විවෘත කළ දිනයේම වෙලාව වැරදුණු රත්නපුරේ ඔරලෝසු කණුව


ඔරලෝසුව තිබෙන්නේ වේලාව බැලීමටය. නමුත් එහි කටු ගමන් කරන්නේ පිටුපසට නම් එම ඔරලෝසුවෙන් වේලාව බලා වැඩක් නැත. මේ කියන්නට යන ඔරලෝසු කණුව විවෘත කළ පළමු දිනයේ දී එහි කටු කරකැවී ඇත්තේ ද පිටු පසට ය. ඒ වනාහි අපූර්වතම තාක්ෂණික දෝෂයකි.   


මේ අපූර්වතම ඔරලෝසු කණුවේ තවත් විශේෂත්වයක් වේ.

එනම් ගංවතුර මනින දැවැන්ත මිණුම් දණ්ඩක් ලෙස ද එය භාවිත කිරීමයි. මේ කියන්නට යන්නේ එවන් අපූරු කතා රැසක් සැඟව පවතින රත්නපුර නගර මධ්‍යයේ සියවසකට ආසන්න කාලයක් විරාජමානව වැජඹෙන රත්නපුර ඔරලෝසු කණුව පිළිබඳවයි.   


රත්නපුරයේ ජීවත්වන අය සේම එක් දිනක් හෝ රත්නපුරයට පැමිණි ඔබ නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුව දැක නොමැති බව පැවසුවහොත් එය මහත් පුදුමයක් වනු ඇත. මන්ද එය පිහිටා ඇත්තේ නගරය මධ්‍යයේම වීම නිසාය. රත්නපුර කොළඹ ප්‍රධාන මාර්ගය, රත්නපුර ඇඹිලිපිටිය මාර්ගය, ප්‍රධාන බස් නැවතුම්පොළ අසල සිට විහිදෙන පල්ලිය වීදිය, නගරයේ වෙළෙඳ මාවත වූ මහවීදිය හා මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරි කාර්යාලය අසලින් වැටී ඇති මාර්ගය යන සියලුම මාර්ග එකතු වන්නේ රත්නපුර මහජන පුස්තකාලය ඉදිරියෙන් පිහිටි මෙම ඔරලෝසු කණුව කේන්ද්‍ර කරගනිමිනි.   


එසේම රත්නපුරය කේන්ද්‍ර කරගනිමින් සිදුකරන බොහෝ සැමරුම් මෙම ස්ථානයෙන් ආරම්භ වේ. දේශපාලන බල පෙරළිවල දී රතිඤ්ඤා දල්වන්නේ ද උද්ඝෝෂණ දියත්වන්නේ ද දිනපතා මැණික් ව්‍යාපාරිකයන් දහස් ගණනක් මුණගැසෙන්නේ ද මෙම ඔරලෝසු කණුව අසල දී වේ. දිනපතා නෙත ගැටෙන නගරයටම වේලාව කියන ඔරලෝසු කණුවේ යටගියාව රත්නපුරයේ වෙසෙන බොහෝ දෙනෙකු නොදන්නා බව සත්‍යයකි.   


රත්නපුර නගරයට ඔරලෝසු කණුවක් අවශ්‍ය බව මුලින්ම සඳහන් කර ඇත්තේ එකල මෙරට යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ඒජන්තතුමා වූ ඒ.එම්. ඇස්මෝ මහතාය. ඒ බව 1893.12.22 දින ඔහුගේ දින පොතේ සඳහන් කර තිබේ. නමුත් ඔහුට එම කාර්ය ඉටුකර ගැනීමට නොහැකි වී ඇත.   


1914-1918 කාලයේ මුළු ලෝකයම භීතියෙන් වෙළාගත් පළමු ලෝක යුද්ධය හටගත් අතර එහිදී යුද්ධයේ එක් පාර්ශවකරුවෙක් වූ බ්‍රිතාන්‍ය හමුදාවේ සහායට එකල මෙහි සේවය කරමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයින් ද ගොස් තිබේ. එසේ රත්නපුර ප්‍රදේශයේ සේවය කරමින් සිට පළමු ලෝක යුද්ධයේ කටයුතු වෙනුවෙන් දායක වී මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයින් 22ක් සිහිපත් කරන ස්මාරකයක් ලෙස රත්නපුර නගරයේ ඔරලෝසු කණුවක් තැනීමට එකල යෝජනා වී තිබේ. ඒ සඳහා එකල බ්‍රිතාන්‍ය රජයේ යුද අනුස්මරණ කමිටුව විසින් තරගයක් ද පවත්වා ඇති අතර හොඳම සැලසුමට රු. 300ක මුදල් ත්‍යාගයක් ද පිරිනමා ඇත.

මේ අනගි අවස්ථාව උදාකරගෙන ඇත්තේ බ්‍රිතාන්‍යයේ “ටයිම්ස් සප්ලයි ඒජන්සි” නම් ආයතනයයි. මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ එකල රත්නපුරයේ ආණ්ඩුවේ ඒජන්තවරයා ලෙස කටයුතු කළ ආර්.බී. බ්‍රවුනින්ග් මහතාය. මෙසේ වැඩ ආරම්භ වූ ඔරලෝසු කණුවේ සියලු වැඩ 1922.03.17 වන දින නිමකර තිබේ. රු 11,000ක මුදලක් වැය කරමින් තැනූ ඔරලෝසු කණුව ශුභ මොහොතින් විවෘත කරන අවස්ථාවේ සිදුවී ඇත්තේ අපූර්වතම සිද්ධියකි. එනම් කාර්මික දෝෂයක් නිසා එහි කටු පිටුපසට ගමන් කිරීමය.   


චතුරශ්‍රාකාර පාද සැලසුමකින් යුත් ඔරලෝසු කණුවේ මහජන පුස්තකාලයට මුහුණලා ඇති පැත්තේ එය තුළට ගමන් කිරීම සඳහා යොදා ඇති දොරගුලු දමා ඇති දොරටුවකි. එම දොරටුවට දෙපසින් වූ පැති දෙකෙහි නම් 11 බැගින් ආද‌ාළ යුද විරුවන් 22 දෙනාගේ නම් යොදා තිබේ. කොළඹ දෙසට මුහුණලා ඇති එනම් තැපැල් කාර්යාලය දෙසට මුහුණලා ඇති පැත්තේ මෙම ස්මාරකය කුමක් අරභයා තැනුවේ ද යන්න පිළිබඳව සඳහන් කර තිබේ. කණුවේ සිව් දිශාවේම 1914-1918 යන වර්ෂ ද්විත්වය සඳහන් කර ඇත.   


යුද ස්මාරකයක් ලෙස තැණූ රත්නපුර නගරයට වේලාව කියන මෙම ඔරලෝසු කණුවෙන් රත්නපුර වැසියෝ තවත් කාර්යයක් ඉටුකර ගනිති. නගරයට පේන දුරකින් ගලා බසින කළු ගඟ කුමන අවස්ථාවක පිටාර ගලයි ද යන්න සැක සහිතය. මැණික් තරමටම රත්නපුරය ගංවතුර සඳහා ද ප්‍රසිද්ධ වී ඇත. මෙසේ ගංවතුර ගලන විට එහි ප්‍රමාණය කියාපෑම සඳහා විටක රත්නපුර වැසියන් මිනුමක් ලෙස භාවිත කරන්නේ මෙම ඔරලෝසු කණුවයි. ඔරලෝසු කණුවේ අසවල් ප්‍රමාණයක් යටවී ඇත.   


ඔරලෝසු කණුවේ මෙච්චර ආසන්නයකට ගංවතුර පැමිණ ඇත යනුවෙන් ගංවතුරේ ප්‍රමාණය කියාපෑමට ඔවුන් හුරුවී තිබේ. එසේ නම් මෙම ඔරලෝසු කණුව වේලාව කීමට පමණක් නොව ගංවතුරේ ප්‍රමාණය කීමට ද භාවිත වන බව පැවසීම යුක්ති සහගතය. රත්නපුර මහ නගර සභාවෙන් පාලනය කරන මෙම ඔරලෝසු කණුවේ මුදුනත මූලික සැලසුමට වඩා වර්තමානය වනවිට යම් වෙනසකට ලක්ව ඇති බව පෙනේ.   

 

 


මෙම නිර්මාණය කිරීම සඳහා මීට සියවසකටත් එපිට දී අඳින ලද සැලසුම තවමත් ඉතා ආරක්ෂිත ලෙස රත්නපුර මහ නගර සභාව සතුව ඇත. ඔවුන් එය රත්නපුර නගරය සතු ඉතා වැදගත් ලේඛනයක් ලෙස ආරක්ෂාකර තිබේ.   


යුද ස්මාරකයක් ලෙස උපත ලබා නගරයටම වෙලාව කියන ගංවතුර මනින දැවැන්ත මිනුම් දණ්ඩක් වූ මෙම අපූරු ඔරලෝසු කණුව දෙස බලන ඔබට එහි සැඟව පවතින මේ අපූර්වත්වය සිහිපත්වනු නිසැකය.   


(එච්.එම්. ජයන්ත විජේරත්න මහතාගේ රත්නපුරය ඈත සියවස සහ තවත් කතා කෘතිය ද ඇසුරිනි)   


කේ. උදේනි අරුණසිරි   
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව   
රත්නපුර