වෙල්ලස්සේ නිදහස් සටනේ සටන්කරුවෝ රදළයෝමද?


 

වෙල්ලස්සේ සටන රදලයින්ගේ සටනක් යැයි කීම දුටුගැමුණු රජුගේ සටන දස මහා යෝධයන්ගේ සටනක් යැයි කීම හා සමාන වූ අනුවණ කීමකි. විල්බාවේට එරෙහි කඩුවේදීද අනාවරණය වූ පරිදි ඉහළ රදලයින්ගේ දායකත්වයක් වී නම් ඒ කැප්පෙටිපොළ, මඩුගල්ලේ සහ ඇල්ලේපොළ වැනි නිළමේවරුන් කිහිප දෙනෙක් පමණි. ඒ හැරුණු විට සටනේ පෙරමුණ ගත් රදලයින්ගේ කුලීන බව ගැන සැකයක් නැතත් ඔවුන් රටේ රාල මොහොට්ටාල වැනි ප්‍රාදේශීය කුඩා තනතුරු දැරූ නායකයන් වූහ. උඩරට විශාලතම කුලය වූ ගොවි කුලය සටනේ වැඩි දායකත්වයක් දැරුවද, සෙසු සියලු කුලවල පුද්ගලයෝද සටන් පෙරමුණේ සිටියහ. සටන තුළ පංති හෝ කුල හෝ භේදයක් නොවීය. කැරැල්ලේ අභීත නායකයෙක් වූ හාමාපොළ දුරයා ගොවිගම වංශයේ නායකයෙක් නොවීය. ඔහුගේ මව වූ රන්කිරි සටන පැරද යන කැරැලිකරුවන් පාවා නොදී මරණය තෝරාගත් අභීත වීරවරියකි.


1818 නිදහස් සටන දුර්වල වෙමින් පැවතුණි. ඉංග්‍රීසීහු කොහුකුඹුරේ රටේ රාල වැනි සටන් නායකයින් සොයමින් වෙල්ලස්සේ ගම්මාන පීරමින් සිටියහ. ඒ අතර වෙල්ලස්සේ ගම් බිම් 
ගිනිබත් කරමින් ඉංග්‍රීසින් පැමිණි අතර සටන්කරුවෝ හා ගම්වැසියෝ ආරක්ෂිත ස්ථාන වෙත පසුබැස්සාහ. ජනප්‍රවාදයට අනුව බිබිල හාමාපොළ ගමේ ඉතිරිව සිටියේ රන්කිරි වැනි වියපත් ස්ත්‍රීන් කිහිප දෙනෙක් පමණි. හාමාපොළ දුරයාගේ නිවස වැටලූ සොල්දාදුවන් එය කොල්ලකා දුරයාගේ මහලු මව වූ රන්කිරි අත්අඩංගුවට ගෙන සිය ප්‍රධානියා වෙත ගෙන ගිය බව සඳහන් වේ. 


කැරැලිකරුවන් සැඟව සිටි තැන් ප්‍රශ්න කරද්දී ඇය පැවසුවේ “ඔවුන් ඉන්නා තැන තමන් දන්නා බවත්, එහෙත් කිසිසේත් නොකියන බවත්ය” අත්, කන්, නාසය කපා ගෙල සිඳ මරා දැමුවද රන්කිරි ගෙන් කිසිවක් හෙළිදරව් නොවීය. රන්කිරිගේ වීරත්වය හෙළ ඉතිහාසයේ විහාරමහා දේවි, සෝමා දේවීන් දැක් වූ වීරත්වයට දෙවැනි වන්නේ නැත.


බදුල්ලේ විදීගුනේ දඩුවරාවේයායේ පදිංචිව සිටි ඩිංගිරි අප්පු හා බාලප්පු රදල වංසිකයින් නොවේ. දුර්ග මාර්ගයකින් ඉංග්‍රීසින් කැඳවා ගෙන ගොස් පර්වතයකින් ඇඳ දැමීමට ඔවුන් කටයුතු කළ බව මුඛ පරම්පරා ගත කතා කියයි. සටනින් පසු දිගාමඩුල්ලේ මුල්ලේගම, පාදාගොඩ, ගල්ගමුව, නෙල්ලියද්ද වැනි ප්‍රදේශද මොනරාගල උඩික්කැපූආර, කොටියාගල, කහම්බාන හා නැගෙනහිර ප්‍රදේශයේ පානම වැනි ප්‍රදේශවලට පලා ගියේ සටන්වැද සිටි සාමාන්‍ය ජනතාවය. 1818 පෙබරවාරි 19වැනි දින රොබට් බ්‍රවුන්රිග් බැතර්ස්ටි වෙත යවන ලිපියේ සඳහන් කරන්නේ “ඌවේ දිසාව හැර සෙසු කිසිම උසස් බලවත් නිලමේ කෙනෙක් සිංහාසන අපේක්ෂකයාට මෙතෙක් එළිපිට පක්ෂව නොසිටින බව උතුමාණන්ට දක්වනු කැමැත්තෙමි” යනුවෙනි.


