වෛර පිරිමහන්න පාතාලයට ආ “පොඩි ලැසී”


පාතාල දඩබ්ම

පොඩි ලැසී අධිකරණයට ගෙනආ අවස්ථාව

 

  • පාතාලයෙන්  ඇල්ලූ  එක් අවියක් හමුදාවේ 

 “මම කාටවත් තර්ජනය කළේ නැහැ ස්වාමිනී, හිරගේ ඇතුළේ අපිට අවශ්‍ය කිසිම පහසුකමක් නැහැ කියලා විතරයි කිව්වේ.”  


 දිනය ඉකුත් 25 වැනිදාය. ස්ථානය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය ය. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේ මේ ප්‍රකාශය කරන්නේ අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් “තෙල්වත්තේ පොඩි ලැසී”ය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු බන්ධනාගාර නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී එහි දෙවැනි සැකකරු ලෙස නම් කර සිටින මේ “පොඩි ලැසී” අධිකරණයට කතා කළේ හයක් හතරක් නොදන්නා කිරි දරුවකු ලෙසින්ය.   


 “තමුන් අමුතුවෙන් ප්‍රකාශයක් කරන්න ඕන නැහැ. තමුන්ගේ ප්‍රකාශය මේ බී වාර්තාවෙන් අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා” ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට අවධාරණය කළේය.   


 “බන්ධනාගාර කොමසාරිස් .................... මහත්තයා, මදූෂ්ගෙන් හොඳට කෑවා. මදූෂ් ඩුබායි ඉන්නකොට එයා ඩුබායිවලට ගිහින් තමයි එහෙම කළේ” අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙසේ කියා තිබුණේ ධර්මකීර්තිගේ තාරක පෙරේරා විජේසේකර නොහොත් “කොස්ගොඩ තාරක” ය. “කොස්ගොඩ තාරක” වූ කලී මෙම නඩුවේ පළමු සැකකරු ය. නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර, කොස්ගොඩ තාරකගෙන් මෙන්ම එකී බන්ධනාගාර කොමසාරිස්වරයාගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.  


 දෙබරයකට ගල් ගැසුවාක් මෙන් දැන් කුලප්පු වී සිටින මේ පාතාල අයියලා, මේ කෙරුවාවල් එකින් එක එළියට දමන්නේ ‘යන යකා කොරහා බිඳගෙන යනවා’ සේය. මත්ද්‍රව්‍ය මෙන්ම පාතාල සහ සංවිධානාත්මක අපරාධ මැඩලීමේ රජය ගෙන යන වැඩපිළිවෙළ හමුවේ මේ අයියලා සීතල වී සිටින හැඩකි.  


 මේ කියන “පොඩි ලැසී” යනු කවරෙක් ද?  


 දකුණේ පාතාලය ගැන කතා කරද්දි “කොස්ගොඩ සුජී” සහ “කොස්ගොඩ තාරක” යන කල්ලි දෙක පිළිබඳව වර්තමානය වනවිට කතාබහට ලක්ව තිබේ. කොස්ගොඩ තාරකගේ බෙල්ල ලබා ගැනීමට සිහින දකිමින් සිටින්නේ මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සිටින “කොස්ගොඩ සුජී” ය. එය හරියට ගොනා කෝවිලේ රොහාගේ මරණය වෙනුවෙන් සතුට සැමරූ ‘කුඩු අංජුලාගේ කල්ලිය’ වාගේය. කොස්ගොඩ සුජී තම “වෛරක්කාරයාගේ බෙල්ල” ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව භාරදී ඇත්තේ මේ කියන “පොඩි ලැසී”ටය. මිනීමැරුම් 35කට අධික සංඛ්‍යාවක් සිදුකළ බව කියන දකුණේ පාතාලයේ කිරුළ හිමිකරගෙන සිටි “එස්ටීඑෆ් නදුන්” සියල්ල හැර දමා දැන් ඉතාලියට වී සිටින්නේ උපාසක චරිතයකට උරුමකම් කියමිනි. එස්ටීඑෆ් නදුන්ගේ තැන ගන්නට හිටියේ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි මනෝජ් මෙන්ඩිස්ය. එවකට ප්‍රධාන දේශපාලන ධාරාවේ ඇත්තන්ගෙන් ආශිර්වාදය ගෙන සිටි මනෝජ් මෙන්ඩිස් දකුණු පළාතේ බලය සියතට ගෙන තිබුණේ රාජකාරියට අමතරවය.   


 “පොඩි ලැසීගේ” පියා වූ “තෙල්වත්තේ වසන්ත”, එවකට ක්‍රියාත්මකව තිබූ එස්ටීඑෆ් නදුන්ගේ පාතාල කල්ලියේ ප්‍රබල සාමාජිකයකුව සිටියේය. පසු කාලීනව බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වී සිටි වසන්තගේ සිරුරේ පැත්තක් අප්‍රාණිකව තිබිණි. එහෙත් ඔහු ඒ පළාතේ අයියාව සිටියේය. මේ අයියා අවසන් ගමන් යන්නේ හෙරොයින් ප්‍රශ්නයක් හේතුවෙන් 2001 වසරේ දිනයකදීය. ඝාතකයන් වෙඩි ප්‍රහාරය එල්ල කරන්නේ වසන්තට පමණක් නොව ඔහුගේ බිරිඳත් ඉලක්ක කරමිනි. එයින් තෙල්වත්තේ වසන්ත සදහටම මෙලොවින් නික්ම ගිය අතර පොඩි ලැසීගේ මව අදටත් එම ප්‍රහාරයෙන් ආබාධිතව සිටින බව සඳහන් වෙයි.   


 පියා ඝාතනය වනවිට “පොඩි ලැසී” දහසය හැවිරිදි තරුණයෙකි. තාත්තාගේ ආභාෂයෙන් “අයියා” කෙනකු වනවාට වඩා සිය පියාගේ ඝාතනයටත් මවගේ සදාකාලික රෝගාබාධයටත් පලිය ගන්නට “පොඩි ලැසී” වෛරක්කාරයෙක් විය. එස්ටීඑෆ් නදුන්ගේ තවත් ගෝලයකු වූ “අත කොට රවී” ද ලංසියා සමග එක්වූයේ වසන්තගේ වියෝවෙන් පසුවය. එහෙත් සිය පියාට සිදුවූ දේම අත කොට රවීට සිදුවීමෙන් දැඩි ලෙස අන්දමන්ද වුණේ ලැසියාය. සිය පියා සහ අතකොට රවී මරා දැමීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ මනෝජ් මෙන්ඩිස් බව “පොඩි ලැසී” දැනගත්තේය. ජීවිත බිලි ගන්නට පන්නරය ලබමින් සිටි “පොඩි ලැසී” මුලින්ම ඝාතනයක් සිදුකරන්නේ වයස අවුරුදු 18දීය. කාලයත් සමග බන්ධනාගාරගත වෙමින් සහ ඇප ලබාවිත් පොලිසියේ ඇසට වැලි ගසමින් “පොඩි ලැසී” තව තවත් මිනිස් ඝාතන කිහිපයක් සිදුකරමින් තෙල්වත්ත ප්‍රදේශයේ අයියා කෙනකු විය. “සර්විස් දයා”ගේ පුත්‍රයා වූ “ලොකූ” සහ මනෝජ් මෙන්ඩිස් අතර ද ගැටුමක් ඇති වන්නේ මේ අවස්ථාවේදීය.   


 “ලැසියා, මෙන්ඩිස්ට ගහපන් උඹට මම ලක්ෂ 10ක් දෙන්නම්” ලයන් පැරඩයිස් හෝටලයේදී ලොකූ සහ ලැසී මනෝජ් මෙන්ඩිස් ඝාතන සැලැසුම සකස් කර තිබිණි. ලොකූගේ ලක්ෂ 10ත් තමාගේ වෛරයත් එකට ඈඳා ගත් “පොඩි ලැසී” මනෝජ් මෙන්ඩිස් ඝාතනය කරන්නේ 2015 වර්ෂයේ මාර්තු මස 23 වැනිදා හික්කඩුව වෑවලපිටිය හෝටලයක් තුළ පැවැති සාදයක් අතරතුරදීය.  


 මනෝජ් මෙන්ඩිස් ඝාතනයෙන් පසු තෙල්වත්තෙන් පැන ගන්නා “පොඩි ලැසියා” සොයා මරා දැමීමට මෙන්ඩිස්ගේ ගෝලයෝ දකුණු පළාතම පීරන්නට වූහ. මේ අතරින් ඉදිරියෙන්ම සිටියේ පැරෑලියේ සුදත් ප්‍රියන්ත සහ ලලිත් නිශාන්ත නොහොත් “තනි ඇටයා” ය. සුදත් ප්‍රියන්ත වූ කලී යුද හමුදාවෙන් පළාවිත් සිටි අයකු වන අතර ඒ සුදුසුකම මතම මනෝජ් මෙන්ඩිස්ගේ ළඟම ගෝලයාව සිටියේය. එහි සංකේතය වූයේ මනෝජ් මෙන්ඩිස්ගේ රූපය ප්‍රියන්තගේ වම් අතේ ඉහළ කොටසේ පච්ච කොටා තිබීමය. ලැසියාගේ පියා ඝාතනය කරන්නට ඔත්තු බැලුවේ මේ ප්‍රියන්ත බව ලැසීට ඔත්තු ලැබී තිබිණි. 

 
 මනෝජ් මෙන්ඩිස් ඝාතනයෙන් පසු පොලිසියටත් අධිකරණයටත් කට්ටි පනිමින් සිටි ‘පොඩි ලැසී’ ව්‍යාපාරය ලෙස හොරොයින් ජාවාරම ජයටම කරගෙන ගියේය. එහෙත් මෙන්ඩිස්ගේ ගෝලයෝ තමාට ප්‍රහාරයක් එල්ල කරතැයි සිතූ ලැසී කළුතර ප්‍රදේශයේ දී නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට භාර වෙයි. ඇප මත නිදහස්ව එළියට එන තමා මරා දැමීමට මෙන්ඩිස්ගේ ගෝලයන් ඉව අල්ලමින් සිටි බව දැනගත් පොඩි ලැසී ආරක්ෂාව පතා යන්නේ කොස්ගොඩ සූජීගේ සෙවණටය. ගාල්ල මහාධිකරණයෙන් ඇප ලබා බෝට්ටුවකින් මුහුදු මාර්ගයෙන් පිටත්ව ගිය පාතාලයේ අයියා වූ පොඩි ලැසී, ඉතාලියට පැන ගිය බව අඟවමින් අම්බලන්ගොඩ මුහුදෙන් කොස්ගොඩ සුජීගේ බලකොටුවට ඇතුළු වූයේ කාගේත් ඇස් වසාය. සුජීගේ බලකොටුවේදී ලැසියාගේ ආරක්ෂාව තර කරන්නේ කරන්දෙණියේ සුද්දාය. ඇල්පිටියේ ජෝෂප් ලැසියාගේ ‘බොඩිගාඩ්’ විය. අම්බලන්ගොඩින් කෑගල්ලට එතැනින් පොළොන්නරුවට යන පොඩි ලැසී නතර වන්නේ සිය පෙම්වතියගේ නිවසේය. පසුව කොස්ගොඩ සුජීගේ සහ කරන්දෙණියේ සුද්දාගේ කොන්ත්‍රාත් ඉටුකිරීම සඳහා පොඩි ලැසී නැවත තෙල්වත්තට පැමිණෙයි.   


 කරන්දෙණිය බොරකන්ද රෝහලේ වෛද්‍ය ප්‍රියන්ත ප්‍රසාද් ජයසිංහ නොහොත් “කරන්දෙණියේ හිත හොඳ දොස්තර මහතා” ඝාතනය කරන්නේ 2011 වර්ෂයේදීය. ඒ ජයලත් ද සිල්වා නොහොත් “කරන්දෙණියේ සුද්දා” විසිනි. යුද හමුදාවේ සේවය කරමින් සිටි “සුද්දා” ගේ සහෝදරයා වන සනත් ද සිල්වා නොහොත් “එස්ටීඑෆ් රාජු” ද පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කරමින් සිටි අයෙකි. ආරක්ෂක අංශවල සේවයේ නිරතව සිටින අතරතුරදීම විවිධ අපරාධ කළ මේ සොහොයුරෝ එම රැකියාවලට සමුදී පාතාලයේ සොල්දාදුවෝ වෙමින් ‘පොඩි ලැසී’ට ළංවූහ. දොස්තර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් කරන්දෙණියේ සුද්දා රක්ෂිත බන්ධනාගාරගත වුව ද කොන්ත්‍රාත්වලට මිනී මැරීම අත්හැරියේ නැත.   
 කරන්දෙණියේ සුද්දාගේ කොන්ත්‍රාත්තුවකට අම්බලන්ගොඩ මාදම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි තිරිමාදුර ඉන්දික ද සොයිසා (33), අගම්පොඩි දේවිකා ද සොයිසා (27) සහ ඇගේ දරුවා වන තිරිමාදුර රන්දික ද සොයිසා (4) යන ත්‍රිපුද්ගල ඝාතන සිදුකරන්නේ පොඩි ලැසී සහ ඉමදූව කනංකේ කුමාර යන අය විසිනි. මේ ඝාතනයට පොඩි ලැසී පොලිසියට කොටු වෙද්දී ඔහු තවත් ඝාතනයක් සඳහා කුරුමානම් අල්ලමින් සිටියේය. ඒ, පොලිස් ඔත්තුකරුවකුව සිටි ‘පලතුරු ප්‍රියන්ත’ මරා දැමීමටය. මේ පලතුරු ප්‍රියන්ත යනු ඉහතින් සඳහන් කළ මනෝජ් මෙන්ඩිස්ගේ හොඳම ගෝලයාය.  

 


 “මම ප්‍රියන්තව මරනවා. අනිවාර්යයෙන්ම මරනවා මරනවාමයි.” පොඩි ලැසී පොලිසියේදී ගර්ජනා කර තිබිණි. දකුණු පළාතම සලිත කළ අම්බලන්ගොඩ ත්‍රිත්ව ඝාතනයෙන් පසු පැරෑලියේ සුදත් ප්‍රියන්ත නොහොත් “මීටියාගොඩ පලතුරු ප්‍රියන්ත” ජීවිතක්ෂයට පත්වන්නේ අමතර පන්තියකට රැගෙන යමින් සිටියදී සිය දියණිය ඉදිරිපිටදීය. ඒ, කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වූ රාජු සහ මුණා එල්ල කළ වෙඩි වරුසාවකිනි. ගාල්ල බන්ධනාගාරයේ සිට සුව පහසුව ජංගම දුරකතනය මගින් උපදෙස් දී මේ ඝාතනය කරන්නේ ද “පොඩි ලැසී” බවට පොලිසිය විමර්ශනවලින් තහවුරු කරගෙන තිබිණි. මේ ඝාතනයේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් ගාල්ල හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ‘ස්ටිකර් සජිත්’ සහ ඔහුගේ ගෝලයකු අවසන් ගමන් යවන්නේ මේ ‘පොඩි ලැසී’ නමැති චණ්ඩි අයියා ය. මෙරෙඤ්ඤ තිළිණ රුවන් තිහාර ජයරත්න නමැති හතළිස් හතර හැවිරිදි කොළඹ වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා මරා දමන්නට ද මේ කියන අයියා මැදිහත් වූයේ 2019 වසරේ අප්‍රේල් මස 4 වැනිදාය. එම ඝාතනය පිටුපස තවත් බන්ධනාගාර නිලධාරියකු සිටිතැයි ආරංචි මාර්ගවලින් සඳහන් වූවකි.   


 දකුණේ පාතාලයේ අයියලා වන කොස්ගොඩ සුජීටත් මාකඳුරේ මදූෂ්ටත් උඩින් යන්නට මාන බලමින් සිටියේ කරන්දෙණියේ සුද්දාය. ඒ කෙසේ වෙතත් පොඩි ලැසීගේ භූමිකාව අද වනවිට වෙනස්ම මගකට ගොස් ඇත්තේ පුදුමාකාර අන්දමටය. වරක් ගාල්ල මහාධිකරණයෙන් ඇප ලැබුණු පොඩි ලැසීට ඇප තබන්නේ ඔහුගේ පුංචි අම්මාය. අද වනවිට පොඩි ලැසී ඇප තැන්පත් නොකර බන්ධනාගාරයේ සිටින්නේ ජීවිතාරක්ෂාව නිසා බවට අධිකරණයේදී ද කරුණු සඳහන් විණි. ඒ පාතාලයේ හැටිය. ඇප ලැබුණ ද එළියට නො එන්නේ විරුද්ධ පාර්ශ්වයෙන් ජීවිතයට ඇප ලැබෙනු ඇතැයි සිතන නිසාය.  


 පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ සැකකාර නිලධාරීන් සිය හෙරොයින් විශාල වශයෙන් විකුණා ඇත්තේ පොඩි ලැසීට බව දැන් හෙළි වී තිබේ. එක් එක් ප්‍රදේශවලට වෙන වෙනම වර්ණ යොදාගනිමින් පොඩි ලැසී සිය මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන ගොස් ඇත. ඒ සඳහා ඔහුට ඩුබායි සිට අතහිත දෙන්නේ ඔහුගේම පුංචි අම්මාගේ පුතා වන උදාරය. මේ උදාර ද මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ සැකකරුවෙකි. අධිකරණයෙන් විදෙස් ගමන් තහනම් කර තිබියදී මොහු විදෙස්ගත වෙන්නේ ව්‍යාජ නමකින් ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කරගනිමිනි. “පොඩි ලැසී”ගේ ළඟම ගෝලයකු වන ගාල්ල තෙල්වත්තේ පදිංචි දලුවතුමුල්ල ගමගේ නීල් නන්දන නොහොත් “තෙල්වත්තේ නීල්” යන අය රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 11ක් සහ ආයුධ සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ ඉකුත් ජුලි මස 25 වැනිදාය.  


 “තෙල්වත්තේ නීල්” නමැත්තා සතුව තිබී අත්අඩංගුවට ගත් එක් රිවෝල්වරයක් ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගිනි අවියක් බවට අනාවරණය වී ඇතැයි ද අධිකරණය හමුවේ කරුණු වාර්තා වූ තවත් සිද්ධියකි. එම මිලිමීටර් 9 මාර්ක් 2 වර්ගයේ පිස්තෝල ගිනි අවිය ඉකුත් 1996 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ යාපනය බලසේනා මූලස්ථානයට නිකුත් කළ එකක් බවට වාර්තා වී තිබිණි. මාතර සිට බලපිටිය දක්වා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 130ක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව පොඩි ලැසීගේ ගෝලයකු වන පාත්තරකැටිය පාර, බටපොල පදිංචි අලුත්ගම ගුරුගේ මංජුල නොහොත් ‘මංජු’ නමැත්තා ඉකුත් 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ. මේ සියල්ල එසේ වෙද්දී පොඩි ලැසීගේ අම්මා ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේ තම පුතුගේ නීති විරෝධී මුදල් පරිස්සම් කරගෙන සිටි නිසාය.   
 තවමත් 32 හැවිරිදි වියේ පසුවන පොඩි ලැසී ගැහැනු දරුවකුගේ පියෙකි. සිය උපන් වයසට කිට්ටුවෙන් මනුෂ්‍ය ඝාතන රැසක් සිදුකර ඇති මොහු දැන් දැන් හෙරොයින් සිද්ධීන් සම්බන්ධයෙන් ද අධිකරණ හමුවේ අවශ්‍යව සිටින සැකකරුවකු වී හමාරය. පොඩි ලැසී දැන් රඳවා සිටින්නේ බූස්ස බන්ධනාගාරයේය. අවශ්‍ය පහසුකම් නැතැයි ඔවුහු ආහාර වර්ජනයක් පටන් ගත්හ. වර්ජනය අවසන් වූයේ තර්ජන සිද්ධියකට අදාළව අධිකරණය හමුවේ නඩුවක් ගොනු වීමෙනි. එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමග හෙරොයින් ජාවාරම සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව ඉදිරි දිනයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරු බූස්ස බන්ධනාගාරයේ සිට එම දෙපාර්තමේන්තුව වෙත රැගෙන යනු ඇත.  


 වෛරී අදහසකට හෝ කොන්ත්‍රාත්තුවකට හෝ තවත් මනුෂ්‍ය ජීවිතයක් බිල්ලට ගන්නට මනුෂ්‍යයකුට හැකියාවක් ඇද්ද? හදිසි කෝපය නම් එය ඉවසා දරාගත හැකිය. මන්ද සියල්ලෝම පෘතග්ජනයන් වීම නිසාවෙනි. එහෙත් එකක් දෙකක් නොවන අතේ ඇඟිලිවලින් ගණන් කිරීමට නොහැකි ලෙස මිනී මරයි නම් අපරාධ සිදුකරයි නම් මොවුන් ලබන්නේ කුමන දඬුවමක් ද? නීතියෙන් දඬුවම් ලැබීමට පෙර මොවුන්ට දඬුවම් දෙන්නේ ස්වභාවධර්මයායි. එනම් මොවුන්ගේ ම හෘදය සාක්ෂියයි. පාතාලයෝ එකා දෙන්නා බිමට පතබෑ වෙද්දී තමන්ටත් ජීවිතයක් ඇතැයි මොවුන් මර බියට පත්වන්නේ දැන්ය. “කොයි චණ්ඩියා වුව ද මරණයට බයය” යන්න කතාවට කියා ඇති දෙයක් නොවෙයි. එසේම “අවි ගත්තෝ ද නැසෙන්නේ අවියෙන් බව” කියන්නා සේම මිනීමරන්නන් ද දිනෙක මේ පොළොවට පස් වන්නේ ඝාතනයකින්ම ය. එය පොදු ධර්මතාවයයි.  


 කොතෙක් කීව ද කොතෙක් ලීව ද මේ අයියලා ක්‍රියා කරන්නේ තම ඕනෑ එපාකම් ඉටු කරගැනීමට විනා සමාජ යහපත සඳහා නොවෙයි. වෛරය අයහපත පමණක් මේ සමාජයට ඉතිරි කරන මොවුන්ගේ දහම ලෙයින් ලෙයට පලිගැනීම පමණකි. මේ ධර්මද්වීපයට අයහපත හෝ වෛරී චේතනා කිසිදු අවස්ථාවක අවශ්‍ය නැත. පාතාලය අපරාධ සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ද අවශ්‍ය නැත. සාමකාමී දැහැමි සමාජයක් බලාපොරොත්තු වන්නේ මේ යහගුණ පමණි. එසේ නම්, රටක් වශයෙන් එක්සිත්ව ඒ යහගුණ වැපිරීම උදෙසා අපි එක් රොක් වෙමු.  
 

 

නිරංගි අබේවික්‍රම