ශ්‍රී මහා බෝධියට දෙවැනිවර ගහන්න කොටි හැදූ සැලසුම ව්‍යර්ථ කළ හැටි...


රට හෙල්ලූ සිදුවීමක 
අඩි සලකුණු දිගේ...

 

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණ සිටි සැදැහැවතුන් ඇතුළු 120 දෙනෙකු ඝාතනය කරමින් තවත් 85 දෙනෙකුට බරපතළ තුවාල සිදු කරමින් කොටි ත්‍රස්තවාදීන් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කළේ 1985 වසරේ මැයි මාසයේ 14 වැනිදාය.   


ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිටි සැදැහැවතුන් ජීවිතය බේරා ගැනීමට මරළතෝනි දෙමින් හිස් ලූ ලූ අත දිව යද්දී ලේ පිපාසයෙන් පෙළුණ කොටි ත්‍රස්තයෝ ඔවුන් පිටුපස පන්නා ගොස් වෙඩි තැබූහ.   

කොටි ත්‍රස්තවාදීන්ගේ මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් වසර 11කට පමණ පසු යළිත් එවැනිම ජන සංහාරයක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී සිදුකිරීමට ද එයින් නොනැවතී ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක් බඳුවූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ විනාශ කර දැමීමටද කොටි සංවිධානය සියල්ල සැලසුම්කර තිබියදී එම සැලැස්ම අවසන් මොහොතේ ව්‍යාර්ථ කිරීමට හැකි වූයේ ජාතියේ වාසනාවකටය.   

 

 

කල් ඇතිව ඒ පිළිබඳව යුද හමුදා බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන පොලිසියේද සහය අැතිව එහිදී මහා විනාශයක් කිරීමට සම්බන්ධ කොටි ත්‍රස්තවාදීන් අල්ලා ගැනීම නිසාය.   


සිරුරේ අධි බලැති බෝම්බ බැඳගත් මරාගෙන මැරෙණ කළු කොටි ත්‍රස්තවාදීන් 10 දෙනෙක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසට කඩා වැදී බෝධීන් වහන්සේ බදාගෙන සිරුරේ බැඳගෙන ආ බෝම්බ පුපුරුවා හැර එය විනාශ කිරීම කොටි සංවිධානය සැලසුම්කර තිබී ඇත.   


අනුරාධපුරය ශ්‍රී මහා බෝධීන් වහන්සේ එවැනිම ආකාරයට විනාශකර දැමීමෙන් සහ එහිදී සැදැහැවතුන් විශාල පිරිසක් ඝාතනය කිරීමෙන් සිංහල බෞද්ධ ජනතාව කුපිත කරවා රටේ මහා ලේ වැගිරීමක් සිදු කිරීම කොටි සංවිධානයේ අරමුණ වී තිබී ඇත.   


මෙවැනි විනාශයක් සිදු කිරීමෙන් පසු සිංහල බෞද්ධ ජනතාව කුපිත කරවා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි සාමාන්‍ය දෙමළ ජනතාව ඝාතනය කිරීමට සලස්වා ඒ හරහා ජාත්‍යන්තර වශයෙන් රජය අපකීර්තියට පත්කර ජාත්‍යන්තරයේ අනුකම්පාව දිනා ගැනීම ද කොටි සංවිධානයේ තවත් අරමුණක් වී තිබිණි.   


හලාවත කොට්ඨාසය බාරව එවකට සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එච්. ගුණතිලක මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පවත්වා ශ්‍රී මහා බෝධීන් වහන්සේට ප්‍රහාරයක් එල්ලකිරීමට සිටි කොටි ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගනු ලැබුවේ පුත්තලම විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපතිව සිටි උපපොලිස් පරීක්ෂක උපුල් චන්දන අබේසිංහ මහතා ඇතුළු ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.   


ප්‍රහාරය සැලසුම් කළ කොටි ත්‍රස්තයන් අවි ආයුධ ද සමඟ අල්ලා ගැනීමට මඟ පෑදුනේ යුද හමුදා බුද්ධි අංශයේ රාජකාරී කළ සාජන් මේජර් නුගවෙල මහතාට ලැබුණු තොරතුරක් ඔස්සේ කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙනි.   


මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්. ගුණතිලක මහතා 38 වසරක පොලිස් සේවයකින් පසු විශ්‍රාම ලබා ඇති අතර පරීක්ෂණ කණ්ඩායමේ නායකයාව සිටි උපපොලිස් පරීක්ෂක උපුල් චන්දන අබේසිංහ මහතා පොලිස් අධිකාරී නිලයට උසස්වීම ලබා සීතාවකපුර කොට්ඨාසය බාරව රාජකාරි කරයි.   
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අබේසිංහ මහතා විද්‍යාවේදී උපාධිය ලබා පොලිස් සේවයට එක්වී ඇත.   
ජය ශ්‍රී මහා බෝධිය විනාශ කර දමා සමූහ ඝාතනයක් සිදු කර අනුරාධපුර පුණ්‍ය භූමිය ලේ විලක් කිරීමට මීට වසර 21කට පමණ ඉහතදී උත්සාහයක් වළක්වා ගත් ආකාරය මෙන්ම ඒ හා සම්බන්ධ තොරතුරු හෙළි කිරීමට ඉදිරිපත් වූයේ මේ හා සම්බන්ධව පරීක්ෂණ කටයුතු මෙහෙයවූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්. ගුණතිලක මහතාය.   
යුදහමුදාවේ බුද්ධි තොරතුරු අංශ​ෙයන් තොරතුරු වාර්තාවක් මට එවා තිබුණා. ඒ බුද්ධි තොරතුරු වා​ර්තාවේ සඳහන්ව තිබුණේ ඉලංගෝ නමැති කොටි න​ායකයෙක් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වන්දනා මාන කිරීමට පැමිණ සිටින සැදැහැවතුන් ඝාතනය කර බෝධීන් වහන්සේ පුපුරුවා හැරීමට සූදාන​ෙමන් සිටින බවයි. මේ වාර්තාව දුටු ගමන් මෙහි ඇති බැරෑරුම්කම මම තේරුම් ගත්තා. ඉලංගෝ කියන කොටි නායකයා අල්ලා නොගත්තොත් මහා විනාශයක් සිදුවන බව තේරුම් ගත්තා. ඒ නිසා පුත්තලම මූලස්ථාන පොලිසියට සියලුම පොලිස් නිලධාරීන් කැඳවා මේ ගැන විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා.   


ඉලංගෝ කියන කොටි නායකයා අලි කෙඳි සහිත රන් මුදුවක් පැළඳ සිටින බව ද එම බුද්ධි තොරතුරු වාර්තාවේ සඳහන්ව තිබුණා. එය සැකකරු හඳුනාගැනීමට කදිම හෝඩුවාවක් වී තිබුණා. මා මේ ගැනත් සඳහන් කරමින් කෙසේ හෝ කඩිනමින් ඉලංගෝ අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාව පොලිස් නිලධාරීන්ට පවසා ඔවුන් දැනුම්වත් කළා.   
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගුණතිලක මහතා වසර 21ක පමණ එහා අතීත සිදුවීමක් ගැන මතකය අවදි කරමින් කතාවට ආරම්භයක් ලබා දුන්නේ එසේ පවසමිනි.   


සර් අලි කෙඳි තියන මුද්දක් දාගත්තු මිනිහෙක් ලොරියකින් එද්දී අපි අල්ලා ගත්තා. ඒ ලොරියේ රියදුරාවත් එ්ත් එක්කම අල්ලා ගත්තා. ​ෙම් දෙන්නවම අපි අල්ලා ගත්තේ මීට සති දෙකකට විතර කලින් යැයි කලා ඔය පොලිස් මුරපොළේ ස්ථානාධිපතිවරයාව සිටි කේ. ​ෙඩන්සිල් මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හමුවේ කියා සිටියේ පසුව ඔහුව පොලිස් ඇප මත මුදාහැරිය බවද පවසමින්ය. 

 
පොලිසිය ඔහු මුදාහැර තිබුණේ ඇපකරුවකු ඉදිරිපත් වීමෙන් පසුවය. ඔහු පුත්තලම නාගවිල්ලුවේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකි.  


කලාඔය පොලිස් මුරපොළේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කේ. ඩෙන්සිල් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් කලාඔය පාලම අසල මාර්ග බාධකයේ 1996 වසරේ අගෝස්තු මාසයේ 25 වැනිදා රාත්‍රී රාජකාරී නිරතව සිටියදී අනුරාධපුර දෙස සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබූ 28ශ්‍රී 1827 දරණ ලොරි රථය නවතා පරීක්ෂා කර බලා ඇත.   


ලොරි රථයේ පොහොර උරයක බහා තිබියදී බිස්කට් පැකට් තොගයක්, ජෑම් බෝතල්, චොකලට් පැකට් 10ක් පමණ, පානීය ජල බෝතල්, සිසිල් බීම ​ෙබා්තල් හා ග්ලූකෝස් පැකට් තොගයක් තිබී හමුවීම ගැන ඇතිවූ සැකයක් මත ලොරියේ රියදුරා වන පරන්තන් කුමාරපුරම් පදිංචි කන්දසාමි චන්ද්‍රබොස් සහ රිය සහායක කිලිනොච්චියේ පදිංචි රාමසාමි කුමාර් යන දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.   


