ශත වර්ෂයකට පසුව නිර්දෝෂිභාවය ලැබූ වැරැදිකරුවෙක්


මළවුන්ගේ අනාවරණ

 

ශත වර්ෂයකට පසුව නිර්දෝෂිභාවය ලැබූ වැරැදිකරුවෙක් ගැන ඔබ අසා තිබේද? එවැනි දේ සිදුවෙන්නේ ඉතාමත් අහම්බෙනි. එවැනි දේ කළ හැක්කේ ද විද්‍යාවත් තාක්ෂණයත් දියුණු ලෙස භාවිත කරන මරණ පරීක්ෂණ වාර්තා ඊට අදාළ සාක්ෂි සිය වසක් යනතුරුත් විනාශ නොකර ආරක්ෂා කරන ක්‍රමවේදයක් පවතින රටකදී පමණි. වෛද්‍ය ක්‍රිපන් උපත ලබා තිබුණේ එවැනි රටකය. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේය. ඒ නිසා ඔහුට සිය වසකට පසුව වුවද නිර්දෝෂී විමට ඉඩක් ලැබිණ. 


ඒත් ඔහු එතරම් කලක් ජීවත් වුණේද? කොහොමද එහෙම වුණේ? ප්‍රශ්න රැසකි. 


වෛද්‍ය හෝලි හාවේ ක්‍රිපන් 1862 වසරේදී උපත ලැබීය. පාසල් අධ්‍යාපනය හමාර කොට උසස් අධ්‍යාපනය ලැබූ ඔහු හෝමියෝපති වෛද්‍ය උපාධිය ලැබුවේ 1882දීය. අනතුරුව හෝමියෝපති වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පශ්චාත් උපාධියද හදාරා එයින්ද සමත් විය. 


ඔහු ජේන් බේල් නමැති තරුණියක සමග විවාහ වුවත් එය වැඩිකල් පවත්වාගෙන යාමට ඉඩක් නොලැබුණේ ඇය මීමැස්මොර රෝගයෙන් මියයාම නිසාය. 1892දී ක්‍රිපන් නැවතත් විවාහ විය. ඒ ඔහුට වඩා අවුරුදු 11ක් බාල කෝරා සමගය. 1900දී කෝරා හා ක්‍රිපන් යුවළ එංගලන්තයේ පදිංචියට ගියහ. එහිදි මන්යොන් හෝමියෝපති ප්‍රතිකාර සමාගමේ සේවයට බැඳුණු ක්‍රිපන් යුවළ කලක් බොහොම සතුටින් ජීවත් වූහ. 1905දී ඔවුහු ලන්ඩනයේ හිල්ඩොප් ක්‍රෙසන්ට් හි කුලි නිවසක පදිංචියට ගියහ. එහෙත් එහි පදිංචියට ගොස් වසර කීපයකදී ඔවුන් දෙපළ අතර ක්‍රමයෙන් අඬ දබර ඇතිවන්නට විය. 


1910 පෙබරවාරි 09 වැනිදා රාත්‍රියේ ක්‍රිපන් මහතාගේ නිවසේ සාදයක් පැවති අතර අලුයම කාලය වෙන තුරු සාදය පැවැත්විණි. සාදය අවසානයේ ක්‍රිපන් යුවළ අතර අඬ දබර ඇතිවිය. එය තරමක් දුරදිග ගිය අතර අලුයම 1.30න් පසුව ඇය නිවසේ දක්නට ලැබී නැත. ක්‍රිපන් ඇය ගැන සොයා බැලුවේද නැත. ඒ වෙනුවට ඔහු අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යනු ලැබූ වෛද්‍ය සායනයේ ලිපිකාරිනිය සමග සමීප ඇසුර එළිපිට පවත්වාගෙන ගියේය. ඇය එතල් ලිනව්ය. 


