වීදියේ බණ්ඩාර ද්‍රෝහියෙක්ද වීරයෙක්ද ?


ඉතිහාසය

 

වීදියේ බණ්ඩාර හෙවත් වීදියේ රජතුමා ලක් ඉතිහාසයේ වීර චරිතයකි. දක්ෂ සටන් කාමියෙකි. කෝට්ටේ බුවනෙකබා රජුගේ බෑණා මෙන්ම සේනාධිපතියාද විය. එහෙත් පසුව හේ පෘතුගීසින්ගේ හිරකාරයෙකු විය. උපායශීලීව හිරෙන් පැනගත් ඔහු පැළෑඳ නුවර ඉදිකර එහි රජු බවට පත්විය. එහෙත් සීතාවක රාජසිංහ හා පෘතුගීසි සහාය හමුද‌ා අතින් පරාජය වී උඩරට කරලියද්දේ වෙත පලා ගියේය. සීතාවක මායාදුන්නේ විසින් පණිවිඩ යවා උඩරටින් ද නෙරපූ වීදියේ බණ්ඩාර හත් කෝරළයට පැමිණ එහි රාජ්‍යත්වයට පත් විය. 


එහෙත් සීතාවක රාජසිංහගේ බලගතු සේනා පැමිණ මුණ්ඩකොණ්ඩපොළ (හත් කෝරළය) රාජධානිය විනාශ කිරීමත් සමඟ වීදියේ බණ්ඩාර අප්‍රකට වේශයෙන් යාපනයට පලා ගියේ යාපන පාලකයාගේ උදව් ඇතිව පෘතුගීසින්ට විරුද්ධව සටන් කිරීම සඳහා ක්‍රියාමාර්ගයක් ගැනීමටය. එහෙත් අවිශ්වාසය නිසා දෙපිරිස අතර වූ සටනකින් වීදියේ බණ්ඩාරගේ මරණය සිදුවිය. යාපනයේදී ඔහුගේ සුළු භට පිරිස විසින් සිදුකළ එම සටන් අද්විතීය එකක් විය. 


රාජාවලිය ග්‍රන්ථයට අනුව වීදියේ බණ්ඩාර මාදම්පේ විසූ තනියාන්වල්ල රජුගේ දියණියගේ පුත්‍රයා ය. රාජාවලියේ සඳහන මෙසේය. 


‘මාදම්පේ සිටිය තනියවල්ල රජුගේ දියණිය වූ සමුද්‍ර‌ාදේවි සොලී රජෙකුට ජාතක කර වීදියේ අදහසින්, තම්මිට අදහසින් යන කුමාරවරුන් දෙදෙනෙකු වැදූ බවත්’ 
(රාජාවලිය සංස් එ්.වි. සුරවීර පි 93) 


අලකේශ්වර යුද්ධය ග්‍රන්ථයට අනුව වීදියේ බණ්ඩාරගේ විරුද නාමය ‘කුට්ටරායකන්ඩන් තනියාන්වල්ලන් ඒකාංග වීරන් මදියානු මන්ත්‍රන්’ විය. නමින් ම ඇගෙන පරිදි මෙන්ම ක්‍රියාවෙන්ම ඔහු දක්ෂ සටන්කරුවෙකි. උපායෙහි දක්ෂයෙකි. දැඩි පෘතුගීසි විරෝධියෙකි. එහෙත් අවස්ථාවෝචිත පරිදි පෘතුගීසින් මෙන්ම සිය විරුද්ධවාදීන්ගේ ද සහාය ලබාගන්නෙකි. 


කෝට්ටේ බුවනෙකබාවන් මෙන්ම වීදියේ බණ්ඩාරයන් ද පැවැතෙන්නේ හයවැනි බුවනෙකබාහු ලෙස කෝට්ටේ රාජ්‍යත්වයට පත්වූ සෙබ්බගබ්බ පෙරුමාල් හෙවත් සපුමල් කුමරුගේ යුගයේදී මෙරටට පැමිණි අරුප්පුඩි හින්නාඩු මුඩින්න පෙරුමාල්ගේ පරම්පරාවෙනි. සිංහල රාජවංශය වූ ලම්භකර්ණ වංශය වනසා මෙරට රාජ්‍යත්වයට පත් වූ මෙම හයවැනි බුවනෙකබාවන්ට විරුද්ධව සිංහලයින් විසින් දියත් කරන ලද සටන සිංහල සංගේ (සිංහල සංග්‍රාමය) නමින් දැදිගම පුවරු ලිපියේ සඳහන් වෙයි. 


තුඩුගල ධම්මජෝති හිමිගේ තුඩුගල විසිද‌ාගම බණ්ඩාරවලිය සහ ලීලසේන මහතාගේ පැරණි දෙවුන්දර විත්ති පොතේ සඳහන් වන පරිදි හයවැනි බුවනෙකබා රජුගේ කාලයේදී සොලී පිරිස් නැව් හයකින් දෙවුන්දරට පැමිණි බව ද ‘අරුප්පුඩි තින්නාඩු තිනත්ත මුඩිත්ත පෙරුමාල්’ එහි ප්‍රධානියා බව ද සඳහන් කර ඇත. 


 හයවැනි බුවනෙකබාවන් විසින් පසුව මොහුගේ පුත්‍රයා වූ තිනත්ත මුඩිත්ත පෙරුමාල් හට පස්​ෙ‌යාදුන් කෝරළයේ ගම්බිම් සහ ‘තෙන්නකෝන්’ යන නාමය ද සන්නසක් මගින් ප්‍රද‌ානය කරන ලද බව අභයරත්න බණ්ඩාර මහතා විසින් රචිත ‘සෙංකඩගල රාජධානියේ බිඳ වැටීම’ නම් වූ ග්‍රන්ථයේ සඳහන් වෙයි. ඉන්පසු මෙම තින්නාඩුවරු තෙන්නකෝන්වරු බවට පත්වූහ. 


