වේගයෙන් දියුණුවට පා තබන බංග්ලාදේශයේ සංචාරයක්


ඩකා අගනුවර පවතින අධික රථවාහන තදබදය

 

 

දූවිල්ලෙන් ගැවසුණු, අපිරිසුදු මංමාවත් සහිත සැම විටම දැඩි රථවාහන තදබදයෙන් මංමාවත් පිරීගිය, එහෙත් වර්තමානයේ දකුණු ආසියාවේ සියලුම රටවල් අතරින් ඉහළම සංවර්ධන වේගය හිමිකරගෙන සිටින රටක අගනගරයේ දින කීපයක් ගත කිරීමේ අපූරු අවස්ථාවක් අපට හිමි විය.   


ඒ අග නගරය බංග්ලාදේශයේ අගනගරය වන ඩකා නුවරයි.   


ශ්‍රී ලංකාව සියයට 4.5ක සංවර්ධන වේගයක් ද දකුණු ආසියානු කලාපයේ බලවතා වන ඉන්දියාව සියයට 7ක සංවර්ධන වේගයක් ද පෙන්වද්දී කලක් මේ සෑම රටකටම පිටුපසින් සිටි දරිද්‍රතාවයෙන් පිරී ගිය බංග්ලාදේශය ඒ සියලු දුක් කම්කටොලු පරදවමින්, දකුණු ආසියාවේ සෑම රටක්ම පරදවමින් සියයට 9ක් වූ විස්මිත සංවර්ධන වේගයක් අත්කර ගැනීමට සමත්ව සිටියි.   


අපට බංග්ලාදේශයේ සංචාරය කිරීමේ අවස්ථාව හිමි වූයේ එරට පුවත්පත් මණ්ඩලයට වසර 45ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ‘බංග්ලාදේශ පුවත්පත් මණ්ඩල දින සැමරුම් උත්සවය’ට සහභාගී වීම සඳහා කරන ලද ආරාධනයකට අනුවය.   


බංග්ලාදේශ පුවත්පත් මණ්ඩල සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මොහොමඞ් මුම්ටාස් උදිත් අහමඩ් මහතාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා සමඟ ලියුම්කරු ද ප්‍රාදේශීය මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතා ද මෙම උත්සවයට සහභාගී වූහ.   


ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, නේපාලය, භූතානය යන රටවල පුවත්පත් මණ්ඩලවල සභාපතිවරුන් සමඟ එහි සාමාජිකයින් ද ලෝක පුවත්පත් මණ්ඩල සම්මේලනය නියෝජනය කරමින් එහි ලේකම් අලී හෙන්චිරාල් මහතා ද මෙම උත්සවයට සහභාගී වූහ. දේශපාලන හේතුන් මත පාකිස්ථානය සහ මියන්මාරය මීට සහභාගී නොවීය.   
බංග්ලාදේශ පුවත්පත් මණ්ඩල දින සැමරුම් උත්සවය එරට ජනාධිපති අබ්දුල් හමීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් ඩකා නුවර පිහිටි ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේදී පසුගිය 18 වැනි දින පස්වරුවේදී පැවැත්විණි. මෙහිදී බංග්ලාදේශ මාධ්‍යවේදීන් සහ ලේඛකයන් හත්දෙනකුට සම්මාන ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදුවිය. මොවුන්ගෙන් දෙදෙනකුම කාන්තාවෝය.


ගුලාම් සර්වර්, ජස්මින් උද්දිත් හරුත්, මාර්ෂිඩ් අලාම්, කලීර් කොන්තෝස්, ඩයිනික් අෂාඩ්, අයෝෂා සිද්දික් ආකාෂි සහ සෝනි රමණී සම්මානයට පාත්‍ර වූහ.   


ජනාධිපතිවරයා සහභාගී වූ මෙම උත්සවය දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පැවැත්වුණි. විදේශ ආරාධිතයන් හට පවා එම උත්සවයට සහභාගී වීමට යාමේදී ජංගම දුරකථන, කැමරා පමණක් නොව පෑනක් පවා රැගෙන යාම ජනාධිපති ආරක්ෂක අංශය විසින් තහනම් කර තිබීම විශේෂත්වයකි.   


