ශිව හා සටනින් ජලන්ධර මරුට


භාරත දේව සභාව

මෙහි මුල්කොටස් ඉකුත් සතියේ පළවිය. 
 
ජලන්ධර වැනි බලවත් තරුණයකු තම ලෝකයට පැමිණීම සියළු අසුරයන්ගේ සතුටටද ආඩම්බරයටද හේතුවිය. අසුරයන්ගේ ආධ්‍යාත්මික උපදේශක වන ශුක්‍රාචාර්ය කල්පනා කළේ මේසා බලයක් සහිත, දක්‍ෂ, ශක්තිමත් තරුණයකු අසුරයන්ගේ රජු ලෙස පත්කිරීම වඩාත් නුවණැති කටයුත්තක් බවය. ඔහු වහාම ඒ යෝජනාව අසුර සභාවට ඉදිරිපත් කළේය.   


ශුක්‍රාචාර්ය යනු අසුරයන්ගේ අසීමිත ගෞරවාදරයට පාත්‍ර වූ උපදේශකයකු බැවින් ඔහුගේ කීමට පිටින් යන්නට කිසිම අසුරයකු සූදානම් වූයේ නැත. ඒ නිසා නොබෝ දිනකින්ම, ජලන්ධර අසුර ලෝකයේ රජ කිරුළ පැළඳුවේය. 

 

ඔහුගේ බලසම්පන්නකම ගැන සමස්ත පෘථිවියම දැන සිටි බැවින් පෘථිවි රජවරු පවා භීතියට පත් වූහ.  පෘථිවියේ රජවරු පමණක් නොව, දිව්‍යලෝකයද කැළඹිණි.


ඉන්ද්‍ර, වහාම භාරත දේව සභාව කැඳවූයේය.  


“ජලන්ධර අසුර ලෝකයේ රජකමට පත්ව සිටිනවා. ඔහු බල සම්පන්නයි. ඒ වගේම උපක්‍රමශීලියි, දක්‍ෂයි. එනිසාම ඔහු ඉක්මණින්ම දෙව්ලොවට ප්‍රහාරයක් එල්ල කරනවා නියතයි.”  


ඉන්ද්‍ර පැවසුවේය.  


“නමුත් ඔබ සතු වජ්‍රායුධය, ජලන්ධරගේ ආයුධවලට වඩා බලවත් බව අප විශ්වාස කරනවා.”  


දේව සභාව පැවසූහ.  


“නිවැරැදියි.. නමුත් ජලන්ධර පහර දුන්නොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සිදුවෙනවා. කොටින්ම යුද්ධ කරන්නට සිදුවෙනවා. නමුත් යුද්ධය කියන්නේ විනාශයක්. මීට පෙර සිදුවූ යුද්ධවලින් සිදුවූ විනාශයන් ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ.”  


“එසේනම් අප කළ යුත්තේ කුමක්ද?”  


“මා හිතනවා ලෝකය නිර්මාණය කළ මහා බ්‍රහ්ම ළඟ විසඳුම් ඇති කියා. ඔහුට පුළුවනි ජලන්ධරගේ යුද මානසිකත්වය නැති කර යුද්ධය වැළැක්වීමට.”  


“එසේනම් අපි පමා නොවී බ්‍රහ්ම වෙත යමු.”  


“ඔව්.. එසේ කරමු.”  

 

ඉන්ද්‍ර ප්‍රමුඛ දෙව්වරු රැසක්ම බ්‍රහ්ම මුණගැහෙන්නට බ්‍රහ්ම ලෝකයට ගියහ.  


බ්‍රහ්ම සුපුරුදු සංසුන්කමින් සිටියේය.  


“අසුර ලොව කිරුල හිමි වූ ජලන්ධර දෙව්ලොවට පහර දීමට සූදානම් වෙනවා උතුමාණනි. ඔබට පමණයි ඔහුගේ යුද මානසිකත්වය සමනය කළ හැක්කේ.”  
ඉන්ද්‍ර බොහෝ ගරු සරු ඇතිව පැවසුවේය.  


බ්‍රහ්ම හිස සොලවා ඒ කියමන ප්‍රතික්ෂේප කළේය.  


“වැරැදියි.. ජලන්ධර යනු මගේ දරුවෙක් නෙවෙයි. ඔහු උපන්නේ ශිවගේ කෝපය මුහුදු රළ හා ගැටීමේ ප්‍රතිඵලයක් ලෙසින් බැවින් ඔහු සවන් දෙන්නේ ශිවට පමණයි.”  
“ශිවට පමණයි.”  