මේවා පුත්තලම පාලවිය ප්‍රදේශයේ මිතුරෙකුට තෑගි වශයෙන් පරිත්‍යාග කිරීමට රැගෙන යන බව ලොරියේ රියදුරා පොලිස් ප්‍රශ්න කිරී​මේදී පවසා සිටියත් රියදුරා සහ රිය සහයකයා ලොරියත් එක්කම අත්අඩංගුවට ගෙන පුත්තලම මූලස්ථාන පොලිසියට බාරදී ඇත.  


සැකකරුවන් සන්තකයේ තිබූ රත්රන් මුද්දක් ද අත්ඔරලෝසුවක් හා රුපියල් 4,710ක පමණ මුදලක්ද පොලිස් බාරයට ගෙන ඇත.  


මුද්ද පැළඳ සිටියේ රාමසාමි කුමාර් නමැත්තාය.   


පුත්තලම මූලස්ථාන පොලිසිය මගින් කළ විමර්ශනවලින් හා රාජ්‍ය බුද්ධි අංශයෙන් ලබාගත් තොරතුරුවලින් පසුව මොවුන් දෙදෙනා ඔවුන් සනන්තකයේ තිබියදී පොලිස් භාරයට ගත් බඩු බාහිරාදිය සමඟ මුදාහැර තිබෙනවා. මුස්ලිම් ජාතිකයකු ඇපකරුවෙකු ලෙස ඉදිරිපත්වීමෙන් පස්සේ තමා මොවුන් දෙදෙනා මුදාහැර තිබෙන්නේ. ලොරියද පොලිසිය මුදාහැර තිබෙනවා.  


උපපොලිස් පරීක්ෂක ඩෙන්සිල් ඔහු අල්ලාගත් දෙදෙනාගෙන් එක් අයෙක් අලි කෙඳි සහිත රන් මුද්දක් පැළඳ සිටි බව කිව්ව නිසා පොලිසිය අල්ලා පසුව මුදාහැර ඇත්තේ ඉලංගෝ කියන කොටි නායකයා බව මට තේරුණා. මා වහාම ඔහු අත්අඩංගුවට ගැනීමට  පුත්තලම විශේෂ ආරක්ෂක විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක උපුල්  චන්දන අබේසිංහහගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් පත් කළා යැයි විශ්‍රාමික  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීය.   


මෙම පොලිස් කණ්ඩායමට උපපොලිස් පරීක්ෂක ඩෙන්සිල්, පොලිස්  කොස්තාපල්වරුන් වන ජයසුන්දර (21376), සරත් (19718) සහ විතාන (24688) යන  මහත්වරුද ඇතුළත් වූහ.   


ඇප මත මුදාහැර සිටිය  ලොරියේ රියදුරා සහ සහයකයා ඉතාම සූක්ෂ්ම ආකාරයට උපක්‍රමශීලීව නැවත අත්අඩංගුවට ගැනීමට සැලසුම් කළේ උපපොලිස්  පරීක්ෂක උපුල් චන්දන අබේසිංහ මහතාය.   


ලොරි රථයේ රියැදුරාට සහ සහායකයාට ඇප ලබාදීමට ඉදිරිපත් වූ  මුස්ලිම් ජාතිකයාට කතා කර ඇති උපපොලිස් පරීක්ෂක අබේසිංහ මහතා අමතක වීමකින්  රියදුරාගේ හා සහයකයාගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට නොහැකි වූ බවත් මෙය  පොලිසියේ ලොකු මහත්වරු දැන ගත්තොත් අපේ රස්සාව නැති වෙන බවත් කියා ඇත.   

 

 

පොලිසිය යෙදූ ඇමට මුස්ලිම් ජාතිකයා අසුවිය.  


රියදුරා හා සහායකයා වවුනියාව හාල් මෝලක සිටින බවක් ඔහු පවසා සිටි නිසා පොලිස් කණ්ඩායම වවුනියාව බලා පිටත්ව ගියේ ඇපකරුද කැටිවය.  


මුස්ලිම් ජාතිකයා (අැපකරු) පැමිණි කාරණය කී විට රියදුරා සහ රිය සහයකයා ඇඟිලි සලකුණු ලබාදීමට පොලිසිය එක්ක පුත්තලම පොලිසියට යාමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.  