තුඩුගල විසිද‌ාගම බණ්ඩාරවලියට අනුව ධම්මජෝති හිමිගේ පියා මෙන්ම සෙබ්බගබ්බ පෙරුමාල්ගේ (හයවැනි බුවනෙකබා) සියා එනම් පණික්කර් (පසුව පණික්කි මුදලි) සහෝදරයින් බව සඳහන් කර ඇත. සිංහල සංගේ හෙවත් සිංහලයින් විසින් මොවුන්ට විරුද්ධව සිදුකළ සටනේදී මියගිය අරුප්පුඩි තින්නාඩු මුඩිත්ත පෙරුමාල් පසු කාලයේදී සතර කෝරළයේ මහා දෙවියා බවට පත්කර ගත්හ. මෙම පරපුරේ තවත් සාමාජිකයෙකු මහණ වූ බව නම්පොත හෙවත් විහාර අස්නෙහි සඳහන් කර ඇත්තේ මෙසේය. 
‘.... සුප්‍රසිද්ධ වීද‌ාගම මෛත්‍රිය මහා ස්ථවරයන් වහන්සේ වැඩසිටියේ මේ ස්ථානයෙහිය. මේ කාලයේදී සොළී රටින් පැමිණ වීද‌ාගම පදිංචිව සිටි තෙන්නකෝන් තිනන්ත මුඩිත්ත පෙරුමාලුන්ගේ පුත්‍ර අරමුඩිත්ත පෙරුමාලුන්ගේ පුත්‍ර සොළී කුමාරයෙක් මහණ උපසම්පද‌ා ලැබ බුද්ධඝෝෂ නමින් ප්‍රසිද්ධව මේ වීද‌ාගම විහාරස්ථානයෙහි සිටියේය.’ 
(නම් පොත හෙවත් විහාර අස්න, වීද‌ාගම විහාරය පි-179-180) 


රාජ වෛද්‍ය ඩී.ඇම්. උභයෂේකර් මහතා විසින් බු.ව. 2477 දී ලියා පළකරන ලද ‘ශ්‍රී ලංකාද්වීප වර්ණනා’ නම් වූ ග්‍රන්ථයට අනුව තෙන්නකෝන් තිනන්ත මුඩිත්ත පෙරුමාල් කෝට්ටේ රාජ්‍යත්වයට පැමිණියේ වීර පරාක්‍රමබාහු නමින් බවත් ඔහු හයවැනි බුවනෙකබාවන්ගේ (සෙබ්බගබ්බ පෙරුමාල්) සහෝදරයා බවත් සඳහන් කර ඇත්තේ මෙසේය. 
‘ලංකාවේ හයවැනි බුවනෙකබාහු රජුගේ කාල සීමාව පටන් ඔහුගේ සහෝදර වූ වීර පරාක්‍රමබාහුගේ කාලය අතර තොටගමුවේ රාහුල හාමුදුරුවන්ට සහ උන්වහන්සේගේ නිකායේ සියලුම සංඝයාට රාජ්‍ය භය පැමිණීමෙන් වනගත වන්නට සිදු වූ බවත් කඳු හෙල්වල විසූ බැවින් කන්දේ ඇත්තන් යැයි ප්‍රසිද්ධ වූ අය එම සංඝයා වහන්සේට පින් සළකා නොයෙක් උපස්ථාන කළ බවත් වීද‌ාගම හිමියන් මෙන්ම තොටගමුවේ රහල් හිමියන් ද අයත් වූයේ ආරණ්‍යවාසී අභයගිරි විහාර පාර්ශ්වයටය’ 


ද කූතෝ බාරෝස්, ඇන්ටෝනියෝ බකාරෝ වැනි පෘතුගීසි ලේඛකයින්ගේ ලේඛන මෙන්ම පරංගි හටන සහ කොන්ස්තන්තීනු හටන වැනි ග්‍රන්ථයක්ද මූලාශ්‍රය කර ගනිමින් රිබෙයිරෝ විසින් පෘතුගීසි බසින් ලියන ලදුව පෝල් ඊ පීරිස් මහතා විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කොට ක්‍රි.ව. 1909 දී ප්‍රකාශයට පත්කරන ලද 'History of Ceilao' ග්‍රන්ථයට අනුව වීදියේ බණ්ඩාර අයත් වන්නේ මෙම වීර පරාක්‍රමබාහු පරපුරටය. ඒ පිළිබඳ සඳහන පහත සඳහන් පරිදි වේ. 


 ‘වීර පරාක්‍රමබාහු (1471 - 1495?) රජු හට පුතුන් හතර දෙනෙකු විය. ඔවුන් නම් ධර්ම පරාක්‍රමබාහු (1495 - 1518?) තනියාන්වල්ල කුමරු, විජයබාහු රජු (1518 - 1525?) සහ ශ්‍රී රාජසිංහ කුමරුය. තනියාන්වල්ලගේ දියණිය සොළී කුමරෙකුට ජාතක කර වැදූ කුමාරවරු දෙදෙනෙකි. ඔවුන් නම් වීදියේ බණ්ඩාර සහ තම්මිට සෙම්බහප්පෙරුමාල්ය’ 
 ශ්‍රී රාජසිංහ කුමරුගේ පුත්‍රයා කෝට්ටේ රජ වූ බුවනෙකබාහු විය. (1525 - 1551?) ඔහුගේ දියණිය වූ සමුද්‍රා දේවිය හෙවත් සමුද්‍රා සල්පදෙ‌ා්රු කුමරිය විවාහ වූයේ වීදියේ බණ්ඩාර සමඟය. වීදියේ බණ්ඩාර සහ සමුද්‍රා සල්පදෝරු යන දෙපොළගේ පුතුන් දෙදෙනා වූයේ විජයපාල ආස්ථාන සහ ධර්මපාල කුමරුය. බාල කුමරු ධර්මපාල රජ වූයේ දොන් ජුවන් ධර්මපාල යන නමිනි. (ක්‍රි.ව. 1551 - 1597?) 