දේව සභාවේ බොහෝ දෙව්වරු පෙරළා විමසූහ.  


“නිවැරැදියි.”  


අපේක්‍ෂා භංගත්වයට පත්වූ ඉන්ද්‍ර යටිතොල හපාගත්තේය.  


“ඉන්ද්‍ර උතුමාණනි, එසේ නම් අපි ශිව වෙත යමු. එතුමාණන් අපට පිහිට වේවි. ජලන්ධර සංසුන් කරාවි..”  


දේව සභාව පැවසූහ  


“යමු.”  


ඉන්ද්‍ර ශිව හමුවුනු පිණිස වයිකුණ්ඩයට ගියේය.  


“කුමක්ද ගැටළුව?”  


ශිව සංසුන්ව ඇසුවේය.  


“උතුමාණනි.” ඉන්ද්‍ර පැවසුවේය..


“ඔබතුමා දන්නවා ඇති ජලන්ධර අසුර ලෝකයේ රජකමට පත්ව සිටින බව.”  


“එසේයි.. ජලන්ධර අසුර ලොවේ රජු... එය මට ආඩම්බරයට හේතුවක්. ඔහු මගේ දරුවෙක්.”  


ශිව කීවේ සිනාසෙමිනි.  


“නමුත් ඔහු දෙව්ලොවට පහරදීමට සැලසුම් කරනවා. එසේ කළහොත් දෙව්ලොවට දැවැන්ත විනාශයක් සිදුවිය හැකියි. යුද්ධයක් ඇති නොවීම සඳහා ජලන්ධරගේ මානසිකත්වය වෙනස් කළ යුතුයි. එය කළ හැක්කේ ඔබතුමාට පමණක් බවයි බ්‍රහ්ම පැවසුයේ.”  


ශිව දෙනෙත් විවර කළේ පුදුමයෙනි. මොහොතක් ගතවන තුරු ඔහුට වචනයක් වත් ප්‍රකාශ කිරීමට නොහැකි විය.  


“උතුමාණනි, යුද්ධයක් යනු විනාශයක්. එයින් ජීවිත බොහෝ ගණනක්ද සම්පත් රැසක්ද වැනසී යනවා නියතයි.” ඉන්ද්‍ර්‍ කීවේය.  


“නිවැරැදියි.. ඔබ නිවැරැදියි.. මා ජලන්ධර හමුවට මේ මොහොතේම පිටත් වෙන්නම්..”  


ශිව වහා අසුර ලෝකය බලා ගමන් කළේය. 

 
ඒ වන විටත් ජලන්ධර සිටියේ අසුර සභාව රැස්කරගෙනය. එහි සුවිශේෂි සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබිණි. ඇත්ත වශයෙන්ම එය දෙව්ලොව ආක්‍රමණය පිළිබඳ සාකච්ඡාවකි. නමුත් ශිව දුටු වහාම ජලන්ධර ඔහු හමුවට පැමිණියේය.  


“ජලන්ධර.” ශිව කීවේය..


“ඔබ දෙව්ලොවට පහර දීමට සැරසෙනවාද?”  


“එහෙමයි, උතුමාණනි.. මා එසේ තීරණය කළා... මේ වන විට පෘථිවියේ රජවරුන් පවා මා ගැන බියෙන් පසුවන්නේ.. එබැවින් මට අවශ්‍යව ඇත්තේ තුන් ලෝකයම මගේ ආධිපත්‍යයට යටත් කිරීමට..”  
ශිව හඬ නගා සිනාසුණේය.  


“ජලන්ධර නමුත් ඔබ දන්නවා නේද දෙව්ලොව සතු ආයුධ ගැන?” ඉන්ද්‍රගේ වජ්‍රායුධය බොහෝ බල සම්පන්නයි. එවැනි බලවත් ආයුධයක් ඔබ සතුව නැහැ.   


“නමුත් අසුර ලෝකය සතුව බොහෝ ආයුධ තියෙනවා. මීට පෙරත් බාලි රජු විසින් දෙව්ලොව ආක්‍රමණය කරනු ලැබුවා. ඔහු දෙව්ලොවෙහිත් කිරුළ දැරුවා..”  ජලන්ධර කීවේය  


“නමුත් මා ඔබට පවසන්නේ එය නොකළ යුතු අනුවණ ක්‍රියාවක් බවයි ජලන්ධර.”  


ශිව කෝපයෙන් පැවසුවේය.  