පොලිස් නිලධාරීන්ද රියදුරා රිය සහයකයාව මෙන්ම මුස්ලිම් ජාතිකයාට ද කිසිම සැකයක් ඇති නොවීමට වග බලා ගනිමින් වවුනියාවේ සිට පුත්තලම දක්වා එන අතරවායේ කන්න බොන්න ලබාදී බොහොම සුහදව කතා බස් කරමින් පැමිණ තිබේ.  


ලොරි රියදුරා සහ සහයකයා ද පොලිසිය යෙදූ ඇමට හසුවිය.   


උපක්‍රමශීලී ලෙසින් පුත්තලම මූලස්ථානයට කැඳවාගෙන ආ රියදුරා සහ සහයකයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ට එරෙහිව චෝදනා කියාදීමෙන් පසුවය.  


ලොරියේ සහායකයා වන රාමසාමි කුමාර් දෙවනිවරට ද ​පොලිස් අත්අඩංගුවට ගන්නා මොහොතේද අලි කෙන්දක් යොදා සාදා තිබූ රත්රන් මුද්ද පැළඳ සිටියේය.  


විශ්‍රාමික​ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්. ගුණතිලක මහතා ඊට පස්සේ වෙච්ච කෙරිච්ච දේවල් ගැන සිය මතකය අවදිකරමින් මෙසේ කීය.  


කලාඔය පාලම ළඟදී නවතාගත් ලොරියේ සිටියදී අත්අඩංගුවට ගත් රාමසාමි කුමාර් කියන්නේ ඉලංගෝ බව ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිකරගත්තා. ඒ විතරක් නෙමේ ජය ශ්‍රී මහා බෝධිය පුපුරුවා හැරීමට හා එහි වන්දනා මාන කරන බැතිමතුන් ඝාතනය කිරීමට යොදා තිබූ සියලු තොරතුරු ඉලංගෝගෙන් ප්‍රශ්න කිරීමේදී වැමෑරවා.   
ප්‍රහාරය සඳහා ගෙනා අවි ආයුධවලින් කොටසක් සඟවා අති ස්ථානය ගැන පවා තොරතුරු ඔහු හෙළිකළා. අධි බලැති බෝම්බ බැඳගත්ත මරාගෙන මැරෙන කළු කොටි 10 දෙනෙක් ජය ශ්‍රී මහා බෝධිය ළඟට ගොස් බෝධිය බදාගෙන සිරුරේ බැඳගෙන සිටින බෝම්බ පුපුරුවා ගැනීමටත් තවත් කොටි කණ්ඩායමක් බෝ මළුවේ වන්දනා මාන කරන සැදැහැවතුන්ට වෙඩි තබා ඝාතනය කිරීමටත් සැලසුම්කර ඇති බව ඉලංගෝ පැවසුවා.  


ඉලංගෝ​ නමැති කොටි නායකයාගෙන් මමත් ප්‍රශ්න කළා. මෙවැනි මහ විනාශයක් සිදු කිරීමට හේතු ඔහු හෙළිකළා. මෙවැන්නක් කිරීමට ඉලංගෝට පවසා තිබුනේ කොටි බුද්ධි අංශයේ නායක පොට්ටු අම්මාන් බව ඔහු කිව්වා. හමුදා මෙහෙයුමකදී කොටින්ගේ සොහොන් කොත් කඩා විනාශ කිරීම බව ඔහු කිව්වා. මේ ප්‍රහාරයේ තවත් අරමුණක් කොටි සංවිධානය තුළ තිබී ඇති බව මම ඉලංගෝගෙන් දැන ගත්තා. මේ ප්‍රහාරයෙන් පස්සේ සිංහල ජනතාව කුපිත වී දෙමළ ජන සංහාරයක් කළහොත් දකුණේ දෙමළ ජනතාව ආරක්ෂාව පතා උතුරට පැමිණි පසු එය ජාත්‍යන්තරයට ගෙනගොස් ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීමට පහසුවෙන බව කොටින්ගේ ලොකු විශ්වාසයක් පැවත තිබෙනවා.   
ඉලංගෝ කියන කොටි නායකයාගෙන් යුද හමුදා බුද්ධි අංශයේ හා පොලිසියේ නිලධාරීන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පස්සේ අවි ආයුධ බෝම්බ සයිනයිඩ් කරල් සඟවා ඇති ස්ථානයන් ගැන හෙළිකර සිටියා.  