 මෙම පෘතුගීසි ලේඛකයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම පෙළපත් සටහන් ඔහු උපුටා ගන්නා ලද්දේ ප්‍රසිද්ධ නොකරන ලද පැරණි පුස්කොළ පොතක් ඇසුරින් බවයි. මෙහි සඳහන් රාජ්‍ය වර්ෂ ලේඛකයා විසින් අනුමාන වශයෙන් දක්වා ඇති බව පෙනේ. තෙන්නකෝන් තිනත්ත මුඩිත්ත පෙරුමාල් අටවැනි වීරපරාක්‍රමබාහු ලෙස රාජ්‍යත්වයට පත් වූ බව මෙම විස්තරවලින් හඳුනා ගැනීම අපහසු නොවේ. 


 ලංකාව එක්සේසත් කළ අවසන් සිංහල නරවරයා වූ හය වැනි පරාක්‍රමබාහුගේ රාජ්‍ය කාලය වසර පනස් පහකි. ඔහුගෙන් පසු සිය දියණිය වූ උලකුඩය දේවිය නොහොත් ලෝකනාථා කුමරිය විවාහ වූයේ අම්බුළුගල කුඩා කුමරු ලෙස හැඳින් වූ සේනාසම්මත වික්‍රමබාහු සමඟය. ඔහු හතර වැනි වික්‍රමබාහු රජුගේ පුත්‍රයාය. මෙම දෙපොළගේ පුත්‍රයා වූ ශ්‍රී සඟබෝ ශ්‍රී ජයවීර පරාක්‍රමබාහු කෝට්ටේ රාජ්‍යත්වයට පත් වූ ආකාරය ‘සීතාවක රාජසිංහ රාජජේ කාලය’ ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත්තේ මෙසේය. 


‘කෝට්ටේ රජ පැමිණි ශ්‍රී පරාක්‍රමබාහුගේ දියණිය වූ උලකුඩය යන දේවීන්ගේ පුත්‍ර වූ ජයවීර කුමාරයන් ජයබානු නමින් රාජ්‍යයට පැමිණියහ.’ 


එහෙත් මේ වන විට හය වැනි පරාක්‍රමබාහු රජු විසින් යාපනයේ පාලකයා ලෙස පත්කර සිටි සෙබ්බගබ්බ පෙරුමාල් හෙවත් සපුමල් කුමරු යාපනයේ සිට පැමිණ ජයවීර පරාක්‍රමබාහු මරා දමා හය වැනි බුවනෙකබාහු නමින් කෝට්ටේ රාජ්‍යත්වයට පත්විය. ඒ අනුව ජයවීර පරාක්‍රමබාහුගේ රාජ්‍ය කාලය වසර දෙකකට සීමා විය. 
සෙබ්බගබ්බ පෙරුමාල් හය වැනි පරාක්‍රමබාහු රජුගේ රජ මාළිගයේ සේවය කළ පණික්කර් නමැත්තාගේ පුත්‍රයාය. මොහුට විරුද්ධව සිංහලයින් ගෙන ගිය සංග්‍රාමයේදී හය වැනි බුවනෙකබාවන් සටන් බිමේදී මියගිය අතර ඒ අනුව ඔහුගේ රාජ්‍ය කාලය වසර හතකට සීමා විය. එච්.සී.පී. බෙල් මහතා සිය කෑගලු වාර්තාවේ ඒ බව සඳහන් කර ඇත්තේ මෙසේය. 


‘මේ කුමාරයා හය වන බුව​ෙනකබාහු (ක්‍රි.ව. (1464 - 71) නමින් රජ විය. සත් වසරක රාජ්‍යත්වයෙන් පසු සිය බෑනාගේ ද උදව් ගෙන බිහිසුනු කැරැල්ලක් මැඩ පැවැත්වීමට ගොස් එහිදී මිය ගියේය. අනතුරුව මියගිය රජු විසින් ඇති දැඩි කොටගත් ජයවීර පරාක්‍රමබාහුගේ පුත්‍රයා වූ හත්වන පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි.ව. 1471 - 85) සිහසුනට පත් විය.’ 
හය වැනි බුවනෙකබාවන්ට පසුව රජ වූයේ ශ්‍රී සඟබෝ ශ්‍රී ජයවීර පරාක්‍රමබාහු විසින් ඇති දැඩි කළ ඔහුගේ පුත්‍රයාටය. සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය ග්‍රන්ථයෙහි සඳහන මෙසේය. 


 ‘.... ඉක්බිති එ රජ ඇති කළ කුමාරයෙක් පණ්ඩිත පරාක්‍රමබාහු නම් රජ පැමිණියහ. එකල්හි අඩුලුගල රජ ගොස් පණ්ඩිත පරාක්‍රමබාහු රජ මරා වීර පරාක්‍රමබාහු නමින් රජව විසිද‌ෑ අවුරුද්දක් රජ කළහ....’ 


රිබෙයිරෝ විසින් වීර පරාක්‍රමබාහු ලෙස සඳහන් කරන්නේ තින්නාඩු තිනත්ත මුඩිත්ත පෙරුමාලුන්ය. ඔහු අරුප්පුඩු තින්නාඩු මුඩිත්ත පෙරුමාලුන්ගේ පුත්‍රයාය. හයවන බුව​ෙනකබාවන්ගේ ඥ‌ාති සොයුරාය. කෝට්ටේ හයවන බුව​ෙනකබාවන් මොහුට ‘තෙන්නකෝන්’ යන නාමය සහ පස්යොදුන් කෝරළයේ ගම්බිම් ප්‍රද‌ානය කරන ලද ආකාරය දැක්වෙන සන්නස මෙසේය. 


‘...... පස්යොදුන් කෝරළය බද පාවාකඩට හිමි අදරාවල හා බස්නාහිරින් කොමලවත්තේ ඔය හා උතුරාජෝත්තමයාන් වහන්සේට අවුරුදු එකකට පඬු රට පනම් තෙන්නකෝන් තිනත්ත මුඩිත්ත පෙරුමාලුන්ගේ දරු මුණුබුරු එපවතිනා පනතට සලස්වා පත් ලියා දෙන්නේ යැයි ජයවර්ධනපුර කෝට්ට... ධවලාන පත්‍ර මකර තොරණාදියෙන් ශෝබමාන වූ සිංහාසනාරූඨ ශක්‍ර රුන්මැදව වද‌ාළ මෙහෙවරින් මේ නාම්බු පත්‍රය පවරා දුන් බවට...’ 


(අභයරත්න බණ්ඩාර සෙංකඩගල රාජධානියේ බිඳවැටීම පි - 25) 


වීර පරාක්‍රමබාහු කොළඹ කෝට්ටයේ රජ වීමත් සමඟ ඔහුගේ පුත් ධර්ම පරාක්‍රමබාහු සතර කෝරළයේ අම්බුළුගල නුවර යුව රජු බවට පත් විය. වීර පරාක්‍රමබාහු රජුගේ වසර විසි දෙකක් වූ රාජ්‍ය කාලය ක්‍රි.ව. 1485 - 1507) බව පැහැදිලිය. 


මෙම රජුට පසුව රාජ්‍යත්වයට පත්වන්නේ ශ්‍රී සංඝබෝධි ශ්‍රී ජයවීර පරාක්‍රමබාහුගේ දෙවැනි පුත් ජයබා කුමරුය. සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය ග්‍රන්ථයේ ඒ බව සඳහන් කර ඇත්තේ මෙසේය. 


‘.... ඉක්බිති ඒ රජ ඇති කළ ජයබා නමැති කුමාරයෙක් පණ්ඩිත පරාක්‍රමබාහු නම් රජ තුන් මසක් රජ කළහ. මොහු සිරිවර්ධන පතිරාජ කූරගම හිමියාන ගණවැසි රැකවරණ ලැබූහ...’ 


සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය කතුවරයා ජයබා කුමරුගේ රාජ්‍ය කාලය මාස තුනක් ලෙස සඳහන් කළ ද මෙම රජතුමා විසින් නිකුත් කළ සන්නස් මගින් පැහැදිලි වන්නේ ඔහු වසර විසිපහක පමණ කාලයක් රාජ්‍යත්වය උසුලන ලද බවය. එසේම මොහු රාජ්‍යත්වයට පත්ව ඇත්තේ ක්‍රි.ව. 1510 දී බව එම සන්නස්වලින් පැහැදිලි වෙයි. 


මෙම රජතුමා කොළඹ කෝට්ටයේ සිට ක්‍රි.ව. 1514 දී නිකුත් කරන ලද සන්නසක් දෙවුන්දරින් හමු වී ඇත. තමා රාජ්‍යත්වයට පත් වී වසර හතරකට පසු එය නිකුත් කරන ලද බව එහි සඳහන්ය. එහි තමා හඳුන්වා ඇත්තේ ශ්‍රීමත් සිරිසඟබෝ ශ්‍රී විජයබාහු චක්‍රවර්ති ස්වාමින් වහන්සේ යනුවෙනි. ඒ අනුව මෙම රජු හය වැනි විජයබාහු නම් වූ සිංහල නරවරයා බව පැහැදිලිය. ඔහුගේ රාජ්‍යත්වයෙන් දසවැන්නේදි දෙවුන්දර දේවාලයට ගම්වරයක් සහ ගම් මුදලක් පවරා දීම වෙනුවෙන් ඔහුගේ රාජ්‍යත්වයෙන් දසවැන්නේදී එනම් ක්‍රි.ව. 1520 දී නිකුත් කරන ලද තඹ සන්නසක් හමු වී ඇත. 


පෘතුගීසින් ලංකාවට ගොඩබටුයේ ක්‍රි.ව. 1505 දීය. මුස්ලිම් වෙ​ෙළඳුන් පිරිසක් පසුපස හඹා ගිය ඔවුන් ගාලු වරායට ගොඩබටහ. මෙරට අගනුවර කොළඹ බව දැනගත් ඔවුන් අනතුරුව කොළඹට පැමිණියහ. ධර්ම පරාක්‍රමබාහු ප්‍රමුඛ සොළී පිරිස් සමඟ හොර රහසින් ඇතිකර ගත් ගිවිසුම් අනුව පෘතුගීසින් මෙරට නිත්‍ය පදිංචිය ඇති කර ගත්තේ ක්‍රි.ව. 1526 දී ය. ඒ වනතෙක් ජයබා කුමරු මෙරට රාජ්‍යත්වය දැරූ බව පැහැදිලිය. 


රිබෙයිරොගේ 'History of Ceilao' ග්‍රන්ථයට අනුව වීර පරාක්‍රමබාහුගේ පුත් ධර්ම පරාක්‍රමබාහුට පසුව රාජ්‍යත්වයට පත්වන්නේ ධර්ම පරාක්‍රමබාහුගේ මලණුවන් වූ විජයබාහුය. සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය ග්‍රන්ථයේ ඒ බව සඳහන් කර ඇත්තේ මෙසේය. 


‘.... ධර්මසේන කුමරතෙම ධර්ම පරාක්‍රමබාහු නම් රජව පස්විසි අවුරුද්දක් රාජ්‍යය කළහ. ඒ රජහුගේ මලණු වූ තනියාන්වල්ල, සකලකලාවල්ල රජුය. ශ්‍රී රාජසිංහ රජුය. සැක්‍රායුධ රජුය. යන මේ සතර දෙනා අතුරින් රයිගම රජ වූ බාල සැක්‍රායුධ කුමාරතෙම විජයබාහු නමින් රජවූහ....’ 


රාජාවලිය සඳහන් කරන්නේ. 


 ‘ධර්ම පරාක්‍රමබාහු රජ උකුත් වූවාම මහා සේනාව හා මන්ත්‍රීවරු උසාවි කරගෙන නුවරින් පිටත්ව උඩුගම්පොළට ගොසින් සකලාකලාවල්ල රජ්ජුරුවන් වැඩමවාගෙන ජයවර්ධන නුවරට ඇවිදින් මහ රජකමට ආරාධනා කළ විට... බාල විජයබාහු රජ නුවරට ගෙන්නවාගෙන ඔටුනු පළඳවා විජයබාහු නම් තබා සිංහාසන ප්‍රාප්ත කොට....’ 