එහෙත් ජලන්ධර සිය මතය වෙනස් නොකෙළේය.  


“දැනටත් සටන සඳහා සියල්ල සුදානම්.. සමහර විට මෙලහටත් දෙව්ලොවට පළමු ප්‍රහාරය එල්ල වී ඇති.”  


ජලන්ධර කීවේය  


“එසේද? එසේමනම් බලමු.. දෙවිවරුන් ඔබට පෙරළා පහරදීම ආරම්භ කරාවි.. ඔබ සතු අවිවලට වඩා දෙවිවරු සතු අවි බලවත්.. ඔබ අනිවාර්යයෙන්ම පරදිනවා...” ශිව කෝපයෙන් කීවේය.  


ඔහු ආපසු වෛකුණ්ඨයට ගියේද ඒ කෝපයෙන් දැවෙමිනි.  


දෙවිවරු අබියසට ගිය ශිව ඔවුන් අමතා පැවසුවේ අසුරයන්ට පහර දීමට සූදානම් වන ලෙසය.  


“ඔවුන් ප්‍රහාරය ඇරඹූ විගසම පෙරළා පහර දිය යුතුයි. මේ සටනේ මූලිකත්වය මා බාර ගන්නට කැමැතියි. අපිට සිදුවේවි ජලන්ධර විනාශ කරන්නට. මා කියන දේ අහන්නේ නැතිනම්, ඔහුගේ ඉරණම විය යුත්තේ මරණය පමණයි.”  


ශිව කීවේ නළල රැලිගන්වමිනි.   


“උතුමාණනි, එය වඩාත් පහසු වේයැයි සිතිය නොහැකියි. ජලන්ධර බොහෝ උපක්‍රම ශීලි නායකයෙක්.. බොහෝ දෙනා රැවටීමට තරම් ප්‍රයෝගකාරයෙක් ඔහු.”  ඉන්ද්‍ර කීවේය.


“නිවැරැදියි, ඔබට වැටහෙන්නේ නැතිද ඔහු තමන් සතු නොවන යුද ශක්තියක් මවා පෙන්වන බව”  


ශිව ප්‍රශ්න කළේය.  


ඉන්දු පිළිතුරු රහිතව බලසිටියේය.  


එහෙත් එසේ අවිනිශ්චිතව සිටින්නට ඉඩක් නොතබමින් ජලන්ධරගේ ප්‍රහාරය ආරම්භ කෙරිණි.  


සියලු දෙවිවරු එක් රැස්ව වහාම අසුර ලෝකයට එරෙහි සටන් ඇරඹූහ. දෙව්ලොව අවි ආයුධ අසුර ලෝකයට පතිත වූයේ වර්ෂාවක් පරිද්දෙනි.  


ජලන්ධර තැති ගත්තේය.  


“මේ ප්‍රහාරය දෙව්වරුන්ගේ විය නොහැකියි.”  


තමන්ටම කියාගත් ජලන්ධර, තම මානසික බලයෙන් සටන දෙස බැලුවේය. සටනේ නායකත්වය ගෙන ඇත්තේ ශිව බව ඔහුට පසක් විය.  


“ශිව සටනට ඇවිත්..”  තමන්ටම කියාගත් ජලන්ධර, තවත් ප්‍රයෝගයකින් ශිව මුළා කළ යුතු බව කල්පනා ක​ෙළ්ය.   


ජලන්ධර වෛකුණ්ඨයට ගියේ ශිවගේ රූපකාය මවාගෙනය. ඔහු යනවිටත් ශිවගේ බිරිඳ පාර්වතිය මග බලා ගෙන සිටියාය.  


“පාර්වතී.” ශිව ගේ රුවින් පෙනී සිටි ජලන්ධර පැවසුවේය.


“ජලන්ධර විනාශයි මා යුද්ධය ජයගෙනයි පැමිණියේ.”  


පාර්වතී තම සැමියා දෙස බැලුවාය. එහෙත් අද ඔහුගේ හැසිරීම, කතා විලාසය වෙනස්ය. මෙය විය නොහැක්කකි. ශිව හා සරණ බැඳුණු දවසේ සිටම ශිව කෙරෙන් පළවූ ගතිගුණ අද ශිව ළඟ නොමැත. පාර්වතීට තෙවැනි නුවණ පහළ විය.   


“ජලන්ධර, ඔබමනේද මේ ශිවගේ රූපකායෙන් පැමිණියේ?” පාර්වතී ඇසුවාය.  


