වෙඩි වැදී මළ සිරුරෙන් ලේ ගලනු දුටු දරුවෙක්


පෙර භවයේ ප්‍රබල සාක්කි

 

පෙර භවය හෙළි කළ දරුවන් අතරින් මළසිරුර තිබූ අයුරු දුටු බැව් අනාවරණය වූ අවස්ථා පිළිබඳව පුනර්භව පර්​ෙ‌ය්ෂණවලදී හෙළි වේ. බොහෝ විට එවැනි ප්‍රකාශ අසන්නට ලැබෙන්නේ සිරුරට හානි සිදු වී ඇති ස්ථානවල උපන් ලපද පිහිටා තිබූ දරුවන් මගිනි. වෙඩි වැදීම් සහ පහරදීම් මගින් පෙරභව මරණය සිදුකර තිබූ අවස්ථාද එවැනි දරුවන් මගින් අනාවරණයවීම ද විශේෂත්වයකි.   


මීට වසර ගණනකට උඩදී තායිලන්තයේ දරුවෙකු මගින් හෙළි වූ අතිශය වැදගත් තොරතුරු රැසක් මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්​ෙ‌ය්ෂණ වාර්තාවකට ඇතුළත් කර ඇත. 1967 වසරේදී උපත ලද එම දරුවා නම්කර ඇත්තේ චන්න යනුවෙනි. තාරාවන් ඇති කළ ගොවි පොළක් පියාට හිමිව සිටි එම පවුලේ එකම පිරිමි දරුවා ලෙස ඔහු උපත ලබා තිබිණි. උපතින්ම එම දරුවාගේ හිසේ දෙපැත්තක පැහැදිලි උපන් ලප දෙකක් දක්නට ලැබිණි.   


වයස අවුරුදු තුනක් වන විට එම දරුවාට ඉතා හොඳින් කතා කිරීමේ හැකියාව ලැබී තිබිණි.   


‘මට මගේ දරුවොයි බිරිඳයි බලන්න යන්න ඕනෑ’ යැයි එම දරුවා ප්‍රකාශ කළ පළමු වදන වීය. දෙමාපියන් මවිතයට පත් කළ එම දරුවාගේ මෙම වදන ඔහුගේ පෙර භවය හෙළි කිරීමක් ලෙස පිළිගැනීමට දෙමාපියන්ට සිදුවිය. සති කීපයක් ඇතුළත එම දරුවා පෙරභව මතක සටහන් වරින් වර ප්‍රකාශ කරන්නට විය. ඔහු පෙර භවයේදී ගුරුවරයෙකු ලෙස සේවය කළ බවත් පෙරභවයේ නමත් ඔහු අනාවරණය කළේය. ඒ වනවිට ඔහු පදිංචිව සිටි ප්‍රදේශයත් එම දරුවාට ඉතා හොඳින් මතක තිබිණි.   


පාසල පිහිටි ප්‍රදේශය සහ පාසලේ නමද හෙළි කළ එම දරුවා ඔහුගේ මරණය සිදු වූ අාකාරයද පැහැදිලිව අනාවරණය කරනු ලැබුවේ පුදුමාකාර ලෙසටය. ‘‘එද‌ා මම ඉස්කෝලෙ යන විටදි මට වෙඩි තිබ්බා’’ යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය. වෙඩි තැබීම සිදු වූ අවස්ථාවද එම දරුවාට ඉතා හොඳින් මතක තිබිණි.   


‘මට වෙඩි තිබ්බෙ කව්ද කියල මම දන්නේ නැහැ. වෙඩි තිබ්බේ මගේ පිටුපස්සෙන් ඉඳල. වෙඩි වැදුණට පස්සෙ මාව පාරේ වැටුණා. පාරේ ලේ ගලාගෙන ගියා’’ යයිද ඔහු හෙළි කළේය. එම සිදුවීම පර්​ෙ‌ය්ෂණ වාර්තාවක සඳහන් කර ඇත්තේ මෙසේය.   


(I DON'T KNOW WHO SHOT ME BECAUSE HE SHOT ME FROM THE BACK. AFTERWARDS THOUGH I FELT MY SOUL LEAVING THE BODY. I COULD SEE MYSELF LYING ON THE ROAD. MY BLOOD WAS RUNNING ONTO THE ROAD).   


මේ අයුරින් මරණය පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කළ එම දරුවාට බිරියගේ නමත් දරුවන්ගේ නම් පිළිබඳවත් මතක තිබිණි. ඔහු ප්‍රකාශ කළ තොරතුරු ලිඛිතව සටහන් කිරීමෙන් පසු ඒ පිළිබඳව පූර්ණ පර්​ෙ‌ය්ෂණයක් සිදු කිරීමට මහාචාර්ය ස්ටීවන්සන් ඇතුළු පර්​ෙ‌ය්ෂකයන්ට අවස්ථාව ලැබිණි.   


අනතුරුව තායිලන්තයේ ජාතික පුවත්පතක් වූ THAI RAT නම් පුවත්පතද මෙම දරුවාගේ කතා පුවත 1978 මැයි 19 වැනිද‌ා දිගු ලිපියක් මගින් පළ කළේය.   
පෙර භවය පිළිබඳව එම දරුවා කළ ප්‍රකාශ පර්​ෙ‌ය්ෂණ වාර්තාවේ සඳහන් කර ඇති අයුරින්ම මෙහි දැක්වේ.   


පාසලට යන අතර පාරේදී වෙඩි තැබුවා.   
වෙඩි පහර හිස පිටුපසට වැදුණා.   
පාසලේ ඉගැන්වුවා   
බිරිය සිටියා   
බිරියගේ නම හෙළි කළා   
බුද්ධරූප සහිත මාලයක් තිබුණා   
නිවුන් දියණියන් දෙදෙනෙක් සිටියා   
දියණියන්ගේ නම් හෙළි කළා   
පියාගේ නම හෙළි කළා   


මෙම තොරතුරු අනුව පෙර භව නිවස සොයාගත් දෙමාපියෝ ඔහු අනාවරණය කළ ප්‍රදේශයට ගොස් විමර්ශනය කළහ. එහිදී මෙම දරුවා හෙළි කළ පරිදි එම ප්‍රදේශයේ පාසලේ සේවය කරමින් සිටි ගුරුවරයෙකු මහමගදී වෙඩි තබා ඝාතනය කළ සිදුවීමක් සොයා ගැනීමට හැකිවිය.   


පෙරභවයේ පුද්ගලයා විවාහක නිවුන් දැරියන් දෙදෙනෙකුගේ පියෙකු වී සිටියේය. ගුරු වෘත්තියේ යෙදී සිටි ඔහු නම් කර තිබුණේ කායි ලෙසටය. කායිගේ මිතුරෙකුට විරුද්ධව තිබු නඩුවකට ඔහු උදව් කරමින් සිටියේය. මේ නිසා ඔහුට විරුද්ධ සිටි අයෙක්ද විය. වෙඩි තැබීම සිදුවූ දිනයේ ඔහු බයිසිකලයෙන් පාසල වෙත යමින් සිටියේය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු තිස් හයක් වීය.   


බයිසිකලය පැදයන විට දී පිටුපසින් පැමිණි අයෙකු ඔහුගේ හිසට වෙඩි තැබීය. පිටුපසින් ඇතුළු වූ වෙඩි උණ්ඩය ඉදිරිපසින් පිටවී තිබිණි. එම අවස්ථාවේම ඔහු බිම වැටී මරණය සිදුවිය. මහා මාර්ගයේ රුධිරය ගලමින් සිටි ඔහුගේ සිරුර පොලිස් නිලධාරින් විසින් රෝහලක් වෙත ගෙන යන ලදි. එහෙත් ඔහු මරණයට පත් වී සිටියේය.   
මෙම තොරතුරු අනාවරණයවීමෙන් පසු පෙර භවය හෙළි කළ එම දරුවාට පෙර නෑයන් හමුවීමට අවස්ථාව ලැබිණි. පෙර භව නිවසට ගිය අවස්ථාවේ හඳුනාගැනීම් රැසක් සිදුවිය.   
එහි ප්‍රධානතම කරුණ වූයේ වෙඩි තබා ඝාතනය වූ ස්ථානය ඔහු විසින් නිවැරදිව පෙන්වාදීමය. ඔහුගේ දියණියක අඳුනාගෙන ඇගේ නම ප්‍රකාශ කිරීමටද එද‌ා එම දරුවාට හැකි වූයේ රැස්ව සිටි පිරිස පුදුමයට පත් කරවමිනි. අනතුරුව ඔහුගේ මිතුරෙකුවද නම කියා හඳුනාගැනීමට ද හැකි විය. මිතුරාට පෙන්වා ඔහු කව්දැයි එහි සිටි අයෙක් දරුවාගෙන් විමසීය.   


එම පුද්ගලයා දෙස මොහොතක් බලා සිටි එම දරුවා.   


‘‘එයා මගෙ හොඳ යාළුවෙක්. අපි ගොඩක් කල් ඉඳල යාළුවෝ’’ යයි පැවසූ ඔහු එම මිතුරාගේ නමද අනාවරණය කළේය.   


මෙම දරුවාගේ ගති සිරිත් අතර කුඩා කල සිට දක්නට ලැබුණු තවත් විශේෂත්වයක් වූයේ සමවයසේ දරුවන් කීප දෙනෙකු එක් වූ අවස්ථාවලදී ඔහු එම දරුවන්ගේ ගුරුවරයෙකු ලෙස ඉදිරිපත්වීමය. ඇතැම් විට කඩද‌ාසි කැබැල්ලක් අතට ගෙන එය ඉදිරිපත් කරමින් දරුවන් අමතන්නට වූයේ ගුරුවරයෙකුගේ හැසිරීම් රටාව අනුකරණය කරමිනි.   


මිනීමැරුම සිදු කළ පුද්ගලයා හමුවීමට කැමතිද යන්න වරක් ඔහුගෙන් පර්​ෙ‌ය්ෂකයෝ විමසා සිටියහ. එයට පිළිතුරු ලෙස ඔහු පවසා ඇත්තේ එම මිනීමැරුම සිදු කළ පුද්ගලයා ඒ වන විට පොලිස් වෙඩි පහරකින් මරණයට පත්වී ඇති බවකි.   


පෙරභවයේ ඔහු භාවිත කළ බුද්ධ රූප සහිත ඔහු පැලැඳි මාලයද ප්‍රබල සාක්කියක් ලෙස පිළිගැනීමට සිදුවිය. එම දරුවා පෙර භව නිවසට එද‌ා ගිය අවස්ථාවේ ඔහුගේ මාලය ඇතුළු ඔහු භාවිතා කළ අනෙකුත් භාණ්ඩ විමසා සිටියේය. ඇතැම් භාණ්ඩ ඉවත් කර ඇති බැව් මව පැවසුවාය.   


ඔහු පැලැඳි මාලයේ රූප තුනක් එල්ලා ඇති බැව් හෙළි කළ දරුවා එය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. එම මාලය නිවසේ තිබිණි. එහෙත් ඉන් රූප දෙකක් ඉවත් කිරීම නිසා ඒ වන විට එහි දක්නට තිබුණේ එක් බුදු රුවක් පමණි. මාලය දුටු සැනින් ඒ පිළිබඳව දරුවා කළ ප්‍රකාශය අතිශය වැදගත් විය. එනම් එහි තිබූ ‘‘අනෙත් බුදු රුව දෙක කෝ?’’ යැයි විමසීමය. එම මාලය තමා පැලැඳි මාලය ලෙස ඔහු විසින් පැහැදිලිව හඳුනාගනු ලැබුවේය.   


සිරුරේ හිසේ දක්නට තිබූ උපන්ලප පිළිබඳව සිදු කළ විමර්ශනයේදී පැහැදිලි කරුණක් සනාථ විය. එනම් එද‌ා වෙඩි පහර එල්ල වූ අවස්ථාවේ හිස පිටුපසින් ඇතුළු වී තිබූ වෙඩි උණ්ඩය ඉදිරිපසින් පිට වී තිබීමය. ඒ අනුවම දරුවාගේ හිස පිටුපසින් දක්නට ලැබුණු උපන් ලපය තරමක් කුඩා වී තිබූ අතර වෙඩි උණ්ඩය පිටවූ ස්ථානයේ කැළල තරමක් විශාලව දක්නට ලැබිණ.   


ඒ බැව් පර්​ෙ‌ය්ෂණ වාර්තාවක සඳහන් කර ඇත්තේ. (THE ENTRANCE WOUND WAS THE ONE ON THE BACK OF HIS HEAD AND A LAGER MORE IRREGULAR ONE ON THE FRONT THEY WERE BOTH HAIRLESS AND PUCKERED) යනුවෙනි.   


මරණින් පසු මළ සිරුර තිබූ අයුරු දුටු බැව් ප්‍රබල සාක්කි ලෙස ඉදිරිපත් වූ පුනර්භව සාධකයක් ලෙසද එම දරුවාගේ කතා පුවත වාර්තා වී තිබේ.   


තිස්ස ජයවර්ධන