ඉලංගෝගේ ප්‍රකාශය මත ඔහුගේ මඟ පෙන්වීම යටතේ ගොස් පුත්තලම - අනුරාධපුරය මාර්ගයේ 23/2 බෝක්කුව පිහිටි පහරිය හංදියට තරමක් ඈතින් කැලෑවේ සඟවා තිබූ ටී-56 සවයංක්‍රීය ගිනිඅවි දෙකක්, ටී-56 පත​ෙරාම් ගැබ් 84ක්, පූචස් එකක්, 7.62 වර්ගයේ උණ්ඩ 120, ජේ.ආර්. වර්ගයේ අත්බෝම්බ 02ක්, සයිනයිඩ් කරලක්, කෝඩ් ක්‍රමයට කතාකරන ආකාරයේ සංඥා ලියුම් දෙකක්, බිස්කට් පැකට් 157ක්, ජෑම් බෝතල් හා වතුර කෑන් සොයා ගත්තා.  


මේවා සෙයාගත්තාට පස්සේ ඉලංගෝ හෙළිකළ තොරතුරක් මත විශේෂ පෑනක් සොයා ගැනීමට ඔහුව වවුනියාවට රැගෙන ගියා. එම පෑනත් අපි සොයා ගත්තා. මේ පෑනේ තිබෙන විශේෂත්වය තමා දෙහි ඇඹුල් වැනි කිසියම් ඇඹුල් වර්ගයක් දමා කොළයක යමක් ලියා පසුව එම කොළය විදුලි ස්ත්‍රික්කයට හෝ අධි සැර විදුලි බුබුලකට අල්ලා රත් කළාම ලියපු දේ හරිම අපූරුවට මතු වෙනවා. කොටින් ඔවුන්ගේ රහස් පණිවිඩ ලිවීමට මේ ඇඹුල් දමා ලියන පෑන උපයෝගී කරගෙන තිබෙනවා යැයි සොයාගත් පෑන ගැන  තොරතුරු පැහැදිලි කරමින් විශ්‍රාමික ​ෙජ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීය.  


උපපොලිස් පරීක්ෂකවරුන් වන උපුල් චන්දන අබේසිංහ, ඩෙන්සිල්, ආරියරත්න, නාරම්පනාව, පොලිස් සැරයන් පෙරේරා (14888), පොලිස් කොස්තාපල්වරුන් වන නාලක (19690), දිසානායක (33343), මහින්දරත්න (33507), සිවිල් ආරක්ෂක බලකායේ හේරත් බණ්ඩා (43141), අමරසිංහ (18235) සහ අනුර (17265) යන මහත්වරුද පුත්තලම හමුදා කඳවුරේ බුද්ධි අංශයේ කපිතාන් රවි ප්‍රනාන්දු, මේජර් කරුණාරත්න හා සාජන් මේජර් නුගවෙල යන මහත්රුද අවි ආයුධ හා පෑන සොයා ගැනීමේ මෙහෙයුමට හවුල්වූ පොලිස් හා හමුදා කණ්ඩායමට ඇතුළත් වූහ.  
වයඹ පළාත බාර නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ.එම්. ගුණතිලක මහතාගේ විශේෂ උපදෙස් මත සිදුකෙරුන මෙම පරීක්ෂණවලට පුත්තලම සහකාර පොලිස් අධිකාරී ආර්.එම්.ඒ. රත්නායක සහ පුත්තලම මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. ජයසූරිය යන මහත්වරු මෙම පරීක්ෂණවලට විශේෂ දායකත්වයක් මුල සිටම ලබාදී ඇත.  


අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට හා බෝමළුවේ සිටින සැදැහැවතුන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට කලින් ඒ සඳහා අවශ්‍ය ඔත්තු බලා රහස්‍ය තොරතුරු වාර්තාවක් පොට්ටු අම්මාන්ට යවා ඇත්තේද ඉලංගෝය.  


ජය ශ්‍රී මහා බෝධිය අවට යොදා ඇති ආරක්ෂාව හා මුරකපොලු සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමට ඉලංගෝ ගොස් ඇත්තේ සුදුවතින් සැරසී නෙළුම්මල් වට්ටියක් ද රැගෙන බෝධිය වන්දනා මාන කිරීමට යන බැතිමතෙක් ලෙසය.  


ඉලංගෝ මෙවැනි ආකාරයට කිහිපවරක්ම බෝ සමිඳු අබියසට ගොස් තිබෙන බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගුණතිලක මහතා කීය.  


ඒ හා සම්බන්ධව ඉලංගෝ පොලිසියට කළ පාපොච්චාරණය ඇතුළු විස්තර ඊළඟට කියවමු.  

 

 

 

 

 

 

 

 

 

 

 


සටහන ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  
ඡායාරූප: කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි