුබ පහත දැක්වේ.
අස්විද නැකත - මෙයින් වාසනාව ගෙනදෙන අතර ඇදුම් පැලදුම් වඩා ලැබේ.


බෙරණ නැකත - මෙයින් සිදුවන්නේ ඇදුම් සොරුන් ගැනීමයි.
කැති නැකත - ඇදුම් ගින්නෙන් හානි වේ.
රෙහෙන නැකත - ඉතිරිකරන මුදල් තැන්පතු වැඩිවේ.
මුවසිරස නැකත - මීයන්ගෙන් සහ සතුන්ගෙන් ඇදුම්වලට හානි සිදුවේ.
අද නැකත - මුදල් හානියට හේතු ඇතිවේ.
පුනාවස නැකත - කරදර ඇතිවීම වැළකේ.
පුෂ නැකත - මිල මුදල් ලැබී ධනවත් වේ.
අස්ලිස නැකත - රෙදිපිළි විනාශවේ.
මා නැකත - ජීවිතයට අනතුරු ඇති කරයි. 
පුවපල් නැකත - රජයෙන් කරදර ඇති කරයි.
උත්‍රපල් නැකත - ආදායම් ක්‍රමයෙන් දියුණුවේ
හත නැකත - වැඩකටයුතුවලින් ජය ලැබේ
සිත නැකත - අලුත් ඇදුම් පැලදුම් වැඩියෙන් ලැබේ.
සා නැකත - හොද ආහාර අනුභව කිරීමට ලැබේ.
විසා නැකත - ප්‍රසිද්ධියට පත්වේ
අනුර නැකත - හොඳ මිතුරන් හා සමාජයෙන් ජයග්‍රහණ ලැබේ
දෙට නැකත - පාඩු සහ අලාභයන් ඇතිවේ
මුල නැකත - ඇඳුම් සේදීමේදී ජලය මගින් විනාශවේ
පුවසල නැකත - ශරීරය ලෙඩ කරවයි
උත්‍රසල නැකත - ප්‍රීතිය ඇති කරයි. මංගල යෝජනා ලැබේ
සුවන නැකත - ඇස්වලට පීඩා ඇති කරයි
දෙනට නැකත - ගොවිතැන් කටයුතුවලින් හොඳ අස්වැන්නක් ලැබේ
සියාවස නැකත - විෂ ශරීරගත වීමක් සිදුවේ. අනතුරු වේ
පුවපුටුප නැකත - ජලයෙන් අනතුරු සිදුවේ
උත්‍රපුටුප නැකත - දරුඵල ඇතිවේ
රේවතී නැකත - හදිසි ධනයක් ලැබේ. මැණික් ලාභ ලැබේ


ඉහත විස්තර අනුව සුබ නැකැත් වන්නේ
අස්විද, රෙහෙණ, පුනාවස, උත්‍රපල්, හත, සිත, සා, විසා, අනුර, උත්‍රසල, දෙනට, උත්‍රපුටුප, සහ රේවතීය.


අසුබ නැකැත් වන්නේ
බෙරණ, කැති, මුවසිරස, අද, අස්ලිස, මා, පුවපල්, දෙට, මුල, පුවසල, සුවන, සියාවස, පුවපුටුප ආදියයි
තවද හත නැකත පටන් නැකැත් 4ක්ද රේවතී පටන් නැකැත් 2ද අනුර සිට තුනක්ද  පුනාවස පටන් 2ද රෙහෙන දෙනට යන නැකත් නව වස්ත්‍ර පැලදීමට සුභ බව පෙන්වයි. එසේම තත්කාල කේන්ද්‍රයේ 6 සහ 8 වැන්නේ ග්‍රහයන් නොසිටිය යුතුය. සිකුරු 7 වැන්නේ සිටීම අසුභය. 


ශුභ තිථි ගත යුතුය. දිනයන්ද සෙනසුරාදා අගහරුවාදා දිනද මේෂ සිංහ ධනු මීන යන ලග්නද අශුභය. නැකැත් වදුලේ සඳහන් වන පරිදි රේවතී හත සිත අස්විද දෙට පුස පුනාවස අනුර රෙහෙන නැකත් නව වස්ත්‍ර පැලදිමට සුබය. 


වක්‍ර ග්‍රහයන් හැර ශුභ ග්‍රහයන්ට අයත් ලග්නයන් තෝරා ගත යුතුය. 7වැන්නේ සිකුරු අසුබය. 


උපන් නැකතින් 1 10 19 යන වූ ජන්ම නැකත් නව වස්ත්‍ර ඇදීමට ශභවේ.


ඇඳුම් තෝරා මිලට ගැනීමේදී ඔබගේ ලග්නයට ගැළපෙන වර්ණ ගත යුතුය.


මේෂ ලග්නයේ අයට රතුපාට. කුජ කේන්ද්‍රයේ ඉතා බලවත් නම් ගිනි රාශියක හෝ වායෝ රාශියක නම් කොළ සහ නිල්පාට හොඳය. අගහරුවාදා සෙනසුරාදා සහ සිකුරාදා මිලට ගැනීමට ශුභවේ. සඳුදා සහ ඉරිදා සාමාන්‍යය ශුභයි.


වෘෂභ ලග්නයට රෝස කොළ සහ සුදු පාට ශුභවේ. මිලට ගැනීමට බදාදා බ්‍රහස්පතින්දා සහ සඳුදා දින හොඳයි.


මිථුන ලග්නයට කොළ සහ කහ ශුභය. නිල් සහ රතු වර්ණ වලින් වැළකිය යුතුය. මිලට ගැනීමට සුබ දිනයන් සදුදා බදාදා සිකුරාදා ඉරිදා වේ.


කටක ලග්නයට සුදු ක්‍රීම් රතු සහ කහ ශුභය. නිල් කොළ අශුභය. මිලට ගැනීමට ශුභ දිනයන් ඉරිදා අගහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා වේ.


සිංහ ලග්නයට රතු කොළ මිශ්‍ර කහ වර්ණය ශුභයි. නිල් කොළ අශුභයි. මිලට ගැනීමට ශුභ දිනයන් ඉරිදා අගහරුවාදා බදාදා සිකුරාදා වේ.


කන්‍යා ලග්නයට කොළ සුදු සහ කහ වර්ණ ශුභයි. රතු සහ නිල් අශුභයි. මිලට ගැනීමට ශුභ දිනයන් බදාදා සිකුරාදා බ්‍රහස්පතින්දා සදුදා ශුභවේ.


තුලා ගල්නයට රතු මිශ්‍ර කහ (ඔරේන්ජ්) සුදු රතු ශුභයි. කොළ සහ කහ අශුභයි. මිලට ගැනීමට ඉරිදා සදුදා සෙනසුරාදා අගහරුවාදා බදාදා ශුභයි.


වෘශ්චික ලග්නයට කහ රතු ඔරේන්ජ් සහ ක්‍රීම් පාට ශුභයි. මිලට ගැනීමට අගහරුවාදා සදුදා සහ බ්‍රහස්පතින්දා ශුභයි.


ධනු ලග්නයට සුදු ක්‍රීම් කොළ ඔරේන්ජ් ලා නිල් ශුභයි. රතු හා මුතු වර්ණ අශුභයි. බදාදා දිකුරාදා බ්‍රහස්පතින්දා ඉරිදා මිලට ගැනීමට ශුභයි.


මකර ලග්නයට සුදු රතු සහ නිල් වර්ණ ශුභයි. කහ සහ ක්‍රීම් වර්ණ අශුභයි. ශුභ දිනයන් සිකුරාදා අගහරුවාදා සහ බදාදා වේ.


කුම්භ ලග්නයට කහ රතු සුදු සහ ක්‍රීම් පාට ශුභය. වාසනාවන්තය. ශුභ දිනයන් බ්‍රහස්පතින්දා සිකුරාදා අගහරුවාදා සහ සදුදාය.
මීන ලග්නයට රතු කහ රෝස ඔරේන්ජ් ශභයි. නිල්පාට අශභයි. ශුභ දිනයන් බ්‍රහස්පතින්දා අගහරුවාදා සහ ඉරිදා ශුභයි. 


(කෘෂ්ණ මූර්ති පද්ධතිය අනුවයි)


ජ්‍යොතිෂවේදී, වාස්තු උපදේශක, යාන්ත්‍රික ඉංජිනේරු,
නිශාන්ත විජේසේන
174/22 තුත්තිරිහේනවත්ත, මීරිගම පාර, 
වේවැල්දෙණිය.