(රාජාවලිය සංස්. ඒ.වී. සුරවීර පි - 92) 


රාජාවලිය සංස්කාරක මහාචාර්ය ඒ.වී. සුරවීර මහතා සඳහන් කරන්නේ චක්‍රායුධ හා සකලකලාවල්ල යන නම් දෙකින් එක් අයෙකුම අදහස් වන බවය. පෘතුගීසින් චක්‍රායුධ ලෙස ද, සීතාවක රාජසිංහ රාජ්ජ කාලය කතුවරයා සැක්‍රායුධ ලෙස ද සඳහන් කරන්නේ සකලකලාවල්ල රජුය. මොහු රාජ්‍යත්වයට පත්කරන ලද්දේ කෝට්ටේ හයවන විජයබාහු හෙවත් සිංහල ජයබා කුමරුට පසුව නිසා සකලකලාවල්ල රජු සැබැවින්ම හත්වන විජයබාහු රජුය. 


රිබෙයිරෝගේ History of Ceilao ග්‍රන්ථයට අනුව වීර පරාක්‍රමබාහුගේ දරුවන් හතර දෙනා ධර්ම පරාක්‍රමබාහු, තනියාන්වල්ල, විජයබාහු සහ ශ්‍රී රාජසිංහ වේ. ශ්‍රී රාජසිංහ රජුගේ පුත්‍රයා බුවෙනකබා රජුය. රාජාවලිය, අලකේශ්වර යුද්ධය මෙන්ම ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසයකරුද සඳහන් කරන්නේ විජයබාහු රජුගේ පුතුන් තිදෙනා පිය රජු මරා රාජ්‍යය පැහැරගත් බවය. රිබෙයිරෝ සිය ග්‍රන්ථය සඳහා ලබාගත් මූලාශ්‍ර නිවැරදි නම් විජයබාහු මරන ලද්දේ ශ්‍රී රාජසිංහගේ පුතා වන බුව​ෙනකබාවන්ගේ දරුවන් විසිනි. 


හත්වන විජයබාහු (1518-1525?) මරා ශ්‍රී රාජසිංහගේ පුත් බුවනෙකබාහු (1525 - 1551) රාජ්‍යත්වයට පත්කරන ලද බවය. මෙම බුවනෙකබාවන්ගේ දියණිය වූ සමුද්‍රා දේවිය නොහොත් සමුද්‍රා සල්පදෝරු විවාහ වූයේ වීදියේ බණ්ඩාර සමඟය. මෙම දෙපොළට දරුවන් දෙදෙනකු ලැබුණි. වැඩිමලා විජයපාල අස්ථාන විය. දෙවැන්නා ධර්මපාල කුමරු විය. ඔහු රජවූයේ දොන් ජුවන් ධර්මපාල යන නමිනි. සීතාවක රාජසිංහ රාජ්‍ය කාලය ග්‍රන්ථයේ සඳහන් වන්නේ වීදියේ බණ්ඩාරගේ බිසව වූ සමුද්‍රා සල්පදෝරු යක්ෂ අවනතියකින් මරණයට පත් වූ බවය. 


‘...... ධර්මපාල රජුගේ මෑණියන් වූ වීදියේ බණ්ඩාර රජ්ජුරුවන් කෙරෙහි වැඩ උන් සමුද්‍රා දේවිය නොහොත් සමුද්‍රා සල්පදෝරු නම් වූ කුඩා බිසෝ අදහස ශත වර්ෂ එක්වාදහස් හාරසිය හැත්තෑ පහක් වූ වෙසඳපුර දියවක ලත් සඳු දින උදය තුන් පැයට යක්ෂ අවනතියකින් උතුන් වූ බව දත යුතුයි.’ මෙය කිතුවසින් 1554 වේ. 


ආක්‍රමණික පෘතුගීසින් සිංහලයා සහ සිංහල රජ පරපුර විනාශ කිරීමට යොද‌ා ගත්තේ ධර්ම පරාක්‍රමබාහුලා සහ බුවනෙකබාහුලා වැනි සොළී පාලකයින්ය. මොවුහු මාරුවෙන් මාරුවට සිය බලය රැකගැනීම සඳහා පෘතුගීසින්ගේ සහාය පැතූහ. කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජු සතුව විශාල නාවික බලයක් තිබුණි. අලකේශ්වර යුද්ධය ග්‍රන්ථයේ එ් පිළිබඳ සටහනක් මෙසේය. 


‘ඉක්බිති මේ මහරජතෙම නැවත බඩු පටවා වෙළද‌ාමට ඇරිය තැන අදිරාවීරපට්ටනමෙහි රායංමලවරා කියන එකෙක් නැව හා බඩු උදුරා ගත්තා යැයි යනු අසා නැව් සිය ගණනක් මකුලන්කෝට්ටය ඇතුළු වූ පටුනු ගම් සතකින් අය පඬුරු ගෙන්නා ගත්තාහ.’ 


මෙම කාලය වන විට ලංකාවේ වෙරළ තීරය වෙළඳ නැව් සහ යුද නැව් නිපදවීමේ මහා පරිමාණ මධ්‍යස්ථානයක්ව තිබුණි. ධර්ම පරාක්‍රමබාහු විසින් ඇතුන් දහදෙනෙකු සහ වටිනා මුතු මැණික් දී පෘතුගීසින් පිළිගන්නා ලදී. බුවනෙකබාහු ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීමේ කාර්ය පෘතුගීසින්ට බාර දීමටත් එ් සඳහා වසරකට කුරුඳු බහාර් 400 ක් එනම් ටොන් 80 බැගින් ඔවුනට වාර්ෂිකව කප්පම් ගෙවීමටත් එකඟ විය. පෘතුගීසින් සිංහලයාගේ නැව් ඔවුන් වෙත පවරාගෙන නාවික බලය මෙන්ම සිංහල නාවික ශිල්පීන්ද යටත් කරගත්හ. 


එම නාවික බලය උපයෝගී කරගනිමින් කෝට්ටේ රජුට පූර්ව දැනුම් දීමකින් තොරව වෙළඳ බඩු පමණක් නොව අපනයනය කිරීම තහනම් වූ වටිනා කෞතුක භාණ්ඩ ද මිනිස් ජාවාරම මෙන්ම වහල් ජාවාරම සඳහා මෙරට වැසියන් බලයෙන් ගෙනයන ලද ආකාරය රිබෙයිරෝ සඳහන් කර ඇත්තේ මෙසේය. 


'Several Ships have Left The Harbors of Ceilao with a large Number of boys and girls and Slaves stolen From their parents and Masters and Also Much Cinnamon and Other Forbidden Articles it is Hereby Orded That all Slips Desiring to Leave Should First Notify the King of Ceilao.....' 


මෙපමණක් නොව දකුණ ඉන්දියාවේදි කිතු සමය ගන්වා බොහෝ ද්‍රවිඩ පිරිස් මලබාර් වෙරළින් මෙරටට ගෙන්වා මෙරට වෙරළ තීරයෙහි පදිංචි කරවූහ. මෙරට වැසියන්ට සිය ජීවිකා වෘත්තිය මෙන්ම ඉඩකඩම්වල අයිතිය රැකගැනීමට නම් කිතුණු ලබ්ධිය ලබා ගැනීම අනිවාර්ය විය. පෘතුගීසි හාම්පුතුන් යටතේ සේවය සඳහා යෙදවූ මොවුන්ගේ නම් අගට පෘතුගීසි හාම්පුතුන්ගේ නාමයන් යොදන තෝම්බු සකස් කළහ. සිංහලයන්ගේ සරුසාර ඉඩකඩම් පෘතුගීසින් බලහත්කාරයෙන් අත්පත් කරගත් අවස්ථාවලදී කෝට්ටේ රජුට පෘතුගීසි බලධාරින්ට පැමිණිලි කිරීමට සිදුවූ අවස්ථා බොහෝ විය. 


 ධර්මපාල කුමරු රාජ්‍යත්වයට පත්කරන ලද්දේ ඔහු පෘතුගීසි සම්භවයක් සහිත දරුවෙකු නිසා බව ජනවහරේ පවතී. වීදියේ බණ්ඩාරයන්ගේ වැඩිමල් කුමරු වූ විජේපාල අස්ථාන කුමරුට රාජ්‍ය නොදී බාල කුමරු ධර්මපාලට රාජ්‍යය දෙන ලද්දේ රජ මාළිගය. තුළ සිටි කඩවසම් පෘතුගීසි සොල්ද‌ාදුවකු සමග හමුද‌ා සල්පදෙ‌ා්රු බිසව පැවැත් වූ අනියම් සබඳතාවයක් නිසා ලත් දරුවා ධර්මපාල කුමරු වීම නිසාය. උරණ වූ වීදියේ බණ්ඩාර තම බිසව මරා දමන ලද බව ජනවහරේ සඳහන් වුව ද ලිඛිත මූලාශ්‍රවල සඳහන් වන්නේ ඇය යක්ෂ දෙ‌ා්ෂයකින් මළ බවය. 


ධර්මපාල කුමරු සහ සිය අනුගාමිකයින් කිතු සමය වැළඳ ගැනීමත් සමඟ කෝට්ටේ නුවර වැසියන් එයට අනුගත වූ අයුරු රාජාවලිය කතුවරයා සඳහන් කර ඇත්තේ මෙසේය. 
එද‌ා පටන් කෝට්ටේ නුවර නැකත් ගැණුන් ප්‍රතිකානුන්ට සැමනී හීන ජාතී ද, ඇම්බැට්ට ජාතී ද, කරා ජාතී ද හන්නාලි ජාතී ද, හාලි ජාතී ද, දුරා ජාතී ද ගොයිගෙයි ජාතී ද කෝට්ටේ නුවර ප්‍රධාන අය ප්‍රතිකානුන්ගේ වස්තුවට ලෝභ වෙලා උන්ට සැමනිලා කුලවැදී බැඳගෙන උන්නාහ. කෝට්ටේ නුවර උන් ගණේන්ලා සීතාවකට හා කන්ද උඩරටට ගියහ. මෙසේ වුවද වීදියේ බණ්ඩාර කිතු සමය වැළඳගත්​ෙත් නැත. ඒ අතර ඔහු මායාදුන්නේගේ දියණියක් සමඟ විවාහ විය. තදබල ලෙස උරණ වූ පෘතුගීසින් වීදියේ අල්ලා කොළඹ කොටුවේ සිරකරන ලද අතර තම්මිට රාළ හිරකරුවෙකු ලෙස ගෝවේට යවන ලදී. මෙම සිදුවීම රාජාවලියේ විස්තර කර ඇත්තේ මෙසේය 


.‘... දියෝගුද මේලෝට බලය දී වීදියේ රජ අල්ලා හිරකරන්ඩ කියා මළාහ. ඒ රජ හිරකරන්නේ මක්නිසාද කීවොත් මායාදුන්නේගේ දියණියන් වීදියේ රජුට ඉන්නවාටයි දැනගත යුතුයි...’ 


පෘතුගීසිහු ක්‍රි.ව. 1544 දී යාපනයේ පාලකයා සමඟ ගිවිසුමකට එළැඹි අතර ඒ අනුව පෘතුගීසිනට වාර්ෂිකව කප්පම් මුදල් ගෙවීමට ද කැමැති කරවා ගති. ධර්මපාල රජු පෘතුගාලයට තානාධිපතිවරු යවා ක්‍රිස්තු පූජකවරු පිරිසක් ගෙන්වා ගත් අතර කෝට්ටේ රාජධානිය තුළ සිය වැසියන්ට ක්‍රිස්තු භක්තිය වැළඳ ගැනීමට පූර්ණ නිදහස ලබා දුණි. එහි ප්‍රතිඵලයක් ලෙස පානදුර, මග්ගොන, බේරුවල, ගාල්ල හා අම්බලන්ගොඩ වැනි පෙදෙස්වල ක​ෙතා්ලික පල්ලි ඇති විය. ඒවා සඳහා වටිනා ඉඩකඩම් රජතුමා විසින් ලබා දෙන ලදී. 
 ප්‍රධාන පූජකවරු දෙපොළක් මහනුවර ජයවීර රජු වෙත පැමිණි අතර රජතුමා ඔවුන් සාදරයෙන් පිළිගති. ජයවීර රජු වනාහි මායාදුන්නේ රජුගේ පියාගේ සහෝදරයෙකි. ජයවීර රජුගේ පුතා කරලියද්දේ බණ්ඩාර විය. රාජාවලිය සඳහන් කරන්නේ ‘... සකලකලාවල්ල රජ ඇතිකළ කිරවැල්ලේ බිසෝ අදහසින් ජයවීර රජුනට ජාතක කර වැදූ දරු දෙදෙනාගෙන් කුමාරයා කරලියද්දේ කුමාර බණ්ඩාර....’ යනුවෙනි. 