මෙම උත්සවයට මාධ්‍යවේදීහු ඇතුළුව විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වූහ. විදෙස් පුවත්පත් මණ්ඩල සාමාජිකයන් හට එම උත්සව ශාලාවේ ඉදිරිපෙළම අසුන් පනවා තිබූ අතර එම උත්සවයෙන් අනතුරුව බංග්ලාදේශ ජනපතිවරයා පැමිණ විදෙස් පුවත්පත් මණ්ඩල සභාපතිවරුන් සමග කෙටි සුහද පිළිසඳරක ද නිරත විය.   
මෙම සංචාරයට සහභාගී වූ සියලුම විදෙස් පුවත්පත් මණ්ඩල සාමාජිකයන් හට එරට ගුවන්තොටුපළේ සිටම සංචාරය අවසන් වනතෙක්ම ඉහළම රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීම් හිමිවීම ද විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. මේ සඳහා එරට රජයෙන් විශේෂ අවස්ථාවක් ලබාදී තිබූ අතර එවැන්නක් අප රටේදී නම් කෙදිනකවත් බලාපොරොත්තු විය නොහැකි බව ද කිව යුතුමය.   


විදේශීය පුවත්පත් මණ්ඩල සාමාජිකයන් හට මෙම සංචාරයේදී බංග්ලාදේශ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය හසන් මහමුද් සහ කම්කරු අමාත්‍ය සහ බංග්ලාදේශයේ පාලක පක්ෂය වන අවාම් ලීගයේ සහකාර ලේකම් මෙයින් බාජි එලාහි මහත්වරු ද හමුවී සාකච්ඡා කිරීමේ අවස්ථාව ද හිමිවිය.   


මෙහිදී දකුණු ආසියානු කලාපයට වර්තමානයේ බලපා ඇති සමාජ මාධ්‍යවල පිළිබඳව විශේෂයෙන් සාකච්ඡාවට බඳුන්විය. සමාජ මාධ්‍ය මගින් මෙම රටවල සමාජයට, දේශපාලනයට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බව එම සාකච්ඡාවේදී ප්‍රකාශ විය.   


බංග්ලාදේශ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අදහස වූයේ මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් මාධ්‍ය ආයතන පාලනයකින් යුතුව පවත්වාගෙන යාම ඔවුන්ගේ වගකීමක් බවය.  සමාජ මාධ්‍යවලින් සිදුවන අහිතකර බලපෑම් වළක්වා ගැනීම සඳහා සියලුම ආසියානු රටවල් එක්ව කටයුතු කළ යුතු බවත්ය.   


පසුගියදා අප රටේ තෙල්දෙණියේදී ඇති වූ ජාතිවාදී කෝලාහලය පිළිබඳව ද අමාත්‍ය හසන් මහමුද් මහතා අදහස් දැක්වීම විශේෂ කරුණක් වූ අතර, එම සිද්ධිය දුරදිග යාමට ඉඩ නොදී සමාජ මාධ්‍ය පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය පියවර ගැනීම කාලෝචිත ක්‍රියාවක් වුව ද සමාජ මාධ්‍ය තහනම් කිරීම නිදහස් මාධ්‍යයට එල්ල කෙරුණු බාධාවක් ලෙස දකින බව ද ඔහු සඳහන් කළේය.   


මත්ද්‍රව්‍යවලින් සිදුවන විනාශයට වඩා වැඩි හානියක් සමාජ මාධ්‍ය මගින් සිදුවන බව පෙන්වා දුන් ඒ මහතා, සමාජ මාධ්‍ය තහනම් කිරීමට වඩා ඒවා පාලනය කිරීමට පියවර ගත යුතු බව ප්‍රකාශ කළේය.   


මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා කියා සිටියේ වර්තමානයේ සිදුවන ඩිජිටල් සන්නිවේදන සංවර්ධනය හරහා රටක ජනමාධ්‍ය සේම සමාජ මාධ්‍ය ද විනාශයට පත්වීමට ඉඩ නොදී යහපත් පැත්තකට හරවා ගැනීම පුවත්පත් මණ්ඩලවල වගකීම බවය.   
විදේශීය නියෝජිතයන් හට බංග්ලාදේශයේ නිර්මාතෘ ෂයික් මුජිබර් රහුමාන් අනුස්මරණ කෞතුකාගාරය සහ එරට ජාතික කෞතුකාගාරය නැරඹීමේ අවස්ථාව ද හිමි විය.   
මුජිබර් රහුමාන් මහතා බංග්ලාදේශයේ වත්මන් අගමැතිනි ෂෙයික් හෂිනාගේ පියාය. පාකිස්ථානයට අයත් නැගෙනහිර පාකිස්ථානය ලෙස හැඳින්වුණු බෙංගාලය පසුව පාකිස්ථානයෙන් නිදහස්ව බංග්ලාදේශය බවට පත්වන්නේ ෂෙයික් මුජිබර් රහුමාන්ගේ මෙහෙයවීමෙනි. නිදහස් බංග්ලාදේශයේ පළමු අගමැතිවරයා බවට පත්වූ ඔහු කුමන්ත්‍රණකරුවන්ගේ වෙඩි පහරකට ගොදුරුව මියයන්ගේ 1974 වසරේ පෙබරවාරි මස 21 වැනිදාය. ඔහු ඝාතනයට ලක් වූ නිවෙස අද එරට අනුස්මරණ කෞතුකාගාරයකි. බංග්ලාදේශ ජාතිකයන් මුජිබර් රහුමාන් මහතා සලකන්නේ තම ජාතියේ පියා ලෙසය.   