වෛද්‍ය ක්‍රිපන්ගේ හැසිරීමත් කෝරාගේ අතුරුදන්වීමත් ඇය ගැන සෙවීමට වෛද්‍ය ක්‍රිපන් උනන්දු නොවීමත් නිසා ක්‍රිපන් පවුලේ හිතවතුන් හා ඥාතීන් ඔහු ගැන සැක කරන්නට විය. එතල් සමග හාදකම වසර තුනකට අධික කාලයක් තිස්සේ පවත්වාගන ගොස් ඇති බවද තොරතුරු සොයාගත් ඔවුන් ස්කොට්ලන්ඞ් යාඞ් රහස් පොලිසියට ඒ ගැන පැමිණිලි කරනු ලැබිය. 


ඒ පරීක්ෂණ භාරවූයේ දක්ෂ නිලධාරියෙකු වූ වෝල්ටර් ඩීව් වෙතටය. පොලිස් පරීක්ෂක වෝල්ටර් ඩීව් විසින් ක්‍රිපන් මහත්මියගේ අතුරුදන්වීම ගැන වෛද්‍ය ක්‍රිපන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය. එහිදී ඔහු හෙළිදරව් කළේ කෝරා, බෲස් මිලර් නමැත්තෙකු සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගන ගිය බවත් තමන් සමග දබර වීමෙන් පසු ඔහු සමඟ පලායන්නට ඇති බවත්ය. 


මෙම ප්‍රශ්න කිරීමෙන් පසුදින එනම් 1910 ජුලි 09 වැනිදා වෛද්‍ය ක්‍රිපන් හා එතල් ලන්ඩනයෙන් පිටත් වූහ. ඒ බෙල්ජියම බලා යන්නටය. එතැන් සිට එස්. එස්. මොන්ට්රෝස් වාෂ්ප නෞකාවෙන් කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයට යාමට පිටත් වූහ. 


මේ අතර පොලිස් පරීක්ෂක වෝල්ටර්, ක්‍රිපන්ගේ නිවසට යළි පැමිණියේ නිවස සෝදිසි කිරීමේ වරෙන්තුවක්ද රැගෙනය. එහෙත් ඒ වෙන විට ක්‍රිපන් එහි සිටියේ නැත. ඔවුන් පලාගොස් ඇති බව පොලිසියට ඒත්තු ගියෙන් නිවසේ හිමිකරු ලවා දොර විවෘත කරවාගෙන එය සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කළේය. දින දෙකක් පමණ මෙම පරීක්ෂාවට ගත විය. එහිදී නිවසේ ගිනි උදුන යට පිහිටි ගඩොල් තට්ටුව යට වළක් ඇති බව තහවුරු විය. එය හාරා බැලීමේදී කාන්තා ඇඳුම්, පිරිමියෙකුගේ පිජාමා ඇඳුමක උඩු කොටස් සුදු පැහැති රැලි ගැසුණ කෙස් රොදක්, හමුවිය. එසේම මේ අතර හෘදය වස්තුව, ප්ලීහාව, වකුගඩු, ආමාශය, අග්න්‍යාසය, කුඩා අන්ත්‍රය සහ මහා අන්ත්‍රය ආදී අවයව කොටසක් හමුවිය. ඒ සියල්ල එකට සිටින සේ සිරුරෙන් ඉවත් කර තිබූ බව පෙනිණ. ඒත් හිස, අස්ථි හා ප්‍රජනක කොටස් හමුවුයේ නැත. 


මේ සිරුරු කොටස් අනිවාර්යයෙන්ම ක්‍රිපන් මහත්මියගේ බවට පොලිසිය සැක කළ අතර අනෙක් කොටස් වෙනත් තැනක සඟවන්නට ඇතැයිද සැක කරනු ලැබිණ. එහෙත් ඒවා සෙවීම පසෙක තැබූ පොලිසිය ක්‍රිපන් හා ඔහුගේ අනියම් බිරිඳ අත්අඩංගුවට ගැනීමට කටයුතු යෙදූහ. ඔවුන් දෙදෙනාගේ රූප දක්ෂ චිත්‍ර ශිල්පියෙකු ලවා අන්දවා මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලැබිණ. 


සොයාගත් මෘත ශරීර කොටස් ස්කොට්ලන්ඞ් යාඞ් පොලිසියේ රසායනික ද්‍රව්‍ය විශ්ලේෂණ අංශයට යවා පරීක්ෂා කරනු ලදුව එහි හයෝසීන් නමැති රසායනිකය මාරාන්තික ප්‍රමාණවලින් අඩංගු වී ඇති බව සොයා ගැණින. මෙම රසායනිකය වෛද්‍ය ක්‍රිපන්ගේ සිය සායනයේ ප්‍රතිකාර සඳහා යොදාගන්නා බවද සොයා ගැනිණ. ඒ අනුව කෝරා ක්‍රිපන් මහත්මිය මරණයට පත් කරන්නට ඇත්තේ හයෝසින් නමැති රසායනිකය අධික ලෙස ලබාදීමෙන් බවට නිගමනය විය. 


අත්ලාන්තික් සාගරය හරහා කැනඩාව බලා යාත්‍රා කරමින් තිබූ එස්. එස්. මොන්ට්රෝස් වාෂ්ප නෞකාවේ කපිතාන්ගෙන් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියට මාර්කෝනි දුරකථන ඇමතුමක් (එකල පැවති රැහැන් රහිත පණිවුඩ යැවිමේ ක්‍රමයක්) ලැබිණ. එයින් කියවුණේ පොලිසියෙන් ප්‍රචාරය කළ හැඩුහුරුකම සහිත දෙදෙනෙක් තම නෞකාවේ ගමන් ගන්නා බවය. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය ඔවුන් දෙදෙනා ලුහුබැඳ එස් එස් ලෝරන්ස් සීඝ්‍රගාමී නෞකාවෙන් පිටත් වූහ. මොන්ට්රෝස් නෞකාව ශාන්ත ලෝරන්ස් ගංගාව මුහුදට වැටෙන තැන ආසන්නයට පැමිණීමට පෙර එහි පැමිණ රැකවල්ලා සිට සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබිණ. 
දින පහක් පුරා නඩු විභාගය පැවැත්විණ. එහෙත් දිගින් දිගටම ක්‍රිපන් කියා සිටියේ තමන් මෙවැනි අපරාධයක් නොකළ බවය. ඒ අනුව මේ ශරීර කොටස් කෝරා ක්‍රිපන්ගේමදැයි තහවුරු කර ගැනීමට අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකුගේ සහය ලබාගැනීමට සිදුවිය. අධිකරණ වෛද්‍ය විශේෂඥයා සිරුරු කොටස් පරීක්ෂා කළ අතර අතුණුබහන්වල ඉහළ කොටසේ තිබූ තුවාල කැළලක් නිරීක්ෂණය කළේය. කෝරාගේ වෛද්‍ය වාර්තා අනුව ඇය අපෙන්ඩික්ස් අවයවය ඉවත්කිරීමේ ශල්‍යකර්මයකට මුහුණ දී තිබූ බව හෙළි විය. ඒ අනුව මේ එහි කැළලක් බව පැහැදිලි විය. ඒ අනුව මෙය කෝරා ක්‍රිපන්ගේම බවට තහවුරු වෙන බව අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණ. 


වෛද්‍ය ක්‍රිපන්ට මොන තරම් උත්සාහ කළත් එම වාර්තාවෙන් ගැලවීමට නොහැකිවිය. ජුරි සභාවක් ඉදිරියේ කළ නඩු විභාගයේදී ගැඹුරු සාකච්ඡාවකින් අනතුරුව 1910 ඔක්තෝබර් 22වැනිදා වෛද්‍ය ක්‍රිපන් එල්ලා මැරීමට තීරණය කරන ලද අතර එතල් ලිනව් සියලු චෝදනාවලින් නිදහස් කෙරිණ. ඇයගේම සහය ඇතිව ක්‍රිපන් අවස්ථා කීපයකදී අභියාචනා මගින් සිය නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට උත්සාහ කළත් වැඩක් වූයේ නැත. 1910 නොවැම්බර් 23 වැනිදා ඔහුව එල්ලා මරණ ලදී. 


මේ ප්‍රශ්නය නැවත මතුවූයේ දශක නවයකට පසුව 2009 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් ඇත්තටම එදා මැරුණේ කෝරා ක්‍රිපන්මදැයි සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කිරීම නිසයි. එහෙත් සිය වසක් පමණ පැරණි මෙම සිදුවීම කෙසේ අනාවරණය කරගන්නද? 


ඔවුන්ගේ මූලික අරමුණ වුණේ ඩී. එන්. ඒ. පරීක්ෂණයක් මගින් ඇත්ත හෙළිකර ගත හැකි බවය. එහෙත් එය සපුරා ගැනීමට නම් කෝරාගේ යැයි සැක කළ අවයවවල කොටස් සොයාගත යුතුය. එසේම ජීවතුන් අතර සිටින ඇගේ ලේ ඥාතියෙකු සොයාගත යුතුය. පුවත්පත් දැන්වීම් මගින් ඔවුන්ට ඥාතීන් පිරිසක් සොයාගත හැකි විය. එසේම ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියේ සාක්ෂි කෞතුකාගාරයේ හිසකෙස් කොටස් තිබූ අතර එදා පරීක්ෂණය සිදුකළ අධිකරණ වෛද්‍යවරයා විසින් අන්වීක්ෂීය පරීක්ෂාවට ලක් කළ වීදුරු කදා නවයක් රාජකීය ලන්ඩන් කෞතුකාගාරයේ තැන්පත් කර තිබුණි. විශේෂ අවසරයකින් පසු ඉන් එක් කදාවක් ලබාගැනීමට ඇමෙරිකන් විද්‍යාඥයින් පිරිස සමත්‍්‍ වූහ. 


මෙම කදාව කල් තබාගැනීම සඳහා ෆෝමලින් සහ වෙනස් රසායනික ද්‍රව්‍ය රාශියක් යොදා ශතකයක් පමණ පැවතීම නිසා එයින් ඩීඑන්ඒ ලබාගැනීම පහසු නොවේ. එහෙත් මේ විද්‍යාඥයින්ගේ දක්ෂතාව මත එය සාර්ථකව කරගත හැකි විය. 


අනතුරුව පුවත්පත් දැන්වීම් මගින් සොයාගත් කෝරා ක්‍රිපන්ගේ ඥාතියෙකුගේ ඩීඑන්ඒ සමග එය සසඳා බැලීය. එහිදී හෙළිවූයේ මේ පටක කොටස් කෝරාගේ නොවන බවය. ඒ අනුව වෛද්‍ය ක්‍රිපන් එල්ලා මැරීම සියයට සීයක්ම වැරැදි තීන්දුවක් බව තහවුරු විය. එහෙත් ඒ වරද කෙසේ නම් නිවැරැදි කරන්නද? සැකයක් හිතේ තබාගෙන කටයුතු කිරීම අධිකරණ වෛද්‍යවරයෙකු කිසිසේත් නොකළ යුත්තකි. සොයාගත් සිරුරු කොටස් ඩීඑන්ඒ පරීක්ෂාවට ලක් කිරීමට එකලද පහසුකම් තිබිණ. එසේම සොයාගත් සිරුරු කොටස් කෙතරම් කාලයක් සඟවා තිබූ ඒවාදැයි සොයාබැලීමෙන්ද මේවා කෝරාගේමදැයි යන්න සැකහැර දැනගන්නට හැකියාව තිබිණ. එහෙත් එසේ නොවීම නිසා නිවැරැදි පුද්ගලයෙකුට නිකරුණේ මරණ දණ්ඩනයට ලක්වෙන්නට සිදුවිය. 


(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න) 


මුදිතා දයානන්ද