 ජයවීර රජු කිතුසමය වැළඳ ගැනීමට එකඟ විය. එහෙත් මෙම තොරතුරු දැනගත් සීතාවක මායාදුන්නේ සිය තදබල විරෝධය ඔහුට දන්වා යවන ලදී. මෙය උඩරට රාජධානිය පෘතුගීසින් හට අත්පත්වීමේ අවද‌ානමත්, එය රජුගේ මරණයට පවා හේතු විය හැකි බවත් දන්වන ලදී. මේ අනුව උඩරට කරා පැමිණි පූජකවරු ඇතුළු පෘතුගීසි සෙබළු 120 කට උඩරටට පැමිණීමට බාධා කළ රජු ඔවුන් පළවා හැරියෝය. එහෙත් අතිරේක භට පිරිසක් සමඟ පැමිණි අන්තෝනියෝ බරෙන්තු කරලියද්දේ බණ්ඩාර කිතු සමය ගන්වා උඩරට රජු බවට පත් කළේය. 


උරණ වූ ජයවීර රජු කරලියද්දේට විරුද්ධව සටන් කිරීම සඳහා තමාගේ අවජාතික දරුවෙකු වූ කුමාරසිංහ අස්ථාන කුමරු සමඟ විශාල සේනාවක් එවන ලදී. කරළියද්දේ බණ්ඩාර උපක්‍රමශීලීව ජීවිතය බේරාගෙන කඳුකරයට පලා ගියේ පෘතුගීසි පූජකයින් සහ සෙබළුන්ද සමඟය. ඌව කඳුකරයේ සිට ක්‍රියාත්මක වූ කරලියද්දේ කෝට්ටේ සිට පැමිණි අතිරේක පෘතුගීසි සෙබළුන්ගේ සහායෙන් උඩරට රාජ්‍යත්වයට පත් විය. 


 වීදියේ බණ්ඩාර සිරගතවීමත් සමඟම ඔහු නිදහස් කරගැනීමට ඔහුගේ බිසව උත්සුක විය. ඇය විසින් කෝට්ටේ වැසියන්ගෙන් ඉල්ලා සිටියේ සිය සැමියා නිදහස් කරගැනීමට සංවිධානය වන ලෙසටය. දින තුනකට පසු කොළඹ කොටුවේ කපිතාන් පදවියට පත්ව ආවේ දොම් ඩුරාටේ ඩෙකාය. ඔහු ඉතා කෲර පුද්ගලයකු විය. කොටුව තුළ සිටි කිතුණු පූජකයන් වීදියේට කියා සිටියේ නිදහස් වීමට නම් කිතුණු දහම වැළඳගන්නා ලෙසය. මෙය කන වැටුණු ඩෙකා කප්පිත්තා වීදියේගේ ආරක්ෂාව තවත් දැඩිකොට පූජකයින් හට ඔහු හා සබඳතා පැවැත්වීම තහනම් කෙළේය. 


කෙසේ වුවද ධෛර්ය සම්පන්න වීදියේගේ බිසව සිරගෙයි සේවය කළ පෘතුගීසි සෙබළුන්ට අල්ලස් දී සිරකුටිය විවෘත කරවාගෙන රහස් මඟකින් සිරමැදිරියට යාව පිහිටි ක්‍රිස්තු පූජකවරුන්ගේ ගෙවත්තකට ගෙන ආහ. ඉන්පසු ජනබල සහායෙන් හේ රයිගම බලා ගෙන ගියහ. අද‌ාළ සටහන මෙසේය. 


'.......His Wife However Succeeded in bribing Some Portuguese to Open a Secret Passage From the Orchard of the briests Which Adjoined the Prison and in this Fashion Tribuli Pandar Succeeded in Effecting his escape....’  


(Rebeiro’s History of Ceilao p-38) 


සුවය ලත් වීදියේ බණ්ඩාර සිය බිසව විසින් රැස්කර දෙන ලද පිරිස් සමග එකතු වී කෝට්ටේ සිට ගාල්ල දක්වා මාර්ගය දෙපස පිහිටි සියලු ක්‍රිස්තියානි පල්ලි විනාශ කළහ. හමුවන සෑම ක්‍රිස්තියානුකාරයෙකුම මරා දැමීය. ගාලු වරායේ ඉදිකරමින් තිබූ නැව් ගිනි තබා විනාශ කෙළේය. අනතුරුව රයිගමට නුදුරු පැලෑඳ රාජධානිය කරගෙන සිය බිසව සමඟ එහි විසීය. 


මායාදුන්නේ වෙත පැමිණි වීදියේ බණ්ඩාර සිය පුත් කුමරු වූ විජේපාල අස්ථාන හට මායාදුන්නේගේ වැඩිමල් දියණියගේ දියණිය විවාහ කරදීමට එකඟ කරවා ගති. එසේම මායාදුන්නේ සමඟ එකඟතාවයකට පැමිණි ඔහු මුදලිවරු කීප දෙනෙකු ඇතුළුව හයසීයක හමුද‌ාවක් ද ඔහුගෙන් ලබාගෙන පානදුර, කළුතර, මක්කම, බේරුවල, ගාල්ල සහ අම්බලන්ගොඩ ආදී පෙදෙස්වල පිහිටි සියයකට වැඩි ක්‍රිස්තියානි පල්ලි විනාශ කළහ. 


අතිරේක සේනා ගෙන්වා ගත් පෘතුගීසි මායාදුන්නේ සමඟ එකඟතා ගිවිසුමකට එළැඹුණි. ඒ අනුව පෘතුගීසින් සතු ඉඩම් බදු සහ වරාය බදු ආදිය පෘතුගාලයේ රජු වෙනුවෙන් එකතු කිරීමේ බලය මායාදුන්නේට පවරා දෙන ලදී. 


