ශිවගේ දරුවන් සටනක පැටළවූ නාරදගේ අඹ ගෙඩිය


භාරත ෙද්ව සභාව

 

කෛලාෂ මන්දිරය පිරුණු නිවෙසකි. ඒ ශිව සහ පාර්වතීත් ඔවුන්ගේ පුත් කුමාරවරුන් වන ගනේෂ සහ කාර්තිකේයත් නිසාය. එහෙත් මේ දරු දෙදෙනාගේ ස්වරූපයන් එකිනෙකට වෙනස්ය. කාර්තිකේය අතිශයින් කඩවසම් පිරිමි ළමයෙකි. එහෙත් ඔහුගේ අයියා වන ගනේෂ්ගේ ස්වරූපය ඊට වඩා බොහෝ වෙනස්ය. අලියකුගේ හිසක් මෙන්ම මහත කොට කකුල් දෙකකින්ද යුතුය.   


එසේ වුවද මේ දෙදෙනාම සතු නුවණ, දයාව, කරුණාව හා ආදරය දෙව්ලොව අන් යම්කිසිවෙකු ළඟ නැති තරම්ය.   


ගනේෂ සහ කාර්තිකේය නිවෙසේ රැඳෙන වෙලාවට කෛලාෂ මන්දිරය අසල ලස්සන මොනරෙක්ද ලොකු මීයෙක් ද දැකිය හැකිය. මේ මොනරා කෛලාෂ මන්දිරය හැඩකරන අතර ඌ විටෙක පිල් විදහාගෙන රංගනයේද යෙදෙන්නේය. එවැනි විටෙක, මීයා ද මොනරා ළඟටම ​ෙගාස් මොනරා මෙන්ම නටන්නට උත්සාහ කරන්නේ විහිළුවට මෙනි.   


​ෙම් ලස්සන මොනරා, කාර්තිකේය ගමන් බිමන් යන වාහනය වන අතර මීයා ගනේෂගේ වාහනයයි.   


දවසක්දා නාරද ඉසිවරයා කෛලාෂ මන්දිරයට ගියේය. අතිශය දඟකාර ගති පැවතුම් සහිත මෙම ඉසිවරයා දෙව්ලොව එකිනෙකාට විහිළු කරමින්, රවට්ටමින් කටයුතු කරන්නේ විනෝදයටය. ඉසිවර නාරද කෛලාෂයට යන විට ශිව සහ පාර්වතී සිටියේ කිසියම් කතාබහක යෙදෙමිනි. ඔවුන් දෙදෙනාටම ගෞරවය පළ කළ ඉසිවරයාට වාඩි වන්නට ඇරයුම් කෙරිණි.   


“ස්තූතියි” කී ඉසිවරයා කෛලාෂ මන්දිරයේ ඉදිරියෙන්ම වූ ආසන පෙළේ එකක වාඩි වූයේය.   


ශිව සහ පාර්වතී මොහොතකට එකිනෙකා දෙස බලා සිටියහ. ඉසිවර නාරදගේ අමුතු කෙළිකවටකම් ගැන දන්නා බැවින් මොවුන් පසු වූයේ කුතුහලෙනි.   


“මෙයා මේ පැත්තෙ ආවෙ මොකටද දන්නේ නෑ.”   


ශිවගේ මෙන්ම පාර්වතීගේද හිතේ වැඩ කළේ එකී කුකුසයි.   


ශිව සහ පාර්වතී දෙස දෙවරකට බලා සිනාසුණු ඉසිවර නාරද, ඔහුගේ ගමන් මල්ලට අතදමා යම් කිසිවක් අරගත්තේය.   


“මොකක්ද?” ශිව ඇසුවේය.   


නාරද තම අතවූ වස්තුව ශිව වෙත පෑවේය.   


“අඹ ගෙඩියක්.”   


ශිව, පාර්වතී දෙසත් නාරද දෙසත් ඔහුගේ අතේ වූ අඹ ගෙඩිය දෙසත් බැලුවේය.   


“මේක බොහොම විශේෂ අඹ ගෙඩියක්”  නාරද පැවසුවේය.   


“ඒක තමයි, අනිත් අඹවලට වඩා තරමක් ලොකුයි වගේ” ශිව කීවේ විහිළුවටය.   


“නෑ, උතුමාණෙනි, ප්‍රමාණය වෙනසක් නැහැ. මේ අඹ ගෙඩියෙ තියෙන වෙනස තමයි රසය. මේ අඹ ගෙඩිය හරියටම දෙවියන් සතු අමෘතයෙ රසමයි. ඒ වගේම මේ අඹ ගෙඩිය කෑවොත් පුදුම නුවණක් ලැබෙනවා. ඒ වගේම දක්ෂ ලෙස ඉගෙනගන්න පුළුවන්”   


“එහෙමද?”   


ශිව, නාරද ගේ අතින් අඹගෙඩිය රැගෙන උඩ යට බැලුවේය. අනතුරුව නහයට ළංකර එහි සුවඳ බැලුවේය.   


යළි නාරද දෙස බැලූ ශිව, සිනාවක් පා “ස්තූතියි” කීවේය.   


අඹ ගෙඩියෙන් වහනය වූ මිහිරි සුවඳ නිසාම කටට කෙළ ඉනූ ශිව වහාම පසෙක වූ පිහිය ගෙන අඹ බෑයක් කැපුවේය.   


“ආ කාල බලන්න” ශිව අඹ බෑය පාර්වතී වෙත පෑවේය.   


“එපා” ඉසිවර නාරද පැවසුවේය.   


“මේ අඹ ගෙඩිය බෙදාගෙන කන්න එපා. කන්න ඕනෑ එක්කෙනෙක්. බෙදාගෙන කෑවොත් අඹ ගෙඩියෙන් ලැබෙන ප්‍රතිඵලය අසම්පූර්ණ වෙනවා.”   


ඒ වන විටත් ඒ අඹ බෑය තිබුණේ පාර්වතීගේ අතේය. නාරද ඉසිවරයා අඹ ගෙඩිය එක් පුද්ගලයකු විසින් අනුභව කළ යුතු බව කී සැණින් පාර්වතී තම අත වූ අඹ බෑය ආපසු ශිව වෙත පෑවාය.   


“කමක් නෑ, ඔයා රසවිඳින්න පාර්වතී” ශිව කීවේ සිනාසෙමිනි.   


එහෙත් ශිව අඹ ගෙඩිය තවමත් අතේ තබාගෙන සිටිනවා මිස එහි රස බලන්නට සූදානම් වූයේ නැත. එබැවින් පාර්වතී, අඹ බෑය මුවට ළං නොකර ඉසිවර නාරද දෙස බැලුවාය.   


“අපිට ලැබෙන කිසිම ප්‍රණීත ආහාරයක් අපි තනිව රස විඳින්නේ නෑ. හැමවිටම එවැන්නක් දෙදෙනා අතරම බෙදා ගන්නවා” පාර්වතී නාරදට කීවාය.  


එවිටම මොනරා ද මීයා ද කෛලාෂ මැදුරට පැමිණියේ කාර්තිකේය සහ ගනේෂ සමගිනි.  


ඔවුන් තම වාහනවලින් බහින විට මවත් පියාත් නාරද ඉසිවරයා සමඟ කිසියම් බරපතළ කතාබහක යෙදී සිටින හැටි දුටුවෝය.   


“මොකක්ද ප්‍රශ්නෙ?” කාර්තිකේය මව් පිය දෙදෙනා අතරට පැමිණෙමින් ඇසුවේය.  


එවිටම මව අතවූ අඹ බෑයත්, පියා අතවූ අඹ ගෙඩියේ ඉතිරි කොටසත් ඔහුට පෙනිණි.  


නාරද ඉසිවර සිටියේ විමතියෙන් මුව විවර කර ගෙනය.  අඹ ගෙඩිය හොඳටම ඉදී තිබූ අතර ඉන් වහනය වූ සුවඳ රස දිව පිනවන සුළු විය. ගෙට ඇතුළු වනවිටම ඔහුට දැනුණු ඒ මිහිරි සුවඳින් ප්‍රමුදිත වූ ඔහු අඹ ගෙඩිය දෙස බැලුවේය. ඔහුගේ බඩ දඟලන්නට වූ අතර දෙ​තොලද නලියෑවේය.   


“ඇයි ඔබ අඹ ගෙඩිය නොකන්නේ අම්මේ” ගනේෂ් විමසුවේය.  


“මම අඹ ගෙඩිය නොකන්නෙ වෙන හේතුවක් ඇතිව පුතා. මෙච්චර කාලෙකට මමත් ඔබේ පියාවත් කිසිම දෙයක් තනිවම කාලා නැහැ. හැමදේම කෑවේ බෙදා හදාගෙන.”  


“ඉතින් එ් විදිහට කන්නකො අම්මා.”  


“බෑ, නාරද ඉසිවරයා කියන්නෙ මේ අඹ ගෙඩිය එක්කෙනෙක් විසින් තනිවම ආහාරයට ගත යුතු බවයි.”  

“එහෙම නම් අම්මේ” කාර්තිකේය වහා පැවසුවේය.


“මේ අඹ ගෙඩිය මම කන්නම්. එහි සුවඳට මගේ බඩගින්න වැඩිවෙලා තියෙන්නේ. කොහොමටත් මම අඹවලට හුඟාක් කැමතියි.”  


“එහෙම බැහැ. මමයි ඔය අඹ ගෙඩිය මුලින්ම දැක්කේ. එ් නිසා ඒ අඹ ගෙඩිය ලැබිය යුත්තේ මටයි. මමයි අඹ ගෙඩිය කන්නේ.”  


ගනේෂ ද සටනට ඉදිරිපත් විය. ඔහු වහාම අඹ ගෙඩිය ගන්නට මව්පියන් අසලට ගියේය.  


ශිවගේ සහ පාර්වතීගේ අත්වල තිබූ අඹයේ කොටස් වහා අරගත් ඉසිවර නාරද පසෙකට වූවේය. දඟකාර සිනාවකින් දෙතොල සරසාගත් ඔහු කාර්තිකේය සහ ගනේෂ අතර ඇවිළෙන අඹ රණ්ඩුව දෙස බලා සිටියේය.  
සැබෑවටම ඔහුගේ අපේක්ෂාව වූයේද මෙවැන්නකි. ශිවගේ සහ පාර්වතී​ෙග් දරුවන් අතර ගැටුමක් ඇති කර ඒ ගැටුමෙහි රස විඳීමටය.  


ඉසිවර නාරද ගේ අවශ්‍යතාව ශිව සහ පාර්වතී යන දෙදෙනාම වහා තේරුම් ගත්හ. ඒ වන විටත් රණ්ඩුවට මැදිව සිටින තම පුතුන් දෙස නාරද බලා සිටින හැටියෙන්ම එය ඔවුනට වැටහිණි.  


“නාරද ඔබ මෙහි පැමිණියේම මගේ පුතුන් අතර රණ්ඩුවක් ඇති කරන්න නේද?” ශිව කෝපයෙන් විමසුවේය.  


“තාම ඔබ සතුටට පත් වුණේ නැද්ද මේ සටනින්.”  


නාරද හිස සැලුවේය.


“මේ දරුවන් අඹ ගෙඩියකට රණ්ඩු වෙන්නෙ ඇයි කියන එක මටනම් තේරෙන්නේ නැහැ උතුමාණනි. ඒ වෙනුවෙන් ඔබ මට චෝදනා කරන එක වැරැදියි. මොකද මම අඹ ගෙඩිය දුන්නේ ඔබට මිස ඔබේ දරුවන්ට නොවෙයි.”  


“ඉතින් එහෙමනම් ඔය අඹගෙඩියත් අරන් මෙතනින් යන්න” ශිව කෝපයෙන් ගිගුරුවේය.  


මේ වනවිට ශිව, කාර්තිකේය සහ ගනේෂ යන තිදෙනාම සිටින්නේ කෝපයට පත්වය.   


පාර්වතී සිය දෑතම ඔසොවා පිරිස දෙස බැලුවාය.  


“තවදුරටත් ඔය රණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු නැහැ. කරුණාකර ඕක නතර කරන්න. සංසුන් වන්න.”  


පාර්වතී ද සිය කටහඬ උපරිමයෙන්ම පැවසුවාය.  එ් මොහොතෙහිම අඹ සටන නතර කළ කාර්තිකේය සහ ගනේෂ නිහඬව පාර්වතී දෙස බැලූහ.  


“හොඳයි අපි තරගයක් පවත්වමු. ඒ තරගයෙන් දිනන කෙනාටයි අඹ ගෙඩිය තෑගි වශයෙන් හම්බවෙන්නේ” පාර්වතී සිනාසෙමින් කීවාය.   


අඹ ගෙඩියේ ප්‍රශ්නයට තිබෙන එකම විසඳුම අම්මාගේ යෝජනාව බව වටහාගත් කාර්තිකේය සහ ගනේෂ පාර්වතීගේ යෝජනාවට එකඟ වූහ.  


“හොඳයි එහෙනම් මමම තරගයක් ​ෙයා්ජනා කරන්නද?”  


තවමත් දඟකාරකම පහව නොගිය නාරද විමසුවේය.  


පාර්වතී හිස සැලුවාය.  


“මේ වන විට දරුවන්ගේ රණ්ඩුව අවසන්ව තිබුණු බැවින් ශිව සිටියේ ද ප්‍රීතියෙනි. එබැවින් ඔහු කිසිත් නොකියා පිරිස දෙස බලා සිටියේය.   


ලෝකය වටේ තුන් වතාවක් ගිහින් ඉස්සෙල්ලම ආපු කෙනාට මේ අඹ ගෙඩිය තෑගි කරනවා” නාරද කීවේය.  


කාර්තිකේයගේ මුවට නැගුණේ සතුටු සිනාවකි. මේ තරගයෙන් දිනන්නේ තමන් බව කාර්තිකේය දැන සිටියේය. මේ තරගයේදී නොවරදවාම ගනේෂ පරදින බව ඔහුගේ විශ්වාසය විය.  


එක වචනයක් වත් තෙපලන්නට පමා නොවූ කාර්තිකේය වහාම තම මොනරා වෙත දිව ගියේය. ඔහු මොනරාගේ පිටට නගින විටම ඌ තටුගසා අහසට පැන්​ෙන්ය.  


ගනේෂ ගල් ගැසී බලා සිටියේය. ඔහු තම වාහනය වූ මීයා වෙත ගොස් ඌ සමඟ ලෝකය වටේ යන්නට කල්පනා කළේ නැත. මන්දයත් කාර්තිකේයගේ මොනරාට තරම් වේගයෙන් තම මීයාට යන්නට නොහැකි බව ගනේෂ දැන සිටි බැවිනි.  


“මොකක්ද කරන්නේ?” ගනේෂ තමන්ගෙන්ම ප්‍රශ්න කරගත්තේය.  


කෙසේ හෝ වේවා ලෝකය වටේ තුන් වරක් ගොස් ආපසු එන්නට කාර්තිකේයට ගතවූයේ හෝරාවකට කිට්ටු කාලයකි. වෙහෙසට පත්ව සිටි මොනරා කෛලාෂ මන්දිරය ඉදිරිපිට ගිමන් හරින්නට විය.  


කාර්තිකේය ප්‍රීතියෙන් සිනාසෙමින් නිවෙසට එනවිට අර අඹ ගෙඩිය තිබුණේ ගණේෂගේ සුරතෙහිය.  එහෙත් ගනේෂ මේ තරම් ඉක්මණින් ලෝකය වටේ තුන් වරක් සංචාරය නොකළ බව කාර්තිකේය දැන සිටියේය. එසේනම් අඹ ගෙඩිය ඔහු දිනාගත්තේ කෙසේද?   


කාර්තිකේය පුදුමයට පත්ව සිටියේය.  


“අම්මා ගනේෂ කොහොමද මට කලින් තරගය අවසන් කළේ?”  


ඊට පිළිතුරු දුන්නේ නාරද ය.  


“ගනේෂ කිව්වා ඔහුගේ මුළු ලෝකයම වන්නේ ශිව සහ පාර්වතී බව. ඉතින් ඔහු තම මව සහ පියා වටේ තුන්වරක් ගිහින් මගෙන් අඹ ගෙඩිය ඉල්ලා ගත්තා.”  


කාර්තිකේය කිසිත් නොකියා තම සහෝදරයා දෙස බැලුවේය.  


“ගනේෂ කියන්නේ කපටියෙක්.”  


කාර්තිකේය තමාටම කියාගත්තේය. හැබැයි ඒ වෙනුවෙන් ඔහුගේ හිතේ උපන්නේ කෝපයක් නොවේ, හාස්‍යයකි. ඔහු මදහසකින් දෙතොල තෙමාගෙන ඉවත ගියේය. 

 

 

 

 


ශාන්ත කුමාර විතාන