නිදහස දිනා නිල වශයෙන් බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුව වශයෙන් නම් කිරීමෙන් පසුව නව රාජ්‍යයට දුර්භික්ෂ, ස්වාභාවික විපත්, දරිද්‍රතාව, දේශපාලන කලබල හා යුදමය තත්ත්වයන්ට නිරන්තරයෙන්ම මුහුණ පෑමට සිදුවිය.   


වර්ග කිලෝමීටර් 147,570කින් යුත් බංග්ලාදේශය ලොව 7 වැනි ජනාකීර්ණ රට වේ. එසේම අධික ජනගහනයක් මෙන්ම අධික දිළිඳු ජන අනුපාතයක් පවතින රට ද වේ. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව මීටර් 10ක ප්‍රමාණයක වැඩිම ජනගහනයක් පදිංචි ලොව මුල්ම රටවල් පහ අතරේ පළමු වැනි ස්ථානය හිමි වී තිබෙන්නේ බංග්ලාදේශයටය. දෙවැනි ස්ථානය තායිවානයට ද, තෙවැනි ස්ථානය දකුණු කොරියාවට ද සිවුවැනි හා පස් වැනි ස්ථාන රුවන්ඩාවට හා හයිටි රාජ්‍යයට ද හිමි වී තිබේ.   
2017 වසරේ සංඛ්‍යාලේඛනවලට අනුව එරට ජනගහනය මිලියන 165 ද ඉක්මවා ගොස් තිබේ. බංගලාදේශයේ අගනගරය වන ඩකාහී පමණක් වෙසෙන ජනගහනය මිලියන 18 කි. ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 22ක් පමණ වන අතර මෙම දත්ත සංසන්දනය කර බැලීමෙන් ඩකා අගනගරයේ තත්ත්වය කෙසේදැයි අපූරුවට වටහාගත හැකිය.   
බංගලාදේශය මේ වනවිට ඒක පුද්ගල ආදායම අතින් ද මානව සංවර්ධනය, පාසල් අධ්‍යාපනය, සාහිත්‍යය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයෙන් ද ජනගහනය වර්ධනයෙන් ද දියුණුවක් ලබා සිටින රටකි. අධිජනගහනය රටක සංවර්ධනයට බාධාවක් බව කලකට පෙර සඳහන් වුව ද අධිජනගහනයම රටේ සංවර්ධනයට යොදාගත් රටකට හොඳම උදාහරණය බංග්ලාදේශය වේ.   


පුළුල් ලෙස පැතිරුණු ඇඟලුම් කර්මාන්තය   


විවිධ කර්මාන්තශාලා, ව්‍යාපාර, විදෙස්ගත ශ්‍රමිකයන් බංගලාදේශයට අද වනවිට විශාල ලෙස ආදායම් උපදවා දෙන අංශ වේ.   


මේ වනවිට බංග්ලාදේශයේ ඩකා අගනුවර ආශ්‍රිතව සුවිශාල තට්ටු ගොඩනැගිලි, සුපිරි වෙළෙඳසල්, අධිවේගී මාර්ග පද්ධති ඉදිවෙමින් තිබෙන ආකාරය අපට දැකගත හැකි විය. අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා එරට රජය විසින් වෙනම අමාත්‍යාංශයක් ද පත්කර තිබීම විශේෂ කරුණකි. වර්තමානයේ එරට පවතින අධික මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම අධිවේගී මාර්ග පද්ධති ඉදිවෙමින් පවතී.   


බංගලාදේශ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය හසන් මහමුද් මහතා පැවැසූ ආකාරයට 2009 වසර වනවිට කිසිදු පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් නොතිබුණ ද මේ වනවිට එවැනි රූපවාහිනී නාළිකා 400ක් පමණ බංග්ලාදේශය තුළ ක්‍රියාත්මකව පවතී. ඩකා අගනුවර ද ඇතුළුව රට පුරා මුද්‍රණය වන දිනපතා පුවත්පත් සංඛ්‍යාව 2000කට ආසන්නය. 2009 වසර වනවිට මිලියන 4ක්ව තිබූ එරට අන්තර්ජාල භාවිතය මේ වසර වනවිට මිලියන 80 ද ඉක්මවා ගොස්ය. 2009 දී මිලියන 4ක්ව තිබූ ජංගම දුරකථන භාවිතය මේ වන විට මිලියන 140 ඉක්මවා ගොසින්ය. සිම්කාඞ් භාවිතය ද මිලියන 150 කි.   


මෙම දත්තවලින් බංග්ලාදේශයේ වෙසෙන ජනගහනයේ තරම අපූරුවට වටහාගත හැකි වනු ඇත. මේ අධික ජනගහනය ඔවුන්ගේ සංවර්ධනයට විශාල බාධාවක් ද එල්ල කර ඇත. විශේෂයෙන්ම ඩකා අගනගරයේ සංවර්ධන කටයුතු සඳහා එහි වෙසෙන මිලියන 180ක සුවිශාල ජනකායෙන් බාධා එල්ල වී ඇත.   


පාලනය කිරීමට නොහැකි මේ සුවිශාල ජනගහනය හේතුවෙන් ඩකා අගනගරයේ සියලුම මාර්ගවල පෙරවරුවේ සිට රාත්‍රිය වනතුරුම පවතින්නේ අධික රථවාහන තදබදයකි.   
මේ අධික රථවාහන තදබදය නිසාම ඩකා අග නගරයේ රථවාහන නීතිය ක්‍රියාත්මක නොවේ. මාර්ග වර්ණ සංඥා, රථවාහන පොලිස් නිලධාරීන් නොතකා ගමන් කරන වාහන ඩකා නගරයේ සුලබ දසුනකි. මේ නීතිය නොතැකීම නිසාම නිරන්තරයෙන් වාහන එකිනෙක ගැටීම සිදුවේ. මේ නිසාම බඳ දෙපස තැළී පොඩිවී ගිය, විදුලි ලාම්පු, පැති කණ්ණාඩි හානියට පත් මගී ප්‍රවාහන බස් රථ, මෝටර් රථ, ත්‍රිරෝද රථ ඩකා අගනුවර සුලබ දසුනකි.   


මේ අනතුරුදායක තත්ත්වය නිසාම බස් රථ හැර සියලුම වාහන ඉදිරියෙන් හා පිටුපසින් ආරක්ෂිත බට සවිකරගෙන තිබෙන ආකාරය දැකගත හැකිවිය. ත්‍රිරෝද රථ සියල්ලම ආරක්ෂිත දැල් ආවරණයකින් වටකර ඇත.   


මේ අනතුරු සියල්ලටම හා අධික රථවාහන තදබදයට ප්‍රධානම හේතුව එරට ධාවනය කරවන රෝද තුනකින් සමන්විත ‘රික්ෂෝ’ වර්ගයේ මගී සහ භාණ්ඩ ප්‍රවාහන පාපැදියයි. ඩකා අගනගරය තුළ පමණක් ලක්ෂ 7කට වැඩි පිරිසක් මෙම වෘත්තියෙහි යෙදී සිටින බව පැවැසේ. වරක් මේවා අගනගරයෙන් ඉවත් කිරීමට යෝජනා වුව ද ඔවුන්ගෙන් යැපෙන පවුල් සංඛ්‍යාව සහ ලැබෙන ඡන්ද ප්‍රමාණය සැලකිල්ලට ගෙන රජය විසින් එම යෝජනාව ඉවත් කරගත් බව පැවැසේ. ඒ නිසාම පැය ගණන් එකම තැන රැඳී සිටීමට ඩකා නගරයේ රථවාහන පදවන්නන්ට දිනපතාම සිදුවීම දෙස බැලූවිට අප රටේ පවතින්නේ කුමන ආකාරයේ කුඩා රථවාහන තදබදයක් දැයි සිතේ.   


ක්‍රිකට් ක්‍රීඩාව නිසාම බංග්ලාදේශ ජාතිකයන් අප රටට දක්වන්නේ ඉමහත් ආදරයකි. ගෞරවයකි. ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක කුමාර් සංගක්කාරට දක්වන්නේ දැඩි ගෞරවයකි. අප ශ්‍රී ලංකාවෙන් යැයි පැවැසූවිට ‘සංගක්කාර කන්ට්‍රි’ යැයි පවසමින් බංග්ලාදේශ ජාතිකයන් අපට ලබාදුන්නේ උණුසුම් පිළිගැනීමකි.   


ක්‍රිකට් ක්‍රීඩාව තුළින් අප රටවල් අතර කෙතරම් සමීප සබඳතාවක් බිහිකර ඇත්දැයි අපට සිතුණි.

 

 


සටහන හා සේයාරූ
පුෂ්පකුමාර ජයරත්න