සටනින් පසු විල්බාවේට එරෙහිව පැවති නඩු විභාගයේදී කතරගම මහබෙත්මේගෙන් අසනු ලබන 23වැනි ප්‍රශ්නය වන්නේ “කැරැල්ල ඇති වෙන්නට කලින් බොරු රජ්ජුරුවන්ට උඩරට කිසියම් නිලමේවරුන්ගෙන් හෝ නායක හාමුදුරුවන්ගෙන් හෝ රහසිගත ආධාර ලැබුණාද? යනුවෙනි. මහබෙත්මේ පිළිතුරු දෙන්නේ “මම දන්නේ නැහැ” යනුවෙනි.


එම ප්‍රකාශවලින් පෙනී යන්නේ වෙල්ලස්සේ නිදහස් සටන බහුජන නැගී සිටීමක් මිස පුද්ගලයින් කිහිප දෙනෙකුගේ සටනක් විය නොහැකි බවය. එම ලිපියේම රොබට් බ්‍රවුන්රිග් සඳහන් කරන්නේ ඉන්දීය ආණ්ඩුවෙන් උපකාරී හමුදාවක් ලබා ගෙන මිස කැරැලිකරුවන් එකමුතු කරන වැඩවලට විරුද්ධව සටනක් ගෙන යෑම ඉතා අමාරු බවය. එපමණක් නොව වෙල්ලස්සේ ජනතාව ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව තම ගම් බිම් ධන ධාන්‍ය සම්පත් හැර දමා සටන් බිමට ගිය බව 1818 අප්‍රේල් 12 යවන ලිපියක මෙසේ සඳහන්ය.


“වෙල්ලස්සේද කලබල නැත. එහෙත් මරක්කල් මිනිසුන් හැර සෙසු සියලු දෙනා ඒ පළාත අත්හැර දමා වෙන පළාත්වල කැරැලිකරුවන්ට එකතු වී සිටිති” යනුවෙනි. උඩරට පුරා පැතිර ගිය සටන්වලට වෙල්ලස්සේ ජනතාව සහභාගි වූ ආකාරය මෙම ලිපියෙන් මනාව සනාථ වේ.


1818/07/07 වැනි දින ඛගෘග බුෂේගේ පොදු ආඥාවේ සඳහන් කරන්නේ උඩරට පළාත්වලට යවා ඇති හමුදා පිරිස ඔවුන්ට විරුද්ධව සටනට එන විශාල සංඛ්‍යාව හා සසදා බලන කල ඉතා සුළු බවය.


සටනේ නායකත්වය ගත් පිරිස් අතර, දඹගල්ලේරාල, වෙල්ලස්සේ මඩුගමේ රාල (මැදගමේ) කඳවින්නේ දිසාව (කැන්දවින්න) කඳවින්නේ මොහොට්ටාල, පල්ලේකිරුවේ මොහොට්ටාල, බකිනිගහවෙල උපසේකර මුදියන්සේ, බකිනිගහවෙල හීන්අප්පු ආදීන් ද වූහ. මොවුන් සියලු දෙනාද බිබිල අවට ප්‍රදේශවාසීන්ය. එසේම අලව්මුල්ලේ රාල, නක්කල මුදියන්සේ, බකිනිගහවෙල හීන්අප්පු, බකිනිගහවෙල මද්දුමරාල, බකිනිගහවෙල පුංචිරාල, ඊතණවත්තේ ගෙදර කපුරාල තවත් එවැනි බිබිල අවට සාමාන්‍ය ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකි.