ජලන්ධරට තරු පෙනිණි. තමන් කොයිතරම් බලවත්ද? අන් අයගේ රූපකායන් මවාගැනීමට පවා හැකියාවක් ඇත්තේ ඒ බලය හේතුවෙනි. එහෙත් පාර්වතී ඊටත් වඩා බලවත්ය. දැන් කළ යුත්තේ වහා වෛකුණ්ඨගෙන් පලායෑමය. එසේ නොවුණහොත් ජලන්ධරට සිදුවන්නේ සතුරු කටෙහිම හිරවන්නටය.  


ජලන්ධර පැන දුවන්නට පටන් ගත්තේය.  


ඔහුට දඬුවමක් දෙන්නට නොහැකි වීම ගැන පාර්වතී හිටියේ කෝපයට පත්වය. මුහුණු දහදියෙන් තෙත්ව ඇත. ඇය යටිතොල හපාගෙන බලාසිටියාය.  


විෂ්ණු වෛකුණ්ඨයට පැමිණියේ ඒ ​මොහොතේය.   


“මොකද පාර්වතී?” පාර්වතීගේ වෙනස දුටු විෂ්ණු විමසුවේය.  


පාර්වතී සිදුවූ සියළු දෙය විෂ්ණු සමග පැවසුවාය.   


“ජලන්ධරට එවැනි බලයක් කොහින්ද?” ඇය අනතුරුව විමසුවාය.  


“ජලන්ධර කොහොමටවත් බලසම්පන්නයි දැන් ඔහු විවාහ කරගෙන ඉන්නේ ව්රින්දා ඇය මගේ භක්ති වන්තියක්. ජලන්ධර යුද්ධයට යන හැම විටකම ව්රින්දා මට යාච්ඤා කරනවා. ඇගේ යාච්ඤාවන් බොහොම බලසම්පන්නයි. ඒ නිසා හැම සටනකදීම ජලන්ධර ජයගන්නවා.”  


විෂ්ණු පැවසුවේය.  


පාර්වතී එවර විෂ්ණු දෙස බැලුවේ විමතියෙනි. ඒ මොහොතේම විෂ්ණු පාර්වතී දෙස බැලුවේය. දෙදෙනාගේ ඇස් හතර එකට ගැටිණි. ඒ මොහොතේ පාර්වතීගේ දෑසේ වූයේ ආයාචනයකි. එහෙත් විෂ්ණු සිටියේ අවිනිශ්චිත සිතුවිල්ලකිනි. කුමක් කරන්නද කාට පිහිට වන්නද යන්න විෂ්ණුට සිතාගත නොහැකි විය.   


පාර්වතීගෙන් සමුනොගෙනම ආපසු ගියත් විෂ්ණුට තවමත් තෝරාගැනීමක් කළ නොහැකි විය.  


ඊළඟ උදෑසන ආරම්භ වූයේ සංග්‍රාමයකිනි. ඒ ජලන්ධර සහ ශිව අතර සටනයි. මේ සටනේදීත් ජලන්ධරට ජයග්‍රහණය හිමිවේවායි ව්රින්දා යාච්ඤා කරන්නට පටන් ගත්තාය.  


දෙනෙත් වසාගෙන සමාධියට සමවැදී කරන මේ යාඥාව අතරතුර යම් කිසිවකු තම කුටියට පිවිසෙන අයුරු ව්රින්ද‌ාට දැනිණි. ඇය දෙනෙත් විවර කළේ ඒ කවුරුන්දැයි දැනගැනීමටය. ඇය ඉදිරියෙහි සිටගෙන සිටියේ තම ආදරණීය ස්වාමිපුරුෂයාය.   


“ජලන්ධර.”  


ව්රින්ද‌ා සතුටින්ද පුදුමයෙන්ද කීවාය.  


“සටන ඉවරයි මම ශිව පරාද කළා. දැන් මේ තුන් ලොවෙන්ම මා තරම් බලසම්පන්නයකු නැහැ. විරින්ද‌ා දැන් ඔබත් බලවත්.”  


ව්රින්ද‌ා සිනාසුණේ සතුටිනි. ඒ මොහොතේම ඇය තම යාච්ඤා පිළිගෙන ජලන්ධරට දිනුම ලබාදුන් විෂ්ණුට කෘතඥතාව පළකළාය.  


තම යාච්ඤා නතර කළ ඇය සැමියාගේ ජයග්‍රහණය සැමරීම සඳහා කටයුතු සූදානම් කරන්නට වූවාය.  


