විහාරස්ථාන දෙකක් යාකරන ලංකාවේ එකම බස් මාර්ගය


 

 

බුදු සිරිපා සිපගෙන සමනොළ කඳුමතින් නොඉඳුල්ව ඉපිද මිනිස් සමූහයාගේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් ඉවසා දරාගෙන උන්ගේ ලේ, කඳුළු, දහදිය සමග දහසකුත් එකක් බාධක ඔස්සේ ගලාගෙන එන කැලණි නදිය මහ සමුදුර මුණගැසීමට පෙර කැලණි වෙහෙර වැඳපුද‌ාගෙන ඉසිඹුලන අයුරු මට පෙනේ.   


අනාදිමත් කාලයක් අගනුවර හා රට අභ්‍යන්තරය යා කළ ප්‍රධානම ප්‍රවාහන මාර්ගයක් ද වූ කැලණි නදිය වර්තමානයේ ඒ වගකීමෙන් නිදහස්ව දෙගම්බඩ යා කෙරෙමින් ගොඩනැගුණු යෝධ පාලම් අසලින් නිසොල්මනේ ගලා යන්නේ නව දියුණුව නරඹන්නාක් මෙනි.   


එදා ඔරු පාරු ඔස්සේ කැලණි ගංගාව මතින් ගමන් ගත් ජනතාව වත්මන් පොදු මගී ප්‍රවාහන සේවා හරහා එම කාර්යය ඉටුකර ගන්නා අතර රජයේ හා පුද්ගලික බස් සේවා ඒ සඳහා පේවී සිටී. මේ ඔවුන් ඉටුකරන්නේ ඓතිහාසික මෙන්ම, ඉතිහාස ගත වන කාර්යයක් බව තැනක දී කෙළින්ම තවත් තැනකදී වක ගැසී ඇදවී යන කළුම කළු තාර පාරේ දිනපතා එහේ මෙ​හේ දුවන බස් සේවකයන් මෙන්ම මගී ජනතාව ද නොදන්නවා විය හැක.  


මහත්තයෝ මේ මාර්ග අංක 150 පටන්ගන්න කාලෙ ඉඳලම මම කොන්දොස්තර වැඩ කරන්නෙ ප්‍රයිවෙට් බස්වල දැන් මගේ වයස අවුරුදු 53 යි. 150 ගමනාන්තය කැලණි විහාරය දක්වා දීර්ඝ වුණේ මෑතක දී මෙසේ කියන එස්. පියපාල මාර්ග අංක 150 පුද්ගලික බස් රථ සේවාවෙන් සේවයේ නියුතු පැරණිම කොන්දොස්තරවරයා වේ. මම ඔහු සොයාගොස් හමුවුණෙමි.  


බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අගනුවර හා බස්නාහිර පළාතම ආවරණය වන ලෙසට බස් සේවා නියාමනය කරයි. එසේ නම් 150 පමණක් අපට සුවිශේෂී වන්නේ ඇයි?  


ඒ අන් කවරක් නිසා නොව ගමනාන්තයන් වලදී විහාරස්ථාන 2ක් යා කෙරෙන මේ ශ්‍රී ලංකාවේ එකම බස් මාර්ගය 150 කැලණි විහාරය සීමාමාලකය වන හෙයිනි. මෙහි එක් ගමනාන්තයක් කැලණි රජමහ විහාරය වන අතර ගමනේ කෙළවර ගංගාරාම විහාරස්ථානයයි.  


කැලණියෙන් පටන්ගෙන අංගොඩ හරහා අග්ගොන හන්දියෙන් දකුණට හැරී අඹගහහන්දියටත් එතැනින් වමට හැරී රාජගිරියටත් පැමිණ බොරැල්ල ඔස්සේ ​ෙකාළඹ ජාතික රෝහල හරහා පුරහලට (Town Hall) පැමිණ එතැනින් බේබෲක් පෙදෙස පසුකර ගංගාරාමයේ දොරටුව අසලින් ගමන නිම කරන්නේ ඉතිහාසගත වෙමිනි.  


මුලින්ම 150 ආරම්භ වුණේ අංගොඩ ටවුන්හෝල් අතරයි. ආසන 21ක කුඩා වෑන් රථ හා ලංගමත් සමග බස්රථ 35ක් සේවයේ යෙදුණා. ඒකාධිකාරය තිබුණෙ මීතොටමුල්ල ඩිපෝවට. ඒ කාලෙ රියැදුරෙකුගේ දිනෙක වැටුප රු. 75/-යි. කොන්දොස්තරට රු 15/-යි. ක්‍රම ක්‍රමයෙන් ලංගම ඒකාධිකාරය බිඳවැටුණා. 2011 වෙනකොට ආරම්භය කැලණිමුල්ල දක්වා දීර්ඝ වුණා. ගඟ හරහා පාලමක් තිබුණෙ නෑ. විහාරය වඳින්න එන බැතිමතුන් විතරක් නෙමෙයි. සාමාන්‍ය ජනතාවත් එගොඩට ගියේ ඔරු, අඟුල්වලින්. ඒ වෙන​කොට වෑන් වෙනුවට රෝසා, ජර්නි වගේ ජපන් බස්රථ ධාවනය වූවා. 2013 වසරේ දී පාලම ගොඩනැගුණු පසුව අපි ගඟෙන් එතෙර වී කැලණියට ආවා.  


බස් රථයේ පාපුවරුවේ සිට පියපාල මහතා අතීතානුස්මරණයක යෙදේ. මේ සියලු තතු දන්නාක් මෙන් කැලණි නදිය මුණුමුණු හඬින් හෙමි හෙමින් පහළට ඇදේ. ගං ඉවුරේ කුඹුක් අත්තක සිල් රකින පිළිහුඩුවෙකු හිටි හැටියේ දියට පැන කුඩමසෙකු ඩැහැගන්නා හඬින් නිහඬ නිසංසලතාව මොහොතකට බිඳ වැටේ.  


අනෙක් පස බස් නැවතුම්පොළේ ගමනට සූදානම් වන බස් රථ යුද වදින්නට අණ ලැබෙනතුරු බලාසිටින හස්තීන් සේ ගෝරනාද කරති. වසර 35ක් තිස්සේ උදේ සිට සවස්වන තෙක් කැලණියටත් ගංගාරාමයටත් එන යන මොහුට එතෙක් මෙතෙක් අතීතය සිහිපත් කිරීමත් ආස්වාදයක් සේය.  


ඒ ඒ කාලේ රු. 35/-ක වැටුප අද වෙනකොට දෛනික ආදායමෙන් 10%ක කොමිස් මුදලක් දක්වා වෙනස් වෙලා. ඒත් අපේ ජීවිත වයසට ගියා විතරයි. ඔහු තිදරු පියෙකි. බිරිඳ පුතුන් දෙදෙනා හා දියණිය පියපාල මහතාගේ සොඳුරු කැදැල්ලයි.  


මගේ තරුණ වයස දියවුණේ‍ මේ පාරටමයි. දැන් මැදි වයසත් පහුවෙලා. මමත් ​150 ට සින්නවෙලා. විවාහවෙලා සාමාන්‍ය විදියට ජීවත්වෙන්න ගේ පැලක් හදාගත්තා. දරුවන්ට ඉගැන්නුවා. හැබැයි තවමත් තුන්දෙනාගෙන් එක්කෙනෙකුටවත් ස්ථිර රැකියා නැහැ. අපිට වැටුප් ලැබෙන්නෙ දවස ගානේ බස් එකේ දෛනික ආදායමෙන් 10%යි.   
දුවන ට්‍රිප් ගාණට හොඳට සෙනග හිටියොත් රු 1000/- පන්නලා පඩිය ගන්න පුළුවන්. එහෙම දවස් එන්නෙ කලාතුරකින්. මේ රූට් එකේ සෙනග ඉන්නෙ උදේ හවස විතරයි. දවල්ට නිකම් ඔහේ යනව එනව විතරයි. බස් එකට දවසකට රු. 4500/- ක ඩීසල් ගහන්න ඕන. සාමාන්‍ය දෛනික ආදායම රු. 12000ත් 14000ත් අතර වෙනව. මගීන්ගෙන් අහන බැනුම් කන්දරාවෙ වටිනාකම ඊට හුඟක් වැඩියි මහත්තයෝ.  


දිනපතා හිමිදිරියේ සිට කැලණි විහාරයේ වෙහෙර වහන්සේට ඉහළින් සඳ නැගෙන හෝරාව දක්වා බස් රථය තුළ පමණක් කිලෝමීටර් ගණනාවක් ඔවුහු එහෙ මෙහෙ දුවති මගීන් වැඩි ප්‍රමාණයක් බසයට ගොඩවෙන තරමට දරු පවුලක සතුට සැනසුම රැගෙන උකු ගැසෙන අඳුර අස්සෙන් ගෙදරට යා හැකිය. ඒ රියදුරු කොන්දොස්තරවරුන්ගේ කඳුළු කතාවයි.  


කැලණි ගං දෙගම්බඩ යා කෙරෙන කැලණිමුල්ලේ පාලම තැනීමට පෙර 150 අංගොඩින් ආරම්භ කෙරූ සමයේ ලංගමය ද සමගින් තරග වැදුණත් හොඳ ආදායමක් තිබිණි. කට කපලා සෙනග ඒ පියපාල මහතාගේ වචනයි.  


මීතොටමුල්ලෙන් බස් 15ක් දිව්වා. මේ කියන කාලෙ 152 කොස්වත්තට ගියේ නැහැ. 150 බස් ඕන තරම් තිබුණු නිසා මිස කොස්වත්තෙ ඉඳල උදේ හවස රැකියාවන්ට යන අයත් අපේ බස්වලට ආවා.  


වර්තමානයේ දී 150 මාර්ගයේ මගී ප්‍රවාහන ඒකාධිකාරය ලංගමයෙන් පුද්ගලික බස් මුදලාලිලා අතට මාරුවී තිබේ. වරද ලංගමයේමය. මේ වනවිට මෙම මාර්ගයේ ලංගම ධාවන අයිතිය අංගොඩ ඩිපෝ මගින් දරන අතර ධාවනය වනුයේ ලංගම බස් 2ක් පමණකි. එයට හිලව් වශයෙන් පුද්ගලික බස් 19කි.  


මෙම මාර්ගයේ දෛනික ගමන් මගියෙකු වන ගයාන් ආරියදාස මහතා පැවසුවේ මගීන් වැඩි බස් අඩුම පාරක්. උදේට වැඩට යනකොට හවසට ආපසු එනකොට යුද්ධයක් කරන්න වෙනව. පැය භාගයකට වත් බස් එකක් එන්නෙ නෑ. ආවත් නගින්න බෑ සෙනග. කොච්චර සෙනග හිටියත් බස්කාරයන්ට මදියි මේ පාරට බස් වැඩිකරන්න ඕන ඒ ඔහුගේ අදහසයි.  


බස් රථ 19 ක නැග දිනපතාම ඒ ගමනාන්ත වෙත හා ඒ අතරතුරින් නගින බසින මගී ජනතාව මෙන්ම බස් සේවකයන් ද තමන් ගමන් කරන්නේ ඉතිහාස ගතවන විහාරස්ථාන දෙකක් යා කෙරෙන එකම මාර්ගයේ බව නොදනිති. මෙම සටහන කියවන ඉරිදා ලංකාදීප පාඨක ඔබ ද 150හේ ගමන් කරන්නෙකු විය හැකිය. පන්සල් දෙකක් ගමනාන්තය වන මෙවැනි මගී ප්‍රවාහන සේවාවක් ලංකාවේ අන් කවර ප්‍රදේශයක හෝ නොමැත.  


ඇත්තටම මහත්තයෝ මේ රූට් එකේ විශේෂයක් මෙච්චර කාලෙකට අපි දැනගෙන හිටියෙ නෑ. අපි විතරක් නෙමෙයි බස් හිමිකරුවොවත් දන්නෙ නැතිව ඇති. මම රියැදුරු රැකියාවට ආවෙ 1992 අවුරුද්දෙ 150 වැඩට යොමුවුණේ 96 දී එතෙක් මෙතෙක් මේ පාරෙමයි. විවාහකයි දරුවන් දෙදෙනෙකු සිටිනවා අපි හැමෝම ජීවත්වෙන්නෙ මගේ වැටුපෙන් තමයි. මුල් කාලෙදි වැඩ කළේ‍ ආසන 32 ජර්නි බස් එකක.  


පාලම හදල කැලණිය ගමනාන්තය වුණාට පස්සෙ කුඩා ප්‍රමාණයේ බස්රථ මේ මාර්ගයේ දුවන එක ප්‍රවාහන අධිකාරිය විසින් තහනම් කළා. ආසන 52 - 54 බස් 150ට වැටුණෙ ඉන් පසුවයි. කාලයක පටන්ම 150 මාර්ගයේ බස් රියැදුරෙකු ලෙස සේවය කරන ජේ.ඒ. ගුණදාස (42) මහතා ඔහුගේ මතකය ආවර්ජනය කළේ එලෙසිනි.  


වෙසක්, පොසොන්, ඇසළ ප්‍රධාන පෝය දිනවලට මෙන්ම මසකට වරක් එළඹෙන පුර පසළොස්වක පෝය දිනවලට 150ට වාසිය. ඒ කැලණියට හා ගංගාරාමයට බුදු පුදයට යන එන බැතිමතුන් නිසාය.  


පෝය දවස්වලට වෙනත් රූට්වල පාඩුයි බස් අඩු ඒ නිසයි. නමුත් 150 අපිට එහෙම නෑ. පියපාල මහතා කීය. මෙකී දිනවලදී 150 බස් සිල් සුවඳින් පිරේ.   
150 බස් රථ සේවයේ ආරම්භය කැලණි ඉතිහාසය තරමට නොවුණත් යම් තරමක් පැරණිය. මෙහි ප්‍රථම මගී බස් රථය යොදවා ඇත්තේ තිලක් අයියා නමැත්තෙකි. මම කොන්දොස්තර රස්සාව ඉගෙනගත්තෙත් එයාගෙ බස් එකෙන්. එදා මෙදා තුර වෙන කිසිම රූට් එකක වැඩකරලත් නෑ.  


සෙක්ෂන් (අතරමග නැවතුම්) වලින් ටිකට් එකේ ගාන දන්නෙ නැති නිසා වෙන පාරක වැඩ කරන්නත් බැහැ. කවද හරි අබල දුබල වෙනකම් 150 ම වැඩ කරනවා. වැඩිපුර හම්බකරල නම් නෑ ඒත් දරු පවුලත් එක්ක කාල ඇඳල ඉන්නවා. පියපාල මහතාගේ කටහඬේ හැඟුම්බර අයුරක් දක්නට ලැබිණි.  


ඉතිහාස ගතවන 150 මාර්ගයේ ලංගම නැත්තේ ඇයි. අංගොඩ ඩිපෝවේ කළමණාකරු චමින්ද කන්නංගර මහතාගෙන් විමසීමි. ඩිපෝ වාර්තා අනුව ඉකුත් 2005 වසර වනවිට බස් රථ 5ක් මේ මාර්ගයේ ධාවනය වී තිබෙනවා. නමුත් අද වන විට එය බස් රථ 2 දක්වා පහත වැටිලා.  


සේවක හිඟය හා ධාවනයට සුදුසු බස්රථ නොමැතිකම මෙසේ වීමට ප්‍රධාන හේතුවයි. ඩිපෝවේ දෛනික ධාවනය බස් රථ 25 - 30 අතර ප්‍රමාණයක්. මෙවැනි තත්ත්වයක් තුළ මේ මාර්ගයේ බස් රථ 2 කට වඩා යෙදවීමට හැකියාවක් නැහැ. කොහොම වුණත් මෙම මාර්ගයේ වටිනාකම ගැන නම් ඒ හැටි අවබෝධයක් තිබුණේ නැහැ. ඒ ඔහුගේ පිළිතුරයි.  
විහාරස්ථාන දෙකක් යා කෙරෙන ලංකාවේ එකම මාර්ගය හා මගී බස්රථ සේවාව පිළිබඳව වර්තමානයත් මතු පරපුරත් දැනුවත් කිරීමේ අරමුණ ඇතිව මේ දයාබර මිනිසුන්ගෙන් සමුගැනීමට සැරසුණෙමි. පියපාල කොන්දොස්තර මහතා නැවතත් කටහඬ අවදි කළේය.  


මහත්මයා මේ ටිකත් ලියන්න පොදු මගී සේවාවේ නිරතවෙන පුද්ගලික බස් රියදුරන්, කොන්දොස්තරවරුන් දිහා බොහොමයක් මගී ජනතාව බලන්නේ වපරැහින්. පොඩ්ඩ වරදිනකොට බනිනවා, ඉතිරි රුපියල දෙන්න බැරිවුණොත් මව්පියන් මතක් කරලයි බනින්නෙ. මාරු සල්ලි තිබුණොත් මම නම් සතපහ වුණත් ඉතිරි දෙනවා. සමහර මගීන් රුපියල දෙක වැඩිපුරත් දෙනවා. පුංචි මුදලක් අඩුවෙන් දුන්න කියල මම නම් කවදාවත් මිනිස්සුන්ට බනින්නෙ නැහැ.  


බස් ඇතුළෙ අපි මුළු දවස තිස්සෙම කරන්නෙ යුද්ධයක්. අයථා විදියට මුදල් හොයල මම මගේ දරුවන්ට කන්න දෙන්නෙ නැහැ. හැම මගියෙක්ම නපුරුත් නැහැ. හිනාවෙලා කථා කරන අය ඕන තරම් සිටිනවා.  


ඔවුන් ද අප වැනිම එදාවේල සරි කරගෙන දරුවන්ට පැහැබර අනාගතයක් උදාකර දෙන්නට වෙහෙසෙන මිනිසුන් පිරිසකි. ලොව්තුරු සම්මා සම්බුදු පියාණන්ගේ ශ්‍රීපාද පහසින් පිදුම් ලැබූ කැලණි විහාරයත් එවැනිම වූ ඉතිහාසයකට උරුම කියන ගංගාරාම විහාරයත් දිනපතා කීප වතාවක්ම දැකගැනීමට ලැබුණත් කැලණි නදියේ සිසිලස රැගෙන බෝ සමිඳුන් පුදාගෙන එන සිහිල් මදනලින් ගතේ වෙහෙස නිවාගෙන ගංගාරාම බෝධීන් වහන්සේගෙන් ආශිර්වාද ලැබගෙන ගමනේ යෙදෙන මේ මිනිසුන්ගේ මෙන්ම සුවහසක් වූ මගී ජනතාවගේ හිත සුව පතා කැලණි නදිය ද මොහොතින් මොහොත වෙනස් වෙමින් හෙට දවසේදීත් 150 මාර්ගය යටින් ගලා බසිනු ඇත.  

 

 


සටහන / ඡායාරූප  
තිලක් පුෂ්පකුමාර