සටනින් පසු යුද නීතිය යටතේ සිරගත කරන ලද සිරකරුවන්ගේ නාම ලේඛනය පරීක්ෂා කිරීමේදී වෙල්ලස්සේ මෙන්ම මුළු මහත් උඩරටම විවිධ ප්‍රදේශවල විවිධ කුල සහ සමාජ තරාතිරම්වලට අයිති පුද්ගලයින්ගේ නම් අනාවරණ වේ. මඩුල්ලේ අරුමා, නින්දේගම ඩිංගා, ජුවානිස්, පලියා මහදුරයා, කින්ඩි මැණිකා දුරයා, බදුල්ලේ කිරිනයිදා, කටුගහවෙල දුරයා, බදුල්ලේ ගණිතා, බදුල්ලේ වීදිගුනේ, දඩුඅරාවේ ඩිංගිරි අප්පු හා බාල අප්පු, හාමාපොල රන්කිරි, සුරලා, පුංචා වැනි අයට කැරලි ගැසීම, කැරලිකාර ගතිපැවතුම්, කුමන්ත්‍රණ. මහජන කැලඹිලි කතා පැවැත්වීම, යුද වැදීම, කැරලි ගැසීමට අනුබල දීම ආදී විවිධ චෝදනා යටතේ නඩු පවරා මරණ දඬුවම, සිර දඬුවම, කස පහර දීම වැනි දඬුවම් නියම කර ඇත. ඒ අතර හතර කෝරලේ රොඩී කුලයේ පිරිසකටද දඬුවම් පමුණුවා ඇත.


ඒ හැරුණුවිට දේවදියේ රටේරාල, හිග්ගහලන්දේ විදානේ ආරච්චි, මුදියන්සේ පුංචිරාල, ගම් ඇති රාල, මත්තමගොඩ නිලමේ, විදවල මුදියන්සේ, මඩුගස්තලාවේ බස්නායක රාල, මඩුගස්තලාවේ මොහොට්ටාල, බොරගොල්ලේ මොහොට්ටාල වැනි රදල මෙන්ම ගොවිගම කුලයේ සෙසු පිරිස්ද දඬුවම් කළ සිරකරුවන්ගේ ලැයිස්තුවේ සඳහන් වෙන පුද්ගලයින් රාශියකින් කිහිපදෙනෙකි. සෑම සමාජ තරාතිරම පුද්ගලයින් සටන් වැදුණු බව පෙනේ. එහෙත් උඩරට හැරුණු විට සෙසු ප්‍රදේශවල පුද්ගලයින් කිහිප දෙනෙකු හැරුණු විට ප්‍රදේශ හෝ සමාජ කණ්ඩායම් හෝ මෙම සටනට සහභාගි වූ බවක් නොපෙනේ.


ගොවිගම කුලේ නොවූ පිරිස් අතර පහත සඳහන් රණවිරුවෝද අමතක කළ නොහැකිය. 1818/11/14 ආඥා පත්‍රය අනුව කැරලිකරුවෙකු ලෙස නම් කර දේපල රාජසන්තක කළ අලුවෙල මහදුරයා එලෙසම කැරලිකරුවෙකු ලෙස නම් කර දේපල අහිමි වූ උඩකුඹල්වෙල කළුවා, උඩුවෙල දුරයා, කැටකෑලේ දුරයා. 1818/06/30 යුද්ධාධිකරණය මගින් බදුල්ලේදී මරණ දඬුවම නියම කර එල්ලා මරා දැමූ කිරිනයිදා 1818/08/26 වැනි දින පරණගමදී මරණ දඬුවම් නියම කළ කිරිනයිදා, 1818/07/02 මරණ දඬුවම නියම කළ කිරිමින්දා, කොළඹ සිර අඩස්සියේ රඳවා සිටි කෝලා 1818/08/25 දින පරණගමදී මරණ දඬුවම දුන් ගණිතා 1818/11/14 කැරලිකරුවෙකු ලෙස නම් කර දේපල රාජසන්තක කළ ගොඩමුන්නේ හංගිඩියා. තුප්පිටියේ බෙරවයන්නා 1818/05/06 වන දින ලුතිනන් කර්නල් මොෆෙට් විසින් මහනුවරදී පැවැත් වූ යුද්ධාධිකරණයේදී මරා දැමීමට තීරණය කර එම වසරේම 05/31 වැනිදා එල්ලා මරා දමන ලද පෑලව මහදුරයා එම වසරේම අගෝස්තු 28 වැනි දින මේජර් මැක්ඩොනල්ඞ් පරණගමදී යුද්ධාධිකරණයේදී මරණ දඬුවම දී එල්ලා මරා දමනු ලැබූ පුංචා, ඩග්ලස් විලසන් මරා දැමූ පුද්ගලයින් සිවු දෙනාගෙන් අයෙක් ලෙස මීගහපිටියේ රාල විසින් නම් කළ පොල්ගහවෙල බඩහැලයා, පුංචි හලුවා 1818/01/27 වැනි දින යුද්ධාධිකරණය මගින් මඩුල්ලේදී මරණ දඬුවම නියම කරන ලද එදිනම එල්ලා මරා දැමූ මඩුල්ලේ අරුමා, මුල්ලෙන්වරිගේ ගවලියා, 1818/11/24 ආඥා පත්‍රය අනුව කැරලිකරුවෙකු ලෙස නම් කරනු ලැබ දේපල රාජසන්තක කරනු ලැබූ ලුනුගල දුරයා, හිත්තරයා. වැනි විරුවන්ද ගොවිගම කුලේ අය නොවන බව පෙනේ.
මෙසේ ආදිවාසීන්ද, විවිධ කුලවල ජනතාවද පමණක් නොව විවිධ කුලවල කාන්තාවෝද වැඩවසම් සමාජයේ වුවද නිවසට වී නොසිටියහ. ජනප්‍රවාදයේ එන බූටෑවේ රටේරාලගේ දියණියද, හාමාපොළ රන්කිරිද, කන්දේකැටියේ රටේ රාලගේ සහෝදරියද, සටන්කරුවන් ඔටුනු පැලඳවූ විල්බාවේගේ බිසව වූවා යැයි සැලකෙ කොහුකුඹුරේ රටේරාලගේ සහෝදරියද ඉන් කිහිප දෙනෙකි.


සටනේ සමස්ත ජන සහභාගිත්වය විශේෂයෙන් වෙල්ලස්ස ප්‍රමුඛ උඩරැටියන් විය. එහෙත් කොළඹ උන්නාන්සේ, ගාල්ලේ උන්නාන්සේ වැනි ස්වාමීන් වහන්සේලාද, බඹරැන්දේ යාපා අප්පුහාමි වැනි පහතරැටියන් කිහිප දෙනෙක්ද නිදහස් සටනට උරදුන්හ.
මැලේ සහ මලබාර් ජාතිකයින් කිහිපදෙනෙක් වෙල්ලස්සේ සටන්කරුවන් හා එක්ව සිටි බව පෙනේ. මලබාර් ජාතික වෙළෙන්දෙක් වූ ක්‍රිෂ්ණා, මැලේ ජාතිකයෙක් බව පෙනී යන හේදර, සයිබු, කැප්පෙටිපොළට ආරක්ෂාව දුන් වෙලන්ගස්හින්නේදී යටත් වී ගාල්ලේ සිර අඩස්සියේ රඳවා තැබූ සෙයියදූ අසන් ඒ අතර වේ. 1818/11/01 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී මහනුවරදී අත්අඩංගුවටගත් කැප්පෙටිපොළගේ ආරක්ෂාවට සිටි වීරපත්‍රම් ඉන්දියානු ජාතිකයෙක් බව පෙනේ. රඝු, බොම්බායේ සිට පැමිණ කැරැල්ල අවස්ථාවේදී කැප්පෙටිපොළට ආරක්ෂාව සැපයූ මස්තෙල්ලේද මලබාර් වැසියකු වූ බීමා ද මැලේ ජාතික බාවා සයිගුද 1818/10/05 වැනි දින මහනුවරදී අත්අඩංගුවට පත් වූ මැලේ ජාතික පකීර් පූකි ද ඒ අතර වේ. 1818 ඔක්තෝබර් මස විල්බාවේගේ 
අනුගාමිකයන් සමූහයක් සමඟ සිටියදී අත්අඩංගුවට ගත් බාවා සයිගු විල්බාවේට සමාන ස්වරූපයක් ඇති අයෙක් බවද සඳහන් වේ. සෝගමෝලි වෛරමුත්තු චිට්ටි, කැරලිකරුවන් අතර මූලික ස්ථානයක් ගෙන ක්‍රියා කළ දෙමළ ජාතිකයෙක් බව එඞ්වඞ් බාන්ස් ආණ්ඩුකාරවරයා 1820 යවන ලද සංදේශයක සඳහන් වේ.

 

රෝහණ අනුර කුමාර හේරත්
මහාධිකරණ විනිසුරු - මහනුවර