ශිෂ්‍යත්ව විභාගය සමත් කරදෙන අපූරු කපු මහතා


 

ඈත අතීතයේ සිට ම නොයෙක් දේ සඳහා භාරහාර වීම අප සමාජයේ බොහෝදෙනා තුළ පවතින සිරිතකි. දෙවිවරුන්ට, දේවාලවලට, යකුන්ට, අමනුස්සයින්ට ඔවුන් භාරහාර වේ. භාර වූ දෙයක් සඵල වුවහොත් භාරය ඔප්පු කිරීමද ඔවුන් විසින් සිදුකරයි. මෙය සාමාන්‍ය සිරිතකි.
   
හම්බන්තොට දිස්ත්‍රික්කයේ (තංගල්ල) එක්තරා ප්‍රදේශයක අපූරු හාස්කම් සහිත කුඩා දෙවොලකි. එහි කපු මහතා මහා බලසම්පන්න ප්‍රාතිහාර්ය සිදුකරන්නෙකි. ඔහුට දෙවියන්ගෙන් වැඩ ගැනීම බොහොම සරල දෙයකි. නැති වූ දේවල් සොයා දීම, මළගියවුන් ගෙන්වීම, නිවෙස් ආරක්ෂා කරදීම, කොඩිවින කැපීම, හැරගියවුන් ගෙන්වාදීම, ස්ත්‍රීන් හා පුරුෂයින් වශී කරදීම, බාරහාර වීම, අංජනම් බැලීම ආදී සියලු දේ එම කපු මහතා සිදුකරයි.   
ඔහුගේ මෙම වික්‍රමයන් ගැන ආරංචි වී දිනකට බොහෝ පිරිසක් මොහුගෙන් වැඩ කරගැනීම සඳහා පැමිණේ. අනෙක් දේවාලවල නොකරන අපූරු විශ්මිත කාර්යයන් ද මෙම කපුමහතා සිදුකරයි. ශිෂ්‍යත්ව විභාග සඳහා විශේෂිත බාරයක් වීම මොහු සතු හැකියාවකි. ඔහු බාර වූ පසු නියත වශයෙන් ම ශිෂ්‍යත්ව විභාගය සමත්​ෙවන බව ඇතැමුන්ගේ විශ්වාසයයි.   


උදයන්තිත් ඇයගේ සැමියා වන දමිතුත් තම දරුවන් දෙදෙනා සමඟ තංගල්ල ප්‍රදේශයට ආසන්න ගමක ජීවත් වන්නෝය. වරායේ රැකියාවක නියැලෙන දමිත්ගේ වැටුපෙන් ගෙයක් දොරක් හදාගෙන දරුවන්ට ද උගන්වාගෙන ඔවුහු සාමාන්‍ය පරිදි ජීවත් වෙති. මොවුන්ගේ වැඩිමල් පුතා සිතුම් හා බාල පුතා යන දෙදෙනාම අධ්‍යාපනයට සාමාන්‍ය දක්ෂතාවන් දක්වති. ඔවුන්ට නිසි අධ්‍යාපනය දීම සඳහා උදයන්ති පුදුමාකාර විදිහේ වෙහෙසක් ගනියි.   


එක වසර, දෙක වසර කාලයේ සිටම උපකාරක පංතිවලට දරුවන් යොමුකර ඔවුන්ගේ මුළු ජීවිතයම අධ්‍යාපනය සඳහාම යොමු කෙරිණි. උදේ හතරහමාරට පොඩි දරුවන් දෙදෙනා අවදි කරන උදයන්ති බෙරිහන් දීම පටන් ගන්නේම “ඉක්මනින්ම පොත් අරගෙන පාඩම් කරන්න” යැයි දරුවන්ට කෑ ගසමිනි. දරුවන් ද නිදි කිරා වැටෙමින් අම්මාගේ කටට බයට පොතක් අරගෙන අපහසුවෙන් පාඩම් කරති. ඉන්පසු උදේ හය වනතෙක් මෙලෙස පාඩම් කරන කුඩා දරුවන් දෙදෙනා පාසල් යාම සඳහා ලෑස්ති කරයි.   


උදේ හයහමාර පමණ වනවිට දරුවන් දෙදෙනාත් සමඟ නිවසින් පිටවන උදයන්ති උදේ හතයි විස්ස වනවිට පාසලට දරුවන් ඇරලවයි. වැඩිමල් දරුවාගේ පාසල නිම වන්නේ දහවල් එකහමාරට වන අතර, බාල දරුවාගේ පාසල දහවල් දොළහ මාරට නිමවෙයි. දොළහහමාරට පොඩි දරුවා ද පාසලින් ගෙන ඒ ආසන්නයේ යෙහෙළියකගේ නිවසට වී සිටින මොවුන් වැඩිමල් දරුවා ද රැගෙන දහවල් දෙකත් දෙකයි කාලත් වනවිට නිවසට පැමිණේ. ඉන්පසු දරුවන් දෙදෙනාට දහවල් ආහාරය ලබාදී සවස තුන වනවිට දරුවන් දෙදෙනාම උපකාරක පංති කරා ගෙනයයි. නැවත පංති අවසන් වී සවස පහහමාර ආසන්න වේලාවක නිවසට පැමිණේ. ඉන්පසු සවස හය, හයහමාරේ සිටම පාසලින් දුන් ගෙදරවැඩ කරවයි. ඒවා නිම වූ පසු අනිවාර්යෙන්ම තවත් පැයක් පාඩම් කටයුතු සිදුකළ යුතුය.   


මෙලෙස පාඩම් කර රාත්‍රී කා බී නින්දට යනවිට රාත්‍රී දහයත් පසුවේ. නැවත පසුදින පෙරපරිදිම උදේ හතරහමාරට දරුවන් අවදි කරවයි. මෙම කාලසටහන බොහෝ දිනවලට මොවුන්ගේ නිවසේ ක්‍රියාත්මක ​ෙවන අතර, මෙම ක්‍රියාදාමය සුළු වශයෙන් හෝ වෙනස් ​ෙවන්නේ කලාතුරකින් දිනවල පමණි. වාර විභාගයක් ආසන්න වූ විට මෙම පාඩම් කරන කාලය තවත් වැඩිවේ. වැඩිමල් දරුවා සිතුම් පහ වසරේය. හතර වසරේ සිට ම ශිෂ්‍යත්ව පංති තුනකටම යවයි. ශිෂ්‍යත්ව විභාගය ආසන්නය. නොයෙකුත් පුද පූජා, භාරහාර වීමෙන් ද අඩුවක් නැත.   


මේ කාලයේ ශිෂ්‍යත්ව පංතියේ මවකගෙන් එක්තරා විශ්මිත කපුමහතෙක් ගැන උදයන්තිට අසන්නට ලැබුණි. එම කපුමහතාගේ දේවාලයට ගොස් ශිෂ්‍යත්ව විභාගය සඳහා බාර වුවහොත් අනිවාර්යෙන්ම විභාගය සමත් වන බව ඇයට දැනගන්නට ලැබුණි. “විභාගයට කලින් කොහොම හරි කොල්ලව ඒ දේවාලෙට එක්කන් යමු” යැයි උදයන්ති විසින් දමිත්ටද ඇවිටිලි කරන්නට විය. “ඔය පංති මදිවට තව ඒවා පට්ටල් කර ගත්තද. කෝ ඕවට වෙලාවක්” දමිත්ගේ අදහස විය. ’’   


පංති වගේ නෙමෙයි. මෙතන බාර වෙච්ච හැමෝම කොහොම හරි විභාග පාස්වෙලා තියෙනවා. ළමයගේ විභාග අංකෙත් අරන් ගියාම ඒකටමලු බාරය වෙන්නෙ. ඒක නිසා අපේ කොල්ලවත් එක්කන් යමු. මේ සතියේ විභාග අංකයත් හම්බ වෙනවනෙ. ඔයාට බැරිනම් කොල්ලගේ පංතියේ ළමයින්ගේ අම්මලා කීපදෙනෙක් එක්ක මමත් යනවා” යැයි ඒකමතිකව උදයන්ති තීරණය කළාය.   


 “ඕකට බාරවෙන්න කීයක් ඕනද.?” දමිත් ඇසීය.   


“වැඩිගානක් නෑ. රුපියල් දෙදහස් පන්සීයක් විතරයිලු” උදයන්ති පැවසීය.   


“හරි කමක් නෑ එහෙනම් ඒකත් කරලා බලන්න. මං සල්ලි දෙන්නම්. අම්මලත් එක්ක ගිහිල්ල කරන් එන්නකො” දමිත් ද පැවසීය.   


උදයන්ති එම වසරේ ශිෂ්‍යත්ව විභාගය කරන ළමයින්ගේ අම්මලා කීපදෙනෙක් සමඟ විශ්මිත බාරහාරය සිදු කරගැනීම සඳහා පිටත් වූවාය.   


උදයන්තිත් තවත් අම්මලා පස් දෙනෙකුත් මෙම දේවාලය කරා පැමිණියහ. ඇතැම් මව්වරුන් ශිෂ්‍යත්වය කරන දරුවන්ද කැඳවා ගෙන විත් තිබුණි. පැමිණි පිළිවෙළට අංක ලබා ගැනුණි.   


ඉන්පසු උදේ අටට පමණ දේවාලයේ ආවතේවකරුවෙක් පැමිණ දිග බංකුවක් දිගේ තමන්ගේ අංකය පිළිවෙළට බුලත්අත බැගින් තබන්නට නියම කළේය. ඉන්පසු පැය භාගයකට පමණ පසුව කපුමහතා දේවාලය තුළට පැමිණියේය. දිගු වේලාවක් පෝළිමේ සිටීමෙන් පසුව උදයන්තිගේ වාරය පැමිනුණි. පිළිවෙළට තැබූ බුලත්අත ගෙන ඒ මත රුපියල් දෙදහස් පන්සියයක මුදලක් ද තබා ඒ මත දරුවාගේ විභාග අංකය, නම, වයස, පාසල, ලිපිනය ලියූ කාඩ්බෝඩ් කැබැල්ලද තබා කපුමහතා ඉදිරියේ මේසය මත තැබීය.   


මහානුබල සම්පන්න කපුමහතා ඔලුව කරකවමින් සුළු ගැස්මකින් යුක්තව බුලත් හා මුදල් පසෙක තිබූ විශාල බාස්කට් එකකට දැමීය. කාඩ්බෝඩ් කැබැල්ල අතට ගෙන විනාඩි දහයක් විතර නොයෙකුත් දෙවිවරුන්ට නොදන්නා භාෂාවලින් අමතා ළමයාගේ නම, විභාග අංකය, පාසල, ලිපිනය යන ඒවා පමණක් සිංහලෙන් කියමින් යාතිකාවක් කර බාරවිය. විභාගය සමත් වූවාට පසුව ඇවිත් අප කියන විදියට පූජාවක් තබා බාරය ඔප්පු කරන ලෙස පැවසීය.   


උදයන්ති සමඟ ගිය අනෙක් මව්වරුන්ද මෙම ආකාරයට බාර වී නිවෙස් බලා පිටත්ව ආවෝය. එදින දරුවාට පාඩම් කිරීම සඳහා වද කිරීම ද අඩුවිය. “කොහොමත් ඉතිං දැන් පාස්වෙනවා” යැයි විශ්වාසය ඇය තුළ ඇතිවිය.   
යන්ත්‍රවලට කිළි අසුවීම වැළකීමට මාවී ඇටයක්‌ සුරය තුළට කතා නොකර දමයි. මෙය පුර පක්‍ෂයේ උදය වරුවක ශුභ මුහුර්තයකින් සිදු කිරීම වඩාත් ප්‍රතිඵලදායකය සුභ වෙනවා යැයි කපු මහතාගේ උපදේශයයි.   
මේ අනුව ජප කරන ලද සුරය හා කහ නූල දරුවාගේ ආහාර සහිත කෑම පිඟාන දරුවාගේ හිස වටා 7 වරක්‌ කරකවා දරුවාගේ කෙළ මිශ්‍ර කර කතා නොකර ළිපට දැමීම සිදු කළ යුතුව තිබෙනවා එය සිදු කරන්න යැයි කපු මහතා කීය.   

 

 

සත්තකින්ම යන්ත්‍ර යනු බොහෝ දෙනකු භාවිතා කරන ශාන්තිකර්මයකි. බොහෝ ප්‍රසිද්ධ විහාර දේවාල අසල මහ පාරේ ඇති වෙළෙඳසල්වලත්, පූජා භාණ්‌ඩ වෙළෙඳසල්වලත් යන්ත්‍ර අලෙවිය වන්නේ මුදලකටය. මේ සියල්ලම මේ දෙවොලේ දැකිය හැකිය.   


විභාග දිනය උදාවිය. එදිනට රාහු කාලය යෙදී තිබුණේ උදේ හතරහමාරේ සිට සවස හය දක්වාය. එම වේලාව අතහැර උදේ හයයි කාල හයයි විස්ස පමණ වනවිට සුභ දිශාව බලා දරුවා එළියට බැස්සුවේද උළුවස්සෙන් හරහටය. කිරි වීදුරුවක් රැගෙන දරුවා ඉදිරියට පැමිණි උදයන්ති පෙර මඟ ලකුණු සුභ කළාය. මෙලෙස ගොස් දරුවා විභාගයට වාඩි කරවීය.   


ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල එන දිනය උදාවිය. උදේම ටවුමේ තිබෙන කොමිනිකේෂන් එක වෙත ගොස් විභාග අංකය දී ප්‍රතිඵල බැලීය. උදයන්තිට සිදු වූ දෙය සිතාගැනීමටත් බැරිවිය. සිතුම් ශිෂ්‍යත්ව විභාගය අසමත් වී ඇත. ලකුණු තිබුණේ එකසිය හතළිස් දෙකකි. එම වසරේ ශිෂ්‍යත්වය සමත් වීමේ කඩඉම් ලකුණු වූයේ ඔවුන්ගේ දිස්ත්‍රික්කයේ එකසිය පනස් හයකි. උදයන්තිට මාරාවේශ විය. වේගයෙන් ගෙදර ආ උදයන්ති සිතුම්ට බැනගෙන බැනගෙන ගියාය.   


“තෝ වගෙ කාලකණ්ණියෙක්. මගෙ මුළු මහන්සියම වතුරේ. මේ වගේ පොල් බූරුවෙක් අපිත් හැදුවනෙ. මුං දරුවො නෙමෙයි පවට ඇතිවෙච්ච කාලකණ්ණියෝ” යනුවෙන් නොහොබිනා ලෙස දරුවාට බැනවදින්නට වූවාය.   


දරුවා ද “අනේ අම්මෙ මම හොඳට විභාගය ලිව්වනේ. මොකක් වුණාද දන්නෙ නෑ” කියමින් අඬන්නට විය. නමුත් උදයන්තිගේ කේන්තිය නතර වූයේ නැත. දමිත්ටද මේ බව දුරකථනයෙන් පවසා “නෑදෑයෝ, වටපිට එවුන් අහනකොට අපි මොකක්ද කියන්නේ” යනුවෙන් පවසමින් තව තවත් දරුවාට බැණවදින්නට විය. අනෙක් මව්වරුන්ටද කතා කර ඒ ළමයින්ගේ ප්‍රතිඵල ද ඇය ඇසීය. බාරවීමට ගිය අනෙක් පස්දෙනාගෙන් එක මවකගේ දරුවෙක් පමණක් ළකුණු එකසිය හැටඑකක් ලබාගෙන සමත් වී ඇත. ඉතිරි භාර වූ හතර දෙනාගේම ළමයින් ද ශිෂ්‍යත්වය අසමත් වී ඇත. ආවේගය වැඩිකමටම උදයන්ති භාර වූ කපුවාගේ මෑණියන් ද මතක් කරමින් බැනවදින්නට විය.   


“ඉඳපංකො මං ඔය හොර කපුවටත් දෙකක් ගිහින් කියන්න” යනුවෙන් කියවමින් දින කීපයක් යනතෙක්ම මතක් වෙන මතක් වෙන වාරෙට දරුවාට බැනවදින්නට වූවාය. තරහ වැඩිකමටම උදයන්ති බාර වූ අනෙක් අම්මලාටද කතා කර “කපුවාගෙන් සල්ලි ඉල්ල ගමු” යැයි යෝජනා කළාය. නමුත් අන් අයගේ අදහස වූයේ “ඕක ඉතිං අපෙත් වෙලාවනේ. කපුවා බලෙන් සල්ලි ගත්තෙ නැහැනේ” යන්නය.   


ශිෂ්‍යත්වය සමත් වූ දරුවාගේ මව ප්‍රතිඵල ආ දිනට පසුදාම ගොස් පූජා වට්ටියක් හා දේවාලයෙන් කිවූ පරිදි බඩු බාහිරාදියත් රුපියල් පන්දහසක මුදලකුත් තබා බාරය ඔප්පු කළාය. අනෙක් අයගේ අදහස කුමක් වුවද තමා තනියෙන් හෝ ගොස් කපුවාගෙන් මුදල් ඉල්ලා ගැනීමට උදයන්ති සිතීය. ඇය දේවාලය වෙත ගොස් කපුවාටද කෑ ගසා තමාට මුදල් ලබාදෙන ලෙස ඉල්ලීය.   


කපුවා පැවසූවේ “මේ අම්මලා ඇවිල්ලා ඉන්නෙ ළමයින් පාස්වෙලා බාර ඔප්පු කරන්න.   


ඔහේගේ දරුවා පාස්වෙලා නැත්තේ මම කරේ දාගෙන යන්න දීපු නූලට කිළි අහුවෙලා” මෙලෙස නානාප්‍රකාර දේ කියමින් කපුවා මුදල් දීම ප්‍රතික්‍ෂේප කළේය. එදිනද ඇත්තටමත් බාර ඔප්පු කිරීම සඳහා ශිෂ්‍යත්ව පාස් වූ ළමයින්ගේ දෙමාපියන් හතරක් පහක් විතර එම දේවාලයට පැමිණ තිබුණි. “ඒකත් අපේ වෙලාව” යනුවෙන් කියමින් උදයන්ති නිවස බලා පැමිණියාය.   


උදයන්තිගේ කියවිල්ල සහ පීඩනය එන්න එන්නම වැඩිවිය. වැඩිමල් දරුවාට මෙන්ම බාල දරුවාට ද බැනවදියි. පොඩි දරුවා තවම දෙක වසරේය. ඉගෙන ගන්නා කුඩා දරුවෙකි. “උඹවත් හරියට ශිෂ්‍යත්වය පාස්වෙයන්” යනුවෙන් කියමින් පොඩි දරුවාටද බැනවදියි. ඇතැම් දුර නෑදෑයින් දරුවාගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල ගැන ඇසූ විට පවසන්නේ බොරුවකි. තමාට ශිෂ්‍යත්වයේදී ලකුණු එකසිය හැටපහක් තිබූ බව නෑදෑයින් ඇසුවොත් පවසන්න යැයි දරුවාටද ඉගැන්වීය. ඇතැම් අවස්ථාවල සමහර මිනිසුන්ට මෙලෙස කියද්දී “අපිට ආරංචි වුණේ නම් විභාගය ෆේල් කියලනේ” යනුවෙන් කැපෙන වචන කියන කාන්තාවන්ද නැත්තේම නොවේ. මෙවැනි අවස්ථාවල උදයන්තිගේ කිපීම තවත් වැඩිවේ. දින කීපයක් යනතෙක්ම දරුවන් දෙදෙනාට බැනවදිමින් තමන්ගේ මානසික පීඩනය පිට කරයි. ගෙදර වැඩ පවා ටිකෙන් ටික අතපසු විය. තම ස්වාමියා වන දමිත්ට ද නොයෙක් අවස්ථාවල සැර වේ.   


උදයන්තිගේ මෙම හැසිරීම දමිත්ටත් දරුවන්ටත් මහත් පීඩාවක් ගෙනදෙන්නක් විය. “මොන කෙහෙම්මලක්ද මේ. විභාගයක් අල්ලන් මැරෙන්න හදන්නේ. මේක හරියන පාටක් නෑ වගේ” යනුවෙන් පවසමින් දමිත්ද උදයන්ති සමඟ නිතර ගැටුම් ඇතිකර ගනී. මේ පිළිබඳව බැරිම තැන දමිත් විසින් තමන්ගේ හොඳම යහළුවන් කීපදෙනෙකුටම පැවසීය. එහිදී එක් අයෙකුගේ මතය වූයේ උදයන්තිගේ ගැටළුව වෛද්‍යවරයෙකු සමඟ කතා කරන ලෙසය. එයට අදහස් පළ කළ තවත් යහළුවෙකු විසින් “මිථ්‍යාව පස්සෙත් ගොඩක් දුවන නිසා නෝනත් එක්ක ගිහින් වෛද්‍ය විද්‍යාකුලපති මහතා හම්බවෙලා මේ පිළිබඳව කතා කළොත් ඕකට පිළිතුරක් ලැබෙයි” කීය.   


දමිත් නිවසට ගොස් මේ පිළිබඳව උදයන්ති සමඟ පැවසුවද උදයන්ති තරයේම එය ප්‍රතික්‍ෂේප කර සිටියාය. ‘මට ඇති පිස්සුවක් නෑ. ඔහේට ඕනනම් ගිහිල්ලා මොළේ පරීක්‍ෂා කරන්න” යනුවෙන් බැනවදින්නට විය. නමුත් දමිත් උදයන්තිගේ දෙමාපියන්ද ලවා කියවා ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත මෙම ගැටළුව යොමු කෙරිණි.   


වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් මොවුන් සමඟ වෙන වෙනම දිගු වේලාවක් කතා කළේය. දරුවන් සමඟ ද වෙන වෙනම කතා කළේය. ඉන්පසු වෛද්‍යවරයා විසින් උදයන්ති ක්ලමථය (Stress Disorder) තත්ත්වයෙන් පෙළෙන බවත් ඒ වගේම දමිත්ට හා දරුවන් දෙදෙනාටත් උදයන්තිගේ හැසිරීම මත හටගත් මානසික පීඩනයට මනෝ ප්‍රතිකාර ලබාදීමටත් අවශ්‍ය බව ප්‍රකාශ කළේය. මාස කීපයක් ප්‍රතිකාර කිරීමෙන් පසු උදයන්ති සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්ත්වයට පත්වූවාය. ඇයගේ කේන්තියාම, කලකිරීම අඩුවිය. ඒ වගේම සැමියාට, දරුවන්ට යොදන පීඩනයද අඩුවිය. ශිෂ්‍යත්වය සමත්වීම අත්‍යාවශ්‍ය සාධකයක් නොවන බව ඇයට වැටහෙන්නට විය. දරුවන්ට ඕනවට වඩා ඉගෙනීමට බලපෑම් කරන එක නතර විය. දරුවන් දෙදෙනාද මේ වනවිට හොඳින් අධ්‍යාපන කටයුතුවල නියැලේ.   


මෙම සිදුවීම් පිළිබඳව මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විසින් මෙලෙස විස්තර කරදුන් අතර, විශ්මිත කපුමහතාටද ඔහුගේ වරද පෙන්වා දී මෙලෙස මිනිසුන් රැවටීමෙන් වළකින ලෙස අවවාද දී කපුවාගේ ක්‍රියාවද නතර කරවීය.   


අද වනවිට අප සමාජය සම්පූර්ණයෙන්ම මිථ්‍යාවෙන් වැසී පවතී.   


ශිෂ්‍යත්ව විභාගය හා වෙනත් විභාග ආසන්න කාලවලදී බොරදියේ මාළු බාන පාපතරයින් කොටසක්ද වේ. ඇතැම් ගුප්ත බලයන් තිබෙනවා යැයි කියාගන්නා පුද්ගලයින්, ඇතැම් කපුවන් මෙවැනි අවස්ථාවල නොයෙක් වශීකර්ම, නොයෙක් මතුරපු උපකරණ, එක් එක් විදියේ නූල් වර්ග අළෙවි කිරීමේ ජාවාරම මෙන් නොයෙක් විදියේ පූජාවන් කරමින් මෙම අවස්ථාවලදී මිනිසුන්ගේ මුදල් සූරා කයි.   


මෙම සිද්ධියේ එන කපුමහතා ද එවැන්නෙකි. ඔහු කළේ ශිෂ්‍යත්ව විභාග අංකය ගෙන බොරු පූජාවක් පවත්වා මිනිසුන්ගෙන් රුපියල් දෙදහස් පන්සිය ගණනේ ගරා ගැනීමයි. අහඹු ලෙස ගත් කල එම ළමයින් අතර ශිෂ්‍යත්වය පාස් වන ළමයින් ද ඇත. මොවුන් පාස් වෙන්නේ එම කපුවාගේ බලය නිසා නොව, ළමයා තුළ ඇති දක්ෂතාව නිසාවෙනි. මේ බව නොදත් ඇතැම් දෙමාපියන් රුපියල් පන්දහසකටත් වැඩි මුදලක් වැය කරමින් භාර ඔප්පු කර කපුවා ධනවත් කරයි.   


විභාග අංකය නොපෙනෙන දෙවියෙකුට කීම තුළින් දෙවියා විසින් එම විභාග අංකය සහිත ළමයාට උදව් කිරීමට හැකියාවක් තිබෙන බව මේ ලෝකයේ ඇති කිසිදු ආගමකවත් සඳහන් වන්නේ නැත. මතුරපු පෑනකින් ලියූ විට එහි ශක්තියෙන් හෝ බලයෙන් නිවැරදි පිළිතුරුම ලියැවෙන අවස්ථා සිදුවීමට කිසිසේත්ම ඉඩ නැත. නිවැරදි පිළිතුරු ලියවෙන්නේ දෙවියන්ගේ බලයෙන් හෝ විශ්මිත පෑනේ බලයෙන් නොව, නැතහොත් කරේ දමාගෙන සිටින නූලේ බලයෙන් නොව, ළමයාගේ දක්ෂතාවයෙනි. එම නිසා මින් ඉදිරියටවත් ඔබත් ඔබේ දරුවාත් මෙවැනි මිථ්‍යාවලට හසු නොවී බුද්ධියෙන් වැඩ කිරීමට අධිෂ්ඨාන කරගත යුතුයි.   


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්‍ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර මෙය සත්‍ය සිදුවීමකි.)   

 


සටහන: හබරාදුව නිමල් අල්ගෙවත්ත