විෂ්ණුගේ හොඳම බැතිමතා සෙවීමට දෙවියන්ගෙන් පරීක්ෂණයක්


භාරත  දේව සභාව

විෂ්ණු දෙවියා සිය වෛකුණ්ඨ මැදුරට වී විවේකීව සිටියේය. බ්‍රහ්ම, ඉන්ද්‍ර සහ අනෙකුත් දෙවිවරුන් වෛකුණ්ඨ මැදුරට සැපත් වූයේ ඒ මොහොතේය. කලින් නොකියාම පැමිණ තම විවේකයට බාධා කළ දෙවිවරු දෙස විෂ්ණු බලා සිටියේය.  

‘උතුමාණනි ඔබේ ප්‍රියතම භක්තිවන්තයා කවුරුන්ද?’’   


පසෙකින් වාඩි වූ ඉන්ද්‍ර ඇසුවේය. 


‘රන්ති දේව’ 


විෂ්ණු දෙවියා කිසිවක් නොසිතාම පැවසුවේය. 


බ්‍රහ්ම විෂ්ණු දෙස බැලුවේ පුදුමයෙනි. 


‘කවුරු ඔබ අදහස් කරන්නේ සන්ක්‍රීතිගෙ පුතණුවන්ද?’’ 


කිසිවක් නොපැවසූ විෂ්ණු හිස සලා බ්‍රහ්මගේ කියමන අනුමත කළේය. 


‘මේ ලෝක ද‌ාහතරෙන් එකක රන්තිදේවට වැඩියෙන් ඔබට භක්තිමත් වූ වෙනත් කෙනෙක් නැද්ද? 


ඉන්ද්‍ර විමසුවේය. 


විෂ්ණු මද සිනා නැගුවේය. 


භක්තිය කියන්නෙ මට වන්දනාමාන කිරීම. එතකොට ​ඔහු මා දුටුවා වෙනවා. මට කිසිම සැකයක් නැහැ. රන්ති දේව මගේ හොඳම බැතිමතා තමයි’’ 


ටික වේලාවකට පසු බ්‍රහ්ම, ඉන්ද්‍ර ප්‍රමුඛ දේව සභාව වෛකුණ්ඨයෙන් නික්ම ගියහ. 


ඉන්ද්‍ර මෙසේ කීවේය. 


‘රත්තිදේව ඔහු සැබෑවටම විෂ්ණුගේ හොඳම බැතිමතා විය හැකිද? මනුස්ස ලෝකයේ මෙන්ම ගැනිය නොහැකි තරම් දෙවිවරුන් සහ ගාන්ධර්වයන් අතරේ රන්තිදේවට වඩා විෂ්ණුගේ බැතිමතකු සිටීමට නොහැකිද? 
වායු සිය හිස සැලුවේය. 


මම නම් හිතන්නෙ භක්තිවන්තකම ගැන වැඩිපුරම දන්නෙ මනුස්සයො. ඔවුන් දෙවියන් වෙනුවෙන් කොයිතරම් නම් යාච්ඤා කරනවද? ඒත් දෙවිවරු ඒ තරම් භක්තිවන්ත නැහැ’ 
වායු කීවේය. 


වරුණ ඊළඟට කතා කළේය. 


‘මම නම් හිතන්නෙ අපි රන්තිදේවයන් පරික්ෂා කළ යුතුයි කියලයි’ 


‘‘ඒක හොඳයි’’ 


සියලු දෙවිවරු එක්වරම කීහ. 


රන්තිදේව යනු තම වැසියන්ට බොහෝ සේ ආදරය දක්වන රජකෙනෙකි. ඇත්ත වශයෙන්ම ඔහු විෂ්ණු කෙරෙහි අසීමිත ලෙස භක්තිය දක්වන්නෙකි. ඒ නිසාම බොහෝ ​අවස්ථාවල ඔහුට විෂ්ණු දකින්නටද හැකි වී ඇත. ඔහු කල්පනා කරන්නේ තම වැසියන් ප්‍රීතිමත්ව ජීවත්වන විට විෂ්ණු දෙවියන්ද සතුටට පත්වන බවය. ඒ නිසාම තම පාලනය අතිශය කාරුණික ලෙසත් ජනතාවට පීඩාකාරී නොවන ලෙසත් කරන්නට හැමවිටම වගබලා ගත්තේය. 


මේ නිසාම ඔහුගේ රට බත බුලතින් සරුසාරය. ඒ නිසාම ජනතාව අත හැමවිටම මිල මුදල් ගැවසිනි. සියලු දෙනාම සමෘද්ධිමත්ය. 


එසේ වුවත් හදිසියේම ඒ පැවැති තත්ත්වය වෙනස් විය. අකල් වැසි වැස, රටේ තිබූ භව භෝග සියල්ල විනාශ වුණු අතර ජනතාව අත තිබූ මිල මුදල්ද සේදී ගියේය. 


මේ හදිසි විපත නිසා රටවැසියන්ට වූ පීඩාව ගැන රන්තිදේව රජු කම්පා විය. වහාම තම භාණ්ඩාගාරය විවෘත කළ රජු ජනතාවගේ ඕනෑ එපාකම් වෙනුවෙන් එහි වූ මුදල් වියපැහැදම් කළේය. මේ නිසා රට වැස්සෝ රජු ගැන අතිශයින්ම පැහැදුණාය. 


‘අපේ රජ්ජුරුවො අපිව බලාගන්නවා’ යැයි ජනතාව ප්‍රීති වාක්‍ය පැවසූහ. 


වස්සානයට පසු පැමිණියේ නියඟයයි. වැස්සෙන් වැනසුණු ගොවිබිම යළි වගා කළ නොහැකි ලෙස දරුණුවට බලපෑ නියඟය ජනතාව තවදුරටත් දුකට හෙළීය. 


රජු සිය මැදුර රටේ නන්විධ පෙදෙස්වලින් පැමිණෙන අසරණ ජනතාවට විවෘත කළ අතර භාණ්ඩාගාරයේ වූ ආහාරවලින් ස්වල්පයක් පමණක් තම යැපීමට තබාගෙන ඉතිරිය ජනතාවට බෙද‌ා දුන්නේය. එසේ වෙතත් ජනතාව පෙළුණු බඩගින්න සහ පිපාසය දරුණු විය. බීමට දිය පොදක් නැති වන තරමට ජලාශ සහ ළිං ද සිඳී තිබිණි. 


‘විෂ්ණු දෙවියන් විසින් මගේ රට සහ රටවැසියන් රැකගනීවි. මුළු රටම විෂ්ණු දෙවියන්ට යාච්ඤා කිරීම අරඹන්න’


රන්තිදේව රජු, නියෝග කළේය. 


එළඹි දවස් හතළිස් අටක් වූ මුළු කාලය පුරාවටම රන්තිදේව රජු සහ රටවැසියෝ විෂ්ණු දෙවියන්ට යාච්ඤා කළ අතර තමන් රැක දෙන ලෙසත් පෙර පරිදිම සියරටට කලට වැසි ලැබී ගොවිතැන් බත් සරුසාර කර දෙන ලෙසත් විෂ්ණුගෙන් ඉල්ලූහ. 


මේ මුළු කාලය පුරාවටම බඩට හරිහැටි ආහාරයක් වැටුණේ නැතත් රන්තිදේව රජු විෂ්ණුට යාච්ඤා කිරීම නතර කළේ නැත. එතුමා වෙනුවෙන් පැවැති භක්තිය පලුඳු කර ගත්තේද නැත. කොයි මොහොතක හෝ පැමිණෙන විෂ්ණු දෙවියන් තමන්ටත් රට වැසියන්ටත් පිහිට වන බව ජනතාව විශ්වාස කළහ. 


මේ වන විට භාණ්ඩාගාරයේ ඉතිරිව තිබුණේ. රජ පවුලට සහ ඇමැතිවරුන්ගේ පවුල්වලට පමණක් ටික කලකට සෑහෙන ආහාර සහ වතුරය. 


රන්තිදේව ඔහුගේ දිවා ආහාරය ගන්නට සැරසුණි. ඒ මොහොතේම රජුගේ මැදුරට ඇතුළු වූයේ අසරණ මිනිසෙකි. තම ආහාර බඳුන පසෙක තැබූ රජු අර අමුත්තාට වාඩිවන්නට සන් කළේය. 


ඔබ පැමිණියේ? 


රජු විමසුවේය. 


‘රජතුමනි, මට කමා කරන්න. මා සිටින්නේ දරාගත නොහැකි තරමේ අධික බඩගින්නකින්. මා වේල් කිහිපයකින් කිසිවක්ම ආහාරයට ගෙන නැහැ’ 


ඔහු කීවේ රජුගේ ආහාර බඳුන දෙසද බලමිනි. ඉන් විහිදුණු සුවඳ ඔහුගේ රස නහර පිනවමින් තිබිණි. 


එසේ නම් මේ ආහාර ඔබ ගන්න. 


රජු වහා තම ආහාර බඳුන අර මිනිසාට දුන්නේය. 


එපා රජතුමනි, මා රාජ භෝජන ගැනීමට තරම් සුදුස්සෙක් නෙවෙයි. 


අර මිනිසා කීවේය. 


ප්‍රශ්නයක් නෑ, ඔබ කුස පුරවාගන්න. 


රජු බලෙන්ම එම ආහාර බඳුන අමුත්තාට දුන්නේය. 


ගරු සරු ලෙස රජතුමාගේ දෙපා මුල වැටුණු ඔහු ඊළගට අර ආහාරවල රසවින්දේය. 


‘‘රජතුමනි, ඔබ දිගුකල් දිනේවා! ඔබ මට මෙන්ම සියලු රටවැසියන්ට පියෙක් හා සමානයි.’’ 


ඔබවහන්සේව දෙවියන් රකීවා. 


අර අමුත්තා කීවේය. 


රජු මඳ සිනා ඇතිව ඔහු දෙස බලා සිටියේය. 


අවසානයේ ඒ අමුත්තා මැදුරෙන් නික්මුණේ ප්‍රීතියෙන් සිනාසෙමිනි. 


මේ දුටු රජුගේ ඇමැතිවරු බලවත් කම්පාවට පත්වූහ. 


දේවයන් වහන්ස, ඔබ වහන්සේ ඔබේ බොජුන් පරිත්‍යාග කළ බැවින් නැවත වතාවක් ඔබට ආහාර රැගෙන ආවා. 


තවත් ආහාර බඳුනක් රැගෙන ආ ඇමැතියෙක් කීවේය. 


ඒ වන විට දැඩි කුසගින්නක පසු වූ රජු එම ආහාර බඳුන බුදින්නට ගත්තේය. 


එවිටම තවත් මිනිසෙක් රජු හමුවට පැමිණියේය. වහා ඔහු හමුවට ගිය රජු පැමිණි කරුණ ගැන විමසුවේය. 


රජතුමනි, ආහාර බිඳක් සොයා ගෙන පැමිණියේ මා සිටින්නේ අධික කුසගින්නක’’ 


රජු කිසිවක් නොකියාම මැදුර තුළට ගියේය. දෙවැනි වරටත් රජුට ලැබුණු ආහාර බඳුන අර මගියාට පිරිනැමුවේය. 


ඔහුද එය ගිජු ලෙස ගිල දමා රජුගේ දෙපා වැඳ, ස්තුති සහ ප්‍රශංසා කර නික්ම ගියේය. 


‘රජතුමනි’ ඔබ එම ආහාර බඳුනත් පරිත්‍යාග කළා. 


ඔබවහන්සේට කුසගිනි නැද්ද? 


ඇමතිවරයක් පැමිණ ඇසුවේය. 


මගේ වැසියන් කුසගින්නෙන් පීඩා විඳිද්දී මා ආහාර ගන්නේ කෙසේද ඇමැති?

 
රජු විමසුවේය. 


එවිටම තවත් මිනිසෙක් පැමිණියේය. ඔහු පැමිණ සිටියේ තනිවම නොවේ, බල්ලකුද කැටුවය. 


‘රජතුමනි. මමත් මගේ සුරතල් බල්ලාත් සිටින්නේ කුසගින්නේ. ආහාර බිඳක් බලාපොරොත්තුවෙනුයි පැමිණියේ. 


රජු වහා මැදුර තුළට ගියේය. බඳුන්වල වූ අවසාන ආහාර ස්වල්පයද අර මිනිසාට සහ බල්ලාට පරිත්‍යාග කළේය. 


මිනිසාත් බල්ලාත් දෙදෙනාම ඉතා ගිජු ලෙස එම ආහාර අනුභව කළහ. අනතුරුව රජුට පින් දුන් මිනිසා බල්ලාද කැටුව නික්ම ගියේය. 


රජුට අධික කුසගින්නක් දැනිණි. එහෙත් සියලු ආහාර අවසානය. ඉතිරිව තිබුණේ වතුර ස්වල්පයක් පමණි. වතුර බී කුසගින්න නිවාගනිමියි සිතූ රජු දිය බඳුන සුරතින් ගත්තේය. 


එවිටම උසින් මහතින් යුත් මිනිසෙක් රජු ඉදිරියේ පෙනී සිටියේය. 


රජතුමනි, මා සිටින්නේ අධික පිපාසයෙන් පෙළෙමින් කරුණාකර මට පැන් පොදක් ලබාදෙන්න. 


රජු මුවෙහි තබාගත් දිය බඳුන වහාම අර මිනිසාට දුන්නේය. ඔහු ඉතා සතුටින් දිය බඳුන අවසන් කර රජු දෙස බැලුවේය. 


රජතුමනි. ඔබතුමා විෂ්ණු දෙවියන්ගේ අනුගාමිකයෙකු විය යුතුමයි. නොවැරදීම ඔබට විෂ්ණු දෙවියන් දකින්නට ලැබෙනවා සිකුරුයි. 


අර මිනිසා පැවසුවේය. 


එවිටම මතු වූ සුවිසල් ආලෝකයකි. ඉන් මතු වූයේ විෂ්ණු දෙවියන්ය. 


‘රන්තිදේව’ 


විෂ්ණු තෙපළීය. 


රජු වහා දණ බිම ඇන ගත්තේය. දෝතම එක්කර දෙවියන්ට වැඳ වැටුණු රන්තිදේවට දැනුණේ විසල් ප්‍රීතියකි. 


‘රන්තිදේව, මම දෙවියන්ට පැවසුවා ඔබයි මගේ අග්‍රගණ්‍ය භක්තිවන්තයා කියා. 


රජු පුදුමයට පත්විය. 


නමුත් ඉන්ද්‍ර ඇතුළු දෙවිවරු මගේ කීම විශ්වාස කළේ නැහැ. ඔවුනට අවශ්‍ය වුණේ ඔබේ භක්තිවන්තකම පරික්ෂා කිරීමට. ඒ නිසායි මේ අයුරින් මේ දේශයට නියඟයක් සහ සාගතයක් ඇති කළේ. දැන් ඔවුන් තේරුම් අරන් ඇති මගේ හොඳම භක්තිවන්තයා ඔබ බව’’ 


රන්තිදේව විෂ්ණු දෙවියන්ගේ කීම අදහාගත නොහැකිව බලා සිටියේය. 


ඒ මොහොතේම ඉන්ද්‍ර, යම, වායු, වරුණ ඇතුළු අනෙකුත් දෙවිවරුද ප්‍රාදූර්භූත වූහ. 


යම හෙවත් මරණයේ දෙවියා කතා කරන්නට පටන්ගත්තේය. 


විවිධ වෙස්ගෙන පැමිණියේ එකී දෙවිවරුයි. ඔවුනට ඔබේ ආහාර බඳුන පරිත්‍යාග කළා. නමුත් මටත් ඔබව පරීක්ෂා කිරීමට අවශ්‍ය වුණා. පිපාසිතයකු ලෙස ඔබ හමුවට පැමිණියේ මමයි. මමත් තේරුම් ගත්තා ඔබ විෂ්ණුගේ හොඳම බැතිමතකු බව. 


රන්තිදේව සතුටින් ප්‍රමුදිතව සියලු දෙවිවරුන් දෙස බැලුවේය. 


ඔබ මගේ හොඳම භක්තිවන්තයා බව පැහැදිලියි. තවදුරටත් ඔබේ දේශයට නියඟය හෝ අධික වර්ෂාව හෝ බලපාන්නේ නැහැ. පෙර පැවැති දේශගුණයම කාලගුණයම ඔබේ රටට උද‌ාවේවි. ගොවබිම් සරුවේවි. කලට වැසි වසීවි, නැවත වරක් ඔබේ රට සමෘද්ධිමත් වේවි. සැබෑවටම මගේ බැල්ම ඔබේ දේශයට ලැබේවි. 


විෂ්ණු දෙවියා මෘදු හඬින් පැවසුවේය. 


රන්තිදේව දෝත් එකතුකර විෂ්ණුට නමස්කාර කළේය. දෙවිවරු අතුරුදන් වන විටම එතෙක් පැවැති දරුණු නියඟය නිමාකරමින් මහා වැසි ඇඳහැලෙන්නට පටන් ගත්තේය.