නමුත් එ් මොහොතේත් ජලන්ධර සහ ශිව අතර සටන නිම වී තිබුණේ නැත. දෙදෙනා අතර වූ සටන අතිශය දරුණු ලෙස සිදුවිණි. ජලන්ධරත් ශිවත් තම අයෝමය ශක්තිය යොදමින් සටන් කරමින් සිටියහ.  
ජලන්ධර ඔහුගේ අසිපත ශිව වෙත එල්ල කළේය. එහෙත් වහා හිස හරවා අසිපත් පහර මගහැර ගත් ශිව ජලන්ධරගේ පපුවට ස්වකීය ත්‍රිශූලයෙන් ඇන්නේය.  


ත්‍රිශූලයෙන් සිදුරු වූ ජලන්ධරගේ සිරුර බිම ඇද වැටුණේ මරණීය තුවාල සහිතවයි. වේදනාවන් විලාප තැබූ ජලන්ධර ඊළඟ මොහො​ෙත් මරණයට පත්විය.  


ජලන්ධරගේ ජයග්‍රහණය සමරනු වස් උත්සවයක් සංවිධානය කරන්නට සැරසුණු ව්රින්ද‌ාගේ සිත නොසංසුන් විය. තම ස්වාමිපුරුෂයාට කිසියම් වරදක් සිදුවී ඇති බව ඇගේ බලසම්පන්න මනසට වැටහිණි.   


නමුත් මොහොතකට පෙර ජලන්ධර තම කුටියට ඇතුළුවී තමා ඉදිරියේ සිටගෙන සිටියේය ජලන්ධර ලෙස පෙනී සිටි නමුත් ඒ සැබෑ ජලන්ධර නොවන බව ව්රින්ද‌ාට පසක් විය. 

 
“උඹ කව්ද?” ව්රින්ද‌ා ඔහුගෙන් ඇසුවාය.


“උඹ මගේ සැමියා නොවෙයි ඔහු කොහිද? දැන් ඔහු කෝ?”  


වහා ජලන්ධරගේ රුව අතුරුදන් විය. ඒ වෙනුවට කළු ගුළියක් පමණක් දිස්විය. එහෙත් එසැණින්ම එ් සෙවණැල්ල මතින් මැවී පෙණුනේ විෂ්ණුගේ රුවයි.   


නමුත් ඔහුගේ මුහුණෙහි වූයේ සංවේගයකි...  


ව්රින්ද‌ා වහා ඔහු ළඟ දණගැසුවාය.  


“ඔබ මොකද කණගාටුවෙන්.. කෝ දැන් මගේ සැමියා.?”  


විෂ්ණුගේ කටහඬ බිඳී තිබිණි.   


“ජලන්ධර මියගියා ව්රින්ද‌ා.. ඔබේ ස්වාමිපුරුෂයා වෙනුවෙන් ඔබ බොහෝ කලක් යාච්ඤා කළා. නමුත් මෙවර ඔහුට ඒ යාච්ඤාවෙන් රැකවරණය සැලසීම අපහසු වුණා.” 

 
ව්රින්ද‌ාගේ මුහුණ කෝපයෙන් රතුවිය.  


“මම ඔබ ගැන විශ්වාසය තැබුවා. ඔබ මා රැකගන්නා බව විශ්වාස කළා. නමුත් ඔබ මාව රැවැට්ටුවා.. මගේ සැමියාව සටනේදී මරාදැමුවා... මම ඔබට ශාප කරනවා. මගේ ප්‍රාර්ථනය ඔබ ගලක් වේවා කියා.. ඔව් ඔබ ගලක් වේවා, ගලක් වේවා.”  


ව්රින්ද‌ා මහා හඬින් කෑ ගසා කීවාය. ඒ විතරක් නොවෙයි මාවත් ජලන්ධරවත් එකිනෙකාගෙන් වෙන් කළ නිසා ඔබටත් ආත්මයක් ආත්මයක් පාසා ඔබේ බිරිඳව අහිමිවෙනවා නියතයි.  


විෂ්ණු හිස දෙපසට සැලුවේය.  


“මම ඔබේ ශාපය ප්‍රතික්ෂේප කරනවා. ව්රින්දා.. නමුත් මතක තබා ගන්න ඔබේ සැමියා කළේ වරදක් බව. ඔහු අනෙකුන්ට අගෞරව කළා. අනෙක් උන්ව රැවැට්ටුවා. ඔබ දන්නවද විෂ්ණු නිවෙසේ නැති අතරේ ඔහු පාර්වතී හමුවීමටත් ගිය වග.”


ව්රින්ද‌ා විෂ්ණු දෙස බැලුවේ විසල් කර ගත් දෙනෙතිනි. ඒ සමඟම ඇය බිම ඇද වැටිණි. ඇය අවසන් වරටත් හුස්ම පහත හෙළුවාය. විෂ්ණු තමාගේ හොඳම භක්තිවන්තිය දෙස බලාසිටියේ ශෝකයෙනි.  


සටන ජයගත් ශිව අනෙකුත් දෙවිවරුන් ද පිරිවරාගෙන විෂ්ණු හමුවට පැමිණියේය. ඒ සටනින් ජයග්‍රහණය ලබන්නට ඔහු කළ ආශිර්වාදයට කෘතගුණ පළකරනු පිණිසය. 

 
විෂ්ණුගේ පාමුල වැටී සිටි ව්රින්ද‌ා දුටු විට ශිව කම්පාවට පත්විය.   


“කුමක්ද සිදුවුණේ?”  ශිව විමසුවේය. 

 
“ව්රින්ද‌ා මිය ගියා. ජලන්ධර මියගිය සොවින් ඇගේ ළය පැලී ගියා..”  


විෂ්ණු කීවේ සංවේගයෙනි. ශිව මොහොතක් වේලා ව්රින්ද‌ා දෙස බලා සිටියේය. 

 
“ඇයට මියයාමට දීමට නොහැකියි.. කරුණාකර ඇයට ජීවිතය දෙන්න.” ශිව ඉල්ලා සිටියේය  


“ව්රින්ද‌ා යනු මගේ භක්ති වන්තියක්.. ඇය මා කෙරෙහි අසීමිතව භක්තිමත් වුණා. ජලන්ධර සටන් කරද්දී ඇය මගෙන් පිහිට ඉල්ලා සිටියා. එම නිසා මා ඇය හමුවට ජලන්ධර ලෙස වෙස්වළා ගෙන ගියා. ජලන්ධර සටන ජයගත් බව කියා ඇගේ යාච්ඤාව අවසන් කළා.  


ඒ අතරතුරයි ශිව ඔබ ත්‍රිශුලයෙන් ජලන්ධරගේ ළය සිදුරු කළේ. ඒ පිළිබඳව ඇගේ කෝපයක් තිබුණා. එසේම ඇය මට ශාප කළා.” 

 
“කෙසේ හෝ ඇයට ජීවය දෙන්න.”

  
“විෂ්ණු බොහෝ බලවත් පැලෑටියක් ලෙස ඇයට ජීවිතය දෙන්න... එම පැළෑටියෙන් තොරව තබන පුද පූජාවකින් කිසිම බැතිමතකුට පිහිට නොවන තරමට බලගතු පැළෑටියක් බවට ඇය පත්කරන්න.”  ශිව යළිත් ඉල්ලා සිටියේය.  


විෂ්ණු, තුල්සි නම් පැළෑටිය ලෙස ව්රින්ද‌ාගේ ආත්මයට පණ දුන්නේය.  


මේ අතරතුර ව්රින්ද‌ා කළ ශාපය යම් තරමකින් හෝ විෂ්ණුට බලපෑම් කළේය. ඔහු එම ශාපය ප්‍රතිකේ‍ෂප කළද පළක් වූයේ නැත. මේ නිසා විෂ්ණු, ගොමිති නදී තෙර ගලක් බවට පත්වූයේය.  


අදටත් ​බොහෝ බැතිමත්තු මේ ගල පාමුල පුද පූජා පවත්වා විෂ්ණු දෙවියන්ගෙන් පිහිට ආරක්‍ෂාව ඉල්ලා සිටිති.  


එසේම මතු කිසිදු ආත්මයකදී බිරිඳ හා යහතින් සිටින්නට නොලැබේවා යැයිද ව්රින්ද‌ා එදා ශාප කළාය. ඒ ශාපයේ ප්‍රතිඵලද ආත්මයෙන් ආත්මයට පල දෙන්නේය. විෂ්ණුගේ අවතාරයක් වූ රාමට, ඔහුගේ පතිනිය වූ සීතා සමග එක්ව ප්‍රීතිමත් ජීවිතයක් ගෙවන්නට නොලැබුණේ එබැවිනි. සීතාව රාවණ රජු විසින් පැහැර ගනු ලැබුවේය. ඒද ව්රින්ද‌ාගේ ශාප පලදීම නිසාය.  

 

 

 

 

 

 

 


ශාන්ත කුමාර විතාන