 මායාදුන්නේගේ අගබිසව වූ සුමනා දේවිය සහ රජවාසල උන් පෙටියාගොඩ හානිරජ්ජ වන්නියාර් මුදියන්සේ යන දෙපොළගේ පුත් ටිකිරි කුමරු රාජසිංහ සහ වික්‍රමසිංහ මුදලිගේ ප්‍රධානත්වයෙන් යුත් සේනාවක් ද පෘතුගීසින් ද එකතුව වීදියේ බණ්ඩාරගේ පැළෑද නුවර වටලා පහර දුන්හ. සටනින් පැරදුණ වීදියේ බණ්ඩාර තමන්ට හිතවත් පිරිසක් සමඟ සත් කෝරළයට පලා ගියේය. 


 සත් කෝරළයට පැමිණි ඔහු මුණ්ඩකොන්ඩපොළ එදිරිමාන්න සූරිය රජු වෙත පැමිණ ඔහුගේ අවසරය මත බෝගොඩ නම් ස්ථානයේ සිය සේනාව සමඟ නවාතැන් ගත්හ. ඒ අතරතුර එදිරිමාන්නසූරිය සාකච්ඡාවක් සඳහා පිටතට කැඳවාගෙන ගිය වීදියේ බණ්ඩාර වේලායුධ ආරච්චියා ලවා මරවා දැමීය. අනතුරුව මුණ්ඩකොණ්ඩපොළ (නාථගනේ) රජු බවට පත්වූ වීදියේ බණ්ඩාර සත් කෝරළයේ බලවත් රජෙකු බවට පත් විය. එහෙත් සීතාවක රාජසිංහගේ හමුද‌ා මුණ්ඩකොණ්ඩපොළ රාජධානිය ආක්‍රමණය කළ අතර සත් කෝරළ වැසියන්ද පෘතුගීසින් ද එකතුව වීදියේට විරුද්ධව සටන් වැදුණි. 


සියලු බලාපොරොත්තු සුන් වූ වීදියේ සිය බිසව එනම් හිරෙන් නිදහස් වීමට උදව් කළ මායාදුන්නේගේ දියණිය වූ සූරිය දේවිය ඇයගේ මව එනම් වීදියේගේ නැන්දනිය සහ සියලු හස්තසාර වස්තුව ද ගෙන පාදිලිවරයෙකු ලෙස වෙස් වළාගෙන ඉතා හිතවත් පිරිසක් සමග පුත්තලමට ගොස් එතැනින් බත්තලක නැගී යාපනයට පලා ගියේය. ඔහුගේ අරමුණ වූයේ යාපන පාලකයා සමග එකතු වී පෘතුගීසින් මෙරටින් පන්නා දැමීමය. ඒ පිළිබඳ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණියහ. අවසානයේ හින්දු කෝවිලක පූජාවකට සහභාගි වූහ. එහිදී දැල්වෙමින් තිබූ පහනක් ඒ අසළ තිබූ වෙඩිබෙහෙත් උරයකට වැටිමෙන් පිපිරීමක් සිදුවිය. එය තමා මැරීමට ගත් උත්සාහයක් යැයි වරදවා වටහාගත් වීදියේ සහ පිරිස යාපන පාලකයාගේ පිරිස් සමඟ සටනකට මැදිවුණි. 


අවසන් ප්‍රතිඵලය වූයේ වීදියේගේ නැන්දණිය වූ වයසක මහබිසෝ අදහසින් ඇගේ මුණුබුරා සහ ලේලිය ද යාපන පාලකයාගේ කඩුපහරට ලක්වීමය. වීදියේ සහ පිරිස ද සටනේදී මියගියහ. ඔහු සතුව තිබූ වටිනා වස්තුව මෙන්ම කෝට්ටේ රජ මාළිගාවෙන් පැහැරගත් දළදාවද ද්‍රවිඩයන් අතට පත්විය. ක්‍රි.ව. 1558 දී මෙම සටන සිදුවිය. ක්‍රි.ව. 1560 වසරේදී ඉන්දියාවේ කොචින් වරායේ සිට පැමිණි පෘතුගීසි නාවික බලඇණියක් යාපනය අත්පත් කරගන්නා ලදී. එහිදී මෙම දළද‌ාවද ඔවුන් අතට පත්විය. 


රිබෙයිරෝ එය සඳහන් කරන්නේ මෙසේය. 


‘...... හුදකලා ප්‍රදේශයක් වූ එහි තිබී රජුට අයත් යුද අවි සමූහයක් සහ අපනයනය සඳහා සූද‌ානම් කර තිබූ වෙළඳ භාණ්ඩ තොගයක් ද හමුවිය. මෙම පෙදෙසේ පිහිටා තිබූ විශාල කෝවිලක් තුළ මුතුමැණික් ඔබ්බවා රනින් නිම කළ කරඬුවක් හමුවිය. එය තුළ තිබුණේ දතකි. පොදුජනයා විසින් එය වඳුරු දතක් ලෙස පවසන ලද නමුත් මිථ්‍යා දෘෂ්ඨික ඉහළ වංශවත් උගතුන් විසින් එය ප්‍රාතිහාර්ය පෑමේ බලයක් ඇති පූජනීය වස්තුවක් ලෙස සළකා වැඳුම් පිදුම් කරති. විසුරේ එය දුටු සැණින් විශාල මූල්‍ය අගයකට හුවමාරු කරගත හැකි දෙයක් බව අවබෝධ කරගත්තේය. මෙය ලංකාවට කීප වරක් පැමිණි බුදුන්ගේ දන්ත ධාතුවයි. ජේගු රටේ සිට මෙරටට ගෙන එන ලද එය රටේ බොහෝ රාජධානිවල පූජනීය වස්තුවක් ලෙස තබාගෙන සිට ඇත..' 

 


(Ribeiro’s History of Ceilao p-44) 
එම්.කේ. ජයසේන, 
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය